Thursday, June 13, 2024

බර්නාර්ඩ් සොයිසා හා කෘතීම බුද්ධිය

                                      
නාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය පවසන්නේ කෘතීම බුද්ධිය ව්‍යාප්ත කිරීම සඳහා කාර්ය සාධක බලකායක් සහ වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි .

මේ පුවත සමහර සිංහල පත්තරවල වාර්තා කර තිබුනේ  කෘතීම බුද්ධිය ලංකාවේ සියලු දෙනාට බෙදා දෙන බව කවුදෝ දේශපාලන පොරොන්දුවක් දුන් ආකාරයටය . 

 ඒත් AI කියා අප හඳුන්වන කෘතීම බුද්ධිය වනාහී කිලෝ දහයේ හාල් මළු බෙදනවා වාගේ බෙදන්නට පුලවන් දෙයක් නොවන බව පහදා දෙන්නට කවුරුවත් උත්සහ කර නොතිබිණි .
 කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන ලෝකයා බොහෝ සෙයින් වැඩ ගනිමින් සිටින අතර අප වැඩ කරන ව්‍යාපාර කළමනාකරණ අංශයේද කිසියම්  කැළඹීමක්  කරමින් සිටී .

මේ ගැන මම විද්වතුන් පිරිසක් අමතා දෙසුමක් ගිය සතියේ කළ  අතර තවත් එවැනිම දෙසුමක් ලබන සතියේ කරන්නට තිබේ . මේ හැමතැනදිම මම  කෘතීම බුද්ධිය සම්බන්ධ පවතින මිත්‍යා මත කිහිපයක්  සම්බන්ධව කියමි  .

 පළමුවන මිත්‍යාව නම්  කෘතීම බුද්ධිය හෙවත් ඒ අයි යනු මහා මැජික් එකක් යයි සිතීමය , දෙවැන්න ඒ අයි , මැෂින් ලර්නින් හා චැට් ජී පී ටී වැනි ජෙනේරටිව් ඒ අයි යන සියල්ල එකක් බව සිතීමය . තෙවැනි මිත්‍යාව වන්නේ ඒ අයි වලින් වැඩ ගැනීමට ඒ සම්බන්ධ උසස් තාක්ෂණ දැනුමක් තිබිය යුතු බව සිතීමය , සිව්වනුව ඉතා ඉක්මනින් මිනිසුන් ඉවත් කර ඒ තැනට ඒ අයි පත්විය හැකි බව සිතීමය , අවසාන මිත්‍යාව මේවා ගැන  උගන්වන්නට හා ලියන්නට එන අප ඒ අයි දන්නවා කියා සමහරුන්  හිතීමය .

 කෙසේ වෙතත් මීට අවුරුදු තිහකට කලින් 1994 අවුරුද්දේ විදුසර පත්තරේ වැඩ කරද්දී  අප  පටන්ගෙන නිමා නොකළ රාජකාරියක් යලි දියත් කිරීමට  ඒ අයි වලින්වත් පුලුවන් වෙනවා නම් හොඳ නේදැයි මේ   අල්ලපනල්ලේ කල්පනා  කලෙමි. ඒ ජාතික ප්‍රතිපත්ති හැදීමය.  ඒ අංශයේ උණ අපට දශක ගණනාවක් සිට තිබුනත් මේ වෙනකොට  ජාතික ප්‍රතිපත්ති   යන වචනයත් අප්පච්චි, ආප්ප හා පොල් රොටී වගේම හෑල්ලු වී තිබේ.

නව රජයකින් විද්‍යා තාක්ෂණ, සෞඛ්‍යය , අධ්‍යාපනය, ඉදිකිරීම්  ආදී අංශවල ප්‍රතිපත්ති සකස් විය යුත්තේ කෙසේද යන කරුණ අරබයා අදාල හා නම් දැරූ පුද්ගලයන් කීපදෙනෙක් සමග සාකච්චා වට කීපයක්ම විදුසරේ අප කළෙමු  . 1994 අගෝස්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනුවාට පසු නොවැම්බර් ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් අතරතුර කාලයේදී  එම   සාකච්චා පැවැත්විණි . නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොහොම වෙන්නට ඕනෑ දයි මම සෞඛ්‍ය ඇමති පවුසි සමග සාකච්චා කළෙමි. අධ්‍යාපන ඇමති රිචර්ඩ් පතිරණ සමග දුරකතනයෙන් කතාබහ කරගෙන  සාකච්චාවට දින යොදා ගත්තද එය කල් ගියේය . වාරිමාර්ග අධ්‍යක්ෂවරයා  වූ පසුකලෙක වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් වූ විද්‍යාජෝති ඒ  ඩී  එස් ගුණවර්ධන සමග  අපි වාරි සංවර්ධනය හා ඉංජිනේරු විෂයයට අදාල ජාතික ප්‍රතිපත්ති  ගැන කතා කළෙමු .

මේ ජාතික ප්‍රතිපත්ති ගැන කතා බහේදී වැදගත්ම කතා ටික කිව්වේ ඒ වන විටත් අසූ හැවිරිදි වියේ සිටි බර්නාර්ඩ් සොයිසාය , පාලන බලය දරු පොදුජන එකසත් පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වූ ඔහු චන්ද්‍රිකාගේ මුල් කැබිනට්ටුවේ විද්‍යා හා තාක්ෂණ ඇමති වුනේය. 
කොළඹ හත විජේරාම මාවතේ පරණ නරේසා කන්තෝරුව තිබුන කුඩා ගොඩනැගිල්ලක අමාත්යංශය තිබුණේය . තමන් සමග කතා කරන්නට ඕනෑ  කී  පත්තරකාරයන් කිහිප දෙනෙක්ම එකම වෙලාවට ගෙන්වා ආලින්දයේ වැඩි කරවාගෙන ඔහේ සැහැල්ලුවෙන් කියවාගෙන යන අතරේ බර්නාර්ඩ් සොයිසා අහන හැම ප්‍රශ්නයටම  උත්තර දුන්නේය . 
මට මතක විදිහට එතන සිටි කිසිවෙක් ඔහුට සර් කිව්වේ නැති අතර සමහරුන් කෙලින්ම බර්නාර්ඩ් කියා කතා කළේය. ඒ ආකාරයේ ඇමතිවරු හා පත්තරකාරයන්  දුටු ආධුනික අපටද යම්  දිරියක් ලැබුණි .

අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේ ඉඩමක් වෙන් කරවාගෙන සිංගප්පුරුවේ මෙන් හැමදාම ඇරලා තියෙන විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනාගාරයක් හෝ සයන්ස් පාක්  එකක් හදන්න හිතේ තියෙන බව ඔහු කිව්වේය.  ඊට අමතරව විද්‍යා හා තාක්ෂණ අංශයේ අලුත් ව්‍යාපාර හදාවඩා ගන්නා බිස්නස් ඉන්කියුබෙටරයක් ගැනද ඔහු කිව්වා වාගේ මතකය . 

මේ බිස්නස් ඉන්කියුබේටර්  වචනය මෙතැනින් හෝ කොතනින් හෝ හිතට වැදී ප්‍රශ්චාත් උපාධි පර්යේෂණය සඳහාද තෝරා ගත්තෙමි , ඒ ගැන රිපෝර්ට් එක හදමින් සිටි 2004 අවුරුද්දේ මට ඉංග්‍රීසි පත්තරයක විද්‍යා හා තාක්ෂණ  ඇමති අතින්  බිස්නස් ඉන්කියුබෙටරයක් විවෘත වෙන කතාවක් දකින්නට ලැබුණේය . ඒ වනවිට ඇමතිවරයා වුයේ ලංකා සමසමාජ පක්ෂයේම තිස්ස විතාරණයි. අමාත්‍යංශයට කතා කළ විට එතන සිටි නිලදරුවෙක්  කිව්වේ එහෙම කතාවක් තමන් නොදන්නා බවයි.ඇමතිවරයා දන්නේද තමන් දන්නා දෙයම බවත් කිව්වේය. 

දේශපාලනය හා දේශපාලකයන් පිරිහෙමින් යමින් තිබු ඒ සමයේ  හරියට එක දිගට ගිය බිස්නස් ඉන්කිය්බේටර් එකක් කොහෙවත් නොතිබුණු අතර ගිය අවුරුද්දේ  තොරතුරු සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය හෙවත් ICTA ආයතනය අලුතින් පටං ගන්නා තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා අතහිත දෙන වැඩක් පටන් ගත බව එහි සභාපතිවරයා කිව්වේය. 

 ඒ අයි හා සියලුම තොරතුරු තාක්ෂනයන්  සම්බන්ධ වැඩවලට මූලිකත්වය ගතහැකි සම්පත් හා ආයතනික රාමුවක් ඒ වගේ ආයතනයක තිබියදී  කෘතීම බුද්ධිය සඳහා තවත් ආයතන මක්කටදැයි සිතමින් සිටියදී බර්නාර්ඩ් සොයිසා හදන්නට සිතා සිටි  අවිස්සාවේල්ල  සාලාවේ  තාක්ෂණ උද්‍යානයේ සංකල්ප චිත්‍රයක්  ජෙනේරේටිව්  ඒ අයියා කෙනෙකුට කියා අන්දවා ගත්තෙමි. මේ පෝස්ට් එකේ උඩින්ම තියෙන්නේ එයයි. 

ඒ අයි හා ජාතික ප්‍රතිපත්ති එකට ගැට ගහන්නේ කොහොමද කියලා මම කල්පනා කරමින් සිටින අතර එකට පටලවා හෝ නැතිව හෝ කාලය ලැබෙන පරිදි  ඒ ගැන ලියන්නටද සිතා සිටිමි .