Saturday, May 25, 2013

ලොකු අක්කා

ලොකු අක්කාට අලුත් අවුරුද්දට කතා කළා. පවුලේ වැඩිමලා  නිසා  ඉස් ඉස්සෙල්ලාම නිල වශයෙන් කතා කරා මිස මම එතරම්ම හැඟීමකින්  කතා කරේ නෑ මයේ හිතේ. 'මම මේ අවුරුද්දේ පැන්ෂන්  යන්න ඉන්නේ මල්ලි' . ලොකු අක්ක එහෙම කියනකොට මගේ හිතේ කටුවක් ඇනුණා  වගේ දැනෙන්න පටන් ගත්ත. මගේ ළඟ දවටගෙන තිබු තාන්න  මාන්න, මෑත ඉතිහාසයේ ඉදිකරගත් ජීවන මන්දිර, සිරි සොබා අත ඇරපු මගේ හිත අවුරුදු තිස් පහක අතීතයට ඉගිල්ලුනේ හිස් අතින්.ලොකු අක්ක ඉස්සෙල්ලම රස්සාවට යනකොට මම පහේ පන්තියේ. ලොකු අක්කගේ පඩි දවස මගෙත් පඩි දවස.මම ඉස්කෝලේ ඇරලා  බස් ස්ටෑන්ඩ් එකේ හේත්තු වෙලා ඉන්නකොට ලොකු අක්ක ඇවිත් මගේ අතින් අල්ල ගන්නව. ඊට පස්සේ ලෑලි හෝටලෙන් එළවලු  රොටි කනවා. කිරිහලෙන් අය්ස්ක්‍රීම්. රාජු සැලුන් එකෙන් මගේ කොණ්ඩය කප්පන්නේ ඊගාවට.සෙත්සිරියෙන් මට ටී ෂර්ට්  එකක්, සයිබුගෙ කඩෙන් ගෙදරට මාළු, පළතුරු ගන්නේ බැග් මළු වල ඉඩ තියෙන තියන තැන් වල ලොකු අක්කගේ විහිලු කතා හිනා පොකුරු වලිනුත් පුරවන ගමන්. ටව්මේ ඉඳන් ගෙදර යනකන් ලොකු අක්ක ඉස්කෝලේ විස්තර මගෙත් එක්ක කියවනවා. ලොකු අක්ක මුල් කාලේ වැඩ  කරපු හැම ඉස්කොලේකටම මාව එක්කරගෙන ගිහින් තියෙනවා.අවුරුදු කීපයක්ම ඔහොම  සිද්ද  වුණා .එත් කාලයක් එක්ක අපි ඈත් වුණා . සමහර අවුරුදු වල ලොකු අක්ක මම දැක්කේ අවුරුද්දටම  වතාවක් දෙකක්. කතා කරේ මාසෙකට දෙකකට සැරයක්.  එත් දැන්නම් ලොකු අක්කගේ අතේ එල්ලිලා ඉන්න ඕනිකම තදින්ම දැනෙනවා.ගුරුවරියකට පැන්ෂන් යන එක හිතන තරම් ලේසි වැඩක් නොවන බව මට ඒ අතරේම මතක් වුණා . අපේ අම්මා  පැන්ෂන් ගිහින් අවුරුදු ගානක්  යනකම්ම උදේටත්  හවසටත්  වැට ගාවට වෙලා බලා  හිටියේ පොඩි උන් ඉස්කෝලේ යන එන හැටි බලන්න. ඉස්කෝලේ තේ ගෙනිච්ච ලොකු උණු වතුර බෝතලේට දා ගෙන තමයි  කාලයක් යනකම්ම තේ බිව්වේ.මා සුමිතුරු සුදත්ගේ  අම්මා  පැන්ෂන් ගත්ත හැටි මීටත් වඩා සන්වෙදියි. ඉස්කෝලේ ලොකු උත්සවයක් තියල විශ්‍රාම යවපු ගුරුතුමී මෙන්න සාරියකුත් පටලවාගෙන පහුවදා ආයෙමත්  ඉස්කෝලේ එනවා. ඒ පන්තියේ පොඩි උන් රණ්ඩු  කර ගනියි   කියල හිතුණු  නිසාලු.මෙන්න මේ නිසා ලොකු අක්ක  පැන්ෂන් යන දවසේ ගිහින් ලඟින් ඉන්න තිබුනානම් කියල මට හිතෙනවා. 
සේයාරුව -දෙව්නි

5 comments:

  1. අපිටත් විශ්‍රාම යන්න දවසක් එනවා තිලක් !

    ReplyDelete
  2. ලංකාවේ පැන්ෂන් යන වයස තව පස්සට ගියා නම් හොඳයි. මොකද වැඩි දෙනෙකුට ඊට පස්සේ කරන්න දෙයක් නෑ.

    නමුත් රැකියා ගැණ හිතුවොත් පැන්ෂන් වයස පස්සට දැමීම විරැකියාව වැඩිවීමට හේතුවේවි.

    ReplyDelete
    Replies
    1. විශ්‍රාම යැවීම එක පාර නොකර පියවර දෙකකින් වගේ කරන ක්‍රමයක් තිබ්බොත් හොඳයි.

      Delete
  3. මට මතක් වුනේ ලොකු නංගී ගැන.. මා ලියූ සටහනක්... මමත් මේ වගේ පවුලෙ ලොකු අක්කා...

    http://tharurasi.blogspot.com/2013/07/blog-post_25.html

    ReplyDelete