Sunday, December 1, 2024

බල්ලන් හා පූසන්ගේ නගරය -ඉස්තාන්බුල් දිනපොත 5

 

ම අපේ නිවාස සංකීර්ණයේ ඉහළ මහලක ඉඳන් පළවෙනි තට්ටුවට විදුලි සෝපානෙන්  බහිද්දි අටවෙනි තට්ටුවෙන් ගොඩ වුණු තරුණියක් බල්ලෙකුත් වඩාගෙන හිටියා. බොහොම හුරුබුහුටි  බලු පැටියා  මා දිහා බලමින් හෙමින් බුරන්නට වුණා. බල්ලාගේ හිමිකාරිය මා දෙස අහිංසක ලෙස බලා සමාව අයදින ආකාරයෙන් හිනා වුණා. මම පෙරලා මදහසක් පෑවා . ඒ අතරේ පස්වෙනි තට්ටුවේදී නතර වූ විදුලි සෝපානයට ගොඩ වූයේ වියපත් කාන්තාවක් .ඇය පසුපස පුෂ්ටිමත් දුඹුරු පැහැ බළලෙක් ගොඩ වුනා. කාන්තාව බළලා සමග කතා කරමින්ම සිටිද්දී  දෙවැනි තට්ටුවේ ලිෆ්ට් එක නතර වුනේ මුලින් කී  බල්ලා  කැටුව  යන කාන්තාවට බහින්න. ඒ අතරේ අර බළලාද එලියට පැන ගත්තා. වැඩිහිටි කාන්තාව බොහෝ කළබලයට පත්ව, බළලා නැවත ලිෆ්ට් එක තුලට  ගන්න උතසහ කරත් ඌ යලි ආවේ නෑ .විනාඩි දෙකක් තුනක් මේ නිසා අපට  ප්‍රමාදත් වුනා . ඔවැනි සිදදී මේ නගරයේදී ඉතා සාමාන්‍ය දේවල් .

බොහෝ ගෙවල්වල නෙක වර්ගවල බල්ලන් හදනවා  .බළලුන්  බොහෝවිට ජීවත් වන්නේ  ගොඩනැගිලි හා වෙළඳ සැල් ආශ්‍රිත උන්ටම වෙන්වූ අහුමුළුවල.  ඊට අමතරව පාරේ නිදහසේ ඔබ මොබ යන බල්ලන් හා බළලුන් එමට සිටිනවා . මම මේ මහල් ගොඩනැගිල්ලට මුලින්ම පදිංචියට  ආ සතියේ එළිමහනට ගොඩ වූ වෙලාවක  හොඳින් වැඩුණු බල්ලන් දෙදෙනෙක් මා දෙසට  ඇවිදගෙන ආවා. එකෙක් කළුයි අනෙකා සුදුයි. කළු බල්ලා  මා දෙස බලා නැවතී බුරන්නට වුනා . මේ සිද්දිය දුටු  අසලින් ගිය පිට්සා බෙදන තරුණයකු සිය බෑගයේ  වෙනම කොටසක දාගෙන තිබූ පීසා කැබලි කිහිපයෙන් දෙකක් බල්ලන් දෙදෙනාට දී මා දෙස හිතවත්ව බැලුවා. ඒ සිද්දියෙන් පසු කිසිම දවසක් මේ බල්ලන් දෙදෙනා මම එනු දැක බුරන්නට හෝ වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නෑ . දැන් අවුරුද්දක් තිස්සේ අපේ නිහඬ සමාදානය පවත්වාගෙන යනවා . 

තවත් දිනෙක මම සුපිරි වෙළඳ සංකීරණයක් යාබදව වැටී  තිබූ අඩිපාරක් දිගේ ඇවිදගෙන යද්දි මා ඉදිරියෙන් ගිය තරුණියක් එක වරම නතර වී  බලා සිටියා. ඉදිරියෙන් පාර හරස් කරගෙන සිටින කළු බල්ලකු එවිට මට පෙනුණා . මම දැනසිටි පරිදි මෙරට තරුණියන් ,තරුණයන් සහ ළමයින් බල්ලන්ට හා බළලුන්ට බය නෑ . පාරේ තොටේ දුටුවොත්  ඔවුන්ව අල්ලාගෙන හුරතල් කරනවා. ඒත් මේ තරුණිය බල්ලා සිටින පැත්තෙන්වත් යන්නට බයෙන් ඉන්නවා . ඉතින් මම ඇයත් සමඟ බල්ලා මඟහැර තරමක් ඉදිරියට යද්දී ඇය මට පැවසුවේ ඇය ඉස්තාන්බුල් නගරයේ පදිංචිකාරියක් නොවන බවත් අසල්වැසි රටක සිට ඉගෙන ගැනීමට මේ රටට පැමිණ බවත්ය. ඒ නිසා මේ නගරයේදී  දුටු බල්ලන් හා බළලුන්ට දක්වන ලෙන්ගතුකම ඉස්තාන්බුල් වැසියන් කෙරෙහි වූ විශේෂ ගතිගුණයක්. 

 ඉස්තාන්බුල් නගරයේ සිටින බල්ලන්ට හෝ පූසන්ට ස්ට්‍රේ හෙවත් 'අයාලේ යන' යන වචනය යෙදීම බොහෝ නගර වැසියන් ප්‍රතික්ෂේප කරනවා. මේ නගරයේ බල්ලන් හා පූසන් අයාලේ යන්නේ නෑ. මේ නගරය තමයි ඔවුන්ගේ නිවහන . ලක්ෂයකට අධික බල්ලන් සංඛ්‍යාවකුත් ඒ හා සමානම හෝ ඊටත් වැඩි බළලුන් ගණනකුත් ඉස්තාන්බුල් නුවර තැනින් තැන තමන්ගේ ගෙදර වගේ බොහොම තේජාන්විතව සැහැල්ලුවකින් සහ විශ්වාසයකින් ජිවත් වෙනවා. බොහෝ  නගරවාසීන් ඔවුන් සමඟ ඉතා මිශ්‍රශීලීව කටයුතු කරනවා. පාරේ සිටින බල්ලන්ට හා පූසන්ට කෑම බෙදමින් යන මිනිසුන් හා ගැහැණුන් සිය දෛනික රාජකාරියක් සේ සලකා එය ඉතාම භක්තියෙන් කරනවා. අපේ වැඩබිමට අසල ගම්වලින් පැමිණි බල්ලන් හත් අට දෙනෙකු  සිටිනවා. උන්ව හුරතල් කිරීම තමයි අපේ වැඩබිම් සේවකයන්ගේ කෑමෙන් පසු විවේක සතුට . 

සෑම සාප්පු හා නිවාස සංකීර්ණයක් අසලම වාගේ ලස්සන බළල් කුඩු හා බලු කූඩු තිබෙනවා. හොඳ බඳුන්වල කෑම හා වතුර දමා තිබෙනවා. මේවා හිස් වී තිබෙනවා දුටුවොත් ළඟම තියෙන කඩයට ගොස් හෝ කෑම පැකට්ටුවක් ගෙනවිත් දමන්න ඕනිම කෙනෙක් ඉදිරිපත් වෙනවා    . සමහර කඩ හිමියන් වතුර නලයකින් පාරේ සිටින බල්ලන් නාවනවා මම දැක තියෙනවා. බොහෝ නිවැසියන් සුරතලයට බලු පැටියෙක් හදනවා. පාරේ සිටින බළලුන් සුරතල් කරනවා. ඉස්තාන්බුල් නගරයේ බල්ලන් හා බළලුන් ගැන ලිපි ලේඛන හා වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය වී තිබෙනවා .  2016 වසරේ නිර්මාණය වූ ලෝ පුරා ජනාදරය දිනු Kedi වාර්තා චිත්‍රපටය එවැන්නක්  . 

මේ රටේ සිටින කාන්ගල් නම් ශෙපර්ඩ් වර්ගයේ  බල්ලන් දෙමුහුම් විශේෂයක් .මෙම බල්ලන්ගේ ජාන අනුව ඔවුන් කසකස්ථානය, උස්බෙකිස්ථානය හා තජිකිස්ථානය ආදී ටර්කික් රටවල සිටින බල්ලන් හා නෑකමක් දක්වන බව වරක් මම ලිපියක දුටුවා .   බල්ලන් ඉස්තාන්බුල් වැසියන් හා මේසා ලෙන්ගතු කමක් දක්වන්නේ දුරාතිතයේ පටන්, ඔවුන්ගේ බැටළුවන් බලා ගන්නට එකතු වූ නිසා වෙන්නට ඕනි . මේ ආකාරයෙන් බල්ලන් , පූසන් හා මිනිසුන් අතර බැඳියාවේ කතාව හැම විටම සුන්දර නෑ . බල්ලන්ට හා පුසන්ට කැමති මිනිසුන් මෙන්ම නොයෙක්  හිරිහැර නිසා නගරය උන්ගෙන් නිදහස් විය යුතුයි  කියන පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව දැඩි උණුසුම් හා දරුණු  ශීත  කාලයේදී බල්ලන් හා බළලුන් පීඩා විඳිනවා . අසනීප වූ හා හාමත් වූ බල්ලන් ගැන වැඩි වශයෙන් වාර්තා වුනේ කොවිඩ් වසංගත සමයේ. ඒත් ඒ දුෂකර සමයේත් සතුන් ගැන සොයාබලා  සහන සැපයු මිනිසුන්, ආයතන  හා සංවිධාන ගැන තොරතුරු සෑහෙන්න තිබෙනවා.  

 බල්ලන් නගරයෙන් ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහයන්ද දරා තිබෙනවා. ජල භීතිකා රෝගය හා සපා කෑම්  නිසා වරින්වර උන් නගරයෙන් වෙන් කරන යෝජනා ආවත් 2004 දී රජය බල්ලන් හා බළලුන් ආරක්ෂා කරගෙන ජන ජීවිතය හා සත්තව ජීවිතය යහපත්ව ගෙන යන විශේෂ නීතියක් සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව උන්ව රැක බලා ගැනීමේ  වගකීම පළාත්පාලන ආයතනවලට පැවරෙනවා .මේ රටේ සත්තව අයිතීන් පිලිබඳ බොහෝ ක්‍රියාශීලි සංවිධාන තියෙනවා. නගර සභාව විසින් විශේෂ මහන්සියක් මේ සතුන්  රැක  බලා ගන්නවා. ඔවුන් වන්ධ්‍යාකරණ හා එන්නත්කරන වැඩ පිලිවල් වගේම බළලුන් හා බල්ලන් වෙනුවෙන් ගිලන් රථ සේවාද පවත්වාගෙන යනවා. සතුන් රැක  බලා ගන්නා මධ්‍යස්ථාන හා ආහාරපාන වෙනුවෙන්ද සැලකියයුතු මුදලක් වෙන් කෙරෙනවා. නගරයේ මා දුටු සෑම බල්ලෙක්ගේම වගේ කණේ  කුඩා ටැග් එකක් දුටුවා . එහි අඩංගු වන්නේ බල්ලන්ගේ එන්නත්කරණ  හා වන්ධ්‍යකරන්‍ය හා අදාල වූ තොරතුරුලු . මේ ආශිත වූ දත්ත පද්දති පමණක් නවෙයි සතුන්ගේ තොරතුරු බෙදා හදාගෙන උන් රැකබලා ගන්නට කැප වූ ජන සහභාගිත්වයෙන් ක්‍රියාත්මක  වන මොබයිල් ඇප් කිහිපයක් ගැනද මට අසන්නට ලැබුනා .

 බල්ලන් හා බළලුන් නගරයෙන් වෙන් කරනවා වෙනුවට ඔවුන්ව අල්ලා එන්නත් කරන්නත්, වන්ධ්‍යකරණය කරන්නත්, උන්ට අහර හා සෙවණ සලසන්නත් ඉතා සාර්ථක වැඩ සටහන් කිර්යත්මකයි . ඉදිරි කාලයේදී උන් වෙනුවෙන් AI තාක්ෂනය ආශ්‍රිත පහසුකම්ද සැපයෙනවා නොඅනුමානයි . මොනවා උනත් ඉස්තාන්බුල් නගරයේ ජීවිතය  කියන්නේ පුරවැසියන්, මංමාවත් , ගොඩනැගිලි  හා ඉතිහාසගත ස්ථාන විතරක් නෙවෙයි. ඊට බල්ලන්  හා පූසන්ද ඇතුලත්  වෙනවා  .


-මෙහි මුල් කොටස 2024 නොවැම්බර් 10 දින සිළුමිණ පත්‍රයේ පළවිය