Tuesday, May 21, 2013

යවුල ගස



ඊයේ කෑම   පැයේදී අප කතා කරේ හොල්මන් සහ අවතාර ගැනයි. බොහෝ රටවල මිනිසසුන්  අඩු වැඩි වශයෙන් මේවා විශ්වාස කරන බව පෙනේ. හැමෝටම පොදු කතාවක් තිබිණි. ඒ මේවා විශ්වාස කරත් නැතත් ඔවුන් ජීවත් වූ පරිසර වල හොල්මන් සිටිනවා යැයි  සම්මත බියකරු ස්ථාන තිබුණු බවය. එවන් බය හිතෙන තැන වලින් යද්දී හය්යෙන් උරුහන් බෑමටත් කුණු හරුපෙන් කාට හෝ බැනීමටත් පොදුවේ කවුරුත් පුරුදු වී සිට ඇත. බය වූ කල ඉති පිසෝ ගාථාව කියන්නේ අපේ රටේ පමණක් වන්නට පුළුවන.
අපේ ගමේද හොල්මන් ගැවෙසෙන තැනක් තිබිණි. කඳු ගැට දෙකක් අතරින් ගමට ඇතුල් වෙද්දී වැලමිට වංගුවත් සමග හමුවන අඳුරු ජන ශුන්‍ය තැනක පිහිටි රූස්ස ගස නමින් යවුල ගසකි. ඒ හාත්පස දක්නට ලැබුණු ගුප්ත බව  දුටුවන් සිත චංචල කිරීමට සමත්ය. ඊට යාබද කඳු ගැටයේ තිබෙන පාළු සොහොන් බිම මේ ස්ථානයේ ඇතැයි   කියන මුසල බිය මුසු ගතිය ඉහළ නැංවීය .
ගොම්මන් යාමයේ තනිවම මෙතැන පසු කර ගිය හැඩි දැඩි තරුණයන් පවා බිය වී යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ගොඩ ආ පුවත් නිතර අසන්නට ලැබිණි. කුඩා කළ සිටම දෙවියන් සහ බුතයන් විශ්වාස නොකරන රැල්ලේ සිටි නිසා මම මේ හොල්මන් කතාව විශ්වාස කරේම නැත. ඇරත් අපේ ගෙදරට හැතැප්ම බාගයක දුරින් පිහිටි මේ හොල්මන් පොළ අපිට නුපුරුදු තැනක් නොවිණි.ඒ ත් එක්තරා වැසිබර දිනක පුංචි අම්මලා ගෙදර ගොස් රෑ  බෝ වී එතනින් ගිය මට තව දුරටත් බිය නැති වීරයෙක් වන්නට බැරි විය. ඒ වැසි බර අඳුරු දවසේදී හවස හත හමාරට පමණ වෙවුලන කටහඬින් බයටම  සින්දුවක් කියමින් එතනින් ගිය මගේ කුඩයෙන් කවුදෝ අදිනවා දැනිණි. මද වැසි  නිසා මම ඉහලාගෙන ආ පුංචි අම්මාගේ කුඩය මම කෙතරම් වැරෙන් අල්ලා ගෙන සිටියත් බියකරු අතකින් එය මගෙන් උදුරා ගනිමින් සිටියේය. අඳුර දෙබෑ කරමින් දැල්වුණු අකුණු සැර  පෙන්නුම් කළේ  කිසිම මනුස්ස ප්‍රාණියකු ළඟ පාතකවත් නැති බවය. මොහොතකින් මගේ කුඩය තනිකරම තමන් සතු කර ගන්නට හොල්මන සමත් විය.දැන් ඉතින් බය වෙනවා හැර මොනවා කරන්නද.මම දිව්වෙමි දිව්වෙමි. හති දමමින් ගෙදරට දුව ගොස් උළුවස්සට වාරු වුණූ  මගේ සියොළඟින් වැසි දිය හා දහදිය බේරෙමින් තිබිණි.
 බියපත් අම්මාගේ පළමු ප්‍රතිචාරය වුයේ 'පුතේ උඹ යවුල ගහ ලඟින් තනියම ආවාද' යන්නය්. බයෙන් සැලෙමින් සිටියද මම හොඳ සනීපයෙන් සිටින බව පසක් කර ගත තාත්තා මා දෙස හෙළුවේ විමසිලිමත්, සමච්චල් බැල්මකි. කොල්ලට තෙල් ඩිංගක් මතුරාගෙන එන්නට එපිටහා ගෙදර මුත්තා හොයන්නට යුහුසුළු වන අම්මා වැලැක්වූ තාත්තා  මට වුයේ මොකක්දය් හරියටම හගිස්සගන්නට තැත් කළේය .
උණු තේ එකක් බීමෙන් පසුව මම විස්තරය  කිව්වෙමි. ඒසැනින් මගේ අතට විදුලි පන්දමත් හා කූඩයක් දුන් තාත්තා කිව්වේ යවුල ගහ ළඟ වැටී ඇති කුඩය අහුලා ගෙන එන ලෙසය. මෙය කෙතරම් දරුණු අසාධාරණ  අණක්ද. අම්මාද මමද එකවර තාත්ත දෙස පුදුමයෙන්  බැලුවෙමු . එත් තාත්තාගේ අණකිරිම නැවතත් මතු වුයේ තරමක් දයාබර එහෙත් ස්ථිර සාර හඬකිනි.   'ගිහින් කුඩේ අරන් එන්න;.
මමත් කළුවරේ  දෙපා අද්දමින් ගාට ගාටා යවුල ගහ බල යන්නට පිටත් වුනෙමි. තාත්තා මෙසේ කරන්නේ මගේ බය නැති කරන්නට බව මට නොතේරුණා නොවේ. ඒත්  මෙවන් බියකරු අත්දැකීමක් ලැබූ  කොලු ගැටයෙක් තට්ට තනියමේ ආපසු යැවීම ගැන මම බෙහෙවින් උරණ වී සිටියෙමි.
එදා ගෙදර සිට යවුල ගහ ලඟට ආපසු ගිය ගමන මගේ ජීවිතයටම අමතක නොවන ගමනකි . පළවෙනි යාර දෙතතුන් සීය මම ගියේ අනුකම්පා විරහිත අපේ තාත්තාට හිතින් බැන බැනය . සමගම හොල්මන් යනු බොරු විකාර බව මම මෙතෙක් කල් සිතා සිටි මතයේ යලි එල්බී දිරියක් ගතිමි. හීතලත්, පාළුවත් බයත් නොසලකා හැරීමේ කේන්තියත් විසින් මගේ හිතට ආවේගයක් ගෙන දී තිබිණි . දෙවැනි යාර දෙතුන් සියය මම ගියේ ඕනෑ එකක් වෙද්දෙන් කියා සිතෙන අමුතුම ජවයකිනි. එත් එවැනි අවතාර හොල්මන් කිසිවක් නැතත් දහතුන් හැවිරිදි තමන්ගේ පුතා මෙලෙස අපහසු ගමනක් එවීම ගැන තාත්තා සමග මගේ හිතේ තිබූ අමනාපය නොනිම් එකක් විය
යවුල ගහට යාර සීයක් විතර තිබියදී මට යථාවබෝදය ලැබුනේ රිදී පාටට දිලිසෙමින් පා මද වැටී තුබුණු කුඩේ මිට හමු වීම නිසාය.  දවස් වල අලුතින් වෙළඳ පොලට  'ටික් ' කුඩයේ උද කොටස මිට අතේ තිබියදී ගැලවෙන තරමේ දුර්වල එකක් බව එවිට මට මතක් විය. මහත් සැහැල්ලුවකින් ඊළඟ පියවර කීපය ගිය මට පාර අයිනේ තෙතබරිව උඩබලියාගෙන සිටි  කුඩයේ ඉතිරි කොටසද හමු විය. දැන් මගේ බිය අතුරුදන් වී ඇත. යවුල ගහ ළඟ තනියම පැයක් දෙකක් ඉන්නට පුළුවන. මම මහත් සොම්නසින් ආපසු හැරුනේ තාත්තා ගැන උපන් සෙනෙහසක් සමගය. එත් එම සෙනෙහස දොරේ ගලා ගොස් ජීවිත කාලයටම විඳ  සැනසිය හැකි ප්‍රමෝදයක් බවට පත් වුයේ ඊළඟට මා දුටු දර්ශනයෙනි. මට නොකියාම මගේ පසුපසින් පැමිණි තාත්තා යාර කීපයක් ඔබ්බෙන් හිනැහෙහමින් සිටියේය.


සේයාරුව -දෙව්නි 


5 comments:

  1. කතාව කියවනකොටම මට හිතුන තාත්තා පස්සෙන් ඒවි කියලා. එහෙම නැතුව තාත්තා කෙනෙක් දරුවෙක් අර වගෙ ගමනක් යැවුවොත් අම්මා පිටිපස්සෙන් එන එකත් ඒ වගේම සහතිකයි.. ඒත් දරුවා එක්කම ආවානම් දරුවාට අර අත්දැකීම ලැබෙන්නේ නෑනෙ.. බොහොම බුද්ධිමත් පියෙක්..

    ReplyDelete
  2. ඔව් මචං නැත්නම් අම්මා තාත්තගේ ඔලුව පලන්නත් තිබ්බා උඹව තනියෙන් එව්වට. තාත්තා හොල්මං වලට බය නැති වුනාට... :D

    ReplyDelete
  3. මගේ ප්‍රශ්නය ඟෙයයි.

    එදා ඔබේ පියා සේ අද ඔබ කටයුතු කරනවාද? ඔබේ දරුවෙක්ව මෙලෙස යවනවාද? (පිටුපසින් ඒම කෙසේ වෙතත්)

    ReplyDelete
    Replies
    1. දැන් නම් කීයටවත් එහෙම කරන් නෑ . මනසින් මවාගත් හොල්මන් වලට වඩා බය වෙන්න ඕනි කාරනා ගොඩක් තියෙනවා දැන්.

      Delete
  4. හිත හෙළවුණාම මම කරන්නෙ හොල්මනක් නෙවෙයි කියල මට ම දැනෙනකල් ඒ දිහා බලන් ඉන්න එක.. පුංචි කාලෙත් එහෙමයි....

    දැන් නම් බය නරලොව දුෂ්ට හොල්මන්වලට මිස මළගිය මිනිසුන්ට නෙවෙයි..

    ReplyDelete