Saturday, December 22, 2018

ඔහේ කවුපි ගන්නවැයි ?

උඩවලවේ ජලාශය-
ඩවලවේ වැව් බන්ට් එක දිගේ ගිය ගමනක් ගැන සිලිකන් වැල්ලේ ලිව්වා . එහෙම යද්දී පරණ සිද්දියක් මතක් වී තනියම හිනා ගියා. මේ දුටු ඔවිනී මගෙන් ඇහුවා "ඇයි තාත්තේ තනියම හිනා වෙන්නේ" . ඉතින් මම කතාවේ කොටසක් ඇයට කිව්වා . මේ කතාවේ ඇයට නොකීව කොටස .
කාලෙකට   ඉස්සර මම ඇඹිලිපිටි කරදාසි කම්හලේ පුහුණුවකට ආවා. මටයි අපේ බැචා පොඩි බමුණුටත්  මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් . ඒ දශක කීපයකට ඉස්සර .  ඒ වෙද්දී කරදාසි කම්හලේ නිෂ්පාදන කෙරෙනවා. ඒ කතන්දර මම පත්තරේටත් ලියලා තියෙනවා .

බැචාටත් මටත් නවාතැන් හම්බුනේ කරදාසි කම්මලට අයත් ගෙස්ට් හවුසියේ . එය හොඳම තත්ත්වයේ නවාතැනක් . මෙහිම නවාතැන් ගත් තව කිහිප දෙනෙක් හිටියා . ගර්කින් සහ කෙසෙල් වගා කරන සමාගමක සේවය කළ මිතුරන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්නාට තිබ්බ විවිධ උන වර්ග නිසා අපි නම් දෙකක් දාලයි තිබ්බේ ඩෙංගු සහ සහලෝලා කියලා .  ඒ දෙන්නා  හරිම ක්රියාශීලීයි. වැඩ, වලි , සිරා ටෝක්.කෙළවරක් නෑ.

ඒ කාලයේ මම ඉරිදා හවස බණ්ඩාරවෙලට ඇවිත් එතනින් කොළඹ බස් එකක රතන්පුර තිබ්බ බමුණුසින්හලා ගෙදරට යනවා . බමුණුගේ  අම්මාගේ ආදර සැලකිලි ලබමින්,  තාත්තාගේ පොරටෝක් හා රස කතා අසමින් රාත්‍රිය ගත කොට අපි පහුවදා පාන්දර බස් එකේ ඇඹිලිපිටි යනවා.  යද්දී හම්බවෙන ගම් නගර නාමවල පවා තිබ්බේ අමුතු රසයක් .  පැල්මඩුල්ල, කෙටේතැන්න , කහවත්හ, වැල්ලඳුර, ගොඩකවෙල, කොළඹගෙආර  . ..

සිකුරාදා ආපහු ගෙදර යනකොට මම තෝරා ගත්තේ ඇඹිලිපිටි ඉඳන් උඩවලව වැව් බන්ට් එක දිගේ තණමල්විලටත් එතැනින් වැල්ලවාය හරහා බණ්ඩාරවෙලටත් යන මාර්ගය.
උඩවලවේ ඉඳන් තණමල්විල පාර ඒ දවස්වල හරිම දුෂ්කරයි. බස් ඉතාම අඩුයි , වැව් බන්ට් එකෙන්  එහාට හද්දා දුෂ්කර ගම්මාන. ඉලුක් හෙවිල්ලු වරිච්චි ගෙවල්  තැනින් තැන තිබුනා .පෙට්ටි  කඩයක් හෝ දෙකක්  තිබුනා .

සෙවනගල උක් පර්යේෂණ ආයතනය ඉදි කරන්න අපේ අයියාගේ හොඳම යාලුවෙක් වූ කරු අයියා ඇවිත් හිටියා. ඔහුට පරණ නිල නිවෙසක්ද තුබුණා. එක සිකුරාදාවක් හවස ඔහුගේ නවාතැනේ ගතකර සෙනසුරාදා පාන්දර උඩවලවේ බන්ට් එක උඩට ආවේ තණමල්විල බසයක් අල්ලා ගන්නයි.

පැය බාගයක් විතර හිටියාට බස් එකක් නැති පාටයි. ඒත් ඒ හරියෙන් කොළඹින් බඩු පටවා ගත් ලොරි කීපයක්ම ගියා. මේ ලොරිවලත් ඉඳ හිට මගීන් එකෙක් දෙන්නෙක් ගමන් කළා. ඒ නිසා අපි ලොරි වලටත් අත දැම්මා .

එක කුඩා ලොරියක් නතර කළා . රියදුරා විතරයි . බුරුස් රැවුලක් තියෙන හිනා වෙන්නේ නැති කෙනෙක්.
' තනමල්විලටද යන්නේ? කරු අයියා ඇහුවා /
බුරුස් ඔව් කිව්වේ  අංග චලනයෙන්.
' මේ අපේ මල්ලී  තණමල්විලෙන් බස්සලා යන්න පුලුවන්ද. ගානක් දෙන්නම් '
බුරුස් ' හ්ම්" කිව්වා  .
මම ලොරියේ වම්පස අසුනෙන් ඉඳගත්තා. යනගමන් මම ඔහුව කතාවට අල්ලා ගන්න හැදුවා .
කොළඹ ඉඳන්ද එන්නේ ?
'ම්හු'  කිව්වා
එහෙනම් රත්නපුර  ඉඳලද :
'හ්ම්'
මට දුක හිතුනා . අනේ ගොළු මනුස්සයෙක් . මමත් එතනින් එහාට අතින් පයින් පොඩි පොඩි කතාවක් කරැගෙන මේ ගොළු හිතවතා එක්ක දිගටම යනවා.

ඔහොම ලොරිය ටික දුරක් ගිහින් . පාලු තැනක තිබ්බ කඩයක් ගාව නැවැත්තුවා. වට්ටක්ක ගෙඩි ටිකක්. ඉරිඟු , කුරක්කන්  වගේ ඇට පිරිච්ච කුඩා බක්කි කීපයක් ඇරෙන්න කෙහෙල් කැනක්වත් ඒ කඩේ තිබ්බේ නෑ.
ඒත් කඩේ ඇතුලේ හිටි මුදලාලි හාමිනේ පුෂ්ටිමත් මෙන්ම පැහැපත් එකියක් වුනා . අපේ රියදුරා දුටු හැටියේම ඇගේ මුහුණ පිපී ගියා .

ඔහු ලොරියෙන් බැස්සා . මෙන්න කතා කරන්න බැරි මිනිහා මහා හයියෙන් අහනවා .
" අලුත් කවුපි ආවේ නැතෙයි ?
"ආවා අවා එන්ඩ එන්ඩ අයියා
 ඇය කීවා . බුරුස් කඩේට ගියා . කඩ බක්කිය අද්දර ඔහේ කතා කර කර හිටි  දෙදෙනාම ටික වෙලාවකින් මගේ දර්ශන පථයෙන් ඈත් වුනා වගේ  දැනුණා  .

මම තනියම කල්පනා කරනවා. මාර තොප්පිය මේ යකා කොච්චර වෙලා මෙතන ලගියිද දන්නේ නෑ . බැහැලා යන්න  හැටියකුත් නැතියෙන් මම ඔහේ බලාගෙන හිටියා. මට පොඩි නින්දක් ගිහින් ඇහැරෙනකොට බුරුස් බුලත් විටකුත් එහෙම  කාලා පොඩි හිනාවක් දාගෙන එනවා අත් දෙකම වනමින්.

මම  එක පාර මෙහෙම ඇහුවා  . ( ඒ වෙනකොට මම මාතර ඇඹිලිපිටි කටවහරට හුරුවෙමින් හිටියේ )
" ඔහේ කවුපි ගත්තේ නැතෙයි ?"
අපේ යාලුවා කතා නොකරම ලොරිය මදක් ඉදිරියට පදවා ආපහු වේගය අඩු කර මගේ දිහා බැලුවා . ඒ බැල්මේ තිබ්බේ මෙහෙම එකක් .

' ඔහේ කවුපි ගන්නවැයි?



සේයාරුව : දෙව්නි
_
සිලිකන් වැල්ලට මෙතනින් යන්න 





23 comments:

  1. එහෙනම් ඒක තමයි කලින් ඉඳන් අකමැත්තෙන් ඉන්න ඇත්තෙ 'ඔහේ' ලොරියට නැග්ග එක ගැන. :)

    ඔය වගේ දේවල් වලට බාධා කරන්න හොඳ නෑ, පවු සිදු වෙනවා. ඒ නිසා ප්‍රමාද වුණු එක ගැන විස්තර හොයන්නේ නැතිව නිදාගනිපු එක හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. ඔව් නින්දෙන් විතරයි කාටවත් කරදරයක් නැත්තේ

      Delete
  2. කව්පි කතාව තේරෙන්න නම් ටිකක් වෙලා ගියා ඒක නෙමෙයි අර ගොළු බාසාවෙන් කතා කරපු එක ගැන පොර මොනත් කිව්වෙ නැද්ද දන්නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා හිත යටින් හිනා වෙන්න ඇති. එත් මූනේ නම් හිනා පොදක් දැක්කේ අර විට කකා ආපහු එද්දී විතරයි

      Delete
  3. බොහොම රහට ලියල තියනවා. ඇති බුරුසුවා ඔහේව ලොරියෙන් එලියට තල්ලු නොකලා :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ තල්ලු කරානම් මෙහෙම ලියන්න වෙන්නේ නෑනේ

      Delete
  4. /"අලුත් කවුපි ආවේ නැතෙයි ?
    "ආවා අවා එන්ඩ එන්ඩ අයියා"/
    මට පෙනෙන හැටියට මේක අදහස් හුවමාරු කරගැනීමේ රහස් භාෂාවක්.
    මමත් රත්නපුර වැඩ කරන කාලේ, මෝටර් බයිසිකලයක යන යාලුවෙක් සිටියා, ඔය කියන පැත්තෙන් මුරුංගා, වියලි මිරිස් වගේ දේවල් නිතරම ගෙනෙනවා. එහේ ඔය වගේ දේවල් සාමාන්‍ය සිද්ධි.

    ReplyDelete
    Replies
    1. ඒ භාෂාව ඉගෙන ගන්න වටිනවා දයා මහත්තයා

      Delete
  5. තිලක සිතට මේ රහස් භාෂාව වැටහිලා ඊට පස්සේ කව්පී ගන්න ඒ කඩේද ගියාද කියන එකනම් අපිට දැනගන්න වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හමු වූ වෙලාවක කියන්නම් ඉයන්

      Delete
  6. ඊට පස්සෙ තිලකෙත් අලුත් කවුපි ගන්න ඒ කඩේට ගියාය කියලයි ඒ පැත්තෙ මිනිස්සුනං කියන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නේ නැති පැත්තක්යැ? හැක්.

      Delete
  7. කදිම සටහනක්. පිට පලාත්වල සුලබ සිද්දියක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ

      Delete
  8. ආ තිලකේ කව්පි රහද ?

    ReplyDelete
    Replies
    1. ඔය මනෝජ් දීලා තියෙන්නේ උත්තරේ

      Delete
  9. ඔහෙත් කව්පි ගත්තැයි

    ReplyDelete
    Replies
    1. ඔහෙට මක්කෙටැයි ඒ වගක් ?

      Delete
  10. ඔය කියන කාලෙ මාත් උක් පර්යෙෂණයේ TA විදියට වැඩ කලේ.කරුවාට එහේ ආපු ගමන් ඉන්න තැන් හොයා දී උදව්කලා.කිත්තා මා හිටපු ගෙදර ටත් ඇවිත් ගියා.ඇයි මල්ලී අපි දෙන්නා හමු උනේ නැත්තෙ.(ඔය පැත්තේ කව්පී සීන් හොඳට තියෙනවා.රස්නෙ වැඩි කමට ලේ ගමනාගමනය වැඩි හින්දා වෙන්ඩෑ😂😂😂😂

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඒ කාලේ උඩවලවේදී අපි හම්බුනානම් තව කතාවක් දෙකක් ලියන්න තිබ්බ්බා

      Delete
  11. අද කියෙව්වේ. අර ගෑනු මනුස්සයා ආවා ආවා එන්ඩ එන්ඩ අයියා කියු විදිය මැවී පෙනේ

    ReplyDelete
    Replies
    1. jp කොහොමත් චිත්ත රූප මවන්න දස්සයානේ

      Delete