Wednesday, January 3, 2024

උමන්දාවේ දින සටහන් 2- කැපඩෝසියාවේ භූගත නගරය

 

Source- Wikipedia

නවාරි දෙවැනිදා මම  අපේ ජපන් ජාතික මිතුරෙකුට   සුබ අලුත් අවුරුද්දක් කියා කිව්වාට ඔහු යමක් මුමුණ  මුමුණා  සිටියා  මිසක යහපත් ප්‍රතිඋත්තරයක් දුන්නේ නැත.
උඹට මොකුත් ආරංචි වුනේ නැද්ද ?  ඔහු ඇසුවේය.
මම මොකුත් නෑ  කියා කිව්වෙමි. 

මොකුත් නෑ ? ඔහු යලි ප්‍රශ්න කළේය . අලුත් අවුරුද්ද උදාවන  දවසේ ඇවිදින්නට  යන්නටත් දවල් කෑම  කොහෙන් හෝ ගැනීමටත් එකතු වන්නැයි  කියා අප කිව්වට ඔහු ආවේ නැත . 

පසුගිය සෙනසුරාද ඔහු අලුතින් ටී වී චැනල් එකකට සබ්ස්ක්රයිබ් කලේය. ටිකක් ලොකු ගානක් ගියා මට එත් අලුත් අවුරුද්ද දවසේ එහෙ උත්සව, සංගීත වැඩ සටහන් සෑහෙන්න බලන්න පුළුවන්. ඒ වැඩ නිසා මම ජනවාරි පළවැනිදා ගෙයින් එලියට යන්නේ නෑ  කියා ඔහු කල්තියා කිව්වේය. 
මේ සා බලාපොරෝත්තු  තියාගෙන සිය  රටේ මිනිස්සුත් එක්ක අවුරුදු සමරන්න හිටි මනුස්සයා මේ ලෙස අවුල් වී සිටින්නේ ඇයි ? 

ඔහු මොහොතකින් අලුත් අවුරුදුදා  ජපානයේ ඉෂිකාවා පලාතට  අවාසනාව ගෙනා භූමිකම්පාව ගැන මට කිව්වේය. 

පෙරදා  උදේ සිට ඇවිදිනවා, කතා කරනවා, කනවා හැරුණුකොට කිසිම  ලෝක තොරතුරක් ගැන මම අප්ඩේට් නොවී සිටීම ගැන කණගාටු වුනෙමි. ඒ වේදනාව මට මතක් කළේ 'කඳුළු රසැති මොමෝ ' පෝස්ට් එකය. 

' ජපානේ අපිට අපි විතරයි . කවුරුවත් අපි ගැන බලන්නේ නෑ ' කියා ඔහු කියන විට මගේ හිත   පිලිස්සී  ගියේය.
උඹ දනන්වද ? මේ මගේ  අවුරුද්ද . මම ඉපදිලා තියෙන්නේ අවුරුදු දොළහකට වතාවක් එන මකර රාශියේ. මේ අවුරුද්ද හොඳ වෙයි කියල හිතාගෙන අපේ ගෙදර හැමෝම මට සුබ පැතුවා . දැන් වෙච්ච දේ නිසා මේ අවුරුද්දේ  මට සැකයි" .  

මේ මිනිසා   බොහොම අහිංසක සංවේදී මිනිසෙක් ලෙස මට තේරුම් ගියේය . 

"ඊයේ රටපුරා මොනතරම් උත්සව තියන්න ලැහැස්ති කරලා තිබ්බද ? ඒ සේරම කැන්සල් වුනා"

මීට  මාසයකට   පමණ පෙර ඉස්තාම්බුල් ආසන්නයේ   රික්ටර් පරිමානයේ 5.1ක භූමිකම්පාවක් ඇති වුනේය.  ඒ  වෙලාවේ  භූමිකම්පා හා උමං අතර ඇති සම්බන්ධය කතා කරමින් සිටිද්දී පුලන් කිව්වේ භූමිකම්පාවලින් ආරක්ෂා වීමට හොඳම  තැන පොළව යට පිහිටි  උමං මාර්ග බවයි. 

ජපානය මෙන්ම තුර්කියේ ඉස්තාන්බුල් ඇතුළු බොහෝ පෙදෙස්  භූමිකම්පා සක්‍රිය කලාපවල පිහිටියි. ඈත  මෑත ඉතිහාසය පුරා දැවැන්ත භූමිකම්පා ව්‍යසනවලට මේ දෙරටම මුහුණ දී ඇත .
භූගත ගොඩනැගිලි  හා උමං අවදානමෙන් අඩුයයි කිව්වට නව ඉදිකිරීම් වලදී ඒවා භූකම්පනවලට ඔරොත්තු දෙන ලෙස හැදීමට රෙගුලාසි ඇවිත් තිබේ. 
ඉස්තාම්බුල්  නුවර තක්සිම්  චතුරශ්‍රයේ සිට ලෙවන්ට් 4 නගරය දක්වා කිලෝමීටර් හයකට ආසන්න  උමග ඉදිකිරීමේදී ඊට සම්බන්ධව සිටි පුලන් මෙහෙම කතාවක් කිව්වේය . 

"1999දී ඉස්තම්බුල් වලට ඇඟට දැනෙන භුමිකම්පාවක් ඇතිවුනා. ඉස්තාන්බුල් ආසන්නයේ වෙච්ච මේ භුමිකම්පාව දරුණුම එකක්. එතකොට මම හිටියේ වැඩ ඉවරවිගෙන යන උමග ඇතුළේ . මට කිසිම කම්පනයක් දැනුන නෑ . එලියට අවිල්ල බලනකොට එකම කලබගෑනියයි. ඒ අතරේ ආරංචි වුනා අපේ උමග හදන ප්‍රංශ කොම්පැනියෙ උන් බඩු පැක් කරගෙන  යන්න හදනවා කියල. 
මම ඉක්මනට ගිහින් ඒ මිනිස්සුන් අස්වැස්සුවා.  උමග දිගේ පයින් එක්කරගෙන ගියා . මම කිව්වා උමගට කිසිම දෙයක්  වෙලා නෑ . උමගේ වැඩ කරන්න බය වෙන්න එපා කියල. ඊට  පස්සේ තමයි ආපහු නොයා මෙහෙම  ඉන්න ඒ මිනිස්සු හිත හදා ගත්තේ"  ඔහු කිව්වේය. 

තුර්කිය එහි භූගත නගර සඳහා ප්‍රසිද්ධය, විශේෂයෙන් කැපඩෝසියා කලාපයේ මෙම භූගත නගර නිර්මාණය  සහ අදාළ ඉංජිනේරු විද්‍යාව සිත් ඇදගන්නා සුළු වනමානව දක්ෂතාවයේ අරුමයන්ය.
ඉතින් මේ භූගත නගර භුමිකම්පාවලින් බේරී සිටීමට හැදූ  ඒවාද ? 

කැපඩෝසියාහි භූගත නගරවල මූලික අරමුණ භූමිකම්පා සඳහා ආරක්ෂිත ස්ථාන යොදා ගැනීම බවට කිසිදු සාක්ෂියක් නැත. මෙම භූගත ජනාවාස  ගිනිකඳු පාෂාණ සිදුරුකර හැඩවැඩ දමා නිර්මාණය  කර ඇත්තේ  සතුරු ආක්‍රමණ කාලවලදී  බේරි සිටීම සඳහා ය. මෙම කලාපයට මානව ජනාවාස පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර, විවිධ තර්ජනවලින්  ජනයා  ආරක්ෂා කිරීම සඳහා භූගත නගර රහස්  නවාතැන්  හෙවත් බංකර් ලෙස සේවය කළේය.

 කෙසේ වෙතත්, කැපඩෝසියාව (Cappadocia) භූ කම්පන ක්රියාකාරී කලාපයක පිහිටා ඇති බව සඳහන් කිරීම වටී. සමහරවිට මේ කලාපයේ මෙළෙක් යමහල් පාෂාණය යම් භූ කම්පන ශක්තියක් අවශෝෂණය කර ගත හැකි වුවද, මෙම භූගත නගර නවීන භූ කම්පන ආරක්ෂණ ප්‍රමිතීන් අනුව නිර්මාණය කර ඇති බවක් සොයාගෙන නැත.
මෑත කාලීනව  භූ කම්පන කලාපවල ගොඩනැගිලි  භූ කම්පනවලදී ඒවායේ ආරක්ෂාව සඳහා නිශ්චිත භූමිකම්පා-ප්‍රතිරෝධී ලක්ෂණ සහිතව නිර්මාණය කර ඇත. 

Cappadocia හි භූගත නගර ඒවායේ ඓතිහාසික වැදගත්කම සහ වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යයන් ලොවක් මවිත කර තිබේ.

වඩාත් ප්‍රසිද්ධ භූගත නගරවලින් එකක් වන්නේ  ඩෙරින්කියුය. එය සියවස් ගණනාවකට පෙර මෙළෙක්  ගිනිකඳු පාෂාණවලින් සැදුණු  කඳුවැටිවල  මනාව නිර්මාණය කරන ලද, තට්ටු කීපයක් ඇති  භූගත නගරයකි. ගිනිකඳු පිපිරිම නිසා ඇතිවන ලාවා සහ අළු මිශ්‍ර වී සෑදෙන යමහල් පාෂාණ මෙළෙක්ය. උපකරණවලින් සිදුරු කිරමට හා කැටයම් දැමීමට පුළුවන.   නගරය ආරක්‍ෂක අරමුණු සඳහා ඉදිකරන ලද බවට විශ්වාස කෙරෙන අතර, දහස් ගණනක් පුරවැසියන්ට එහි  නවාතැන් සලසා දී ඇත. එයට විවිධ කුටි, උමං මාර්ග, ගබඩා කාමර සහ වාතාශ්‍ර සපයන මාර්ග  ඇතුළත් වී තිබු  අතර එහි ජල සැපයුම, ජලාපවාහණය හා ආලෝකය සැපයීම, ආහාරපාන සැපයීම, අධ්‍යාපනය, ආගමික කටයුතු, සෞඛ්‍ය පහසුකම් ආදිය සිදු වුයේ කෙසේද යන්න තවමත් හරිහැටි හොයාගෙන නැත.  .

තුර්කියේ භූගත නගර ඉංජිනේරුමය ආශ්චර්යයන් පමණක් නොව කලාපයේ ඓතිහාසික හා සංස්කෘතික පොහොසත්කමට සාක්ෂිය සපයයි. 

මෙම භූගත නගර ප්‍රාතිහාර්යයන් නොවුනද ,පොළෝ  මට්ටමට  යටින්  විචිත්‍ර නිර්මාණයන්  කිරීමේදී පුරාණ සමාජවල තිබු හැකියාවන් ගැන පුදුම නොවී සිටිය නොහැක .

ඉතින් මා පැමිණ සිටින්නේ  මානව ශිෂ්ටාචාරය පිළිබඳ අලුතින්ම  හදාරන්නට පුළුවන් කලාපයකය. ඒවායේ ඇවිද සියැසින්  දැකබලාගත් තොරතුරු ඉදිරියේදී ලියමි 

මම  මේ රට දකින්නේ ත්‍රී ඩිමෙන්ෂනල් රටක් ලෙසටය. මිට වඩා දියුණු සාමකාමී රටවල් මම දකින්නේ ටූ ඩිමෙන්ෂනල් රටවල් හැටියටය. 



21 comments:

  1. තුර්කියේ ගොබෙල්කි ටෙපේ ආරාමය පැත්තට යන්න. ඔය අපේ ප්‍රා ජේ විරුද්ධ වුනාට ඔය භුගත් නගර වසර 10000 කට එහා පැරණියි. ඒ නිසා අයිස් යුගයෙන් පස්සේ ආපු hunter /gatherer කතාවේ හිඩැසක් තියෙනව. ග්‍රීසියේ මිනොවන් ශිෂ්ටාචාරය වගේම මේ ශිෂ්ටාචාර ගැන හොයන එකටත් සමහර පුර විද්‍යාඥයෝ විරුද්ධයි. එනිසා මේවායේ ඉතිහාසය තව හොයන්න් පුලුවන්නම්. මේ මම ලියපු එකක් ග්‍රීසියට ගිය වෙලේ. https://kolambagamaya.blogspot.com/2023/01/6.html

    ReplyDelete
    Replies
    1. හොඳ හෝඩුවාවක් , ආයෙත් ගමන් බිමන් පටන් ගන්න ඕනි. ගිය සතියේ අයහපත් කාලගුණය හා අසනීප නිසා ගමන් බිමන් හා ලියවිලි නතර වුනා

      Delete
    2. අජිත්, ඇයි පුරාණ ශිෂ්ටාචාර ගැන හොයන එකට සමහර පුරා විද්‍යාඥයෝ විරුද්ධ?

      Delete
    3. ඒක මම ග්‍රීසියේ ඇතන්ස් වල මෙන්න මේ ප්‍රදර්ශනය බලන්න ගය වෙලා එහි අයිතිකරු හෝ curator යයි කියූ තැනැත්තා කීව කතාවක් https://kolambagamaya.blogspot.com/2023/07/blog-post_5.html අපි මිනොඅන් ශිෂ්ටාචාරය හෙම ගැන කතා කරද්දී ඔහු කීවේ ඕල්ඩ් ස්කූල් එක මේවා හොයනවට විරුද්දයි කියල පරණ රා විද්‍යාඥ සෙට් එක පරණ ෆිසික්ස් සෙට් එක වගේම අර ටයිම්ලයින් වෙනස් කරන කැමති නැහැලු. ඒවා හොයාගෙන ඉවරයි කියල. පිළිගත්ත එක තමා Ice Ages එක ඉවර වුනේ අවුරුදු 11000 කට කලින්. හින්දු වැලි ආර්ය ශිෂ්ටාචාරය අවුරුදු 5000 විතර (ඒ කියන්නේ ක්‍රිපූ 2500) විතර පරණයි . ඊජිප්තු එක වසර 5300-6000 විතර (ක්‍රි පු 3100). නමුත් ග්‍රීසිය, තුර්කිය හා ඒ අවට වසර 10000 හෝ ඊටත් කලින් (ක්‍රිපූ 4000 සිට 7000) විතරවත් දියුණු ශිෂ්ටාචාර තිබිල තියනව කියන එක සමහරු පිලි ගන්නේ නැහැ. නමුත් දැන් සාක්ෂි හම්බ වෙනවා කියල එයා කියනව. .

      Delete
    4. තුර්ක්මෙන් වරු තුර්කියට ආවේ පස්සෙනේ. ඊට කලින් තිබූ ශිෂ්ටාචාරය ගොඩක් පරණයි. එහෙ මුස්ලිම් අය පරණ ටයිම්ලයින් එකක් ඇති වෙනවට කැමති නැහැලු. ඒත් ඒක දැන් පිලි ගන්නවා.
      Göbekli Tepe is the site of the oldest known human-made structure, a temple dating to circa 10,000 BC,[4] while Çatalhöyük is a very large Neolithic and Chalcolithic settlement in Anatolia, which existed from approximately 7500 BC to 5700 BC. It is the largest and best-preserved Neolithic site found to date.[5] Nevalı Çori was an early Neolithic settlement on the middle Euphrates, in Şanlıurfa. The Urfa Man statue is dated c. 9000 BC, to the period of the Pre-Pottery Neolithic, and is defined as "the oldest known naturalistic life-sized sculpture of a human".[6] It is considered to be contemporaneous with Göbekli Tepe. The settlement of Troy started in the Neolithic Age and continued into the Iron Age.[7]

      Delete
  2. හරි අගේ ඇති සටහනක් තිලක.
    මේ භූගත උමං මාර් ග සහ ලෙන් පද්ධති සහිත, -ඔබ සඳහන් කර ඇති ආකාරයට 'ත්‍රි ඩිමෙන්ෂනල්' නගරයේ - සැරිසැරීම, සුරංගනා කතාවක ඇති විශ්මය ලෝකයක වගේ ඇති බවයි මට හැඟෙන්නේ. අප කුඩා කාලයේ පංති පාඨ ග්‍රන්ථයක් ලෙස භාවිත කළ උම්මග්ග ජාතකයේ එන උමඟ මට සිහියට නැගෙනවා. මා හිතන්නේ ඔබගේ විස්තරාත්මක සටහන් ඉංජිනේරු විද්‍යාව හදාරන අයට පවා ඉතා වැදගත් කරුණු විය හැකියි. මා මේ සියල්ල ඉතාමත් ආසාවෙන් කියවනවා. මෙසේ තමන් ලබන අත්දැකීම් ලේඛනගතකර තැබීම සඳහා ඔබ ගන්නා උත්සාහය ඉතාමත් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා මහත්තයා , මේ වගේ සටහන් සිංහලෙන් ලියපුවා අඩු වෙන්න හේතුවක් තමයි සරලව පැහැදිළි කරන්න අපහසු වීම .මටත් මේ ඉතිරි ටික ලියාගන්න බැරිව ඉන්නේ

      Delete
  3. වාසනාවකට ලංකාව පිහිටලා තියෙන්නේ සක්‍රීය භූ කම්පන තලයක නොවෙයි...ඒ හින්දා ලංකාවේ බිල්ඩින් පාලම් භූ කම්පන සදහා නිර්මාණය කිරීම අවශ්‍ය ම නැ..ඒත් ඇතැම්විට සමහර හේතු මත ඒ සදහා නිර්මානය කෙරෙනවා..

    සක්‍රීය භූ කම්පන ප්‍රදේශයක් උන තුර්කියේ බිල්ඩින් වල කොලම් වල සයිස් ගැන අදහසක් ගන්න කැමතියි...

    -Mayya


    ReplyDelete
    Replies
    1. ඒ ගැන තව ටිකක් හොයලා කියන්නම් . මෑත කාලේ හදන බිල්ඩින්වල තමයි ඔය අවධානම ගැන ගොඩක් රෙගුලාසි බලන්නේ

      Delete
  4. http://historyofgeology.fieldofscience.com/2016/05/the-possible-geological-origin-of.html

    ReplyDelete
    Replies
    1. //The oldest descriptions of the Minotaur also note that the bull made tremble and shake the earth. It´s also curious to note the relationship between the Minotaur and Poseidon, Greek god of the sea. Poseidon could also generate earthquakes with his trident, as one name describes him as Enosigeo, the earth-shaker. Also the labyrinth is an old symbol of earth´s unknown interior, the womb of the goddess Gea. So the Minotaur myth shows some remarkable connections to earth or earthquakes.//

      Delete
    2. Link එකට ගොඩක් ස්තුතියි Pra Jay! ඒකෙ තියෙන වීඩියෝව මට නං සුපිරි!

      Delete
    3. ස්තුතියි ප්‍රා විස්තරයට හා ලින්ක් එකට

      Delete
  5. තිලක එක පැත්තකින් පටන් අරන් අපිව වටේටම කරකවනවා . හරිම වැදගත් හරබර සටහනක් . තවත් වැඩි විස්තර බලාගෙන ඉන්නවා. ඔබේ ව්‍යාපෘතිය ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ . තව ගොඩක් දේ ලියන්න එකතු වෙමින් යද්දී අවිවේකි ගතියත් වැඩි වුනා . ඒත් ආයේ ලියනවා

      Delete
  6. ලිපියත් කොමෙන්ට්ස්සුත් වඩවයි කුහුල තවත්
    දැනගන්නට ආසයි තතු තවත් තවත්
    foto දෙක තුනක් එහෙමත් එකතු කළොත්
    තිලකේ, අගය වැඩි වෙයි හැඩ වෙලා තවත්!

    ReplyDelete
    Replies
    1. පින්තුර තව තව දමන්නම්
      ලබන සතියෙත් යලි ලියන්නම්

      Delete
  7. "කැපඩෝසියා?"
    මොනවද අයියේ මේ "මෙසපොටේමියාවේ පොටේටෝස් හිටවනවා!" වගේ කතා!
    කොහොම උනත් හරි අපූරු ලිපියක්!

    ReplyDelete
    Replies
    1. කැපඩෝසියා කියල මම කිව්වට මෙහෙ අය කියන්නේ කැපඩෝකියා . ඔය ගොඩක් වචන ග්‍රීක් . ඉස්තාන්බුල් කියන්නෙත් ග්‍රීක් වචනයක්

      Delete