සිකුරාදා නිවාඩු දවසේ මා බලන්නට ආ මිතුරාට කිරි කහට සමග ගෙදරින් ඒවා තිබු කිතුල් හකුරු කැබැල්ලක් දුනිමි. නිතරම රටඉඳි කමින් තුර්කි කෝපි බොන ඔහු , ජීවිතයේ මුල් වරට කෑ කිතුල් හකුරු කැබැල්ලේ රසයෙන් පිනා ගියේය.
මගේ ප්‍රියතම ගස කිතුල් ගස
බවත් ප්‍රියතම මල කිතුල් මල බවත් ඔහුට කියන්නට ඕනෑ වුනත් සංස්කෘතියක කොටසක් වෙනත් භාෂාවකට පෙරළන්නට මා
නොදත් නිසා කර බා ගතිමි. . ඒ වෙනුවට මම කළේ ඔහු නික්ම ගිය පසු සුපුරුදු
පරිදි නොස්ටැල්ජික් චාරිකාවේ යෙදීමය්.
කිතුල් යන වචනය පවා මට මෙතරම් ආශ්වාදනීය එකක් වන්නේ අනුවේ
අවුරුද්දේ මා විදුසරට ලියු 'කිතුල් ගැනම වූ පිටු දෙක
තුනක සතියේ විශේෂාංගය නිසාම නොවේ.කිතුල් ගැන කතා
කරමින් මහැදුරු නිමල් ගුණතිලකයන් හා ගැමුණුලා
අප්පච්චී සමග ගෙවූ රස බර සැන්දෑවන් කිහිපය නිසාමද නොවේ
ඇත්තෙන්ම ඒ පසු පසින් තිබෙන බලගතුම හේතුව නම් නමුනුකුල කඳු පාමුල පිහිටි සුන්දර ගම්මාන පිලිබඳ මතකයය්.මගේ ප්‍රාණ සම මිතුරා වූ ගැමුණුවාගේ ගම හමු වන්නේ නමුනණුකුල කඩ මන්ඩියේ සිට එක සීරුවට හැතැප්ම කිහිපයක් පල්ලම බැස්සාට පසුවය . එම ගම්මානය පුරා නැවුම් කිතුල් පැණි සුවඳක් නිරන්තරයෙන්ම පැතිරෙමින් තිබිණි. මනස්කාන්ත භූමි දර්ශණ නිසාත් ගම මැදින් ගලා ගිය සොඳුරු ගඟුලැල්ලේ පහස
නිසාත්, ඔය සියල්ලටම වඩා එහිදී නිතර දැනුණූ මිහිරි කිතුල් පැණි රසය
නිසාත් කාන්දම් බලයකින් මෙන් මියනකඳුර ගමට අපව ඇඳ බැඳ තබා ගෙන තිබිණි .
එහි ගත කළ දිනවලදී
උදේට ලොකු එලකිරි වීදුරුවක් සමග අග්ගලාවක තරම් හකුරු ගුලියක් ලැබුණු අතර
හවස තේ වෙලාවට පීරිසියකට දැමු කිතුල් පැණි සමග තවරා කන්නට පොල් රොටී හෝ
කුරක්කන් රොටී පළු දෙකක් ලැබුණී. පැසුණු කිතුල් රා
ගැන මම මෙහි කිසිත් නොලියමි.
එහෙත් කිතුල් රා යන වචනය සමග මට සිහියට නැගෙන ලොක්කම්මාගේ කතාව නම් නොලියා සිටීමට අපහසුය.
ලොක්කම්මාගේ සරු ගෙවත්තේ තිබු කිතුල් ගස් හතඅටෙන් අඩුම තරමේ දෙක තුනක් වත් ගැබ්බර නොවී තිබු දවසක් කාටවත් මතක තිබුනේ නැත. කවුරුන් හෝ ලවා අලුතින් පීදුණු කිතුල් මලක් බෙහෙත් තබා
ගත් පසු මාස ගණනාවක් ඉන් නොකඩවා වෑස්සෙන
ප්ලෝයම සාරය, උණු කර කිතුල් හකුරු හා පැණි
සාදා ගැනීම වෙනම කුස්සියක්
තිබිණි. ඒ පැණි කුස්සියය්. ඊට මදක් ඔබ්බෙන් තිබු දර මඩුවේ තම සැමියා
විසින් හොර රහසේ පැසෙන්නට තබන තෙලිජ්ජ
මුට්ටිය ගැන ලොක්කම්මා දැනුවත්ව සිටියාය. කොහොමටත් අනලස් ප්‍රියමනාප
පුද්ගලයෙකු වූ ලොක්කප්පා හැන්දෑ වෙද්දී වඩාත් විනෝදබර මිනිසෙකු බවට පත්වීමේ රහස ඇත්තේ මේ මුට්ටියේ බවත් දැන සිටි
නමුදු රහමෙර පානය පිලිබඳ දොසක් මිස අනුබලයක් නම් ඇයගෙන් ඔහුට නොලැබිණි.
මේ නය්න් සරුසාර වූ ලොක්කම්මලාගේ සරල ලෝකය ඉතා අවිහින්සකද විය.
ඒත් ලොක්ක්කම්මලා ගෙදරටද පොලිසියෙන් ආවෝය. එදා ගෙදර සිටියේ චුටා විතරමය .
‘කෝ ළමයෝ මේ ගෙදර මහා
මිනිස්සු?'
'අප්පච්චි ගමනක් ගියා
අම්ම කුඹුරේ' .චුටා තැති ගත්
ස්වරයෙන් බයාදු ලෙස කිව්වේය.
ඉන්පසු ගේ වටේ වටයක් කැරකුණු පොලිස් රාළහාම්ලා
දෙන්නා කෙලින්ම ගියේ දර මඩුවටය්. දර මඩුවේ අඟලක් නෑර අවුස්සා බලු ඔවුන් චුටාගෙන් පාර අසා ගෙන පිටත් වුනේ ලොක්කම්මා මුණ
ගැසීමටය . ගෙට පිටුපසින් හරිත වර්ණ පඩි පෙළක්
මෙන් ඉහළට ඇදුනු හෙල්මළු ලියදි නගිමින් ලොක්කම්මා එළවලු පැලවලට සාත්තු කරමින් සිටි ලියද්ද්ටම ගොඩවූ ලොකු
රාලහාමි මෙසේ කීවේය.
' අම්මේ උඹලා ගෙදර රා පෙරනවා කියල ආරංචියය් . මනුස්සය ආවම පොලිසියට එන්න
කියපන්.
එඩිතර ගැහැනියක වූ ලොක්කමමා මේ කතාවට
දැක්වුයේ රලහාමිලා කිසි සෙත්
බලපොරෝත්හු නොවූ ප්‍රතිචාරයකි
‘”රාලහාමි ඕක අනිවාර්තයෙන්ම
කවුරු හරි ඉරිසියා කාරයෙක්ගේ කේලමක්.
අපි ගොවිතැනක් බතක් කරගෙන
කාටවත් අත නොපා අපේ පාඩුවේ ඉන්න මිනිස්සු. මගේ මිනිහනම් කීයටවත් පොලිසි ගානේ
එවන්නේ නෑ .රාලහාමිලා රාජකාරියක් බලාගෙන යන්න”.
මේ ගරු සරුවකින් තොර කතාවෙන් කිපී පසු බා ගියත් ලැබුණු ඔත්තුව එහෙමට
වරදින්නට පුළුවන් එකක් නොවූ
නිසා ඔවුන් දෙවන වතාවටත් ගොස් නතර වුනේ දර මඩුව ළඟය.
ඔබ මොබ ඇස් කරකවමින් සිටියදී මඩුව පිළිකන්නේ හණ පතුරු මිටියක් අස්සේ හංගා තිබු මුට්ටි පොඩිය එකෙකුගේ උකුසු ඇසට අසු විය.
පැසී උතුරන තෙලිජ්ජ මුට්ටිය
මෙන් සතුටින් උතුරා යන මුහුණින් යුතුව නැවතත් හෙල්මළු ලියදි නගිමින් ඔවුන් ලොක්කම්මා ලඟට ගියේ කට සැර අම්මණ්ඩියට පාඩමක් උගන්වන්නටය .
‘අම්මේ උඹ දැන් මොකක්ද කියන්නේ?' අසමින් ලොක්කම්මාගේ දෙපාමුල නඩු භාණ්ඩය තැබූ
ලොකු රාළහාමි ඉණට අත් දෙක තබා ගෙන බලා හිටියේ මේ ගැහැණිය දැන් දැන් තමන් ඉදිරියේ පින්සෙන්ඩු වෙන හැටි බලන්නටය.
ඒත් එවැන්නක් සිදු නොවිණි . මේ දෙස බය බිරාන්තව බලා සිටි චුටා පසු කලක කිව්වේ එය එදා මෙදා තුර තමා දුටු රසවත්ම ජවනිකාව බවය්.
‘රටේ මංකොල්ල කාරයෝ මිනී මරුවෝ නැතුවටද රාලහාමි කොහෙන්දෝ හුලිජ්ජ මුට්ටියක්
උස්සගෙන ආයෙත් පාරක් ආවේ ?’ කියා
බෙරිහන් දෙමින් ඉදිරියට අඩියක් තැබූ ලොක්කම්මා මුට්ටියට වැරෙන් පා පහරක් දුන්නාය.
මේ අනපෙකිෂිත පහරින් පසු මුට්ටිය හෙල්මළු ලියදි දිගේ පෙරලි
පෙරලී ගොස් නියරි ගැටිත්තක වැදී කැබලි වී ගියේය.
මුට්ටිය පල්ලමට පෙරලී යන
වේගයෙන්ම රාළහාමිලාගේ රාජකාරී තේජසද පල්ලම් බැස්සේය. පෙරළුණු මුට්ටියෙන් ලියැදි
පුරා තෙලිජ්ජ හැලී ගියා සේම , භයානක අපරාදයක බලගතු සාක්කිය සොයාගැනීමේ ප්‍රීතියද
රාළහාමිලා වෙතින් හැලී ඉවතට ගලා ගියේය. අන්තිමේදී
බිඳුණු මුට්ටියේ පිළිබිඹුව සහිත මුහුණින්
ආපසු හැරී යද්දී එකෙක් අනිකාට කිව්වේ ' මේ ගෑනි තමය් දවසකටවත් ගෑනි ' කියලාය.
කිතුල් හුට-පටේ කියවපු මට එක පාරටම මතක් වුනා තවත් නොකියාම බැරි ඇනෙක්‍ඩෝටල් අංස කතාවක්. අපි නමෝ විත්‍තියෙං පේරාදෙනි රසායන ඉංජිනේරු අංසයේ ඉදිරි කාමරේට අඩිය තියාපු දවසෙ අපේ උක්‍ත කතු-තුමා හිටියෙ උස පරීක්‍ස්‍නාගාර බංකුවක් මත අඩමානෙට ඉඳගෙනයි. අංස භාර ආචාරිය තුමිය කෝඩු නඩේට අවට සිරි පෙන්‍වමින් යන ගමනෙදි කතු-තුමා ලඟින් යන්‍ට යෙදුනා. අංසයේ කෙරුවාව විදහා දක්‍වනු වස් ඇය කතු-තුමාගේ කෙරීගෙන යන පරියේසනය ගැන සඳහන් කරන්‍ට යෙදුනා. "මොහුගේ පර්‍යේශනාත්‍මක අරමුන නම් කිතුල් හකුරු සුදු පැහැ ගැන්‍වීමයි". බෝතල් අඩි තුලින් බැලූ කතු-තුමා කටු කරෝසන වූත්, විශ්‍වාස කළ යුතුවාම වූත්, හඩකින් ආචාරිය තුමියටත් ඇසෙන මෙන් මෙසේ දැනුම් දුන්‍නේය. "නෑ දැං ඒ ප්‍රොජෙක්‍ට් එක ඉවරයි. දැං අපි හදන්‍නෙ හකුරෙං පැණි අරගෙන පැණියෙං කිතුල් මල හදන්‍නටයි!" මේ කියූ විලම්‍බීත කතාව ඇත්‍තක්‍ද නැත්‍තක්‍දැයි තෝරාගන්‍ට බැරුව අරමඥ වුනු කෝඩු රැල විරිත්‍තමින් වට පිට බලන කල උන්‍ට ඇහුනේ ආචාරිය තුමියගේ නවත්‍තාගත නොහැකි වූ හිකි හිකියයි. පසලය ලෙහුනායෙන් කෝඩු රැලද හිකි හිකි ගාන්‍ට වන, මේ හිනා මල් වැස්‍සේ පොහොට්‍ටු ආගාර දොරටුයෙන් පිටි හලටද වැගිරිණි. මේ හිනා කළහය කන් ලූ පරීක්‍සනාගාරයේ සෙසු ජනයාද පැමින කරුණු අසා හිකි හිකි ගාන්‍ට වන, මේ නම් පීඨයේ අනගිතම අංසය යැයි හැඟු කෝඩු රැළ එහිම සිප් ලබන්‍නට එක් හිත් හිතා ගති.
ReplyDeleteලැයික්
Deleteවාසනාවකට ඒකාලෙ හිටි පොලිස් කරයොත් නීතිය හරියට දන්න අය,,.. දැංකාලෙ නං ඉතින් නීතිය ලියන අයනෙ. අද කාන්තාවක් අර වගෙ කලා නම් ගැනු පිරිමි බේදයක් නැතුව මොනවා කරයිද කියල හිතමුකො..
ReplyDelete