අපේ ගෙදර බොහොම වයසැති චිමිනි ලාම්පුවක් තිබුනේය. මේ කියන ලාම්පුව ඒ කාලේ අප සිටි ගුරුනිවාසයේ තිබු වටිනාම බඩු මුට්ටු කිහිපයෙන් එකකි.එය මට මතක කාලයේ හිටන් අපේ ගෙදර තිබුනේය. හැත්තෑහතර අවුරුද්දේ දවසක් තාත්තා උදෙන් කොළඹ යන්නට ලැස්ති වී අපි සියලු දෙනාම ඇහැරවන විට පවා කළුවර තුරන්වී නොතිබිණි. පාන්දර පහට විතර වෙන්නට ඇති.
පුතේ නැගිටලා බලන්න . අයියලා ඇඳ යට බලන්න . අක්කලා දොර මුල්ලේ බලන්න .
මොකක්ද නැති වෙලා තියෙන්නේ.?
තාත්තගේ සපත්තු දෙක
ඒ කාලයේ තාත්තා සුදෝසුදු නැෂනල් සුට් එක ඇඳ කළු සපත්තු දෙකක් දැම්මේ විශේෂ ගමනක් යනකොට පමණි. ඉතින් සපත්තු තියන්නට ව්ශේෂ තැනක් නොතිබුණු අපේ ගෙදර දොර මුල්ලක හෝ ඇඳක් යට සඟවා තැබෙන සපත්තු දෙක මාස ගණනකට වරක් එලියට එයි. එක වරක් එසේ සොයා ගත් සපත්තුවට කකුල දමද්දීම තාත්තා කෑ ගසාගෙන කකුල එලියට ගත්තේය.
කකුල එලියට ආ අතර එය පසු පස ආවේ මරහඬතලාගෙන (ඒක ඇහුනේ නැත. මට හිතුනු ශබ්දයකි) තඩි ගෙම්බෙකි.
මද කළුවරේ තාත්තාගේ සපත්තු හොයන්නට පළමුවෙන් වුවමනා දේ ටෝච් එකයි.ඒකත් කොහේදෝ කියා හොයා ගන්නට .නැත.
අයියා නිදිමතේ වැනි වැනී සාලේ තිබුණු චිමිනි ලාම්පුව අතට ගත්තේ ටෝච් එක වෙනුවටය.
චිමිනි ලාම්පුව පෙරලී බිම වැටුනේය. චිමිනිය කුඩු වී ගොස් ලාම්පුව පෙරලී ගියේය. වාසනාවකට චිමිනිය පමණක් කුඩු පට්ටම් වී හැම තැනම ගිනි ඇවිලෙන්නේ නැතිව ලාම්පුව නිවී ගියේය. වීදුරු කටු තිබෙන නිසා දවල් වෙලා ඒවා අහුලන තුරු කටු විසිරුණු කලාපය ගෝනි පඩන්ගුවලින් වසා දැමීමට අම්මා පියවර ගත්තාය.
අයියාට එහෙන් මෙහෙන් තරවටු එල්ල විය.
බොරු කලබලේ! පරිස්සමක් නෑ . ඔච්චර නිදිමතද ඉලන්දාරියා .
අයියාට ටිකක් බනිද්දී මට ජොලියක් ගියේ කලින් දා රෑ නිදා ගන්න ගොස් ඇඳේ අයින බෙදා ගන්නට බැරිව අපි දෙන්නා අතර දිග්ගැහුණු අරෝව ඒ වෙනකොටත් වියැකී ගොස් නොතිබුණු නිසාය.
තාත්තා පිටත්ව ගිය පසු අපි නිදා ගත්තෙමු. දහවල් වී ඇහැරෙන විට අම්මා ලාම්පු චිමිනියේ වීදුරු කටු ඉවත් කර ගේ අතු පතු ගා කිරිහොදියි බතුයි පිගන් වලට බෙදා තිබුණාය.
මම චිමිනිය අහිමිව මේසේ කෙළවරක බලියාගෙන සිටින ලාම්පුව දෙස බලා සිටිද්දී එහි පිත්තල බඳ තැලී ගොස් තිබෙනවා දුටුවෙමි. අයියාට ටිකක් තද දඬුවමක් අරන් දෙන්න ලැබුණු චාන්ස් එක.
'මෙන්න අම්මේ අයියා චිමිනිය විතරක් නෙවයි පිත්තල ලාම්පුවත් බිඳලා'.මම කේලම ඇද බෑවෙමි.
අම්මා ලඟට ආවාය. හොඳින් ලාම්පුව දෙස බලා සිට මුවට මදහසක් නංවා ගත්තාය. ඕක ඉස්සර තැලිච්ච එකක්.
ඒ කොහොමද කවදාද? අපේ ඔවිනි මෙන් දවසකට ප්‍රශ්න හාරසීයක් විතර අහන මම අම්මා උත්තරේ දෙන තුරු චීත්ත පොටේ දැවටී දැවටී එකම ප්‍රශ්නය අහුවෙමි.
අම්මා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ ඊට අවුරුදු ගානකට පස්සේ දවසකය. හැබැයි ඇය මුළු කතාවම කිව්වේ වරින්වර සෞම්‍ය කල්පනාවල නියැලෙමින් තනිවම හිනා වෙමිනි.
පිත්තල ලාම්පුව තැලී තිබුනේ මොකක්දෝ පුංචි කාරනාවකින් පටන් ගත් දබරයකදී කේන්තිය පිටකරගනීමට බැරිව තාත්තා විසින් ලාම්පුව අල්ලා පොළොවේ ගසා තිබු නිසාය.
ඒත් ප්‍රහේලිකාවක් මගේ හිතේ නලියයි. ඇයි තාත්තා එදා මේ තරම් නපුරු වුනේ , තාත්තා හරිම අසාදාරණයිනේ ?
මා මුවින් නොඇසූ ප්‍රශ්නවලට අම්මා පිළිතුරු දුන්නාය.
තාත්තා දන්නා තෙක්කට බඩුවක් මුට්ටුවක් පොළොවේ ගහලා තියෙන්නේ එදා තමයි. ආයේ කවදාවත් ඒ තරම් රණ්ඩු වුනෙත් නෑ.
මිනිහෙකුට කේන්ති යන්න ඉතින් හේතුවක් අහේතුවක් තියෙන්න ඕනියෑ .
අමමා තාත්තාට සැලකුවේ භක්තිමත් ගුරුවරයෙකුට මෙන්ය. එයටද හේතුවක් තිබෙයි . තාත්තා හා හා පුරා උගන්වන්නට ආ පාසලේ ජෙෂ්ට පන්තියේ සිටි සිත්ගත් සිසුවිය අම්මාය. මේ ආදර කතාව ඉන් එහාට මල් පල ගැන්වී සුන්දර ආදර කතාවක් බවට පත් විය.
අම්මා හා තාත්තා දබර කරගත් තව දවසක් මට මතකය. ඒ මහපතනේ මුත්තා මියගිය දවසේය. අපිට දුරින්වත් නෑයෙකු නොවන මහපතනේ මුත්තා හදිස්සියේ මිය ගිය දවසේ කුස්සියේ කෙරුණු කතා බහ මේ විදිහය ;
‘අම්මා දැන් මයේ හිතේ උන්දැට හැත්තෑපහක් විතර වෙනවා ඇති’.
‘මොන ඊට වැඩියි අසුවත් පැනලා ඇති . අපි දන්නා කාලෙත් වයසයිනේ.’
‘එච්චර වෙන්නේ කොහෙද උන්දැගේ පොඩි දුවට තාම අවුරුදු විස්සක් ඇති’
නෑ! කාට? එයාට තිහ පැනලා ඇති.
මෙන්න මෙහෙම පටන් ගත් කතාව ටිකකින් දුරදිග ගියේය
අසුවයි !
නෑ හැත්තෑපහයි !
තාත්තා දඩස් ගා පුටුව තල්ලු කළේය
හැත්තෑපහ තමයි දන් නැති දේවල් කතා කරන්න එපා.
මං කියන කිසි දෙයක් පිලි ගන්නේ නෑ . හැමදාම ඔහොමයි. හැමදේම ඔහොමයි.අම්මා හඬන්නට පටන් ගත්තාය
දබරය දුර දිග ගොස් අම්මාත් තාත්තාත් එදා කෑම කෑවේත් නැත.
අම්මා අඬ අඬා කියවයි. තාත්තා කේන්තියෙන් ගේවටේ සක්මන් කරයි.
මේ මොන විකාරයක්ද කොහෙවත් ඉන්න,මැරිච්ච මිනිහෙක්ගේ වයස ගැන වාද වෙලා මේ දෙන්නා රණ්ඩු කරනවා හරියට පොඩි උන් වගෙයි .අක්කාට හොඳටෝම කේන්ති ගිහිල්ලය.
මේ දෙන්නා අතර මත ගැටුම් වල දරුණුම අවස්ථා දෙක ලෙස මට මතක තිබෙන්නේ ඔය කියාපු සිද්දීන් දෙකය. ඒත් අම්මා වඩාත් කැමති සාස්තර ඇසීම්, පේන ඇසීම් තෙල් මැතිරිලි ආදියට තාත්තා එක හෙලා උදැල්ල දැමුවේය. මේ ආදී සුළු සුළු හේතු නිසා දෙන්නාගේ නොහොඳ නෝක්කාඩු ඇති උනත් එක වරුවකට වඩා පවතින අමනාප වීමක් තිබුනේම නැති බව මට ඒකාන්තයෙන්ම විශ්වාශය.
පිත්තල ලාම්පුව කෙසේ වෙතත් පහුගිය දශක හයක් තිස්සේ ඔවුන් එක්කාසු වී අලුතින් දැල්වූ ආදරය, නැණ නුවන , නොසැලෙන ගුණය ආදී විවිධ වර්ගයේ පහන් පෙළ පරම්පරාවන් විනිවිද යමින් දිගින් දිගටම එලිය විහිදුවනු ඇත. ඒ පහන් වැටියේ ආලෝකයෙන් වැඩිපුරම පෙන්නුම් කරන්නේ සැප සම්පත් සීමිත ලෝකයකදී උනත්, එකිනෙකාට අසීමිතව ආදරය කරන හැටියි.
අපේ අම්මයි තාත්තයි එකවහලක් යටටවිත් හැටවන වසර එළඹ තිබේ..මේ දෙන්නාට දෙන්නා ළඟ නැතිව අදද එක දවසක්වත් ඉන්නට අපහසුය.
(චිත්‍රය ඇන්දේ ඔවිනි )
මුලින්ම කියන්න ඕනේ චිත්‍රය හරිම සෞම්‍යයි ....ලස්සනයි. වයස ගැන ගිය රණ්ඩුවනම් ඇත්තෙන්ම හරිම රසවත්.
ReplyDeleteබොහොම ස්තුතියි මලේ. ඔවිනිටත් සතුටුයි .චිත්‍රය ගැන කිව්වාට
Deleteහරිම අපූරුයි. මේ ප්‍රේමය සදාකල් දිනේවා.!
ReplyDeleteබොහොම ස්තුතියි, නිලුක කියවා රස වින්දාට. සුබ පැතුවාට .
Deleteඒ ලාම්පුව තාම තියෙනවාද?
ReplyDeleteමගේ සුභ පැතුම් වැඩිහිටි දෙපලට.
බොහොම ස්තුතියි, ඒ ලාම්පුව තාම තියෙනවා ඇති මහගෙදර
Deleteචිරාත් කාලයක් නිදුකින් වැජඹෙන්නට සුබ පැතුම් !
ReplyDeleteමහොම ස්තුතියි වෙනි
Deleteඅම්මටයි තාත්තටයි සුභ පැතුව කියහන්.
ReplyDeleteකියන්නම් මචන්. බොහොම ස්තුතියි
Deleteඒ කියන්නේ ඉස්සරම කාලේත් ගුරු ගෝල ප්‍රේම තිබිලා තියෙනවා නේද?
ReplyDeleteමේ වගේ ආදරණීය දෙමාපිය සම්බන්දතා කොයි තරම් වටිනවද අර එක එක්කෙනා කතා නොකර ඉන්නවට වඩා.
සුභ පැතුම් ඔවුන්ට. ඇවුරුදු හැටක් කියන්නේ සෑහෙන්න සමරන්න ඕනේ දෙයක්.
සමරන්න ඕනි නේන්නම් .ප්‍රේමය සදාකාලිකයි. අද කාලේ වගේමයි ඉස්සර කාලෙත් , බොහොම ස්තුතියි
Deleteකථාව වෙනදා වගේම එළ ආයිත් කියන්න දෙයක් නෑ. උඹේ දෙමාපියන්ට මගේ සුභ පැතුම්.
ReplyDeleteසංසාරේ පුරාවට එක් සිත්ව ආවාදෝ
එකකු වී වසන්නට පෙම් හැඟුම් පෑවාදෝ
මෙතෙක් ආ දිවි ගමන රසඳුනම වූවාදෝ
මතු මතුත් සසර මඟ හමු වෙමුයි කීවාදෝ
ජයම වේවා!!
චිත්‍රයටත් 100% දෙන්න පුලුවන්...
බොහොම ස්තුතියි මචන්. කවි සුබ පැතුමත් ලස්සනයි
DeleteHonda kathawa ayya...
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි
Deleteතිලකෙ කතාවත් ලස්සනයි හරිම සංවේදියි,ඒ වුනාට හැමදාම වගේ මගේ සිත් ගන්න චිත්‍රය තමයි හරිම ලස්සන, ඔවිනිට කියන්න.
ReplyDeleteගොඩක් ස්තුතියි මචන්. ඔවිනිට කිව්වා
Deleteඔවිනිගේ චිත්‍රය මරු.
ReplyDeleteඋඹ මේ කතාව කියන්න පහන් නිමිත්තක් කරගත්ත හැටි අගෙයි.
ඒ පෙම් යුවලට දිගාසිරි පැතුවා කියාපං.
ගොඩක් ස්තුතියි මචන්. මේක ටිකක් දිගට ලියන්න තියෙන කතාවක්. මේ දවස්වල විවේකය අඩුයි.
Deleteමේ අත් දෙකත් උස්සගෙන දිවත් එළියට දාගෙන ඉන්නේ තිලක වෙන්න ඇති... මව්පිය දෙපොලට තවත් දීර්ඝ කාලයක් පෙමින් වෙලී ඉන්න සුභ පැතුම්....
ReplyDeleteඅපෝ ඒ මම නෙවෙයි D. මට පුදුම අපේ පොඩි කාලේ ඇක්ෂන් පොඩි උන්ට මැවිලා පෙන්නේ කොහොමද කියලා. ස්තුතියි තිසර
Deleteකෝ ලාම්පුව.. අර වලිය ගියෙ මාර දේකට නේ. හරි එහෙනං කපල් එකට දිගා සිරි. චිත්තරේ හැඩයි හොදේ.. (ඒක පැහැදිලි චිත්තරයක්)
ReplyDeleteස්තුතියි මචන්. ලාම්පුව හොයා ගන්ටෝනි මේ සැරේ ගමේ ගියාම
Deleteදැං කොහෙද ඔහොම ආදරය කරන ජෝඩු . වෙන වෙන සමාජ වටිනාකං වලට මුල් තැන දෙනවා මිසක්
ReplyDeleteAyi Atam oya denna.oya dennage kadalle kathatha hitha aderen puronawane.
Deleteමේ විදිහේ ආදරෙන් ඉන්න උදවිය ඊළඟ පරම්පරාවට කියන්නෙත් එහෙම ඉන්න කියලා තමයි.
Deleteඔයවගේ ප්‍රේමකතානම් ඉදලා හිටලා අහන්න ලැබෙනවා, මොකද මගේ යලුවත් ගුරුවරයෙක්නේ එයටත් ඔයවගෙ යෝජනා හෝ ගාල එනවා.
ReplyDeleteඒ වගේ කතා ඉස්සරහට ලියන්න
Delete. අපි නොදන්න පුංචි කාලෙ අපේ තාත්තත් ඔහොම අම්මගෙ මහන මැෂිම තරකට හයියෙන් තල්ලු කරලා. තාත්තා බොහොම සවිමත් නිසා මැෂිම පෙරලිලා රෝදයට තිබ්බ ආවරණයත් එක්ක අර පෙඩලයට සම්බන්දවෙන පටියෙ ආධාරකයත් කැඩිලා. ඉතිං ඒක ගලවන්න දාන්න ටිකක් මහන්සි වෙන්න ඕනෙ. ඕකට අම්ම ඉතිං පොඩි හින්ට් එකක් දානවාමයි මහන වෙලාවට තාත්තා එතනින් ගියොත්.. "කොහෙද ඇඟේ හය්ය පෙන්නලා මගෙ මැෂිම කැඩුවානෙ " එතකොට.
ReplyDelete"මෙච්චර කාලයක් ගිහිල්ලත් මේ මනුස්සයට මේක අමතක නොවෙන හැටි" කියල තාත්තා හිනාවෙලා යනවා. තාත්තා ගොඩක් බඩු කැඩුවානම් අම්මාට අරෙහෙම කියන්න වෙන්නෙ නෑනෙ කියල මට හිතුනා. අපේ අම්මයි තාත්තයි මතක් උනා. දෙන්න අවුරුදු හැටකට වඩා හිටියා එකට.. ගියෙත් එකට තාත්තට යන්න සති දෙකක් දීල අම්ම ගියේ
සරත්ගේ දෙමවුපියන් ගැන ආදරය හිතෙනවා මේ විස්තරේ ඇහුවම
Deleteමේ චිත්‍රය හරි ම ලස්සනයි. කතාවත් වෙනද වගේ ම ලස්සනයි.
ReplyDeleteස්තුතියි කඳු. මගේ ලියවිලිනම් මේ දවස්වල එච්චරම මගේ හිතට හරි ගියේ නෑ . අවිවේකී කොන්ක්‍රීට් ජීවිතයක් මේ දවස්වල ගෙවන නිසා නිවීසැ නසිල්ලේ ලියන්ට වෙන් නෑ.
Deleteකතාව පාන්දරකින් පටන් ගෙන අවසානයට ගෙනාපු හැටි මරු.
ReplyDeleteඅපේ දෙමව්පියන්ගේ ඔය පුන්චි වලි කොච්චර රසවත්ද කියලාත් හිතේනවා. පොඩි දවස්වල නොපෙනුනත්
ඔවුන්ගේ එකිනෙකාට තිබුන ආදරය අපි වයසට යනකොට පෙනෙන්න ගන්නවා.
දවසක බලන කොට අපිත් ඒ වගේම වෙලා තියේවි
ස්තුතියි JP . අපිටත් දවසක එහෙම හිතන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම සම්පත
Deleteඅම්මටයි තාත්තටයි මාත් සුභ පතනවා..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ්
Deleteමේක දාන්න තිබ්බේ පෙබරවාරි 14. අපේ අම්මයි තාත්තයි දෙන්නත් ප්‍රේම සම්බන්දෙකින් විවාහ වෙච්ච දෙන්නෙක්. එක පාරක් දෙකක් අම්ම තාත්තට මොනවා හරි ආඩපාලියක් කිය කියා කදුළු හලනවා මිසක් දෙන්න තරහින් කෑ ගහ ගන්නවා නම් දැකල නෑ තාම.
ReplyDeleteඅනේ වාසනාවන් එහෙම දෙමව්පියෝ. මටත් හිතුනා මේක දාහතරවැනිදා දාන්න. ඒත් මේක එච්චර දවසක් තියාගෙන ඉන්න විදිහක් නෑ අපේ ළමයින්ගෙන් කරදරේ , ඉක්මනට බ්ලොග් එකට මොනා හරි දාන්න කියලා
Delete///පිත්තල ලාම්පුව කෙසේ වෙතත් පහුගිය දශක හයක් තිස්සේ ඔවුන් එක්කාසු වී අලුතින් දැල්වූ ආදරය, නැණ නුවන , නොසැලෙන ගුණය ආදී විවිධ වර්ගයේ පහන් පෙළ පරම්පරාවන් විනිවිද යමින් දිගින් දිගටම එලිය විහිදුවනු ඇත. ඒ පහන් වැටියේ ආලෝකයෙන් වැඩිපුරම පෙන්නුම් කරන්නේ සැප සම්පත් සීමිත ලෝකයකදී උනත්, එකිනෙකාට අසීමිතව ආදරය කරන හැටියි.//////
ReplyDeleteමේ තමයි ආදරය තිලකේ.....සදා නොවෙනස් ආදරය... පරම්පරාවෙන් පරම්පරාවට ඇදගෙන යා යුතු ආදරය...
අපේ ගෙදර ඔය වගේ දේවල් ගොඩාක් තිබුනා පසුකාලීනව. මට ඇහිලා තියෙනවා අම්මා බැරිම තැන තාත්තාට කියපු දේවල් ඒ බීම නිසාම. (උඹේ තාත්තා එහෙම නෙවෙයි බව මම හිතනවා )
දයාරත්න.....මාව අත අරින්න අපි දික්කාසාද වෙමු.එහෙම කිව්වේ අපේ අම්මා.
ඔයා නඩු දාන්න....මම නඩුවට ගිහින්..නඩුකාරයාට කියනවා...අපිව දික්කාසාද කරොත්..මම උසාවිය ඉස්සරහ බෙල්ලේ වැල දාගන්නවා...ඇයි හාමුදුරුවනේ..මේ ගෑනිගෙන් මාව වෙන් කරන්නේ..මගේ වැරදි ඇති...මගෙන් මෙයාව වෙන් කරන්න එපා. ඔහොම තමයි අපේ තාත්තා කිව්වේ.
අම්මා ප්‍රේමනීය ලෙස තාත්තා දිහා බලනවා. අපි ඔරවනවා.
මම බැන්දට පස්සේ අම්මා මගේ වයිෆ්ට කියලා තියෙනවා....දයාරත්න කොච්චර බීවත්...අපි දෙන්නා ආදරෙන් හිටියා කියලා..
තාමත් එහෙමයි. තාත්තා බීම නවත්තලා ගොඩාක් කල්. මම ඒ දෙන්නාගේ ආදරයට තාමත් ගරු කරනවා. අපේ දුව කියන්නේ දයා ආච්චියි,ලූනු සීයා ගෙයි (අපේ තාත්තාට දුව කියන නම. මම ඒවා පස්සේ කියන්නම් )ලව් එක එයාටත් තව යාළුවන්ට කියලා දෙන්න පුළුවන් තරම් ආදරයක් කියලා. ඒ දෙන්නා අතරේ අපේ දුව කාලයක් හැදුනා වැඩුනා.
මම උඹේ මේ කෙටි ලිපිය රස වින්දා හදවතින්ම.
උඹේ කතාවත් එකතු වුනාමමයි අරු මේ බ්ලොග් සටහන සම්පුර්ණ වෙන්නේ . උඹට ස්තුතියි මේ සටහන තැබුවාට.
Deleteඋඹේ කතා මෙහෙම රසවත් වෙන්‍න සංවේදී වෙන්‍න තියෙන මුල්‍ම හේතුව ඒවායේ තියෙන සරල අවංක බව කියලයි මට හිතෙන්‍නෙ. ආදරයක සරල අවංක කමට ආදේශකයක් නෑ වගේම, චරිතාපදානයක් මෙන් මේ ලියන කතා වලටත් සරල අවංක කම හැර වෙනත් කොඳු නාරටියක්, ස්‍නායු පද්‍ධතියක්, හදවතක් ආදේශ කරන්‍න බැරි බවයි මගේ අදහස. මේ කතා මෙහෙම ලියන්‍න මට බැරි මගේ මනසේ ඇති යම් නොමේරූ, ආප්‍ත වූ හිස් ආත්‍ම ගරුත්‍වයක් නිසාද කියල මට හිතෙනවා. ඔවැනි හිතකින් ලියන්‍න පුලුවන් කතා කියවිය යුතු කොල පෙරලමින්, තලු මරමින් මිසක කොම්‍පියුටරයකට එබීගෙන නොවෙන නිසා, අනේ අර පොත ඉක්‍මනට ලියාපං. උඹේ පොත කියවන්‍න කාමරයක තනි වුනු මගේ අම්‍මාටත් ඉඩක් වාසනාවක් දිය යුතුමයි. අම්‍මා උඹ ගැන සතියට දෙතුන් වතාවක් අහනවා. ලියාපං.... දෙයියංගෙ නාමෙට ලියාපං. කෙලි පොඩ්‍ඩගෙ පින්‍තූරත් ඒකෙ දැම්‍මොත් කොයි තරම් අගේද? අර ධර්‍ම ශ්‍රී රණවකගෙ පොත් වගේ. නුමුත් මේ නිකං කියන්‍න ඕනැ නිසා කියනව නෙවෙයි, උඹේ කතා ඊට ගව් ගාණක් ඉහලයි.
ReplyDeleteඋඹලාගේ තල්ලුව නිසාම මම පොතේ වැඩේ කරගෙන යනවා බන්. අම්මාට මගේ ආදර සුබ පැතුම් පිරිනැමුවා කියපන්.
Deleteඔන්න එහෙනම් සුභ පැතුම්...
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා
Deleteලාබ ceramic දේවල් ගෙදරක අතට අහුවෙන තෑනක තිබීම මානසික මට්ටම හොද තෑනක පවත්වාගෙන යාමට රුකුලක් නේද?
ReplyDeleteහෙ හේ .ඉස්සර මැටිවළන් තිබ්බේ ඔය වැඩේට තමයි. එච්චර ගණනුත් නැහැනේ . බොහොම ස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුනාට
Deleteමෙවන් දෙමව්පියො ලැබෙන්නත් පින් කරන්න ඕන.
ReplyDeleteඅදයි ආවේ.දිගටම එනවා!!!
දුලාගේ අඩවිය ලියන දුලා
බොහොම ස්තුතියි දුලා . ආයේ එන්න
Deleteඅපූරු මතක සැමරුමක් තිලක්...ඔය ඉඳ හිටල පොඩි වලියක් යන එක ආදරේ නොසිඳී නඩත්තු කරන්ට බොහොම උපකාරී වෙනව.බොහොම හෘදයාංගම ලගන්නාසුළු ලියවිල්ලක්...:)
ReplyDeleteස්තුතියි රවී. මේ පැත්තේ ආ එක ගැන සතුටුයි
Deleteකෝ මගේ කමෙන්ට් එක?
ReplyDeleteඅනේ මන්දා පොඩ්ඩි ඔන්න ඔච්චරයි තිබ්බේ. දවසක් ඉවාන්ටත් ඔය වැඩේම උනා කිව්වා
Delete