Monday, January 27, 2014

සුප්පාදේවි අම්මා


(තිලක සිත මුල් පිටුවට මෙතැනින් පිවිසෙන්න 

සුප්පාදේවි අම්මා 
ශක දෙකකට විතර ඉස්සර අපි පෝලිම් ගැසී සිටියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  අතින් උපාධිය ලබා ගන්නටය. ඔහු අපේ කුලපතිවරයාය. නම් පිළීවෙලට පෝලිමේ සිටි මුල් ටික දෙනෙකුට මාල පළන්ඳා උපාධි  සහතික පත්‍ර පිරිනමද්දී වියපත් සරච්චන්ද්‍රයන්  වෙහෙසට පත් වුනේය. අසනීපයෙන් පසු වූ එතුමාව වාඩි  කරවා ඉන්පසු උපකුලපතිතුමා ඉතිරි පිරිසට උපාධි ප්‍රධානය කිරීම දිගටම කරගෙන ගියේය.

අපේ රණයා  පෝලිමේ උපාධිය ගන්නට කිට්ටු වනු දැක මහාචාර්ය සරච්චන්ද්‍ර අති උද්යෝගයකින් නැවත නැගී හිටියේය. ‘මෙයාට උපාධිය දෙන්න ඕනි මගේ අතින්’ . ඔහු එසේ අදහස් කරන බව අපට පෙනිණි.
රණේට ඒ අනුව මහැදුරු සරත්චන්ද්‍රම උපාධි පළඳනාව සහ සහතිකය ලබා දුන්නේය.

‘මේ අපේ ළමයින්ගේ දරුවෙක්නේ’ සරච්චන්ද්‍රයන් එසේ සිතමින් සොම්නසින් බලන සෙයක් අපට පෙනිණි. රනේ හෙවත් දැන් මහාචාර්යවරයෙකු වන රොෂංක රණසින්හ  යනු වෙන කවුරුවත් නොව සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු  නාට්‍යයයේ  නොකඩවා වසර තිහක්  එක දිගට රඟපෑ සුප්පා දේවී හා පොතේගුරාගේ දෙටු පුත්‍රයාය. වැඩිම වාර ගණනක්  වේදිකා නාට්‍යයක රඟපෑ යුවල ලෙස ඔවුන් දෙදෙනා ගිනස් ලෝක වාර්තා පොතට ඇතුලත් වී හමාරය. 1961 සිට 1990 දක්වා වාර පන්දහසකටත් වැඩියෙන් ඔවුන් මේ භූමිකා දෙක රඟපා තිබුනේය.

ඉස්සර අපි පැනිදෙනියේ කෝච්චි පාර පැන රනේලා ගෙදර ගියවිට කොල්ලන්ගේ කාඩ් සහ  මඩපාරවල්වලට අමතරව ඔවුන් ගැන කෙටි හැඳින්වීමක් ඉදිරිපත්  වන්නේය . 'අම්මේ මේකාත් ඔය පොඩි පොඩි නාට්‍යය එහෙම කරන්න දඟලනවා. පත්තරවලට අරක මේක ලියනවා' රණේ මා දෙමාපියන්ට හඳුන්වා දුන්නේ එලෙසය.
ඒ යුවලගේ දෑස් හිතවත්කමින් දැල්වුණි. 'ඉතින් පුතා ඉතින්. බොහොම හොඳයිනේ ලියන කියන එක' . ආදී ලෙස පටන් ගත් අපේ කතාබහ ඉවර වෙද්දී මට හිතුනේ මේ මාපිය යුවල කලාව ගැන මොන තරම් උතුරන උනන්දුවකින් ආශාවකින් පසුවෙනවාද කියලාය.

දෙවන වසර  සරසවි සිසුවකු වූ ටෙරන්ස් රණසිංහට මාලිනි  හමු වන්නේ ඇය නවක සිසුවියක් ලෙස විද්‍යා පීඨයට තේරී එද්දීය. ඉතින් මේ සොඳුරු ආදර කතාව ඉදිරියට ගලා යන්නේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සෙවනේ සුප්පා දෙවි හා පොතේ ගුරා විදිහටය රටේ අස්සක් මුලුල්ලක් නෑර රඟ දැක්වුණු සිංහබාහු නාට්‍ය වේදිකාවේදීය. පෙම්වතුන් ලෙසද අඹු සැමියන් ලෙසද ඉන්පසු දයාබර දෙමාපිය යුවලක් ලෙසද ඔවුහු දිගටම රඟ පෑවෝය.

මීට වසර කිහියකට පෙර රනේගේ ආදරණීය තාත්තා මිය යනවිට සුප්පාදේවි නැවතත් ජීවිත කරලියේ තනි වුවාය. ලසොවුලින් වෙලී සිය සැමියා පිලිබඳ වේදිකා මතකයන් අමතකව යන්නටත් එක්කම ඇය සිය දරුවන් දෙදෙනා ලඟට පදින්චියට ගියාය. ඒ ඕස්ට්‍රලියාවටය.

එහෙ ගිහින් කාලයක් හිටියා වුනාට මාලිනි රණසිංහ මාතාවගේ චිත්ත අභ්‍යන්තරයේ සිටි මධුර ගායිකාව හා රංගන ශිල්පිනිය තවත් මොනවා හෝ කරන්නැයි පෙරළි  කරන්නට වුවාය.
ඇය දැන් ටික දවසකට මවු රටට පැමිණ සිටී . අපේ ගැමුණුවා , ජයලත් මනෝරත්නයන් ඇතුළු සිය  හිතවතුන් සමග වෙහෙසෙමින් ඇය ආයිමත් අපිට සොඳුරු තිළිණයක් දෙන්නට ලක ලැහැස්ති වෙමින් සිටින්නීය.

තමන් කාලයක් තිස්සේ ගායනා කළ  නාට්‍ය ගීත නැවතත් ගයා රැකෝඩ් කර සී ඩී එකක් කරන්නට ඇය යුහුසුළු වෙයි. ලබන පස් වැනිදා, එය දොරට වඩිනදා නාමෙල් මානෙල් පුංචි තියටර් එකට එන්නැයි ඇය කළ ඇරයුම පිලි ගන්නට බැරි වීම මට දරා ගන්නට බැරි දෙයකි. මම එද්දී ගුවන් යානයේදී පවා ඇයගේ වදන්  මනසේ දෝංකාර දුන්නේය..

' පුතා මම වයසට ගියත් ඔයාගේ බ්ලොග් එක නොවරදවාම කියවනවා. මම ඔයාට තිළිණයක් හැටියට මගේ සී ඩී එකක් තියලා යනවා.  හැබැයි මම ඔයාගෙම අම්ම කියල හිතාගෙන මේ මට එක පොරොන්දුවක් දෙන්න ඕනි' .

මොකක්ද ආන්ටි ? මම ඇසුවෙමි.

'කම්මැලි නැතිව තව ලියල ඉක්මනට පොතක් ලියන්න. මට කියවන්න'.

ඇය මට උගන්වන්නේ වයසට නොයන ජීවිත උද්යෝගය හා මිනිස් දහිර්යය පිලිබඳ  අමරණීය කතාවයි.

සුප්පාදේවි අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!

(සේයාරුව The Island පත්‍රයෙනි )

44 comments:

  1. අපේ රටේ සම්පතක් පිළිබඳ වටිනා ලිපියක්..
    එතුමියට දීර්ඝායුෂ පතමි!!
    උඹට පිං මෙවන් සටහනක් තැබුවාට!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචන් අපේ රටේ නාට්‍යකලාවේ යුගයක් නියෝජනය කරපු මිනිස්සු

      Delete
  2. වරක් අපේ පාසලේ උත්සවයකට ඇය පැමිණියා මතකයි. ඇයට දිගාසිරි වගේම ඒ පොරොන්දුවත් ඉක්මනින් ඉටු කරන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . දැන් මගේ වැඩෙත් කරගෙන යනවා

      Delete
  3. ඒ ගීත ඩිජිටල් පිටපත් ලෙස සංර්ක්ෂණය වීම ඉතා වැදගත්.

    මා සතුව තිබූ මනමේ සහ සිංහඝු කැසට් පටි කැඩී ගියා.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි සිංහබාහු මනමේ නාට්‍ය ගීත කැසට් පටි වල ආවා .

      Delete
  4. ‍‍මේ ‍වැ‍ඩේ ‍අ‍ත ‍ග‍ගා,
    මො‍කද්‍‍ද ‍අ‍නේ ‍ඔ‍යා ‍මේ ‍ක‍රන්‍‍නෙ?
    ‍බ‍ලන්‍‍න!
    ‍සුප්‍‍පා ‍දේ‍විත්‍ ‍කි‍ය‍ලා!
    ‍මේ‍ක ‍මෙ‍හෙ‍ම ‍
    ගා‍.......ට ‍ගා‍..........ට
    ‍ගි‍හින්‍ ‍කො‍හො‍ම‍ද? ‍
    ක‍ව‍ද‍ද ‍‍ඔ‍යා
    ඊ‍ලඟ ‍පොත්‍ ‍දෙ‍කේ ‍වැ‍ඩ
    ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ? ‍
    දැං‍ ‍කො‍යි ‍වෙ‍ලා‍ව‍ක ‍හ‍රි
    ‍අ‍ර ‍ලෙබ්‍‍බෙ‍ද ‍කව්‍‍ද ‍කි‍ය‍න ‍කෙ‍නා ‍
    සෝ‍දු ‍පත්‍ ‍බ‍ලන්‍‍න, ‍
    පෙ‍ර ‍ව‍දන්‍ ‍ලි‍යන්‍‍න ‍කී‍වොත්‍
    ‍ඒ‍කත්‍ ‍ක‍රන්‍‍න ‍වෙ‍න‍වා ‍නේ‍ද?

    ReplyDelete
    Replies
    1. ගරුතර ලෙබ්බේ මහතා වෙත ළඟදීම සෝදුපත් බැලීමේ රාජකාරිය පවරෙනි ඇත. ඉඳපන්කෝ . ඉඳපන්කෝ

      Delete
  5. තිලක සිත කියවා නැවත වරක් හැගීම්බර වුනෙමි. එතුමියට දීර්ඝායුෂ පතමි. ඔබට ඉක්මනින් පොත ලියන්නට ලැබේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයෝ. තව ලියන්න ගොඩක් දේ තියෙනවා . මග එනවා

      Delete
  6. ආසාවෙන් කියවපු සටහනක්. අන්න කලාව ඇගේම දුවන අය. බොට ඇහුනයි තිලකේ පොත ගහපං. දැං කෝමත් අර සාස්තරේ හැබෑ වෙනවා..

    ReplyDelete
    Replies
    1. සාස්තරෙන් කී විදිහට වැඩේ වෙනවා මචං . දැන් තියෙන්නේ අද නෙවයි හෙට කියන බාලගිරි දොශේ.

      Delete
  7. එහෙනම් ඒ සුප්පාදේවියගේ ඉල්ලීම ඉ‍ටු කරන්න බලාපං කොහොම හරි. නියම සටහන. ඔය කියන්නේ මචං අර ඉංජිනියරිං ෆැකල්ටි එක අස්සෙන් ඇවිත් රේල් පාර පැනලා කූඩැල්ලො එල්ලගෙන පැණිදෙණිය හන්දියට බැහැලා ඊට පස්සෙ? දවුලගල පැත්තටද නැතිනම් වමට හැරිලා යනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මචන් . උඹට මතකද එතනින් බැහැලා පැනිදෙනියේ පුංචි තුන්මන් හන්දිය . වමට ගියාම ගෙලිඔය. දකුණට පේරාදෙණිය ඉස්සරහට දවුලගල පැත්ත. ඒ කාලේ කුඩල්ලෝ හිටියට අපේ ලේ බොන්න අආවේ නෑ . ගොඩක් වෙලාවට ඇඟේ ලේ වතුර වෙලයි තිබ්බේ.

      Delete
    2. පැනිදෙණියේ රේල්ගේට්ටුව ළඟම තියෙන "ප්‍රින්ස්" හෝටලය පිටිපස්සේ. ඒ කීවේ ගල්වල පාරේ.

      ඇයට දීර්ඝායුෂ පතනෙමි.

      Delete
    3. අපේ බැචාලා හිටිය "වලයාස්" චමරිය තිබුණේත් ඔය නිවස අසල.

      මං හිටි "වැඩයාස්" චමරිය තිබුණේ ඊරියගම පාරේ, සාරානන්දේ පිටුපස.

      Delete
    4. ඊරියගම අපි හිටි බෝඩිමට කිව්වේ ඊරියගම විකාශනාගාරය කියලා . උදේ හිට රෑ වෙනකන් ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් දාලා තිබ්බා ගමටම ඇහෙන්න

      Delete
    5. ඒ දවස් වල රණේලගේ ගෙදර ලඟ තිබුණු චමරියට කීවේ "ප්‍රින්ස් පැලස්" කියලා.

      Delete
  8. දැන් ඉතිං ආයේ බෑ කියන්න බැරි තැන් වලින්ම බලපෑම් ඇවිල්ලා. ඉක්මනට ලියලා කරලා දුන්නා නම් අපිටත් බලන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ඒකත් ලියලා දාමු නේද ?

      Delete
  9. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.....

    ReplyDelete
    Replies
    1. ඔව් නලින්.වටිනා පැතුමක් !

      Delete
  10. සුප්පාදේවි අම්මා, සිය දියණිය සමග දැන් පදිංචිව සිටින්නේ අපේ ගම් පලාතේය. ඇය මේ ගමේ පැවැත්වෙන කුඩා කලාකටයුතු වලටද සිය දායකත්වය නොමඳව සපයන්නීය. ඇය සමග එක්ව වැඩ කිරීමට මමද වාසනාවන්ත වී ඇත්තෙමි. නමුත්, ඇගේ මේ උත්සාහය පිළිබඳ කිසිවක් දැන නොසිටියෙමි. බොහොම ස්තූතියි දැනුවත් කිරීමට....

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු දැනගැනීම සතුටක් . ඉතිං අපි හැමෝටම ඒ සින්දු ටික අහන්න ලැබේවි තව ටික දවසකින්

      Delete
  11. එතුමියට දිගාසිරි පතනවා හදවතින්ම.. ඔබේ පොතේ වැඩෙත් ඉක්මනින් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දැන් මම ඔබේ බ්ලොගයත් කියවගෙන යනවා

      Delete
  12. ඇයට නිදුක් නිරෝගි සුවය පතමි. ඇය තවත් නාට්‍ය නිර්මාණවලට සහභාගිවූ බව මතකයි. රංජිත් ධර්මකීර්තිගේ හෝ කේ.බී.හේරත්ගේ නිර්මාණවල. ඇය චිත්‍රා වාකිස්ට සමග ඉතාමත් පැරණි චිත්‍රපටයක රඟපෑ බවක් කියනවා මතකයි. මොකද චිත්‍රා වාකිස්ට සිටියේ අපේ ගෙවල් අසලමයි. එක් යුගයක්....තිලකේට ඒ මතකය ලියා තබන්නට ලැබීමත් ලොකු ගෞරවයක්.

    ReplyDelete
    Replies
    1. මේක ලියනකොටත් මට උඹව මතක් උනා අරූ . මේකට තව හොඳ තොරතුරු ටිකක් එකතු කර ගන්න තිබ්බානේද කියලා. .

      Delete
  13. සුපුරුදු පරිද්දෙන්ම ඉතා රසවත් එමෙන්ම සංවේදී සටහනක්. ඔබේ ඔය පොත කියවන්නටත් අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  14. ඇයට දිර්ඝායුෂ වෙවා.
    ඉතින් අර කියපු දේ කරපන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්. ළඟදීම එනවා

      Delete
  15. Replies
    1. ඔය පොස්ට් එක ගොඩක් දෙනෙක්ගේ ඇස ගැටුනේ ඔබේ පබ්ලිසිටිය නිසා

      Delete
  16. මාලනී රණසිංහට එක දිගට අවුරුදු තිහක් එකම චරිතය කරන්න හැකිවුණේ තවත් හේතුවක් නිසයි. ඒක තමයි මේ චරිතය සුප්පා දේවී වීම සහ සුප්පා දේවී ගේ ජීවිතයේ වැඩිහිටි කාලය වීම.

    තවත් මේ වගේ අම්මා චරිතයකින් පටන් ගත් කෙනෙක් තමයි අයිරාංගනී සේරසිංහ. ඒ රේඛාව චිත්‍රපටියේ අම්මා ලෙස. එදා මෙදා තුර ඇය රඟපා ඇත්තේ අම්මා (ආච්චී) චරිත පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ උනත් එකම චරිතය අවුරුදු විස්සක කෙනෙකුත් අවුරුදු පණහක කෙනෙකුත් රඟපාද්දී නාට්‍යය එක ලෙස ජනප්‍රිය වෙලා තිබ්බ එකයි වැදගත්කම

      Delete
  17. ආ පොතක් ලියනවද හරිම හොදයි

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ඉදිරියේදී ඒ ගැන දන්වන්නම් . උඹ තිලකසිතට මුලින්ම දුන්න පබ්ලිසිටිය මට අමතක නොවේ

      Delete
  18. ඇත්තටම පේරාදෙනිය කියන්නේ මේ වගේ ලස්සන කතා ගොඩකට ජීවය දුන්න තැනක් නේද? අපිත් තව ටික කාලෙකින් මෙහෙන් යාවි ඒත් කොච්චර දේවල ඉගෙන ගෙන තියෙනවද?

    ReplyDelete
    Replies
    1. දැන් අපි එහෙන් ඇවිල්ලා අවුරුදු විස්සක් . ඒත් මේ ඊයේ පෙරේදා වගේ දැනෙනවා.ඒ නිසා පේරාදෙණියෙන් ගියත් ඒ මතකෙන් ඈත් වෙන්න බෑ

      Delete
  19. තිලක සිත පොත මිලදී ගත්තා. (සයිබර් අවකාෂයේ සොඳුරු මරණේ හෙවත් මගේ මරණය සොයුරා ලව්වා මිලදී ගෙන වෙනත් සොඳුරු හිතවතුන් ලව්වා අබුඩාබියට ගෙන්වා ගත්තා)

    ඊයේ බලන්න පටන් ගත්තේ . .

    සුප්පා දේවී වෙනකම් ඊයේ රෑ කියෙව්වා . .

    ඇත්තෙන්ම හරිම හැඟීම්බරයි.

    තිලක සිත අයිති තිලකසිරිව මූනු පොතේ හොයලා ඇඩ් කර ගන්නත් ඊයේ රෑම හෙව්වා ඒත් හම්බ උනේ නෑ . .

    සුභ පැතුම් පොතටත් බ්ලොග් එකටත්, තිලක සිතටත් සිත අයිති ඔබටත් පවුලේ හැමෝටමත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුකා. Tilakasiri Ekanayaka නමින් හොයන්න මගේ මුහුණු පොත හමු වේවි . මම ඉන්නේත් මැද පෙරදිග කලාපයේම තමයි. කටාර්වල. ඒ නිසා අපිට දවසක මුණ ගැසී කතා බහ කරන්නත් හැකි වේවි . ජය !!

      Delete
    2. ලිශාන් මල්ලීගෙන් ඔයාගේ ෆේස්බුක් ලින්ක් එක ඉල්ලගෙන රික්වෙස්ට් එකක් දාලා විනාඩි 26කට කලින් ඔබ තුමා ඇක්සෙප්ට් කරලත් ඉවරයි . . යේහ් . . ඔව් අනිවා අපි හම්බ වෙමු දවසක. 2000 ජුනි ඉඳන් 2005 ජනවාරි වෙනකම් මාත් වැඩ කලේ කටාර් වල . . සලාම් කියලා ගෲප් ඔෆ් කම්පනි එකක අයි.ටී.සී කියන කන්ට්‍රෑක්ටින් කම්පනි එකේ. 2005 ඩුබායි ආවා . . ආවා ආවාම තමා . . හෙ හෙ හේ

      Delete