Tuesday, September 22, 2026

බර්නාර්ඩ් සොයිසා සමඟ මෙල්බර්න් ‘මියුසියම්’ නැරඹුවෙමි


මීට වසර තිස් දෙකකට පෙර – එනම්: 1994 සැප්තැම්බර් මාසයේ දිනෙක – කොළඹ හතේ, විද්‍යා මාවතේ පිහිටි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට ගොස් එවකට එම විෂය භාර ඇමැතිවරයා වූ බර්නාර්ඩ් සොයිසා හමු වීමි.

මා එහි ගියේ තරුණ පත්තරකාරයකු හැටියටය. ‘විදුසර’ පත්තරය වෙනුවෙන් අපට පැවරී තිබුණේ අලුත් ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්ති කුමනාකාර විය යුතුදැයි කතාබහක් ඇති කිරීමය. ඒ සඳහා ඇමැතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් හමු වී ලිපි මාලාවක් ලියන්නට මට සිදු විය.

ජාතික ප්‍රතිපත්ති ගැන අපේ රටේ කතා වරින් වර මතු වෙයි; නැවත තුනී වී යයි. එහෙත් මේ කතාව ජාතික ප්‍රතිපත්ති ගැන නොවේ; එදා බර්නාර්ඩ් සොයිසා සමඟ කළ සාකච්ඡාවේදී ඔහු කී එක් පුංචි කතාවක් ගැනය.

පාසල් දරුවන්ටත් සාමාන්‍ය මිනිසුන්ටත් පැමිණ නවීන විද්‍යාව හා තාක්ෂණය තමන්ගේ ඇස් ඉදිරිපිට දැකගන්නට, අතින් අල්ලා බලන්නට, අත්හදා බලන්නට පුළුවන් ස්ථිර ප්‍රදර්ශන ස්ථානයක් හදන්නට ඔහුට අදහසක් තිබුණේය. ඒ සඳහා අවිස්සාවේල්ල, සාලාව ප්‍රදේශයේ ආණ්ඩුවේ ඉඩමක් යොදාගැනීම කෙරෙහිද අවධානය යොමු වී තිබිණි. එය සාම්ප්‍රදායික කෞතුකාගාරයක් නොවේ. මගේ මතකයේ හැටියට ඔහු එය හැඳින්වූයේද ‘කෞතුකාගාරයක්’ ලෙස නොව, ‘විද්‍යා ප්‍රදර්ශන උද්‍යානයක්’ වැනි අරුතක් ඇති නමකිනි.

මම ඒ කතාව පත්තරයට ලියා, අමතක කළෙමි. බර්නාර්ඩ් සොයිසා ද වැඩි කලක් අප අතර සිටියේ නැත.

එහෙත් අවුරුදු කිහිපයකට පසු සිංගප්පූරුවේ ‘විද්‍යා මධ්‍යස්ථානයට’ (සයන්ස් සෙන්ටර්) ගිය විට බර්නාර්ඩ් සොයිසා හදිසියේම මගේ මතකයට ආවේය.

එතැන තිබුණේ විද්‍යාවේ ඉතිහාසය පමණක් නොවේ. වර්තමානයත්, අනාගතයත් එහි තිබුණේය; ත්‍රිමාන සිනමා අත්දැකීම් තිබුණේය. අඟහරු ලෝකයට ගමන් කරන හැඟීම ගෙන දෙන ප්‍රදර්ශන තිබුණේය. කිකිළි බිත්තරයකින් පැටියකු එළියට එන හැටි පවා තම ඇස් ඉදිරිපිට බලා සිටින්නට දරුවන්ට ඉඩ සලසා තිබුණේය. එතැනට ඇතුළු වූ දරුවා පිට වී යන්නේ අතීතය ගැන කරුණු ටිකක් මතක තබාගෙන පමණක් නොවේ; ‘ඊළඟට මොකක්ද?’ යන ප්‍රශ්නයත් අරගෙනය.

පසුගියදා ඔස්ට්‍රේලියාවේ ‘මෙල්බර්න් මියුසියම්හි’ ඇවිදිමින් සිටියදී මේ මතකය යළි මගේ ඔළුවට කඩාපැන්නේය. එහි නවීන ප්‍රදර්ශන, ස්වාභාවික ඉතිහාසය, මිනිස් ජීවිතය, විද්‍යාව හා තාක්ෂණය එකිනෙක සම්බන්ධ කර තිබූ ආකාරය බලමින් සිටියදී මට සිතුණේ මා එහි ඇවිදින්නේ තනිවම නොවන බවයි. තිස් දෙවසරකට පෙර විද්‍යා මාවතේදී හමු වූ බර්නාර්ඩ් සොයිසාද මා සමඟ එහි ඇවිදිමින් සිටියේය.

මේ අතර මට ඉස්තාන්බුල් නුවර නිතර දකින තවත් නමක් මතක් විය. ‘හයා සොෆියා’ කියා කියවෙන ඉංග්‍රීසියෙන් ‘Hagia Sophia’ කියා ලියන ඓතිහාසික දේවස්ථාන ගොඩනැඟිල්ල හා බැඳුණු කෞතුකාගාරයය. මෙහි ‘සොෆියා’ යනු කාන්තාවකගේ නමක් නොවේ. ග්‍රීක බසින් ‘හයා සොෆියා’ යන්නෙහි අරුත ‘ශුද්ධ ප්‍රඥාව’ යන්නයි.

නමක අරුත දැනගත් විට, ගොඩනැඟිල්ල දෙස බලන ආකාරයද ටිකක් වෙනස් වෙයි.

වසර එක්දහස් පන්සියයකට ආසන්න කාලයක් තුළ ක්‍රිස්තියානි දේවස්ථානයක්, මුස්ලිම් පල්ලියක්, ‘මියුසියම්’ එකක් සහ නැවත මුස්ලිම් පල්ලියක් ලෙස යුග ගණනාවක කතා තම බිත්ති අතර තබාගෙන සිටින එහි නමම ‘ප්‍රඥාව’ පිළිබඳවය.

එතැනින් මට ‘මියුසියම්’ (Museum) යන වචනය ගැනත් නැවත සිතන්නට සිදු වුණේ මේ ගොඩනැඟිල්ලට අනුබද්ධ ‘මියුසියම්’ එකේ ප්‍රදර්ශන තාක්ෂණයේ ඇති නවීන ලක්ෂණ දුටු නිසාය.

පසුගිය වසරේ ‘ඉස්තාන්බුල් දිනපොත’ ලිපියකද මම මේ ගැන ලියුවෙමි. ඒ ඔර්හාන් පමුක්ගේ අපූරු සාහිත්‍යමය ‘මියුසියම්’ එක ගැන ලියද්දිය. ‘මියුසියම්’ යන්න අප සිංහලයට ‘කෞතුකාගාරය’ ලෙස පරිවර්තනය කරගෙන, ජනවහරේදී තවත් ටිකක් පහළට ගෙන ගොස් ‘කටුගෙය’ කරගෙන තිබීම ගැන මට පොඩි විරෝධයක් තිබේ.

‘Museum’ යන වචනයේ මුල් කතාව ග්‍රීක ‘Mouseion’ දක්වා දිව යයි. එය Muses හෙවත් කලාව, දැනුම හා බුද්ධිමය නිර්මාණශීලිත්වය සමඟ බැඳුණු සංකල්පයකි. එහෙම බලන විට ‘මියුසියම්’ එකක් ‘පරණ බඩු තියෙන ගෙයක්’ කිරීම හුදෙක් වචනයකට කළ අසාධාරණයක් පමණක් නොවේ. අපේ සිතීමේ සීමාවද එයින් පටු වී ඇතැයි මට සිතේ.

අපේ කෞතුකාගාරයක පැරණි ගිර, ඉලත්තට්ටු, කාසි, ආයුධ, ශිලා ලේඛන හා පුරාවස්තු තිබිය යුතුය. ඒවා රැකගත යුතුය. ඒවා අපේ මතකයයි. එහෙත් එතැනින් නතර විය යුතු නැත.

පැරණි වාරි තාක්ෂණය පෙන්වන තැනක අද ජල කළමනාකරණ තාක්ෂණයත්, හෙට දවසේ ජල අභියෝගත් තිබිය යුතුය. පැරණි ගොවිතැන් උපකරණයක් අසල ‘drones’, ‘sensors’, ‘robotics’ හා නව කෘෂිකර්මය ගැනත් දරුවකුට දකින්නට ලැබිය යුතුය. පැරණි ගණක යන්ත්‍රයකින් පටන්ගන්නා කතාව ‘Artificial Intelligence’ හෙවත් ‘AI’ දක්වා ගෙන යා යුතුය.

පරණ දුම්රිය එන්ජිමක් ඉදිරිපිට සිටින දරුවකුට ‘ඉස්සර කෝච්චි මෙහෙමයි’ කියා පෙන්නා ගෙදර යැවීම ප්‍රමාණවත් නැත. අධිවේගි දුම්රිය, ස්වයංක්‍රීය ප්‍රවාහනය සහ අනාගත නගර ගැනත් ඔහුගේ ඔළුවට ප්‍රශ්නයක් දමා යැවිය යුතුය.

නවීන ‘මියුසියම්’ එකක රාජකාරිය විය යුත්තේ දරුවාට පිළිතුරු සියල්ල දීම නොව, තවත් ප්‍රශ්න කිහිපයක් ඔහුගේ ඔළුවේ තැබීමය. එවිට එළියට එන දරුවා, ‘අපේ මුතුන්මිත්තන් මොන තරම් දක්ෂද?’ කියා පමණක් නොසිතනු ඇත. ‘අපට ඊළඟට මොනවා කරන්න පුළුවන්ද? මෙල්බර්න් ‘මියුසියම්’ කියාත් සිතනු ඇත.

AI යුගයේ අපට අවශ්‍ය වන්නේ එවැනි පරපුරකි; අතීතය ගැන ආඩම්බර වෙමින් එහිම නතර වන පරපුරක් නොව, අතීතය මත දෙපා තබා අනාගතයට අත දිගු කරන පරපුරකි.

1994 සැප්තැම්බරයේ විද්‍යා මාවතේදී බර්නාර්ඩ් සොයිසා කී ඒ කතාවේ සම්පූර්ණ අරුත මට එදා තේරුණාදැයි මම නොදනිමි. එහෙත් වසර තිස් දෙකකට පසු මෙල්බර්න් ‘මියුසියම්’ එකේ ඇවිදිමින් සිටියදී එහි අරුත මට ටිකක් වැඩියෙන් තේරුණේය. ඒ නිසා එදා මා මෙල්බර්න් ‘මියුසියම්’ එක නැරඹුවේ තනිවම යැයි කියන්නට බැරිය. බර්නාර්ඩ් සොයිසාද මා සමඟ එහි ඇවිද්දේය; ඔහු දශක තුනකට පෙර දුටු සිහිනයද අප සමඟ ඇවිද්දේය.

( Silumina Thilakasitha 20 Sept 2026)

No comments:

Post a Comment