අද මාලබේ සිට කඩුවෙල පැත්තට යනවිට පාරේ වම් පැත්තේ බයිසිකල් ලේන් එකක් සලකුණු කොට තිබෙනු දුටුවා. මෙය ඉතා සතුටු හිතෙන දැක්මක්. ඒත් එක්කම බයිසිකල් හා සම්බන්ධ වූ කතා වැල නොකැඩී මතක මං පෙතේ ඉදිරියට මතු උනා .
වරක් මගේ මිතුරෙක් බයිසිකල් ගැන කිව්වේ වත්තල පැත්තේ හිටි දොස්තර කෙනෙක්වත් සිහිපත් කරමින්.
'මචන් ඉස්සර මමයි නෝනයි ළමයි දෙන්නයි අතරින් එකෙක් හරි හැමදාම සෙම වැඩි වෙලා අසනීප වෙනවා . සතියකට දෙතුන් පාරක් කාටහරි බෙහෙත් ගන්න අර කියන දොස්තර ගාවට යනවා .මෙහෙම මාස ගානක් ගියාම දොස්තර දවසක් අහනවා මිස්ටර් ගාව රුපියල් හාරදාහක් විතර ගන්න තියෙනවද කියලා. ඒ කාලේ එක වතාවක දොස්තර ගාස්තුව රුපියල් දෙසියක් විතර තමයි වුනේ . මම පුදුමෙන් වුනත් සල්ලි හොයා ගන්න පුළුවන් කිව්වා"
"එහෙනම් මෙන්න ඇඩ්රස් එක. අද හෙටම මෙතනට ගිහිල්ලා ඔය හතර දෙනාට බයිසිකල් හතරක් ගන්න. එතැන තියෙනවා රටින් ගෙනාපු රීකන්ඩිෂන් බයිසිකල්. හොඳ එකක් රුපියල් දාහකට විතර ගත හැකියි.
උදේට හවසට ගෙදර හතර දෙනත්තෙක්ක බයිසිකල් රවුමක් පදින්න . මටනම් බිස්නස් පැත්තෙන් පාඩු වෙයි . ඒත් කරලා බලන්නකෝ "
"මචං අපි එදාම ගිහින් බයිසිකල් හතරක් ගෙනාවා ළඟ පාත පාක් එකකට දාලා හැමදාම බයිසිකල් පදින්න පටන් ගත්තා. සෙම දොස්තර හම්බවෙන්න ආයේ යන්න ඕනි වුනේ නෑ '
සිද්දියේ විද්‍යාත්මක පැත්ත මම දන්නේ නැතිමුත් ලෝකයේ බොහෝ රටවල බයිසිකල් පැදීමට දිරි දෙන්නේ සෞඛ්‍යමය හේතු මෙන්ම පාරිසරික හේතු නිසා. ලෝකයේ මොන තරම් අලුත් සොයා ගැනීම තිබුනත් බයිසිකලය කියන්නේ අපූරු නිර්මාණයක් .
ස්ටේෂන් අසලින් කුලියට හෝ නොමිලේම ගන්නට තිබෙන බයිසිකලයක් තමන්ට ඕනෑම ගමනක් ගොස් නියමිත බයිසිකල් නැවතුමක රඳවා යන්නට වෙනත් දියුණු රටවල අවකාශ සලසා තියෙනවා. මැලේසියාවේ බයිසිකල් කුලියට ගැනීම සඳහා මොබයිල් ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා .
මෑත දවසක මට දැන ගන්න ලැබුනා මාදිවෙල පාරේ බයිසිකල් ණයට දෙන තැනක් ගැන. එතෙර රැකියාවක් කර හරි හම්බ කරගත් මුදලින් මේ බයිසිකල් සැපයුම් හල පවත්වාගෙන යන සොඳුරු මිනිසා ගැන කිහිප දෙනෙක් මට කියා තිබෙනවා. ඔහුගෙන් බයිසිකල් ඉල්ලාගෙන ගිය සමහරුන් ඒවා රැගෙන අතුරුදන් වී තිබුනත් ඔහු තාමත් සේවාව සපයන්නේ නොමිලේ බව ආරංචි උනා.
ලබන සතිය දිහාවට ඔහු බලන්නට යන්නට ඕනි.
අද ගෙදර යන ගමන් පාන් ගෙඩියක් මිල දී ගන්නට ඕනෑ වී සුපර මාකට්ටුවක් දෙසට වාහනය හැරවුවා. ඒත් එක්කම ඔවිනි විසින් අම්මාට දෙන ලද පැහිච්ච උපදෙසක් සිහියට ආවා . " අම්මේ ඔයාට ගන්න ඕනි පොඩි දෙයක්නම් ඔය ලොකු මාකට්වලට යන්න එපා පොඩි කඩේකට යන්න. මොකද අම්මා ගන්න ගිය එකට වඩා තව හතර පස් වර්ගයක් අරන් සල්ලි වියදම් කරගෙන තමයි එතනින් එලියට එන්නේ" .
මේ අතරේ වෙනදා යන සුපිරි වෙළඳ සැලේ බඩු තෝරා ගැනීමේදී මුහුණ දෙන ගැටළුවක් ගැන ඔවිනිලා අම්මා වරක් දෙවරක් මට පැමිණිලි කර තිබෙන්නේ මේ විදිහට .
" බලන්න අනේ මේකේ මොනවත් හොයල ඉක්මනට බඩුවක් ගන්න බෑ . රාක්ක සැරින් සැරේ මාරු කරනවා. ගිය සැරේ තුනපහ තිබ්බේ පිටිපස්සේ රාක්ක පේලියේ දැන් ඉස්සරහටම අරන්. ඒ අස්සේ අර සබන් එව්වා මේවා කෙළවරකට දාලා "
" ඕවා කරන්නේ ඔයාලාගේම රුචි අරුචි කම් බලල තමයි "
" ඒ කොහොමද ?"
"මෙන්න මෙහෙමයි " මට මෑත කාලේ මගේ IT මිතුරෙක් කියූ විස්තරයක් මම හොයා ගත් දෙයක් ලෙස දිග ඇරියෙමි
" දැන් මේකනේ ඔයාලා ඔය හැම මාකට් එකේම කස්ටමර් කාඩ් එකක් කියල දෙනවනේ. ඒකට පොයින්ට් වැටෙනවා. ඉතිරි සල්ලි වැටෙනවා වගේ පොඩි වාසි අපට ලැබුනට මේ ෂොප් වලට හොඳ තොරතුරු මහා ගොඩක් ලැබෙනවා. මිනිස්සු බඩු ගන්න රටාව . සතියේ ඒ ඒ දවසට වැඩිපුර විකිණෙන දේවල්. වේගයෙන් ඉවර වෙන දේවල්. නැවත නැවත ගන්න පෙළඹෙන්නේ මොනවද? එක පාරක් විතරක් අරන් නිකා ඉන්නේ මොනාද ඔය සේරම විස්තර .
"ඒවා අරගෙන මේ මාකට් චේන් අයිති සමාගම් විවිධ උපාය ක්‍රම කිර්යාත්මක කරනවා. ඒ වගේ ගන්න එක පියවරක් තමයි මාස කීපයකට සැරයක් රාක්ක පිටින් මාරු කරන එකත් '
"තව ඔයා දන්නවද දැන් දැන් මිනිස්සු වැඩිපුර ගන්නේ සැශේ පැකට් . ග්‍රෑම් පනහේ කිරිපිටි පැකට් අරන් ඒ වෙලාවට විතරක් කිරිතේ හදන මිනිස්සු ඉන්නවලු "
.
ඇය පුදුමෙන් බලාගෙන හිටියා . ඒත් අපි ආයෙත් මතක් කර ගත්තා මීට අවුරුදු ගානකට ඉස්සර ගමේ කඩේ රුප රාමු .
තේ කොළ අවුන්ස බාගයක් , සීනි රාත්තල් කාලක්. පොල් තෙල් කාලක්, පරිප්පු රාත්තල් අරික්කාලක්. මේ මිනිස්සු නිතරම කඩෙන් ගත්තු දේවල් වල කිරුම් මිනුම් පරිමාණ.
අපේ ගමේ කඩේ සල්ලි ලාච්චුව ළඟ තංගුස් නුලක් එල්ලලා තිබ්බා . ඇයි දන්නවද ? සබන් කපන්න.
' සල්ලයිට් බාගයක් දෙල්ල මාමේ" කියාගෙන රූන් රූන් කියාගෙන කඩේට ආපු කොල්ලන් හිටියා , ඒකත් පොතට .
මුදලාලිගේ ණය පොත අර බිග් ඩේටා එකතු කරන කාඩ් එක වගේ . එක එක ගෙවල් වලින් ගන්න බඩු වර්ග. ණයට අරන් පරක්කු කරන උන් ගැන විස්තර ඒකෙ තියෙනවා . මුදලාලි නිකන් ඉන්න හැම වෙලේම කරන්නේ ඔය පොත අරන් එහෙට මෙහෙට පෙරළමින් කල්පනාවට වැටෙන එක .
ඒ කාලෙ සුන්දරයි කියා සිතන යාලුවන්ට කියන්න සුබාරංචියක් තියෙනවා. සමහර ආර්ථික ගුරුන් අනුමාන කරන විදිහට අපි ආපහු ඒ (ණය) යුගයට පිය මනිමින් ඉන්නවා.
2018 නොවැම්බර් 21 - දිනපොතේ අනාගතය
කත්‍යානා අමරසිංහ කියන්නේ
පුවත්පත් කලාවේදිනියක්. නවකතා හා පරිවර්තන පොත් කිහිපයකම කතුවරිය. මුලින්ම
විදුසරෙන් පිටියට පිවිසි ඇය ලක්බිමේ මංජුසාව අතිරේකය සංස්කරණය
කරමින් සිටියා හරිම අපූරුවට.
2016 වසරේදී
ඇයට ඕනෑ වුනා අලුත් විදිහේ විද්‍යා හා තාක්ෂණ තීරු ලිපියක් ලක්බිම මන්දාකිණියේ පළ කරන්න . ඒ
සඳහා ඈ මට ආරාධනා කළා . "අයියේ අර 'අසඩක්ගේ දිනපොත ' වගේ දින සටහන් වුනත් හොඳයි ".
අසඩක්ගේ දිනපොත කියන්නේ 1993-94 විතර
කාලේ විදුසරේ පළවෙච්ච තීරු ලිපියක්. රචකයා අසෝක ඩයස්. ඒ දින සටහන් හරිම සරල සිත් ගන්නා ආකාරයෙන් අසෝක ලිව්වා. ( ඒ දින සටහන් එකතුව 95 වසරේදී පොතක් වශයෙන් පළවුනා)
මම සිලිකන් වැල්ල නමින්
සති හත අටක් ලියාගෙන ගියේ ක්ත්යානාගේ ඇරයුමෙන් බිහි වූ ඒ තීරු ලිපිය. ඒක අසඩක්ගේ දිනපොත වගේ මටසිලිටි එකක්නම් නොවෙයි. තරමක් දිග හෑලි. මගේම විදිහ. ලිපිය වඩා හොඳින් ලියවා ගැනීමට ඇය ගත් වෙහෙස හරිම ප්‍රසංශනීයයි . පස්සේ කාලෙක සිලිකන් වැල්ල බ්ලොග් අඩවිය පටන් ගත්තේ මේ විදිහේ ලිපි දිගටම ලියන්න හිතාගෙන.
ඉතින් ලබන සතියේ ඉඳන් මගේ දින සටහන් ටික සිලිකන් වැල්ල බ්ලොගයේ ලියන්නට තීරණය කළා. මීට වඩා කෙටි සරල රටාවකට .
තිලක සිතට පරණ පුරදු ඉස්ටයිල් එකේ කතන්දර කියන්නට ඉඩ තබමින් .....
තිලක සිතට පරණ පුරදු ඉස්ටයිල් එකේ කතන්දර කියන්නට ඉඩ තබමින් .....
Photo by Dewni
කමෝන් කොල්ලා ෆෝම් වෙලා ලියාගෙන යමු මල්ලියේ
ReplyDeleteතෑන්ක් යු නොනවතින චියර් පාරට . අදත් ලියනවා ඒ නිසා
Deleteඔය Big Data සීන් එක තමයි හැම තැනම වෙන්නේ. කොටින්ම කිව්වොත් මං දැනට කරගෙන යන මගේ ආචාර්ය උපාධියේ පරේෂණයත් මේකට ටිකක් සම්බන්ධයි.
ReplyDeleteබොහොම සන්තෝෂයි නාඩි මලේ. ඔය ලබා ගන්න දැනුමෙන් අර්ථවත් සේවයක් රටට ලෝකෙට වෙන බව ෂුවර්
Deleteඅනාගත ලෝකයේ ප්ලැටිනම්,රත්තරන් වල තැන ගන්නේ බිග් ඩේටා කියල තමයි කියන්නේ... දැනටත් ඒක පෙන්නුම් කරනවා. අලුතින් මේ පරිගණක අංශ වල රැකියාවන් වලට එන අයට හොඳ මාවතක් ඩේටා සයන්ස් කියන්නේ...
ReplyDeleteසබන් බාගේ නුලෙන් කපන් මාත් අරං ගිහින් තියෙනවා රුං ගාල ටයර් එකක් එළවගෙන ඇවිල්ල... හෙහ් හෙහ්..
ඔව් මේ බිග් ඩේටා සීන් එක ඔස්සේ අපිව දැනටම අලෙවි වෙමින් තිබෙනවා . ඒ වගේම බොහෝ දෙනෙකුට හොඳ අවස්ථාත් ඒ නිසා මතු වෙලා තියෙනවා
Deleteඔය සුපර් මාකට් හැම තැනම වැහි වැහැලා. මුලු සුපර් මාකට් ජාලයටම බඩු දෙන්න එයලා මහාපරිමානයෙන් අරගන්නවා එක නිසා එක සබන් කෑල්ලටත් තේ කොල 100ටත් ඩිස්කවුන්ට් දෙන්න පුලුවන්. ඔය වැඩෙන් පොඩි කඩ කාරයින්ගේ බඩේ පාර වැදුනා. ඉදිරියේදි සිල්ලරකඩ වැහිලාම යාවි.
ReplyDelete//ඉදිරියේදි සිල්ලරකඩ වැහිලාම යාවි// සමහර විට මේ සිල්ලර කඩ හිමියන්ට ජාලගත සුපර් මාකට් හදා ගන්න පුළුවන් වෙයි. මේ වෙළඳපල ගතිකය හැම විටම නරක දෙයක් වෙන්නේ නෑ
Deleteසිලිකන් වැල්ලේ ලියන ලිපිත් බලන්නට පුල පුලා ඉන්නවා.
ReplyDeleteබොහොම ස්තුතියි දයා මහත්තයා . සිලිකන් වැල්ලේ ලියන්න මම බොහොම උනන්දුයි. ඒත් විද්‍යාත්මක යමක් ලියනකොට කතන්දරයක් ලියනවට වඩා කියවන්න වෙනවා . පරෙස්සම් වෙන්න වෙනවා.
Deleteලස්සන වියමනක් .... තිලක වැඩ රාජකාරි දාහක් අස්සෙ ලියන එක ලේසි නැහැ . ඒත් මට නම් දැනෙන්නෙ ඔබේ ලියවිලි අව්‍යාජ විදිහට . ඊලග දවස් හත කියවන්න අහස් ගව්වෙන් එහා ඉදගෙන බලාගෙන ඉන්නවා .
ReplyDeleteස්තුතියි අනුරුද්ධ. දැන් මම කල්පනා කරමින් ඉන්නේ දවස් හත මේකේ ලියනවද අනිත් බ්ලොග් එකේ ලියනවද කියල . කොහොමත් ලියනවා
Deleteවාව්. සුභ පැතුම් සිලිකන් වැල්ලට
ReplyDeleteතැන්කිව් එකක් . සිලිකන් වැල්ලේදී සෙට් වෙමු
Deleteසිලිකන් වැල්ල ‘විදුසර‘ටත් ලියන්න පුළුවන්නම් වටිනවා නේද?
ReplyDeleteදුව වගේම තාත්තත් නැවත විදුසර පිටු අතරේ අපට හමුවේවි !
ස්තුතියි ප්‍රභාත්. දැන් ඒ ගැන හිතමින් ඉන්නවා .කොහොම උනත් මේ වෙනකොට ලියන්න සෑහෙන දේ එකතු කරගෙනයි ඉන්නේ
Deleteඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .
ReplyDeleteඅපේ යාළුවන්ගේ උදව්වෙන් මේ වැඩේ කරමු . ඒ ගැන හොයලා කියන්නම් අනුරුද්ධ .ජය !
Delete