Wednesday, November 9, 2016

නැන්සී මලික් ප්‍රේම පුරාවත

Painting from Zedge.net
ලකට පෙර අපේ සැලසුම් අංශයේ සේවය කළ නවදිල්ලියේ උපන් තලත්නිතෑනි,  මනමාල තනිකඩයා මලික් නිතරම පාහේ පුංචි පනාවකින් උඩු රැවුල පීරුවේය.  දක්ෂ ආර්ථික කළමනාකරුවෙක් මෙන් දෙපස රක්ෂිත කලාපවලින් ජෙල් ගා නම්මවාගත් කෙස්ගස්වලින්  “O” අකාරයෙන් මතුවන හිස් මුදුන් තට්ටයට ආවරණ සපයා ගත්තේය . මලික්ගේ උඩුරැවුල තද දුඹුරු පාටය . සමහර සතිවල එය කළු පාටය.

මලික්  පෙනුමෙන් නිරෝගීය , ඇන්දේ පිරිසිදු හොඳින් මදිනලද බ්රෑන්ඩඩ් කමිස කලිසම්ය. පැළන්දේ වටිනා සපත්තුය. පොඩි නිසාන් කාරයක් තියාගෙන ලස්සනට සිටි ඔහු කාන්තාවන් ඉදිරියේ ඉතාමත් කරුණාවන්ත මිනිසෙක් වුනේය.  ඉල්ලන්නේ නැතිව වුනත් ඔවුනට උදව් කළේය .

මලික්ට එකියක් නැතිවනවිට තව එකියක් පරිද්දෙන්  ඕනෑම කාලයක පෙම්වතියක් සිටියාය . ඔහුගේ  පඩියෙන් අඩකටත් වඩා වෙන් වන්නට ඇත්තේ ඔවුන්ව නඩත්තු කරන්නටය. මෙසේ නිදහස් සරල දවසැරියාවක් ගෙවූ මලික්ගේ කියන්නට තරම්  දුර්ගුණයක් නොවුයෙන් ඔහුගේ ස්ත්‍රී ලෝලීත්වය  කාටවත් ප්‍රශ්නයක් නොවිණි. ඇරත් ඔහු වියදම් කරන්නේ ඔහුගේ සල්ලිය.  ඉතින් මොකෝ  ඔහු එක්ක යහළු වන්නේ ඔහුට කැමති ගැහැණුනේ.
ඒත් සියල්ල වෙනස්වන්නට පටන් ගත්තේ කිසිවෙන් නෝසිතු ආකාරයෙනි . මලික්ගේ  රාජකාරී වැඩ සියල්ල නොසැලකිලිමත්කමින් පිරෙන්නට විය.. ඔහුගේ පෙනුම බලා  සිටිද්දී දුක්බර වෙන්නට විය. කොණ්ඩය හා උඩුරැවුල කළු දුඹුරු සායම් අලුත් නොකිරීම නිසා අලුසුදු පැහැය මතු වෙමින් තිබුනේය.  

ඔහු පරක්කු  වෙලා කන්තෝරුවට පැමිණ ඊළඟට කලේ මුහුණ ලොකු මොබයිල් ෆෝනයකින් කාගේදෝ සමග නිරන්තර  චැට් කිඊමය . මා දිනක් හදිසි රාජකාරියකට සැලසුම් අංශයට යනවිට එහි සිටියේ මලික්  පමණකි. දොරට පිටුපා වාඩි  වී සිටි ඔහුගේ මේසය මත තිබු පරිගණක තිරයේ  කාන්තාවක් ගී කියමින්  සිටියාය. ඇය  තරමක්  තරබාරු මැදිවියේ ලඳක් වූ මුත් පියකරු එකියක් වුවාය. පසුබිමේ විශාල ශාලාවක බිම දැමු මෙට්ට කීපයක් මත තවත් කාන්තාවන් කිහිප දෙනෙකු  සිටි බව ඇසිල්ලෙකින් උනත් මම පැහැදිලිව දුටුවෙමි. ඔවුන් තිරයේ ගී ගැයු කාන්තාවට  වඩා ලස්සන බවක් මට නිකමට කල්පනා වුණේය .

මා පැමිණි ඉව දැනුණු  සැනින්  පුටුව පසෙකට කර පරිගණක තිරය මුවා  වන සේ ඔහු හිට ගත්තේය . කම්පනය මුසු කලබලෙන් මුත්  සුපුරුදු  හිතවත් විදිහටම මා ආ කාරණය විමසා අවශ්‍ය ලේඛන සමග මගේ කන්තෝරු කාමරයට එන්නට පොරොන්දු උනේය .

එදා කෑම පැයෙන් පස්සේ  සිතියම් රෝලක් හා පයිල්  කවරයක් සමග මා සොයා ආ මලික් වෙනදට වඩා ලත වෙමින් මොකක්දෝ කියන්නට උත්සහ  කරන බව මට පෙනිණි. සාවධාන ඇහුම්කන් දෙන්නෙක් ලෙසත්, ඒවා අනුන් සමග හෙළිදරව් නොකරන විශ්වාසවන්තයෙක් ලෙසත් ඔහු මාව පිළිගෙන තිබුනේය. ඒ නිසා මලික්ගේ ප්‍රේම කතා අසන්නට දවසට පැය භාගය බැගින් සති කීපයක් වියදම්  කරන්ට එදායින් පසු මට සිදු විය.  එය නවකතාවකට ලියන්නට පුළුවන් තරමේ දිග එකකි.
මලික්ගේ ප්‍රේම කතාවේ  සාරාංශය මේ වගේය:.

මලික් අවුරුදු විස්සකට ආසන්න කාලයක් මැදපෙරදිග හා සිංගප්පුරුව වගේ තැන් තැන්වල රස්සාව කළේය. රත්තරන් කිලෝ තුන හතරක් එකතු කර සොයුරියන් තිදෙනා කසාද බැන්දෙව්වේය. ප්‍රියාවියන්  කීප දෙනෙකුටම ප්‍රේම කළේය. ඔවුන්ට වියපැහැදම් කළේය.  තනිකඩ සල්ලාල දිවියකට  වැටුනේය.  වැඩිපුරම   ඔහු හිත ගත්තේ චීන හා පිලිපීන යුවතියන්ය. සුදු, කහ, රත්පැහැ  ශරීර පාට  හා පියකරු පෙනුම , සැහැල්ලු, විවෘත ගති පැවතුම් ඔහුට ඔවුන් කෙරෙහි විශේෂ ආකර්ෂණයක් ඇති කළේය.  මේ පෙම්වතියන්  බොහොමයක්  අවුරුද්දෙන් දෙකෙන් නැත්නම් මාස  කීපයකින් ඔහු හැර ගියෝය. සමහරු ඔහුගේ මුදල් පසුම්බියද අඩියටම හිඳෙනතුරු සුද්ද කලෝය.

ඒත් නැන්සි?. ඈ එසේ නොවේ. නැන්සි  යනු මලික්ගේ මිතුරෙක් වූ  රන්දීර්ගේ ඉස්සර  පෙම්වතියයි. මිතුරන් දෙදෙනා වාසය කලේ එක ළඟ ළඟ  තට්ටු නිවාස දෙකකය. තමන්ට කෙතරම් සුරූපී  පෙම්වතියන් හමු වී තිබුනත් රන්දීර්ගේ මහත දෙහෙත වැඩිමහල් පෙම්වතිය නැන්සී, මලික්ගේ  සිතට අල්ලා තිබිණි . ඒ ඇය සිය මිතුරාට සලකන මිත්‍රශීලී  සෙනෙහෙවන්ත සෙයියාව නිසාය. ඇය මවක් මෙන් ගෙදර සියලු වැඩ කළාය. රන්දීර්ගේ ඇඳුම් පැළදුම් සෝදා මැද දුන්නේය. ඔහුට ඇහෙන්නට සින්දු කිව්වාය. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කළාය. කොටින්ම එම ගෘහය රසාලිප්ත  නිවහනක්  උනේය. අසංවේදී  මිනිසෙක් වූ රන්දීර් කුණු ලෝබයෙකි . ඔහු කන්න බොන්න ටිකක් දෙනවා හැර ඇය වෙනුවෙන් කිසිම වියදමක් නොකළමුත් අගේ හැම හැසිරීමකම, ඉරියව්වකම  පෙනුනේ සිය පෙම්වතා වූ රන්දීර්ට ඇති දයාවයි. ප්‍රේමණීය බැඳීමයි.

කෙසේ හෝ ඇය තමන්ගේ වහළ යටට ගන්නට ඇත්නම් කියා සිතෙන මිත්‍රද්‍රෝහී  සිතිවිල්ලෙන් මලික්ට ගැලවීමක් නොතිබුණි. දිවා රෑ මේ ගැන සිතමින් මලික් සිය අනෙකුත් ප්‍රියාවියන් කෙරෙන් කෙමෙන් ඈත් වුනේය.
මේ දුර්භාග්‍යසම්පන්න ප්‍රේම වේදනාව නිමා කරමින් මලික්ගේ ලෝකයට නොසිතූ ලෙස වසන්තය  උදා උනේ රන්දීර් කුරිරු ලෙස නැන්සීව එළවා දමා  වෙනත් පෙම්වතියක් නිවසට කැන්දා ගත්තාට පසුවය.

සිය දුක් ගැනවිල්ල කියන්නට නැන්සි හමු වන්නේ මලික්ය. ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කියන්නාක් මෙන් බොරු අනුකම්පාවක් පෙන්න පෙන්නා ටිකෙන් ටික තමන්වෙත ඇයව නම්මවා ගන්නට ඔහුට හැකි විය. මලික් සමග නිල නොවන දීගෙක ආවා වුනත්  නැන්සී දිගින් දිගටම කළේ රන්දීර් ගැන මතක් කරමින් රෑ මුළුල්ලේ හූල්ලන එකය . සමහර විට ඇය රෑ මැදියමේ නැගිට ඇඳ ඉහත්තේ  වාඩි  වී හඬමින් සිටිනු මලික් දුටුවේය.  මේ මොනවා වුනත් නැන්සී ඉතා උසස් මිනිස් ගතිගුණ ඇත්තියක් බව පසක් කරමින් සිටියාය. ඇය ඔහුගේ මිල මුදල් නාස්ති  නොකලාය. ප්‍රිය දේම කතා කළාය . ගේදොර ඉතාම ප්‍රියජනකව තබා ගත්තාය.

මේ වනවිට මලික් ඉවසිලිවන්ත කාරුණික මිනිසෙක් වී සිටියේය. ඔහුගේ ජීවිතයේ සියලු අරමුණු නැන්සි දෙසට නාභිගතවෙමින් තිබිණි. ඒත් මලික් නැන්සී ප්‍රේම කතාවේ මල් පූදින්නට පෙර තවත් අභාග්‍ය සම්පන්න දෙයක්  සිද්ද වුනේය . ඒ සිය  රාජකාරී ස්ථානයේ සිදුවූ අලකලංචියක් නිසා ඈ ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය. වීසා අලුත් නොකිරිණි . ඒ නිසා පඩිනඩි බේරා ඔවූන් සියරට පිටත් කරනතුරු රඳවා තිබුනේ තානාපති කාර්යාලය බාරේ වූ කඳවුරකය. මේ වගේ පුංචි අවනඩුවක් වුනත් මාස ගණනක් ඇදෙන බැවින් ඔවුන්ට එතෙක්ගෙ වන්නට සිදුව තිබුනේ අර්ධ සිරගත දිවියකි.

සතියකට සැරයක් පමණක් ඇති අවසරයෙන් ඇය බලන්නට ගිය  මලික් ඇයට කෑම්, බීම, දුරකතන රීචාජ් කාඩ් ආදිය  ගෙන ගොස් දී ඈ අස්වස්සවා ආවේය.  මුල්ම දවසේ ඔහු ගෙනගොස්  දී ඇත්තේ වටිනා ජංගම දුරකතනයකි.  ඉන්පසු මලික්ගේ කාලය ගෙවුනේ ජංගමය ඔස්සේ නැන්සී සමග චැට් මල් නෙලීම වෙනුවෙන්ය.  ඇය ඔහු වෙනුවෙන් ගීත ගැයුවාය . කතන්දර කීවාය.

මලික්ට තිබුනේ ඒවා අසා සිටිමින් ' ඔයා ඉක්මනට නිදහස් වෙනවා ඩාලිං' කිය කියා අගේ හිත හැදීමය. ඒත් ඇ නිදහස් වෙනවා යනු  ඈත පෙරදිග පිහිටි ඇගේ මවු රටටl පිටුවහල් කෙරෙනවා මිස ඔවුනට එකතුවිය හැකි  තැනකට එන එක නොවන  බව දෙදෙනාම දැන සිටියෝය.
එදා මා අහම්බෙන් දැක තිබුණේ කන්තෝරු කාමරේ සිටි මලික් සහ රැඳවුම් කඳවුරේ සිටි  නැන්සී අතරේ වූ ස්කයිප් ප්‍රේමාලින්ගනයක අවස්ථාවකි.

28 comments:

  1. මලික් ගැන සංවේගයක් නම් ඇතිවුණේ නෑ!

    ReplyDelete
    Replies
    1. මලික් හොයන්නේ අහිමි වෙච්ච මවු සෙනෙහස නැත්නම් ගෘහස්ථ ජීවිතයක සතුට වගේ දෙයක් නේද?. නැන්සිගේ ප්‍රශ්නේදී ඔහු රන්දීර්ගෙන් ඇයට වෙච්ච නොසලකා හැරීම් ගැන සංවේදී වුනාද කියලත් හිතෙනවා. අනුකම්පා කිරීම කෙසේ වෙතත් මේ අළු පාට චරිතේ අපුර්වත්වයක් තියෙනවා කියල මට හිතුනා. ඒක හරියට දැනුනේ නැත්නම් මගෙ ලියවිල්ල අසාර්ථකයි

      Delete
    2. තිලක සිත ගැනවත් අනුකම්පාවක් හිතුනේ නැත්ද රසිකොලොජි?

      Delete
  2. කොට්ටෝරුවා කොටාගෙන ගිහින් කෙහෙල් ගහකට කෙටුවලු. මලික්ට වුනෙත් ඒ වගේ කතාවක්. කතාවෙන් තේරුනු දෙයක් තමා ආදරේ ඇතිවෙන්න ලස්සන, උගත්කම්, පෝසත්කම් වගේ දේවල් වැඩක් වෙන්නේ නෑ කියන එක.

    අමතර ප්‍රශ්නයක්! එහෙම ඉන්නකොට ස්කයිප් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කොට්ටෝරුවා මේ වගේ කෙහෙල් ගහක්ම කාලයක් තිස්සේ හොයමින් ඉඳල තියෙනවා . අමතර ප්‍රශ්නෙට උත්තරේ; එහෙම කරන්න පුළුවන් කම තිබ්බා ඒ කාලේ

      Delete
  3. කෙටිකතාවක්/චිත්‍රපටියක්, සඳහා සුදුසු කාලීන සමාජ විවරණයක් සහිත සිදුවීමක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක . මම මේක බොහොම කෙටියෙන් මගේ වචන සීමාව ඇතුලේ ලිව්වේ. නැත්නම් මේකේ ලොකු කතාවක්.

      Delete
  4. thank u uncle..
    lassanai... hamadamat wagema adat lassanai..

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි දුව. මේ වගේ මිනිස්සුත් ලෝකේ ඉන්න බව කියන්නයි මේ කතාව ලිව්වේ

      Delete
  5. Replies
    1. හිත යන තැන් ගැන සමහර විට පුදුම හිතෙනවා

      Delete
  6. ඒ මනුස්සයා පිළිවෙලක් කර ගන්න පුලුවන් වෙලා තියෙන්නේ නැංසිට විතරයි නේද... මලික් කොච්චර කියුවත් එයාගේ යටි හිතේ ජීවත් වෙන්න ඇත්තේ ඒ වගේ ගෑණු කෙනෙක්... ඒත් දුක්බර අවසානයක් ලැබෙන එකයි දුක...

    ReplyDelete
    Replies
    1. //එයාගේ යටි හිතේ ජීවත් වෙන්න ඇත්තේ ඒ වගේ ගෑණු කෙනෙක්// මටත් හිතුනේ එහෙම තමයි නිර්මාණී . සමහර විට කාලෙකට ඉස්සර ගෙදරදී දුටු පවුලේ කෙනෙකුගේ ගතිගුණ ඇය තුලින් මලික් දුටුවද දන්නේ නෑ

      Delete
  7. මලික් ට ඇය හා විවාහ වුවහොත් ඇයට එම රටේ ඉන්නට බැරිද? මෙය ඔවුන් සතුටුවන ආකාරයෙන්
    විසඳේවා යැයි පතමි.

    ReplyDelete
    Replies
    1. ඉයන්, මේක අවසන් වෙලා තියෙන්නෙ වෙන් වීමෙන්ම තමයි. කසාද බඳිනවා කියන විසඳුමට යන්න බැරි ප්‍රායෝගික ගැටළුවක් තියෙන්න ඇති

      Delete
  8. මලික් ගැනත් නැන්සි ගැනත් ලොකු දුකක් ඇතිවුනා..

    ReplyDelete
    Replies
    1. අරූ, මේක මම බොහොම කෙටියෙන් ලියල තියෙන්නේ . ඒ දෙන්නාගේම ජීවිත ගැන සහ ඒ වගේ වෙනත් අය ගැන ඇත්තටම දුකයි

      Delete
  9. මලික් හැසිරෙන්නේ ටිකක් තරුණ ප්‍රේමවන්තයෙක් වගේ , පොඩි කාන්තාවන් ආකර්ෂණය කිරීමේදී පෙන්වන කපටි ගතියකුත් නැත්තේම නෑ..

    ReplyDelete
    Replies
    1. මලික්ගේ චරිතේ කළු සුදු දෙපැත්තම තියෙනවා කවිඳු

      Delete
  10. අනේ මංද ඉතින් එක්කො මුට පිස්සු. නැත්තම් මුට පිස්සු කියන මට පිස්සු.

    ReplyDelete
    Replies
    1. එතකොට මුගේ කතාව දවස් ගානක් අහන් ඉඳල මේකේ ලියපු මට කොච්චර පිස්සු ඇත්ද ?

      Delete
  11. ආදරයට කොහිදෝ බාධා නැත්තේ...

    (මේ ජනප්‍රිය පද පේළිය "ප්‍රේමකිර්තිද අල්විස්ගේ" ගී පදරචනයක කොටසක්.)

    ReplyDelete
    Replies
    1. මේ ආදරේට තියෙන්නේ මනෝජ් අන්තර්ජාතික බාධා

      Delete
  12. හිත ගිය තැන මාලිගාව

    ReplyDelete
    Replies
    1. හිත ගිය තැන මාලිගාව. අහිමි වුනත් ඒක තමයි මාලිගාව

      Delete
  13. මේවා හරි ද වැරදිද කියල තීරණ දෙන්න බැරි දේවල්...

    ReplyDelete