කිලෝමීටර් හතරක් පුතෙයා සේ ඇවිද යන්නට සුදානමින් පාරට බට අයෙක්ට යන්නට තියෙන දුර කිලෝමීටර් හත දක්වා වැඩි වී ඇති බව දැන ගන්ට ලැබිම ඉහමොළ රත්වෙන කාරණයකි . ඉතින් මම මන්දෝත්සාහී වීමි . ඔල්මොරෝන්දම් වීමි . නොදන්නා විසල් නුවරක් ගැන හිතේ තිබූ පූර්ව නිගමන කීපයක් නිසා චකිතයෙන් සිටි මට මෙය අඬන්න හිටි මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය .
මෙහෙ පවර් සේවින්ග් හෙවත් විදුලිබර අර පරෙස්සම හොඳටම සිදුවේ. ගොඩනැගිලි ආලින්දයක කිසිවෙක් නැති විට ආලෝකයක් නැත. කවුරුන් හෝ ළඟ වන විට ස්වයංක්‍රිය ලෙස විදුලි බුබුළු දැල්වේ. විථි ලාම්පු පවා දැල්වෙන්නේ අඳුර වැටීම සමග සමාන්තරවය. අඩ අඳුරට වැහි අඳුර එකතුවී තිබුනත් කඩපෙල පසුවූ විට හමුවන වීථි අද්භුතජනක පාලුවකින් පිරි තිබේ . මහාපාරට පස්ස හරවාගෙන ,අහස්කුස සිසරා නැගී මහල් නිවාසවල දොරටු ඇත්තේ පටුමාවත් වලය. පාරේ බලුබල්ලෙක් නැත .
හිරිපොද මැද්දෙම පාර අයිනේ තිබු පහන් කණුවක් යටට වී මම යූගෝ ඇප් එකකින් ටැක්සි සොයන්නට පටන් ගත්තෙමි .
එනවා යනවා. එකක් හා කියනවා. පොඩ්ඩකින් කැන්සල් වෙනවා. ඔහොම විනාඩි පහළොවක් පමණ උත්සහ කරන විට මට ටැක්සියක් හමුවුණි.
එය විනාඩි දහයක් ඈතය . දැන් කිලෝමීටර් දෙකකි. දැන් එකකි . මීටර් පන්සීයයි , දෙසියයි. ආයේ පාරේ ට්‍රැෆික් වැඩිවිය . වැස්සද වැඩිවිය . ඒ අස්සේ කවුදේ කෙනෙක් මගේ පිටුපසින් පැමිණ ඉංග්‍රීසියෙන් මෙහෙම කිව්වේය .
"මිස්ටර් අන්න අතන ටැක්සිය නවත්තලා තියෙන්නේ. මහා පාරට දාන් න අමාරුයි. අපි ඒ පැත්තෙ අතුරු පාරෙන්ම යමු."
මට හිතන්නට වෙලාවක් තිබුනෙම නැත . ඔහු පසුපසින් කීකරුව ඇදී ගොස් ටක්සියට ගොඩ වුනෙමි.
"කොහෙද මේ ගියේ කළුවරේ ? "
"මම සුල්තන්මෙහ්මට් ගියා" .
"අය්යෝ ඒ අපේ ගමනේ. ඇත්තම කියනවනම් ඒ තමයි ඉස්තාම්බුල්"
"ඒ කිව්වේ ?"
ප්‍රශ්නය අසන අතරේම මේ පුද්ගලයා මෙතරම් හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියා මට කුහුලක් ඇති විය
එය දැන ගත්තාක් මෙන් ඔහු කතා කළේය
"ඉස්තාන්බුල් පරණ අගනුවර ඔය සුල්තන්මෙහ්මට් කලාපේ තියෙන්නේ . අර හොර්න් ඇලටයි බොස්පරස් ඇලටයි කොන් වෙච්ච කොටස. මේක තමයි ඉස්තාන්බුල් . ටුවරිස්ට් හොටෙල් වැඩිපුරම තියෙන්නේ ඔය හරියේ. ඉතින් මගේ ටැක්සිවල වැඩිපුරම යන්නේ ඔහෙලා වගේ ටුවරිස්ට්ලා. අනික මම ඉස්සර මම චිත්‍ර ඇඳලා ටුවරිස්ට්ලට විකිණුවා . ඒ බිස්නස් එක පාඩුයි . පස්සේ මේ රස්ස්වට බැස්සා ."
" ඔහේ දැන් ඉස්තාම්බුල්වලට ඇවිල්ල කොච්චර කල් වෙනවද? හොඳට අවිද්දද ? දැන් මෙහෙ ගැන දන්නවද "
ඔහු ප්‍රශ්න වැලක් ඇසුවේය .
"මම ඇවිල්ල මාසයක් විතර ඉන්නවා . සති අන්තේ සෑහෙන ඇවිද්ද . නගරේ ගැන තරමක් තේරුම් ගත්තා"
ඔහු හඬ නගා සිනාසුනේය . "කොහේ කොහෙද ඇවිද්දේ ?"
මම ඇවිද්ද සීමිත කලාප ටිකේ නම් ඔහුට කිව්වෙමි.
ඔහු තවත් හයියෙන් සිනාසුනේය .
"එහෙම තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි මේ . ඔය ඇවිදලා තියෙන ටිකේ මිනිස්සු ගුලි වෙලා ඉන්න කලාපයක් විතරයි. නගරෙන් එලියට යන්න ඕනි මිනිස්සු ඇවිල්ල එකතැන පොදි ගැහුනට ඕනි තරම් නිස්කලංක පැති තියෙනවා. නගරෙන් ගොඩක් ඈතට යන්න ඕනි "
"ඔහේ හිතන්නේ ඉස්සර ඉස්තාන්බුල් මහා විශාල නගරයක් කියලද ?" ඔහු ප්‍රශ්නයක් ඇසුවේය. ඔහුම උත්තර දුන්නේය.
"නෑ . අසු ගණන් වෙනකමුත් එච්චර ලොකු නෑ . මෑත අවුරුදුවල තමයි මේක විශාල වෙන්න පටන් ගත්තේ අලුත් බිල්ඩින් හැදී හැදී අලුත් ඉඩම් නගරෙට එකතු වුනේ . මිනිස්සු දස දහස් ගානින් අවිල්ල ජනගහනේ දෙගුණ වුනා. ගොඩක් මිස්සු ආවේ නැගෙනහිර පලාතෙන් . ඔහෙට කියන්න සිවාස් පළාතේ දැන් ඉන්න මුළු ජනගහනේ වගේ පිරිසක් එහෙන් මෙහෙට්ට ඇවිල්ල ඉන්නවා ".
ඔහු මා දෙස හැරී බලා හඬ හිනැහුනේය .
ඉන්පසු දිගටම කතා කළේය .
මේ සෙනග වැඩි දවසේ ඔහෙට ගෙදරින් එළියට බහින් නැතිව ඉන්නයි තිබ්බේ"
මම කිසිත් නොකීවෙමි
"මිස්ටර් කොහෙද රට ?"
"ශ්‍රී ලංකා "
"ශිරි ලංකා .. ශිරි ලංකා. . ඔහු ප්‍රතිරාවය කළේය"
" මම හිතුවා . මම හිතුව" . තනියම මිමිණුවේය
ඒ අතරේ මෙහෙ ආවාට පසු හමු වී කතා කරන්නට සිදු වූ මිනිසුන් අතරින් මගේ රට කුමක්දැයි ඇසූ සියලු දෙනාගේ මුහුණේ මැවුණු සුහදශීලි සිනාව මොහුගේ මුහුණෙත් දිගටම ඇඳී තියෙනවා දුටුවෙමි.
මේ රටේ හැමෝම වගේ ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටි අතර කතාබහ කළ හැමෝම වගේ අපේ රට ගැන තිබුනේ ප්‍රසාදයකි. මේ තත්ත්වය මා ගිය කිසිම රටකදී තිබුනාට වඩා යහපත් වුවකි . මේ ප්‍රසාදය මෑත කාලින මතක නිසා නොව දුරාතිතයේ සිට තියෙන හිතවත්කමක් කියා හිතුනේය. සමහරවිට සේද මාවත ඔස්සේ ආ කුළුබඩු නිසාද නැතිනම් සිලෝන් ටි නිසා වෙන්නට බැරි නැත . කෙසේ වෙතත් යුරෝපයට ගෑවී ගෑවී අල්ලාගෙන හිටියත්මේ රටේ වැඩිහරිය තියෙන්නේ ආසියාවේය. ආසියාවේ හිතවත් රටක් ලෙස ඔව්න් අපේ රට සලකයි.
ඔහු මට මෙහෙම කතාවක් කිව්වේය .
"ඉස්තම්බුල් රටේ පාරවල් ටිකක ඇවිදලා , මිනිස්සු දෙන්නෙක් තුන්දෙන් එක්ක කතාබහ කරලා විතරක් මේ නගරය ගැනවත් මිනිස්සු ගැනවත් චිත්‍රයක් අඳින්න යන්න එපා "
ඒ කිව්වේ මේක හරි වෙනස් .
චිත්තරේ ටික ටික පාට කරන්න
ඔහු චිත්තරේ ගැන කි කතාව මට අල්ලලා ගියේය. මම ඔහුට අලියා හා අන්ධයා ගැන අපේ ජනවහරේ තියෙන කතාව කිව්වෙමි.
"ඔහේ මෙහෙ ගැන ඉගෙනගන්න ඕනිනම් රට තේරුම් ගන්නනම් ගොඩක් දෙනෙක් එක්ක කතා කරන්න ඕනි. ප්‍රශ්න අහන්න ඕනි"
ඔහු මට මේ රටේ තිබෙන උපදේශ වාක්‍යයක් කිවේය.
"මොනවත් දන්නේ නැති එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒත් ඒක කාගෙන් හරි අහන්න යන්නේ නැති එකනම් ලැජ්ජාවක් "
මේ ආදී රසවත් කතා බහක් කෙරීගෙන යද්දී මට ඉන්නේ කොහේදැයි යන්නේ කොහේදැයි හොයන්නට අමතක විය. සමහර පටු පාරවල තරමක වාහන තදබදයක් තිබුනේය. තැනින්තැන කලර් ලයිට් ළඟ කාරය නතර වී තිබුනේය. ඒත් දැන් අපේ වහනය නතර වී තිබෙන්නේ අපේ නිවහන තිබෙන ගොඩනැගිල්ල අද්දරය. තවත් විනාඩි දහයක් ඔහුගේ වගතුග අසාසිටි මම රථයෙන් බැස ගියේ ප්‍රබෝධමත් හිතකිනි .
ඉක්මනට ගිහින් චිත්තරේ පාට කරන්න පටං ගන්න ඕනි
සාමාන්‍යයෙන් ඔය යුරොප් රටක ටැක්සි එලවන ඉන්දියන් සහ පක්කො ටිකක් අවුල්. උන්ගේ මාර තදියමක් තියෙන්නෙ..ඒත් එ රටේම ටැක්සි ජාතිකයන් ෆුල් ජොලි. උන් එක්ක කතාවක් දාගෙන යන කොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.... කොහොමත් ගමන ඉවර උනත් උන් පටන් ගන්න කතාව නම් ඉවර වෙන්නෙ නෑ. - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ReplyDeleteඔව් මේ මිනිස්සුන්ට කියන්න කතා ඕනි තරම් තියෙනවා. ඒත් සියේට අනුනමෙකට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ
Deleteඒ වුනාට මට නං තාමත් කාගෙ හරි අහන්න ලැජ්ජයි
ReplyDeleteමටනම් එහෙම එකක් නෑ . පොඩ්ඩක් හිනා වෙලා කතා කරාද . ඇහුවා
Deleteවාසනාවට, නියම ටැක්සි කාරයෙක් නෙව හම්බ වෙලා තියෙන්නෙ. ටැක්සියක් එලවපු, ඉතිහාසඥ්‍ඥයෙක් වගේම දාර්ශණිකයෙක්.
ReplyDeleteඊට අමතරව මිනිහ හරි ජෝලිෆුල් මිත්‍රශීලි මනුස්සයෙක්
Deleteහොඳ ටැක්සි කාරයෙක් අහුවෙච්ච හින්ද හොඳා. නැත්තං මොනව පාට කරන්න වෙයිද දන්නෑ.
ReplyDeleteහෙහ් හේ . එහෙනම් තව කතාවක් ලියන්න තිබ්බ
Delete++++++++++
ReplyDeleteතැන්කිව් ප්‍රා
Deleteසමහරුන් තුල සිටින දාර්ශනිකයින්, බුද්ධිමතුන්, ප්‍රාඥයින් එළියට ආවාමයි අපි දැන ගන්නේ ඔවුන් තුල ඒ අය සිටියාද යන වග!
ReplyDeleteමිනිස්සුන්ට කතා කරන්න දීල අහගෙන ඉන්න ඕනි . එතකොට ඔය කියන චරිත එලියට එනවා
Deleteඅපේ ටර්කිෂ් යාලුවෝ දෙන්න ඉස්තාන්බුල් වල ඉපදුන අය. මම ඔයා ලියන මේ බ්ලොග් ලිපි ගැන විස්තරේ කීව බක්ලාවා කාල ටර්කිෂ් තේ හෙවත් සිලෝන් ලීෆ් ටි බොන ගමන්. ඔයා එහෙ හරියටම මොකද්ද හදන්නේ කියල අහන්නලු. මගේ ෆේස්බුක් එකේ ඉන්න නුරායි සහ බුලන්ට්. ආශා ගේත් යාලුවෝ.
ReplyDeleteමෙහෙ හදනවා අධිවේගී කොච්චි පාරක් යුරෝපිය අධිවේගී පාරට අනාගතේ සෙට්වෙන්න බලාගෙන. මම ඒකෙ කොටසෙක උපදේශක සමාගමක වැඩ කරනවා . යාලුවෝ දෙන්න අඳුන ගන්න ආසයි . https://www.webuildgroup.com/en/projects/railways-underground/orient-express-high-speed-railway-turkey/
Deleteමම දැම්ම ලිපියක් පරණ භාෂාවක් හියාඅ ගත්ත. ඒ දෙන්නයි ඔයාවයි ටැග් කළා
Deleteතැන්කිව් ඒ ලින්ක් එකට . ඒක මරු .මම ඒ දෙන්නටම රික්වෙස්ට් දැම්මා
Delete//. මේ ප්‍රසාදය මෑත කාලින මතක නිසා නොව දුරාතිතයේ සිට තියෙන හිතවත්කමක් කියා හිතුනේය. සමහරවිට සේද මාවත ඔස්සේ ආ කුළුබඩු නිසාද නැතිනම් සිලෝන් ටි නිසා වෙන්නට බැරි නැත// අමතක වුනා ලියන්න., මේ කතාවට අර දෙන්න කීවේ සිලෝනිස් ලා සමග ඔටෝමන් අධිරාජ්‍යය වෙළඳ ගනුදෙනු කල බවයි. ඔටෝමන් අධිරාජ්‍යයට කලින් පවා ගම්මිරිස් සහ කුළුබඩු ලංකාවෙන් පැමිණි බවත් ඔවුන් කියනවා. තුර්කි හෝ මධ්‍යම ආසියාවේ හැදෙන තේ වලට පවා සිලෝන් ටි බොනවනම් පොෂ් ලු ඒක . (පැරණ සෝවියට් සමුහාණ්ඩුවේ රටවලත් ඒක නම් එහෙමයි.)
ReplyDeleteඔය කරුණුවලට අමතරව තරමක පොත පත කියවන මිනිස්සු බණ්ඩාරනායකල හා රාජපක්ෂලා ගැනත් දන්නවා. මොන අඩුපාඩු තිබ්බත් බණ්ඩාරනායකලට තියෙන ජාත්‍යන්තර ඉමේජ් එක හොඳයි. රාජපක්ෂලා ගැන හරි විදිහටම මේ මිනිස්සුත් දන්නවා
Deleteරාජපක්ෂ ලයි එර්ඩොගන් නුයි ටිකක් එක වගේ නේද
Deleteමම දන්නෙත් නෑ . මට ඇහුනෙත් නෑ
Deleteසුල්තන්මෙහ්මුට් රියදුරු මහත්මයා
ReplyDeleteමහත්තයෙක් හින්දම ගැලවුණා ඔයා
තුන්සක කරකවන යහපත් කෙනෙකු සොයා
ගැනුම 'සෙවිල්ලකි කළුනික' මෙරටින්, තියමි ලියා
ඒ ආවේ හොඳ රියදුරු කෙනෙක් කියා
Deleteඅවසිහියෙන් හිටියත් මට ඒත්තු ගියා
/"මොනවත් දන්නේ නැති එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒත් ඒක කාගෙන් හරි අහන්න යන්නේ නැති එකනම් ලැජ්ජාවක් "/
ReplyDeleteහරිම දාර් ශනික රියැදුරෙක්නේ තිලකෙට හමුවෙලා තියෙන්නේ. ඔහුගේ විස්තරය අනුව සිතින් මවාගත් ඉස්තාන්බුල් චිත්‍රය ඇඳ විවිධ වර් ණ වලින් අලංකාර කළ පසු අපටත් දකින්නට සලස්වන්න.
චිත්‍රය පාට කරමිනුයි හිටියේ. ඒත් ගිය ඉරිදා ආපු කුණාටුව නිසා චිත්‍රයට වතුර වැටුනා . ආයෙත් අඳින්න වෙනවා
Deleteපට්ට ටෝක් එක
ReplyDeleteඑලද බ්‍රා !
Deleteගමනක් යන ගමන් කතන්දරත් කියා දෙනව කියන්නෙ ආං රියදුරු උපදේශකලා.
ReplyDeleteමේ භාෂාවේ ගැටලුව නොතිබුණානම් මෙහෙ මිනිස්සු ගොඩකට කතන්දර තියෙනවා කියන්න
Delete