Monday, May 21, 2018

ස්ටීව් ජොබ්ස් එහෙම කියල නෑ !

ලංකාවට ඉන්ටෙට් එන්නට ඉස්සර ෆේස්බුක්  ට්විටර් ,ස්වීටර් ආදිය නොතිබු කාලෙක අපේ ගමේ කඩ  මණ්ඩියේදී මේ වගේ පුවතක් ගැන කතා බහ වුනේය .

"මහනුවර දළදා වීදියේදී  පරණ පුස්කොල පොතක පිටු  සංචාරකයින්ට විකුණමින් ඒවායේ ඇත්තේ බුදුන්ගේ අත් අකුරු බවට මුසා දෙඩු වංචාකර වීථි වෙළෙන්දෙක් පොලිසියෙන් අල්ලා ඇත   '

හොර තක්කඩි නොසන්ඩාලයාට ගමේ ගොඩේ ආච්චිලා පවා   බැන වැදුනේ මේ අසත්පුරුෂයා  බුදු හාමුදුරුවොත්   විකුණන් කනවා  කියාගෙනය. ඉන්ටනෙට් නොතිබූ ඒ කාලයේ මිනිසුන් අදට වඩා විචාරශීලී වුනා යැයි මට සිතේ. පත්තරවල දැනුම මිනුම තීර පළවූ අතර ළමුන්ගේ  විද්‍යා පැනවලට උත්තර දෙන ආචාර්ය උපාලි එම් සේනානායක, බුද්ධදාස බෝධිනායක, තුසිත මලලසේකරලා වැනි අය නිතොරම විද්‍යා ලිපි ලිව්වෝය. ආචාර්ය ඊ ඩබ්ලිව් අධිකාරම්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නෝ සරල සිංහලෙන්  විද්‍යා දැනුම ජනතාවට බෙදා  දුන්නෝය. ඔවුන්ගෙන් උගත් එකල කුතුහලයෙන් පිරි පරම්පරාව දැන් අපේ සමවයස් ඇත්තෝ වෙති. අවාසනාවට කරුණනම් දැන් දැන්මේ  දැන උගත්  පරම්පරාවම  තොරතුරු ලබාගන්නේ සයිබර් අවකාශයේ  විහිලු තහළු නිර්මාණය කරන්නන් නැත්නම් ලනු දෙන්නන් වෙතින් වීමය.   මට මෙය තේරුම් ගත නොහැකි විසංවාදයකි .

මා මුලින් කී පුස්කොල පොත් සිද්දියේ  ඇත්ත  බොරු මා නොදන්නා මුත් අද  වගේ දියුණු ඉලෙක්ට්‍රොනික යුගයක  පුස්කොල පොතක පිටු හොරෙන් ගලවාගෙන 'Lord buddha's hand writing' කියා කවුරුන් හෝ හොර දෙටුවෙක්  විකිනුවොත් කවරෙකු හෝ  එම පුස්කොල ඉරුවෙහි  සේයා රුවක් ගෙන සාදු සාදු කියා හෙඩිමකුත් දමා මුහුණු පොතේ බෙදා හරිනු ඇත . එය දහස් ගණනින් ෂෙයාර් වනු ඇති බවත්  උගත් නුගත් සැදැහැවත්තු මේ බුදුන්ගේ අත් අකුරුමයි කැට තියා  පිලිගනු ලබනු ඇති බවත් ඉන්තේරුවෙන්ම කියන්නට පුළුවන . ඒ ගැන කුඩා විචිකිච්චාවක් හෝ මතු කරන කෙනෙක්  සිටිත්නම් ඔහුව  මඩු වල්ගෙන් තලා යම පුරයට යවන්නට විශාල සෙනගක් එක්කාසු වෙනවා ඇත  .

ඒ පුර්විකාව කියන්නට මට සිද්ද වුනේ ඇපල් සමාගමේ හිමිකරු වශයෙන්  2011 දී මියගිය ස්ටීව් ජොබ්ස්   ගැන කතාවක්  ලියන්නට තෙපර බාද්දීය .

පහතින් පලවන්නේ  මේ අවුරුද්දේ ජනවාරි මාසේ ජාතික පුවත් පතක පළවුනා යැයි කියා මුහුනුපොතේ සංසරණය වූ සටහනකින් කොටසකි  . ඒ ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේදී සිය ජීවිතය ගැන ප්‍රශ්චස්තාප වූ ආකාරය ගැන කියවෙවෙන ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනයයි.
(උපුටා ගැනීම ) 
මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.
එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.
මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.
අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.
ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.
ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.
අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.
මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.
දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.
මා විසින් උපයා ගත් අසීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.
අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.
ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.
මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?
ඒ ගිලන් ඇඳයි..
ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.
නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.
ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.
අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.
එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.
ඔබට ආදරය කරන්න.
ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.// ( උපුටා ගැනීම අවසන් )
ඉහත විස්තරය මා කියවූයේ මිතුරන්ගේ මුහුණු පොත් සටහන් වලින් නිසා මුල් ලිපියට සබැඳියක් දෙන්නට නොහැකි වීම  කනගාටු වෙමි .
මේ සටහන මුලින්ම කියවූ හැටියේම මට හිතුනේ අඩේ මේක බොරුවක් වෙන්න බැරිද, ස්ටීව් ජොබ්ස් එහෙම කතාවක් කියයිද කියලාය . මගේ සෙවුම් බැලුම්වලින් හෙළිදරව් වුනේ ඉහත සටහන e -rumors වර්ගයට අයත් ලණුවක් බවයි. කේශ ධාතු දන්ත ධාතු ගැන මෙන්ම, අඩුම වයසින් උපාධිය දිනු ලක් දරුවන් ගැන පවා පින්තුර සමග ප්‍රචාරය වන බොහෝ පුවත් මේ ආකාරයේ e -rumors ගණයට වැටේ. ඒවාට ඉලෙක්ට්‍රොනික කටකතා කියනවට වඩා ඉලෙක්ට්‍රොනික බහුභූත කියා හැඳින්වීම හොඳය. අපේ රටේ තරමක් හෝ දැන උගත් මිනිසුන්  මේ ඉලෙක්ට්‍රොනික බහුබුත බෙදා හදා ගන්නට පෙර ගුගල් සෙවිල්ලක්  හෝ කර ඇත්ත නැත්ත පොඩ්ඩක් සොයා බලන්නේ නම්  ලොකු  පිනකි.

ස්ටීව් ජෝබ්ස්ට සම්බන්ධ කිසිම පුද්ගලයෙකු විසින් සනාථ නොකරන ලද ඉහත ප්‍රකාශය ස්ටීව් ජොබ්ස් මියගොස් වසර හතරකට පසු කවුදෝ බ්ලොග් අඩවියකට ලියු ප්‍රබන්ධයක්  බව දැනට ඇති පිළි ගැනීමයි.

තමන් ධනය සෙවූ ආකාරය ගැනවත්  , ජීවත් වූ රටාව ගැනවත් ස්ටීව් ජොබ්ස් කිසිදා කළකිරී නොසිටි බවත් ඔහු ජීවිතයෙන් ලද එකම සතුට ධනවත් වීම පමණක්  නොවන බවත් ඔහු ගැන කියවන ඕනෑම කෙනෙකුට වැටහී යනු ඇත . අප සමහරවිට ධනවතුන් යැයි හඳුනන්නේ ජාවාරම්කාරයන් හෝ දේශපාලකයන් කිහිප දෙනෙක් ගැන පමණක් වන්නට පුළුවන. නිර්මාණශීලීව ව්‍යාපාර දියුණු කළ , සිය ගණනකට රස්සා ලබා දුන්   දෙස් හා  විදෙස් බොහෝ  ධනවතුන් සිය ජීවිතය අර්ථාන්විතව ගත කොට තිබේ. කලාවට, සමාජ සේවයට හා විනෝද වීමට කාලය වෙන්කරගෙන තිබේ. ඉසුරුමත් බව ඉස්සරහ දොරෙන් එනවිට ගුණ යහපත් කම පෑළ  දොරින් පැන යන කතා තව දුරටත් වලංගු නොවේ.  

ඉහත කී බොරු ලිපියෙන් බැලු බැල්මට හානියක් නොමැත . එය ලියා ඇත්තේ අප කැමති වට්ටෝරුවෙන්ය. නරක දෙයක් කියන්නෙත් නැත .

එහෙත් ලෝකය ජයගත් අති සුවිශේෂ ව්‍යවසායකයෙකුගේ ජීවිතයෙන් ගත හැකිව තිබෙන පුළුල් ආදර්ශ ටික මේ  අකාරයෙන් අනේ  පනේ ගෑම නිසා මගහැරී යාම නම් අපරාධයකි .

Carmine Gallo කාමයින් ගැල්ලෝ නම් දේශකයා ස්ටීව් ජොබ්ස් ගෙන් උගත හැකි ප්‍රධානම ආදර්ශ හතක් ගැන ලියා තිබේ. 

  1. ඔබ ආශා කරන දේ කරන්න . රැකියාව හෝ ව්‍යාපාරය  තමන් කැමැති ආශා කරන දේවල්  වූ විට ඒවා  අර්ථ සම්පන්නය .  ( එහෙම කියන ස්ටීව් ජොබ්ස් ජීවිතය ගැන  පසුතැවිලි වෙමින් සිටි බව කටකතා කාරයෝ පසුව ලියා තබති. ලෝකය ඉදිරියට ගෙන යන්නේ නිරාශාව නොව ආශාව නිසා බව ස්ටීව් ජොබ්ස් නොකියා කියයි )
  2.  විශ්වයේ සලකුණක් තබන්න. ඔබ ලෝකයේ ජීවත් වූ බවට විශ්වයේ සටහනක් එකතු වන විදිහේ වැඩ කරන්න . පරසිද්ද බීම සමාගමක සබාපතිගෙන් ස්ටීව් ජොබ්ස් වරක් අසා තිබුනේ ඔබ   හැමදාම පාට වතුර විතරක් විකුනනවාද  නැත්නම් ලෝකය වෙනස් කරන්නට හවුල් වෙනවාද යන්නය . 
  3. සම්බන්ධතා ගොඩ නගන්න - නිර්මාණශීලීත්වය යනු නොයෙක් දේ තර්කානුකුලව සම්බන්ධ කර අපුරු යමක් හඳුන්වා දීමයි. ව්‍යවසායයෙක් නිර්මානශීලී මෙන්ම මේ සම්බන්ධතා ගැන පළල් අදහසක් ඇති අයෙක් විය යුතුය. යුතු  ජීවන අත්දැකීම් සහිත විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගේ සම්මාදම ලබාගත් විට අප හිතන්නේ නැති , අපට මගහැරෙන අංශවල සම්බන්ධයක් අපගේ කාර්යයට එකතු කර ගන්නට පුළුවන . මැකින්ටොෂ් පරිඝනකය නිපදවීමට පෙර ස්ටීව් ජොබ්ස් විසින් සමහරුන්  නිෂ්ප්‍රයෝජන කටයුත්තක් යැයි සිතු  චාරු ලේඛය ගැන හැදෑරූ බව සඳහන් වේ .
  4. නෑ බෑ කියන්නට පුරුදු වෙන්න . සාර්ථක ව්‍යවසායකයෙකුට සමහර දේට නැත කියා කියන්නට සිදු වනු ඇත . නැතිනම් බැහැ කියා කියන්නට සිදුවනු ඇත. දැනට ලාබෙට විකුණමින් පවතින ධනාත්මක චින්තනයට ප්‍රතිවිරුද්ධ කතාවක්  වුනත් සත්‍යය එයයි. 1997 දී ඇපල් සමාගමට යලි සම්බන්ධ වුණායින් පසු ස්ටීව් ජොබ්ස් විසින් එහි අලෙවි  කෙරෙමින් තිබු නිෂ්පාදන 350 කප්පාදු කර දැම්මේ හරියට අවධානය යොමු කළහැකි වඩා කාර්යක්ෂම කණ්ඩායම්වලට  බාර දිය හැකි නිෂ්පාදන දහයක් පමණක් ඉතිරි වන පරිදිය. 
  5. නව්‍යකරණය ගැන වැඩිපුර හිතන්න. නිරන්තරයෙන් හිතන්න . සෑම පාරිබෝගික සේවාවකදීම නවමු අත්දැකීමක් ලබා දෙන්නට උත්සහ කරන්න 
  6. දෙන පණිවිඩය හොඳින්ම  ලබා දෙන්න- මොන තරම් ශ්‍රේෂ්ඨ අදහස් තිබ්බත් එය අවශ්‍ය පුද්ගලයාට තේරුම් කිරීමට නොහැකිනම් ඉන් පලක් නැත . ස්ටීව් ජොබ්ස් ලොව සිටි ඉතා සාර්ථක වාණිජ සන්නිවේදකයෙකු සහ දේශකයෙකු වුනේය 
  7.  හුදු නිෂ්පාදන වෙනුවට සිහින විකුනන්න  . - අති සංකීර්ණ, අතීශය වැඩි දියුණු කරන ලද මෙවලමක් වුව එය පාවිච්චි කරන්නාට හුරුබුහුටි එකක් නොවනතාක් එය  වෙළඳපල ජය ගන්නේ නැත . පාරිබෝගිකයා  හිතන්නේ  තමන් ගැන සහ තමන්ගේ සිහින ගැන මිසක් නිෂ්පාදක සමාගම ගැන නොවේ. ඇපල් සමාගමේ අයි පෑඩ් වැනි  නිෂ්පාදන කුඩා  ළමයින් පවා ආකර්ෂණය කරගෙන ඒවා වෙත බැඳ තබා ගන්නට සමත් වී ඇත්තේ මේ චින්තනය නිසාය.
ඉහත සටහන පවා e-rumor වර්ගයේ එකක් බවට කවුරුන් හෝ සොයා ගතහොත් මම පුදුම නොවෙමි . එහෙත් සාර්ථක ව්‍යවසායකයෙකුගේ ජීවන දර්ශනය මුලින් උපුටා දැක්වූ කතාවට වඩා දෙවැන්නට සමීපවන බව මම අවබෝධයෙන් දනිමි.  

-තිලක සිත බ්ලොග් අඩවියට අදට පස් වසරක් පිරේ . 
සමහර නිහඬ කාල වකවානු හැරුනුකොට අවුරුදු පහක් තිස්සේ මම මේ බ්ලොග් අඩවියේ මොනවා හෝ කුරුටු ගාමි. තිලක සිත කියවන නිබඳව මා දිරිගන්වන මගේ මිතුරු මිතුරියනි ඔබට මගේ  ආදරබර ස්තුතිය.

කතන්දර නොවන විද්‍යා හා දැනුම මිනුම මුසු ලිපි මාලාවක් ලිවීමට මමත් මගේ දෙටු දියණිය දෙව්නිත් අලුත් බ්ලොග් අඩවියක්  පටන් ගන්නේ අදය. එය තාමත්සි ළදරු බ්ලොග් අඩවියක් වන සිලිකන්  වැල්ලයි . මේ ඉහතින් පලවන්නේ සිලිකන් වැල්ලේ පළ කරන්නට සිටි ලිපියකි. මේ ආකාරයේ ලිපි අපට විවේක ලැබෙන හැටියට එහි ලියවෙනු ඇත . ඊට අමතරව තිලකසිත දිගටම  කතන්දර කියනු ඇත .


44 comments:

  1. පස්වන උපන් දිනයට වගේම සිලිකන් වැල්ලටත් සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකෝන්. අපි ලියමු !!

      Delete
  2. e-rumors thora bera genimata apohasath samajayaka api wesemu. Awasanawata karuna nam, Mulin sadhan goruwa adarshamath uwada bohomayak ase nowimai...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන්නම් ඇත්ත බොරු තෝරා ගන්න බැරි විදිහට පැටලිලා තියෙන්නේ . බොහොම ස්තුතියි

      Delete
  3. මුහුණු පොතේ අන්තර්ජාල ඕපාදූප දැකලා එපා වෙලා ඉද්දි ඔබ ඒ ගැන මෙවැනි පැහැදිලි කිරීමක් කිරීම දැකීම සතුටක්... පස්වන වසරට සහ අලුත් බ්ලොග් කට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු . මේ ගැන කාලයක් තිස්සේ ලියන්න හිතන් හිටියා . දැන්නම් තත්වේ දරුණුයි

      Delete
  4. අහලා තියෙන විදියට නම් සිලිකන් කියන්නේ බොහොම වටිනා ඛනිජයක්.ඒ "සිලිකන් වැල්ල"ටත් මේ "තිලක සිතට"ත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. සිලිකන් = වැලි කියායි මා නම් දැන ඉන්නේ.

      Delete
    2. සිලිකන් වල සංයෝග තමයි වැලිවල වැඩියෙන්ම තියෙන්නේ. පෘථිවි කබොලේ ඔක්සිජන් ඇරුනම වැඩියෙන්ම තියෙන මුල ද්‍රව්‍යය සිලිකන්

      Delete
  5. ඔබට සුබ පැතුම්.
    දියණියගේ බ්ලොග් ආගමනය ගැන ඉතා සතුටුයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රසික . දුව බ්ලොග් ගැන ඉගෙන ගනිමින් ලියනවා

      Delete
  6. හපොයි ඉන්ටර්නෙට් එකේ තියෙන බොරු ගැන මිනිස්සුන්ට කිසි හැඟීමක් නැති එක නම් කතා කරලා වැඩක් නෑ... ඕක හැබැයි ලංකාවට විතරක් නෙවෙයි අනිත් රටවලත් තියෙන අවුලක්..

    හැබැයි අපේ මිනිස්සුන්ට තියෙන ලොකුම අවුල නම් මෙන්න මේක නොතේරෙන එක.
    [ඉසුරුමත් බව ඉස්සරහ දොරෙන් එනවිට ගුණ යහපත් කම පෑළ දොරින් පැන යන කතා තව දුරටත් වලංගු නොවේ]

    හොඳ ලිපියක් අයියේ..

    සිලිකන් වැල්ලත් බලන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මේ හිතන විදිහේ අවුල ලිහා ගත්තොත් අපේ රටේ ප්‍රශ්න අඩු වෙයි කියල මට හිතෙනවා . බොහොම ස්තුතියි මල්ලි

      Delete
  7. සුභ පැතුම් තිලකේ... ඒ වගේම දුවගේ බ්ලොග් ආගමනයටත්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර .දුවගේත් ස්තුතිය

      Delete
  8. පස්වන උපන් දිනයට තිලක සිතට වගේම සිලිකන් වැල්ලටත් සුබපැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි

      Delete
  9. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_96.html

    ReplyDelete
  10. Replies
    1. බොහොම ස්තුතියි ලක්මාල්.

      Delete
  11. https://www.telegraph.co.uk/news/2016/09/05/stop-saying-shakespeare-invented-so-many-phrases---he-cribbed-mo/


    සුබපැතුම් !

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ප්‍රා . ඒ ලින්ක් එකෙන් ගොස් ලිපිය කියෙව්වා

      Delete
  12. ඕවානම් මොනාද මෙයා හැමදාම අපි ගිහින් කතිරෙත් ගහන්නේ...
    අපි ‍රැවටීමටම උපන්නෙමු.

    පහට සුබ පැතුම් !

    සිලිකන් වැල්ල පැත්තෙ ගිහින් එන්නම්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ චන්දෙදි රැවටෙන් එකනම් අපේ ජන්ම ගතියනේ . බොහොම ස්තුතියි සෙන්නා

      Delete
  13. මඩසෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියා රොබට් නොක්ස් කියා නැත. ඔහුගේ පොතේ මුල් පිටපත pdf download කර කියෙව්වෙමි. එහි ඇත්තේ ඔය කතාව එකල සිංහලයන් අතර තිබුන කියමන් අතර එක කියමනක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. එතකොට එයා "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා" කියලා කියලත් නැද්ද ? :D

      Delete
    2. අනුන් කියපු ගොඩක් දේවල් අපි කැමති විදිහට වෙනස් කරගෙන තියෙනවා .

      Delete
  14. වසර පහක Blog ලිවිමට සුබ පැතුම්. 'සිලිකන් වැල්ල' බලන්නත් මතක තියා ගන්නවා. ස්ටීව් ජොබ්ස් ගැන තබා ඇති සටහන පාඨක ඇස් ඇරවිම සඳහා හරි වැදගත්. මුහුණු පොතේ බොහෝ දේවල් කිසි වැදගැම්මකට නැති ඒවා බව පේනවා. එ ලියන බොහෝ අය විවිධ ක්ෂේස්ත්‍ර වල සිටින අයගේ අතකොලු බවට පත්වෙලා අනවශ්‍ය විකාර e-rumors ලියනවා.
    //අපේ රටේ තරමක් හෝ දැන උගත් මිනිසුන් මේ ඉලෙක්ට්‍රොනික බහුබුත බෙදා හදා ගන්නට පෙර ගුගල් සෙවිල්ලක් හෝ කර ඇත්ත නැත්ත පොඩ්ඩක් සොයා බලන්නේ නම් ලොකු පිනකි.//
    ඔබ සඳහන් කර ඇති පරිදි මේ අය ඉදිරි පියවරක් තැබුවොත් ඔය බහුබුත අඩුවේ යයි සිතිය හැකියි. පිට රටවල සිටින බොහෝ අය ඔය කියන 'බහුබූත' කියවා රට ගැන වැරදි වැටහීමක් ලබාගන්නා එක නම් අභාග්‍යයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා මහත්තයා . ඇත්ත නීරස නිසා මිනුස්සු වැඩියෙන් කැමති ලූනු ඇඹුල් දැමූ බහුබූත කියවන්න

      Delete
  15. වසර පහක රසවත් බ්ලොග්කරණයට සුබ පැතුම්!! එසේම දියණියගේ බ්ලොගත් පියාගේ මෙන්ම රසවත් එකක් වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. රසට ලියන්නම් අපට විවේකය අවශ්‍යයි අනෙක් බ්ලොග් හා පොතපත කියවන්න අවශ්‍යයි . ඉතාම අවාසනාවන්ත විදිහට ලංකාවේ රස්සා කරද්දී , ඉගෙන ගනිද්දී අපි අවිවෙකියි . ඒ නිසා මේ ටිකේ ලියන ඒවා ටිකක් රහ අඩුයි . ඒ ගැන සමා වෙයන්

      Delete
  16. BLOG එකට අවුරුදු පහයි කියන එකනං E-RUMOR එකක් වෙන්න බෑ මං හිතන්නේ. දැන් ඉස්කෝලේ යන්න වයස හරි එහෙනං , සුබ පැතුම් මල්ලී :P

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉවාන් බ්ලොග් ලෝකේදී මගේ අයියා තමයි. ඒ වුනත් බ්ලොග් එක අප්ඩේට් නොකිරීම ගැන මගේ බලවත් මෙව්වා එක. බොහොම ස්තුතියි අයියේ

      Delete
  17. මේ... සිලිකන් වැල්ල ගංවතුරට යට වුනා දෝ?

    ReplyDelete
    Replies
    1. නෑ මේ පෝස්ට් එකේ තියෙන ලින්ක් එකෙන් බලන්න . නම පොඩ්ඩක් එඩිට් උනා එක වෙන්නැති www.siliconwella.blogspot.com

      Delete
  18. පස් අවුරුද්දක් බ්ලොග් ලිව්වා කියන එකම සෑහෙන ජයග්‍රහණයක්. සුබ පැතුම්! පස් වසක් සපිරෙන තිලක සිතටත් දූගෙ බ්ලොග් ආගමනයටත්.

    ඊයෙ සිලිකන් වැල්ල කියෙව්වා තරුරසී දාලා තිබ්බ ලින්ක් එකෙන්. නොදන්නා ගොඩක් තොරතුරු දැනගත්තා. ස්තූතියි! දූට

    ප. ලි. අර ගොඩක් කාලෙකට කලින් පාඨකයන්ට ලබාදුන් පොරොන්දුව (කී වෙනි මහළද කියලා මතක නෑ) තාම ඒ මහලෙන් බිමට බැහැලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳ වියමන් .දුවගේත් සතුට හා ස්තුතිය පළ කරන්න කිව්වා ඔබට .
      මමනම් පරක්කු වෙලා හරි පොරොන්දු ඉටු කරනවා. සිලිකන් වැල්ල බ්ලොග් එක පටන් ගන්නවා කියල පොරොන්දු වුනේ 2016 දී . අටවිසි මහල ගැන පොරොන්දුවත් ඉටු කරනවා .
      ඒක නෙවෙයි සඳවියමන බ්ලොග් එක අරෙහෙ පුරන් වෙලා නේද ? සාත්තුවක් දීලා ගන්න ආයෙමත්

      Delete
  19. අප බොහෝ විට කරන්න අපහසු දෙයක් නම් ඍජුවම "බෑ" නොකියා එය තනුක කර "බලන්නම්" "උත්සාහ කරන්නම්" "මොකක් හරි කරගමුකෝ" වැනි වාක්‍යයකින් පිළිතුරු දීමට පුරුදු වී ඇති බැවින් හතර වෙනි කාරනය වන "නෑ බෑ කියන්නට පුරුදු වෙන්න" බොහෝ විට ලාංකික සංස්කෘතියට ටිකක් ඈත දෙයක් බව මට නම් හැඟේ. නමුත් අප කෙලින්ම නෑ බෑ කියන්නට පුරුදු වීම අනිවාර්යෙන්ම උගත යුතු පාඩමක් බවද මම සිතමි.

    ReplyDelete
    Replies
    1. අදාළ වෙලාවට කෙලින්ම නෑ බෑ කියන්න පුරුදු වුනාම කෙටි කාලීන පාඩු සුද්ද වුනත් දිග කාලීනව සැසි සිද්ද වනවා . එක අතකට එය හිතේ සැනසිල්ලට හේතු වෙනවා

      Delete