Monday, December 9, 2013

ඉලෙක්ට්‍රෝනික මැ(සි)විල්ල

ගුල්ලා, හඳුනා හා මනප්පු යනුවෙන් අපේ ආදරණීය සරසවි මිතුරෝ   තුන්දෙනෙක් සිටියෝය. මේ තුන් දෙනාම ඕනෑම සොඳුරු කල්ලිගැසීමක පොදු සාධකයක් වුනු අතර එකෙක්ගෙන්වත් කටින් වචනයක් පිටවුයේ ඉතා කලාතුරකිනි. ඉතා තීක්ෂණ සවන් දෙන්නෙකු හා අමුතු පරිණත අද උදහස්  තියෙන පුද්ගලයෙකු වූ ගුල්ලා ඔහුගේ නිරීක්ෂණ හා නිගමන ගැන කෙටි වචන ස්වල්පයක් කතා කරන්නේ දවස අවසානයේය. සමහර විට කතා කරන්නෙම නැත. හඳුනා සාපේක්ෂව ඊට වඩා වචන පිට කරයි. ඒවා  සියුම් උපහාසය මුසු රසවත් වදන්ය. මනප්පුවානම් කතා කරන්නෙම නැති ගානය. එත් ලස්සන හිනාවකින් නිරන්තරයෙන් පිරී තුබූ උගේ මුහුණ හා ඇස්දෙක දකින්නට නැති මිතුරු සමාගමක් හරියට හිල නැති උළුඳු වඩයක් වගේය.

දවසක්  මනප්පුවා හඳුනා  හා ගුල්ලා එක්කාසු වී ඒ උන් තුන් දෙනාම පමණක් සිරීපාදේ බලන්න වන්දනා ගමනක් ගියෝය. සමන් දෙයිහාමුදුරුවනේ කතා කරන්නෙම නැති තුන් දෙනෙක්ගේ ට්‍රිප් එක කොහොම තියෙන්නට ඇත්ද? උන් උන්ගේම කල්පනා ලෝකවල ගැලෙමින් ගමන් ගිහින් ආවා උනාට උන් එද්දී ගමන් විස්තරේ බලා හිටියා වගේ කියන්නට අපේ බොහෝ දෙනෙක් සමත්ව සිටියහ. එවන් මඩ විස්තර අතරින් හොඳම එක මෙහෙමය.

තුන්දෙනාම  නල්ලතන්නියට යනකම්ම කරබාගෙනම ගියෝය. එතෙන්දී ගුල්ලා අනිත් දෙදෙනා අමතා 'එහෙනම් නගිමු' නේද කියා ඇසුවේය. අනිද් දෙන්නම හ්ම් කිව්වෝය. සීත ගඟුල හරියේදී හඳුනා කිව්වේ 'අප්පේ මාර කන්ද නේද' කියලාය. එයටත් අනිත් දෙන්නා හ්ම් කිව්වෝය. පහුවදා පාන්දර සිරීපාදය වැඳපුදාගෙන ඉර සේවය එහෙම බලා අහවර වූ පසු මනප්පුවා 'බහිමු නේද' ඇසුවේය. අනිත් උන් දෙන්නා හ්ම් කිව්වෝය. මේ දවස් දෙකේ මුළු ගමනේම කෙරුණු කතාබහ හැටියට වාර්තාගත වුයේ මේ වචන ටික විතරය.

වැඩිපුර කතා බහ නොකලාට අපේ සුමිතුරන් තිදෙනාගේ  තිබුණු දයාබරම ගති ගුණනම අනුන්ට ඇහුන්කම් දීමත් නිරතුරු  මිතුරන් ඇසුරු කිරීමත්ය .මේ තුන් දෙනාම අද වන විට  වගකිවයුතු නිලතල දරමින් කතාබහින් සිරිසාර වූ පවුල් ජීවිත ගෙවමින් ජීවත් වෙන හැටි බලන්න ලස්සනය.

මම දවසක් වෙනත් රටක සිට ලංකාවට එන්නට ගුවන් යානයේ වාඩිවී සිටිද්දී මා ළඟ සිටි මැදිවියේ නෝනා මහත්මිය  හෙමින් හෙමින් මා හා කතාවට වැටුනාය. ටික වේලාවකදී අප තරමක් කෙටියෙන් දැන හඳුනා ගත්තාට පසු එකිනෙකා කෙරෙහි මිත්‍රශීලී විශ්වාසයක් ඇති වුවාට පසු ඇය ඇසුවේ 'මම  ටිකක් වැඩියෙන් කතා කලාට කමක් නැද්ද මට සෑහෙන දවසකින් කාත් එක්කවත් කතා කරන බැරි උනා' කියලාය.
.
මට නිදහසේ මනෝපාරක්   ගහගෙන යන්නට  තිබුනානම් හොඳයි කියා  මුලදී සිතුනත් ඇය එම ඉල්ලීම කළ  ආචාරශීලී විලාශය නිසා මම ඊට ගරුසර ලෙස කැමැත්ත පළ කලෙමි. ඇය කතා කලේ ඇගේ කුඩා කාලය ගැනමය.ගෙදර කුස්සියේ බංකුවල වාඩී වී රටේ නැති දේවල් කතා කරමින් කෑම කාපු විදිහ ගැන, ඉපනැලි ගොයමේ සරුංගල් ඇරිය හැටි,ලිඳෙන් නාපු හැටි, නෑ ගෙවල් වල ගිය විස්තර මහා ගොඩක් කියද්දී මමද හුම්මිට් තියමින් අසා සිටියෙමි.

ඊළඟට ඇයගේ වත්මන් ජීවිත කතාව දිග හැරියාය. ස්කෑන්ඩිනේවියානු රටක සිය සැමියාද දරු දෙදෙනාද සමග පදිංචිව සිටින ඇය කීවේ 'අපි හතර දෙනා හොඳ සමගියෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඒත් කතා බහ කරන්නේ කලාතුරකින්. අපි ලැප්ටොප් හරි පොතක් හරි දිග අරගෙන දවසම ගෙදර හිටියත් වචනයක්වත් කතා නොකරපු දවස් ඕනා තරම් තියෙනවා . අනේ අපේ ගම ගැන ඒ කාලේ කෑම ගැනනම් කතා කරන්නේ නෑ. අපේ අනිත් තුන් දෙනාටම බෝරින් සබ්ජෙක්ට් එකක් ඒක'.

ඇය මවු රටට යන්නේ අවුරුදු පහකට පස්සේය. ඇය මා අල්ලාගෙන තියෙන්නේ අවුරුදු පහක් තිස්සේ කතා කරන්නට බැරි වූ රස මතකයන් වල ඇරියස් එක තරමකට හෝ  කවර් කරන්නටය.

යුරෝපයේ ජීවත් වෙන හැමෝම මේ වගේ නොවුනත් එහෙම ජීවත් වන පවුල්ද එතෙරත් මෙතෙරත් තිබෙන මම දන්නෙමි.. කතා බහ නොකර සිටීමට කැමති පිරිසක් මැද කතා බහ කරන්නට ආසා ඇති  කාට හෝ කාලාන්තරයක් ඉන්නට ලැබුනොත් එයනම් අබග්ගයකි.

වරක් මම ගුවන් තොටුපලක වාඩි  වී  සිටිද්දී  මා ඉදිරියේ සිටියේ ඉතා වයසක හරිම සිරියාවන්ත ආච්චී කෙනෙකුත් ඇයගේ නව යොවුන් මිනිපිරියත්ය. ඔය දෙදෙනාම එකිනෙකා ගෑවෙන සේ වාඩි  වී පොත් දෙකක් කියවමින් සිටියහ. මිණිපිරී කියවනා පොතේ රසවත් යමක් තිබුනේනම් ඇය වහා සිය අත්තම්මාට ඒ කොටස විස්තර කර කියා දෙන්නීය. ඉන් පසු දෙදෙනාම විනාඩි දෙක තුනක් සිනා වෙති. ආදර ලෙන්ගතුකම් පෙන්වා ගනිති. ආච්චී කියවන පොතේද ඒ වගේ තැන්  හමු වෙයි. ඇය සිය මිනිපිරිය වහා තව ටිකක් ලඟට ඇදගෙන තමන් සොයාගත් රස කොටස කියවයි. ආයිමත් දෙදෙනාම සිනාසෙති. මේ රස ජවනිකා මාලාව   පැයක් තිස්සේ බල බලා මා වින්දේ සොම්නස් සුවයකි.

ඒත් මෑත අවුරුදුවල නම් පවුල් පිටින් මට හමු වන්නේ ටැබ් හා ස්මාර්ට්ෆෝන් දෙස බලාගෙන තනි තනි ලෝකවල සැරිසරන පවුල්ය. ඔවුන් එකිනෙකා කතා කරන්නේ නැත. කියන්නට ඕනෑම නම් යමක් බලෙන් වාගේ කියලා දැම්මාට අනිකා ගණන් ගන්නේ නැත.

ඉලෙක්ට්‍රොනික නිස්සබ්ද පවුල් දැක දැක මම අපේ ගෙදර ගැන කල්පනා කරමි.

දෙයියනේ අපේ ගෙදර පිරිලා තියෙන පොඩි උන් දෙන්නාගේ බොළඳ කතාබස්, සණ්ඩු සරුවල් හා උන්ගේ අම්මාගේ චුරුචුරුව හා හිනා හඬ නැති වෙලා හැමෝම ටැබ් ටිකක් දිහා බලා ඉන්න දවසක් උදා උනොත්.

අනිත් මොන දේ නැති උනත් රණ්ඩු සරුවල් වෙන  චුරු චුරු ගාන, මැසිවිලි කියන, ආයෙත් හිනාවෙන ගෙදරක ජීවත් වෙන්නට ලැබෙනවානම් මම කැමතිය.

Image; Sunday  Times

34 comments:

  1. සන්නිවේදනය සහ වේදනාසන්නිය

    ReplyDelete
  2. අපි බොහෝ දෙනා තවමත් සිතන්නේ ජීවිතය යනු ජීවත් වීමයි. දියුනුව යනු ඉපයීමයි යන්නය. එහෙත් මෙය එය එසේ නොවේය යන්නට ඉතා හොඳ උදාහරණයක් සපයයි..

    මාසයක් දිවා ‍රැ වෙහෙස වී රෝහලේ වැඩකරන මා තවමත් ගෙදර දිව එන්නට සැරසෙන්නේ එක වෙලක් හෝ ගෙදරින් කැමටය..

    ReplyDelete
    Replies
    1. මාසෙකට එක වේලක් හෝ ගෙදරින් කෑම වේලක් කන්නට අපි දුවන්නේ ඒ සමග ප්‍රියයන් සමග කතා බහ කරන්නට ලැබෙන හින්දා නේද. එතකොට කෑම රහ කුසටත් හිතටත් දැනෙනවා

      Delete
  3. කොම්පියුටර් ආපු කාලේ මමත් ඒක ඉස්සරහෙන් හෙල්ලුනේ නැහැ... දවසම ගේම්.... ඒ කාලේ අම්මා කෑ ගැහුවේ “උදේ නැගිට්ට වෙලේ ඉඳන් ඕකේමයි, පාඩම් කරපන්“ කියලා...

    ඊට පස්සේ A/L එහෙම කුඩු කරගෙන ගෙදර ඉද්දි, දුක පිරිමහ ගත්තෙත් ඔය කියන කොම්පියුටරෙන්ම තමා... එතකොට අම්මා තෑ ගැහුවේ “දැන් උඹට ගේම් ගහනවට කවුරු හරි රස්සාවක් දෙනවද?“ කියලා...

    අන්තිමට ඔය කොම්පියුරේ නිසාම ගොඩ ගිහින් අම්මලා මෙහෙ ආපු වෙලාවකත් එයාලා එක්ක කාලේ ගතකරලා නිදාගන්න කලියෙන් පැයක් 2ක් කොඩ් කෑල්ලක් කොටනවාමයි...

    එතකොට අම්මා කියන්නේ “උඹ අපරාදේ ගෑණියෙක් බැන්දේ... කොම්පියුටරක් බැඳගත්තා නම් ඉවරයි“ කියලා....

    ReplyDelete
    Replies
    1. මමත් මෙහෙම ලිව්වට ලැප්ටොප් එකටම ඇලිලා ඉන්නවා කියලා අපේ ගෙදර ඇත්තෝ මට හැමදාම වගේ දොස් කියනවා

      Delete
  4. සිරා කතාව, සෙට් එකත් එක්ක සෙට් වෙලා මහා හයියෙන් කෑ ගහලා කියවන එක තරම් දෙයක් ආයේ ලොවෙත් නෑ

    ReplyDelete
  5. මේ පිලිඹද හොඳ කෙටි චිත්‍රපටයක් මූණු පොතේ තිබුනා මතකයි දැන් ලින්කුව හොයා ගන්න විදිහක් නෑ හොයාගත්ත ගමන් දාන්නං. කොහොමත් කෑ කෝ ගහන්නේ නැති ටැබ් ,ස්මාට් ෆෝන් පරිසරයක් මතක් කරන්නත් කැමති නෑ .

    ReplyDelete
    Replies
    1. ඒ ලින්කුව හම්බුනාම දාපන්. ඒත් ඉවාන් අපි කැමති උනත් නැති උනත් ඔය කියන පරිසරය වේගයෙන් හැදෙමින් පවතිනවා

      Delete
  6. ගුල්ලා උඹ කරන වැඩේ මාත් කරනවා හුගක් වෙලාවට. කතාවට වඩා කාට හරි ඇහුං කං දෙන එක.. ඒක පිනත්...

    ReplyDelete
    Replies
    1. අනුන්ට සවන් දෙන්නට කැමති දෙශකයන් ගැන ඇසීමද සතුටකි

      Delete
  7. වඩාත්ම හාස්‍යෝත්පාදක කාරණයනම් මේ සියළු උපකරණ හරහා ආයෙත් එබී බලන්නේ හැබෑ ජීවිතයටම වීමය.
    උපකරණ තුලින් බලන විට ගැටුම අවම වීම නිසා විය හැකිය
    මෙහෙම ගොහිං හැබෑ ලෝකය තුරන්වී Matrix චිත්‍රපටියේ මෙන් Virtual Reality එකක් තිබ්බානම් හොඳයැයි හිතෙන දවසක් හැමට එයිද?
    අන්තර්ජාලයේ විවිධ සමාජ ජාල තුල අසිපත් ලෙලවන්නාවූ සමහරුන් හැබෑ ජීවිතයේ සුන්දර සිනාවකින් මුහුණ සරසා වචනයක්වත් කථා නොකරන බව තිලක සිත දැක ඇතියැයි සිතමි

    ReplyDelete
    Replies
    1. ඔවු අලුත් තාක්ෂණයක් වෙච්ච බ්ලොග් වල උනත් අපි කරන්නෙත් පරණ කාලේ දේවල් කතා කරන එකනේ.
      සමාජ ජාලවලදීනම් ගොඩක් වෙලාවට මිනිස්සු පෙන්වන්නේ තමන්ගේ හැබෑ මුහුණ නෙවෙයි නේද .

      Delete
    2. @ තිස්ස

      I feel like sitting. No worries

      Delete
  8. අර නෝනාට තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "අපේ ගම" වගේ පොතක් ලියන්නනේ.. එතකොට අර අතීතයේ පහු කළ චරිත එක්කල තනිය ම කතා කළ හැකි..

    අපේ ආච්චී අකුරු දැනගෙන හිටියෙ නැහැ.. හැමදේම දැනගෙන උන්නෙ මතකෙන්.. කාලයක් යද්දි ආච්චිගේ කන් ඇහීමත් දුර්වල වුණා.. මං කියෙව්ව ලස්සන පොත් ආච්චිට කියා දෙන්න විදියක් නැතුව මම හිටියෙ හරි කරදරෙන්... ඊළඟ භවේ ආච්චිට ඉගෙනගන්න ලැබේවි.. එතකොට අපිට ලස්සන ලස්සන පොත් කියවන්න පුළුවනි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳ යෝජනාවක් තමයි කඳු . පරණ මතක සටහන් ලියද්දී ඒවා අසා සිටින්නට කවුරුවත් නෑ කියන පාලුව හිතට එන්නේ නෑ .

      Delete
  9. මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැඩ කරද්දී වෙනත් දෙපාර්තමේන්තුවක එක් නිලධාරියෙක් මාරුවක් ලබාගන්න මගේ ලඟට ආවා,ඔහු මේ මාරුව අවුරුදු ගණනක ඉඳල ඉල්ලල තිබුනත් ලැබිල නෑ හොයන්න ආපුවම කිසි කෙනෙක් ඔහුගෙ දුක් ගැනවිල්ලට ඇහුම්කන් දීලත් නෑ.

    ඔහු මා මුණගැසුණු දවසෙ මගේ ඉස්සරහින් ඉඳගෙන කතාව කියන්න පටන්ගත්තම මම වචනයකින්වත් ඔහුට බාධා නොකර පැයකටත් වඩා දික්වූ ඔහුගෙ දුක් ගැනවිල්ල සාවධානව අසා සිටියා,ඔහුගෙ කතාව අවසන් කලේ මෙහෙමයි,
    මෙච්චර කාලෙකට මේ ඔෆිස් එකේ කිසි කෙනෙක් මගෙ කතාවට ඇහුම්කන් දුන්නෙ නෑ ඒ අයට වෙන වැඩ,නමුත් අද ඔබ මගේ කතාව කරදරයක් කියල හිතන්නෙ නැතිව ඔක්කොම අහගෙන හිටියා,මට මාරුවක් අවශ්‍ය නෑ මගේ හිත සැහැල්ලුයි මම යන්නං.
    අඬන්න අවශ්‍ය කෙනෙකුට එල්ලිලා ඇතිවෙන්න අඬන්න අපේ උරහිස දෙන්න පුලුවන්නං ප්‍රශ්නවලින් සීයට හැත්තෑපහක් නිකම්ම විසඳෙනව කියල මට විශ්වාසයි තිලකෙ,මේ කමෙන්ටුව උඹගෙ කතාවට අදාළ නැත්නං සමාවෙයන්.

    ReplyDelete
    Replies
    1. Halape, This is what the beauty and uniqueness of this blog. Thank you for that astounding insight shared in the most convincing manner.

      Delete
    2. හැලපේ උඹ තමයි හොඳම නිර්වචනය දුන්නේ සමහර කතාවලට සවන් දෙනවා කියන්නේ දුක් කඳුළු හෙලන්ඩ කාට හරි උරහිස දුන්නා වගේ තමයි. ඉඳ හිට හෝ කාගේ හරි උරහිසකට හේත්තු වෙලා දුක තුනී කර ගන්න අපි කාට කාටත් ඕනි වෙනවා . ඒත් කතා බහ නතර වෙච්ච ලෝකයක ඒක කරන්න පුළුවන් වෙයිද? ස්තුතියි රුවන් සංවාදේ සංවේදීව ඉස්සරහට ගෙනියනවාට

      Delete
    3. That's Halapastyle. Everyone caught red handed

      Delete
  10. හපොයි ඔය කෙස් එක මටත් තියෙනව.ඉස්සර බ්ලොග් බලනකොට හාමිනෙ පුල් කෙස් ගෙදරඇවිල්ලත් කතා නැ කියල.එපාර උන්දැට බ්ලොග් කියවන්න පුරුදු කල.දැන් බර බරෙ උන්දැට කියවන්න දෙන්නෙ නැ කියල

    ReplyDelete
    Replies
    1. දෙන්නත් එක්කම ඉස්සෙල්ලා බ්ලොග් කියවලා එහෙම ගෙදර දොරේ වැඩ ටිකත් බෙදාගෙන කෙරුවනම් තමයි වටින්නේ .නැද්ද මචන් ?

      Delete
  11. මේක මේ වෙද්දි සාපෙක්ශයි කියලා මට හිතෙන්නේ. (නිදහසට එහෙමවත් කියන්න එපැයි!!!)
    මම යාළුමිත්‍ර ආශ්‍රයේදි කියවලා ඉවර කරන්නේ නෑ. ඒත් ඒ යාළි මිතුරෝ ඇසුරෝ විතරයි. නැත්නම් බුම්මගෙන ඉන්නවා. ඒකේ නරක කමක් හින්දා නෙමෙයි. ඒ මගේ හැටි. මම නොදන්න මිනිස්සු එක්ක කතා කරන්න මම අකැමතිකම. ඒත් සමහර අවස්ථා තියෙනවා අනිත් හැමෝගේම දුක් අහගෙන ඉන්න. පැය නෙමෙයි දව ගානක් වුනත්. ඒත් ඔය එයාපෝට් වල බස් ස්ටේසන් ට්‍රේන් ස්ටේසන් වල නම් එකෙක් කතා කරොත් බෝම්බ ගහන්න තරමට තරහයි. මට තියෙන්න ඕනේ මගේ පාඩුවේ මගේ විඳීම කරගෙන යන්න. ප්ලේන් වල තමයි ඔය වගේ කතා කරන්න ආස මඟියෝ ඉන්නේ. ඒක අනිත් අයට කරදරයක් වෙනවා කියලාවත් ඒ අය තේරුම් ගන්නේ නෑ. විකල්පයක් නැති තැන මම නම් කලේ මම භාවිතා කරන එයා ලයින් එක මාරු කලා. සමහරවිට අපි නිදහස කියලා හොයන්නෙත් ඔය කියන ගැජමැටික් එක්ක අපේ පාඩුවේ අපේ විදියට ජීවත් වෙන එකම වෙන්නැති. (ආ අමතක වුනා මාත් ගෙදර නම් තනියම ඉන්නේ. ඒත් දැන් නම් කොහොමටවත් හිතාගන්න බෑ තව කීප දෙනෙක් එක්ක එක ගෙයක ජීවත් වෙන්නේ කොහොමද කියලා. එහෙම කියලා මට කා එක්කවත් කතා කරන්න හිතෙන්නේ නෑනේ )

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට නාදුනන මිනිස්සු එක්ක මමත් කතා බහට සෙට් වෙන්නේ අඩුවෙන්. කාලයක් තිස්සේ එකට ඉන්න පෙළක් ඩයල් එක්ක උනත් වැඩිය කතා කරන්න ආසා හිතෙන් නෑ .එත් හිතට ෆිට් වෙන උදවිය ඉස්සරහ අපේ කතා උතුරනවා . මාර නිදහසකුත් දැනෙනවා .

      Delete
  12. මචං උඹගේ රචනා කලාව දිනෙන් දිනම ලස්සන වෙනවා. ගොඩක් සතුටුයි. මගේ ආදර සුභ පැතුම්!
    උඹ ගත්තේ බොහෝම කාලීන ඛේදවාචකයක්. මමත් ඒකේ ආතුරයෙක්දෝ කියලා මට හිතෙනවා. මෑතක ඉදං මමත් බ්ලොගීකරනය හා මුහුණුපොත්කරනය වෙලා වගේ. අපේ නෝනා මාත් එක්ක ටිකක් අමනාපත් උනා. ඉතිං මම බොහෝ වෙලාවට මේවට යන්නේ වැඩ කරන අතර සහ අඹුදරැවෝ අවදි වීමට පෙර.
    දරැවන්ටත් අපි සීමා කරලා තියෙන්නේ x box ගැහිල්ලයි TV බැලිල්ලයි. ඒත් මචං ලංකාවේ වගේ උන්ට එළියට බැහැල නටන්න බෑ. සීත නිසා. ගෙවලුත් මෙහේ පොඩියිනේ. කොතන ගියත් මොනවා හරි අඩුවක් තියෙනවා. උඹට ජය මචෝ!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් තිස්සෙම කරන මේ අගය කිරීම්වලට . මට හිතෙන්නේ නම් මගේ ලියවිල්ලේ සෑහෙන අඩුපාඩුත් තියෙනවා.
      උඹේ බිරින්දෑ උඹ ලියන කවි කියවන නිසා උඹ නෙට් එකේ එල්ලිලා ඉන්නවට වැඩිය දොස් කියන එකක් නෑ ,

      Delete
  13. මම පොඩි කාලෙ ඉඳලා මාර විදියට කියවන කෙනෙක්... වටේ පිටේ ඉන්න උන් එදා ඉඳන් කියන්නෙ චටර් ‌බොක්ස් එක කියල.. උන් එදා අනාවැකි කිව්ව කවදහරි උඹ නහින්නෙ ඔය කට හින්දමයි කියල.. සමහර දවසට ගෙදර එනකොට දවසම කියෝල කට රිදෙනව... ඒත් පුටුවකට වෙලා දවසෙම කරපු කියපු දේවල් අම්මට කියනව...

    බැන්දට පස්සෙ ඕක කණපිට හැරවුන.. දවසට වචන දහයක්වත් කතා කරන්නෙ නෑ ගොඩක් වෙලාවට... ඒක මාර පීඩනයක් උනා අන්තිමට මට... අන්තිමට මම පටන් ගත්ත කවදාවත් බලලා නැති දෙමල ෆිල්ම් බලලා හවස අපේ මහත්තයා ගෙදර ආවම ඒ මුළු ෆිල්ම් එකේම කතාව එයාට කියන්න.. වෙලාවකට එයාට නින්ද යනව මං කතාව කියද්දි.. එහෙම නැත්තං “ කෙටියෙන් කෙටියෙන්” කියනව... එතකොට මාර කේන්තියි මට...

    ඔය අතරෙ දවසක් එයාලගෙ නෑයො කට්ට්යකගෙ ගෙදර පාටියකට ගියා.. මං එතකොට එයාලගෙ නෑයෝ ගොඩක් අය ගැන දැනගෙන හිටියෙ නෑ... ඒත් ඒකෙදි මගේ ළඟින් ඉඳගත්ත ටිකක් වයසක ඇන්ටි කෙනෙක් එක්ක මම මුළු පාටියෙම වෙලාවෙ කතා කළා... අපි කතා කළේ ඇමරිකාව ගැනයි, ලිබියාව ගැනයි ෂිපිං ගැනයි අරවා මේවා... ඒ කතාව ඉවරවෙනකොට අපි දෙන්න හොඳටම සුහද වෙලා... මං ඔය වෙලාවෙ දැක්ක අපේ මහත්තය මහ අමුතු විදියට මගෙ දිහා බල බල ඉන්නව.. පාටිය ඉවර වෙලා ගෙදර යන ගමන් මගෙන් අහනවා ඔයා මොනාද එයා එක්ක ඔච්චර කියෙව්වෙ කියලා.. මං කිව්ව ඉන්ටනැෂනල් ඉන්සිඩන්ට් ගැන කියල.. ඒ පාර කියනව එයාල ටිකක් ලොකු ඔලුවෙන් ඉන්නෙ, ඒක නිසා අපි වැඩිය කතාබහ කරන්න යන්නෙ නෑ කියල.. මට නං ඉතිං එහෙම ලොකු ඔලුවක් පෙනුනෙ නෑ කියල මං කතාව නැවැත්තුව...

    ඔය මීට අවුරුදු 2කකට විතර කලින්.. පස්සෙ කම්පියුටරේ හම්බුනාම මම මේකෙ රිංගලා ඉන්න පටන් ගත්ත.. අන්න එතකොට එයාට තේරුනා මම කතා නොකර ඉන්නකොට එයාට පාලු බව.. දැං මං කියෝන ඕනෙ දෙයක් කටත් ඇරන් අහන් ඉන්නවා.. හැබැයි මං දැං වැඩිය කියවන්නෙ නෑ... හි හි...

    ReplyDelete
    Replies
    1. කොයි ගෙදරත් මාය්යා තමයි වැඩිපුර කතා කරන්නේ. ඒක කන්දොස්කිරියාවක් කන්කරච්චරයක් වගේ පෙනුනත් ඒක ඇහෙන් නැතුව වරුවක් ගෙදර ඉන්න බෑ මාර පාලුයි. තව ඔය සමහරවෙලාවට මොකකට හරි ඩෝන් ගිහිල්ල දවසක් දෙකක් විතර තනි වචනෙන් විතරක් උත්තර දෙන දවස් තියෙනවනේ. අප්පා ඒ වගේ දවස් ගෙවා ගන්න තියෙන අමාරුව.

      Delete
  14. අර ආච්චියි මිනිබිරියයි වගේ දසුන් දැක්කාම මහා ප්‍රීතියක් දැනෙන්නේ. මට හිතෙනවා අපේ පරම්පරාවෙන් පස්සේ ඒවා දකින්න ලැබෙයිද දන්නේ නැහැ කියලා. මොනවා උනත් අපිත් ටිකෙන් ටික ඔය තත්වයට ඇදෙමින් පවතිනවා.

    එකම දරුවා ඈත පලාතක ඉගෙනගන්න ගිහින්..අල්ලපු ගෙදර අයවත් ඉන්නවද නැද්ද දන්නේ නැහැ. හස්බන්ඩ් වැඩ වෙලාවට වයිෆ් ගෙදර ,අනිත් වෙලාවට ඒකේ අනිත් පැත්ත. රටින් පිටවෙලා ඉන්න අයගේ කතන්දරේ රටේ ඉන්න අයට වඩා ශෝකනීයයි.

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉමු අරූ . සමහරවිට මේ ට්‍රෙන්ඩ් එකට අපේ ළමයින් හැඩ ගැහේවි. අපිටත් ඒක ඉවසන්න වෙනවා .එහෙම බැරි වුනොත් තමයි ප්‍රශ්නේ.

      Delete
  15. Her චිත්‍රපටිය මේකතාවට ගොඩාක් සම්බන්ධයි

    ReplyDelete