Monday, May 25, 2020

අටවිසි මහල 14- සිල්වාට පහර දුන්නේ කවුද ?


කොටස් වශයෙන් පලවන අටවිසි මහල නව කතාවේ 14 වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්


නොඉවසිල්ලෙන් කවරය ලිහා බැලුවද ලියුම හිතු තරම් දිග එකක් නොවීය

දයාබර  මහත්තයා වෙතටයි,

මහත්තයා කොච්චර කිව්වත්  නම කියා කතා කරන්නට මට බෑ.  සමහරුන් මෙන් අයියා කියන්නට් හිතෙන්නේ නැති නීසාත් මහත්තයා  අකමැති වුනත් දිගටම  මහත්තයා කියා කතා කිරීමට අවසරයි  .

මහත්තයා  එදා වරකාපොලදී හමු නොවුනානම් මම මේ ලියුම නොලියා ඉන්නත් තිබ්බා . මම කැම්පස් තේරිලා ඉන්නා බව කලින් නොකීවේ හේතු කාරනා කීපයක් නිසයි.  ඇත්තටම අම්මාත් වජිරා ටීචත්  ඇරුණුකොට මම ඉන්නේ කොහෙද කියල කාටවත් කියන්න  මට  වුවමනාවක් නෑ. මම දැන් ඉන්න තැනවත්  ඉස්සරහට ඉන්න තැනවත් ඔය කවුරුවත් දැන ගන්නේ නැති එක මට සහනයක් .

මහත්තයා පළමුවෙන්ම මුණ ගැහිච්ච දවසේම මට ඔය තැන්පත් කමට ලෝබ හිතුනා . ඉන් පස්සේ පස්සේ ටිකක් ලොකු බැඳීමක් වුනේ ඒකම තමයි . ආයේ හංගන්න දෙයක් නෑ මහත්තයාත් මා ගැන ලෙංගතු බව මම දන්නවා . එදා බුකියේ රේස් තුන්ඩුවක් ලියන්න මහත්තයා පෑන  අතට ගන්න කොට මට ලොකු හිතේ දුකක් ඇති වුනා .   එදා දැක්ක දවසෙම  වුනත් මහත්තයා හොඳ කෙනෙක් කියලා තේරුණ නිසා. මේ සූදුව කියන්නේ අපායක් . මහත්තයා ඒකෙන්ගැ ලවෙන්න ඕනි . ඒ වගේමයි මගේ ලෝකය කියන්නේ මහත්තයලගේ පැත්තෙන් බලද්දී  අපායක් . මහත්තයා මගෙනුත්  ගැලවෙන්න ඕනි. ඒක ඉල්ලන්නයි මේ ලියුම ලියන්නේ  .

අපි හම්බ වෙච්ච කීප වතාවේ මට තේරුනා මහත්තයා මගේ ජීවිතය ලස්සන දිනපොතක නැතිනම් කෙටි කතාවක ලියන්න කැමැත්තෙන් ඉන්නවා කියල. ඒත් මනෝ මහත්තයා ඔය පොත්වලට ගන්නේ අපේ ජීවිතේ මතු පිටින් පේන මහා බොරුවක් . අපේ දුක සැප ඔය කියන දේට වඩා වෙනම විඳවිල්ලක්. සමහරවිට මහත්තයට කවදා හරි මේ කතාව තේරෙයි . ඒත් අපි අතර තියෙන ගැලපීම් වලට වඩා නොගැළපෙන දේවල්  ලොකුයි නේද මහත්තයා . බොරු  කියන්නේ මොකටද මම මහත්තයාට ආදරෙයි. ඒත් ඒක නැති වෙන්න මුලක් වෙන්නේ අපි ආයේ හම්බුනොත් වෙන්න තියෙන දේවල්ම තමයි . ඒ නිසා කවදාවත් මාව මුණ ගැහෙන්න එන්නේ නෑ කියල මහත්තයා මට පොරොන්දු වෙන්න . කලින් හිටියා වගේ  වෙන රටකට ගිහිල්ලා අර ලස්සන  අම්රිතා නෝනත් එක්ක හොඳින් ඉන්න. ඒ නෝනාගේනම් තියෙන්නේ අමුතු ලස්සනක් මහත්තයා . ඒ වගේම කාටවත් බය නැති හොඳ කෙනෙක් වගේ මම දැක්කේ .

අපේ පළමු වැනි වාරේ වැඩ අමාරුවක් නෑ . මෙහෙ  තියෙන නවක වදේ මටනම් මෙලෝ තේරුමක් නෑ. ගංවතුර  කාලෙට රෙදි පොට්ටනි ලට්ට ලොට්ට උස්සාගෙන ඇවිල්ලා ගාලු පාර අයිනේ දවල් රෑ ගානක් ඉටි රෙදි පොරවාගෙන  හිටපු අපව රැග් කරන්න පුලුවන්ද මහත්තයා ? ඒත් සමහර වෙලාවට හිත රිදවීම් වැඩියි. උඹේ  ගම කොහෙද? ඉස්කෝලේ කොහෙද ? තාත්තා මොනවද කරන්නේ ? අම්ම මොනවද කරන්නේ ? කියල අහන එකත් මට හිරිහැරයක්. වජිරා ටීචර් කියපු නිසා මම පානදුර ඉස්කෝලෙදි මා ගැන කිව්වේ බොරු විස්තරයක් . එතකොට මම ටිකක් ලොකුයි. බොරු කියන්න ඕනි වුනේ ඇයි කියලා මම දැනගෙන හිටියා. ඒත් ඩෙංගු හැදිලා සති දෙකක් ඉස්කෝලේ නොයා  ඉන්නකොට ගෙදර හොයාගෙන ආපු පන්තියේ යාළුවො නිසා මම නරක මුඩුක්කු ළමයෙක් බවට රෙජ්ස්ටර් වුනා .  ඒ තත්වේ මට පේරාදෙණියේදී උදා කර ගන්න බෑ.
ඒත් මට එක වෙලාවකට හිතෙනවා  මේ  විස්තර හාර  හාර අවුස්සන සීනියර් කෙල්ලෙකුට හරි කොල්ලෙකුට හරි  හොම්බට දෙකක් ඇනලා ගෙදර එන්න .

ඒ අතරේ යාලු වෙන්න අහන කොල්ලොත් ඕනි තරම්. අන්තිම අවුරුද්දේ කොල්ලෙක් වුනත් මට පෙන්නේ මට වඩා බාලයි බොළඳයි කියලා. මම වයසට වඩා මෝරලා වගේ නේද මහත්තයා  . ඒ නිසා මට දැම්ම ඒ වගේ දෙයක් හිතේවිද දන්නේ නෑ. මහත්තයාට මම එදත්  කිව්වා වගේ මට වියදමට සල්ලි එවන්න කරදර වෙන්න එපා. වජිරා ටීචර් මට උදව් කරනවා.  මහපොලයි ඒ සල්ලියි මට වැඩිපුරත් එක්ක ඇති . මම මාස තුනකට විතර පාරක් ගෙදර එන්න හිතාගෙන ඉන්නවා. ඒත් මේ කැම්පස් එක එක හේතු හහින්දා මාස දෙක තුනකට වතාවක් වහනවලු .

මෙහෙ පරිසරේ ලස්සනයි . ඒක මට දරා ගන්න අමාරුයි. මම ජීවත් වෙච්ච පරිසරෙත් එක්ක තියෙන පරතරේ වැඩිද මන්දා ?
මම හොඳින් ඉන්නවා. අපිට හොස්ටල් එකේ නම  සංඝමිත්තා . අපේ රූමි  සේරුවිල කාවන්තිස්සපුර කෙල්ලෙක් . උසස් පෙළ කරලා තියෙන්නේ කුරුණෑගල. එයාගේ පාඩුවේ ඉන්නවා. මම කැමතිම දේ තමයි මම කිව්වේ නැත්නම්  කිසි දෙයක් මගෙන් අහන්නේ නැති එක. මට ඉතින් එයාට කියන්න ඒ හැටි දෙයක් නෑ.

මහත්තයාට බුදු සරණයි

නෙතදරා


*****

ලියුම එක් වරක් පමණක් කියවුවාට පසු මනෝරන්ජන්ට  එහි ඇති සෑම අකුරක්ම වචනයක්ම  කට පාඩම් හිටියේය . ඒ නිසා ඔහු ලියුම  යලි  කවරය තුලට දමා සිය මේස ලාච්චුවේ අඩියෙන්ම තැබුවේය.
"ආයේ මේ ලියුම මට ඕනි වෙන්නේ නෑ . නෙතදරා කියන්නේ නොගැලපීමක් ගැන . මට හිතෙන්නෙම ඒ කියන්නේ ගලපීමක් ගැන . ආයේ හම්බ වෙන එපා කියන එකේම තියෙන්නේ අපි ඉක්මනට හම්බ වෙමු කියන පණිවිඩේ " .

ඉන්පසු ඔහු හාත්පස සිදුවන යුහුසුළු එහා මෙහා යාම් හා සාද සිරිය මුළුමනින්ම අමතක කොට ඉස්සරහ  පුටු කකුල් දෙක උස්සාගෙන පැද්දී පැද්දී කල්පනා කළේය. තමා  එකම වතාවක් පේරාදෙණිය සරසවිය ඇතුලට ගිය හැටිත් මොරටුවේ සිට දේශපාලන වැඩකට එහෙ ගියත් ඔහුට එදානම් එහි පරිසරය  ගැන මෙන්ම ප්‍රේමවන්තයන්  ගැන වත් පේරාදෙණිය පුරා පිපී තිබු ලස්සන රොබරෝසියා මල් ගැනවත් කල්පනා කරන්නට නොහැකි වුනේය. වරින් වර ඔහු කියවූ චිත්රපට කතාවල තිබු, මිතුරන්ගේ කතා බහේදී ඇසුණු පේරාදෙනි විස්තර නිසා එය  වෙනම ලෝකයක් වගේ ඔහුට පෙනුනේය.

මනෝරන්ජන්ගේ කල්පනා ලෝකය කඩා බිඳ හැලුනේ , නහයෙන් ලේ  පෙරාගෙන අඬාගෙන තමන් වෙත දිව ආ සිල්වා නිසාය. මේ වැඩිහිටි පුද්ගලයාගේ කඳුළු හා ලේ දැකීම නිසා මනොරන්ජන්  බඩේ ගින්දරින් දැවී ගියෙය.

" අසේල මහත්තයා මට ගැහුවා .මම ගෙදර යනවා මහත්තයා " කියද්දීම අසේල කන්තෝරුව දෙසට දිව එනු දුටු නිසා සිල්වා එතනින් පැන ඉවතට දිව්වේය.

අසේලගේ දැස් කේන්තියෙන් රතු වී තිබුනේය . ඔහු ඉදිරියට කඩා පිනූ මනොරන්ජන් කේන්තියෙන් වෙවුලමින් අසේලගේ කමිස කරෙන් අල්ලා තමන් වෙත ඇද ගත්තේය .

' තමුසේ මොන වසලයෙක්ද  ඕයි අර තමන්ගේ තාත්තා වගේ ඉන්න අහිංසකයට ගැහුවේ?  '  කියා ගිගුරුවේය .
අසේල හිස ඔසවා බැලුවේය .  එසැනින්ම එතනට දිව ආවේ අම්රිතා හා රිචර්ඩ්ය . මිස්කින් හා ගෝල පිරිස කන්තෝරුවට  මදක් ඔබ්බෙන්  රැස්වී මේ සිද්දිය දෙස බලා සිටියෝය .


-මීළඟ කොටස  -





Image Source : Guyana Times 

7 comments:

  1. වලියකුත් මේකට සෙට් කරපු එක හොන්දයි. ඒක අපේ අනන්‍යතාවය නේ.

    ReplyDelete
  2. ඇත්ත තමයි.වලියක් නැතුව කිසිම ගතියක් නෑ.

    ReplyDelete
  3. මනෝරංජන් වගේ වචන වලින් අදහස් කරන සැබෑ තේරුම තේරුම් ගන්න එකත් එක්තරා කලාවක්. ඊලඟ කොටස කියවන්න මඟ බලාගෙන ....

    ReplyDelete
  4. තිලකේ.. ලුනාව ප්‍රොජෙක්ට් එකෙනුත් මතක සටහන් එකතු කරගෙන කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete