Saturday, November 4, 2023

මෙගා පොලිසියක අතරමං වීම

 


මේ කියන්නට යන්නේ මෙට්‍රොපොලිටන් නගරයක  එහෙමත් නැත්නම් මෙගලොපොලිසීයක අතරමං  වුනාම හිතට එන සිතුවිලි ගැන  . මේ කතාවේ පළමු කොටසේ මම පැහැදිලි කරා මට මහා නගරයක නන්නාදුනන මිනිස්සු හා පටු මංමාවත් දිගේ කිලෝමීටර් අටක් පයින් යන්න කියල ගූගල් මැප්  එකෙන් යෝජනා කරේ ඇයි  කියල . ඒ ගිය ඉරිදා  හවස හතට විතර . මේ දුර ආසන්න වශයෙන්  කොටහේනේ ඉඳන් කැළණි පන්සලට යනවා වගේ නැත්නම් නෙලුම් කුලුණ  ළඟ ඉඳන් තොටළඟට යනවා වගේ දුරක්. බැලූ  බැල්මට ඒහැටි  දුරකුත් නොවෙයි. ඒත්  ඔබ මේ මෙගා නගරයේ ස්ථාන එකක් දෙකක් හැර වෙන කිසිම තැනක් නොදන්නවානම් මේ සිද්දියේ බරපතලකම තේරුම් යාවි . ශාකා ප්‍රශාකා  විහිදී ගිය කුඩා කුඩා මාර්ග දෙපැත්තේ සුවිසල් තට්ටු ගෙවල් හා සල්පිල් සපිරි මංපෙත්  සමහර තැනකදී හිතා ගන්න්න බැරි තරම් පටු වෙනවා . අනික ඉස්තම්බුල් කියන්නේ භූ විෂමතා පිරිච්ච අර්ධ  කඳුකර නගරයක්. සමහර පාරවල නගින්න බැරි තරම් බෑවුම. එත් දෙපැත්තේ තට්ටු නිවාස  පිරිලා.  නගරයේ ඇතැම් කලාප ඉතාම විශාල මාර්ග, උයන්වතු හා ඉඩපහසුකම් තියෙන කන්තෝරු වලින් සමන්විත වෙන අතර ඇතැම් කලාප මිමැසි ජනපද වගේ. 

සරල ගණන් මිමිවලින් කියනවනම්  ඉස්තාන්බුල් කොළඹ නගරය වගේ දෙසිය ගුණයක් විශාලයි. සිංගප්පුරුව වගේ හත් ගුණයක් විශාලයි . ජනගහනය මිලියන පහලවයි. කොළඹ වගේ විසිපස් ගුණයක් . 

ලෝකේ තියෙන මෙට්‍රොපොලිටන් නගර අතරින් සුවිශේෂ එකක් ඉස්තාම්බුල් . මේවගේ නගරවලට මෙගොලෝ පොලිස් කියලත් කියනවා. ඒ ග්‍රීක් භාෂාවේ විශාල නගර කියන තේරුම එන වචනයක්. අපි මෙගාපොලිස් කියල අමාත්‍යංශයක් හදාගෙන හිටියෙනේ . ඒ  හදන්න ගිය මෙගාපොලිස් එකත් කොළඹ නගරයට මිගමුව කළුතර ගම්පහ අවිස්සාවේල්ල යනකම් යා කරගෙන තනි  විශාල නගරයක් හදන්න ගිය සිහිනයක කොටසක් වෙන්න ඇති  . 

ඉස්තාම්බුල් නගරයේ නගරාධිපති කියන්නෙත්  ලොකු  රටක ජනාධිපති කෙනෙක් වගේ. ඒ තරම් නගර පාලනය සංකීර්ණයි. මිලියන පහලවක ජනතාවගේ අපද්‍රව්‍ය බැහැර කරන එකම මොන තරම් භාරදුර කටයුත්තක්ද  ? 

ලෝකයේ ප්‍රධාන නගර කිහිපයක් තියෙනවා අන්තර් මහද්වීපික නගර කියල. ඒ කියන්නේ මහද්වීප දෙකකට අයිති නගර. මම ආසියාවට හා යුරෝපයට අයත් ඒ වගේ නගර  දෙකකට ගිහින් තියෙනවා ඉන් එකක් අතිරෝ , කසකස්තානයේ උතුරු බටහිර කෙළවරේ  තියෙන්නේ. අනික තමයි ඉස්තාම්බුල්. ඉස්තාම්බුල් නගරය දෙකඩ වෙනවා බොස්පරස් කියන සමුද්‍ර ඇළ  මාර්ගයකින්. මේ ස්වභාවික ඇළ මාර්ගය ලෝක දේශපාලනයේත් තුර්කියේ ආර්ථික පැවැත්මෙත් තීරණාත්මක සාධකයක්. බොස්පරස් නොතිබුනානම් කළුමුහුදේ  වතුර මධ්‍යධරණී මුහුද හරහා සම්බධ වෙන්න මාර්ගයක් නෑ . එහෙම වුනානම් කළු මුහුදට කට උත්තර නැතිවෙනවා . කැස්පියන් මුහුදට වගේ  තනිකර ගොඩබිම් වලින් වටවෙලා වාශ්පිකරණයෙන් තමයි තමන්ගේ ජල චක්‍රය සම්පුර්ණ කරගන්න වෙන්නේ . 

බොස්පරස් ගඟෙන් දකුණට වෙන්න තියෙන ආසියානු කොටසේ තමයි මගේ රාජකාරී යාළුවො හැමෝම වගේ ඉන්නේ. මම දන්නා එකදු  ශ්‍රී ලන්කිකයෙක්වත් මේ නගරයේ නැති වුනත් මගේ ඉන්දියානු මිතුරෙක් මේ රටේ පුරවැසි බව ලබාගෙන ඉන්නවා. ඔහු ඉන්නෙත් ආසියානු කොටසේ . මගේ රියදුරා සති අන්ත පවුලේ සවාරියක් ගිහින්. 

අද දවල් හමුවූ මගේ හිතවතුන් ආපහු ලන්ඩන් යන්න එයාර්පෝට් එකට ගිහින්. 

අන්න ඒ නිසා  මේ  බොස්පරස්  නාවික මාර්ගයෙනුත් බල්ගේරියා හා ග්‍රීක දේශසීමාවලින් වට වෙච්ච බිම්කඩක තියෙන ඉස්තාම්බුල් යුරෝපිය කොටසේ මම තනිවෙලා කියා හිතෙන්නේ . ඉංග්‍රීසි භාෂාව කතාකරන්න පුළුවන් කෙනෙක් මේ වගේ අතුරුමර්ගවලදී හොයාගන්න එක හීනයක් විතරයි

එහෙම නගරයක තමයි මම ගොම්මන පහුවෙලා තියෙද්දී පයින් ඇවිදගෙන යන්නේ 

මේ නගරය  මම හිතන්නේ ටිකක් මම වගේ කියල. හැමදේම ටික ටික තියෙනවා. කිසි දෙයක් හොඳටම නෑ . අතීතේ  අත අරින්නෙත් නෑ . බුලට් ට්‍රේන්  යන්න පාරවල් හැදුවට නොස්ටල්ජික් ට්‍රෑම්  කාර් අත ඇරලත් නෑ . නගරයේ ඉපැරණි මාවත් හරිම පටුයි. දෙපැත්තේ තියෙන උස පෞරාණික ගොඩනැගිලි කඩන්න බැරි නිසා පාරවල් වන්වේ කරල තියෙන්නේ. ඒ නිසා බස් යන පාර දිගේ යනවට වඩා ගොඩක් වෙනස් පයින් යන්න මැප්  එකෙන් යෝජනා වෙන පාර .

පයින් යනවනම් පෙන්නන්නේනම කුඩාම කුඩා කෙටි පාරවල් . සමහර පාරවල්වල මම ඇවිදගෙන ගියා පාර එක පාර ඉවරවෙනවා ඉතා පටු මගක පරණ තට්ටු  ගෙවල් පිරිච්ච තැනකින්. පාරවල් වෙනුවට පඩිපෙළවල් නගින්නත් යෝජනා වුනා. සමහර පාරවල් කොච්චර බෑවුමද කියනවනම් දෙපැත්තේ පදික මන්තීරු  වෙනුවට තිබ්බේ ගල්පඩිපෙළ.

මම කබාටස් වලින් පිටත් වෙනකොට ගෙදර යන්න ගතවෙන වෙලාව පැයයි විනාඩි හතලිස් දෙකයි කියල මැප්  එකෙන් කිව්වා. කියාපු මං සලකුණු ඔස්සේ ඇවිදගෙන එද්දී මුලින්ම ලැබුන උපදෙස තමයි අර මම සෙනග වැඩි නිසා යන්න බෑ  කියල  බෑන්ගිරි ගාපු තක්ෂින් චතුරශ්‍රය දිහාට හැරෙන්න කියල . නෑ  මම හැරෙන්නේ නෑ  මැප්  එකට කුද ගහගන්න කියල මට මතක බස්පාර දිගේ ඇවිදගෙන ආවා . එකපාරටම මට ගෙදරට තියෙන දුර වැඩිවෙනවා වෙලාව වැඩි වෙනවා කියල මොබයිල් තිරයේ පෙනෙන්න පටන් ගත්තා . ඒත්  මේ පාර  මට ෂුවර්. යන්තමින් මතකයි  බස් එක ගිහින් හැරෙනවා අපේ පැත්තට යන්න කියල. 

නිදහස් ප්‍රීතියෙන් මිනිස්සු පාර පුරා යනවා. වාහන ගමනාගමනය හෙමින් හෙමින් පටන් ගත්තා . දැන් දකුණට හැරෙන්න ගූගල්  කිවා. අඳුරු පාළු බැවුම් සහිත පාරකට මාව යොමු කළා . ඒ පාරේ ටික දුරක් යනකොට ඔන්න ආපහු දුර අඩු වෙන්න ගත්තා මැප්  එකේ . දැන් ගෙදරට යන දුර පැයයි  විනාඩි තිස් පහ දක්වා අඩු වෙලා. සෙනග අඩුයි.  මට හිතුනා මෙතැනින්  ටැක්සියක් ගන්න පුළුවන් වෙයි කියල . එහෙම නැත්නම් බස් එකක් ගැන හොයන්න පුළුවන් වෙයි කියල . ඒත්  පුංචි හිතුවක්කාර කමක් හිතට ආවා පයින්ම යන්න ඕනි කියල. 

ටික දුරක් යද්දී පඩිපෙලක් නගින්න සිද්ද වුනා. තව කුඩා පාරකට වැටුනා . වමට හැරෙන්න කිව්වා . එතැන  පාර වහල පුංචි සාදයක් . ඒක පුචි ගමක් නැත්නම් වත්තක් . විශේහයෙන් කියන්න ඕනි බොහොම පරණ හා අලුත් තටුටු නිවාස හැර වතු මුඩුක්කු තැන් මෙහෙ නෑ . සෑම  කුඩා අඳුරු පාරක්ම පිරිසිදුයි . මම ආපහු අවා අර පඩිපෙළ  නැග්ගා . ගුගල් කියන පාරේ නෙවෙයි තරමක් ලොකු පාරක් තෝරාගෙන ඉස්සරහට ආවා . දුර වැඩියෙන් පෙන්නලා ආයේ අඩුවෙන්න පටන් ගත්තා .

හිතේ විශ්වාසයෙන් ටික ටික  ඉදිරියට ආවා. යන්න තියෙන දුර කිලෝමීටර් හය දක්වා අඩුවුනාම මම නතරවෙලා ටැක්සියක් බුක් කළා. ඒ පැත්තෙන් කැන්සල් වුනා . විනාඩි දහයක් විතර උත්සහ කළා . වැඩේ හරි නොගිය නැති තැන මම ආයෙමත් ඇවිදගෙන ආවා . මේක තරමක් විශාල ඒත්  තනි පැත්තට වාහන යන පාරක්. තැනින්තැන කෑම  කඩ ඇරලා පාරේ අයිනේ මේසවල වැඩිවෙලා මිනිස්සු තේ බිබී සිගරට් බිබී අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. හරියට සිංගප්පුරුවේ හරි ලන්ඩනයේ සමහර වීථිවල වගේ පාරට විවෘත වෙච්ච අවන්හල්. පාරේ කොටසක් අල්ලාගෙන.  ශවර්මා, ඵලාෆිල් , කෙබාබ් , හමුශ් ඇතුළු කෑම කමින් ටර්කිෂ් තේ හා කෝපි  බොමින් සිටින  ගැහැණු හා පිරිමි අතරේ මම තනියම ඉදිරියට ඇදුනා . 

පාරේ දකින ගොඩක් එළවලු හා පළතුරු කඩ හරිම සරුසාරයි. කඩේ ඉදිරිපස විශාල කොටසක එළවලු පලතුරු බක්කි තියෙනවා. මිනිස්සු එදිනෙදා මිලදී  ගන්න අඩුම කුඩුම අතරේ  විශාල වශයෙන් එළවලු හා පලතුරු තියෙනවා. මේ සියල්ල රට ඇතුලෙම වැවෙන ඒවා ලු  පලතුරු හා එළවලු තියෙන කොටසේ පසුපසට වෙන්න මිනි සුපර්මාකට් එක තියෙනවා. ලංකාවේදී වගේ සුපුරුදු පෙට්ටි කඩ හා ග්‍රොසරි කඩ දැක්කේ නෑ .

මේ නන්  විසිතුරු බලමින් එද්දී හීන්  වැහි පොදයක් ආවා . මේක බයවෙන්න ඕනි කාරණයක්. ඉස්තාම්බුල්  දේශගුණය කියන්නේ සත පහකට විස්වාස කරන්න කරන්න බැරි සංසිද්දියක්.  උදේ පාන්දර  දරන්න අමාරු උණුසුමක් තිබිලා හොඳින් ඉර පායාගෙන එන දවලට ඉන්න බැරිතරම් සිතල  වෙනවා. වැස්සක ලකුණක් නැති වෙලාවට එකපාර ඔලිව් හූරණ ගානට වහිනවා. 

මම නැවත ගුගල් මැප්  එක බැලුවා යන්න තියෙන දුර කිලෝමීටර් හතරකට  ආසන්නයි . අනුමාන ඇවිදීමේ කාලය පැයයි . දැන් ටිකක් හිතේ සැහැල්ලුවෙන්  ඇවිදන් යද්දී  තවත් වැහි  පොදයක් ආවා. මුවාවෙන්න තැනක් නැති තාප්පවලින් වට වෙච්ච, තරමක කළුවර පාලු ප්‍රදේශයකට මම ඇවිත් හිටියා . ටිකක් මහන්සියි. හීනි චකිතයකුත් එනවා . මම නැවත ෆෝන් එක  අරගෙන  ගූගල් මැප්  එක බැලුවා. කලින් මම හිටි සිතියමෙන් අයින්වෙලා. ආයෙත් ඇප්  එකට පිවිසිලා මම නිවැසි ගොඩනැගිල්ලේ ස්ථානය නිවැරදිව ඇතුල් කළා . දැන් තිරයේ දිස් වෙනවා මෙහෙම.

යන්නට තියෙන දුර කිලොමිටර් හතයි දශම දෙකයි. වෙලාව පැයයි විනාඩි හතලිස් අටයි. 

හත්වලාමේ දැන් මං මොකද කරන්නේ ?

( ඉතිරිය පසුව )

බොස්පරස් ගැන තවත්  කතා හා බෙන්හර් චිත්‍රපටයේ කරත්ත රේස් සිද්දියට පසුබිම් වූ භුමිය ගැන විස්තර ඉදිරියට බලාපොරොත්තුවන්න 

24 comments:

  1. ඔබගේ ලිපිය දකිද්දී; සේකරගේ "හඳ සහ නිව්යෝර්ක් නුවර" කවි පංතිය මතක් උනා!

    ReplyDelete
    Replies
    1. සේකරගේ මේ කවිය මටනම් පරණයි. ඒ කවියත් එක්ක එකඟ නෑ :

      හඳ සහ නිව්යෝර්ක් නුවර
      කලු ගැහී තරගයට ඉහළ ගිය
      සිමෙන්ති බිත්ති මිසක
      ඇසට නිලට
      අහසක් ගහක් කොළක්
      අවටක් නැත.
      නිව්යෝර්ක් නම් පුරවර
      සියක් මහල් එක් ටැම් ගෙය මුදුනේ
      දොර ජනෙල් වසා සිර කළ කාමරයක
      ඇඳක්-පුටුවක්-මේසයක්
      -මම.

      Delete
    2. සේකර හිටිය තැන එහෙම පේන්න ඇති, නැතිනම් එයා කවදාවත් නිව්යෝක් ගිහින් නැතිද?

      Delete
  2. එක හුස්මට කියෙව්වා. තුර්කියට, යුරෝපයේ දොරටුව කියල කියනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් කියන්නේ යුරෝපයේ ප්‍රඩක්ෂන් හබ් එක කියල.

      Delete
  3. තුර්කියේ කියාලා පිටරැටියා අතරමං කරන්නෙ මෙ පාරේ ගූගලෙයා....

    ReplyDelete
  4. තුර්කි පලස, තුර්කි ටර්කි තමයි දන්නේ.

    මෙගා පොලිස් ශ්‍රී ලංකා තිබුනා නේද.

    ReplyDelete
    Replies
    1. මෙගා පොලිස් ඇමති කෙනෙකුත් හිටියනේ

      Delete
  5. හොද ලිපියක්.

    සිංහල බ්ලොග් කලාවේ උන්නතිය වෙනුවෙන් 'ශනිදා දහයට' නමැති සංකල්පය රැගෙන විත් බ්ලොග් කලාවේ නවමු ආරම්භයක් සනිටුහන් කිරීම සදහා කැප වෙන කොළඹ ගමයා බ්ලොග් අඩවියේ හිමිකරු අජිත් ධර්මකීර්ති මහතාටද ස්තුතිය පල කරමි.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එනකොට ඇනෝ කමෙන්ට් එක වගේ නෙවෙයි. ස්තුතියි. තට්ට්යගේ බ්ලොග් කොළම සමග ඩ්රැකි තමයි ශනිදා වාසනාව අදින්නේ

      Delete
    2. ඔය මනුස්සයට කොපමණ ඕක කිව්වත් වැඩක් නේ. මටමයි බනින්නේ 😀

      Delete
  6. බ්ලොග් ලිපි වල පල්ලෙහන් ලේබල් කරලා තිබ්බා නම් එක ජාතියෙ ලිපි ටික පහසුවෙන් තෝරා ගන්න තිබ්බා. තුර්කි කතන්දර වලට වෙනම ලේබල් එකක් යොදන්න පුලුවන්..තුර්කි කථා

    ReplyDelete
    Replies
    1. මේක හොඳ අදහසක් මයියා . ස්තුතියි ළඟදීම වර්ග කරනවා

      Delete
  7. මමත් ආසා විෂයක් හින්ද ආසාවෙන් කියෙව්වා. ඇත්තටම කීප වතාවක් මාත් ගුගලයාට කුද ගහ ගන්න කියල මට පුරුදු පාරවල් වලම එලෙව්වා. හැබැයි පස්සෙ තමයි තේරුණේ එය කොච්චර යාවත්කාලීනද කියල. වාහන තදබදය, තාවකාලික මාර්ග වසා දැමීම් වගේම අනතුරු හින්ද වන ප්‍රමාද ගැන පවා එය සැලකිලිමත්. ඒත් අන්තිමේට වුනේ මොකක්ද කියන කුතුහලයෙන් ඊළග ලියැවිල්ල කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගූගල් ගැන අහිතක් හිතන්න බෑ .එදා විශේෂ දවසක් නිසා . ඉතිරි ටික ලියන්නම්

      Delete
  8. මම මේ දැන් ලංකාවේත් ගොඩක් ප්‍රසිද්ධ ඩාවුඩ් ගේ තුර්කි ඉස්තාන්බුල් නගරයේ සංචාරක වීඩියෝවක් බැලුවා. ලස්සන නගරයක්. ගල් අල්ලපු ඉපැරණි කුඩා මාර්ග ගොඩක් තියෙනවා. යුරෝපයේ නගර වගේමයි. දැකපු වෙනස තමයි ගොඩක් මිනිස්සු ගැවසීම සහ සමාන්‍යා සමර් දේශගුණයක් පැවතීම. වීඩියෝ එකෙ ලින්ක් එක මේක < a h r e f = " https://www.youtube.com/watch?v=puFPKuxIwmM" > I Found My Nepali Love In Istanbul, Turkey 🇹🇷 < / a >

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලින්ක් එකට.
      < a href = " https://www.youtube.com/watch?v=puFPKuxIwmM" > I Found My Nepali Love In Istanbul, Turkey < / a >

      Delete
    2. බොහොම ස්තුතියි මේ ලින්ක් එකට. මෙහෙ හිටියත් මේ වීඩියෝ එක වටිනවා

      Delete
  9. මම 1987 විතර වර්ෂය මතක නැහැ , ඉස්තාන්බුල් ගියා. මේක දැක්කහම ලියන්න හිතුන හැබයි මම මේ තරම් ඇවිද්දේ නැහැ. ලෙදර් කෝට් විකුණන මාකට් එකට ගියා . හොර රත්තරන් බඩු විකුණන එකට ගියා හැමෝම කිව්ව නිසා බලන්න යන්න කියල. එපමණ තමයි. විකුණන භාණ්ඩ වලට අහුවෙන්න එප්ප කීවට අහුවුනා. මේස් කුට්ටම් හයක් ගත්ත. හෝටලේට ගිහින් බලනකොට කුට්ටම් හයේ එක එක පාට මේස් 12ක්. 😀

    ReplyDelete