Monday, December 7, 2015

අහිමි වූ ජෙට් එන්ජිම- 2

පළමුකොටස මෙතැනින් කියවන්න
කල පේරාදෙණියට ගොඩවන ඉංජිනේරු සිසුනට  පළවෙනි අවුරුදු දෙකේදී අනිවාර්යයෙන්ම යාන්ත්‍රික ඉන්ජිනේරු විෂයයන් මහැදුරු මහලිම්ගෙන් ඉගෙන ගන්නට ලැබිණි . ඒ වුනත් මහැදුරු මහලිංගම් සමග වචනයක් නොදොඩා පාස්අවුට් වූ ඉංජිනේරුවෝද  සෑහෙන ගණනක් සිටිති.

ඊට එක්  හේතුවක්  වූයේ  අසූ ගණන්වල අග හරියේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තිබුණු ගුරුගෝල දුරස්ථ බවයි. විෂය කරුණු සම්බන්ධව හෝ වෙන කිසි දෙයක් සම්බන්ධව  පිළිසඳරක යෙදීම, පංතියේදී ප්‍රශ්ණ ඇසීම, අකැප දේවල් බවට මතයක් විය. එසේ දුරස්ථ බවක් තිබෙන බවත් එසේ දුරස්ථවම සිටිය යුතු බවටත් නවක සිසුන් වූ අප තුල පූර්ව නිගමනයක් තිබුනේය . සමහර ගුරුවරුන්ගේ පැත්තෙන් මෙලෙස ඈත්ව සිටීමට කැමැත්තක් තිබිණි. ඒත් මෙය මහා මුලාවක්  බව මට  දැන් සිතෙයි.

දෙවන හේතුව වුයේ මහලිංගම් යනු ඉතාම අහිංසක ලජ්ජාශීලී උගතෙකු වූ නිසා බොහෝ විට ඔහු සිසුන් සමග යම් පරතරයක් තබාගෙන දරුවන්ට  ආදරය කරන පියෙක් සේ  හැසිරීමයි. ' පහුවෙලා හමු වූ තාත්තා' කතාවේ කාලිඩ්ගේ පියා මට මේ සමග සිහියට නැගේ.

පසුගිය දිනෙක වත්මන් ඉංජිනේරු පීඨාධිපති මහැදුරු ලීලානන්ද රාජපක්ෂ සමග මම මේ ගැන කතා කළෙමි . ඔහු කීවෙත් මහලිංගම් යනු තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ගිය, ඉතාමත් අහිංසක උගතෙකු බවය. ඔහු කිසි දිනෙක පරිපාලන කටයුතු වලට කැමැත්තක් දක්වුයෙත් නැත . සිය දිගු සේවා කාලය තුල ඔහු කිසි දිනෙක අංශ ප්‍රධානියෙකු හෝ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු නොකළේ එනිසාය .

එහෙත් මේ පෙනේන්නට තිබෙන ඈත්බව අමතක කර ඔහු හා කතා බහ කරන්නට අවස්තාව උදා වූ හැමෝටම මහාලිංගම් යනු කුඩා දරුවෙකු සේ අව්‍යාජ නිහතමානී  පුද්ගලයෙකු බව පසක් වුනේය.

ඉහත  කාටුනයේ  මහැදුරු මහලිංගම්ගේ  මුහුණ ඇන්දේ අපේ බැචෙකු වන රන්ජිත් පද්මසිරි විසින් 1992දීය . 1991 හා 1992 පීඨ දිනයන් වෙනුවෙන් අපේ බැචාලා වන සමන් රංජිත් , සමරක්කොඩි හා රන්ජිත් පද්මසිරි විසින් මෙලෙස අඳි කාටුන් රැසක් ප්‍රදර්ශනය කෙරිණි . මේ  කාටුනය දෙස මහදුරු මහලිංගම් මහත් සොම්නසින් බලා සිටිනු දුටු රන්ජිත් පද්මසිරි පසුදිනක මහලිංගම් රුව සහිත වෙනම චිත්‍රයක්  නිමවා ඔහුගේ කන්තෝරුවට ගෙන ගොස් දුන්නේය .මහැදුරුවරයා ඊට බොහෝ සතුටින් ප්‍රතිචාර දක්වා තිබිණි. 'මමත් ඉස්සර චිත්‍ර ඇන්දා . ඒත් මේ නොයෙක් වැඩ රාජකාරී නිසා ඒ විනෝදාංශය  මග ඇරිලා ගියා' කියා රංජිත්ට කිව්වේය. රංජිත්ට සමු  දෙද්දී මහැදුරුවරයා පැවසුවේ 'මම මේ චිත්‍රය අපේ නෝනට පෙන්වලා එයා කියන්නේ මොකක්ද  කියලත් කියන්නම්කො' .

ඉන් ටික දවසකට පසු ඉංජිනේරු පීඨ දිගු කොරිඩෝරයෙදී රන්ජිත්ව දුටු මහැදුරු මහලිංගම් ඉද්ද ගැසුවා සේ නතර වුනේය . කොරිඩෝයෙදී  සාමාන්‍යයෙන් ඔහු නොකරන දෙයක් කළේය. ශිෂ්‍යයෙක් සමග කතා බහ  කළේය.

' අන්න අපේ නෝනා අර චිත්‍රය දැකලා බොහොම සතුටු උනා ' එසේ කියා රන්ජිත් දෙස මදහස පිරි මුහුණින්  බලාසිට යන්නට ගියේය.

1992 මැයි මාසයේ හිල්ඩා ශාලාවත් සංගමිත්තා ශාලාවත් අතර පිටියේ හැදු ආනන්දගේ වෙසක් කූඩුව ඒ කාලයේ බොහෝ කයි කතන්දරවලට බඳුන් වුවකි. කැරකෙන කුඩුවක් හදන්නට ගියර් මෝටරයක් හොයාගෙන ඉන් තවත් පුලියක් කරකවා යාන්ත්‍රික ඇටවුම නිමකරේ අර උපාලිම තමයි. කූඩුව බලන්නට මහැදුරු මහලිංගම් තනිවම් ආවේ තරමක් සෙනග අඩු වෙලාවකය .   ඔහුගේ නිරීක්ෂණයට හසු වුනේ  මොටරයේ සිට තවත් පුලියක් කරකැවීමට යොදා තිබූ බෙල්ට් එක දෙසය . කොහෙන්දෝ සොයා ගත් ඒ පරණ බෙල්ටය එකට සන්ධි කර තිබුනේ කොහු ලණුවකින් හිර වෙන්න ගැසූ ගැටයකිනි. සෑම  පැය බගයකටම වරක් මේ බෙල්ටයේ ආතතිය නිසා ගැටය ලිහී  කැරකෙන කුඩුව නතර වී යයි. ඉතින් අපේ යාළුවෝ දනිපනි ගා හිර ගැටයකින් ආයෙමත් බෙල්ට් එක ගැටගසා මෝටරය ස්ටාට් කරති.

කිසිත් නොදොඩා එතැනින් නික්මුණු මහැදුරුවරයා පසු දිනක තම දෙසුමකදී මේ සිද්දිය ගැන කතා කර තිබුනේ අපේ  සිසුන් යාන්ත්‍රික ඉංජිනේරු  විද්‍යාවේ මුලික සිද්දාන්ත ගැන සැලකිලිමත් නැති බව සිනහමුසුව පවසමිනි.

1990 දී පමණ  අපට 1970දී  සිසුන්ට දුන් ඔහුගේ දේශන සටහන් වගයක් හමු වුනේය . ඒ සටහන් ඔහුගේ අලුත් දේශන සටහන් සමග සසඳා බැලුවෙමු . කිසිදු වෙනසක් නැත. ඔහු පවතින ලෝකය සමග අලුත් නොවන ගුරුවරයෙක්දෝයි අපට සිතිනි,  නමුත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ ඔහු ඉගැන්වූ මුලධර්ම එහෙම නිතිපතා වෙනස් වෙන ආකාරයේ ඒවා නොවන බවත් හැම දේටම වඩා වැදගත් වන්නේ මුලික සිද්ධාන්ත ටික හරියටම ඔලුවට දමා ගැනීම  බවත් අපට  වැටහුණේ ඉන් කලකට පසුවය. අනික වෙසක් කූඩුවේ කතාව නිසා ඔහු මගතොට  දකින දේ තම ඉගැන්නුම් සඳහා හෙමිහිට එකතුකර ගත්  බව පෙනේ.

නිල්ල දිලෙන හන්තාන කඳුවැටිය හා සොඳුරු මහවැලි මිටියාවත සමග ඈඳුණු  සරසවි බිමේ ලොකු කුඩා මංමාවත්වල  හා පුළුල්ව වැතිරුණ  තණ  පලස්වල  සෑම බිම් අඟලකම ඇති සොබා අසිරිය ඔහුට මග හැරුනේ නැත . එහෙත් මේ කලාතුරකින් බිහිවන විද්වතාගේ චරිතයේ සමහර කොටස් අපට මගහැරුණා  කියා සිතෙන්නේ හේතු කීපයක් නිසාය.

පළමුවන්න මේ අපූරු පුද්ගලයාගේ  සරල ජීවන රටාවෙන් යමක් ඉහගෙන ගන්නවා වෙනුවට අපේ ජීවිත මහා සංකීර්ණ පටලැවිල්ලක් කර ගැනීමය. දෙවැන්න අපේ සිත්වල පැලපදියම්ව තිබූ පූර්ව නිගමන නිසා ප්‍රමාණවත් තරමින් ඔහුට ලං වීමට නොහැකිවීමය. තුන්වැනිව ඔහුගේ ව්‍යක්ත ඉංග්‍රීසි දැනුමත් සන්නිවේදන හැකියාවත් උකහා ගන්නට බැරි වීමය.

සුප්‍රකට ජෙට් එන්ජිමේ කතාව, කම්පන න්‍යාය සම්බන්ධව කරන ලද පර්යේෂණ නිසා ලෝක පුජිත වීම, අතිදක්ෂ ගුරුවරයෙකු වීම  ආදිය සහිත සංකේතාත්මක රූපකයක්, ඉතා හොඳ සරල අහිංසක මිනිසෙක් ආදී ලෙස බොහොම පැතලි ආකාරයෙන් ඔහුගේ චරිතය විග්‍රහ කරන්න බැරි බව මට සිතෙයි.

මහාලිංගම්' නම් චරිතය  බිහි වී ඇත්තේ  පෙරදිගින් ගත්  සරලකම හා අල්පේච්ඡතාව  මෙන්ම  බටහිරින් ගත් ආචාරශීලීත්වය , ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීමෙනි. මේ දේවල් සියල්ල ඔහුට  දායාද කළ පෙරදිග ලෝකයටත් බටහිර ලෝකයටත් ඔහු  වටිනාකමක් එකතුකර නික්ම ගියේය.

තවම  අප කියවා ඇත්තේ මේ මහා චරිත කතාවේ හැඳින්වීම පමණක් බව මට සිතේ .

******************

පසු වදන-ජෙට් එන්ජිමේ කතාව 

පේරාදෙණිය ඉංජිනේරු පීඨ ආලින්දයට ගොඩවන විටම දක්නට ලැබෙන අභිමානවත් දර්ශනයක් වන්නේ අධ්‍යයනය සඳහා කොටස්කර සකසන ලද ජෙට් එන්ජිමකි. මෙය මහැදුරු මහලිංගම්ට  රෝල්ස් රොයිස් සමාගම විසින් පරිත්‍යාග කරන ලද්දක් බව බොහෝ දෙනා අසා ඇති  කතාවකි . මේ කතාවෙන් තවදුරටත්  පැවසුණේ  එකී සමාගමේ ජෙට් යානා එන්ජින්වල තිබූ කම්පන දෝෂයක් මහැදුරු මහලිංගම්ගේ උපදේශකත්වය නිසා විසඳාගත්  වගත් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුට රෝල්ස් රොයිස් කාරයක් තෑගී කරන්නට සැරසුනද එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ අප මහැදුරුවරයා ඒ වෙනුවට ඉංජිනේරු සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා හැකිනම් ජෙට් එන්ජිමක කැපූ ආකෘතියක් ලබා දෙන ලෙස දැන්වීම නිසා එය ලැබුණු බවත්ය .

එහෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු  සබාපති නිව්ටන් වික්‍රමසුරිය ලියා ඇත්තේ   තමන් මහැදුරු මහලිංගම්ගේන්ම අසා දැනගත් පරිදි ඒ කතාව බොරුවක් බවත් සැබවින්ම සිදුවුයේ මහැදුරු මහලිංගම් විසින් රෝල්ස් රොයිස් සමාගමට පේරාදෙනි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ  කෙරෙන අධයයන කටයුතු පිලිබඳ ලියා යවා හැකිනම් ඉවත දමන ලද ජෙට් එන්ජිමක හරස්කඩ මොඩලයක් ලබා දෙන ලෙස ඉල්ලූ බවය. රෝල්ස් රොයිස් සමාගම ඊට කැමැත්ත  පළකළ  අතර  පේරාදෙණිය සරසවියේ වියදමින් නැව්ගාස්තු ගෙවා එය මෙරටට ගෙන්වාගෙන තිබේ .

කෙසේ වෙතත් එකී ජෙට් එන්ජිම අපට දැක බලාගන්නට  ලැබී ඇත්තේ මහැදුරු මහාලිංගම්ගේ කැපවීම නිසාය.  අනෙක් අතට ඔහු ගෙවූ සරල නිහතමානී දිවිපෙවෙත නිසා ඔහු රෝල්ස් රොයිස් කාරයක් ප්‍රතික්ෂේප කරා යයි කීවද පුදුම වෙන්නට දෙයක් නැත.


Photo Source: puaan.org


85 comments:

  1. පළමුවැනි කොටස වගේම දෙවැනි කොටසත් විශිෂ්ටයි. ඔබ ලිපිය අවසන් කර ඇති ආකාරය නම් අපූරුයි. මෙවැනි පෙරදිග සහ අපරදිග පුරුෂාර්ථයන් සංකලනය වූ චරිත අප අතර කෙතරම් අල්පද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිලුක. ඔව් මෙවැනි දුර්ලභ විද්වතුන් ගැන අපි නැවත නැවත කතා කරමු

      Delete
  2. //ඔහු පවතින ලෝකය සමග අලුත් නොවන ගුරුවරයෙක්දෝයි අපට සිතිනි//
    මා සිතන්නේ සෑහෙන කාලයක් පරිගණක ඔහුට ආගන්තුක වූ බවයි. මේ ගැන මට ලොකුවට අදහසක් නොමැති බැවින් මා වැරදි විය හැකිය. මෙය වෙනත් මෙවැනි දැවැන්ත චරිත වලටද අදාළ වූවකි.
    //බොහොම පැතලි ආකාරයෙන් ඔහුගේ චරිතය විග්‍රහ කරන්න බැරි බව// ඔව්, ඒක ඇත්ත.
    //පෙනේන්නට තිබෙන ඈත්බව අමතක කර ඔහු හා කතා බහ කරන්නට අවස්තාව උදා වූ හැමෝටම//
    මා සම්මුඛව කතා කර ඇත්තේද ESU අවශ්‍යතා සඳහා පමණි. ශිෂ්‍යයෙකු ලෙස විෂය කරුණු සම්බන්ධව කිසිදා කතා කර නැත.
    රන්ජිත් පද්මසිරි දශක ගණනකින් හමුවී නැත. ගවේෂණ සංගමයේ ලෝගෝ එකද ඔහුගේ නිර්මාණයකි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔහු සම්බන්ධ අපේ අත්දැකීම් එක හා සමානයි . මමත් ඔහු සමග කතාබහ කොට ඇත්තේ දෙපාරයි. එක වතාවක් ජුබිලි ප්‍රදර්ශනයට අදාළ දෙයක්. ආයේ ලිපියක් ලියන්න පොඩි සාකච්චාවක් කළා . ඔහු කතා කරේ කොළඹ ඉඳන් පේරාදෙණියට ඉංජිනේරු පීඨය ගෙන ආ විස්තරය. ඒ ආර්ටිකල් එක මට සම්පුර්ණ කරන්න බැරි වුනා

      Delete
    2. Good to he explorers clubs logo design i will inform new generation about it one day!

      Delete
  3. හොඳ ගුරුවරයෙක් කියල තමා සිතෙන්නේ. ඒ වගේම නිහතමානී මනුෂ්‍යයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ඉගැන්වීම් ක්‍රම , දේශනා සටහන් හා ඔහු ජීවත් වූ ආකාරය පවා මනාව සැලසුම් කරගෙන තිබුනා

      Delete
  4. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1858-2

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්

      Delete
  5. "...පෙරදිගින් ගත් සරලකම හා අල්පේච්ඡතාව මෙන්ම බටහිරින් ගත් ආචාරශීලීත්වය, ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීම..."
    චරිතයක් ඇගයීමට වඩා වැඩි පණිවුඩයක් මෙතන තියෙනව තිලක්..!
    නියමයි..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බන්දුල. මේ අතිරේක පණිවිඩේ ගැන තව ටිකක් කතා කරන්න ඕනි. ඔබ ඊට නියම සුදුස්සා

      Delete
  6. අැත්තට ම සැබෑ මිනිහෙක් කියලා තේරෙනවා..... ඔබ විශ්ව විද්‍යාල ජීවිතය සහ පේරා පරිසරය මවන විදිහ හරිම අපූරුයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු. බොහොම ස්තුතියි කුරුටු. මේ වගේ සුවිශේෂ මිනිසුන් ගැන වගේම පේරාදෙණි පරිසරය ගැන ලියන්නත් මම කැමතියි

      Delete
  7. ඒ සුප්‍රකට ජෙට් එන්ජින් කතාව ඇයි නොලිව්වේ නොදන්නා අය ගොඩක් ඉන්නවනේ.... අනික අර ඉංජිනේරුවන්ගේ මාර්කටින් සිස්ටම් එක ගැන කතාකරනවා කියලා තිබ්බේ එතකොට මේ පොස්ට් එකෙන් නෙවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ජෙට් එන්ජිමේ කතාව එකතු කලා . ඔබට පොරොන්දු වූ ආකාරයට අනිත් මාර්කටින් කතාව මම මුලින් ලිව්වත් එය මේ ලිපියේ මුලික හරයට නොගැලපෙන බවක් තේරුණා . ඒත් එය පසු ලිපයකින් කතා කරන්නම්

      Delete
    2. මේ ජෙට් එන්ජිමේ කතාවේ පොඩි අතිශයෝක්තියක් ඇත. ඒ ගැන මහාලිංගම් කිසි තැනක ලියා නැතිමුත්, එය මහාලිංගම් ගේ ම මුවින් අසා ගත් නිව්ටන් වික්‍රමසූරිය එය මෙලෙස ලියා ඇත.

      Many myths are generally woven around great men, these may be an indication of their greatness. Isaac Newton and Einstein had theories attributed to them which had very little to do with them. Professor Mahalingam was not an exception. There were many stories about how he had solved vibration problems in Rolls Royce gas turbines. One such story being circulated even now, after his death, is how he had detected a defect in an Avro jet engine, and in lieu of compensation that he refused, Rolls Royce gifted a sectioned jet engine! I asked him about this, several years ago, and he laughed it off in his typical unassuming manner. He said, he just wrote to Rolls Royce explaining what he was doing at the Applied Mechanics laboratory and asked whether they had any discarded engines or equipment which could be used for teaching purposes. They responded by saying there was a sectioned jet engine, used for a training programme, which has no use for them now and they would be pleased to donate it to the Faculty provided the freight was arranged. University had agreed to bear the cost of freight, and this engine now proudly adorns the lobby of the Faculty of Engineering, Peradeniya. A fitting display for an Engineering Faculty!
      http://efacmemories.blogspot.com/2015/11/professor-s-mahalingam-gentle-colossus.html

      Delete
    3. බොහොම ස්තුතියි රසික නිව්ටන් වික්‍රමසුරියගේ ලිපිය මට මගහැරී තිබුනා. ඔහු ගෙනහැර දක්වන කරුනුත් ඇතුළත් කොට මගේ සටහන සංශෝධනය කළා

      Delete
  8. Dear Tilak, the distance between teachers and students was an extension of the distance between first years and seniors. In our first year (1984)we were strictly adviced to be silent in front of final year's rooms. One boy from our immediate senior (E/82) batch was re-ragged in his second year, because he picked up a fight with the then third year (E/81) batch. In 1998, when I joined the E-Fac as a senior lecturer, during a lecture I sat near a student to explain a calculation he was having trouble with, and the whole lecture room let a gasp, because the "LECTURER" has sat near the "student".

    ReplyDelete
    Replies
    1. නවසීලන්තයේ ඉඳන් වැරල්ලගම සර්ත් බ්ලොගට සැට් වෙලා තියෙන්නේ

      Delete
    2. Thanks Induka for your valuable comment. I have seen this senior and junior mindset among practicing Engineers of Sri Lanka as well. Most of our Engineers observe silence at very important meetings allowing their senior Engineers to talk. Such people are very weak in communication and management

      Delete
    3. වැරුල්ලගමට වැරදීමක් වී ඇත. මා දන්නා පරිදි ඒ සිදුවීමට E/81 සම්බන්ධයක් නැත, එය E/80 විය යුතුය.

      සීනියර්ස්ලාට බයේ සිටීමක් ගැන මා නම් අසා නැත. කාලයත් සමග නොයෙකුත් දේ වෙනස් විය හැකි නිසා මෙයත් එවැන්නක් යැයි සිතමි. පසු කලෙක අයියා මල්ලී කේස් එකකුත් ඇවිල්ලා නේ!

      Delete
    4. Induka WerellagamaDecember 9, 2015 at 6:35 PM

      Thanks Rasika for this correction. In my note E/81 should be corrected as E/80; which was the then Final Year batch.
      Also in my first year 1984, as I was sharing my N29 room with two of Rasika's batchmates (Hangilipola and Bandara) I treated them as elder brothers. I remember Rasika also as a friendly senior, but there were some Seniors who tried to pull the rank.

      Delete
  9. රට ට අහිමි වූ තවත් සොඳුරු සම්පතකි.
    ජෙට් ඇන්ජිමේ කතාවත් ලියැවුනානම් වඩා හොඳ යැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් . ඔන්න මම ජෙට් එන්ජිමේ කතාව කෙටියෙන් එකතු කළා

      Delete
    2. මේ ජෙට් එන්ජිමේ කතාවේ පොඩි අතිශයෝක්තියක් ඇත. ඒ ගැන මහාලිංගම් කිසි තැනක ලියා නැතිමුත්, එය මහාලිංගම් ගේ ම මුවින් අසා ගත් නිව්ටන් වික්‍රමසූරිය එය මෙලෙස ලියා ඇත.

      Many myths are generally woven around great men, these may be an indication of their greatness. Isaac Newton and Einstein had theories attributed to them which had very little to do with them. Professor Mahalingam was not an exception. There were many stories about how he had solved vibration problems in Rolls Royce gas turbines. One such story being circulated even now, after his death, is how he had detected a defect in an Avro jet engine, and in lieu of compensation that he refused, Rolls Royce gifted a sectioned jet engine! I asked him about this, several years ago, and he laughed it off in his typical unassuming manner. He said, he just wrote to Rolls Royce explaining what he was doing at the Applied Mechanics laboratory and asked whether they had any discarded engines or equipment which could be used for teaching purposes. They responded by saying there was a sectioned jet engine, used for a training programme, which has no use for them now and they would be pleased to donate it to the Faculty provided the freight was arranged. University had agreed to bear the cost of freight, and this engine now proudly adorns the lobby of the Faculty of Engineering, Peradeniya. A fitting display for an Engineering Faculty!
      http://efacmemories.blogspot.com/2015/11/professor-s-mahalingam-gentle-colossus.html

      Delete
    3. බොහොම ස්තුතියි රසික නිව්ටන් වික්‍රමසුරියගේ ලිපිය මට මගහැරී තිබුනා. ඔහු ගෙනහැර දක්වන කරුනුත් ඇතුළත් කොට මගේ සටහන සංශෝධනය කළා

      Delete
  10. උඹ හරි තිලකේ.. අපි හැමදේම පිටතින් බලා තීරණ ගන්නවා.. ඉගෙන ගත යුතු දේ මග හරිනවා. සමහර දේ වැරදියටයි පේන්නේ.. කතාවක් බාගෙට ඉවර කලා වගේ හැගීමක් ආවේ බං මේ ඩිංග කියවල..

    ReplyDelete
    Replies
    1. ලියපු එකෙන් බාගයක් සංස්කරණයේදී හැලුව නිසා මේ ලිපිය ටිකක් මදි වගේ තමයි . මම ජෙට් එන්ජිමේ කතාව පසුවදනට එකතු කළා

      Delete
  11. මේ මනුස්සයා ගැන අපි නොදන්න නිසා මම හැම තැනම තිබුන කිසිම දෙයක් කියෙව්වේ නෑ.. මොකෝ මම හිතුවේ ජෙට් ඇන්ජින් එකක් කැම්පස් එකට දුන්න කෙනෙක් කියලා.. ඒත් තිලකේ ළිපි දෙකක්ම ළියපු නිසා දෙවනි එක කියෙව්වා..

    අදයි දැන ගත්තේ කෙතරම් වටිනා සම්පතක්ද කියලා.. ස්තූතියි තිලකේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොහු ජීවත්ව සිටියදී ඔහුගැන අපි කතා කළා මදි. ඔහු ගැන දැනගෙන හිටියේ රටෙන් බොහොම සුළු පිරිසක්

      Delete
  12. //ඔහු කිසි දිනෙක පරිපාලන කටයුතු වලට කැමැත්තක් දක්වුයෙත් නැත . සිය දිගු සේවා කාලය තුල ඔහු කිසි දිනෙක අංශ ප්‍රධානියෙකු හෝ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු නොකළේ එනිසාය .// මට 'මුරලිදරන්'ව මතක් උනා..
    still water run deep කියලා දැනගන්නත් සමහර වෙලාවට කල් යනවා.. වැරදි පුර්ව නිගමන නිසා අදටත් මිස් වෙන දේවල් අපමණයි.. ඒවා සමහර විට ආයිම කවදාවත් ලබන්න වෙන්නේ නෑ.. හරියට මහැදුරු තුමාගේ ආශ්‍රය වගේ..

    ReplyDelete
    Replies
    1. ඔහු විශ්‍රාම ගියාට පසු පේරාදෙණි සරසවි කුලපතිකම ලැබිය යුතුව තිබුනා . එය පරිපාලන වගකීමක් නෙවෙයි. ගරු තණතුරක්

      Delete
  13. You should write more on him or others like him, if there were any.

    ReplyDelete
    Replies
    1. Thanks Pra. I will continue to write on such people

      Delete
  14. තිලක අයියා... ඉතා ආසාවෙන් කියෙව්වා... ශ්‍රේෂ්ඨ විද්වතෙක් සහ මනුෂ්‍යයෙක්... එවැනිවුන් තවත් අප අතර බිහිවනවා නම් අප බොහොම වාසනාවන්තයි.... මදි මදි වගේ දැනුන කියවල ඉවර උනාම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. මම ඔන්න තව කොටසක් පෝස්ට් එකට එකතු කළා

      Delete
  15. මහාලිංගම් සර් ගැන මම දන්න දුක හිතෙන කතාවකුයි පුදුම හිතෙන කතාවකුයි තියනව.
    අපි ෆැකල්ටියෙන් අවුට් වෙන කාලේ, ඒ කියන්නේ 2002 වගේ වෙනකොට මහාලිංගම් සර් විශ්‍රාම යන්න හිටියේ. මට තරමක් හිතවත් මේ වෙනනකොට මහාචාර්යවරයෙක් වෙලා ඉන්න කෙනෙක් එක්ක මහාලිංගම් සර් විශ්‍රාම අරං විසිටිං ලෙක්චර්ස් කරයිද කියල අහපු වෙලාවේ මේ කෙනා මාත් එක්ක බොහොම විශ්වාසයෙන් කිව්ව සෙනෙට් එක තීරණයක් අරගෙන තියෙනව මහාලිංගම් සර් හිටපු නිල නිවස සර්ට ජීවිත කාලයටම දෙන්න ඒක නිසා සර් අනිවාර්යයෙන්ම විසිටිං පුලුවන් තරං කාලයක් කරයි කියල. මට ඇත්තටම ඒ වෙලාවේ පුදුමාකාර සංතෝශයක් ආවේ. නිල නිවස ගැන සෙනට් එකේ තීරණය මගේ බැචාලා කීප දෙනෙකුත් ඊට පස්සේ මට කියල තියනව.
    අවුට් වෙලා අවුරුදු කීපයකට පස්සේ රාජකාරී සාකච්චාවකට මීගමුවේ තියන ජෙට්විං බ්ලු කියන හෝටලයට ගිය වෙලාවක ජූඩ් කස්තුරිආරච්චි කියන සුන්දර මනුස්සයව පලමු වතාවට දැන අඳුන ගන්න ලැබුන. ජූඩ් තමයි ජෙට්විං හොටෙල් ඔක්කොගෙම ඉදිකිරීම් බාරව ඉන්න කෙනා. විස්තර කතා කර ඉද්දි මම දැනට පදිංචිය නුවර කියල කියද්දි මේ මනුස්සය මගෙන් ඇහුව එහෙනං ඔයා පේරාදෙණියෙන් අවුට් කෙනෙක් ද , මොකද කිව්ව මමත් නුවර මුල්ගම්පොල හරියේ කියල. ඊට පස්සේ මගෙන් ඇහුව ප්‍රොෆෙසර් මහාලිංගම්ව අඳුනනවද කියල. ඊට පස්සේ තමයි කතාවේ හොඳම හරිය.
    මහාලිංගම් සර් ගැන අහපු ගමන් මම පිස්සෙක් වගේ කියවන්න ගත්ත. මම අවුරුදු දෙකක් සර්ගෙන් ඉගෙනගෙන තියනව, මහාලිංගම් මැඩම්ගේ කඩු ක්ලාස් එකේ තමයි හිටියෙ. දෙන්නම පුදුම හොඳ මිනිස්සු, සර් එක්ක මැඩම් කොරිඩෝර් එකේ යද්දි හරිම ආඩම්බරෙන් යන්නේ... අරව මේව කෝටියයි. අන්තිමට මම කිව්ව මට හරිම සංතෝශයි පේර සෙනෙට් එක තීරණයක් ගත්ත සර්ගේ නිල නිවස සර් ජීවත්වෙලා ඉන්නකං සර්ට දෙන්න මේ වෙනකොටත් සර් එතන තමයි ඇත්තෙ කියල.
    මේ ඔක්කොම අහගෙන හිටපු ජූඩ් එකපාරටම කියපි සෙනට් එකේ නිළ නිවාසනං මම දන්නෑ අන්න මහාලිංගම් සර්ට ඉන්න තැනක් නැතුව මගේ හුන්ඩුවක් වගේ ඇනෙක්ස් එකක ඉන්නව ලියල.
    මට ඇත්තටම පොළොව පලාගෙන යන්න හිතුන. ඔන්න ඔහොමයි අපි අපේ ශ්‍රේශ්ඨ චරිත බලාගන්නේ.

    මහාලිංගම් සර් ගැන පුදුම හිතෙන කතාව පස්සේ වෙලාවක ලියන්නං...

    ReplyDelete
    Replies
    1. මේ දිග විස්තරයට ස්තුතියි යාලු. මේ දෙවන කතාව ඇත්තක්නම් එය හරිම ඛේදජනක දෙයක්

      Delete
    2. විශ්ව විද්‍යාල නිල නිවාස කුලියට දීමේ පටිපාටියක් ඇත. මහාලිංගම් විශ්‍රාම ගිය පසු ඔහුට ඒ නිවසක හිමිකම නැත. ඔහු කළ යුතුව තිබුණේ සේවයේ යෙදී සිටි කාලයේ තමන්ට නිවසක් සාදා ගැනීමයි.

      තමන් එසේ නොකළ බව කියා සරච්චන්ද්‍ර ද තමන් ගේ පින් ඇති සරසවි වරමක් දෙන්නේ නම් කෘතියේ පසුතැවී ඇති බවට මතකයක් තියෙනවා!

      Delete
    3. මහාලිංගම් ඇදුරුතුමා එක්ක රසික සහෝදරයට "ඇරියස්" එකක් තියනව වගේ... නරකද ඒ ගැනත් කිව්වොත්??

      Delete
    4. සජ්ජා.. උමට යමක් තේරුම් ගැනීමේ දුර්වලතාවයක් තියෙනවා..

      Delete
    5. මට ඔහු සමග කිසිම අතිරික්තයක් නැත!

      සම්මත පටිපාටියට පිටින් යමින් එක් එක් අයට වෙනස් ආකාරයට සැළකීම වැරදි ක්‍රියාවකි. එසේ කරන්නට යෑමෙන් වෙන්නේ අළුතෙන් එන අයට නිසි පහසුකම් නැතිවීම නොවේද? හිතන්න හෙට සිට විශ්‍රාම යෑම අවුරුදු 60 සිට 61 දක්වා දීර්ඝ කළාය කියා. දැන් හෙට සිට ජොබ් හොයන්නට පටන් ගන්නා අයට මොකද වෙන්නේ? තව අවුරුද්දක් ගෙදර ඉන්න වෙනවා නේද?

      මහාලිංගම් වැනි අයෙකු එලෙස තමන්ට විශේෂ සැලකීමක් කරාවිය කියා බලාපොරොත්තු වුනාය කියා කීම පවා ඔහුට අපහාසයක් වෙනු ඇත.

      Delete
    6. සෝවියට් දේශයේ හිටියදි අපට ඉගැන්වූ නොබෙල් ත්‍යාගය ලැබූ මහාචාර්ය කෙනෙක් හිටිය. ඔහු විශ්‍රාම ගියාට පස්සෙත් dept. එකට ආව. කවුරුත් එපයි කිව්වේ නැහැ. අලුත් අයට දෙන තැනක් වුනත් හැමෝම පිලි ගත්ත එයා එන එක හොඳයි කියල. නිවාසයත් අර ගත්තේ නැහැ. අවුරුදු 80-85 වෙනකම් උගන්වන්න ඇවිත් තියනවා. මම හිතනවා එහෙම කලාට කමක් නැහැ කියල . වැඩ අරගෙන කුණු කොල්ලෙට විසික් කරනවට වැඩිය. එහෙම කරන නිසාම සමහර මහාචාර්යවරු පුළුවන්තරම් ගසා කනවා. පිටරට ස්කොල්ස් අරන් යනවා. ඒවායිනුත් ගහනවා. හොඳ ගෙයක් හදා ගන්නවා විශ්ව විදයාලේ සල්ලි වලින්ම. මොකද දෙන පඩියෙන් ඕව කරන්න බැරි නිසා. හැබැයි අපි ඒවටත් බනින්නවා.

      Delete
    7. සජ්ජා ගේ ප්‍රශ්නය ගැන මගේ අවුලක් නැත! ඔහුට ඒ අදහස ඇතිවීමට හේතඔව මට සිතා ගත හැකි සාධාරණ එකකි!

      Delete
  16. මහාලිංගම්' නම් චරිතය බිහි වී ඇත්තේ පෙරදිගින් ගත් සරලකම හා අල්පේච්ඡතාව මෙන්ම බටහිරින් ගත් ආචාරශීලීත්වය , ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීමෙනි. මේ දේවල් සියල්ල ඔහුට දායාද කළ පෙරදිග ලෝකයටත් බටහිර ලෝකයටත් ඔහු වටිනාකමක් එකතුකර නික්ම ගියේය.//////////නමුත් නලීන් ද සිල්වා මේ ලෝක දෙකෙන් එකතු කර ගත්තේ us vs them චින්තනය නේද ?

    ReplyDelete
    Replies
    1. මටත් තාම හිතාගන්න බෑ ඒ චින්තනේ ආවේ මොන ලෝකෙන්ද කියල

      Delete
  17. දේශකයින් සහ විද්‍යාර්ථීන් අතර පරතරයක් වේ නම් එයට වගකිව යුත්තේ දේශකයින් ම ය. එය නැති කළ හැක්කේ ද දේශකයින්ට ම පමණි.

    ReplyDelete
    Replies
    1. Thats true you should be a good listener to the students then they will come to you.

      Delete
    2. ප්‍රධාන වගකීම දේශකයන්ගේ තමයි. ඒත් ඒ සංස්කෘතිය වෙනස් කරන්න සිසුන්ගේ පැත්තෙන් ආකල්ප වෙනස් වෙන්න ඕනි

      Delete
  18. ස්තූතියි තිලක සිත !

    ReplyDelete
  19. උතුම් මිනිසුන් හමුවීමට හෝ ඇසුරුකිරීමට ලැබෙන්නේ කෙනෙකුගේ ලැබීම අනුවය. මෙවන් උතුම් මිනිසකු දැනගැනීමට මට වරම් නොලැබීම ගැන දුක්වෙමි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මිනිසුන් ඔබට ඉදිරියේදී හමු වේවි ඉයන්

      Delete
  20. අදුරු තුමාගේ නිල නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇනෝතුමා දක්වපු අදහස යටින් දැමූ කොමෙන්ටුවේ දේශකය සඳහන් කරපු කරුණට උත්තරය කුමක්හෝ තාක්ෂණික අවුලක් නිසා එතන දමන්න බෑ.. ඒ නිසා මෙතන ඒ ගැන සඳහන් කරන්නෙ.. දේශා... පිලිගන්නවා සමහර වෙලාවට කලබල වැඩි නිසාවෙන් මම සමහර දේවල් වැරදියට ජජ් කරනව... ඒත් එතන මම ඒ කතාව කිව්වෙ රසික සහෝදරයා ගැන පුද්ගලික හො වෙනයම් ගැටළුවක් නිසා නෙවෙයි.. ඔහු පේරාදෙණිය ඉංජිනේරු ශිෂ්‍යයෙක්ව සිටි අයෙක්.. කරුණු කාරනා සහ ඔහුගේ ලියවිලි වල සඳහන් වන දේ බැලුවම ඔහු දීප්තිමත් ශිෂ්‍යයෙක්.. අනිවාර්යෙන් ඔහුට මේ ඇදුරුතුමා මුණගැසී හො ඔහුගෙන් ඉගෙනගෙන හො ඇති...නමුත් ඔහු සම්බන්ධ අදහස් වලදී වැඩි යමක් එකතු කරනවාට වඩා ඔහුගේ කමෙන්ට් කියවූ පසු දැනෙන්නේ මහාලිංගම් සම්බන්ධ "ඩෝන්ට් කෙයා" විදිහේ ආකල්පයක් ඔහු තුල තිබෙන බවයි. සමහර විට මගේ සිතිවිල්ල වැරදි ඇති. නමුත් මට හැඟුනේ එසේයි.. අපි දන්නවා පිටස්තර සමාජයේ දෙවිවරුන් ලෙස හුවා දක්වන සමහරුන්ගේ ඇතුලාන්තය ඒ තරම් ප්‍රියජනක නැහැ.. සුදූ චරිත වශයෙන් සමාජය හඳුන්වන සමහරුන්ගේ ඇතුළාන්තය කළුයි.. ඒ විදිහේ දෙයක් රසික සහෝදරයා නොකියා ඉන්නවාදෝ විදිහේ සැකයක් හිතේ ඇතිවුණු නිසා මම ඒ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කළේ... සමහර විට මම වැරදි ඇති... දේශා කිව්වා කතාවෙත් ඇත්තක් තියනවා. මම සමහර වෙලාවට "නැට්ටෙන් අල්ලගන්නවා" . ඒක මගේ දුර්වලකමක්...

    ReplyDelete
    Replies
    1. එක එක අය එක එක විදියයි බං.. දැං බලහං මම කොයි තරං සුකිරි අහිංසක කටවත් නොහොල්ලන (අපේ අයියා වගේම) කොලු පැටියෙක්ද කියලා.. ඒත් බ්ලොග් වල කියන ඒවට මිනිස්සු මාත් එක්ක තරහ වෙනවා.. ඒක ඉතිං මයෙි හැටි නෙව දෙයියෝ. බොට දෙයක් කිව්වේ නැහැ.. රසිකගේ පොයින්ට් එක උඹ ගත්තේ නැහැ ඒකයි මං එහෙම කිව්වේ. හා හා අඩන්න දෙයක් නෑ මේකට.. හැක්.. ජය

      Delete
    2. සජ්ජා ගේ ප්‍රශ්නය ගැන මගේ අවුලක් නැත! ඔහුට ඒ අදහස ඇතිවීමට හේතඔව මට සිතා ගත හැකි සාධාරණ එකකි!

      සජ්ජා ගේ ප්‍රශ්නය ගැන මගේ අවුලක් නැත! ඔහුට ඒ අදහස ඇතිවීමට හේතුව මට සිතා ගත හැකි සාධාරණ එකකි!

      මා මහැදුරු මහාලිංගම් ගැන ලිපියක් ලියා ඇත. එය පසුව හි පළ කරමි.

      එය ද, මේ තිලක සිත ලියූ ලිපිය සේ අති දුරස්ත එකකි. එනම්, තිලක සිත ගේ කොටස් දෙකකින් ්‍රුතු ලිපිය කියවූ අයට වැටහෙන පරිදි ඔහු මේ ලිපියේ දී කරනවාක් මෙන් ම මා ද මගේ ලිපියේ කරන්නේ ද, දුර සිට කළ නිරීක්‍ෂණ මත සහ අන් අයගේ අත්දැකීම් මද පදනම්ව ලිවීමයි.

      ;-)

      Delete
    3. දේශා.... අනේ අපි නොදන්නා සූකිරි කොලු පැටිය..... හැක් හැක්..

      රසික සහෝදරයා... හා බොරුද කියන්නෙ.. මොකක්හෝ දුරස්ථ බවක් මම දැක්ක.. ලියමු ලියමු.. බලන්න එන්නං...

      Delete
    4. මගේ ලිපියේ මුල් කොටස අද හවස eFacMemories බ්ලොග් අඩවියේ පලවී ඇත.
      http://efacmemories.blogspot.com/2015/12/my-distant-memories-about-professor-s.html

      දෙවන කොටස හෙට පලවෙනු ඇත.

      මෙහි සිංහල අනුවාදයක් පසුව ලියමි!

      Delete
    5. එය කියෙව්වෙමි... ශිෂ්‍යයන් සහ අදුරුතුමන්ලා අතර ඇති දුරස්ථ භාවය එමගින්ද තවදුරටත් තහවුරු වේ... මාගේ සැකය නිවැරදි නොවේද?? :)

      Delete
    6. මමත් රසිකගේ ඉංග්‍රීසි ලිපිය කියෙව්වා. හොඳ ලිපියක්

      Delete
    7. ඔහු ජීවමානව දකිනන්ට ලැබුණු කාලයේත් ඔහු හා අප දුරස්ථ බවක් තිබ්බා . ඊට අවුරුදු විසි දෙකකට පසු නැවත ඔහු ගැන ලියන්න තියෙන්නේ දුරස්ථව බලලම තමයි. ඒත් ඔහු ගැන නොලියා සිටින්නට බැරිතරම් බරට ඔහු අපේ හිත්වලට වැදී තිබුනා.

      Delete
    8. නිළ නිවාස ප්‍රශ්නය ගැන පළවෙනි කොමෙන්ටුව දාපු ඇනෝ විදිහට මට හිතුනෙත් සජ්ජාට හිතුන දේම තමා. රසිකයියට ඇරියස් එකක්වත් තියනවද කියල ?
      හැබැයි මුලු ජීවිත කාලයම රටේ ළමයි වෙනුවෙන් කැප කරල ( තමන්ගේ පෞද්ගලික ජීවිතේට සැලසුමක් නොතිබුන මනුස්සයෙක්) අන්තිම කාලේ තනිවෙලා ඉන්න මනුස්සයෙක් වෙනුවෙන් රටක් විදිහට යමක් කරන එක (පොතේ මොන මගුලක් තිබුනත්) අසාධාරණද ?

      Delete
  21. මෑතකදී ඔහු ගැන ඉංග්‍රීසියෙන් පල වූ ලිපියක් දුටුවත් සම්පූර්ණයෙන් කියවන්න අවස්ථාවක් වුණේ නෑ. මේකෙන් ඔහු ගැන හොඳින් විස්තර වෙලා තියෙනවා. ලිපිය වගේම බොහොමයක් කමෙන්ට් වලත් අනර්ඝ තොරතුරු රැසක් තිබෙනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි සුදීක. සෑහෙන කාලෙකින් මුණ ගැසුනේ නේද .

      Delete
  22. ලිපයනම් දිගයි.බාගයක් කියෙව්වා.. ඉතුරු ටිකත් කියවන්න පස්සේ එනවා...
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. විවේකයක් ලැබුනම ආපහු එන්න . ස්තුතියි

      Delete
  23. ලිපි දෙකම කියවා බැලුවා.

    ...//මහාලිංගම්' නම් චරිතය බිහි වී ඇත්තේ පෙරදිගින් ගත් සරලකම හා අල්පේච්ඡතාව මෙන්ම බටහිරින් ගත් ආචාරශීලීත්වය , ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීමෙනි//...

    ලිපියේ මම කැමතිම කොටස තමයි මේ.

    ReplyDelete
    Replies
    1. ඔබට කියවන්න යමක් ලැබුනානම් සතුටුයි. බොහොම ස්තුතියි

      Delete
  24. මේ ලිපි කියවූ විට සිතෙන්නේ ඔහු "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ"සංකේතයක්ව සිටි අයෙකු හැඩයි.එත් ඔහු ගැන මා නම් දැනගත්තේ ඔහුගේ මරණයෙන් පසුවයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මනෝජ් ඔහුගේ ජීවිතයේ ඵලදායී කාලය 1950 ඉඳන් 1980 වෙන්න ඇති කියා හිතෙනවා. අනික ඔහු කිසි විටෙක තමන්ව මාර්කට් කර ගන්න උත්සහ කලේ නෑ . මේ කරුණු දෙකත් හේතු වෙනවා ඔහු ගැනවැඩි පිරිසක් නොදැන සිටීමට

      Delete
  25. ලිපි දෙකම කියෙව්වා...
    අර ගෙවල් සම්බන්ධ ඇනෝ කියපු කතාව ටිකක් බර වැඩියි...
    ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ මොනවහරි මග ඇරෙනවා...

    ReplyDelete
    Replies
    1. //ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ මොනවහරි මග ඇරෙනවා...//ඔව් ඒක ඇත්ත

      Delete
  26. මහැඳුරු මහලිංගම් චරිතයට සමාන තව චරිත විශ්ව විද්‍යාල පද්ධතිය තුල වගේම ඉන් පිටතත් තව ඉන්නවා. හැබැයි ඔවුන් ගැන දැන ඉන්නෙ සීමිත පිරිසක් විතරයි.

    අපිත් ඉගෙන ගන්න කාලෙ ඔය ගුරු සිසු දුරස්ථභාවය ගොඩක් තිබුනා. අපි ගුරුවරයෙක් මුන ගැහෙන්නෙ ගියෙ ඇඩ්මිසන් සයින් කරගන්න විතරද කොහෙද.

    ඒත් දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. ගුරු ගෝල දෙගොල්ලොම කාලෙත් එක්ක ඉස්සරහට යාම වගේම නවක වදය නැති වීම නිසා ඒකත් එක්ක තිබුන පරම්පරාවෙන් පරම්පරාවට යන සමහර රීති නැති වීම නිසා ඒක එහෙම උනා කියලයි මට හිතෙන්නෙ. ඒකෙ හොද නරක දෙකම අපි දැන් සමෝසමේ අත් විදිනවා.

    ReplyDelete
    Replies
    1. පරම්පරාවෙන් පරම්පරාවට යන මේ රීති නැති වීමෙන් වෙන අවාසියට වඩා ඒවා තිබීමෙන් ලැබෙන අවාසිය වැඩියි කියලයි මටනම් හිතෙන්නේ . කොහොම උනත් කතා කරන්න ඕනි මාතෘකාවක්

      Delete
  27. ආදරයත් ගෞරවයත් කැටිකරගත් ලිපියක්.ඇත්තටම බොහොම වටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළු

      Delete
  28. මහාචාර්ය මහාලිංගම් සමග සමීප ඇසුරකට (ගුරුගෝල) මට ඉඩ ලැබුණේ එකම ආචාර මණ්ඩලයක සේවය කරන්නට ගිය පසුවය. ශිෂ්‍යයෙකු ලෙස එතුමා සමග වචන දෙක තුනකට වඩා කතා කර තුබුණේ නැත.
    මහාලිංගම් සර්ට අවශ්‍ය වී තිබුණු අධ්‍යාපනික වාර්තා වීඩියෝ වැඩසටහන් රැසක් නිර්මාණය කොට දීමට හැකි වීම මා ලද භාග්‍යයකි. ඒටත් වඩා මා සතුටු වන්නේ ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අගය කිරීම ගැනය.
    එතුමා මා පිළිබඳ සඳහන් කරමින් යතුරු ලියනය කොට දුන් සහතිකය අදත් මා ළඟ සුරැකිව ඇත. පරිගනකය භාවිතා නොකරන්නේ මන්දැයි විමසූ විට මහාලිංගම් සර් පැවසුවේ තමන්ගේ වයසට අනුව එය ගෝචර නොවන බවය.
    මහාචාර්ය මහාලිංගම් ඇදුරුතුමන් රට්ට් බොහෝ දේ ලබා දී ඇතත් රටක් ලෙස ඔහුට කිසිවක් ලබා දෙනවා තබා නිසි ගෞරවයකින් කෙළෙහි ගුණ හෝ සළකා නැත.
    එසේ වූයේ එතුමන් දෙමළෙකු වූ නිසාද....

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහනට ස්තුතියි. හැබැයි මමනම් හිතන් නෑ ඔහුගේ ජාතිය මොකක්ද කියන එක කිසි කෙනෙක් සැලකිල්ලට ගත්තා කියා. ඔහුට වුනෙත් අපි වාගේ රටක වැඩි ප්‍රසිද්දියට අකමැති, තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ඕනිම විද්වතෙකුට වෙන දේ.

      Delete
    2. නොකී කතා.... දෙමළෙක් නිසාද කියන ප්‍රශ්නය අහන්න හිතන්නවත් එපා...

      Delete
  29. තිලකයියේ ඉක්මනට මොනාහරි ලියපං බං..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය සතුට පිරි නව වසරක් වේවා . බොහොම ස්තුතියි සෙනරත්

      Delete
  30. පේරාදෙණිය සරසවියට යන සිහිනය තවත් වැඩි කරන්නට සමත් කතාමාලාවක් ලියූ ඔබතුමාට මගේ හද පිරි ප්‍රණාමය....හන්තාන සිහිනය යතාර්තයක් කරගන්නා දවස වැඩි ඈතක නොවෙයි...

    ReplyDelete