Monday, January 13, 2014

ලෝක රස්තියාදුකාරයා

ස් එක එන්නට විනාඩි හතළිහක් තියෙනවා. සාක්කුවේ තිබු නෙල්ලි ගෙඩි ටික ඉවර වෙලා. නෙල කඩල ගොට්ටක් ගන්න සල්ලි  මදි. අලුත් සරුවත් කාරයෙක් ඇවිල්ලා . ලබන සතියේ සල්ලි ඉතිරි කරගෙන එකක් ගන්ඩ ඕනි . නෙල්ලි කෑවාට පස්සේ තොලකට සුදු වෙලා කට හිරිවැටිලා. මේ වෙලාවට ඇල්වතුර ටිකක් බිව්වම පුදුම ප්‍රනීත රහක් දැනෙනවා. කිරිහලට පිටිපස්සේ ලොකු වතුර ටැංකියට  හයි කරලා තිබ්බ ටැප් එකෙන් වතුර ටිකක් බිව්වේ ඒක මතක් වෙලා .කිව්වත් වගේ තියෙන රහ. මරේ මාරු. වතුර කරාමය ගාව එළවලු කෑලි  කුණු වෙමින් තිබුනා. වැඩිපුරම ගඳ එන්නේ ගෝවා කොළවලිනුයි කුණු රාබු වලිනුයි. ඒත් අර ලංකාවේ උසම කරපන්ටයින් ගස් ටිකත් ඇඹරෙන තරමට  එන විසේකාර හුළඟට මොන  ගඳක් වත් ඉතිරිවෙලා තියෙන් නෑ. ඈතින් ඈතට ඇදගෙන ගිහිල්ලා කන්දෙන් පල්ලහට ඌසික්ක කරනවා. ඉඳා තියා ගනිල්ලා හූඌ හූඌ කියල සද්දෙකුත් එක්කම.

සරුවත් කාරයා ගෝනියක දාපු  ලී කුඩු අස්සේ තිබිලා  අයිස් කුට්ටිය එලියට අරගෙන මන්න පිහියෙන් අයිනට පහරක් දුන්න. වෙන්වූ අයිස් පළුව අතින් ලිස්සා බිමට වැටෙන්නට නොදී වැර වෑයමෙන් අල්ලා ගන්නවා .  මේ අල්ල පනල්ලේ පුංචි පුංචි අයිස් කැලි විසි වෙලා තාර පාරට වැටෙනවා. ඒවා  දිය වෙනකන් බලා ඉන්න එකත් හරි අපුරු වැඩක්. කවුරුවත් දැක්කේ නැත්නම් සුටුස් ගල අරන් පුංචි අයිස් කැටයක්  කටේ දා ගන්න උනත් තිබ්බා. සමහර වැස්ස දවස් වල ලොකු අයිස් කැට වැටෙනවා. 
අතේ තියාගෙනම පිහියෙන් කුඩු කර ගත්ත අපිරිසිදු අයිස් කැට ටික සලං බලං  ගාල තුන්කාලේ වීදුරුවලට හරි සද්දෙන්  අත  හරිනවා. ඒක තමයි ඇඩ් එක. ඇඩ්  එක වගේ නෙවෙයි වීදුරුවක් එහෙම  බිඳිලා පලච්චිනම්.

දැන් වෙලාව දෙක හමාරයි ඉස්කොලේ ඇරිලා පැයයි . ගමට යන බස් එක එන්න තවත් පැය බාගයක් තියෙනවා. එතකං එක තැන ඉන්න බැරි එකනේ වැඩේ. සමහර කොල්ලෝ නම් රංචු ගැහිලා බස්ස්ටෑන්ඩ් එකේ ලොකු කයිවාරු. මේ සමාගමෙන් හීන් සැරේ මග ඇරලා හුදෙකලාවේ ඇවිදින්න කැමති කෙනෙකුට කොච්චරනම් බලන්න දේවල් තියෙනවද. පොළ පාර දිගේ ටිකක් ඇවිදලා අලුතින් දාපු පුස්තකාලේ බලල එනවද. නැත්නම් පාර  දිගේ උඩට ගිහිලා රීගල් එකේ  එන්න තියෙන චිත්‍රපටිවල කමින් කෑලි පින්තුර ටික බලල එනවද. ඒත් එක දවසක් එතෙන්ට යන්න ගිහින් දොඩම්වත්තේ චුට එලවගත්ත හැටි මතකයි. මල්ලිලා මේ පින්තුර බලන්නවත් එන්න එපා මේක ඇඩම්ස් ඔල්ලි ෂෝ එකක්.

ඔහොම හිත හිතා ඉන්නකොට පී ඩබ්ලිව් ඩී එක ගාව මහා සෙනගක් වට වෙලා මොකක්දෝ බලනවා. විදුලි වේගෙන් එතෙන්ට ගියාමනේ දැක්කේ . මෙන්න බොලේ දේශකයෙක් . කොන්ඩේ පිට මැද්දට කඩා වැටිලා. පිටි පස්සට පීරලා තෙල් ගාලා. හරියට අර කවියක හිටිය  ලෙව්කේ මැතිදු වගේ. ලොකු හම්  බෑග් දෙකක් ට්‍රන්ක පෙට්ටියක් බිම තියලා අමුතු අමුතු ගැජමැටික් එක එක එළියට ගන්නවා.  වෙනිවැල් වගේ වැල් ජාති , වේලාපු  මුල් කෑලි. දේව රුපයක් සුදු රෙද්දක් උඩ  තියලා  තිබ්බා. ඒකට ඔන්න මල් මාලේකුත් දැම්මා. වටේම චුටි චුටි වේවැල් පෙට්ටි වල  නොයෙක් බෙහෙත් ජාති. කහපාට රතු පාට කුප්පි. කොළ කුඩු කරලා  පුංචි පොලිතීන් පැකට් වල දාලා. එක පෙට්ටියක තිබ්බා ලස්සන බෝල බෝල ගල්. ගඟකින් අහුලා ගත්තා වගේ, පුස්කොල පොතකුත් තිබ්බා.තව කුරුළු බිත්තර වගේ මොනවදොත් තිබ්බා. මේවා පිළිවෙලකට කාටත් පේන්න තැන තැන තියෙන අතරෙත් කොණ්ඩකාරයා කට තියාගෙන ඉන්නේ නෑ. සෙනග ගෙන්නා ගන්න කතා කරනවා . වැඩිහිටි ප්‍රශ්නවලට විසඳුම් දෙනවලු ලඟට එන්නලු. ඔන්න හිටපු ගමන් ගාථා කියනවා. හඬ හරි තීව්රයි. යාර දෙතුන්සීයක් ඈතට ඇහෙනවා. මුකරි  කයිවාරු කාරයෙක්.
ඔන්න දේව රූපෙට එහෙම වැඳලා කියලා කාරිය ඇඳගෙන හිටි බාල පොප්ලින් වලට වඩිපුර නිල් දාලා හෝදපු, මැදපු නැති නැෂනල් සුට් එකත්  හරිගස්ස ගස්සා පිරිස දිහා බැලුවා හරි ආඩම්බරෙන්.

පී ඩබ් ඩී  එකේ වැඩ කරන ගෑණු පිරිමි, ඩෙලිකා වැන් රියදුරෝ ලොතරැයි කුඩුවේ මනුස්සයා. තව මහා ගොඩක් ගෑණු පිරිමි කොල්ලෝ කුරුට්ටෝ. ඉස්සරහින්ම මේ සිද්දිය ඉස්පිල්ලක් ඇළපිල්ලක් නැතිව හිතේ රැකෝඩ් කරමින් හිටි කොලුගැටයා .
කොන්ඩකාරයා රල් බුරුල් එහෙම ඇරලා බොහොම කරුණාවෙන් මෙහෙම කිව්වා.

මේ මම කියන කතා උස මහත් වෙචච උදවියට තමයි අදාළ වෙන්නේ. මම බෙහෙත් විකුනනවා සාස්තරත් කියනවා.
ඉසේ ඉඳන් කකුලේ සුලැඟිල්ලට  එනකන් හැමදේම ගැන කතා කරන්න වෙනවා.

කරුණා කරලා ඔය පොඩි ළමයි මෙතනින් යන්න. එහෙම කියනකොටම පොඩි එකාට  තේරුණා මේකත් ඇඩම්ස් ඔන්ලි මොකක් හරි වෙන්නැති කියලා. ලොකුහිටියො ටික එතන හිටිය පොඩිහිටියන්ට එතනින් ඈතට යන්න ඉඩ හදලා දුන්නා. අතින් පයින් ඇස්වලින් හැමෝම කිව්වේ පොඩි එවුන් මෙතෙන්ට ඕනි නෑ කියලා.

ඔන්න එතනින් මග ඇරිලා පාර දිගේ ටිකක් උඩහට ගියාට ආයිමත් කොණ්ඩයාගේ දේශනාව අහන්නමයි පොඩි එකාට හිත. අර බිත්තර වගේ ගල් වලින් මොන බෙහෙත්ද හදන්නේ. මේ යකා ගාව තියෙන මුල් ගොඩ.
කල්පනා කර කර කල්පනා කර කර දන්නෙම නැතිව පොඩි තැන ආයිමත් තෙල් බෙහෙත් සස්තරකාර කොණ්ඩයා ළඟ. ලොකුහිටියන්ගේ කකුල් අස්සෙන් රිංගල රවුමේ ඇතුළටත් ගිහිල්ල අහගෙන ඉන්නවා මෙලෝ සිහියක් නැතිව.

කොණ්ඩයා ඒ වෙනකොට කුප්පියක් අතේ තියාගෙන දත් කැක්කුමට දාන බින්දු දෙකේ බෙහෙතක් ගැන කියවනවා. ගෙදර ගිහිල්ල තමන්ගේ නෝනා හරි මහත්තයා ලඟට මුණ ලං කොරන්න පුළුවන් හොඳ හුස්මක් අරගන්න ඕනිනම්  මේකෙන් බින්දුවක් වතුරට දාල දියකරලා ගල් ගල් ගල් කියල කට හෝදලා දාලා .. . කියනකොටම වට වෙලා හිටිය මිනිස් පොදියේ ඉස්සරහින්ම හිටි උද්යෝගිමත් ශ්‍රාවකයා වන පොඩි එකා කොණ්ඩයාගේ ඇස්වලට මාට්ටු උනා .

කොණ්ඩයාට නහුතෙට කේන්ති ගියා. මෙතන ඉන්න වැඩිහිටි තමුන්නැහෙලටවත් තේරෙන් නැද්ද මේ පොඩි උන් මෙතෙන්ට ගෙන් නැතිව ඉන්න ඕනි කියලා?. ඔය ළමයට මම කියන එක තේරෙන් නැද්ද.? යනවද යන්න මෙතනින් මට පවු නොදී. මම නරක වචන පාවිච්චි කරන්න කැමති නෑ .
මේ කතාව ඉවර උනාම පොඩි එකා ස්වෙච්චාවෙන්ම් එතනින් පිටමන් වෙලා ඈතට ගියා.

පාරෙන් අනිත් පැත්තේ පත්තර කඩේ වවුල් කොකුවලින් එල්ලාලා තියෙන පත්තර ඉස්සි ඉස්සි කියවන්න හදනවා. දවස. වනිතා විත්ති . දිනමිණ. නවයුගය.
ඒ එක්කම අනිත් පැත්තේ කොණ්ඩයා වටකරගෙන ඉන්න මිනිස් පොදිය දිහා ඉරිසියාවෙන් බලනවා. හරියට පැණි වරකාවක් තනියම කන කොලු රැලක් දිහා බලන්නා වගේ.

ඔන්න එක පාරටම සෙනග ගොඩෙන් මහා හිනා හඬක් මතු වුනා. කොණ්ඩයා ඉල ඇදෙන කතාවක් කියල වගෙයි. හිනා හඬ  මිනිස්සුන්ගේ ඔලු උඩින්, වාහාන උඩින් ඇවිත් ගොස නගනවා.
මොන තරම් තහංචි පනවලා තිබ්බත් සබාව මේ තරම් රසවත් වෙන වෙලාවේ තමන් එතන සිටිය යුතුමයි කියා තරයේ සිතා ගත් පොඩි එකා කල්පනාවකින් තොරවම ගිහිල්ලා අර සබාවේ මිනිස් පොදිය අතරට රිංගනවා. ඒත් කොණ්ඩයාගෙන් මුවාවෙලා ඉන්නට පරිස්සම් වෙනවා.  උස මහත මිනිස් කකුල් අතරේ නිල්පාට කොට කලිසමක් ඇඳගෙන හිටිය පොඩි එකාගේ කකුල් දෙක කොණ්ඩයාගේ ඇස ගැහෙන්නේ ඔහු පිරිස හිනා ගස්වමින් වටයක් ඇවිදිද්දී.
එක්ෂණයකින් කතාව නවත්තපු කොණ්ඩයා  පොඩි එකාට ඉස්සරහින් හිටිය වැඩිහිටියා අහකට තල්ලු කරලා පොඩි එකාගේ අතින් අල්ල ගන්නවා.
පොඩි එකා දුවන්න හදනවා.
‘බයවෙන්න එපා ළමය එන්න. මෙතනින් හිටගන්න’.
දැන් ඔන්න  සාස්තරකාර තෙල් බෙහෙත් වෙළෙන්දාගේ වේදිකාවේ කුප්පි බෙහෙත් මලු දේව රුප මදිවාට දැන් ඉස්කෝලේ  කොල්ලෙකුත් ඉන්නවා.

පුතා දැන් දෙපාරක් මම එලවලාත් ආයෙම ආවනේ. කමක් නෑ. මම වැඩිහිටියන්ට බෙහෙත් දෙනවා විතරක් නෙවෙයි මට සාස්තර කියන්නත් පුළුවන්. ඔහු කරුණාවන්ත හඬක් මවාගෙන කියවයි.

මම මේ ලඟදි බදුල්ලේ උසාවියේ නඩුවකට ගියා මගේ නෙවෙයි නඩුව තිබ්බේ නෑදෑයෙකුගේ . මම  නිකන් බලන්න ගියා. ඔන්න නඩු කාරයා විඩෙන් විදේ මගේ දිහා බලනවා. පස්සේ නඩුව ඉවර උනාම රාලහාමි කෙනෙක් මට ඇවිත් කියනවා නඩුකාර උන්නාසේ මාව හම්බ වෙන්න කැමැත්තෙන් ඉන්නවලු. දෙයි හාමුදුරුවනේ මගේ කකුල් දෙක වෙව්ලනවා. පොලිස් ජීප් එකේම නැගලා ගියා නඩුකාර බංගලාවට . මම එනකන් උන්නැහේ ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා . මම බයෙන් බයෙන් වාහනෙන් බහිනකොටම . ‘බය වෙන්න එපා මම අවුරුදු ගානක් ඔබතුමාව හෙව්වා’ කියාපි.
එතකොටම මට එක පාරටම ඒ මුණ මතක් වුනා.

ඊට අවුරුදු තිහකට විතර ඉස්සර  නඩුකාර උන්නාන්සේ චුටිකාලේ මෙන්න මේ ළමය විතර කාලේ උන්නැහේගේ අම්මත් එක්ක පාරේ යනවා දැකල මම පොඩ්ඩක් කතා කරා . ඇස්වහක් කටවහක් නෑ  මම මේ ළමය ගැන පොඩි අනාවැකියක් කියන්නද?

අනේ ඒ ආඩම්බරයක් උද්දච්චකමක් නැති අම්මයි ළමයයි මගේ ගාවට ආවම මම කිව්වේ මොකක්ද දන්නවද?

මේ ළමය පින්වන්තයි. ලොකුම උගතෙක් වෙනවා . කවදාහරි දවසක නඩුකාර උන්නාන්සේ කෙනෙක් වෙනවා වෙනවාමයි.

ඉතින් ඒ ළමය තමයි අර නඩුකාර බංගලාවට මාව කැඳවලා තෑගී බෝග දීල සත්කාර කරේ.

දැන් මේ ළමයටත් මම කියන්නද නොවරදින අනාවැකියක්.
හැමෝගෙම ඇස්  පොඩි එකා දිහාට දික් උනා. පොඩි එකාටත් ආඩම්බර හිතුනා.

'මේ ළමය නොම්මර එකේ කපටියෙක් . පොත් කාරයෙක් . කවදාහරි ලෝක රස්තියාදුකාරයෙක් වෙනවා. වෙනවාමයි.

මේ උසුළු විසුළු කිරීමක්ද සහතිකෙන්ම කියූ දෙයක්දැයි විපිළිසර වෙලා හිටපු ජනතාව ඉන් පස්සේ බුලත් කසට පිරිච්ච දත්, බෝල්ලෑ දත්, දත් හැලුණු හිල් ඔලින් යුක්ත වූ කටවල්වලින් හැක හැක ගගා හිනා වෙන්න පටන් ගත්තා

පොඩි එකා එදා ඉඳන් හිතා ගත්තේ තෙල් බෙහෙත්කාර සාස්තරකාරයාටයි එදා හිනාවෙච්චි කාට කාටත් පාඩමක් උගන්වන්නත් එක්ක අර  අනාවැකිය බොරු කරනවා කියලා.

ඒත් දැන් පොඩි එකා නෙවෙයි,තලත්තෑනියෙක් වෙලා ඉන්න මේ මනුස්සයා ලෝක කපටියෙක් කියල කවුරුත් දන්නවා. තව මේ අවුරුද්දේ පොතක් ලියලා පොත් කාරයෙක් වෙන්ටත් ඒ මදිවාට ලබන අවුරුද්දේ ලෝක රස්තියාදුවක්‌ පටන් ගන්නත් හිතාන ඉන්නවා.

කවද්ද අප්පේ සාස්තර කාරයෝ කියපුවා බොරු උනේ ?

(චිත්‍රය ඇන්දේ ඔවිනි )

47 comments:

  1. Nice story. All stories are realated to real life.l like that ayya..

    ReplyDelete
  2. මචං, මේක කියවගෙන යනකොට මටනම් හරියට දැනුනේ පරණ චිත්‍රපටියක් බලනවා වගේ. හතරේ පහේ පන්ති වල ඉන්න කාලේ මගේ ජීවිතෙත් හරියටම මේකම තමයි. නෙල්ලි, සරුවත්, ටැප් වතුර​, තෙල් බේත් කාරයෝ...එකම එක වෙනසයි...දේවදාර වෙනුවට රබර් ගස්. දේවදාර තරම් ප්‍රිය මනාප නොවුනාට රබර් වලත් අමුතුම සුවඳක් තිබුණා. ඒ විතරක්ද​? ඉතා අධික පොඩිහිටිමය වටිනාකමක් තිබුණු ඔට්ටපාලු, රබර් ඇට වගේ අමු ද්‍රව්‍ය​. ඒ පාර මාතෘකාවෙන් පිට යනවා...ඔය ඇඩම්ස් ඔන්ලි තෙල් බේත් පන්ති වලට රිංගන අමාරුව ඒ දවස් වල මටත් තිබුණා. ඉතින් ඔය කොහෙවත් තියෙන කෙහෙම්මල් වලට හොට දාන අමාරුවයි, නෙල්ලි ගෙඩියක් හපලා වතුර ටිකක් බිව්වම තියෙන ප්‍රණීත රසයයි මතක් කළාම මට තව සිද්දියක් මතක් වුණා. එතකොටනම් මම හිටියේ හයේ හතේ වගෙ පන්තියක​. රත්නපුර බස්ටෑන්ඩ් එකේ වෙලෙන්දෙක් නෙල්ලි විකුණනවා. හුණ්ඩුවක් රුපියලයි. හුණ්ඩුවකට අල්ලන්නේ ගෙඩි දොළහක් විතර​. ගෙඩි හතරේ තට්ටු තුනක්. හොඳට බලාගෙන ඉන්නකොට මට පේනවා, පුරවපු හුණ්ඩුවෙන් කඩදාසි කවරෙට වැටෙන්නෙ ගෙඩි අටයි. ගෙඩි හතරක් හුණ්ඩුවේ අඩියේ හිර කරලා. බලාගෙන හිටියා ටිකක් වෙලා. මේක අත් වැරැද්දක් නෙමෙයි. ෂුවර් එකටම කපටි කමක්. කොහොමද ඉතින් කට පියාගෙන ඉන්නේ? පැහැදිලි කළා හැමෝටම මෙතන සිද්ද වෙන වැඩේ. නෙල්ලි වෙළෙන්දා හිමීට මාරු. මාර සන්තෝසයි කරපු වැඩේට​. ඒත් වැඩේ සීරියස් කම තේරුණේ පස්සේ! පැය බාගෙකට විතර පස්සේ මෙන්න පොර එනවා මාරයා ආවේශ වෙලා. කණේ පාරක් නොකා බේරෙන්ඩ සෑහෙන්ඩ දුවන්ඩ වුණා විතරක් නෙමෙයි. මාස ගාණක් යනකම්ම බස්ටෑන්ඩ් එකට ගියේ පුදුම බයකින්.

    ReplyDelete
    Replies
    1. මචන් දිගටම ලියපන්. උඹේ කතාත් රහයි. නෙල්ලි කාරයාගෙන් ගුටි කෑවානම් තමයි වැඩේ .

      Delete
    2. ‍මේ ‍හා‍වෙක්‍‍ද?

      Delete
    3. හාවෝ නෙල්ලි කනවද? සරුවත් බොනවද? උඳුපියලියම මිසක් . ටිකක් කියවලා බලන්ටකෝ

      Delete
  3. අපේ ගමට ලඟ ටවුමටත් ඔය වගේ සූත්තරකාරයෝ එනවා. දවසක් මාත් එකෙකුර රැවටිලා සුරයක් ගත්තා රුපියල් දෙකකට. අපරාදේ.

    ReplyDelete
    Replies
    1. අනේ මට මෙච්චර බයිට් වෙලත් එදා සුරයක්වත් හම්බුන් නෑනෙ

      Delete
  4. ෂහ්! සෑර් එලට ලියනව නෙ.

    ReplyDelete
  5. සාස්තරකාරයා ඇත්ත කියලා තියෙන්නේ නේ? :D

    ලියලා තියෙන විදිය නම් හරිම ලස්සණයි. ඇත්තටම චූටි කාලේ මොන තරම් බලන්ට දේවල් තිබුණද කියලා මතක් උණේ කතාව කියවගෙන යද්දි. ඒ වගේම එක, එක්කෙනා දකින ඒවත් එකිනෙකට වෙනස් නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි . සාස්තරකාරයා කියපු දේ ඇත්ත කියලනේ මාත් කියන්නේ D

      Delete
  6. එකා මොකාද කියලා හිතාගන්න පුළුවන්.. චිත්තරපටියක තිර රචනයක් වගේ ලස්සනයි, රහයි. ඔහොම සාත්තර කිව්වාම, ඒවා බොරු කරන්න තමයි උත්සාහ කරන්න ඕන. මට වෙලාවකට හිතෙනවා මේ තෙල් බේත් කාරයෝ, ගුරුවරුන් පුහුණු කරන්න දානවනම් කොච්චර අපූරුද කියලා. පුදුම ටැලන්ට් එකක් උන්ට තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්. ඇත්තටම මටත් හිතෙන්නේ මිනිහට තිබ්බ දේශනා පැවැත්වීමේ හැකියාව යොදාගත්තු උපක්‍රම ගුරුවරුන්ට උගන්නන්න වටිනවා

      Delete
  7. පුංචි පුංචි රසවත් සිදුවීම් බොහොම ලස්සනට විස්තර කරලා තියනවා. සාස්තර කාරයා කියන දේ සේරම ඇත්තයි කියලා ද කියන්නේ එතකොට?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මෙතන තියෙන්නේ උත්ප්‍රාසයයි .

      Delete
  8. ඒකනං හැබෑව.. කවද්ද ඉතිං ඔය පොත විසික් කරන්නේ.. අපිට ලෝකසංචාරේ ගැන නං ඉතිං තොරතුරු ලැබෙයි බඩ යන්නම.. .තිලකේ හොද ලියන්නෙක්... මං ඒක ගැරන්ට් කරනවා..

    ReplyDelete
    Replies
    1. පොත අගෝස්තුවට කලින් විසික්ක කරනවා. උඹේ ගරන්ටිය මට ගොඩක් වටිනවා .ස්තුතියි බන්

      Delete

  9. ‍අ‍නා‍ග‍ත ‍ලෝ‍ක ‍රස්‍‍ති‍යා‍දු‍ව ‍ගැ‍න ‍ත‍වත්‍ ‍ටි‍කක්‍ ‍කි‍යන්‍‍න. ‍‍ක‍ළ ‍හැ‍කි ‍නම්‍ කල්‍ ‍ති‍යා ‍පොත්‍ ‍ඇ‍න‍වුම්‍ ‍ක‍රන්‍‍න ‍බො‍හො‍ම ‍දෙ‍නෙක්‍ ‍ස‍තු‍ටු ‍වේ‍වි. ‍

    ReplyDelete
    Replies
    1. පොත ගැනයි ලෝක රස්තියාදුව ගැනයි ලියලා උඹට ලියුම් කරදරයක් එවන්නම් මන් .

      Delete
  10. මාරම රහට ලියල තියෙනවා නේ. ඔය පොඩි කාලේ ඇහෙන ඔය වගේ සාස්තර හිත් වලට සැහෙන්න බලපෑම් කරනවා කියලයි මට හිතෙන්නේ. එක්කෝ එක බොරු කරන්න හරි, ඇත්ත කරන්න හරි ඕන කියල අදිෂ්ටානයක් වගේ එකක් එන්න ඉඩ තියෙනවා ඔබට වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා . ඔබත් මන් වගේම කාන්තාර වැසියෙක් නේද?. ලස්සන පොටෝ ටිකක් දැක්කා

      Delete
    2. ඔව්. මම ඉන්නෙත් ඔබ ඉන්න කන්තරේම තමයි.

      Delete
    3. එහෙනම් ළඟදීම හමු වෙමු .

      Delete
  11. ඒක නම් මරැම මරැ කථාව මචං! උඹටත් වෙන දේවල්. හරිම රසවත් අන්දමින් උඹ ලියන හැටි හරිම අපූරැයි මචං! මම හදවතින්ම සතුටු වෙනවා. උඹේ පොත බලන්න ආසාවෙන්‍ ඉන්නවා. උඹේ ලෝක රස්තියාදුය එංගලන්තය හරහා දාගෙන අනික් ආපු උන් වගේ පිට පාරේ නොගොස් මාවත් බලන්න එන ලෙස ඉතාමත් ආදරයෙන් කියා සිටිනවා. උඹට ජයෙන් ජය!! දුවගේ නිර්මාණයත් ලස්සනයි. පොතේ පිට කවරය ඇයට කරන්න හැකියිනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්. ලෝක රස්තියාදුව එන්නේ උඹ බලන්නත් එක්ක තමයි. අනිත් උන් වගේ පිට පාරෙන් යන නෑ . මාසයක් විතර ඉන්න එන්නම් D

      Delete
    2. වරෙං වරෙං! මාසයක් නම් පොඩි ජොබ් කට්ටකුත් හොයා ගමු.

      Delete
    3. හුටා යකෝ මාසයක්නම් මාත් එන්නද?

      Delete
  12. ඔය කියන වතුර ටැංකියවත් බස් ස්ටෑන්ඩ් එකවත් අද එතැන නෑ. ඔය තෙල් බේත්කාරයොත් බේතකටවත් හොයාගන්න නෑ මගෙ හිතේ. අතීත මතකයක සිත රැඳෙව්වාට ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. ඔවු නිලුක මම ගිය මාසේ එහෙ ගියා. මොනා නැතත් අර අපේ ආදරණීය රීගල් එක නම් ඒ විදිහටම තියෙනවා

      Delete
  13. මමනම් ඔය සාත්තර ටිකක් විස්වාස කොරනවා අඩුයි..මොකද එක එක තැන් වල එක එක විදියට තමයි මේ දේවල්..ඒ වුනාට ඇත්තක් නැත්තෙමත් නැහැ..

    ReplyDelete
    Replies
    1. හොඳ වාචාල කම තියෙන තොලේ කටේ ගෑවෙන්නේ නැතිව බොරු කියන්න පුළුවන් ඕනිම කෙනෙකුට සාස්තර කියන්න පුළුවන්. ඒවගෙන් සමහර ඒවා ඇත්ත වෙනවා. මමනම් හිතන්නේ ඒ සම්බාවිතාව අනුව කියලා.

      Delete
  14. තිලකේ.......පේලියෙන් පේලියට කතා රසය වැඩිවෙනවා. සැහැල්ලුවෙන් ලියන දේවල් හිත ඇතුලටම යනවා මගේ හිතේ..තෙල් බෙහෙත් කාරයන්ගේ කුණුහරුප කතා අහගෙන ඉන්න මම ඉස්සර හරිම ආසයි. දැන් ඔය පොරවල් නැතුව ඇති මගේ හිතේ. ආශ්චර්යට ගසාගෙන ගිහින් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න මචන් තෙල් බෙහෙත් කාරයෝ නැති වෙන එකටත් ඓස්චර්යයට දොස් කියන්න එපා D . තාමත් තෙල් බෙහෙත් කාරයෝ ඉන්නවා, මේ යක්කු එන්නේ ටයි කෝට් දාගෙන හොඳ වාහනවලින්.

      Delete
  15. පොත් කාරයෙක් වෙන්න යන බව දැනගැනීම සතුටට කරුණක්. බලන්න කොහොම හරි අනාවැකිය හරි ගියානෙ... ලෝක සවාරියක් නම් දකුණු කුරු දිවයිනටත් එනවා ඇතිනේ....

    ReplyDelete
    Replies
    1. උතුරුකුරු දිවයිනට ගිහින් ඉතිරි උනොත් දකුණටත් එන්න හිතා ඉන්නේ. තිසර බලන්නත් එන්නම්

      Delete
  16. උබ නියෙමෙට ලියනව කියන එක අමුතුවෙන් කියන්න ඔන නැ.මරු.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං. හැමදාම කියවා අගය කරනවාට

      Delete
  17. සාත්තර කාරය කිව්ව දේ බොරු වෙන්න අරින්නෙපා මචං. ඌ අමාරුවෙන් කියපු එකනේ. හැබැයි ඔය ලෝකේ වටේ රස්තියාදුවට බර වියදම් නේද? උඹ බ්ලොග් ලියයි කියලා හෙම පොර කිව්වේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. වියදම් කියලා බෑ මචං පුළුවන් විදිහකට සාස්තරකාරයා ගොඩ දාන්නත් එපැයි

      Delete
  18. "චූටිඋක්කුන් චරිතාපදානය" පොතේ නම

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ යෝජනාවක් තමයි. බොහොම ස්තුතියි.

      Delete
  19. පට්ට ම පට්ටයි තිලකයියේ.... බදුල්ල බස්ටෑන්ඩ් එකේදී තෙල් බීත් කාරයෙක් මාවත් එලෙව්වා ඉස්කෝලේ යන කාලේදී. මම නම් ආපහු ගියේ නෑ මොකද මිනිහා හැමදාම හවසට අපේ කඩෙන් බඩු අරන් යන පොරක්. හැබැයි ඒ වෙනකොට නම් නද වෙන්න ගහලා ඉන්නේ ..ඒ වේලාවට් නම් මිනිහට මාව අන්දුරන්න් බෑ. එත් බයට ආපු ගියේ නෑ එලෙව්වම සද්ද නැතුව ගියා.
    මේ ලිවිලි රටාව සුපිරියි. වන් මෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බොලේ මේ පැද්දීල්ලට. උඹට මතකද ඉස්සර සේනානායක උද්යානේ හිටි සාස්තරකාරයෝ ටික . ඉස්පිටිතාලේ ලෙඩ්ඩු ඇරෙන වෙලාවට බත් පාර්සලයක් තැඹිලි ගෙඩියක් ඇන්න යන බවලත් උදවිය නවත්තලා කියනවා පොඩ්ඩක් නැවතිලා අහලා යන්න ' පවුලේ කෙනෙක් ලෙඩින් නේද' කියලා . උදේට උසාවි පටන් ගන්න වෙලාවට පයිල් කරදාසි එහෙම ඇන්න පිළිවෙලකට යන වයසක උන්දැලාගෙන් අහනවා ' නඩු හබ වලින් කරදරයි නේද' කියල . ඉතින් හැමෝම හිතන්නේ මුන් සිරා සාස්තරකාරයෝ කියලා නතරවෙලා ගානක් පුජා කරලා සාස්තරෙත් අහලා යනවා.

      Delete
  20. තිලකේ.. පට්ට....
    කථාව කියවන ගමන් මාත් ඉබේම අතීතයේ පොඩි එකා උනා. ඒ කාලේ සමහරු (අ)ඩල්ට්ස් ඔන්ලි එකට පාවිච්චි කරපු "ඇඩම්ස් ඔල්ලි" වගේ වචන හරිම රසවත්.

    ReplyDelete