Tuesday, July 14, 2026

අක්බාර් පාල­මෙන් උප­කු­ල­පති බංග­ලා­වට…

සු­ගිය සතියේ මහ­වැලි නදිය මතින් විහි­දෙන පේරා­දෙ­ණිය සර­සවි බිමේ මන­ස්කාන්ත අක්බාර් මගී පාලම මත අපි මොහො­තක් නැව­තු­ණෙමු. පාල­මක් ගැන ලියන්න පටන් ගත් ඒ ගමන, අව­සා­නයේ ශ්රී ලංකාවේ ඉංජි­නේරු අධ්යා­ප­නයේ පියා ලෙස සැල­කෙන අපූරු මිනි­සකු වෙත මා රැගෙන යනු ඇතැයි එදා මම නොසි­තු­වෙමි.

1960 දශ­කයේ මුල් භාගයේ ඉදි වූ මේ පාලම මහ­වැලි ගඟ මැද එක කණු­ව­ක්වත් නොතබා පෙර­සවි (Pre-stressed Concrete) තාක්ෂ­ණය ඔස්සේ ඉදි කළ ශ්රී ලංකාවේ ඉංජි­නේරු නිර්මාණ කලාවේ අපූරු සන්ධි­ස්ථා­න­යකි. එව­කට ලොව ප්රකට ඉංජි­නේරු උප­දේ­ශක සමා­ග­මක් වූ එංග­ල­න්තයේ Husband & Company විසින් එය සැල­සුම් කරන ලද අතර, ශ්රී ලාංකික ඉදි­කි­රීම් සමා­ග­මක් විසින් එය ඉදි කෙරිණි. මීටර් 160ක් පමණ දිග මේ පාලම මතින් වාහන ධාව­නය නොක­ළත්, ඒ මතින් එහා-මෙහා ගිය දස­ද­හස් ගණ­නක් පේරා­දෙණි සර­සවි සිසු-සිසුවියෝ අද ලොව පුරා විසිරී සිටිති. ඔවු­න්ගෙන් බොහෝ දෙනෙක් වසර ගණ­නා­ව­කට පසු නැවත සර­ස­වි­යට පැමි­ණෙන්නේ නම්, අක්බාර් පාලම මත මොහො­තක් නතර වී ඡායා­රූ­ප­යක් ගැනී­මට අම­තක නොක­රති.
එහෙත් අක්බාර් පාලම ඉදි වූයේ මහ­වැලි ගඟ තර­ණය කිරී­මට පම­ණක් නොවේ. එය පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු පීඨය සඳහා සැල­සුම් කළ සමස්ත ඉංජි­නේරු පරි­ස­රයේ සුවි­ශේෂ අංග­යකි. ඒ නිසාම පාලම ගැන සොය­න්නට ගිය මගේ ගමන අව­සා­නයේ නැව­තුණේ පේරා­දෙණි ඉංජි­නේරු පීඨය හා අක්බර් පාලම ඇතුළු සියල්ල බිහි කර­න්නට නාය­ක­ත්වය දුන් මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා අස­ලය.
මේ ලිපිය සකස් කිරී­මේදී මගේ පේරා­දෙණි ගුරු­තු­මකු මෙන්ම රුහුණ විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු පීඨයේ ප්රථම පීඨා­ධි­ප­ති­ව­රයා වූ ආචාර්ය ජීවා­නන්ද කීර්ති­සේන මහතා සමඟ කළ කතා­බ­හත්, ඔහු විසින් සම්පා­ද­නය කරන ලද ලිපි සට­හන් සහ මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා පිළි­බඳ ලියැ­වුණු විවිධ මූලා­ශ්ර­යන් බෙහෙ­වින් උප­කාරි විය.
1988-89 භීෂණ සම­යෙන් පසු විශ්ව­වි­ද්යාල යළි විවෘත වූ 1990 වසරේ මමත් පේරා­දෙ­ණිය සර­ස­වියේ ශිෂ්ය­යෙක් වීමි. කාල­යක් සියලු සාහිත්ය හා කලා රස අත්හැර දමා තිබූ සමා­ජ­යක් යළි හුස්ම ගන්නට පටන් ගත් ඒ සමයේ සත්ය­ජිත් රායිගේ සිනමා උලෙ­ළක් සංවි­ධා­නය කිරී­මට අපට අව­ස්ථාව ලැබිණි. පතෙර් පංචාලි, අප­රා­ජිතෝ සහ අපූර් සංසාර් ඇතු­ළත් අපූර් ත්රිත්වය මුල්ව­රට මා නැර­ඹුවේ එදාය.
සිනමා දර්ශන අව­සන් වී පිට­තට එන විට අපි කතා කළේ සත්ය­ජිත් රායිගේ කැම­රාව මනු­ෂ්ය­ත්වයේ සියුම් හැඟීම් අල්ලා­ගත් ආකා­රය ගැනය. එහෙත් ඒ රඟ­හලේ දොර­ටුවේ ලියා තිබූ E.O.E. Pereira Auditorium යන නාමය පිටු­පස සිටි මිනිසා කවු­දැයි අප එදා හරි-හැටි දැන සිටියේ නැත.
අද මේ සියල්ල එකට ගළපා බලන විට මට සිතෙන්නේ සත්ය­ජිත් රායි සිය සින­මා­වෙන් මනු­ෂ්ය­ත්වය අම­ර­ණීය කළා සේම, ඒ ශ්රව­ණා­ගා­ර­යට නම උරුම කර දුන් මිනිසා මනු­ෂ්ය­ත්ව­යට මෙන්ම අපේ රටේ මානව සංව­ර්ධ­න­ය­ටද අප­මණ දාය­ක­ත්ව­යක් දී ඇති බවයි.
පේරා­දෙ­ණිය යනු අහ­ම්බෙන් බිහි වූ සර­ස­වි­යක් නොවේ. මහ­වැලි නදිය, හන්තාන කඳු වැටිය, මාර්ග, පාලම්, ගස්වැල් සහ ගොඩ­නැ­ඟිලි එකි­නෙක සමඟ සංවාද කරන ජීව­මාන අධ්යා­පන නග­ර­යකි. නව ලංඩන් නුවර සැල­සුම් කළ සර් පැට්රික් අබ­ර්ක්රෝම්බි ද ඒ සැලැස්ම පසු­බිමේ සිටි­යේය. ඒ අපූරු සංක­ල්පය සමඟ මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේ­රාගේ දැක්ම මනා සේ ගැළ­පුණු නිසා අක්බාර් පාලම, ඉංජි­නේරු පීඨය සහ ඒ අවට නිර්මා­ණය වූ පරි­ස­රය මුල් සැලැස්මේ ස්වාභා­වික දිගු­වක් ලෙස අදත් පෙනේ.
ආචාර්ය ජීවා­නන්ද කීර්ති­සේ­න­යන් පෙන්වා දුන් තවත් වැද­ගත් කරු­ණක් වන්නේ පේරා­දෙ­ණිය ඉංජි­නේරු පීඨය යනු පසුව බිහි වූ මොර­ටුව, රුහුණ සහ යාප­නය විශ්ව­වි­ද්යා­ල­වල ඉංජි­නේරු පීඨ සඳ­හාද ආදර්ශ මූලා­කෘ­ති­යක් වූ බවයි. පේරා­දෙ­ණි­යෙන් ආරම්භ වූ අධ්යා­ප­නික සංක­ල්පය පසුව ශ්රී ලංකාවේ ඉංජි­නේරු අධ්යා­ප­නයේ සම්ප්ර­දාය බවට පත් විය. එප­ම­ණක් නොව, ශ්රී ලංකා විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු උපා­ධි­යට අන්ත­ර්ජා­තික පිළි­ගැ­නී­මක් දීම සඳ­හාද මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා විශාල වෙහෙ­සක් දැරීය. ඒ නිසාම ඔහු ‘ශ්රී ලංකාවේ ඉංජි­නේරු අධ්යා­ප­නයේ පියා’ ලෙස හැඳි­න්වීම සාධා­ර­ණය.
එහෙත් ඔහුගේ ශ්රේෂ්ඨ­ත්වය මැනෙන්නේ ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් පම­ණක් නොවේ. ඔහුගේ චරි­තයේ සැබෑ උස පෙන්වන කතා­වක් අදත් පේරා­දෙ­ණියේ ආදි සිසුන් අතර ජීවත් වෙයි:
මීට වසර හැට­කට පමණ පෙර පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ලයේ සිසු­වි­යන්ගේ නේවා­සි­කා­ගා­ර­යක දෘශ්යා­බා­ධිත සිසු­වි­යක් නේවා­සි­කව සිටි­යාය. ඇය තම දෘශ්යා­බා­ධිත පෙම්වතා නිසා අන­පේ­ක්ෂිත ගැබ් ගැනී­ම­කට මුහුණ දුන්නාය. අව­සන් වසරේ උපාධි විභා­ග­යට තවත් තිබුණේ මාස කිහි­ප­යක් පමණි. සිද්ධිය විශ්ව­වි­ද්යා­ල­යට ආරංචි වූ පසු නේවා­සි­කා­ගා­රයේ විනය නීති ක්රියා­ත්මක විය. ඇය නේවා­සි­කා­ගා­ර­යෙන් ඉවත් කෙරිණි. විනය නීති අනුව එය සාධා­රණ තීර­ණ­යක් විය හැකිය. එහෙත් නීති­යට පිටු­ප­සින් තවත් ජීවි­ත­යක් තිබිණි. දෑස් නොපෙ­නෙන තරු­ණි­යකි. ගැබි­නි­යකි. අව­සන් විභා­ගය අත ළඟය. පෙම්ව­තාද දෘශ්යා­බා­ධි­තය. එවැනි මොහො­තක සිය­දිවි නසා­ගැ­නී­මක් වුවද, උපා­ධිය අත්හැර දැමී­මක් වුවද, දෙදෙනා සද­හ­ටම වෙන්ව යෑමක් වුවද සිදු වන්නට ඉඩ තිබිණි.
එහෙත් ඒ එක­ක්වත් සිදු වූයේ නැත. වැඩි­හිටි යුව­ළක් තම නිවෙසේ දොර විවෘත කළහ. ඔවුහු ඇය තම නිවෙ­සට කැඳ­වා­ගෙන ගොස්, ප්රශ්නය විස­ඳෙන තුරු රැක­ව­රණ දුන්නෝය. එනි­සාම ඇයට විභා­ග­යට පෙනී සිට, උපා­ධිය සම්පූර්ණ කිරී­මට ශක්තිය ලැබිණි. පසුව, ඇයත් ඇයගේ පෙම්ව­තාත් විවාහ වූහ.
එදා ඇයට තාව­කා­ලික රැක­ව­රණ ලැබූ නිවෙස සාමාන්ය නිවෙ­සක් නොවීය. ඒ, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ලයේ උප­කු­ල­පති බංග­ලා­වයි. ඒ දයා­බර වැඩි­හිටි යුවළ අන් කිසි­වකු වත් නොව; එව­කට උප­කු­ල­ප­ති­ව­රයා වූ මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා සහ ඔහුගේ බිරි­යයි.
මේ සිදු­වීම ආචාර්ය බ්රැන්ඩන් ගුණ­රත්න විසින් කල­කට පෙර ලියන ලද Scholar and Gentleman ලිපි­යේද සඳ­හන් වේ.
1907 සැප්තැ­ම්බර් 13 වැනිදා උපත ලැබූ ඊ.ඕ.ඊ. පෙරේරා රාජ­කීය විද්යා­ලයේ දීප්ති­මත් ආදි­ශි­ෂ්ය­යෙකි. පළ­මු­වැනි පන්තියේ ගෞරව සාම­ර්ථ්ය­යක් සමඟ ඉංජි­නේරු උපා­ධිය ලබා කේම්බ්රිජ් විශ්ව­වි­ද්යා­ලයේ ඩවුනිං විද්යා­ල­යට පිවිසි ඔහු නැවත මවු­බි­මට පැමිණ සර­සවි ආචාර්ය මණ්ඩ­ල­යට බැඳු­ණේය. ඔහු ලංකා විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු පීඨයේ ආර­ම්භක පීඨා­ධි­පති ලෙසත්, පසුව උප­කු­ල­පති ලෙසත් සේවය කර­මින් මෙරට ඉංජි­නේරු අධ්යා­ප­න­යට අත්ති­වා­රම දැමීය.
1988දී ඔහු අභා­ව­ප්රාප්ත වුවද, අක්බාර් පාලම ඔස්සේ අදත් දින­පතා දහස් ගණ­නක් මහ­වැලි නදිය තර­ණය කරති. පේරා­දෙණි සර­ස­විය හන්තාන කඳු පාමුල සජීව චම­ත්කා­ර­යක් හා අභි­මා­න­යක් දර­මින් හුස්ම ගනී. ඊ.ඕ.ඊ. පෙරේරා ශ්රව­ණා­ගා­රය අදත් තරුණ සිසු-සිසු­වි­යන්ගේ කතා­බ­හෙන්, සිනහ­වෙන් සහ සිහි­න­ව­ලින් පිරී පවතී.
එහෙත් මේ සිය­ල්ලට ඉහ­ළින්, කිසිදා දේශ­පා­ලන වර­දාන පසු­පස නොගිය උත්තුංග මිනි­සුන්ගේ සෙව­ණැලි වැටී තිබෙන බව පැහැ­දි­ලිය. අද අප කළ යුත්තේ, මේ උත්තුංග මිනි­සුන් පද­නම දැමූ විසල් දැක්මට ගරු කර­මින්, එය නවීන ලෝක­යට ගැළ­පෙන සේ තව තවත් ඔසවා පුළුල් කිරී­මය.
See less

( Silumina 12-07-26, Image-AI)

3 comments:

  1. උසස් පෙළ ඉවර කරලා ඉන්න දවසක මම පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ ප්‍රදර්ශනයක් බලන්න ගියා. හිතුවා කොහොම හරි පේරා එනවා කියලා. ඒත් නතර උනේ වෙන තැනක. හැබැයි පේරාදෙණිය සරසවිය සහ ඒ පරිසරේ එක්ක මුහු වෙච්චි අපූරු කතා ගොඩක් රජරට හිටිය අපිටත් තිබ්බා :)

    ReplyDelete
  2. අනේ මෙවන් උත්තමයන් අඩු නැතුව
    වැහි-වැස්සොත් සිරිලකටම කැත නැතිව
    හැදෙයි රටම යහපත් පැත්තට බරව
    උගතුන් සිටී බරටම- යන්තර වැනිව!

    ReplyDelete