Source Wikipedia |
අන්තර්ජාලයෙන් සොයාගත් ඉහත පින්තුරය තිබෙන්නේ තුර්කියේ ඉස්තාම්බුල් නුවර ටාප්කාපි පැලස් කෞතුකාගාරයේය . සුල්තාන්මෙහ්මට් දනව්වට ආසන්නව පැරණි ඔටෝමාන් අධිරාජ්‍යයේ අගනුවර පිහිටි මේ කෞතුකාගාරය තිබෙන උද්‍යානය අසලට ගියා වුනත් තාමත් මට එම කෞතුකාගාරය කල්වේලා අරගෙන නරඹන්නට ලැබුනේ නැත. පින්තුරයේ සිටින්නේ අප කවුරුත් දන්නා නස්රුද්දීන්ය. ඔහුගේ නම කිහිප ආකාරයකින් උච්චාරණය කරන අතර තුර්කි ජාතිකයන ඔහු අමතන්නේ නස්රිද්දීන් හෝජා කියාය. අපට සුපුරුදු නස්රුද්දීන් කියන නමට මම වඩා කැමතිය.
එක්දාස් නවසිය අසු ගණන්වල මුල නවයුගය පත්තරෙත් ඊට ටික කලකට පසු මනහර ඇතුළු ඩයිජස්ට් වර්ගයේ සඟරාවලත් නොවරදවාම පෙනී හිටි චරිතයකි නස්රුද්දීන්. පත්තර සඟරාවල හිස්තැන් පුරවන්නටත් පත්තරයේ ජනප්‍රියතාව වැඩිකර ගැනීමටත් නස්රුද්ද්දින් සම්බන්ධ කරගත් අතර අපේ පාසැල් වියේ අල්ලාප සල්ලාප කතාවල අන්දරේ, මහදැනමුත්තා හා නස්රුද්දීන්ද සිටියේය . තුර්කිය හා බල්ගේරියාවේ බෝල්කන් කලාපයේ සිට චීනය දක්වා සැම රටකම පාහේ උපහාස, අපහාස හා උපදේශ කතාවලට උපත දුන් නස්රුද්දීන් උපන් රට හැටියට වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ තුර්කියයි. ඒ කතාව නිවැරදීනම් මා පැමිණ සිටින්නේ නස්රුදීන්ගේ රටටය. නස්රුද්දීන්ගේ උපන් ගම හැටියට විශ්වාස කරන අක්ෂයිර් පෙදෙස ඇත්තේ ඉස්තාන්බුල් සිට කිලෝමීටර් 500ක් පමණ දුරකින් තුර්කියේ දකුණු පැත්තට වෙන්නටය . නස්රුදීන්ගේ ප්‍රතිමාවක් එහි තිබේ. සෑම ජුලි මසකම වාර්ෂික නස්රුද්දින් අනුස්මරණ උත්සවයක්ද පැවැත්වෙන මේ නියම්ගමේ නස්රුදින් ජිවත් වුනායැයි සටහන්වෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1208 හා 1285 අතර කාලයේය. තවත් මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක්ම නස්රුදීන් හිටියේ තමන්ගේ රටේයැයි අයිතිවාසිකම් පාති . ඒ අතර අසර්බයිජානයද තජිකිස්තානයද වෙයි .
නස්රුදින් කොහේ හිටියත් මොකද , ඔහු ඉතිරි කර ගිය උපහාස හා අපහාස කතා ලෝකයේ ඕනිම තැනක තව කල්ප කලන්තාරයක් පවතිනු ඇත . සේද මාවත දිගේ රටවල් ගණනක උපහාස කතාන්දර නස්රුදීන්ගේ නමට සින්න වී ඇත .
ඒ අපේ අන්දරේට වගේමය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපදුනා යයි කියන අන්දරේද , නස්රුදින් මෙන්ම දේශපාලන හා ආගමික සංස්ථාවද උපහාසයට ලක්කොට ඇත. මේ ලඟදි දවසක ලංකාවේ ප්‍රකට කලාකරුවෙක් සමග අන්දරේ හා නස්රුද්දීන් ගැන කතා කරමින් සිටිද්දී අපි දෙන්නම අන්තිමට එකඟ වුනේ නස්රුද්දීන් යනු අපේ අන්දරේට වඩා සිරා පොරක් බවය.
ඒ අපේ කම පහත් කොට සලකන්නට කී දෙයක් නොව නස්රුද්දීන්ගේ කතා වැඩි රටවල් ගණනාවකදී ඔපමට්ටම් වී සාරවත් වී තිබෙන නිසාය. අනෙක් අතින් අපේ අන්දරේගේ කතාද සුළුවෙන් සලකන්නට බැරි තරම් අපූරුය .
නස්රුද්දීන්ගේ කතාවල බොහෝ විට බූරුවෝ සිටි අතර හඳ ගැන බොහෝ කතා තිබුනේය. ගපුර් ගුල්යාම්ගේ මගේ හපන්කම පොතේ තිබෙන්නක් මෙන් මසුරු වෙළෙන්දන්, පූජකයන් , සොර සැමියන් හා මෝඩ ගැමියන් ගැන තිබුනේය.
මේ කතා කියවන විට නස්රුද්දීන් යනු එක පුද්ගලයෙක් නොව විශාල ප්‍රජාවක් අතරේ මතුවන හාස්‍ය රස කතා ගිණුමට බැර කිරීමට තෝරාගත් පුද්ගලයෙක්දැයි මට සිතේ .
මම නස්රුදින් ගැන තුර්කි ජාතික මිතුරන් කිහිප දෙනෙක්ගෙන් විස්තර ඇසුවෙමි. ඒ නම කියපු හැටියේම ඔවුන් සියලු දෙනාගේ මුවේ මදහසක් මතුවුන අතර නස්රුද්දීන් කියන්නේ අපේ කෙනෙක් බව ආඩම්බරයෙන් කිව්වෝය.
අපි එකළ කියවූ අදටත් කියවන පත්තරවල වෙනත් විහිලු කතා බහුතරයක් නස්රුද්ද්දින් සම්බන්ධ කතා බව මම දැනගත්තේ ඔහු ගැන වැඩිදුරටත් හොයාබලන විටය .
එක්තරා උපවාස කාලයක උපවාසය අවසන් කිරීමේ භෝජන සංග්‍රහය සුදානම කර තිබුණේ ගම්මුලාදෑනියාගේ ගෙදරය. මේ භෝජන සංග්‍රහයට නස්රුද්දීන්ටද ආරාධනා කර තිබුනේය.
සිය ගොවිපළේ වෙහෙසෙමින් එළුවන් බලාකියා ගනිමින් උපවාසයට පේ වෙමින් සිටි නස්රුද්දීන්ට එදා හවස් වෙනතුරු වැඩ රාජකාරි තිබුනේය. ඔහුට භෝජන සංග්‍රහය මතක් වුනේ හොඳටම බඩගිනි වූ විටය . ඒ වනවිට ඔහුගේ පරණ හම්පඩ කබාය මඩ තැවරී දාඩියෙන් පෙඟී ගොස් තිබු අතර උත්සවයට යනවිට හොඳින් හැඳ පැළඳ ගෙන එන්නැයි කල් ඇතිව දන්වා තිබූ බව ඔහු දන සිටියේය. ඒත් දැන් හොඳටම ප්‍රමාදය. ගෙදර ගොස් අලුත් ඇඳුමක් ඇඳගෙන එන්ට වෙලාවක් නැත. අනික යකෙක් කන්නට බඩගිනිය . ඕනි එක්ක වෙච්චාවේ කියා නස්රුද්දීන් භෝජන සංග්‍රහයට ගියේය. එහෙත් ඔහුගේ මඩ තැවරී, දුගඳ හමන පරණ කබාය නිසා ඔහුට කිසිම පිලිගැනීමක් හෝ කෑම මේසයක ඉඩක් ලැබුනේ නැත. හිත රිදුනූ නස්රුද්දීන් බඩගින්නෙම ගෙදර ගොස් ගෙයි තිබු අලුත්ම කබායක් ඇඳගෙන හනික ආවේය . මෙවර ඔහුට ඉතා හොඳින් සංග්‍රහ කෙරුණු අතර අනිත් ප්‍රභූන් පිරිසක් මැද අසුන්ද ලැබුනේය. තමන්ට ලැබුණු රස මසවුළු අතර තිබූ බක්ලාවා හා මිදිගෙඩි කොත සාක්කුවල පුරවමින් හමූස් කෝට් එකේ තවරමින් ඔහු විනෝද වුවා මිස කිසිම දෙයක් කෑවේ නැත . ඔහු කෝට් එකට නිතර මෙසේ කිව්වේය.
"උඹ කාපන් කෝට් එක. මේ පංකාදු ෆෙලාෆිල් උඹ හොඳට කාපන් කෝට් එක "'
'නස්රුද්දීන් ඔය මොන විකාරාක්ද කරන්නේ ?'. බලා ඉන්නට බැරි තැන ප්‍රභුවරයෙක් ඇසුවෙය.
' මේකනේ ඉස්සෙල්ල මම පරණ කෝට් එකක් ඇඳගෙන ආවා. කිසි කෙනෙක් මට කෑම දුන්නේ නෑ . දැන් මේ අලුත් කෝට් එක ඇඳගෙන අවම සියලු සංග්‍රහ ලැබුනා. ඉතින් මම තේරුම් ගත්තා මට නෙවෙයි කෑමට ආරාධනා කරලා තියෙන්නේ කෝට් එකට කියල" කියනා ගමන් අන්දරේ තව ඔලිව් ගෙඩි කිහිපයක් කෝට් සාක්කුවේ එබුවේය.
මට හිතෙන්නේ මෙය ප්‍රභල දේශපාලන උපහාසයක් බවය .
කලකට පෙර ලංකාවේ පළවූ දීපන මාසික සඟරාවක මා කියවූ තව නස්රුද්දීන්ගේ කතාවක් මට මතකය.
' නස්රුද්දීන් දවසක් හඳපානේ ඇවිදිමින් සිටියදී අසල වත්තක වතුර ලිඳක් දැක මුහුණ කට සෝදා ගන්නට සිතුවේය. ඔහු පනිට්ටුව ලිඳට දමා ළිං පතුල බලද්දී දුටු දෙයින් මහත්සේ කම්පා වුනේය '
' හත්දෙයියනේ හඳ ලිඳට වැටිලා " ඔහු වහා කඹය හා පනිට්ටුව එකෙල මෙකෙල කරමින් හඳ පනිට්ටුවට දමා ගැනීමට වෙහෙසුනේය. කොච්චර උත්සහ කලත් පනිට්ටුව තරමක් ඉහළට උස්සද්දී හඳ ළිං පතුලේම තිබෙනවා දැක දුක් වුනේය. ආයෙත් පරෙස්සමට හඳ පනිට්ටුවට දමා ගන්නට උත්සහ කරද්දී ළිං පතුලේ තිබු මුලක පනිට්ටුව පටලැවුණේය . 'දැන්නම් හඳ අල්ලා ගත්තා යැයි සතුටට පත් නස්රුද්දීන් ශරීරයේ මුළු වැර යොදා කඹය ඇද්දේය . "ජරාස්" හඬින් කැඩි ගිය කඹයේ කොටසක් අතේ තිබියදී නස්ර්ද්දීන් විසිවිගොස් උඩබැලිව ඇද වැටුනේය .
අසිහියෙන් මෙන් දෑස් විවර කරද්දී ඉහළ ආකාශයේ දිලිසෙමින් තිබූ පුන් සඳ දැක ප්‍රීතියෙන් පිනා ගියේය,
' අන්තිමේ කොහොමහරි මම හඳ බේරා ගත්තා ' කියා සතුටින් මුමුනමින් උඩුබැල්ලෙන්ම වැතිර සිටියේ මහත් වූ සන්තෝෂයෙනි.
මේ මම ඉතා මෑතකදී තුර්කියේ සිටියදී කියවූ නස්රුද්දීන්ගේ කතාවකි.
දවසක් ගඩාගෙඩි ගෝනියක් බෙදාගන්නට බැරිව දබර කර ගනිමින් සිටි ළමයින් පිරිසක් අසළින් නස්රුද්දීන් ඇවිදගෙන ගියේය. නස්රුද්දීන් දුටු තරමක තේරුම් බේරුම් ඇති ළමයෙක් ' අනේ අන්කල් අපිට මේ ගෙඩි ටික බෙදා ගන්න උදව් කරන්න' යයි කිව්වේය.
කරුණු විමසා බැලු නස්රුද්දීන් හරි මම බෙදල දෙන්නම් . නුඹලා කැමති මේවා දෙවියන්ගේ ක්‍රමයට බෙදා ගන්නද නැත්නම් සාතන්ගේ ක්‍රමේට බෙදා ගන්නද ? කියා ඇසුවේය.
"ආයේ මොනා අහන්නද දෙවියන්ගේ විදිහට" ළමෝ එක හඬින් කීහ .
නස්රුද්දීන් එතන සිටි ලොකුම ළමයාට ගෙඩි ගොඩෙන් බාගයක් දුන්නේය . තව ළමයෙකුට පහක්ද, තව කෙනෙකුට හතරක්ද ලෙස බෙදාගෙන ගිය අතර අන්තිමේ ළමුන් කිහිප දෙනෙක්ට කිසිවක්ම ලැබුනේ නැත .
' මේ මොන බෙදිල්ලක්ද ? " අසාධාරණයට ලක්වූ ළමෝ ගේම ඉල්ලුවෝය .
ඉණට අත්දෙක තියාගත් නස්රුද්දීන් මෙසේ කීවේය .
" උඹලගෙන් මං ඇහුවනේ කවුරු බෙදන විදිහටද ඕනි කියල . දැන් උඹල මහා එකාලට ඉඩකඩම් වස්තුව එහෙම බෙදල දීලා තියෙන්නෙත් ඔය ක්‍රමේට නෙවෙයිද?"
මගේ ගාවත් නස්රුදීන්ගේ කථා ලියපු සිංහල පොතක් තිබ්බා. ඇත්තටම නස්රුදින් කියලා එක්කෙනෙක් හිටියද කියලා ත් සහතික කරලා කියන්න බෑ නේද....ඒ කාලේ නස්රුදීන් කියන්නේත් , අපේ කාලේ අර වල් කථා ටික බැර කරන්න හදපු ඇම්ඩන් වගේ චරිතයක්ද දන්නෙත් නෑනේ.. - Mayya
ReplyDeleteඔව් මම උඩින් කියල තියෙනවා වගේ නස්රුදින් කියන්නේ හැමෝගෙම කතා එකතු කරන්න දාපු ගිණුමක්. හැබැයි එහෙම මනුස්සයෙක් ඉන්න ඇති . අදත් අපි ඔෆිස් එකේදී ඒ ගැන කතා උනා . ඒක නෙවෙයි අර එවනවා කිව්වා මැසේජ් එක එව්වේ නෑනේ
Deleteමම මෙසේජ් එක දැම්ම....කියවලා තිබ්බේ නෑ.....තව එකක් දාන්නම් - Mayya
Delete++++++
ReplyDeleteස්තුතියි මිතිල කාලෙකින්
Deleteඅපිට වස්තුව බෙදුව ලස්සන කොච්ච්ර කිව්වොත් අන්තිමට එක්කෝ ඕන නෑ
ReplyDeleteවස්තුව බත් බෙදපු විදිහද ?
Deleteමල් කැකුළු බ්ලොග් අඩවියේ පර්සි ජයමාන්න මහතා තවම නස්රුද්දින් කතා ලියනවා.
ReplyDeleteහොඳ ආරංචියක් . බොහොම ස්තුතියි. පර්සි ජයමාන්නගේ ලිපි පත්තරවල යන කාලේ කැමැත්තෙන් කියෙව්වා .
Deleteගඩා ගෙඩි බෙදිල්ල මම අදමයි කියෙව්වෙ.
ReplyDeleteඅර හඳ බේරගත්ත කතාවෙ අන්තිමට නස්රුද්දීන් කියනව, "මං තනියම ආපු එක හොඳයි නේද?" කියල.
ගඩාගෙඩි කතාව මම මෙහෙදී තමයි කියෙව්වේ . ගඩාගෙඩි වෙනුවට වෙන ගෙදිවගයක් තිබ්බේ. හඳේ කතාවේ ඒ කොටස මට අහුවෙලා නෑනේ බං
Delete😂👌
ReplyDeleteජය !
Delete+++++++✌️😊
ReplyDelete+++++ජය !
Deletehttps://www.history.co.uk/articles/act-the-fool-famous-court-jesters-and-fools-from-british-history
ReplyDeleteනියම ලින්ක් එකක් . ස්තුතියි ප්‍රා. අපේ රටෙත් කීප දෙනෙක් ඔය වෙබ් එකේ ලයිස්තුගතවෙන්න ඉඩ තියෙනවා
Deleteලින්ක් යොදන්නේ මෙහෙමයි.
Deletehttps://www.history.co.uk/articles/act-the-fool-famous-court-jesters-and-fools-from-british-history
මං පොඩි කාලේ කියවපු පරිවර්තන පොතක (වෝල්ටර් ස්කොට් ගේ "අයිවන් හෝ" කතාවේ පරිවර්තනය විය හැක) හිටියා කවටයින් දෙන්නෙක්. වම්බා සහ ගර්තා.
Deleteඅපේ බ්ලොග් රචක ප්‍රසි මායාදුන්නේ විසින් නස් රුදීන්ගේ කථා පොත් කිහිපයක් පලකොට ඇති බව මට මතකයි.
ReplyDeleteමටනං ඇදලාම ගිය කථාව "මේ බැළලි නම් මස් කෝ? මේ මස් නං බැළලි කෝ?" සීන් එකය!
ඒ බ්ලොග් එක ගැන දැනගැනීම සතුටක්. අදහෙට ගොඩවෙන්න ඕනි
Deleteපර්සි මායාදුන්නේ තමයි 70 දශකයේ දී නවයුගය සඟරාවට නස්රුදින් කතා පරිවර්තනය කර ලිව්වේ. මිනිහා කාටූනුත් ඇන්දා!
Deleteහිනා තවරා දිදී නුවණැති කරුණු හිත් කාවදින සේ
ReplyDeleteනස්රුදින්ලා අන්දරේලා කළා යුතුකම යුතු ලෙසේ
ඒ වගේ තව ගොඩක් උදවිය පෑදුවත් අප නැණ ඇසේ
තවම කොරපොතු ඉතිරි වී ඇත; ඒකනේ සිරිලක දොසේ
අන්දරේලා පිරිලා ඉතිරෙන පොකුණ මැද රජ වාසලේ
Deleteනස්රුදින්ලා එහෙම හිටියත් මොළෙන් උන් පෙර පාසැලේ
😊😊😊😊😊
ReplyDeleteකසුන් එන්න. කාලෙකින් . ජය !
Deleteනස්රුදීන් කතා ගැන ගොඩක් දේ දැනගත්තා. කෞතුකාගාරයත් බැලුවම ආයෙමත් ලියන්න.
ReplyDeleteඔව් අනුරුද්ධ මම ඉක්මනින් බලන්න යනවා. ලියන්නම් . ජය !
Deleteමරු. මට හිතන්නේ කතා තුනම දේශපාලනිකයි කියල.
ReplyDeleteවෙන්න පුළුවන්. ඔය ගඩාගෙඩි කතාව කිව්වේ මොන වගේ සමාජෙක ඉඳගෙනද කියල කල්පනා කරද්දී මේවා සිරා කතා කියල තේරෙනවා
Deleteතෙනාලි රාමන් ගැන අසා තිබේ ද?
ReplyDelete