Sunday, January 28, 2024

මා සමග කෝච්චියේ ගිය රන්ජන් හා මැත්තා

අපේ අවසාන වසරේ විභාගය ඉවර වී දවසක් දෙකක් ගෙවී ගෙදර යන්නට බලා සිටි අප‍ට 1993 මැයි පළවෙනිදා මානසිකව විවේකි දවසක් උනේය . එදා උදේ ජනාධිපති ගමන්ගත් මැයි පෙළපාලියෙදී සිදූවූ අලකලංචිය අපට අසන්නට ලැබුනේ නුවර ගොස් දෙල්තොට බස් එකක නැගී පේරාදෙණි එද්දීය . බසයට අතරමගින් ගොඩ වුවෙක් මේ ආරංචිය කිවේය. බසයේ සිටි සියල්ලන්ගේම කුතුහලය මුසු මුහුණු පිබිදෙමින් තිබිණි. ඊළඟට ගොඩවූ තවත් මගියෙක් අවසාන ආරංචිය තහවුරු කළේය. මගීන්ගෙන් නැගුනේ ප්‍රීතිය මුසු ප්‍රතිචාරයකි. මග දෙපස මිනිසුන් එකතු වී රතිඤ්ඤා දල්වන අයුරු අපට පෙනිණි .


"ගෙවල්වලට ගිහින් කැවුම් කිරිබත් උයන්නලා වැඩේ ඉවරයි" කියා පාරේ සිටිවුන් අපට ඇහෙන්නට කෑ ගැසුවෝය . බසයේ සිටි වයස අවුරුදු හත අටක කුඩා දරුවෙක් "අම්මේ අපි ගෙදර ගිහින් පාටියක් දාමු අයිස්ක්‍රීම් ගමු" කියා කියද්දී දරුවාගේ මව වහ වහා දරුවාගේ මුව දෑතින් වසාගෙන බියමුසු දෑසින් වටපිට බැලුවාය. ඒ වනවිටත් සැකය හා භීතිය පහවගොස් නොතිබිණ . අප ගලහා පාරේ මෙඩිකල් ෆැකල්ටිය ලඟින් සරසවි බිමට ඇතුල්වෙන තැන සිට ජේමිස් පීරිස් ශාලාව අසලින් බහිනතුරු කන් බිහිරි කරවන ජයඝෝෂා හා රතිඤ්ඤා හඬ ඇසුණේය . අවට සමාජය හා සරසවි සිසුන්ඇතුළු සියල්ලන් සතුටු වූ සිද්දියක් වූ එය සමාජය වසා සිටි භීතිය , කියාගන්නට බැරි තරම් වූ අවනීතිය තුලින් උපන් පීඩනය පිටකිරීමක්ම විය .

සමාජ මාධ්‍ය නොතිබූ ඒ කාලයේ අපට අසුනේ මේ ප්‍රීති වීමට හවුල් වූ අයගේ හඬ පමණකි. එය සාතිශය බහුතරයගේ හඬ බවටනම් සැකයක් නොවීය .දවසෙම වෙන වැඩක් කරන්නට හිතුවේ නැති අපි කැන්ටිමේ ටිවී නිව්ස් වලින් හා තම තමන්ගේ අතින් දමා රසකර මැවූ කතන්දර වලින් සංතෘප්ත වෙමින් දවස ගෙවා දැමුවෙමු.

එදා රාත්‍රී කෑම ගනිද්දී රන්ජන් මා ලඟට පැමිණ හෙට උදේ අපට දුර ගමනක් යන්න තියෙනවා පාන්දර පහට ලෑස්ති වෙලා හිටපන් කියා කිව්වේය. අද හෙට ගෙදර යන්නට ප්ලෑනක් නොවූ මම ඕනි බඩකඩිත්තුවක යන්නට කැමති වුනෙමි. උදේ පාන්දර අපි පේරාදෙණියට ගොස් නුවරින් මාතර බලා යන එක්ස්ප්‍රස් කෝච්චියේ පානදුරට ටිකට් දෙකක් ගතිමු .

' කොහෙද බං යන්නේ ? ' මම ඇහුවේ කෝච්චියට නැග්ගාටත් පසුවය.

' පානදුරේ අපේ පුංචි අම්මලා ගෙදර '

ආයි මේ හදිස්සියේ ?

"නෑ බං කාලෙකින් ගියෙත් නෑ" .

ඒත් මේ යන්නේ අතින් කයිට් කරගෙන කාගේදෝ ප්‍රශ්නයක් විසඳන්නට බව මට වැටහුණේ පසුවය.

කෝච්චියේ සිටි කිසිවෙකුත් ඊයේ රටේ සිදුවූ සිද්දිය ගැන කතා කළේ නැත . ඒත් රන්ජන් කිව්වේ දැන් තියෙන්නෙ නව පාලනයක් ඉක්මනින් බිහි වී රට ගොඩ යෑමට ගතවන කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරක් කියාය .

මේ වෙලාවේ අපේ මැදිරියේම කෙළවරක කල්පනාවක ගිලී වාඩි වී සිටින මැත්තා අපට දකින්නට ලැබිණි . ඒයී උඹ කොහෙද යන්නේ ? කියා ඔහුවත් අප ලඟට ගෙන්නා ගතිමු.
දේශපාලනය ගැන ඉහළ උනන්දුවක් ඇති පරිණත, ප්‍රතිපත්තිගරුක හිත හොඳ මිනිසෙකු වූ ඔහු දේශපාලනය නිසා බොහෝ දේවල් අහිමි කරගෙන සිටියේය . ඉතින් ඔහු බෙහෙවින් සතුටට පත්ව ඇතැයි සිතුවෙමි .

"ඊයේ මාර වැඩේ නේද වුනේ?" මම අහුවෙමි . ඒත් කිසිම සතුටක් නැති මුහුණින් ඔහු මෙසේ කිව්වේය.

"ඔය එක පුද්ගලයෙක් නැති වුනා කියල මිනිස්සු පීඩනෙට පත්වෙච්ච හේතු නැති වුන් නෑනේ බං . අනෙක ඔතෙන්ට තව එකෙක් ඇවිල්ල ඔය ක්රමේම පවත්වාගෙන යයි. අපිට හොඳටම ෂුවර්ද තව පාලකයෙක් මැරුණම කිරිබත් කන් නැති ගානට මේ රටේ ක්‍රමේ හැදෙයිද කියල? හොඳ නරක ගැන පොදු එකඟතාවක් අපි කාගේ ගාවවත් නෑනේ. ඒ නිසා මටනම් ලොකු සතුටක්වත් බලාපොරෝත්තුවක්වත් නෑ" කී ඔහු කැමතිම විෂයය වන චිත්‍රපටි ගැන කතා කරනන්ට පටං ගත්තේය.

මා සමග එදා කෝච්චියේ ගිය රන්ජන් හා මැත්තා දෙදෙනාම අද ජිවතුන් අතර නැත . ඒත් ඔවුන් සිහිකිරීම වෙනුවෙන් දියුණු සමාජවල තිබෙනවා යැයි මා අසා ඇති සමහර ලක්ෂණ ටිකක් සටහන් කරන්නට කැමතිය.

ඒවායේදී අමු අමුවේ නීති කැඩීම, අනිතිකව ඉඩම් අල්ලා ගැනීම, හොරකම හා වංචාව දේශපාලනයේ යෙදීමට බැරිවෙන තරමේ වරදවල බවට තහවුරු වී ඇත . දේශපාලකයෙක් වීමට හා බලයේ සිටීමට අවශ්‍ය මුලික සදාචාර රාමුවක් ගැන විවාදයකින් තොර පොදු එකඟතාවක් ඇත. ප්‍රතිපත්ති ස්ථාවර වී ජානගතවී ඇති නිසා දේශපාලනය ගැනම කතා කරන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන ජීවත්වීමට පොදු මහජනතාවට පුළුවන. කොලිටි ඔෆ් ලයිෆ් හොඳ වී ඇත්තේ මේ ආදී බොහෝ අංශවල කිලිටි සෝදාගෙන තිබීම නිසාය.

17 comments:

  1. ලස්සන සටහනක්. අද සටහන හරිම කෙටි එකක්. තව දිගට ලියන්න තිබුනා. අර විදුසර මතක ගැන බ්ලොග් එකටත් ලිපි කිහිපයක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ .මට මේ ටිකේ විවේකය අඩු නිසා ඇවිදින ගමන් හමුවෙන ෆොටෝ හා ෆෝන් එකෙන් ලියන්න පුළුවන් පෝස්ට් ෆේස්බුක් එකේ දානව විතරයි. එහෙම දාන්න කිල්යල ලියපු පෝස්ට් එකක් මේ. බ්ලොග් එකට වඩාත් හොඳයි කියල හිතුණු නිසා මේක දැම්ම . මම සාමාන්‍යයෙන් ලියන බ්ලොග් පෝස්ට් එකකට වඩා කෙටි ඒකයි

      Delete
  2. වැදගත් අදහසකි තිලකේ ලියා ඇති
    රටකට උවමනා නිවැරදි ප්‍රතිපත්ති
    මිනිසුන් වෙනස් වුණු පලියට වැඩක් නැති
    හරි පාරකම රට ගෙන ගියහොතින් ඇති

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්තියක් නැති එකනම් අපේ කමයි
      අපේකම රකින එක වැසියා හොඳින් කරයි

      Delete
  3. මිනිසෙකු මිය ගිය පසු කිරිබත් උයා කෑම රතිඤ්ඤා පත්තු කිරීම පමණක් නොව සිතින්ව සතුටු වීම අමනුස්ස වැඩකි.

    එනම් එවැනි දෙයක් කළ හැක්කේ මනුෂ්‍යයකු නොවන අයකුට පමණි.

    තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
    ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද
    තිස් දහසක් මළ බෙර හඬ ඇසෙන සඳ
    මොන හිතකින් කිරිබත් රස විඳින්නද
    (2009)


    ReplyDelete
    Replies
    1. ඔව් අපේ රටේ මිනිස්සුට එහෙම වෙන්න වෙන එක කණගාටුවට කාරණයක්

      Delete
  4. රංජනුයි මැත්තයි අද හිටිය නං ලංකාව කොයි තරං ආපස්සට ගිහිංද කියල දැකල කොයි තරං දුක් වෙන්ට තිබුණද..?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙයි අදයි ලොකු වෙනසක් වෙලා නැති එක අපිටත් දුකයි

      Delete
  5. ඔය දවස මටත් හොඳට මතකයි .. අපේ තාත්තා මැයි පෙළපාලි ගිහින් එනකං මම බලන් හිටියා .. ඒ දවස් වල තිබ්බේ 17 වසරක සාපය අවසන් කරමුද මොකක් ද එකක් නේද ..

    තාත්තල සතුටු වෙනකොට අපි සතුටු උනා

    ReplyDelete
    Replies
    1. අපි අද මොන තරම් මානුෂික විදිහට කියන්න හැදුවත් මම දන්නා හැමෝමත් එදා සතුටු වුනා

      Delete