1960 දශකයේ මුල් භාගයේ ඉදි වූ මේ පාලම මහවැලි ගඟ මැද එක කණුවක්වත් නොතබා පෙරසවි (Pre-stressed Concrete) තාක්ෂණය ඔස්සේ ඉදි කළ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු නිර්මාණ කලාවේ අපූරු සන්ධිස්ථානයකි. එවකට ලොව ප්‍රකට ඉංජිනේරු උපදේශක සමාගමක් වූ එංගලන්තයේ Husband & Company විසින් එය සැලසුම් කරන ලද අතර, ශ්‍රී ලාංකික ඉදිකිරීම් සමාගමක් විසින් එය ඉදි කෙරිණි. මීටර් 160ක් පමණ දිග මේ පාලම මතින් වාහන ධාවනය නොකළත්, ඒ මතින් එහා-මෙහා ගිය දසදහස් ගණනක් පේරාදෙණි සරසවි සිසු-සිසුවියෝ අද ලොව පුරා විසිරී සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වසර ගණනාවකට පසු නැවත සරසවියට පැමිණෙන්නේ නම්, අක්බාර් පාලම මත මොහොතක් නතර වී ඡායාරූපයක් ගැනීමට අමතක නොකරති.
එහෙත් අක්බාර් පාලම ඉදි වූයේ මහවැලි ගඟ තරණය කිරීමට පමණක් නොවේ. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා සැලසුම් කළ සමස්ත ඉංජිනේරු පරිසරයේ සුවිශේෂ අංගයකි. ඒ නිසාම පාලම ගැන සොයන්නට ගිය මගේ ගමන අවසානයේ නැවතුණේ පේරාදෙණි ඉංජිනේරු පීඨය හා අක්බර් පාලම ඇතුළු සියල්ල බිහි කරන්නට නායකත්වය දුන් මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා අසලය.
මේ ලිපිය සකස් කිරීමේදී මගේ පේරාදෙණි ගුරුතුමකු මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා වූ ආචාර්ය ජීවානන්ද කීර්තිසේන මහතා සමඟ කළ කතාබහත්, ඔහු විසින් සම්පාදනය කරන ලද ලිපි සටහන් සහ මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා පිළිබඳ ලියැවුණු විවිධ මූලාශ්රයන් බෙහෙවින් උපකාරි විය.
1988-89 භීෂණ සමයෙන් පසු විශ්වවිද්‍යාල යළි විවෘත වූ 1990 වසරේ මමත් පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයෙක් වීමි. කාලයක් සියලු සාහිත්‍ය හා කලා රස අත්හැර දමා තිබූ සමාජයක් යළි හුස්ම ගන්නට පටන් ගත් ඒ සමයේ සත්‍යජිත් රායිගේ සිනමා උලෙළක් සංවිධානය කිරීමට අපට අවස්ථාව ලැබිණි. පතෙර් පංචාලි, අපරාජිතෝ සහ අපූර් සංසාර් ඇතුළත් අපූර් ත්‍රිත්වය මුල්වරට මා නැරඹුවේ එදාය.
සිනමා දර්ශන අවසන් වී පිටතට එන විට අපි කතා කළේ සත්‍යජිත් රායිගේ කැමරාව මනුෂ්‍යත්වයේ සියුම් හැඟීම් අල්ලාගත් ආකාරය ගැනය. එහෙත් ඒ රඟහලේ දොරටුවේ ලියා තිබූ E.O.E. Pereira Auditorium යන නාමය පිටුපස සිටි මිනිසා කවුදැයි අප එදා හරි-හැටි දැන සිටියේ නැත.
අද මේ සියල්ල එකට ගළපා බලන විට මට සිතෙන්නේ සත්‍යජිත් රායි සිය සිනමාවෙන් මනුෂ්‍යත්වය අමරණීය කළා සේම, ඒ ශ්රවණාගාරයට නම උරුම කර දුන් මිනිසා මනුෂ්‍යත්වයට මෙන්ම අපේ රටේ මානව සංවර්ධනයටද අපමණ දායකත්වයක් දී ඇති බවයි.
පේරාදෙණිය යනු අහම්බෙන් බිහි වූ සරසවියක් නොවේ. මහවැලි නදිය, හන්තාන කඳු වැටිය, මාර්ග, පාලම්, ගස්වැල් සහ ගොඩනැඟිලි එකිනෙක සමඟ සංවාද කරන ජීවමාන අධ්‍යාපන නගරයකි. නව ලංඩන් නුවර සැලසුම් කළ සර් පැට්රික් අබර්ක්රෝම්බි ද ඒ සැලැස්ම පසුබිමේ සිටියේය. ඒ අපූරු සංකල්පය සමඟ මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරාගේ දැක්ම මනා සේ ගැළපුණු නිසා අක්බාර් පාලම, ඉංජිනේරු පීඨය සහ ඒ අවට නිර්මාණය වූ පරිසරය මුල් සැලැස්මේ ස්වාභාවික දිගුවක් ලෙස අදත් පෙනේ.
ආචාර්ය ජීවානන්ද කීර්තිසේනයන් පෙන්වා දුන් තවත් වැදගත් කරුණක් වන්නේ පේරාදෙණිය ඉංජිනේරු පීඨය යනු පසුව බිහි වූ මොරටුව, රුහුණ සහ යාපනය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සඳහාද ආදර්ශ මූලාකෘතියක් වූ බවයි. පේරාදෙණියෙන් ආරම්භ වූ අධ්‍යාපනික සංකල්පය පසුව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ සම්ප්රදාය බවට පත් විය. එපමණක් නොව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියට අන්තර්ජාතික පිළිගැනීමක් දීම සඳහාද මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා විශාල වෙහෙසක් දැරීය. ඒ නිසාම ඔහු ‘ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ පියා’ ලෙස හැඳින්වීම සාධාරණය.
එහෙත් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය මැනෙන්නේ ගොඩනැඟිලිවලින් පමණක් නොවේ. ඔහුගේ චරිතයේ සැබෑ උස පෙන්වන කතාවක් අදත් පේරාදෙණියේ ආදි සිසුන් අතර ජීවත් වෙයි:
මීට වසර හැටකට පමණ පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන්ගේ නේවාසිකාගාරයක දෘශ්‍යාබාධිත සිසුවියක් නේවාසිකව සිටියාය. ඇය තම දෘශ්‍යාබාධිත පෙම්වතා නිසා අනපේක්ෂිත ගැබ් ගැනීමකට මුහුණ දුන්නාය. අවසන් වසරේ උපාධි විභාගයට තවත් තිබුණේ මාස කිහිපයක් පමණි. සිද්ධිය විශ්වවිද්‍යාලයට ආරංචි වූ පසු නේවාසිකාගාරයේ විනය නීති ක්‍රියාත්මක විය. ඇය නේවාසිකාගාරයෙන් ඉවත් කෙරිණි. විනය නීති අනුව එය සාධාරණ තීරණයක් විය හැකිය. එහෙත් නීතියට පිටුපසින් තවත් ජීවිතයක් තිබිණි. දෑස් නොපෙනෙන තරුණියකි. ගැබිනියකි. අවසන් විභාගය අත ළඟය. පෙම්වතාද දෘශ්‍යාබාධිතය. එවැනි මොහොතක සියදිවි නසාගැනීමක් වුවද, උපාධිය අත්හැර දැමීමක් වුවද, දෙදෙනා සදහටම වෙන්ව යෑමක් වුවද සිදු වන්නට ඉඩ තිබිණි.
එහෙත් ඒ එකක්වත් සිදු වූයේ නැත. වැඩිහිටි යුවළක් තම නිවෙසේ දොර විවෘත කළහ. ඔවුහු ඇය තම නිවෙසට කැඳවාගෙන ගොස්, ප්රශ්නය විසඳෙන තුරු රැකවරණ දුන්නෝය. එනිසාම ඇයට විභාගයට පෙනී සිට, උපාධිය සම්පූර්ණ කිරීමට ශක්තිය ලැබිණි. පසුව, ඇයත් ඇයගේ පෙම්වතාත් විවාහ වූහ.
එදා ඇයට තාවකාලික රැකවරණ ලැබූ නිවෙස සාමාන්‍ය නිවෙසක් නොවීය. ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති බංගලාවයි. ඒ දයාබර වැඩිහිටි යුවළ අන් කිසිවකු වත් නොව; එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා සහ ඔහුගේ බිරියයි.
මේ සිදුවීම ආචාර්ය බ්‍රැන්ඩන් ගුණරත්න විසින් කලකට පෙර ලියන ලද Scholar and Gentleman ලිපියේද සඳහන් වේ.
1907 සැප්තැම්බර් 13 වැනිදා උපත ලැබූ ඊ.ඕ.ඊ. පෙරේරා රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යයෙකි. පළමුවැනි පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් සමඟ ඉංජිනේරු උපාධිය ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඩවුනිං විද්‍යාලයට පිවිසි ඔහු නැවත මවුබිමට පැමිණ සරසවි ආචාර්ය මණ්ඩලයට බැඳුණේය. ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආරම්භක පීඨාධිපති ලෙසත්, පසුව උපකුලපති ලෙසත් සේවය කරමින් මෙරට ඉංජිනේරු අධ්‍යාපනයට අත්තිවාරම දැමීය.
1988දී ඔහු අභාවප්‍රාප්ත වුවද, අක්බාර් පාලම ඔස්සේ අදත් දිනපතා දහස් ගණනක් මහවැලි නදිය තරණය කරති. පේරාදෙණි සරසවිය හන්තාන කඳු පාමුල සජීව චමත්කාරයක් හා අභිමානයක් දරමින් හුස්ම ගනී. ඊ.ඕ.ඊ. පෙරේරා ශ්‍රවණාගාරය අදත් තරුණ සිසු-සිසුවියන්ගේ කතාබහෙන්, සිනහවෙන් සහ සිහිනවලින් පිරී පවතී.


උසස් පෙළ ඉවර කරලා ඉන්න දවසක මම පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ ප්‍රදර්ශනයක් බලන්න ගියා. හිතුවා කොහොම හරි පේරා එනවා කියලා. ඒත් නතර උනේ වෙන තැනක. හැබැයි පේරාදෙණිය සරසවිය සහ ඒ පරිසරේ එක්ක මුහු වෙච්චි අපූරු කතා ගොඩක් රජරට හිටිය අපිටත් තිබ්බා :)
ReplyDelete++++++++++++++++++++++++++++
ReplyDeleteඅනේ මෙවන් උත්තමයන් අඩු නැතුව
ReplyDeleteවැහි-වැස්සොත් සිරිලකටම කැත නැතිව
හැදෙයි රටම යහපත් පැත්තට බරව
උගතුන් සිටී බරටම- යන්තර වැනිව!