Tuesday, October 25, 2016

ලාහෝර් පෙම්වතිය

ෆොටෝ :Hamariweb
මා සිටි කාමරයට පැමිණි ක්‍රිෂ්ණන් ඉතාම ශෝකී මුහුණින් මගේ අත මිරිකා ගත්තේය . ඔහුට  පිටුපසින් පැමිණියේ මොබින්ය. මුන් දෙන්නාම අධික ශෝකයකින් හෙම්බත් වී සිටියහ. එදා 2009 අවුරුද්දේ මාර්තු හතර වැනිදාය.මොබින් මා වැළඳගෙන‘ මගේ බලවත් ශෝකය, අපට සමා වෙයන්’ කීවේය.
මේ සිදුවන්නේ මොන හරුපයක්දැයි නොදන්නා මම තුෂ්නිම්බුතවී බලා සිටියෙමි. මගේ වික්ෂිප්ත මුහුණ දෙස බලාගෙන  ක්‍රිෂ්ණන් කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ක්‍රිකට් පිස්සන් දෙදෙනෙකු වන මේ දෙන්නා තමන්ගේ කණ්ඩායමටත් වඩා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ආදරය කලෝය.
ක්‍රිෂ්ණන් කේරළයකු වූ අතර මොබින් පකිස්තානයේ අති දුෂ්කර ගමක ඉපිද අහම්බෙන් නගරයට ආ අයෙකි.  මේ දෙදෙනා අඹ යහළුවන් වුහ. කෑවේ බිව්වේ ගමන් බිමන් ගියේ එකටමය.
එදා ඒ සිද්දියෙන් පසු ක්‍රිෂ්ණන්ටත් වඩා මොබින් මගේ හිතවතෙකු විය. සිය ප්‍රේම කතා, ගමේ කතා හා  පවුලේ කතා ඉඩක් ලැබුණු හැටියේ මා ඉදිරියේ තළුමරමින් කියෙව්වේ අංග චලනයෙන්ද රස එක්කාසු කරමිනි .

“උඹ දන්නවද අපේ ගම තියෙන්නේ අන්ත දුෂ්කර පැත්තක. ලාහෝර්වල ඉඳන් කිලෝමීටර් දෙසීයකට වැඩියි . ගමට ඇතුළු වෙන්න පුළුවන් එක තැනකින් විතරයි. අනිත් හැම පැත්තම ගිරි දුර්ග.
ගමට ඇතුලුවෙන තැන පොඩි අම්බලමක් තියෙනවා. මේකේ ඕනි වෙලාවක අලුත් වතුර සෙම්බුවක් මැටි කෝප්පෙකින් වහල තියෙනවා. පිටස්තරයෙකුට එන්න පුළුවන් අන්තිම පොයින්ට් එක තමයි මේ අම්බලම” .
“ඉතින් ගමට අමුත්තෙක්  අවොත් ?”
‘අම්බලමේ නවතින්න ඕනි. අම්බලමට මාසෙන් මාසෙට බාරකාරයෙක්  දානවා . ඔහු  වරින්වර ගිහින් වතුර පිංතාලිය පුරවන්න ඕනි අමුත්තෙක් ඇවිල්ලනම් කෑම බීම දීල එයා බැහැ දකින්න ආපු ගම්වැසියට පණිවිඩේ කියන්න ඕනි’ .

“ඊට පස්සේ ගමේ මනුස්සයා ඇවිල්ල අමුත්තා එක්කරගෙන යනවද ?”
“මොන . එයා ඇවිල්ල අම්බලමේ ඉඳන්ම කතාබහ කරලා අමුත්තා පිටත් කරන්න ඕනි . ගමට කිසිම පිටස්තරයෙකුට ඇතුළු වෙන්න බෑ .

එතකොට අල්ලපු ගම්වල නෑදෑයෝ යන්නේ එන්නේ නැද්ද .?
නෑ එහෙම නෑදෑකම් ගැන අහල නෑ .
ගමට  පොලිසියෙන් එහෙමවත්  එන්නේ නැද්ද ?
නෑ පොලිසියට එන්නත් බෑ . එන්න උත්සහ කරලත් නෑ .
මටනම් විශ්වාස කරන්නත් බෑ .

'උඹට මං කියන දේ විශ්වාස කරන්නම වෙනවා. මොකද මම උඹ අපේ ගමට එක්කරගෙන ගිහින් පෙන්නන්න කියලයැ '. කියමින් ඔහු සිනාසුනේය. ඉන්පසු ඔහු බැරෑරුම් මූණක් ඇතිව ටික වෙලාවක් කල්පනා කළේය .

‘දවසක් හරිම දුක හිතෙන දෙයක් සිද්ද වුනා. දැන්නම් මතක්වෙනකොටත්  හරි කාලකන්නි කමක් දැනෙනවා’

“කැමතිනම් කියපන්” . මම කිව්වෙමි .

‘මෙහෙමයි අපේ ගමේ ලස්සනම ලස්සන කෙල්ලෙක් හිටියා. මම ජීවිතේටම දැකලා නෑ ඒ වගේ ලස්සන වෙන කෙනෙක් . මේ කෙල්ල අල්ලපු ගමේ කොල්ලෙක් එක්ක යාලු වුනා ”.

“ඒක මහා පුදුම කතාවක්නේ” . මම කියද්දී ඔහු කිව්වේ “ඒක පුදුම ආදර කතාවක්” කියලාය  .
‘මුන් දෙන්නා කොහේදී මුණ ගැහුනද කොහේදී ආදරේ කරාද අර මනුස්සයා ආවේ ගියේ කොහොමද හිතා ගන්නත් බෑ’

“ඉතිං”

“ඉතින් මොකද කරන්නේ ගමේ  කොල්ලෝ ටික මග රැක ඉඳල මහා පාන්දරක කොල්ලට ගහල එලෙව්වා . එදායින් පස්සේ ආයේ පැත්ත පළාතේ ආවේ නෑ. මිනිහ අතුරුදහන් වුනා” . ඔහු සුසුමක් හෙලීය .

“මට දුක ඒ ගමනට මමත් ගිය එක” .

මම ගොළුව බලා හිටියෙමි.
ඉන් ටික දවසක් යනතුරු ඔහු මගේ මුහුණ බලා කතා කරේ නැත .ඔහු කීවේ ගෙතූ කතාවක් යැයි සිතන්නට මම උත්සහ කළෙමි. ඇරත් එහෙම හිතන එක ඔහු දකිද්දී  මට සහනයක් ගෙන දුන්නේය.

ඔහු පසුව මගේ හිත හදන්නට මෙන් මෙසේ කිව්වේය.
“අර ගමන මම ගියාට අපට ඉස්සරහින් තව කොල්ලෝ කට්ටියක්  ගියා . ඒගොල්ලෝ තමයි ගැහුවා කිව්වේ .ඇත්තද බොරුද මම  දන්නේ නෑ’

'ඒත් මට එක දෙයක් කියපන් ' මම මොබින්ගෙන් පසු දිනක ඇසුවෙමි.

"අර කෙල්ල ගැන උඹේ හිතෙත් ආදරයක් තිබ්බ නේද ?"

ඊට උත්තරයක්  නොදී මා මග හැර  ගිය මොබින් ඉන් සෑහෙන දිනකට පසුව මට මෙහෙම කිව්වේය  .
'සමහර විට අපේ ගමේ ගොඩක් කොල්ලෝ වගේ මමත් ඈට ආදරේ කරන්න ඇති. ඒත් අර සිද්දියෙන් පස්සේ මට ගම එපා වුනා . එහෙන් පිටමන් වෙලා ආවේත් ඒකමයි.

මගේ සිතේ  චිත්‍රපටියක මෙන් ඒ සිද්දියේ අතුරු කතා වරින්වර මැවී බොඳවී ගියේය . මමද  ඒ නොදන්නා දුර්ඝයකට වී වියෝ දුකින් වැලපෙන සුන්දර තරුණිය ගැන සිතන්නට සැහෙන කාලයක් වැය කරන්නට ඇත .සමහර විට මොබින්ටත් වඩා මම ඈට පෙම් කරා වන්නටද පුළුවන .

45 comments:

  1. පිටස්තරයෙක්ට ඇතුල් වෙන්න බැරි වුනත් පිටස්තරින් ආදරේ ඇතුල්වුනු ගමක්.. ! මීට කලින් අහලම නැති විදිහක ගමක්.

    ReplyDelete
    Replies
    1. අර උන්මාද චිත්‍රාගේ කතාවේදී වගේ ආදරේ කරන එක කොහේ හංගලාවත් වළක්වන්න බෑ නේද ?

      Delete
  2. //සමහර විට මොබින්ටත් වඩා මම ඈට පෙම් කරා වන්නටද පුළුවන//

    ක්‍රිකට්, දේශ සීමා නොදුටු මිතුරුකම්, සංස්කෘතිය, ගෝත්‍රික වාදය සහ ආදරය ඔක්කොම ගැන හැඟීම් අවුස්සන එහෙත් කෙටි ලිපියක්. +++++++++++++++++

    ReplyDelete
  3. අමුතුම කතාවක් නේ.. ෆිල්ම් එකක් හදන්න හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පැතුම් මේ වගේ කතා තියෙන ෆිල්ම් හැදිලා ඇති කියල

      Delete
  4. //මොන . එයා ඇවිල්ල අම්බලමේ ඉඳන්ම කතාබහ කරලා අමුත්තා පිටත් කරන්න ඕනි . ගමට කිසිම පිටස්තරයෙකුට ඇතුළු වෙන්න බෑ .// මේ ගමට ගිහිල්ලා බලන්නම හිතෙනවා. :)

    එක කෙල්ලෙකුට කොල්ලෝ කීයක් ආදරේ කරලාද නේ? හින්දි චිත්‍රපටියක් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මේ ගමට ගිහිල්ල බලන්න මටත් ආසයි මෙඩුසා

      Delete
  5. Replies
    1. ඒකනේ. මේ අපි ජීවත් වෙන ලෝකෙමද කියල හිතෙනවා

      Delete
  6. ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, වැනි රටවල අදටත් මෙවැනි කුඩා ග්‍රාම රාජ්‍ය පවතිනවා. ඒ රටවල තිබෙන දැවෙන ප්‍රශ්න අතරේ, මේවා නිකම් සුළු දේවල් විතරයි. නමුත් මේ ග්‍රාම රාජ්‍ය නායකයන් නීතිය පිළිබඳ ආධිපත්‍යය තමන් අතට අරගෙන තිබීම භයානකයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන තවදුරටත් හදාරන්න කැමතියි . ස්තුතියි විචාරක

      Delete
  7. ඔය කියන විදියට ඒ ගම ජෙනටික් මාළු ටැංකියක් නේ!
    ඇයි ඉතිං ගමේ උං, ගමේ උංවම එක්ක විතරනේ දරුවන් හදන්නේ!!!

    ReplyDelete
    Replies
    1. මේ ගම්වල සීමා මායිම් අවුරුදු සීයකට වඩා තියෙන්න නැතිව ඇති කියල හිතෙනවා. නැත්නම් ජෙනටික් මාළු ටැංකිම තමයි

      Delete
  8. ///ඒත් අර සිද්දියෙන් පස්සේ මට ගම එපා වුනා . එහෙන් පිටමන් වෙලා ආවේත් ඒකමයි. ///
    මම හිතන්නේ ගැහුවා කිව්වට, එතන ගැහිල්ලට වඩා වැඩි දෙයක් වෙන්න ඇති...
    බොහෝ දුරට අර කොල්ලව ගහල මරන්නත් ඇති...
    නැත්තං ගහපු එකක් නිසා ඔක්කොම එපා වෙලා ගමත් දාල එන්න හේතුවක් තියෙන්න අඩුයි, තනි තනියෙන් ඉන්නකොට හොඳ මිනිස්සු උනත් සමුහයක් උනාම ගැම්මට ගිහින් ඒ වගේ දේකට පෙළඹුනා වෙන්න පුළුවන් නේද...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වගේ දෙයක් අනුමාන කළා ලොකුපුතා . එහෙම නෙවෙයි කියල හිතන්න වැඩිපුර උත්සහ කළා

      Delete
  9. හරි අමුතු කතාවක්.. එ ගම බලන්න අසයි....

    ReplyDelete
    Replies
    1. ඒ ගම බලන්න යන්න කැමති කට්ටියක්ම ඉන්නවා වගේ නේද ? . අපි බලමු උත්සහ කරලා

      Delete
  10. https://www.youtube.com/watch?v=O3Hhf5INtvk

    ReplyDelete
  11. ඇත්තටම මේක නම් හරිම අමුතු කතාවක්..

    ReplyDelete
    Replies
    1. අමුතු ගමක්. අමුතු කතාවක්

      Delete
  12. ලාහෝර්...... කතා ගොඩක් හැන්ගිච්චි තැනක්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගොඩක් කතා අපට අහන්න විදිහක් නෑ

      Delete
  13. "ගමේ වැල ගමේ කපුටන්ට" කියලා හිතාගෙන හිටපු තරුණයෙක්ගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතල ගමේ වැල එපා කියල අත්ඇරලා ආපු කෙනෙක්

      Delete
  14. හිතේ මැවුණා ඒ අපූරු ගම.

    ReplyDelete
    Replies
    1. වසිලිස්සාට කවි නිමිත්තක් වේවා!

      Delete
  15. දුක හිතෙන කටහ්වක්. හැබැයි ඔහොම් ගම් ගැන අහල තියනවා. ඇෆ්ගනිස්ථානයේ.

    ReplyDelete
    Replies
    1. අජිත් , ඇෆ්ගනිස්තානේ තමයි මේ වගේ දුර්ඝ ගම්මාන වැඩිපුර ඇත්තේ

      Delete
  16. Thank u uncle...!
    Lassanai..! Godak..!
    Podi film ekk baluwa wage..

    Uncle langadi enawada..?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව. ළඟදීම ලංකාවට එන්නයි ඉන්නේ

      Delete
  17. හිතාගන්නවත් බැරි විදිහේ කතාවක්. ඇත්තටම පුදුමයි. දුකයි. ඊට පස්සේ ඉතින් ඒ කෙල්ලට මොකො දන්නේ නෑ උනේ?

    ReplyDelete
    Replies
    1. පුදුමයි වගේම නොදන්නා කතාව ගැන අහන්න කෙනෙකුත් නෑ

      Delete
  18. ගොඩාක් දේවල් කියවෙන පුංචි සටහනක්.

    ReplyDelete
  19. කණගාටුදායක සිදුවීමක් වුනත් ලස්සන කතාවක්... කොහොම වුනත් ඒ වගේ ගම්මානෙක නම් වැරදිලාවක් උපදින්න නරකයි!

    (ඔය කියන හැටියට එහෙට අඩුම තරමේ මොබයිල් ඩේටා වුනත් අදිදන්නෙ නැතිව ඇති :D)

    ReplyDelete
    Replies
    1. ගමෙන්මේ එලියට ගිහිල්ලා නැත්නම්ම් මේ මිනිස්සු තමන්ගේ ගම ගැන එච්චර අසතුටෙන් හිතන් නැතිව ඇති සමහර විට . මොබයිල් සර්විස් එහෙමනම් දැන් ඇති. මේ බොහොම පරණ කතාවක්නේ

      Delete
  20. ඔය වගේ අපි කවදාවත් දැකලා නැති, අහලා විතරක් තියන කතා වලත් අපේ ප්‍රේමවන්තියෝ කී දෙනෙක් ඇත් ද නේද?

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ කියවපු කතාවල හිටිය ප්‍රේමවන්ත ගෑනු ළමයි අපිට කවදාහරි හම්බවෙයි කියලත් බලාහිටියා කාලයක්

      Delete
  21. හරි අමුතු කතාවක් ඒත් ඒකෙ මහ ලොකු සංවේදීකමක් තියෙනවා. අහිමි වීම් ගැන හිමි කරගන්න බැරි කම ගැන..

    ReplyDelete
    Replies
    1. මේකත් අපට ලංවෙන්න බැරි ඒත් නුදුරේම තියෙන 'අනිත් කොනේ' කතාවක් නේද ?

      Delete
  22. උඹට හරිම සුන්දර මිනිස්සු හම්බවෙනවා තිලකේ. මට ඊරිසියාත් එක්ක. අපි ලඟත් පකිස්තානෙ කොල්ලෙක් ඉන්නවා ඌ නමට පක්කෙක් ඉපදිලා තියෙන්නෙත් මෙහෙ. ජීවිතේටම පකිස්තානෙට ගිහිං තියෙන්නෙ ඒක පාරයි ඒකත් විසා ඒක වෙනස් කරගන්න උවමනා නිසා මම බලෙන් ඇරියා. වැඩේ පොඩ්ඩක් ඇදුනා ඒ ගමන ඌ එහෙ ඉඳන් මට මෙසේජ් කරනවා ඉක්මනට ගෙන්න ගත්තෙ නැත්නං ඌ මැරෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අපි හිතන්නේවත් නැති මිනිස්සු ළඟ මේ වගේ සුන්දර කතා තියෙනවා බං. සමහරවිට අපි ළඟම ඉන්න කෙනා ළඟ වෙන්න පුළුවන්

      Delete