Monday, June 22, 2015

සිල්වියාගේ තාත්තා

සිල්වියාගේ තාත්තා අඩි හයයි අඟල් දෙකක් උසය. උපන් රට ඇමෙරිකාවය. කලකට පෙර  මා ජීවිකාව සපයාගත්  ව්‍යාපෘතියේ නිල නොලත් ජාත්‍යන්තර නියෝජිතයා වුනේ ඔහුය. ආචාර්ය උපාධියක්ද සමග අවුරුදු හතලිහක  සේවා පළපුරුද්දක් තිබුනාට ඔහුට කවුරුත් කතා කලේ නම කියලාය. අපේ සංවිධාන යාන්ත්‍රණයේ ඉහළ පේලියේම සිටි බලගතු පරිසර  සේවා ආරක්ෂක කළමනාකරුවා වු ඔහු  රාජකාරියට අදාළ පුද්ගලයා ලඟට ගොස් පසෙකින් වාඩි වී රාජකාරී ගනුදෙනුව අවසන් කරයි. මේ සරල මිනිස් සබඳතාව හැරුණු කොට කිසි විටක  පුද්ගලික වතගොත කතා කලේ නැත. හැසිරීම දරදඬු විය. යාන්ත්‍රික විය.

ඔහුට දරු පවුලක් සිටින බව යන්තමට හෝ අපට මතක් වුනේ  ඔහු සීරියස් පිට සතිපතා රැස්වීමේදී කළ විහිලු දෙකක් නිසාය. වරක්  ඔහු සියල්ලන්  නිහඬ  කර  විශේෂ නිවේදනයක් කියන්නට තිබෙනවා යැයි කීවේය. මේ නිවේදන බොහෝ විට මාර්ග වසා තැබීම්. අලුතින් පැනවූ නීති අණ  පනත් හෝ  අවදානම්, අනතුරු ඇඟවීම් වැනි දේ විය.
'මෙයයි විශේෂ නිවේදනය අද උදේ පහයි විසි තුනට මම සීයා කෙනෙක් බවට පත් වුනා'
මුලින්ම මේ කියන්නේ මොකක්දැයි අදහා ගන්නට බැරිව සිටි පිරිස ඉන්පසු මහා හඬින්  අත්පොලසන් දෙන්නට  විය

ඊට හරියටම අවුරුද්දකට පසු ඒ විදිහටම ඔහු දෙවන විහිළුවත් කළේය.

'මෙන්න විශේෂ නිවේදනයක් ඊයේ හවස හතයි පහළොවට මම දෙවන වරටත් සීයා කෙනක් බවට පත් වුනා' .

මේ සිද්දි දෙක හැරෙන්නට කිසිදා කිසි විටක පවුලේ සබඳතා හා  ප්‍රශ්න ඔහු අප සමග බෙදා ගත්තේ නැත. නිවාඩුවට ගෙදර ගොස් එන කාගෙන්වත් ඔහු (බොහෝ දෙනෙක් පුරුද්දට කරන්නාක් මෙන්) අඹු දරුවන් සුවෙන් සිටීදැයි නිවාඩුව විනොදජනකදැයි කියා ඇහුවෙත් නැත.

අර්ධ රොබෝවෙක් හා රූලට වැඩ කරන ඉහළ මුලෑදෑනියෙක්  වූ සිල්වියාගේ තාත්තා එතෙක් සිය සගයින් අතර අටුවන් බස්සවා තිබු සිය ප්‍රතිරූපය වෙනස් කර ගත්තේ  මුර්තිගේ තාත්තා සම්බන්ධ සිද්දීයේදීය.

මුර්තිගේ තාත්තා  ව්‍යාපෘතියේ වැඩ මගක් කෙරීගෙන යද්දී කොහේදෝ  සිට ප්‍රදුර්භුත වූ සුරා සුදුවෙන් තොර තවත් එක්  පොතේගුරු නිලධාරියෙකි. තත්ත්ව පාලන ඉංජිනේරුවෙකු වූ ඔහු  සිල්වියාගේ තාත්තා හා සම වයස් වූවෙකි.

ඔහුද විෂයය  කරුණු හැර වෙනත් දෙයක් කතා කරේ නැති තරම්ය. සමාගමෙන් සුදානම් කර දුන් හෝටල් කාමරයක නතර වී කාර්යාල බසයෙන් රස්සාවට ආ ඔහුගේ හැසිරීමේ පොඩි වෙනසක් නිරීක්ෂණය කරන්නට එක්තරා දිනකදී  පුළුවන් විය.

මේ විශේෂ දවසේදී කා සමගවත් කතා බහක් නොකර වහනයෙන් බැසගොස් කන්තෝරු කාමරයට වැදී දොර වසා ගත්තේය . තේ ගෙනෙන ළමයා තට්ටු කරද්දීවත් ඔහු දොර ඇරියේ නැති තැන අත්සන් කර ගැනීමට ඇති ලියුම් මිටියක්ද සමග අනවසරයෙන්ම ඔහුගේ කාමරයේ දොර අරගෙන ඇතුළු වූ කන්තෝරු ලිපිකරු එහිදී  දුටු දසුනින්  භීතියෙන් හා විශ්මයෙන් ගල් ගැසී ගියේය.

හත් දෙයියනේ! අලුත් මහත්තයා කන්තෝරු මේසයට කකුල් දෙක තබා ගෙන මේසය උඩ  තිබු නැපෝලියන් බ්‍රැන්ඩි බෝතලයෙන් තුන් කාලක්ම සප්පායම් වී  දොඹ ගෙඩි දෙකක් සේ වූ ඇස් දෙකින් ඔරවාගෙන පුටුවේ වැනෙමින් සිටියේය.

තරු පහේ හොටලවලදී  හා විශේෂ බලපත්‍ර හිමි කිහිප දෙනෙකුට පමණක් මත්පැන් බොන්නට පුළුවන් ඒ රටේදී කන්තෝරුවේදී හෝ ප්‍රසිද්ධ තැනකදී මත්පැන් බී අසුවුවහොත් හිරේ ලැගීමට හෝ රටින්ම පිටුවහල් වීමට සිදු  වේ.

එහෙව් තත්ත්වයක් නිසා තැතිගෙන සිටි ලිපිකරුවා තක්බීර් වී බලා සිටිද්දී ඔහුව තමන් ලඟට කිට්ටු කරගත් මුර්තිලා තාත්තා අහිංසක ලිපිකරුවා ළඟ තිබූ ලියුම් මිටිය අතට ගත්තේය. ඉන් පසු වියරුවෙන් සිනා සෙමින් කාමරය පුරා සී සී කඩ විසුරුවා හළේය.

'යනවා එලියට'. ගුගුරා කියමින් ලිපිකරුව එලවා දැම්මේය. වැනි වැනී විත් දොර වසා ගත්තේය.

මේ බිහිසුණු ආරංචිය ඇසුරු සැණින්  මෙන් කන්තෝරුව පුරා පැතිරෙද්දී ඔහුට කතා කොට පිළිවෙලක් කරන්නට ගිය හැමෝම එලවා දමන ලදී. ඒ අතරේ  කවුදෝ හීන් සැරේ ගොස් ඔහුගේ මේසය උඩ  තිබු බෝතලය  උස්සාගේනවිත් කුණු බඳුනට දමා තිබුනේ ඉහල නිලධාරියෙකුට අසුවන්නට  පෙරය.

සිල්වියාලා තත්තා වැඩේට එන්ටර් වෙන්නේ මේ අතරවාරයේදීය.  මුර්තිලා තාත්තාට දැන්නම් වැඩ වරදින බව පැහැදිලි විය. එක්කෝ රස්සාවෙන්  එලවා දමන්නට හෝ ඉස්පිටිතාලයට ගෙනගොස් දමන්නට හෝ ගෙන යන්නාක් මෙන් බේබද්දාවත් වත්තන් කරගෙන සිය රථයට නංවා ගත්  සිල්වියාලා තාත්තා ඔහු ආපසු හෝටල් කාමරයට ඇරලවා මොකුත් නුණා සේ ආපසු ආවේය.

නිවාඩුවකින් පසු මුර්තිලා තාත්තා වැඩට ආවේය.  මුර්තිලා තාත්තාට රාජකාරීමය හෝ නීත්‍යානුකුල ගැටළුවක් නොවෙන පරිදි ප්‍රශ්නය විසඳා දමා තිබුනේ ප්‍රශ්න දෙකකට පිලිතුරු ලබා නොදෙමින්මය.
එදා මුර්තිලා තාත්තා කන්තෝරුවේදී බිව්වේ ඇයි? . රූලට වැඩ කරන සිල්වියාලාගේ තාත්තා ඒ ප්‍රශ්නය ලිස්සා ඇරියේ ඇයි?

කනින් කොනින් ආරංචි වුනේ මුර්තිගේ තාත්තා එසේ බීමත්ව හැසිරුනේ සිය එකම පුත්‍රයා පිළිකා රෝගයකින් පෙළෙන බව හඳුනා ගත්  ආරංචිය ලද දවසේ  බවත් එය දැනගත් පසු සිල්වියාගේ තාත්තාගේ හිතද හෝස් ගා උණු වී ගිය බවත්ය.

ඉන් ටික කලකට පසු එළඹුණේ සිල්වියාලාගේ තාත්තා විශ්‍රාම යන දවසය.

ඔහුගේ සේවා ඉසිඹුව  වෙනුවන් පැවතී දිවා භෝජන සංග්‍රහය අවසන ඔහුට කතාවක් කරන්නැයි ඇරයුමක් ලැබිණි. අරාබි ඉන්දියානු කෑම වට්ටෝරු මිශ්‍ර සාරවත් අහර වේලකින් සන්තර්පණය වී සිටි අපේ ඇත්තන්ගේ ඝෝෂාකාරී කතාබහ හා විහිලු තහළු මැද්දෙන් කතාවක් කරන්නට ඉදිරියට ආ ඔහු ඉන් පසු සාක්කුවට අත දමා  තුනට හතරට නැමු කොලයක් එලියට ගත්තේය .

වටපිට බලා  අපේ ලියකියවිලි  පාලකවරියට අතින් සන් කළ ඔහු ඒ කොලයේ ඇති දේ කියවන්නැයි අභිනයෙන් දන්වා රැස්වීම් කාමරෙන් පිට වී ගියේය.

ඈ කියවුයේ මෙවැන්නකි.

මගේ ආදර තාත්තේ,

තාත්තා පණ  වගේ ආදරය කරපු රස්සාවට සමු දීලා එන දවසේදී අපේ පවුලේ ලෙන්ගතුකම ඔයාගේ කන්තෝරුවේ සියලු දෙනාටම දන්වා සිටින්න. පහුගිය කාලෙම තාත්තා ආදරෙන් රක බලා ගත්තාට අපි ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියන්න.

අවුරුදු හතළිහක් කරපු රස්සාවෙන් සමු ගන්න එක ඔයාට කොයි තරම් අමරු තීරණයක්ද කියල අපි දන්නවා. තාත්තා ගෙදර පවුලේ අපිටත් වඩා රස්සාවට ආදරේ කළා කියලා අපි නෝක්කාඩු කිව්වා තමයි. තාත්තා අපේ ගෙදර ඉඳන්ම රස්සාවට ගිය කාලේ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලේ . ඔයා මුලින්ම දුර රටක රස්සාවට යනකොට මට අවුරුදු දහයයි. එදා ඉඳන් පහුගිය අවුරුදු විස්සෙම අපි වරින් වර එකට හිටියා . ඈත්  වුනා . ඒත් ගෙදර හිටියත් නැතත් අපේ ගෙදර හැමදාම මුල් තැන ලැබුනේ තාත්තට . මම කසාද බැඳලා මේ  ගෙදරම පදිංචි වුනේ තාත්තයි මමයි දෙන්නම  නැති පාළුව අම්මාට දරා ගන්න අමාරු නිසා. මගේ මහත්තයා ටොම් හා දරුවන් දෙන්නාත් තාත්තාට කොච්චර ආදරේ කරනවද කියල ඔයා අපිත් එක්ක ටික කාලයක් ඉන්නකොට තේරේවි.

ඔයා හිත දරදඬු මිනිහෙක් කියල ඔයාගේ කන්තෝරු යාළුවො ඔක්කොම කියනවා ඇති. ඒ ගොල්ලන්ට කියන්න මුර්තිගේ තාත්තගේ කතාව.

පැන්ෂන් අරන් ගිය තාත්තගේ යාලුවා අශෝක් පවුලේ කවුරුත් කතා කරන් නෑ, ගණන් ගන්නේ නෑ කියල තාත්තට  දුක්ගැනවිලි ලියල එව්වා නේද ? එයාව  ආපහු ගෙන්නාගෙන තව ටික කාලයක් රස්සාව කරන්න හදල දුන්නේ තාත්තා නේද ?.

තාත්තටත් එහෙම වෙයි කියල නිකමට වගේ දුක හිතුනද? අනේ හීනෙකින්වත් එහෙම හිතන්න එපා තාත්තේ . ඔයා රජෙක් වගේ අපි ළඟ තියා ගන්නවා. හැමදාම ඔයා තමයි මුල් තැන. ඔව්  හැමදාම.
ඔයා හවසට වාඩිවෙලා ඉන්න කැමති වත්තේ කෙළවරේ අපි ලස්සන සමර් හට් එකක් හැදුවා. වත්තේ ලී බංකුව තීන්ත ගාල අලුත් කළා . අපි අර යන්න බැරි වෙච්ච ඇලස්කා ට්‍රිප් එක මේ සමර් එකට යමු.

එන්න තාත්තේ අපි හැමෝම බලා ඉන්නවා

මීට ඔයාට පණ  වගේ ආදරේ

සිල්වියා

Photo: insure.com

56 comments:

  1. මේක කියවන මේ වෙලාව රෑ එකොලහයි දහයයි.
    මට කොහෙන්දෝ තිබිලා ආව පපුවේ කැක්කුමක් වගේ එකක්.
    මේ වගේ කියන්න අපිටත් තාත්තලා හිටියා නම්...?
    අම්මලා හිටියා නම්...

    එච්චරයි වෙන කතා මොකටද නේද?

    හැමදාම වගේ හිත අස්සේ හැන්ගිලා ඉන්න වේදනාව සතුට හැම එකක්ම එලියට ගන්න තිලකේ....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්ගි. හිතේ හැංගිලා තියෙන වේදනාව එලියට එන්නේ නැතිව සතුට විතරක් අරගන්න විදිහක් තියෙනවනම් මම කැමතියි එහෙම ලියන්න

      Delete
  2. ආදරේ නොපනේනා ආදරේ කරන මිනිස්සුන්ගෙ ආදරේ දැනෙන්නේ ඒ මිනිස්සුන්ට ලංවෙලා ආදරය කරන උන්ට විතරයි....
    කිරීම මිස කීම නුපුරුදු උන්ව පෙනෙන්නේ ඇහීම අඩු කරලා දැකීම වැඩි කරගත් මිනිස්සුන්ගේ හිත් වලටයි.

    ReplyDelete
    Replies
    1. //ආදරේ නොපනේනා ආදරේ කරන මිනිස්සුන්ගෙ ආදරේ දැනෙන්නේ ඒ මිනිස්සුන්ට ලංවෙලා ආදරය කරන උන්ට විතරයි...//ඔව් ඒ වගේම හැමදාමත් කවුරුවත් තේරුම් ගන්ඩ උනන්දු වෙච්ච නැති මේ වගේ හිත් කොච්චර තියෙනවා ඇත්ද ?

      Delete
  3. මගේ දුල දෙන්න ලියපු කාර්ඩ් දෙක ලැබුනේ අද පියවරුන්ගේ දිනයේදී. මමත් හරි වාසනාවන්තයි කියල හිතුන. මේ ලිපිය කියෙව්වම් ඒ හැඟීම වැඩි වුණා.

    ReplyDelete
  4. ගොඩක් සංවේදී මිනිස්සු ඒක පිටට පෙන්නන්නේ නැතුව හංගගෙන ඉන්නවා. හිතේ තියෙන ආදරේ සෙනෙහස එලියට පෙන්නන්න අමාරු පිරිසකුත් ඉන්නවා. හැසිරීමෙන් මිනිහෙක් මනින්න ගොඩක් අමාරුයි. සිල්වියාගෙ තාත්තත් ගොඩක් සංවේදී කෙනෙක් වෙන්නත් පුලුවන් අර ලියුම කියවන්න බැරුව වෙන කෙනෙකුට දුන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සිල්වියාලා තාත්තා අපි දුන්න තෑග්ග ගන්න එන්න පරක්කු වුනෙත් කොහේදෝ මුල්ලකට වෙලා අඬ අඬා හිටි නිසා. ඒ කතාව පොස්ට් එකේ ලිව්වේ නැත්තේ අතිශයෝක්තියක් කියල හිතන්ට ඉඩ තිබුණු නිසා

      Delete
  5. "සිල්වියා‍ගෙ තාත්ත, මුර්තිගේ තාත්ත" කෙනෙක් හඳුන්වන්න තවත් හොඳ විදියක්.

    ReplyDelete
    Replies
    1. රාජ් මම මුලින් ලිව්වේ දෙන්නට නම් දෙකක් දාලා . පස්සේ සිල්වියාගේ නම ලියුමේ කෙලවරේ ලියද්දි මෙහෙම හොඳයි කියල හිතුනා. අපි මේ දෙන්නට නිකම්ම ජේම්ස් හරි සන්තුස් හරි කිව්වනම් මේ කතාව දැනෙන්නේ වෙන විදිහකට

      Delete
  6. සංවේදී කතාවක් අර ලියුම අන්තිම වෙද්දි එතන හිටිය අයට මොනව හිතෙන්ට ඇද්ද...

    ReplyDelete
    Replies
    1. එතන හිටි අයගෙන් කීප දෙනෙකුටයි ඒ වෙලාවේ ඒක සංවේදීව දැනුනේ. ඒත් පස්සේ හැමෝම ඒ ගැන කතාබහ කරන්න පටන් ගත්ත

      Delete
  7. මූර්තිට දැන් කොහොමද දන්නෑ.. පවු.
    සිල්වියාගේ තාත්තා ගැන හිතුනේ 'නිසල දිය ගැඹුරුයි' කියල.. ඔහුට යහපත් විශ්‍රාම දිවියක් උරුමවීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඊට ටික කාලෙකින් මුර්තිගේ තාත්තත් අයින් වෙලා ගියා . කොහොමත් සිල්වියාගේ තාත්තටනම් යහපත් විශ්‍රාම දිවියක් ලැබෙනවා

      Delete
  8. අපි උදේ හවස දකින, කතාබහ කරන, රණ්ඩුවෙන හැමෝම කාගෙ කාගෙ හරි දරුවො නැත්නම් කාගෙ කාගෙ හරි දෙමව්පියො..එහෙම හිතුවම මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න ලේසියි තිලක්...:)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතුවොත් කාගේ හරි දරුවෙක් හරි කාගේ හරි අම්මෙක් තාත්තෙක් එක්කනේ අපි හැම තිස්සෙම ජීවත් වෙන්නේ. එහෙම හිතනකොට ජීවිතේ මීට වඩා ප්‍රියජනක වෙනවා රවී

      Delete
    2. මගේ ජිවන තියරියත් මේ වගේ තමයි. අපිත් එක්ක ඉන්න හැම කෙනාටම අපිට වගේම ප්‍රශ්න තියෙනවා. ඔන්න ඔහේ ඔක්කොම එකතුවෙලා හැමෝගෙම ප්‍රශ්න විසඳමු කියල තමයි මම හිතන්නේ.

      Delete
  9. සංවේදී කතාවක්. ආදරේ සෙනෙහස පිටතට නොපෙන්නුවට හදවතේ රැඳීමයි වැදගත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබ මේ පැත්තේ ආ එක මට ලොකු සතුටක්

      Delete
  10. ඇත්තටම එතන කතාව අහගෙන හිටිය අයගෙ ප්‍රතිචාරය කොහොම වුනාද දන්නෑ. උන්ට ඒක තේරුම ගන්න තරම් සිහියක් තිබුනද ඒ වෙලාවේ?

    ReplyDelete
    Replies
    1. නෑ මචන් ඒ වෙලාවේ වැඩි දෙනෙකුට එතරම් සංවේදීව ලියුම දැනුනේ නෑ වගේ. ඒත් ටික ටික හැමෝටම මේ සිද්දිය දැනෙන්න පටන් ගත්තා . කාලයක් යනකන් කතා වරින්වර ඒ ගැන කතා කරා

      Delete
  11. හැබෑටම අඬන්න හිට්නෙන කතාවක්, කොච්චර කාලයක් ජීවත් වුණත මිනිහෙක්ව සම්පුර්ණයෙන් තේරුම් ගන්න තව මිනිහෙකුට පුළුවන් වෙන්නේ නෑ.

    දැන් එතකොට කවුද සිල්වියා :D

    ReplyDelete
    Replies
    1. සිල්වියා කියන්නේ කතාවේ පාට. එයා අගදී හමු වෙලා ආපහු මුලට යනකන් තැවරුවා

      Delete
  12. පිටතින් මෘදු බවක් නොපෙන්වන බොහෝ දෙනෙක් ඇතුලතින් සන්වේදී මිනිස්සු. ඒකෙ අනෙක් පැත්තත් එහෙමමයි.
    ඔය තත්වය තරාතිරම නොබලා අදාල පුද්ගලයා ලගට ඇවිත් වැඩේ කරගන්න එක මමත් නිතර අත් දකින දියුණු රටවල මිනිස්සුන්ගෙ තියෙන හොද පුරුද්දක්.
    ස්තූතියි සුන්දර මිනිසෙකුගෙ කතාව අපිත් එක්ක බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. මමත් පිලිගන්නවා ඒ තමයි දියුණු මිනිසුන්ගේ ලක්ෂණ . මාන්නය නැත්තටම නැති කරගත් උගත් සංවේදී මිනිහක්

      Delete
  13. පිටින් බොහොම දර දඬු මිනිස්සු හදවතින් බොහොම සංවේදීයි කියනවනේ.. ඇහැට කඳුලක් එන තරමටම සංවේදීව දැනුනා...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරවිට එවැනි මිනිසුන් ඉතාම සුළු පිරිසක් තමයි ලඟින් ඇසුරු කරන්නේ.

      Delete
  14. හ්ම්,"සිල්වියා‍ගෙ තාත්තා"අපුරු මිනිසෙක්.
    පිටතින් බලලා කෙනෙක් ගැන තීන්දු තීරණ ගන්න හොඳ නැහැ කියන්නේ අන්න එක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහු අපුරු මිනිහෙක් . සමහරු ළඟ තියෙන අපුර්වත්වය අපිට තේරුම් ගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා මනෝජ්

      Delete
  15. පියවරු ගැන අපූරු කතාවක්. එතැන හිටපු අයට කතාව තේරිලා කදුලු නාව නම් පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලියුම කියවනවා වුවමනාවෙන් අහගෙන හිටි හැමෝටම වගේ කඳුළු ආවා

      Delete
  16. Replies
    1. ස්තුතියි සශි. මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා

      Delete
  17. මුර්තිලාගේ තාත්තගේ කතාව මොකක්ද? මට අහු උනේ නෑනේ..

    ReplyDelete
  18. wenda wgema lassana kathawak uncle.......!
    me week ekata uncle katawak danakan man balan htye uncle....
    thank u very much 4 the gift for my 18th B'day uncle....!!!

    unclege hama wachnykma mage hitha athulatama gihin settle una!

    mage thaththi hamadama ude hawasa langa indalath thaththi penna nathi windyak unath mata maha loku kalayak wage danenne...... ithin thaththi langa nathi unam goda kalekata, e paluwa kochchara danenawa athida.............................

    godaaaak thank u uncle......!

    ReplyDelete
    Replies
    1. සුබ උපන් දිනයක් වේවා දුවේ. ඔබේ පියා හරි වාසනාවන්තයි

      Delete
  19. අනර්ඝයි. ඊට එහා කිසිවක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන්

      Delete
  20. රාජකාරිය දේවකාරිය වගේ සලකන මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු රාජකාරියට ආදරෙයි . ජීවිතෙන් කොටසක් කර ගන්නවා. එක එක්කෙනාගේ හැටි

      Delete
  21. සුගතේ බාස් ට පස්සේ ලියපු හොඳම පොස්ට් එකක්.
    (quick ෂොට් වලට‍ වඩා මේවගෙ දැනෙන දනවන ගතිය ඉතා වැඩි) ඔබට ජය.......!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශාන්ත . ඒ කියන්නේ ඔබ හොඳ දේ ගැන විමසිල්ලෙන් සිටින්නෙක්. හරිම සතුටුයි. සුගතේ බාස් මා ලියු හොඳම පෝස්ට් එකක් බව කියූ කීප දෙනෙක්ම හිටියා. මමත් ඒ ගැන තෘප්තිමත්

      Delete
  22. කොහොමත් හරිම සංවේදී බව පෙන්නන , නිතරම සංවේදී ලෙස හිතන ලෙස ඉන්න අයට වඩා මේ වගේ තද මිනිස්සු ඇතුලේ මාර මනුස්ස කමක් තියෙනවා කියල මමත් තේරුම් අරන් තියෙනවා. සංවේදී මිනිස්සු (ගොඩක් අය) අනිත් අය ගැන සංවේදී වෙන්නේ තමන්ට සියලු දේ හොඳින් තියෙන වෙලාවට/තමුන්ට ප්‍රශ්නයක් නැති වෙලාවට. හැබැයි මේ වගේ තද මිනිස්සු තමුන් ගැන නොහිතා කෙලින්ම අනිත් අය වෙනුවෙන් අවශ්‍යය දේ කරනවා. ඔවුන් ඇතුලේ තියෙන සංවේදී කම ගොඩක් සියුම් කියල මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. //සංවේදී මිනිස්සු (ගොඩක් අය) අනිත් අය ගැන සංවේදී වෙන්නේ තමන්ට සියලු දේ හොඳින් තියෙන වෙලාවට/තමුන්ට ප්‍රශ්නයක් නැති වෙලාවට//පැතුම්ගේ අදහසට එකඟයි .

      Delete
  23. පැතුම් හේරත් මට කියන්න ඕන කතාව මට වඩා හොඳට කියලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ . පැතුම්ට මිනිසුන් ගැන මුහුකුරා ගිය වැටහීමක් තියෙනවා

      Delete
  24. උපරිමයි...එපමණක් පවසමි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති

      Delete
  25. හොඳටම රස වින්දා කොහොමටත් තිලක සිත ලියන ක්‍රමයට මම හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු , ඔබේ බ්ලොගයත් මම බලාපොරෝත්තු සහගතව කියවනවා. ජය !

      Delete
  26. මේක කියවන්න ලැබුනෙ අද, ඇස් බොඳවෙලා පහුගිය පැය භාගයක්ම තිස්සේ.... ළඟදි ගෙදර ගිහින් ආව හින්දම වෙන්න ඇති.... ගෙදරින් අෑත් වෙලා ඉන්න දුක කල් ගතවෙනකොට අඩුවෙයි කියල හිතුවට වෙන්නෙම ඒකෙ අනිත් පැත්ත කියල වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
  27. අනර්ඝ ලිඛිත රටාවක්

    ReplyDelete
  28. ඇස් කඳුළින් පිරුනා තිලක සිත.

    ReplyDelete