1987 අවුරුද්දේ අග හෝ 88 අවුරුද්දේ මුල දවසක සුපුරුදු පරිදි සරසවිය හිටි හැටියේම වසා දැමිණි. රැ කෝච්චියෙන් ගෙදර යන්නට තීරණය කළ මම කල් වේලා තිබු බැවින් නුවර පැත්තේ ගියෙමි. මුලින්ම කුඩා සැලුනයකට ගොඩ වුනෙමි .එහි සිටියේ එකම එක කරණවෑමියෙකි .ඔහු මැදි විය ඉක්මවමින් සිටි නූස් පුද්ගලයෙක් විය.
ඔහුට දේශපාලන දැනුමක් තිබෙන්නට නුපුළුවන. අපගේ කතා බහ හෝ බරපතල විහිලු තහළු ඔහුට නොතෙරෙනු ඇත. මේ ආදී මගේ පූර්ව නිගමන වලට අනුව ඔහුගේ කිසියම්ම විශේෂත්වයක් මට නොපෙනිණි.
මම කොණ්ඩය කපන්නට වාඩි වූ විට රැවුලදැය් කොණ්ඩයදැයි ඔහු අසුවේය .එවිට මම 'කොණ්ඩේ විතරයි ' කියා උස් හඬින් කිව්වේ මගේ රැවුල කපන්නට ඔහු සිතු එකත් වැරදි බව අඟවන්නටද එක්කය.මා කී දෙයට හිස සලා එකඟ වුනත් ඔහු පනාවත් කතුරත් අතට ගත්තේ එතරම් මනාපයකින් නොවේ .
විනාඩියක් යන්නටත් මත්තෙන් ඔහු නැවතත් මාව කේන්ති ගැස්සුවේ මෙසේ කියමිනි ' ඒ වුනත් මහත්තයෝ රැවුලත් කපා ගත්තොත් හොඳය් නේද ? .
මම එකඟ නොවුනා මෙන්ම මා ඉදිරියේ කන්නාඩියෙන් පෙනෙන ඔහුගේ මුහුණ දෙස රළු බැල්මක්ද හෙළුවෙමි . එවිටම බිත්තියේ එල්ලා තිබු දුර්වර්ණ දැන්වීමක් මගේ නෙත ගැටිණි
මහතුන්ගේ කොණ්ඩය කැපීමට රුපියල් දහයයි
රැවුල බෑමට රුපියල් පහයි
' මොහු මේ සැරසෙන්නේ කලාතුරකින් ආ එකාගෙන් උපරිම ගානක් කපාගන්නටය. මම අහු වෙයි ඕවට!'
මගේ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් ඔහු මෙසේ කිව්වේය . ; 'මම කිව්වේ මහත්තයෝ දැන් රටේ තොටේ වෙන දේවල් දැකල. ඉස්සරහට රටේ කරදර තව තව වැඩි වෙයි කියල මගේ හිත කියනවා. දැන් බලන්න අදත් ගලහ හන්දියේ කඳුළු ගෑස් ගහලා .කැම්පස් වහල නේද?'
මේ යකා එකත් දැනගෙන ! මම හිතුවෙමි.
කෙස් ගසින් ගස පරිස්සමට කපද්දී , අපේ පරපුරේ පොදු දුර්වලතාවයක් ලෙස ඔහු දුටු අධි තක්සේරුවටත්, අනුන්ගේ මතයක් ගරු නොකරන හිතුවක්කාර කමටත් සියුම් ලෙස දෙහි කැපුවේය.
මුලින් මහත්තයා වූ ඔහුගේ ඇමතුම මල්ලී , පුතා ලෙස වරින් වර වෙනස් විය.
'පුතා මම ගැන වරදවා හිතන්න එපා මටත් ලොකු මහත් වෙච්ච දරුවෝ ඉන්න නිසා කියන්නේ,
මේ වගේ කාලෙක රැවුල වවන එක වුනත් අවදානම්'.
ඔහුගේ වදයෙන් බේරීමට බැරි වූ තැන, මාස කීපයකට පෙර රැග් සීසන් එක ඉවර වූ දා සිටම පරිස්සමින් වැවු මගේ එළු රැවුල කපා දමන තෙක් ඉවසා සිටියෙමි.
අවසානයේ ඔහුගේ ගාස්තුව වන රුපියල් පහළොව දෙන්නට සුදානම් වෙන විට රැවුල අහිමි වීම පිලිබඳ දුකක් තිබුනද ඔහු පිලිබඳ එතරම් කහටක් මගේ හිතේ නොතිබිණි. මට සල්ලි දෙන්නට ඉඩ නොතබාම ඔහු ඉතා දැඩි ලෙස මෙසේ කීවේ ඔහු ඉදිරියේ මා කුරුමිට්ටේකු බවට පත්කරමිනි.
සල්ලි එපා !!
ඔහු එයට මෙවැන්නක්ද එක් කළේය
'මහත්තය පරිස්සමින් ගෙදර යන්න අම්මලා බලාගෙන ඇති '
(චිත්‍රය-අන්තර්ජාලය ඇසුරිනි )
නියම මහත්මයෙක්.. අද කාලෙ මේ වගෙ මිනිස්සු කොහෙද ?
ReplyDeleteඅද කාලේ ඉන්න මෙහෙම මිනිස්සු ගැන පස්සේ කාලෙක ලියවෙයි.
Deleteලස්සනට ගලපලා තියනවා... හරිම ලස්සන කතාවක්....
ReplyDeleteස්තුතියි
Deletemeapamana kalakata passe hari mevannak awrjanaya kireema lokudeyak. Manda rewulen moda theerana gaththa minissuth ape samajaye hitiya nisa.
ReplyDeleteඒ කාලේ වාතාවරණය වගේම එළු රැවුලේ කැතත් ඒ මනුස්සයා තිලකට රැවුල කපන්ණ බලකරන්න හේතුවෙන්න ඇති නේද?
ReplyDeleteඔවු ඔවු එහෙම වෙන්නත් ඇති. ඒත් මමනම් ඇඳලා හිටියා රැවුල හරි හැඩයි කියල.
Deleteසැබෑ මනුස්සයෙක්..
ReplyDelete