මෙහි පලවන්නේ අටවිසිමහල නවකතාවේ දාහත් වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්
තමන් ගත් තීරණය පිලිබඳ දෙවරක් සිතා බලන්නේ නැතිව මනෝරන්ජන් අසුනින් නැගිට බිම් මහලේ වටයක් ඇවිද ගියේය. එහි සියලු මුක්කු හා සටරින් ගලවා ඇත . අලුත් සයිට් ඔෆීස් එක එහි කෙළවරක ඉදි වෙනු ඇත . ඇතුලත බිත්ති බැඳීමේ වැඩ පටන් ගෙනය .විදුලි හා ජල නල වැඩ කරන උප කොන්ත්‍රාත් කරුවන් දෙදෙනෙකු වැඩ අරඹා ඇත .
එතන ඒ හැටි බලන්නට දෙයක් නැත . හදිසියෙන් කරන්නට දෙයක්ද නැත. පිරිසිදුවට හොඳ විදිහට වැඩ ටික හෙමි හෙමින් කෙරීගන යයි. ඉන්පසු ඔහු අලුතින් දැමු කොන්ක්‍රීට් තට්ටුව බලන්නට ගියේයය. ඒ මත තෙත තුනී වතුර තට්ටුවක් රැඳෙන සේ හතර වටෙන් තාවකාලික සිමෙන්ති බදාම නියරක් බැඳ තිබුණි .
ඔහු හෙමි හෙමින් ගේට්ටුව අසල නවතා තබෙන සිය රථය වෙත ආවේය. ඔහුට රියදුරෙකු ලැබී තිබෙන බව සිහිපත් වුනේ ඒ වේලාවේය. ඔහුට ආයෙමත් රිචර්ඩ් ගේ වැඩ කටයුතු එකින් එක මතක් වීමෙන් මුවග සිනාවක් මතු වුනේය . සිල්වාගේ ආරෝව ඇති වූ දවසේ පටන් ඔහු අසේලගේත් තමාගේත් ආරක්ෂාව තහවුරු කරන්නන්ට ඇඟට පතට නොදනී මෙන් කළ දේ අතර තමාට නවාතැන මාරු කරන්නට සිදු වීම හා අලුත් රියදුරෙකු ලැබීමද විය .
රියේ දොර හතරම ඇරගෙන මුහුදු හුළඟ විඳිමින් ගුණසේන සැපට නිදාගෙන සිටී. ඔහු කුද්දාගත් මනෝ "යමු" යයි කීවේය. ඊළඟට සේකුරිටි කුටිය අසල බය පස්සපාතව සිටි මුරකරු හා ආවතේවකරු අමතා ' කවුරු හරි මාව හෙව්වොත් කියනවා ගමනක් ගියා එහෙම්ම බෝඩිමට යනවා කියල '
ඉන්පසු ඔහු අඟුලාන පාරේ ගමන් කරමින් සිටියේය. ෆෝචුන් බුකිය දුටු විට වහා යමක් මතක් වුනාක් මෙන් රිය නවත්වන්නැයි කීවේය . බුකිය තුලට ගියේය. අලුත් කෙල්ලන් දෙදෙනා හා තවත් එක් පාරිබෝගිකයෙකු පමණක් එහි සිටියේය. ඔහු මදක් වටපිට බැලුවේය. පෙර මෙන් මිත්‍රශීලී තැනක් නොවුනි. නෙත්දරා හා ඇගේ යෙහෙළිය සමග විවේකී වෙලාවට ඔහේ දොඩවමින් සිටි අතීත මතකය පමණක්ම විඳ වැඩි වෙලාවක් නොසිට යලි ආපිට හැරී ආවේය.
ආයෙමත් රිය හරවාගෙන ලුනාව පැත්තට යමු යයි කීවේය. නෙතදරා ගේ ගෙවල් තිබු වත්ත අසලට යද්දී කෙසඟ කළු ගැසුණු පුද්ගලයෙක් පාර හරහා දිව ගියේය ඔහුගේ අතේ මිරිකා ගත් පරණ මෝස්තරයේ කාන්තා අත් බෑගයක් තිබුනේය. ඔලුවේ හෙල්මට් දමාගත් අඹු සැමි යුවලක් ඔහු අසු පස මද දුරක් දිවවිත් හතිලමින් නතර වී එකිනෙකාට දොස් පවරා ගන්නා සෙයක් පෙනිණි .
' ඒකත් එකට අර මිනිහා මෝටර් සයිකලේ ස්ලෝ වෙද්දී ගෑණු කෙනාගේ අතේ තිබ්බ බෑග් එක උදුරාගෙන දුවන්න ඇති " මනොරන්ජන් නිදිමත රියදුරාට කීවේය.
තව දුරක් යද්දී පාර පටු වී ගෙවල් මණ්ඩිය එකිනෙකාට ගුලි ගැසී කෙට්ටු වී , දුර්වර්ණව සිටියේය. අවුරදු පහක පමණ පොඩි කොලුවෙක් සිය ජංගිය ගලවා ඔලුවේ දමාගෙන සිමෙන්ති කානුව දෙපැත්තේ කකුල් තබාගෙන මළපහ කරමින් සිටියේය. ඔහුට විහිළුවක් කරමින් අසලින් ගිය වැඩිහිටි කොල්ලෙකුට පොඩි එකා බැන වැදුනේය .
ජනේලයකින් උඩුකය එලියට දමා බලා සිටින රතු සල්වාරියක් ඇඳගත් තරුණිය දෙස ඔහු හිස ඔසවා බලා සිටියේය . ඈ වැඩිපුර පවුඩර් දමා තොල් තද රතු පාට කරගෙන සිටියාය . ගුණසේන රියේ වේග්ය අඩු කර මනොරන්ජන් දෙස බැලුවේය . ඔහු එපිට සිටි කාන්තා රුවද දුටුවේය.
' සර් නවත්තන්න ඕනිද ?'
' යමු යමු " මනෝරන්ජන් සැර දැම්මේය.
කලපුව වටේ පාරෙන් කැරකී යලිත් ගාලු පාරට දැමු රිය කෙලින්ම ඇදී ගියේ පිටකොටුව දෙසටයි.
' ගුණසේන දැන් නුවර ඉන්ටර්සිටි නවත්තන්නේ ගුණසිංහපුරේද ? "
" නෑ මහත්තයා මැනින් මාකට් එක පැත්තේ"
" ගුණසේන මාව එතැනින් දාල බෝඩිමට යන්න . වාහනේ එහෙ දාලා ගෙදර යන්න . මම නුවර යනවා එන්න ටිකක් රෑ වෙයි "
මනොරන්ජන් බස් නැවතුම්පල පැත්තට ඇවිද ගියේ ඒ හැටි උද්යෝගයකින් නොවේ. නෙතදරාගේ ගෙවල් පැත්තේ ගැසූ සවාරියෙන් පසු ඔහුගේ සිත ව්‍යාකුල වී තිබේ.
නුවර බස් නැවතුමේ දිග පෝලිමක් තිබේ . ඊට මදක් ඔබ්බෙන් හෙමින් අද්දන බස්රියේ පාපුවරුවේ එල්ලී ගැටයෙක් කෑ ගසයි.
'සීට් තියෙනවා නගින්න නගින්න දඹුල්ල , කැකිරාව අනුරාධපුරේ, පුරේ පුරේ... "
වහා ක්‍රියාත්මක වූ මනෝරන්ජන් නුවර ගොස් නෙතදරා දැක ගැනීමේ සිහිනයෙන් මිදී අනුරාධපුර බසයට ගොඩ වී හිස්ව තිබු අසුනක් සොයා ගත්තේය .
' දඹුල්ලට එකක් " ටික වෙලාවකින් තමන් වෙත ආ කොන්දොස්තරවරයාට ඔහු කීවේ පසුම්බිය අදින ගමන්ය .
වරකාපොලට යනතුරු ඔහු කල්පනා කරමින් සිටියේ නෙතදරා ගැනය . ඇගේ ගෙදර පිහිටි තැන හෝඩුවාවක් හොයා ගන්නට ඔහුට වුවමනාව තිබුනද අද ඒ පැත්තට ගිය ගමන ගැන ඔහුට සතුටක් තිබුනේ නැත .
ඉන්පසු මැල්සිරිපුරදී බසය තේ බොන්න නතර කරන තුරු ඔහු කල්පනා කරේ සිය ළමාවිය හා කෙටි සරසවි දිවිය ගැනත් , දෙවන වසරේ සරසවි සිසුවෙක්ව සිටියදී තමාට රටින්ම පලා යන්නට සිදු වූ පසුබිම ගැනත්ය . අම්රිතාගේ හමුව ගැන ඔහුට කල්පනා නොවුනා නොවේ. රසවත් කෑමක් ගනිද්දී රසම කොටස පසුවට තබා ගන්නාක් මෙන් ඔහු අම්රිතා ගැන කල්පනා කිරීම පසුවට කල් තැබුවේය .
දඹුල්ලට ආසන්න වෙද්දී මනෝරන්ජන් කල්පනා කලේ අසේල ගැනමය. ඔහු ගැන මනම්පේරි දුන් රෙකමදාරුව, ඉන්ටවිව් එක දවසේ රෑ පුරා ඔහුගේ ජීවිත කතාව අසා සිටි හැටි, ඉන් පසු දිනෙන් දින වැඩුණු ගරු සැලකිලි මුසු මිත්‍රශීලී කම. ජීවිතයට සුන්දර මතකයක් ඉතිරි කළ අසේලගේ ගමේ ගත කළ දවස . පළමු තට්ටුව දමා අවසන් වන තුරු හුරුබුහුටි ලෙස පැවරු වැඩ ටික මෙහෙය වූ හැටි . මේ සියල්ල සමග අවසානයේ ඔහු සිල්වා සමග ඇති කරගත් ආරෝව ගැන සිතද්දී මනෝරන්ජන් වරදකාරී සිතුවිල්ලකින් කම්පා වී ගියේය.
" අසේලට එහෙම වුනේ මම නිසා. මගේ බොළඳ වැඩ නිසා. හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සිල්වා වැනි දුර්ජනයෙක් වැඩට ගත්තේ මම , මේ වාගේ අවුල් ඇති වෙන්නට ඉඩ තිබෙන බව දැන දැනම නෙතදරා එක්ක පැටලුනේ මම "
දඹුල්ලෙන් බැස ත්‍රීවීල් එකක් අල්ලා ගත් ඔහු ගල් බොරළු පිරි පාරක් ඔස්සේ ගැස්සී ගැස්සී අලුතින් ඉදි වෙමින් තිබෙන ' ට්වයිලයිට්" හෝටලය සොයා යද්දී ඔහු කල්පනා කරේ අසේලගේ ආරක්ෂාව වෙනුවෙන් රිචර්ඩ් ගත් මේ පියවර මොන තරම් තීක්ෂණ එකක්ද කියලාය. කැට පහර කා උරණ වූ නයෙක් මෙන් සිල්වා සමහර විට අසේලට අනතුරක් කරන්නට ඉඩ තිබිණි . ඔහු ඒ තරම් නුගතෙකි, නොමිනිසෙකි . ඒ මදිවාට ඔහුට නන්දේ වැනි වත්තේ චණ්ඩින් සමග කුළුපගකම්ද තිබිණි .
හිතුවාට වඩා සෑහෙන වෙලාවක් ගත වී ඔවුන් කුඩා වැවක් අද්දර මනස්කාන්ත එළිමහන් භූමියකට ලඟා වුහ. ගල්තලාවේ කෙලවර සෑහෙන දුරට වැඩ නිමා වූ දෙමහල් හෝටල් ගොඩනගිලි දෙකක් තිබිණි. ඉදි වෙමින් යන ප්‍රතාපවත් ගේට්ටු කණු දෙක අසල කුඩා මුර කුටියක් ඔහු දුටුවේය . ඔහු ත්‍රී වීලයෙන් බැස හෙමින් හෙමින් මුර කුටිය දෙසට ඇවිද ගියේය . එතුල සිටි පුද්ගලයා තමා දැක සැඟවෙන්නට අසාර්ථක උත්සහයක් දරන අයුරු මනෝරන්ජන් දුටුවේය .
ඉන්පසු සම්පුර්ණ සෙකුරිටි නිල ඇඳුම ඇඳ සිටි ඒ පුද්ගලයා , හුනස්නෙන් නැගිට, මුහුණ පහතට හරවාගෙන සිය හිස රැඳී තොප්පිය ගැලෙව්වේය .
එවිට ඒ තට්ට හිස කාගේදැයි මනෝරන්ජන් හඳුනා ගත්තේය .
-මීළඟ කොටස -
Image Source: Sundayobserver
සිල්වා ????
ReplyDeleteඇත්තටම ඒ කවුද ?
Deleteසිල්වද
ReplyDeleteමාත් දන්නේ නෑ. බලා ඉමු
Deleteඔයා දන්නේ නැත්නම් අපිය දන්නේ
Deleteට සිරි වෙයි! සිල්වා ද?
ReplyDeleteබලමු මලමු
Deleteකට කන ගාවට ආවා.
ReplyDeleteඑහෙනම් ඔයා අඳුර ගත්ත මිනිහ කවුද කියල
Deleteමයින නිදයි කූඩුවේ.පූසො ඉඳින් පාඩුවේ!. අසේල ඉන්නව කීවෙත් මෙහෙ නේද?
ReplyDeleteඅසේල හොයාගෙන තමයි මනෝ එන්නේ
Delete+++++
ReplyDelete+++++++ ස්තුතියි
Deleteඈ. ඒ පාර සිල්වා අසේල එක්ක සෙට් වෙලාද? වෙන්න බෑ.
ReplyDeleteමටත් හිතා ගන්න බෑ
ReplyDelete18 වෙනි කොටස ඊයේ ඉන්දන් ඕපන් කරන්න හදන්නේ. ඒත් ඕපන් වෙන්නෙ නෑ. පොඩ්ඩක් බැලුවනන්.
ReplyDeleteමට හිතා ගන්න අමාරු වෙලා ආයේ උඩට යද්දී මාතෘකාව දැක්කම යමක් හිතුනා. බලමුකෝ
ReplyDelete