ඔවිනි ඔය පුටුව පද්දන්න එපා ඔයා වැටෙයි
ඔවිනි තාම හෝම්වර්ක් අල්ලලාවත් නෑ
ඔවිනි දවල් කෑම එක එහෙම්මම ගෙනල්ලනේ. බෑග් එකත් එක්ක පිලී ගඳයි .
ඔවිනි තාම යුනිෆෝම් එක පිටින් කීයටද ළමයෝ ඇඟ හෝදන්නේ
ඔවිනි අන්න පීරිසි කෝප්පයක් කඩලා සද්ද නැතිව ඉන්නවා
ඔවිනි අක්කට කරදර කරන්න එපා එයා පාඩම් කරනවනේ
ඔවිනි ඔවිනි ඔවිනි ඔවිනි මුළු ගෙදරම ඔවිනි
මගදී හමු වූ නෑදෑයන් යාලු මිත්‍රයන් කවුරුත් අහන්නේ කොහොමද ඔවිනිලා එහෙම සනීපෙන් ඉන්නවාද කියලාය.
දැන් අපේ ගෙදරට සමහරු කියන්නේ ඔවිනිලා ගෙදර කියලාය.
මීට අවුරුදු දෙක තුනකට කලින් දවසක් මම දාඩිය දමා තිබු කමිසය ගලවා පුටු ඇන්දේ එළා පත්තරය කියවමින් සිටියෙමි. ඊළඟ පුටුවට ළමා පත්තරයක් සමග පැමිණි ඔවිනි මා කළ ලෙසම පුංචි ටී ෂර්ටය ගලවා පුටු ඇන්දේ දමා පත්තරය කියවන්නට පටන් ගත්තාය .
තාත්තේ තාත්තේ ඊළඟට ඇගේ කරච්චලය පටන් ගත්තාය.
තාත්තා දන්නවද වැඩක් මෙහෙම ෂර්ට් එක ගලවාගෙන නිදහසේ ඉන්න පුළුවන් මේ ගෙදරින්ම තාත්තටයි මටයි විතරනේ. මටත් තව ටික කාලෙකින් එහෙම ඉන්න බැරි වෙනවා.
ගැහැණු ළමයින් වයසින් වැඩෙන කතාව ඇය දුටු සුන්දර විලාශය ඒ විදිහය . ඇයගේ අලුත් උපන් දිනයක් එළඹෙන විට මට සතුටක් සේම බර කල්පනාවක්ද හිතට එන්නේය. අපි හැමෝම ආපහු වතාවක් ළමා වියට අතින් අල්ලාගෙන යන්නට සිටින්නේ ඇයයි. ඒ තව අවුරුදු කීයකටද?
මේ සිද්දිය වෙනකොට ඇය සිටියේ හතරේ පංතියේය. මම ඒ දවස්වල ඔෆිස් එකේ ඉවර කරන්නට බැරි වී ගෙදරත් ගෙනා වැඩ ගොන්නකට යටවී සිටියෙමි. ඇස හා හිත තිස්සෙම තිබ්බේ ලප්ටොප් එක මතය .
මා ලඟින් ගිය ඔවිනීගේ උපන්දිනය ළඟ එන බව මට යන්තමින් මතක තිබිණි . මොනාද දුවේ ඔයාට උපන් දිනේට ඕනි?. මම පරිගණක තිරයේ දෑස් ඔබාගෙනම ඇසුවෙමි.ඇය මොකුත් නොකියාම පිළිකන්න පැත්තට ගියාය. මගේ සිහිකල්පනාව මදකට ලැප්ටොප් එකෙන් මිදීනි. මම ඇය සොයා ගියෙමි.
පිළිකන්නේ බිත්තිය පහුරු ගාමින් සිටි ඇගේ අතින් මම අල්ලා ගත්තෙමි .
කියන්න පුතේ මොකක්ද ඕනි ඔයාට අනිද්දනේ බර්ත් ඩේ එක.?
ඇය මහා පුදුම ප්‍රශ්නයක් මගෙන් ඇසුවාය.
තාත්තේ කාටවත් තුවාල වෙන්නැති පොඩි බෝම්බයක් කීයක් විතර වෙයිද?
දෙයි හාමුදුරුවනේ මේ කෙල්ල අහන්නේ මොකක්ද? මම තෝන්තුවට පත් වීමි.
මොකද මොකද පැටියෝ එහෙම එකක් ඉල්ලන්නේ?
නෑ ඔය තාත්තගේ ලැප්ටොප් එකට ගහන්න හිතෙනවා මට පුංචි බෝම්බෙකින්.
මේ සිද්දියෙන් අවුරුදු කීපයක් ගතවීත් මම අදද ඇයගෙන් උපන් දිනයට ඕනා මොනවාදැයි අසන්නට බය වෙමි.
ඒත් ගිය ඉරිදාත් මට ඒ ප්‍රශ්නයම අහන්නට ඕනෑ වුනේය.
දවල් කන්නට පුටුවෙන් නැගෙන්නට පෙර මම ගෙදරට කතා කළෙමි.
ෆෝන් එක ගත්තේ ලොකු දොනීය.
ගත්ත ගමන් ඇය කිව්වේ 'බලන්නකෝ තාත්තේ අර දෙන්නා රණ්ඩු වෙනවා පොඩි ළමයි දෙන්නෙක් වගේ මට වැඩක් කර ගන්නත් නෑනේ . ලොකු දෝනි අර දෙන්නා කිව්වේ ඔවිනීට හා අම්මාටය.
'කතා කරන්න අම්මට'
අම්මා ආවාය. ඔවිනීට හිමි චෝදනා අහුරු අහුරු රිසීවරය හරහා ගලා එන්නට විය.
බලන්නකෝ අනේ ඔවිනි උදේ ඉඳන් තාම මුණ හොදලත් නෑ. උදේ වත්තේ නටලා නටලා ආවා . දැන් අන්න ටී වී එක ලඟින් හෙල්ලෙන් නෑ . ඔයාවත් ටිකක් සැරෙන් කියලා බලන්න .
දෙන්න ඔවිනිට .මම කිව්වේ ඇත්තටම ඇයට තදින් අවවාද කරන්නට ඕනැ කියා හිතිලාය.
ඔවිනි ලයින් එකට ආවාය.
තාත්ති තාත්ති ඔයා කෑම කාලද ඉන්නේ ? ඇය සුපුරුදු හුරතලයෙන් ඇසුවාය.
ඉන්පසු අපේ කාන්තාර වැඩබිම සිසාරා සුවදායක හුළඟක් හමා ගිය අතර කොහෙන්දෝ පාත් වූ හිරිපොදයකට මම තෙමී ගියෙමි. අපේ වත්තේ ජෑම් ගස පුරා කිචි බිචි ගානා කුරුළු කිරිල්ලන්ගේ ශබ්දය මා අසලින්ම ඇසෙන්නට පටන් ගත්තේය.
ටික වෙලාවකින් මම කෑම කාමරයට ගියෙමි.
එදා බත් එකට ලුණු වැඩි වී ඇති වගක් මට දැනුනේය.
(චිත්‍රය ඇන්දේ ඔවිනී)
තිලකේ මේ ඊයෙ පෙරේදා කාලෙකට පස්සේ මම මගේ යාළුවෙකුට කතා කලා. එයාගෙත් ඉන්නවා පොඩි කෙල්ලෙක් වයස අවුරුදු තුනක. මම ඉතින් ඒ පොඩි එකා ගැන අහන ගමන් කොහොමද මොකද දැන් එයා කරන්නේ කියලා ඇහුවම මගේ යාළුවා මෙහෙම කීවේ. අම්මා ඔයාට ඉතින් දවස් පුරාම එරාස්මා එරාස්මා, එරාස්මා නැත්නම් කුමුදු කුමුදු කුමුදු.(කුමුදු කියන්නේ යාළුවගේ හස්බන්ඩ්.) වෙන ඔයාට කිසිම දෙයක් නෑනේ ඔය දෙක කියවනවා ඇරෙන්න කියලා කීවා කියලා. ඒක අහපු වෙලේ ඉඳන් මට තාමත් හිනා. ආයේ එයා ස්කෝලේ යනකොට (ඔව් දැන් හැදෙන ළමයි ලංකාවේ අවුරුදු එක හමාරේද කොහෙද ඉඳන් ස්කෝලේ යනවා) එයාගේ ඩැඩා එක්ක හොරෙන් කේ එෆ් සී යනවලු. අම්මට කියන්න එපා කියලා ඩැඩාව පොරොන්දු කරගෙන. කොයි තරම් ඇහුවම් කොහෙද පුතේ අද ඔයාලා ගියේ කීවට කෙල්ල කිසිදෙයක් කියන්නේ නෑලු. ඔන්න දැන් හැදෙන පොඩි එවුන්.
ReplyDeleteළමයින්ට ඕනෙවට වඩා නිදහස අහිමිකරන වටපිටාවක් ලංකාවේ තියෙන්නේ. එතකොට පොඩි එවුන් මෙහෙමවත් ඇරියස් ගන්න එක සාධාරණයි කියලයි මාත් හිතන්නේ. ඔවිනිලා ඉක්මනට ලොකු නොවී ඉන්නකම් ලොකු සහනයක් අපි හැමෝටම තියෙනවා. ඊට පස්සේ අපිට බෝම්බ ගැහුවත් ලොකු වුනාම උන් ගණන් ගන්නවායැ.
එයාගේ උපන්දිනේ නම් සුභ උපන්දිනයක් ඔවිනිට....
ස්තුතියි රන්ගි. අද ඔවිනිගේ උපන් දිනේ තමයි .
Deleteඔවිනිටත් තියෙනවා අයිස්ක්‍රීම් කන්න එපා කියල ඩොක්ටගෙන් තහනමක් .නිතර සෙම් ලෙඩ එන නිසා. මම නම් දෙන්න එපා කියල තියෙන්නේ. ඒත් ඔවිනි අම්මාවයි සීයවයි ෂේප් කරගෙන මට කියන්න එපා කියලා කොහොමහරි අයිස්ක්‍රීම් නම් කනවා.
මටත් වෙලා තියෙන්නෙත් ඕකමයි , මේකිලා දෙන්නා , කාව හරි මෝරා කරගන ( වැඩිහරියක් අහුවෙන්නේ උන්ගේ අම්මම තමා ) අයිස් කිරිං කනවා ,
Deleteඉතිං පලයන්කෝ් ගෙදර ඇවිත් නෙබියුලයිස් කරන්ඩ
රෑ කෑම කාල ඉවර වෙලා කතා කරමින් ඉන්‍න ගමන් මම නිකමට තිලක සිත ක්‍ලික් කරා. ඕවිනියගෙ කතාව එක සීරුවට හිටිවන පරිවර්‍තනය කරලා මගේ හිතවතියට කිව්‍වා. කතාව ඉවර වෙනකොට ඇගෙ ඇස් වල කඳුලු. මම ඇහුව "ඇයි ඇස් වලට කඳුලු ආවෙ?" කියල. ඇය කිව්‍වා "ඒකෙ තියෙන සරල සහ අවංක සුන්‍දරත්‍වය නිසා" කියල. අපි කාපු බීපුව අස් කරන ගමන් ඇය තාමත් සුරුස් සුරුස් ගාමින් නහය අදිනව මට ඇහෙනව...
ReplyDeleteඋඹ වගේම මිෂෙලුත් මගේ සහ මේ බ්ලොග් එකේ ළඟම හිතවතුන් වෙලා මචං . ඒ හිතවත්කම හැතැප්ම දසදහස් ගානකින් ඈත හිටියත් , හදවතටම දැනෙනවා
Deleteඅන්තිම ටික කියවනකොට මටත් දිවට ලුණු රහක් දැනුනා...:(
ReplyDeleteඔව්නි ගැන කියවනකොට එයා ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ ඒ හැම වචනයකින්ම පිටාර ගලනවා තිලක. ඔයාට විතරයි මේ විදියට ලියන්ට පුලුවන් කියලා හිතුණේ එතකොටයි.
ස්තුතියි පොඩ්ඩි මේ රස විඳීමට,අගය කිරීමට .මොනා හරි ලියන්න කලින් දවසක් දෙකක් හිතින් විඳලා ලියන නිසා වෙන්න ඇති මට දැනෙන ලුණු රස ඔයාලටත් දැනෙන්නේ.
Deleteමොනව කියන්නද බන්.මගෙ දුවල දෙන්න මෙතන දගලනව.එව බලාගෙන මෙක කියෙවුවම හිත හිස්වෙලා ගියා
ReplyDeleteදුවල දෙන්නා ආදරෙන් මතක් කරා කියපන්. දවසක අපි ලැස්ති කරමු මචන් බ්ලොග් ලියන්නන්ගේ දූ දරු හමුවක්.
Deleteආන්න නියම වැඩක්
Deleteහප්පච්චියේ
Deleteබ්ලොග් ලියන්නන්ගේ දූ දරු හමුවක්.
නෙමෙයි
'' දු '' හමුවක් තමා කරන්න වෙන්නේ
චිත්‍රය නම් ඉස්තරන්. සුපිරි චිත්‍රයක්... කතාවත් රහයි..
ReplyDeleteබොහොම ස්තුතියි මචන් . උඹේ සින්ඩිය හරහා මට සෑහෙන රසික පිරිසකුත් එකතු වෙනවා, ඒ අතින් උඹ අපි හැමෝටම ලොකු සේවයක් කරනවා
Deleteමම ඒකනේ බං ඔය සන්තෑසි ගෙදර ගෙනියන්නැත්තේ.. ඔපීසියෙදි විතරයි.. චිත්තරේ නං එළ
ReplyDeleteඅන්න එකනේ උඹට මීටරේ තියනවා. චිත්‍රය නම්,, හොඳයි කිව්වේ කතාව හොඳ මදි වගේද ?D
Deleteහැක් හැක්... බොටත් හිතෙන දේවල්..
Deleteචිත්‍රය නං ලස්සනයි...
ReplyDeleteඔවිනිට හොට චිතු අදින්න පුලුවං වෙයි...
අපූරුවටකතාව ලියල තියෙනව..
හැබෑ අත්දැකීමක් වුණත් කියවන්න කම්මැලි නොහිතෙන්න ලියල තියෙනව
බොහොම ස්තුතියි මහේෂ්. අවන්හල පැත්තේ අද හෙටම එනවා .ජය !!
Deleteමේ කතාවට නොයෙක් දේවල් කියලා එක රසයට බාධා කරන්න ඕනේ නෑ... හදවතින්ම විඳිනදේ අකුරුවලට පෙරලන්න හමොටම් බෑ. ඔබ ඒ අතින් සුපිරියි , ඒ හැගීම අපිත් වින්දා වගේ දැනුනා .. ස්තුතියි තිලකයියා
ReplyDeleteස්තුතියි ඉවාන් මලේ . උඹ වගේ දක්ෂ ලියන්නෙක්ගෙන් මෙහෙම අහන්න ලැබෙන එක ලොකු සතුටක් .
Deleteඔචිනිට සුභ පසුවූ උපන් දිනයක් වේවා.
ReplyDeleteමම හිතා උන්නේ ඔචිනි teenager කෙනෙක් කියලා.
ස්තුතියි මචන් උඹ පරක්කු නෑ . හරි දවසේ තමයි සුබ පැතුවේ. ඔවිනිගේ අක්කා ගැන තමයි මම කලින් ලියල තිබ්බේ .
Deleteඔක්කොමත් හරි මේ ළමයින්ට දැං දාන නම් තමා හිනා වෙලා පණ යන්නෙ... මං මැද හරියට එනකම්ම හිතුවෙ ඔව්නි කියන්නෙ විහිළුවට කියන නමක් කියල... හැබැයි ඉතිං ඕක ටිකක් හොඳයි.. අපෙන් කේක් හදා ගන්න එන සමහර අම්මලා ළමයින්ට දාලා තියෙන නම අපිටත් කියන්න ලැජ්ජා වෙනව.. ඉතිං ළමයින්ට කොහොම හිතෙයිද ඉස්සරහට....
ReplyDeleteලස්සන චිත්තරේ... ඒත් ඇඟිලි පුරුදු වෙන්න නං කොම් එකේ චිත්‍ර අඳිනවට වඩා පාට පැන්සල්, පැස්ටල් වගේ ඒවා පාවිච්චි කරන එකයි හොඳ කියල මං හිතන්නෙ...
ඔය වයසෙ කට්ටියගේ වැඩ නං ඉතිං කියලා ඉවර කරන්න බෑ නේ.. ඒ තරං ඒවා තියෙනව... විශේෂයෙන්ම කට්ට කයිරාටික හුරතල් වැඩ....හි හි
සුබ උපන් දිනයක් වේවා ඔව්නිට.....
ස්තුතියි හිරු, ඔව් අත හුරු වෙන්න නම් කොම් එකට කලින් අතින් අඳින්න ඕනි තමයි. ඒ නිසා ඔවිනි දිය සායම් වහා පැස්ටල් වලිනුයි අඳිනවා,
Deleteඅර නමේ කතාවට නම් අනිනවා ටොක්කක් හොඳද , ඔ +විනි කියන නමේ තේරුම උසස් රස වින්දනයක් ඇති තැනැත්තිය කියන එක .
ඒත් ඉතින් ලෝක ප්‍රසිද්ද සුද්දෝ ඉන්නේ කපුටන්ගේ නම් සත්තුන්ගේ නම් හිට තියෙන, මාටින් ක්‍රෝ , ලෙනාඩ් වුල්ෆ් , තව ඉන්නේ කාටර්ලා ටේලර්ලා හිට. අපි තමයි ලොකු තේරුම් තියෙන නම් හොයන්නේ .D
තිලකේ දැසේ කඳුළු බේරෙම්න් මේ කතාව කියෙව්වේ....ඒ තරමටම ළමා ලෝකය තේරුම් ගෙන ලියන ලද සටහනක්. පිය සෙනෙහස දුවනියකට දැනෙන විදිය කියන්න තවත් මොන වදන්ද?
ReplyDeleteසුබ උපන් දිනයක් ඔවිනි දුවණි.
බොහොමත්ම ස්තුතියි මචන්, උඹත් බොහොම සංවේදී තාත්තා කෙනෙක් කියලා මට තේරෙනවා
Deleteමිනිස්සුන්ව අඬවන්න එපා බං.. මගෙ කෙල්ල මං දකින්නෙ අවුරුද්දකට දෙපාරයි..
ReplyDeleteදැනෙන දේ ලියනවා මචන්. අපි ඔක්කොගෙම කතාව එක වගේ නිසා මේක දැනෙනවා . දුව ආදරෙන් මතක් කරා කියන්න
Deleteතිලකෙගේ කතාවෙ දරු සෙනෙහස දෝර ගලනවා,ඒ සෙනෙහස් වැස්සට අපිත් තෙමුනා.ඔවිනිගේ චිත්‍ර දැන් ගොඩක් දියුණුයි කියල කියන්න
ReplyDeleteබොහොම ස්තුතියි මචන් . ඔවිනි මේක කියවනවා , එයා අද හරි සතුටින් ඉන්නේ
Deleteඇත්තට ඉතින් දරුවෝ එක්ක ඉද්දි වෙලාව යනව දැනෙන්නෙත් නැතිව ඇති නේද ..? මට එක තෙරුනේ ළමා රෝග වාට්‍ටුවේ ටිකක් බබාල එක්ක වැඩි පුර එකල් ගත කරන්න ගත්තාම තමයි
ReplyDeleteඔහොම හිතන්න පුලුවන්නම් ඔබත් වාසනාවන්තයි ඔබ අසල ගැවසෙන දරුවනුත් වාසනාවන්තයි
Deleteවැඩිය ඕන නැහැ තිලකෙ අපේ කෙල්ල දැන් 18 යි ඒත් ත්වමත් ඒකිට හිතුනහම වඩාගන්නයි ලුනුගෙනියන්නයි කියනවා.
ReplyDeleteඒක ඇත්ත . මමත් තාම අම්මට කියලා බත් කටක් කවා ගන්න ආසයි
Deleteබොහොම ආදරෙන් ලියලා තියෙන්නේ. දුව ගෙදර නැති පාළුව තවත් වැඩිවුනා. ඔවිනිව අපිත් මතක් කරා කියපන්.
ReplyDeleteස්තුතියි මචන් .පාළුව යන්නත් එක්ක මොනා හරි තව ලියපන් . ළඟක හිටියානම් ඇවිත් බලලා යන්න තිබ්බා .
Deleteඔවිනිගෙ චිත්‍රය හරිම ලස්සනයි.ඇගේ කෙළිලොල් බව ඔබ කදිමට අකුරු කරලා....
ReplyDeleteබොහොම ස්තුතියි. මමත් ගී පවුර පැත්තේ එනවා ලස්සන කවියක් කියවන්න ආස හිතුනාම
Deleteඔචිනිගෙ අනාගතයට සුභ පතනව බොක්කෙන්ම තිලකේ..
ReplyDeleteබොහොම ස්තුතියි උමේෂ් මේ සුහද පැතුමට
Deleteකොහොමත් තාත්තලා ආදරේම දුවලට ලු! :)
ReplyDeleteපංකාදු පහයි චිත්තරේ!
එහෙමත් කතාවක් තියෙනවා. තැන්කිව්
Deleteනියම කතාව :) ....
ReplyDeleteස්තුතියි . තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා
Deleteවචන පේළි දෙකකින් හිනාවක් කඳුළක් බවට පෙරළපු සංවේදී ලියවිල්ලක් තිලක...
ReplyDeleteස්තුතියි තිසර . ලියාගෙන යද්දි දැනෙන්නෙත් ඔහොමයි . හිනාව කඳුල . දෙකම සුන්දරයි
Deleteහරිම සංවේදියි තිලකේ. පොඩි එවුන් කෙතරම් අහිංසකව, නිදහස්ව හා නිර්භයව හිතනවද? මගේ ඇස් තෙත්වුනා බං.
ReplyDeleteමේ වගේම මම father of the bride චිත්‍රපටය බලද්දී කඳුළු සැලුවා. ඒකේ කෑම මේසෙදි දුව ඇවිත් තාත්තට කියනවා එයා පෙම්වතකු සොයාගත් බවත් ඔහු හා විවාහ වෙන්නට තීරනය කළ බවත්. තාත්තට එකපාරටම පේන්නේ ඒ දුව පුංචිකාලේ ඒ පුටුවෙම වාඩි වෙලා ඉන්නවා වගේ. මේක ලියද්දිත් හද සසල වෙනවා තිලකේ.
අනික "දෑතේ එල්ලී මියුරැ කතා කී සුරතල් දියණියනේ, කලයේ රිය සක මහළු මගෙන් ඔබ ඈතට ගෙනයන්නේ" කියන අමරදේවයන්ගේ ගීතය.
උඹට ජයම වේවා! දියණියගේ චිත්‍රය පංකාදුයි.
ස්තුතියි මචන් . අර කියන චිත්‍රපටිය මම බලලා නැ . හොයාගෙන බලන්න ඕනි
Deleteජීවිතය නම් මෙයමැයි.
ReplyDeleteචිත්‍රෙ ලස්සනයි කියන්න. සුභපැතුව කියලත් දෝනිට කි්යන්න
ඒක ඇත්ත . ජීවිතේ එක්තරා කාලයක් . ස්තුතියි රාජ්
Deleteමගේ කොමෙන්ටුව සරත් ලංකාප්‍රිය අයියා කලින් දමා තිබීම පිලිබඳ මගේ බලවත් මෙවුවා එක
ReplyDeleteබලන්නකෝ සරත් ඉස්සර වුනා . බලාගෙන ගියාම අපි ඔක්කොගෙම කතාව එකක්මනේ
Delete//ඔවිනි ඔය පුටුව පද්දන්න එපා ඔයා වැටෙයි
ReplyDeleteඔවිනි තාම හෝම්වර්ක් අල්ලලාවත් නෑ
ඔවිනි දවල් කෑම එක එහෙම්මම ගෙනල්ලනේ. බෑග් එකත් එක්ක පිලී ගඳයි .
ඔවිනි තාම යුනිෆෝම් එක පිටින් කීයටද ළමයෝ ඇඟ හෝදන්නේ
ඔවිනි අන්න පීරිසි කෝප්පයක් කඩලා සද්ද නැතිව ඉන්නවා
ඔවිනි අක්කට කරදර කරන්න එපා එයා පාඩම් කරනවනේ
ඔවිනි ඔවිනි ඔවිනි ඔවිනි මුළු ගෙදරම ඔවිනි //
ඔය ඔවිනි කියන තැනට දාහං අයියේ චමෝදි කියන නම , ( අපේ ගෙදර සින්දුව ඒක )
මනෝජි ලොකු වෙනකොටනං මට ගෙදර දාලා කොහේහරි යන්න වෙනවා
අනේ මනෝජිට එහෙම කියන්න එපා . ඔය දඟ මලු දාලා දවසක්වත් ගිහින් ඉන්නේ කොහොමද බන් ?
Deleteසුබ උපන් දිනයක් ඔවිනිට!!!!
ReplyDeleteඊ -මේල් සබ්ස්ක්‍රයිබ් කලට තිලකෙ මොකද මන්ද වැඩ කරන්නෙ නෑ :(
බොහොම ස්තුතියි රවී .ඊ මේල් සබ්ස්ක්‍රයිබ් වැඩේ මටත් අහු වුන් නෑ . මන් බලන්නන් හෙමිහිට
Deleteඔවිනිට සුබ උපන් දිනයක්.. තාත්තගේ ආදරේ අපූරුවට අකුරු කරලා තියනවා.. ඔවිනිගේ චිත්‍රත් හරිම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තුතියි බලල් හාමිනේ. සුබපැතුම දැක ඔවිනි සතුටු උනා වගේම ,ලියමන ගැන කියාපු දේට මටත් සතුටුයි
Deleteබොහොම අපූරුයි තිලක අයියේ බොහොම අපූරුයි..පොඩි එකීට සුබ උපන්දිනයක් වේවා..
ReplyDeleteබොහොම ස්තුතියි පත්තර මල්ලි. මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි
Deleteතිලක. සිතට අහම්බෙකින් ගොඩ වෑදුනා
ReplyDeleteමගුල් ගෙදර විස්තරයට සිත බෑදුනා
දෙව්නි නුබෙ පලුවක්මයි මට සිතුනා
ඔවිනිගෙ කතාවට නෙත කදුලින් පිරෑනා
දරෑවන් සුන්දරය දගමුත් දයාබර
පියවරෑ සිටින්නේ ඉදහිට හෑගුම්බර
නුබවන් පියෙකු ලද දුවරෑ පින්කාර
පතනෙමි ජය සතුට පවුලට තිරසාර