Wednesday, November 23, 2016

පුංචිපහේ බිස්නස් හා එකයි පණහේ ලාබය

Small Seller     Photo: Clipart Kid 
සිංදු කීමේ හැකියාව්, චිත්‍ර ඇඳීමේ බුහුටිබව වගේම උපතින් රැගෙන එන ගුණයක් සේ මා පිළිගන්නා බිස්නස් පටන් ගැනීමේ උනන්දුව හෙවත් ව්‍යවසායකත්වයද හරි පුදුම චරිත ලක්ෂණයකි. මා ඉගෙනගෙන ඇත්තේත් වටහාගෙන ඇත්තෙත් සමාජයේ ඉතා සුළු පිරිසකට පමණක් මේ ගුණය තිබෙන බවය. ව්‍යාපාර අවස්තාව හඳුනා ගැනීම, අත් නාරින උත්සාහයෙන් එය යතාවක් කර ගැනීම වගේම හවුල්කරුවාගේ විශ්වාසය තහවුරු කරගැනීම මේ සඳහා අවැසි ගුණාංග වෙන්නේනම් මා මේ ලෝකයේ දූටු පළමු ව්‍යවසායකයා සුනිමල්ය.

කිසිදු ව්‍යාපාරික පවුල් පසුබිමක් ඔහුට නොතිබුණ අතර අපේ සරල ගම්මානයේ ඒ වගේ අදහස්වලට දිරිදෙන පසුබිමක්ද නොතිබිණි .  මේ සුනිමල්ගේ කතාවය.

අම්මාගේ පීණසට බේත් ගන්න ටවුමේ  ආයුර්වේද රෝහලට ඇය සමග සුනිමල්ද ගියේය. ඔහු ඒ වන විට හතේ  පන්තියේ සිසුවෙක් විය.
       ආයුර්වේද ඉස්පිටිතාලේ  තෙල්, බෙහෙත් ගුලි   හා අරිෂ්ඨ නිකුත් කරන  බේත් පෝළිමේ අම්මා වේලා ගනිද්දි පුංචි එකා අවට විසිතුරු බලා ඇවිද්දේය. ඒ බලද්දී ඔහු දුටුවේ අපුරු දැන්වීමකි.

  ‘අරත්ත මුල් මිලදී ගනු ලැබේ‘
ඔහු ගෙදර ආ හැටියේ මා බලන්නට ආවේය. අවුරුද්දට උණවෙඩි වලට භූමිතෙල් ගන්නත් වෙසක් එකට සව් කරදාසි ගන්නත් අපට සල්ලි මදි පාඩු වීම් අපමණ විඳ තියෙන නිසා මේ අරත්ත කතාව ඔහු මා සමඟ කියද්දී ඔහුගේ ඇස් දෙක දීප්තිමත්ව බැබළුණි.

අපේ ගෙවල් ළඟ පිහිටි අක්කර ගානක කැලෑ රොද පාරට මායිම් වුණේ ස්වභාවික හරිත වැටකිනි. එය හරි අපුරු එක යායට වැට දිගේ වැවුණු අරත්ත ගාලකි.
මේ අරත්ත ගාලෙන් ඇතුළත් පිහිටි උස කැන්ද ගස්  කුඩු දවුලා ,එරමුදු, ටූනා ආදී ශාක වලට යටින් තඩි මිරහ, රෑ කුමරිය, ගඳපාන  ආදී නම් වලින් වු යටි ‍රෝපණයක්  තිබුනේය.

ඉතිං අන්න ඒ ලන්දේ  මායිම් තීරුවේ  තිබූ  අරත්ත පඳුරු හාරා මුල් විකුණමුයි සුනිමල් මට යෝජනා කරද්දී මගේ සියොළඟ බියෙන් වෙව්ලා ගියේ එය වැරදි වැඩක් කියලාය.
ඒත් අරත්ත ගාල තියෙන්නේ රිසිවේෂන් ඉඩමක බවත් කවුරුත් දොස් කියන්නට එන්නේ නැති බවත් කියන්නට තරම් ඒ වනවිටත් පැහිලා සිටි සුනිමල් මා අරත්ත මුල් බිස්නසේකට කැමතිකරවා ගත්තේය.
පසුවදා උදැල්ලක් හා නාරස්සනයක් සොයාගත් අපි හවස ඉස්කෝලේ ඇර පැමිණ බාගෙට බත් කා අරත්ත මුල් නෙලීමට ගියෙමු.
අරත්ත මුල් ගලවනවා කියන්නේ ලේසිපාසු  වැඩක් නොවීය . පළමුවෙනි දවසේ අපට පඳුරු මුල පාදා යන්තන් මුල් කැබලි කීපයක් එකතු කරගන්නට පුළුවන් විය.
නමුත් දෙවන දවසේ පටං අපට සතුටු හිතෙන තරම් මුල් ගොඩක් හාරා ගන්නට හැකි විය. තරමක මුල් ගොඩක් එකතු වී තිබු හතරවන දවසේ  පෝර උරයක් සොයා ගෙන සුනිමල් සමඟ අරත්ත මුල් ටික එකතු කලෙමි.
එය බෑග් උර බාගයක් පමණ වු අතර තනි ළමයෙකුට උස්සන්නට අපහසු තරම් විය.
“දැන් මේ ටිකට මොකද කරන්නේ? කෝමද ආයුර්වේදයට ගෙනියන්නේ“? මම ඇසුවෙමි.
කරන්නේ මොකක්ද කියලා ඒ වනවිටත් සැලසුම් කර තිබු  සුනිමල් පළමුව සුනිමල්ලැ ගෙදරට අරත්ත මුල් ටික ගෙනියන්නත් දෙවනුව පසුවදා ඉස්කෝලේ ඇරුණ හැටියේම ආයුර්වේදයට ගෙනිහින්  දෙන්නත් තනියම ඉදිරිපත් වුණේය.
පසුවදා ඉස්කෝලේදී අපි දෙන්නා තනියෙම කුටු කුටු ගෑවේ හවස අරත්ත මුල් වෙළදාමෙන් කරන දේවල් ගැනය.
උණ වෙඩි භූමි තෙල් හා වෙසක් සව් කරදාසි වලට මුදලක් වෙන්කර තබා ඉතිරි ඒවාගෙන් ගන්නට පුළුවන් නොයෙක් රස කැවිලි ගැන කතා වුණෙමු. බූන්දි, බොම්බයි මොටයි හා හකුරු කේක්ද ඒවා අතර විය.                   
එදා රෑ මට නින්ද ගියේ නැත.හීනෙන් පෙනුනෙත් සුනිමල් හා මම අලුත් ඇඳුම් ඇඳගෙන පෙරහැර බලන්නට යද්දී වෙනදා වගේ නැතිව අයිස් ක්‍රීම් වෑන් එක ළඟ නතර වී ඕනෑ ඕනෑ හැම ජාතියේම එක එක සල්ලි දී රස බලන හැටිය. ජීවිතයට දැක නැති බැලුම් බෝල මෙන් මහත අයිස් ක්‍රීම් බෝලයක් අතට ගන්නට යද්දී මට ඇහැරිණි.

සුනිමල් අරත්ත අල විකුණු සල්ලි ද අරගෙන ඉස්කෝලෙට එන්නට නියමිත සිකුරාදා දවසේ මම උදෙන්ම පාසලට ගියෙමි.
සුනිමල් ආවේ පන්තිය පටන් ගන්නට ඔන්න මෙන්න තියෙද්දීය. ඒ නිසා සල්ලි බෙදා ගන්නට ඉන්ටවල් වෙලාව එනතුරු  ඉවසන්නට වුණේය. ඉන්ටවල් එකේදි සුනිමල් මුණ අඳුරු කරගෙන මා සමඟ කීවේ හිත රිදුම් දෙන ආරංචියකි.
“මම ඊයේ මේ පෝර බෑග් එක අරං ගියා මඟ නැවති නැවති. ආයුර්වේදෙට ගියාම ගබඩාවට එන්න කියලා ගෝනිය දිග ඇරියා. බලපු ගමන් කිවා මේවා මෙහෙම ගන්නෑ  පෙති කපලා වේලන්න ඕනි දවස් ගාණක් කියලා “.
“ඉතිං“?
 “ මම ආපහු ගෙදර උස්සාගෙන  ආවා“.
මගේ වට්ටක්කා වෙළඳාමේදි කුණු වට්ටක්කා ගෙඩිය ගෙදර ගෙනාවාට පසු ඇති වු සිත් තැවුල මෙන්ම වු වේදනාවක් හිතට දැනුනද මෙතනදී නම් තවත් බලාපොරොත්තුවක් ඉතිරි වී තිබේ.
පසුවදා හවස අරත්ත කැලේට රිංගනවා  වෙනුවට සුනිමල්ලෑ  ගෙදර ගොස් මිදුලේ පැදුරක් එලා අරත්ත මුල් පෙති පෙති වලට කැපුවෙමු. පැඳුර කැපී හිල් වෙද්දී සුනිමල්ලැ අම්මා ඇවිත් ඔහුට බැන වැදුනේය. ඒත් ඇය සුනිමල් හා මම කරන වැඩේ මොකක්දැයි හාරා අවුස්සන්ට නොආවාය. ඒ අතින් සුනිමල්ට මට වඩා ගෙදරින් නිදහසක් ලැබී තිබුණි.සුනිමල් වාසනාවන්තයෙකැයි මට සිතිනි.

ඊළඟ සතියේ හොඳින් වේලාගත් අරත්ත අල ගෝනිය  රැඟෙන සුනිමල් ආයුර්වේදයට ගියේය. මුලින්ම රාත්තල් හත අටක් තිබු අරත්ත මුල් ගෝනිය රාත්තල් තුනකට අඩු වී ඇත.
ඒ වන විට කලින් වතාවේ මෙන් අපේ පළමු ව්‍යායාමයෙන් ලැබෙන මුදල ගැන ආසාවක් මා තුල නොවීය.
පසුවදා උදෙන්ම සුනිමල් පාසල් ආවේය. මාව පසෙකට කැඳවා ලැබුන මුලු මුදල වන ශත පනහේ කාසි හය පෙන්නුවේය.ඉන්පසු පළපුරුදු බිස්නස් කාරයෙක් මෙන් රුපියල් එකයි පණහක් මගේ අතේ තිබ්බේය.

*******************

පසු සටහන :
සුනිමල් පාසැලෙන් පිටවුදා පටන් මේ වනතුරු සම්මා කම්මන්ත වර්ගයේ සුළු සුළු ව්‍යාපාරවල නියැලී ජීවිකාව ගැටගහ ගනියි. කුමක්දෝ හේතුවක් නිසා ඔහු විශාල ව්‍යාපාරිකයෙකු වීමට උත්සහ නොකළ අතර කිසිදා ණයතුරුස් බරින් පීඩා විඳිනවා කියා අසන්නට ලැබුනේද නැත .

අනෙක් අතට ඔහුගේ සහයකයා වූ මා බිස්නස් ආරම්භ කිරීම හා රැකබලාගැනීම පිළිබඳ ප්‍රස්චාත් උපාධි නිබන්ධනයක්ද ලියා තිබෙන අතර ව්‍යාපාර කීපයකටම  පොඩි පොඩි ආයෝජන සිදුකර ඇත . ඉන් සමහර ඒවායෙන් රුපියල් එකයි පණහක හෝ ලාබයක් ලබන්නේ නැතිව අත්හැර දමා ඇත. සමහර ඒවා සාර්ථක කර ගන්නට පුළුවන් වුනේ  සුනිමල්ලා වැනි හවුල්කරුවන් හමු වීම  නිසාය. මේ ගැන පසුව ලියන්නට සිතාගෙන සිටිමි 

33 comments:

  1. අරත්ත හෝ කජු බිස්නස් කෙසේ වෙතත්, තිලක සිත පොත මුද්‍රණය කරන්නට ගිය මුදලවත් පිටපත් විකිණීමෙන් ආපසු ලැබුණා ද?
    http://economatta.blogspot.com/2015/08/blog-post_27.html

    ?

    ReplyDelete
    Replies
    1. තිලකසිත මුද්‍රණයට ගිය වියදම පියවා ගන්න උත්සහ කළේ නෑ. එහෙම කළත් වැඩේ අමාරුයි. කඩවලට දැමු පොත් හොඳින් විකිණුනා . වැඩි කොටසක් පරිත්‍යාග හැටියට දුන්නා . තව ටිකක් තියාගෙන ඉන්නවා. ඉඳහිට හැබෑ පොත් රසිකයෝ හමු වුනාම දෙනවා

      Delete
  2. දැන් සුනිමල් හොඳ බිස්නස්කාරයෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. දැන් සුනිමල් වෘත්තීය බිස්නස්කාරයෙක්

      Delete
  3. මම නම් ජීවිතේටම ඔහොම බිස්නස් එකක් කරලා නැද්ද කොහෙද.. බිස්නස් අදහස් ඔළුවේ තිබුනත් කවදාවත් ක්‍රියාවට නගන්නේ නෑ.. හෙහ් හෙහ්..

    මතක් වුනේ අපේ පුංචි ගේ පුතා ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ O/L ඉවර වෙච්ච කාලේද කොහෙද මිනිහගේ යාලුවෝ සෙට් එකක් එක්ක ඔය පොඩි පොඩි ඇලවල් වල තියෙන වැලි ගොඩ දාල සල්ලි හොයපු හැටි... මම හිතන්නේ රුපියල් 3000-4000ක් හොයා ගත්තා එක සැරයක් වැලි ගොඩ දාල.. සල්ලි අග හිඟයක් තිබුණු පවුලක් නෙවෙයි එයාල..

    උසස් පෙළ A 3ක් දාල කැම්පසුත් ගිහින් දැන් මිනිහා මුල්‍ය සම්බන්ධ රස්සාවක් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. //බිස්නස් අදහස් ඔළුවේ තිබුනත් කවදාවත් ක්‍රියාවට නගන්නේ නෑ..// අපි ගොඩක් දෙනෙක් එහෙමයි.

      Delete
  4. එකයි පනහට මොනාද කලේ...?
    අරත්ත කියන්නේ තායි කෑම වලට පාවිච්චි කරන ගලන්ගන් වලට නේද?

    ReplyDelete
    Replies
    1. එකයි පණහලැබුන වග මතකයි. මොනා කලාද මත නෑ. අරත්ත ගම මේ ලින්ක් එකේ තියෙනවා .http://apeosupela.blogspot.com/2014/05/languas-galangas.html

      Delete
  5. පව් පොඩි ලමයි. මගේ යාලුවෙක් ඉන්නවා මහන්සිවෙලා හම්බ කරන සල්ලි වියදම් කරනකොට සන්තෝසේ වැඩී කියන. එයාගේ කතාව ඇත්ත කියලා හිතුණා මේ කතාව දැක්කාම.

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙලා හම්බ කරන සල්ලිවල අගයත් වැඩියි

      Delete
  6. අපේ ගමේ ඉඩම මායිම් උනේ ඇලවල් දෙකකට. පොඩිකාලේ මම වැලි ට්‍රැක්ටරයක් විතර සතියට ගොඩදාගන්නවා. ඇලට එහා වෙල් යාය. ඊට එහා තිබුනේ ලොකු පොල්වතු. මේවායින් රෑට ගමේ උන් හොරෙක් පොල් කඩනවා. මම කරන්නේ අනිත්තැන්වලට වඩා අඩුවට මේ පොල් අරගෙන කොප්පරා හදනවා. පොල් ලෙලි ටික වෙනම විකුණුවා. පොල් කටු පුච්චලා අඟුරැ වික්කා. හැබැයි සල්ලි මම ගත්තේ නෑ. තාත්තා බෙබා නිසා ගෙදර වියදමට ඒ සල්ලි අම්මට දුන්න. සල්ලිවල අගයකුත් නෑනේ ඒ කාලේ. පස්සේ පොලිසියට අහුවෙයි කියලා මාව අපේ නැන්දලා බය කරලා එයාලා ඒ බිස්නස් එක පටන් ගත්තා. දිගටම කලා නම් හොඳ සල්ලියක් හොයන්න තිබුණා. ඊටත් පස්සේ පොල් අතු අහුලලා ඉරටු රැහැලා ඉදල් හදලා වික්කා. ඒ අතරතුර එලවලු හැදුවා. කීර (පලා) හැදුවා. මේ සේරම කලේ මම සාමාන්‍ය පෙල කරන්නත් කලින්.

    ReplyDelete
    Replies
    1. සුරංගගේ අලුත් පෝස්ට් එක මතක් වුනා මල් මල්ලීගේ කතාව ඇහුවම. ස්තුතියි මතක සටහනක් එකතු කලාට

      Delete
  7. කොහොම හරි ඌ අවංක බුවෙක්....

    සමහ උන් ලාබේ සක්කුවේ දාගෙන.. මුකුත් ඤෑ පචං ගානවා..

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඒ වගේ අවංක වෙන ළමයි පස්සේ සමාජේ ආශ්‍රය ලැබුනම බොහෝ විට වෙනස් වෙනවා

      Delete
  8. සුනිමල් වංචාකාරයෙක් නොවිච්ච එක වාසනාවක්.
    මොනව උනත් පොඩි කාලෙම ඔහොම තමංගෙ මහන්සියෙන් දෙයක් කරන්න පුරුදු උනාම ඒක හොඳ අත්දැකීමක් වෙනව.

    ReplyDelete
    Replies
    1. සුනිමල් වංචාකාරයෙක් උනානම් මම ආයේ කවදාවත් බිස්නස් එකකට අත නොදා ඉන්න ඉඩ තිබ්බා

      Delete
  9. //සුනිමල් පාසැලෙන් පිටවුදා පටන් මේ වනතුරු සම්මා කම්මන්ත වර්ගයේ සුළු සුළු ව්‍යාපාරවල නියැලී ජීවිකාව ගැටගහ ගනියි. කුමක්දෝ හේතුවක් නිසා ඔහු විශාල ව්‍යාපාරිකයෙකු වීමට උත්සහ නොකළ අතර කිසිදා ණයතුරුස් බරින් පීඩා විඳිනවා කියා අසන්නට ලැබුනේද නැත//

    මම හිතන්නෙ සුනිමල් සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලයි. විශාල ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කරන අයට ඒ උපයන මුදල් වලින් හරියට ජීවිතේ ජීවත් වෙන්නවත් වෙලාවක් නැහැ. රැකියාවකින් ලැබෙන මුදල හෝ ඊට ටිකක් වැඩි මුදලක් ලබාගන්න පුළුවන් බිස්නස් එකක් කරන පුද්ගලයා රැකියාවක් කරන අය සහ විශාල ව්‍යාපරිකයන් යන දෙගොල්ලටම වඩා සාර්ථකයි.

    ReplyDelete
  10. ඔය බෙහෙත්බඩු බිස්නස් එක හරිම අමාරුයි. මහන්සියෙ තරමට මුදල් නෑ. කිලෝ බර ගානකට ලැබෙන්නෙ සොච්චමයි.

    මේ කතාවත් බලන්න.
    http://raj1st.blogspot.com/2013/11/blog-post_6.html

    ReplyDelete
  11. කොහොම වුනත් සුනිමල් හොර බොරු නැතුව හම්බෙච්ච ගාන නම් බෙදලා..

    ReplyDelete
  12. අපරාදෙ ඔය එකයි පනහ තව මොකක හරි ආයෝජනය කරන්ඩයි තිබුනේ ...මතකද අර මී කුණේ කතාව

    ReplyDelete
  13. Thank u uncle..
    Lassanai..!
    Kasi 6ma pennanna tharan awanka una sunimalla ada nm natuwa ati kiyala hitenw.
    E awanka kama eyt pihitak wennati. 😃
    Uncle awat psse pluwnne tawa business wda ptan gnn.. nda uncle..!

    ReplyDelete
  14. අරත්ත සුවඳ මම හරි කැමතිම සුවඳක්....

    සුනිමල් සහ තිලකේ අතර වෙන්ස කියුවම මතක් වුනේ අපේ ඉස්කෝලෙ හිටපු ඩබලක් ගැන... එකෙක් කෙඩෙඩ් ෆැල්‍ටුන් එකේ කමාන්ඩර්... හෙන ඇක්ටිව්, ක්‍රියාශීලියි.. අපි හිතුවෙම මූ හමුදාවට යයි කියලා..

    අනිකා ඉගෙනීමට යොමු වුනු, ඉන්ටර්වල් එකෙත් පාඩම් කරන ලෝ ප්‍රොෆ්යිල් චරිතයක්... කෙඩෙට් කමාන්ඩර් අද වෙන ජොබ් එකක් කරණකොට අර පොර ආමි එකේ හරි එයාර් ෆෝස් එකේ හරි ඉහල නිළයක ඉන්නෙ.. ජීවිත, චරිත වෙනස් වෙලා යන හැටි හරි පුදුමයි කියලා හිතෙනවා...

    ReplyDelete
  15. මමත් නම් හිතන්නේ බිස්නස් ඇඟේ තියෙන්න ඕනේ දෙයක්

    ReplyDelete
  16. හැමෝටම බිස්නස් කරන්න බැහැයි කියන එක තමා මගේ අදහස .

    ReplyDelete
  17. ඔය බිස්නස් වැඩ ගැන මගේ නම් තියෙන්නේ පොඩි අලස කමක්.හැබැයි ඉතින් තිලකේ අයියාට නම් ලැබිලා තියෙන්නේ ස්කෝල කාලේදීම හොඳ ව්‍යාපාරික හවුල්කරුවෙක්.

    ReplyDelete
  18. කියෙව්වා ! බිස්නස් ගැන නම් ඉතින් කිසි අත්දැකීමක් නෑ...

    ReplyDelete
  19. මගේ අක්කා අත්කම් වැඩ ක්ලාස් එකට ගියාම මම තමා සපෝටර්.

    අක්ක මල් හදද්දී මටත් ඉබේටම ඒ ඕන එකක් හදන්න පුලුවන් කමක් එනවා.

    පස්සේ කාලෙක පත්තරේක ස්ටොකින්ස් මල් හදන හැටි දැකලා අක්ක ගෙදර ඉද්දි ඒවා කරපු මතකේ නිසාම බඩු ටිකක් ගෙනත් මල් ටිකක් හැදුවා.

    ඒක දැකපු ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක් දුන්නා ලොකු ඕඩර් එකක් එයාගේ ෆැක්ටරි එකේ විකුනන්න.

    සෑහෙන කාලයක් මගේ ටියුෂන් ෆීස් දවල් කෑම සල්ලි බැලන්ස් කර ගත්තේ ඒ ආදායමෙන්.

    සුනිමල් වගේ අවන්ක මිනිස්සු නෑ කියලා ගොඩක් එය කිව්වට මම නම් ඒ කතාවට එකඟ නෑ

    ReplyDelete
  20. අපේ වත්තේ (අපේ කිවුවට මවගේ මහගෙදර) පැත්තකත් ඔය වගේ ලොකු අරත්ත ගාලක් තිබුණා. එහි නිතරම මුගටියන් කිහිප දෙනෙකු දකින්න හිටියා. මේ ගැන ගෙදර තිබුණු ප්‍රවාදය වුණේ මුගටියන් සර්පයින්ව කෑවට පස්සේ හෝ සර්පයින් සමඟ සටන් කර ප්‍රහාරයට ලක් වුනාට පස්සේ ඇඟේ තියෙන සර්ප විෂ අඩු කර ගැනීම සඳහා අරත්ත අල කන බවයි.

    //සිංදු කීමේ හැකියාව්, චිත්‍ර ඇඳීමේ බුහුටිබව වගේම උපතින් රැගෙන එන ගුණයක් සේ මා පිළිගන්නා බිස්නස් පටන් ගැනීමේ උනන්දුව හෙවත් ව්‍යවසායකත්වයද හරි පුදුම චරිත ලක්ෂණයකි.//
    මෙය ඉතා හොඳ සැසඳීමක්. බොහෝ දෙනා මේ ගුණ උපතින් රැගෙන ආවත් පුහුණුව මඟින් ඔය හැකියා තුනම වර්ධනය කරන්නත්, නැති අයට ඇති කරන්නත් පුළුවන්. උපතින්ම මේ හැකියා ඇති අය බොහෝ විට එවැනි දිරිමත් කිරීමක් නැතත් ඉදිරියට එනවා.

    ReplyDelete
  21. සුනිමල් අපි වගේ සටකපට බිස්නස් කාරයෙක් නම් නොවන බව පැහැදිලියි. මෙන්න අපි පොඩි කාලේ කරපු වෙළඳාම් ...http://helmalu.blogspot.com.au/2015/04/blog-post_13.html

    ReplyDelete
  22. මම නං පොඩි කාලෙ කළේ අතිං ලියපු කතා පත්තර විකුණපු එක.

    ReplyDelete
  23. අගේ ඇති කතාවක්...ආසාවෙන් කියෙව්වා

    ReplyDelete