තිලක සිත

Thoughts of Tilakasiri Ekanayaka; tekanayaka@gmail.com. ජීවිත අත්දැකීම් හෝ ඇසූ දුටු දේ අනුසාරයෙන් ලියූ කෙටි කතන්දර එකතුවකි . පුද්ගල නාම,ස්ථාන නාම හා කාල වකවානු බොහෝවිට සත්‍ය ඒවා නොවේ

Tuesday, December 31, 2019

දොළොස් මහෙන් උපන් බබා



අලුත් අවුරුද්ද සුබ වෙන්න නම් ගෙවිච්ච  අවුරුද්ද ගැන මොන විදිහේ හරි තෘප්තිමත් අදහසක් තියෙන්න ඕනි. ලියන්නට ගොඩක් දේ හිතේ තියෙන නිසා 2020 අවුරුද්ද මටනම් සුබ වෙයි.. සතුටු, අසතුටු  ජීවිත අත්දැකීම් ගොඩක් ලැබුණු  නිසාත් නරක හොඳ කරගන්න සටන් කරපු නිසාත්  2019 අවුරුද්දේ ජීවිතයට අගයක් එකතු වුනා . ඒ ගැන සතුටුයි.  මේ නයින් ගත්විට ඔබටත් අනිවාර්යයෙන්ම ලැබෙන අවුරුද්ද සුබ වේවි . නව  අවුරුද්දේ දුක සැප දරාගෙන සුපුරුදු සටනේ යෙදෙන අතරතුර හැකි විදිහට අපේ සම්බන්දෙ තියාගමු , අඩු ගානේ  මොනා හරි පම්පොරියක් ලියල බෙදාගෙන හරි එකට ඉමු.

මෙන්න මම ලියන්න පටන් අරන් ඉවර නොකරපු කතා ටිකක්.


  1. කන්නෙලියේ  නයනා හා විල්පත්තුවේ ඩයනා - මෙරට සංචාර වලදී හමු වූ අපූරු තරුණියන් දෙදෙනෙක් ගැන කතන්දරයක් 
  2. පිලිපීනාලන්කාරය- කටාර්වලදී  හමු වූ පිලිපීන ජාතිකයන් පිරිසක්  ගැන අන්දරයක් 
  3. BTS ගමනේ යා- සුප්‍රසිද්ද BTS සංගීත කණ්ඩායම ගැන අපේ ඔවිනී හොයා ගත් අපූරු විස්තර
  4. විදුසර මතක 1 හා 2- 1990 සිට 95 අතර කාලයේ විදුසර පත්තරය හා ඇසුරු කළ සමයේ මතක සටහන් 
  5. කොස්ලන්දේ පුරාවත - සුවිශේෂ නගරයක්  වූ කොස්ලන්ද හා බැඳුනු කතන්දර 
  6. කලාපුරේ සය මසක් - ගල්කිස්ස කලාපුරේ ජීවත් වූ කාලය ගැන අතීතාවර්ජනයක් 
  7. බොනරබල් ජීවිත - බේබදු කතා පෙළක්
  8. පැනිදෙනි මතක පොත- පේරාදෙනි පැනිදෙණියේ  එදා හා අද විස්තර 
  9. හිත් ගත් ප්‍රොජෙක්ට් මැනේජර්ලා  - චරිත කතා පෙළක් 
  10. වෙළඳ දැන්වීම් තුනක් - මිත්‍ර  ව්‍යවසායකයින් තුන් දෙනෙකුට දෙන පබ්ලිසිටියක් 
  11. දොළොස් මහෙන් උපන් බබා - නිම  වෙමින් යන මගේ කුළුඳුල් පරිවර්තනය හැඳින්වීම 
  12. මගේ පොර ටෝක් ක් - පොත් දොරට වැඩුම්, සමුළු  හා වැඩ බාර දීම් ආදියේදී මා කළ දෙසුම් සාරාංශ පෙළක් 
මේ කතා  draft ලෙස මගේ බ්ලොග් අඩවියේ එකතු කර තිබෙන බවත් ලියා අවසන් වූ වහාම...    .

ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා ! 


Posted by තිලකසිත at 10:01 AM 18 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, October 29, 2019

බිබිලේ වැස්ස 2 හෙවත් බයියන්ට නම ලැබුණු හැටි



මේ බිබිලට වහිනවද කතාවේ දෙවන කොටසයි.

මොණරාගල ඇතිමලේ ගොවි ජනපදයේ පදිංචිව සිටි අපේ ගමේ පවුලක ළමයෙකු වූ සමරකෝන්  ආපහු අපේ ගමට ආවේ මා  පහේ පන්තියේ සිටිද්දීය.  ඉතා තීව්ර කට හඬකින් කතා කරන සමරේ ඉස්කෝලේ සාහිත්‍ය සමිතිය වේදිකාවට ගොඩ වී ගැයු  ජන කවියක් මට තාම මතකයි .

මුලදී කැලේ හැටි දුටුවම කුමක් වැනී
කැත්ත නොදුටු අපේ මාමගේ රැවුල වැනී
හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනී
බඳින දවසේ එලි කල මගේ රැවුල වැනී

මේ ගායනාවෙන් පසු  කොල්ලන් හා කෙල්ලන් හිකි හිකි ගගා වරුවක් හිනා වුනේ පහේ පන්තියේ කොල්ලෙක් කසාද බඳින කතාවක් ගැන කී විට දැනුණු හන්කිතියත් එක්කය.  මට දැන්නම් හිතෙන්නේ සමරේගේ කටහඬ ජනකවි ගායනයට අපූරුවට ගැලපෙන බවයි . සමන් ලෙනින්ගේ ජන ගායනාවක් ඇසෙන විට මට සමරේගේ අඬහැර පාන්නාක් වැනි වූ ගායනා විලාශය සිහිපත් වේ .

සමරේට කොල්ලන්  කිව්වේ බයියා කියලාය. අපේ ගමටත් වඩා ඈත පිටිසරකින් ගමට එන කාටත් පොදුවේ බයියන් යන අන්වර්ථ නාමය යෙදුනත් ඒ කාලේ අද මෙන් ඒ නාමයට දේශපාලන අර්ථ නිරුපනයක් තිබ්බේ නැතිය.

සමරේගේ පවුලේ අය මෙන්ම ඈත ගොවි ජනපදවල ඉඩම් ලැබීම නිසා  අපේ ලස්සන ගම් පියස අතහැර දමා වරින් වර පවුල් පිටින් පිටගම්ගිය ඇත්තෝ එමට වෙති. ඒ සංක්‍රමණ කතා පටන් ගෙන තිබුනේ 1953න් පසු ගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු නිම වීමත් සමගය . බදුල්ල දිස්ත්‍රික්කයේ  මහියංගන මාපාකඩ වැව නාගදීප,  මොනරාගල  දිස්ත්‍රික්කයට අයත් ලාහුගල, ඇතිමලේ , ඔක්කම්පිටිය හා ඉන්ගින්යාගලට පමණක් නොව පුත්තලම  දිස්ත්‍රික්කයේ රිදී බැඳි ඇල ව්‍යාපාරයේ වතුරෙන් වගා කරන්නටත් දියතලාවේ සුන්දර ගම්මානයක වැසියන් වූ අපේ ගමෙන් මිනිස්සු ගියහ.

මේ ගිය කාගේ හෝ පවුලක සාමාජිකයෙක්න්  පසු කෙලක ගමට ආවානම්  ඔවුන් බයියන් වුවා සේම ඔබ දන්නවාද තවත්  වැඩක්?. මේ මිනිසුන් යන විට ඒ පැත්තේ  ජීවත් වු පුරාණ ගම්වල වැසියන්ට අලුතින් ජනපද වල පදිංචියට ආ පොෂ් මිනිසුන් කියලා තියෙන්නත්  බයියන් කියලාය.

මගේ මිතුරා සුදත් ගමගේ  මට පසුගිය දවසක මෙහෙම කිව්වා. ඒ අපේ ගිය අගෝස්තුවේ  අම්පාරේ ගමන හා 'බිබිලට වහිනවද ' ලිපියෙන්  පසුවය .

''ඉඟිනියාගල  වැවු බැම්මේ පසුගිය් දවසක පිරිතක් කිව්වා . ගොවි  සමිති එක්කාසු වෙලා අලුත් කන්නයක් පටන් ගන්න කලින් කරගෙන යන චාරිත්‍රයක් . ඉතින් මේ සමාජ සංස්කෘතික කාර්යයෙන් පස්සේ සතුටු සාමීචියේ යෙදීලා ඉන්නකොට බොහොම පැරණි ගම්මාන ගැනත් කතා වුනා. 1818 වෙල්ලස්සේ කැරැල්ලෙන් පස්සේ සුද්දන් වෙල්ලස්ස හා බින්තැන්නේ ගම් බිම් විනාස කරන විට ඊට බය වූ ගම්මුන් අතට අහුවෙන දෙයක්  උස්සාගෙන , දරුමල්ලන් කර ගසාගෙන ජීවිත බයෙන් පලා ගියේ ගල් ඔය නිම්නයේ නැගෙනහිර දිසාවට.
මෙහෙම ඇවිත් පදිංචි වෙච්ච වැසියන් ජීවත් වූ පොඩි පොඩි ගම්මාන ඉඟිනියාගල ජලාශයට යට වූ භුමියේ ත් තිබුන බවටත් ඔවුන් බය වී පලා ආ නිසා බයියන් ලෙස  හැඳින්වූ බවත් තමයි එක් වියපත් ජනපදිකයෙක්  කියලා තියෙන්නේ. මේ පැරණි බයියන් සිටි ගම්මාන විලින් විතැන් කොට අලුතින්  පදිංචි කරන එක තමයි ගල් ඔය වයාපාරේ මුලින්ම කෙරිලා තියෙන්නේ .

ජලාශේ හදලා ඉවර වුනාම මේ ගම්මානවලට අමතරව අලුතින් ජනපද හෙවත් කොළණි හදල ඈතින් ගොවි පවුල් පදිංචි කරාම ඔවුන් මුල් ගම්මාන වැසියන්ට බයියන් කී බවත් . දෙවන  පිරිස් යලි ඔවුන් මුලින් සිටි ගම්වලදී බයියන් වූ හැටිත් පුදුම එළවන සුළුයි.

ඒත් හරිශ්චන්ද්‍ර විජේතුංගගේ සිංහල ශබ්ද කෝෂයේ 'බයියා'  යන්නට අරුත් කීපයක් දී තිබෙනවා " අත දරුවා , පිටිසර මිනිසා හා නොදියුණු මිනිසා ' වශයෙනි. එහෙත් මේ පිලිබඳ මහැදුරු ජේ බී දිසානායකගෙන් කළ විමසීමේදී ඔහු පැහැදිළි කර දුන්නේ බයියා  හෙවත් බෑයා යනු සහෝදරයාට කියන නමක් බවය . ඔහු මපාරට නම හැදුණු හැටිත් මට කියා දුන්නේය . ඒ අනුව අඹ පාර යන වචන දෙක සන්ධි වී 'අම්පාර; සෑදී ඇත,

ආයෙත් ගල්ඔය පැත්තට ගියොත් ගල්ඔය ව්‍යාපාරේ අලුත් කොලනි හතලිස් හතක් ඉදිකර තිබු බවත් ඒ එක ගමක පවුල් එකසිය පනහක් පදිංචි වූ බවත් 23 වෙනි කොලනියේ එකසිය විසි තුන ගමේ පදිංචි ගැමුණුලා ලොකු අම්මා කීවාය .  මේ කොළණිවල ට ඉලක්කමෙන් නම් ලැබුනද ඒවා බොහෝ විට  මුල් පදිංචි කරුවන් පැමිණි ගම්මානවල  නමින් හැඳින්විණි . ගම්පොල කොලනිය,  කෑගලු කොලනිය, වැලිමඩ කොලනිය ආදී වශයෙනි.

අම්පාරට ආගන්තුකයෙක් වූ මට මේ ගම්මාන ගැනත් ගල්ඔය නිම්නයේ ජීවිතය ගැනත් සොයා බලන්නට ආශාවක් ඇති වී තියෙද්දී  ඊට තවත් තල්ලුවක් ලැබුනේ මෙවර පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ කුටියේ තිබී හමු වූ පියසේන කහඳගමගේ විසින් ලියන ලද 'දිගා මඩුලු දනව්ව' නම් පොත ය .  ගුරුවරයෙකු ලෙස දශක ගණනාවක් අම්පාර දිස්ත්‍රික්කයේ දිවි ගෙවූ  ඔහු දිගාමඩුල්ල ආශ්‍රිත පර්යේෂණ හා නිර්මාණ අඩංගු පොත් පහළොවක් ලියා තිබෙනවා. ආර් එල් ස්පිටල්, ආර් එල් බ්‍රෝහියර්  , මායා රන්ජන්, තාඹුගල  ආනන්ද හිමි, ගුණසේකර ගුණසෝම , සඳරුවන් ලොකුහේවා  ඇතුළු ලේඛකයන් නව දෙනෙකු විසින් ලියන ලද පොත් තිස් හතක ලැයිස්තුවක්ද 'දිගා මඩුල්ල දනව්ව' පොතේ ඇතුලත්ව තිබේ.

දිගාමඩුල්ල ආශ්‍රිත පැරණි ගම්මානවල පොහොසත් සිංහල භාෂාවක් භාවිතා වූ බවත් මේ දනව්වෙදී හමු වූ ජීවිතය හා භාෂාවේ ජීව ගුණය ඉස්මතු කළ ලේඛකයා මායා රන්ජන් බවත් කහඳගමගේ සඳහන්  කරනවා.  දිගා මඩුල්ලේ ආශ්චර්ය , මගේ රාජ්‍යය හා පිටිසර මිනිස්සු නමින් පොත් තුනක්  මායා රන්ජන් යන අන්වර්ථ නාමයකින් ලියු මහානාම රාජපක්ෂ වේයන්ගොඩ ඉපිද  අම්පාරේ අකුරු උගන්වන්නට ගිය ගුරුවරයෙක්.

වනසරණ හා මැකී ගිය දඩමං නමින් සිංහලට පෙරලුනු Savage Sanctuary  හා Vanished Trails යන දිගාමඩුල්ලේ හා බින්තැන්නේ සමාජ මානව තොරතුරු නවකතා  පොත් ලෙස ලිව්වේ ආර් එල් ස්පිටල්ය.  හිටපු මිනින්දෝරු අධ්‍යක්ෂකවරයෙකු වූ ආර් එල් බ්‍රෝහියර් ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ගැන 1951දී ලියු පොත  මට තාම සොයා ගන්නට බැරි වූ සම්පතකි.

1818 කැරැල්ල , දිගාමඩුලු ඉතිහාසය , නැගෙනහිර සංස්කෘතික උරුමය හා වාරි කර්මාන්ත   , ඉඟිනියාගල ජලාශය , ගල් ඔය නිම්නයේ කතාන්දරය  , ජනපදකරණය හා ලංකාවේ කෘෂිකර්මාන්තය ආදී විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවානම් දවස් ගානක් කතා කරනන්ට පුළුවන. අර පොත් තිස් හත අතරට අලුත් පොතක් එකතු කරනවානම් අම්පාරේ අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්නට ඕනෑය. කොළඹ ඉඳගෙන  ඔය වැඩේ කර න්නට බැරිය .

ඒ නිසා මගේ සිහින ග්‍රන්ථය ලියන්නැයි අම්පාරට ආදරය කරන මිනිසේකුට  මම ඇරයුම් කලෙමි. ඔහු සරල සුන්දර, කලාකාමී ඉංජිනේරුවරයෙකු වන සුදත් ගමගේය . ඔහු  අම්පාරේ වාරිමාර්ග අධ්‍යක්‍ෂකවරයාය . පොත ගැන විස්තර කී විට ඔහු සරල සිංහලෙන් කීවේ මෙසේය.
' මම විස්තර හොයලා දෙන්නම් උඹම ලියපන් " කියලය. ඒ වුනත් ඔහු වැඩේ ගැන උනන්දු වෙමින් තිබේ .

ඊයේ හවස මට පණිවිඩයක් එවූ ඔහු කිව්වේ දැන්නම් බිබිලට වහිනවා කියලාය. අගෝස්තුවේදී අඩියටම වේලී තිබූ සේනානායක සමුද්‍රය පිරෙන්නට පටන් ගනිමින් තිබේ. ඊයේ වෙනවිට එහි අක්කර අඩි 89.700ක් පිරී තුබුනේය.

එන මාස් කන්නයේදී වී වගා කරන්නත්  ලංකාවෙන් පහෙන් එකකට බත් දෙන වැඩේ කරන්නටත්  පුළුවන්ය. හිඟුරානේ උක් වගාවට වතුර ලැබේ. ඇළ වේලිවල , වක්කලම් වල වතුර පිරී යනු ඇත . නිල්ල පිරෙන වෙල් නියර දිගේ දුව යන පොඩිත්තෝ ඇලේ වරුවක් පීනා කුඹුරේ වැඩ කරන මාපියන්  සමග ගෙදර එන දසුනත් සමග මට මේ වදන් ඇසේ.

බිබිලට වහිනවාලු !

සේයාරුව : දෙව්නි 
Posted by තිලකසිත at 6:00 PM 17 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, September 14, 2019

බිබිලට වහිනවද ?

සේනානායක සමුද්‍රය - අගෝස්තු 2019
දුර බැහැර  කෙනෙක් හමු වුවහොත් හෝ දුරකතනෙන් කතා කරොත් මම සාම්ප්‍රදායික ප්‍රශ්නයක්  අහනවා .
'කොහොමද ඔය පැත්තට වහිනවද ? " මේක ඔහේ මූනිච්චාවට අහන දෙයක් විතරක් නෙවෙයි . මට ඇත්තටම දැන ගන්න ඕනි වෙනවා  ඒ කියන පුද්ගලයා ඉන්න පැත්තට වහිනවද කියල. වැස්ස ගැන ආරංචි එක්ක බැඳිච්ච මොකක්දෝ සැන්ටිමැන්ටල් දෙයක් තියෙනවා මට.

පහුගිය අගෝස්තු විසිපස් වෙනිදායින් පස්සේ මම දුර බැහැර කෙනෙක් කතා කරපුවාම අර සුපුරුදු ප්‍රශ්නෙට  මොන විදිහේ උත්තරයක් ලැබුණත් ඊට පස්සේ මේ ප්‍රශ්නෙත් අහනවා .
'බිබිල පැත්තට වහිනවද දන්නේ නෑ?' මේ දෙවන ප්‍රශ්නේනම් සැන්ටිමැන්ටල් ගතියකට වඩා මැන්ටල් ගතියක් තිබ්බත් මට ඒක දැන ගන්නකං ඉවසුමක් නෑ. දැනුත් මම කල්පනා කරන්නේ ලුණුගල, මඩොල්සිම බෑවුමටයි බිබිල පැත්තටයි ඇතිවෙන්වන වහීවිද  කියල.

**********
ජලය පිරුණු සේනානායක සමුද්‍රය - Wikipedia

අම්පාරේ  ඉඟිනියාගල ජලාශේ තියෙන්නේ මොන දිස්ත්රික්කේද ?  ඒක නිකන් ශත පහළොවේ තැඹිලි පාට මුද්දරේ  මොන පාටද කියල ඉස්සර අපේ පියරත්න සර් කරකවල අහන ප්‍රශ්නේ වගේ එකක් .
ඔබ   පැනලා උත්තර දෙනවා  මෙහෙම.
"ඒක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කේ , නැගෙනහිර පළාතේනේ"
"වැරදියි" . මම උද්දාමයෙන් කියනවා
"නෑ ඉඟිනියාගල අයිති මොණරාගල දිස්ත්රික්කෙට. ඌව පලාතට"

ඒ වගේම තමයී හම්බන්තොටට අච්චර ළඟ තියෙන  කතරගම අයිති හම්බන්නතොට දිසාවට නෙවෙයි මොණරාගල ආසනේට කිව්වම මට හිතා ගන්න බැරිව හිටියේ සෑහෙන කාලයක්.

ඌව පළාත මහා විශාල ප්‍රදේශයක්. ලංකාවෙන් පහෙන්   එකකට බත් දෙන සේනානායක සමුද්‍රය හෙවත් ඉඟිනියාගල ජලාශේ තියෙන්නෙත් එහි ජලපෝෂක ප්‍රදේශය මුළුමනින්ම තියෙන්නෙත් ඌව පළාතේ. 1949 හදන්න පටන් ගත්තු  ඉඟිනියාගල ජලාශේ හදල ඉවර උනේ 1954. අදටත් ලංකාවේ ලොකුම ජලාශේ තමයි ඒක.

පහුගිය දවසක මම බස් එකේ අම්පාරේ ගියා, මාත් එක්ක වස ඉලන්දාරියෙක් ගියා . වස ඉලන්දාරියා කිව්වට මිනිහා අවුරුදු පණහත් පැන්න කෘෂි රසායන හෙවත් වස  පිලිබඳ විද්වතෙක්. ඔහුට වස ඉලනදාරියා කිව්වේ කාඩ් එකට.  කඩවතින් ඉන්ටසිටියක නැග්ග අපි උදේ අට හමාර වෙද්දී නුවර. නුවරින් අම්පාර ඉන්ටසිටියක දහ අට වංගුව, මහියංගනය , පදියතලාව හරහා අම්පාරට එනකොට දවල්  කෑමට වෙලාව හරි. මග දිගට අපි කතා කරපු මාතෘකා වෙන වෙනම කෙටි කතා දහයක් විතර ලියන්න පුළුවන්.  ජපානේ කුඩා නගරයක ජීවිතේ , ලංකාවේ රසායන වෙළඳාම , වකුගඩු රෝගය, කෘෂි බෙහෙත් වෙළෙන්දන්ට ලැබෙන තායිලන්ත සවාරි. අපේ තාත්තා දියතලාවෙන් පදියතලාවට මාරු කරපු කතාව වගේ හරබර විස්තර තිබ්බා .

බස් එකෙන් බහිද්දී අපිව ආදරෙන් පිළිගත්තේ  අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂතුමා . එයත් එක්ක ඉඟිනියාගල වැවු බැම්මට  ගිහින් බණ්ඩාරවෙල ඉඳන් ආපු යාලු සමාගමට  එකතු වුනා .  ට්‍රිප් එකේ විස්තර එහෙම්මම කියන්ට තියෙද්දී  මම ඉඟිනියාගල ජලාශේ ගැනම හාරා හාරා අහන්න පටන් ගත්තා .
මේ ඒවගේ අහපු ප්‍රශ්ණ හා ලැබිච්ච පිළිතුරු. මේ පිළිතුරු සමහර ඒවා නිවැරදිම ඒවා  නෙවෙයි කියලත් මට හිතෙනවා .  උත්තර දුන්නෙත් එක්කෙනෙක් නෙවෙයි. මගේ යාළුවො හා අන්තර්ජාලතොරතුරු.

ප්‍රශ්නය  : දැන් එතකොට මේ ජලාශේ හදන්ට කලින් අම්පාර කියල එකක් තිබබෙ නැද්ද ?
උත්තරය : නෑ මේ පළාත විශාල වනාන්තරයක්. අලි කොටි වලස්සු ගහන දඩබිමක් . අම්පාර නගරය මුලින්ම ජනාවාස උනේ ඉඟිනියාගල ජලාශේ හදන්න ආපු පිරිස නිසා.මේ පළාතේ වයස අවුරුදු හැට ගානක් වෙන්නේ තාමත් .

ප්‍රශ්නය : එතකොට ඒ කාලේ අම්පාරට එන්න පාරක් තිබ්බේ නැද්ද ?
උත්තරය : නෑ . මඩකලපුවට කෝච්චියේ ඇවිත් කල්මුනේ පැත්තෙන් වෙන්ට ඕනි ආවේ.  ( ඉතින් එතන ලොකු කතාවක් ඇතිනේ හොයාගෙන ලියන්න ඔනි)

ප්‍රශ්නය  : එතකොට ගල්ඔය ව්‍යාපාරෙයි  , ඉඟිනියාගලයි  අම්පාරයි අතර  තියෙන සම්බන්දෙ මොකක්ද ?

උත්තරය : ගල්ඔය කියන්නේ බිබිල පැත්තෙන් පටන් අරන් කලමුණේන් මුහුදට වැටෙන ගඟක්.කිලෝ මීටර් 108ක් දිග ලංකාවේ දහසය වෙනියට දිග ගංගාව.  ඒ ගඟ ඉඟිනියාගලදී  හරස් කරලා තමයි ගල්ඔය ජලාශේ හැදුවේ. ඉඟිනියාගල ජලාශේ , ගල්ඔය ජලාශේ , සේනානායක සමුද්‍රය ඔය සේරම එකයි.

ප්‍රශ්නය : ජලාශේ  හැදුවේ කවුද ? කාගේද සල්ලි

උත්තරය :  ලංකාවේ සල්ලිවලින් ලංකාවේ පරිපාලනයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කරලා Morrison Knudsen කියන ඇමෙරිකානු සමාගම මගින් තමයි වේල්ල හැදුවේ.   මේ වේල්ල හැදීමේ , මුලික සංකල්පය, සැලසුම, ඉදිකිරීම හා නඩත්තුව ගැන වෙනම ලිපියකින් කතා කරන්න ඕනි 

ප්‍රශ්නය : ජලාශේ ඉදිකරාට පස්සේ ජනපද ඇතිකිරීම් , 1956 දී ඇති වෙච්ච ජාතිවාදී කෝලහාල ගැන 

උත්තරය: ඒ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා . තව දවසක කතා කරමු . 

ප්‍රශ්නය : ජලාශේ ගැන තව විස්තර ටිකක් කිව්වොත් 

උත්තරය : මේ ජලාශේ වේල්ල පස් බැම්මක් . මීටර් 1,100 ක් දිග මීටර් 43ක් උසයි. ඒත් මේ සා කුඩා වේල්ලකින් දරා ගන්න ජල කඳ අති විශාලයි . අක්කර අඩි  හත්ලක්ෂ හැත්තා දහයි . ලකාවේ එකම තැනක හිරවුණු ලොකුම ජලකඳ

ජලාශේ ප්‍රයෝජන : 
කුඹුරු අක්කර 120,000 ක් වගා කරන්න වතුර දෙනවා . සාමාන්‍යයෙන් එක අක්කරේක කන්නයක් වගා කරන්න අක්කර අඩි තුනක විතර වතුර ප්‍රමාණයක් ඕනි . වැව අවුරුද්දකට වතාවක් පුරවා  ගත්තම කන්න දෙකක් වගා කරන්න වතුර දෙන්න පුළුවන් . තව මෙගාවොට් 11 කට ටිකක් වැඩි විදුලියක් උපදවන බලාගාරෙකුත් තියෙනවා. හිඟුරාන උක් ගොවීන්ට වතුර දෙන එකයි මිරිදිය මත්ස්‍ය කර්මාන්තෙයි අතිරේක වාසි .

ඉන් පස්සේ තේ විවේකය . විවේකය කියල නෑ උහන ගොනාගොල්ල පැත්තට වතුර ගෙනියන  වම් ඉවුර ගැන , දමන හිඟුරාන පැත්තට වතුර දෙන දකුණු  ඉවුර ගැන , කල්මුණේ, අක්කරේපත්තුව  පැත්තට ඇදෙන  රිවර්  විෂන් එක ගැන අපි දිගටම කතා කරා. 
ඒත් අපි අම්පාරේ ගිය අගෝස්තු 25 වෙනකොට ජලාශය හොඳටම දුප්පත් වෙලා. ජලාශේ මුළු ධාරිතාවෙන් සීයෙට තුනක්  විතරයි  වතුර තිබ්බේ . හරියටම  කියනවානම් අක්කර අඩි විසි එක්දහස් හයසීයයි. 

අපිට සති අන්තේ සියලු ආගන්තුක සත්කාර කරපු අම්පාරේ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා මෙහෙම කිව්වා. 

"ජලාශේ වතුර ඔය ගානට අඩු වුනේ මෑත ඉතිහාසේ පළවෙනි වතාවට . ඉතින් බිබිල පැත්තට වැස්සොත්  තමයි මේකේ වතුර පිරෙන්නේ. දැන් ගොවියෝ යල කන්නේ වගා කරන්න සුදානම් වෙනවා. තව හිඟුරානේ  උක් ගොවීන්ටත් වතුර ටිකක් දෙන්න ඕනි .

අනික වතුර අඩුවෙනකොට බැලන්ස් කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. වතුර  හිඳෙනකොට මාළු මැරෙන්න පටන් ගන්නවා. අපි ධීවර සමිතිවලට කියල වතුර අඩු වෙන්න කලින් වැඩිපුර මාළු අල්ලන්න කිව්වා . සමහර ඇලවල්වල වතුර සීමා කරලා දෙනකොට මිනිස්සු අතර  ප්‍රශ්න ඇති වෙනවා .  ජනවර්ග කීපයක මිනිස්සු ඉන්න නිසා ප්‍රශ්නේ හරි සංවේදීව විසඳන්න ඕනි.  මෙහෙ තියෙන ගොවි සමිති , පොලිසිය එහෙම හොඳ තේරුම් ගැනීමකින් වැඩ කරන එක ලොකු දෙයක් ".

වාරි මාර්ග ඉන්ජිනේරුවෙකුට කරන්න තියෙන රාජකාරී වපසරිය තාක්ෂණ දැනුමින් එහාට ගිය ලොකු මෙහෙවරක් කියල මට පළමු වතාවට  තේරුම් ගියේ එදා තමයි. 

මම ඒ ගමනෙන් පස්සේ දවසක් ඇර දවසක් අපේ යාළුවාට කතා කරනවා. 
කොහොමද වැස්ස ආවද. වතුර පිරුනද ? 

පහුගිය දහ වෙනිදා කතා කරනකොටත් වතුර මට්ටම එහෙම්මමයි . එත් බලාපොරොත්තු සහගත කතා දෙකක් කිව්වා. 

 " කාලගුණ වාර්තාවල හැටියට  මේ දහතුන් වැනිදායින් පස්සේ වැස්ස එනවලු.  දැන් මාළු මැරෙන ප්‍රශ්නේ විසඳිලා . ඉන්න ටික අර පොඩි පොඩි වතුර පිරිච්ච තැන්වලට සේන්දු වෙලා ' 

අද මේ ලිපිය ලියන්න පටන් ගනිද්දීම මම ආපහු අම්පාරේ මිත්‍රයට කතා කරා.  
කොහොමද. වැව පිරෙන්න පටන් ගත්තද ? 

"ඔව්. බිබිල  පැත්තට පොඩි වැස්සක් දෙකක් ඇවිල්ල. දැන්නම් දිගටම වහියි"


-මතු සම්බන්ධයි- 

Posted by තිලකසිත at 10:21 AM 26 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Friday, July 26, 2019

ලාල්ගේ මතක පොත - කළු ජුලිය

අතේ ගෙන යා හැකි දුරකථන තිබුනෙම  නැති ලෑන්ඩ් ෆෝන් පවා ඉතාමත් සීමිත වූ කාලයක ඉදිකිරීම්    සංස්ථා ප්‍රධාන කාර්යාලය හා වැඩබිම් අතර බොහොමයක් දේ සන්නිවේදනය කෙරුනේ රේඩියෝ සෙට් වලිනි .

ඒ 1983 ජුලි 24 වැනිදා හවස් ජාමයයි .
Head Office calling . head office calling .. ඕවර්.
 මාලිගාවත්ත පයිලින් වැඩබිම බාරව සිටි තරුණ ඉංජිනේරු ලාල් වහා රේඩියෝ සන්නිවේදන උපකරණය අසලට ආවේය .
."අද ඇඳිරි නීතිය පනවලා. වහාම වැඩබිම වසා සේවකයන් පිටත් කරන්න ඕවර්...'
"පණිවිඩය පැහැදිලිද ඕවර් "

"මාලිගාවත්ත කෝලින් පණිවිඩය පැහැදිලියි ඕවර් '

 ලාල් සිය කන්තෝරුවේ නිලධාරීන් කැඳවා වහාම තත්ත්වය  දැනුම් දුන්නේය . ඒ වනවිටත් කටකතා හා වෙනත් ආරංචි මාර්ග වලින් ඔවුහු වෙන්න යන දේ දැනගෙන සිටියෝය  . හැමෝම යුහුසුළු වෙමින් තම තමන්ගේ අත් බෑග, කන්තෝරු පයිල් බෑග, ඉටි කොලේ එතූ කෑම පෙට්ටි හෝ  හිස් අත් සමහ  මගට බටහ.  අනෙක් සියලු දෙනා කෝච්චියේ හෝ බස් එකේ හෝ පයින්ම ගෙදර යා  යුතු නිසා ඔවුන් කලින් පිටත් කර හැරී ලාල්  සිය නිල වහනය වන වෙස්පා ස්කුටරය දෙස දයාබර බැල්මක් හෙළුවේය.

වෙනකක් තබා කන්තොරුවේම නිදා ගන්න කෝකියා ජෙමිසුත් සෙකියුරිටි නිමලසේනත් වැඩබිම හැර දමා අකමැත්තෙන් වාගේ පිටත්  වී ගිය පසු ලාල් පමණක් ඉතිරි වී සිටියේය. කන්තොරුව් පෙටි කෑෂ් පෙට්ටිය. බිල්පත් හා වවුචර් පොත් යන සියල්ල එහෙ මෙහෙ විසුරුවා තිබුණෙන් ඔහු ඒවා පිළිවෙලක් කොට හැම දොරක්ම ලඟට ගොස් දෙවරක් චෙක් කළේය. කන්තෝරු කාමර දෙක. කෑම කාමරය, සේවක විවේකාගාරය. රේඩියෝ ඔපරෙටෝර් කුටිය. ඉස්ටෝරුව හා මුර කුටිය පවා හොඳින් අවුරා යන්නට ඔහු තීරණය කොට ගත් සෙයකි.

මේ සියල්ල අවසන් වෙද්දී වටින් ගොඩින් කළුවර වීම වේගවත් වුනේ   මරදාන, දෙමටගොඩ හා කොටුව දෙසින් අහසට නැගුනු අමුතු විදිහේ දුම් වලාකුළු නිසාය .

දැන් ඉතින් පිටත්ව යා යුතුය . ලාල්ට බලන්න බැරි වූ එකම තැන . දොරේ "බැරිම තැන" කියා ලියා තිබු වැසිකිලි කුටිය වෙත ඔහු ලං වුයේ පිටත්ව යන්නට පෙර මුත්‍රාශය සැහැල්ලු කර ගන්නත් එක්කමය . රට අඹ ලෑලි දොරේ එළියෙන් ගැට ගසා තිබු තංගුස් නුල ඔහු ඇද්දේය . යලි යලිත් ඇද්දේය.
ම්හු..  දොර ඇරෙන පාටක් නැත . කවුරුන් හෝ ඇතුලෙන් ලොක් කරලාද ?  එහෙම වෙන්නත් බැරිය. තමා හැර වෙන බලු කුරුට්ටේක්වත් අහල මායිමක නැති බව ලාල් සක්සුදක් සේ දනී.

තමන්ගේ අතින්  දවසට තුන් හතර වතාවක් ඉතාම සුව පහසුවට ඇරෙන මේ දොර ගැන වෙනදා නැති  අමුත්තක් ලාල්ට දැනුණු නිසා ඔහු පසෙක තුබූ බැරල් බාගයක් දොර අසලට තල්ලු කර ගෙන ආවේය. ඒ මත නැගී එසවී උළුවස්සත් වහලත් අතර තිබු හිඩැසින් ඇතුලට දෑස් රින්ගේව්වේය.

ඊළඟට දුටු දසුනින්  ඔහුගේ උගුර කට වියලී ගියේය. ප්‍රේමණීය බඩේ ගින්දරකින් ලාල්ගේ සියොළඟ දැවෙන්නට  පටන් ගත්තේය .

( ඉතිරි ටික හෙට උදේ   මෙතැනම)

***************  දවසක් ප්‍රමාදව ඉතිරි ටික ලියමි *****

වැසිකිලි දොර ඇතුලතින්  වසාගෙන දොරට වාරු  වී ඉකි බිඳින රුව කලයාරසීගේ බව පැහැදිලි වෙත්ම ලාල්ගේ මනස ව්‍යාකුල වී ගියේය.

කන්තෝරුවේ පිය දසුන ටයිප් රයිටරය ළඟ මදක් නැවී වට පිට නොබලා සිය කාරිය කරගෙන ගිය ඇය තමයි ඒ .  මන බඳින තලෙළු මුහුණක්  හා පිරිණු ඇඟ පසඟක්  හිමි  යුවතිය දුටු කෙනෙක් වීනම් තව වරක් හැරී බලනවාමය. 

ලාල්  වහා දොර ලඟට ගොස් ඊට තඩි බාන්නට විය .
‘ කලයරසී දොර අරිනවා . නැත්නම් මට මේක පයින් ගහලා කඩන්නයි වෙන්නේ එහෙම උනොත් ඔහේට තුවාල වෙයි ‘

ඇතුලෙන් අසුනේ ඉකිබිඳින හඬ පමණි .

කෑ ගහලා වැඩක් නෑ කියා ලාල්ට හිතුනේ ඒ ඉකි බිඳුමේ හා හීල්ලුමේ පණිවිඩය  නිසාය .
ඔහු යාප්පුවෙන් කරුණු පහදන්නනට තීරණය  කළේය
“රසී එලියට එන්න ඔයා කරදරයක් නැතිව ගෙදරට ඇරලවන්නම් “
එසේ කීවා උනත් තමන්ගේ  හඬේ විශ්වාසනීයත්වයක් නැති බව ලාල්ට වැටහුනේය .

‘ මහත්තයා බේරිලා යන්න . පාර කලබලයි කියල මම දන්නවා . මට වත්තලට යනකන් යන්න බෑ .මම මේකෙම ඉඳල මැරෙන්නම් ’
‘ පිස්සු නැතිව එනවා රසී. වෙන දෙයක් වෙච්චාවේ. දවස් කීයක් ඇඳිරි නීතිය තියෙයිද දන්නේ නෑ”
ඇතුලෙන් සද්දයක් නැති තැන ලාල් ඉදිරියට පැමිණ දොරට තඩි බාන්ට වුනේය. ඒත් දොර ඇරුනේ නැති තැන ලාල් කෑ ගැසුවේය.

‘ මම මෙතැන මැරුණත් ඔහේ ඔය කූඩුවේ දාලා යන්නේ නෑ . එක්කෝ මෙතැන මැරෙමු. නැත්නම් බේරිලා යන්න උත්සහ කරලා මැරෙමු. මොකක්ද හොඳ  කියල තීරණය කරන්න"

ලාල් අසල තිබු සූරිය ගහට  හේත්තු වුනේය .

ඔහු අවට ලෝකයේ වෙන සියලු සිදුවීම් අමතක කර සිතුවිලි හිස් කර ගැනීමට උත්සහ කළේය. දෑස් අඩවන් කරගන කල්පනා කළේය .ටික වෙලාවකින් ඔහුගේ දෑස් අබියස පච්ච වර්ණ දිග ගවුමක  රත්රන් පාට මල් වැල මෝදු වෙමින් පිපුණේය. ඒ වර්ණ පිරුණු කාන්චුකය යට සිටියේ බියෙන් සලිතවී  සිටි සාවියකි.

ලාල් කිසිත් නොකියා කන්තෝරු කාමරය දෙසට ඇවිදගෙන ගියේය.  මියුලැසිය ඔහු පසුපසින් ගෑටුවාය. 
  මිනිස් පුළුටක් නැති කන්තෝරු කාමරය යතුරු දමා ලොක් කර ඇත . රසීගේ ලාච්චුව ඇර ඇගේ අඩුම කුඩුම ගැනීමට එය විවුර්ත කළ යුතුය . ඒත් මේ වෙලාවේ මේ යුවතියත් සමග කන්තෝරු කාමරය  තුලට පිවිසීම නුසුදුසු යැයි සිතූ ලාල් සිය ස්කුටරය පුටුපස අසුනට තබා ගැට ගසා තිබු කලුපාට ජැකට්ටුව දිග හැරියේය .

‘ මේක අඳින්න ‘

 කලයාරශීගේ වර්ණවත්  මෝස්‌තර ගවුමේ උඩ කොටස කලුපාට ජැකට්ටුවට වැසී යද්දී ලාල් ස්කුටරය ස්ටාර්ට් කළේය.

‘ඔහු කලයාරසී දෙස තිර ලෙස බැලුවේය. ඈ ඔහු පසුපසින් වාඩි වුනාය.   

‘ ඈ උණුසුම්ය . වෙවුලමින් සිටී . බියපත් බව  නිසා ඔහුගේ සිරුරට වාරු වී සිටියාය.
‘ ඔලුව පාත් කරගෙන මගේ ඇඟට හේත්තු වෙන්න ‘
ලාල් මුවින් නොකීව්වා උනත් ඔහුගේ සිතැඟි වටහාගෙන ඈ එසේ කටයුතු කළාය.

ස්කුටරය ගිනි ගන්නා  නගරය  මැදින් ඉදිරියට ඇදෙයි  .
පළමූ නැවතුම ඔරුගොඩවත්තේදීය ‘
තරුණයෝ පිරිසක් ඉදිරියට පැමිණ ස්කුටරය නැවැත්වූහ .
“අය්යා නම මොකක්ද . ඔයා සිංහලද “ ලාල් ඔව් කියන්නට හිස වැනුවේය.
‘ අපිට මේකේ ටැංකියෙන් පෙට්‍රල් ටිකක් ගන්න වෙනවා ‘
‘ පිස්සුද මල්ලි මේ අපේ නංගීට හොඳටම අමාරු වෙලා බේත් අරන් යන ගමන්. අපි මිනුවන්ගොඩට යන්න ඕනි”

හිතුවාට  වඩා පහසුවෙන් ඔවුන්ගෙන් බේරී යනට පුළුවන් වුනත් පැලියගොඩදී ඔහුගේ ස්කුටරය නතර කෙරුණේය .
පොලු මුගුරු ගත් කොල්ලන් රංචුවක් ඔවුන්  නවතා වට කර ගත්හ.

‘ නවත්තනවා. නවත්තනවා .ඔය දෙන්නගේ නම් මොනවද?. නංගී මුණ උස්සලා මෙහේ  බලන්න’
ලාල්ගේ සිරුර  වඩාත් වැරෙන් බදා ගත් කලයාරසී සට සට ගා ගැහෙන්නට වුවාය “
ලාල්ගේ කටහඬත් ගොත ගැසෙයි.
:මම ලාල් . නංගීට  අසනීපයි හොඳටම උණ . බෙහෙත් අරං යන ගමන්.’
පිරිස දමනය වුනේ නැත .
‘ කෝ ගත්ත බේත් . කෝ බලන්න නංගීගේ මුණ පොඩ්ඩක් “
කලයාරසීටත් වඩා ලාල් වෙවුලන්නට පටන් ගත්තේ ඇගේ මුහුණේ වූ තිලකය මතක් වීමෙනි .

පිරිස අතරේ සිටි තරමක් තලතුනා පුද්ගලයෙක් දැක ඔහු වෙතට සිය රාජකාරී හැඳුනුම්පත දික් කරන්නට තරම් සිහියක් ලාල්ට ලැබුණේය.

හැඳුනුම්පත අතට ගෙන බලා ඔහු ‘ මේ මහත්තයාට යන්න දීපල්ලා’ කියද්දීත් අනිත් පිරිස ඊට අවනත බවක් නොපෙන්වූහ. එහෙත් ඒ සමග වෙනත් යමක් දෙසට පිරිසගේ  අවධානය යොමු වීමේ වාසනාව නිසා ලාල් රූන් ගා මැර පිරිස අතරින් රිංගා  ඉදිරියට ගියෙය්.

ඔලියමුල්ල පසුකර ගිය ස්කුටරය වත්තලින් හැරී හුණුපිටිය පාරේත් මද දුරක් යනතුරු දෙදෙනාටම පියවි  සිහියක් නොතිබුනේය.

කලයාරසී  කලබලකාරී ලෙස ස්කුටරය නවත්වන්නැයි කීවේ අතුරු පාරක් අද්දරය.

ඇය පැලියගොඩදී  කලහකාරීන් දුටු අවස්ථාවේ කලාක් මෙන් ඉතා වැරෙන් ලාල්ගේ දෙවුර බදා ගත්තාය. එය සමුගැනීමේ උණුසුම් වැළඳ ගැනීමක්ම බව ලාල් තේරුම් ගත්තේය  .


ඉන්පසු  කඩුමුඩියේ  බිමට පැනගත් ඇය අතුරු පාර දිගේ පසුපස නොබලා දිව්වාය . 

පසු සටහන :
මේ කතාවේ ප්‍රධාන චරිතය  මට හමු වුනේ 1998 දීය. ඔහු අවුරුදු පහළවක් පරණ  මතක සැමරුමක් අප ඉදිරියේ දිග හැර අවුරුදු 21කට  පසු මම එය ලියා තබන්නේ කතා සාරය වෙනස් නොකොටගෙනය. මේ කතාවේ අවසානයක් නැත . එය අවුරුදු තිස් හයක විඳීමක් පමණි

Image : amazon.in


Posted by තිලකසිත at 7:27 PM 24 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, February 12, 2019

ඊලියන්ද සිල්වා හෙවත් ටයිටස් තොටවත්තගේ ලොකු අයියා



පසුගිය ලිපියෙන් මා  කතා කළ  " සන්නිවේදන කරළිය   එක දෙක කරන  අතුරු ජාලය' යන හෙඩිමෙන් යුත් සතියේ විශේෂාංගය මවිසින් විදුසරට ලියන ලද්දේ 1994 අගෝස්තු මාසයේය .
සිංහලෙන් ලියන ඉන්ටනෙට් පිලිබඳ ලිපියක් හෝ කිහිපයක්  අභියෝගයට ලක් කළ  ' හිම කන ඔටුවෝ'  නිර්නාමික ලිපිය පළ වුයේ ඊට පෙරද පසුද කියා සොයා ගන්නට විදිහක් නැති  නිසා එය මගේ ලිපියම ඉලක්ක  කරගෙන එල්ල කළ විවෙචනයක්යැයි හරියටම කියන්නට බැරි  වුනත් , මමද තොප්පිය දා ගන්නට කැමැත්තෙමි.

ඇත්තෙන්ම 1994 මැදක් වන විටත්  ඉන්ටනෙට් යන්නට හරි හමන් සිංහල  නමක් තිබුනේ නැත . ඒ වන විට සමහරුන් ' අන්තර් ජාලය' යන වචනය  භාවිතා කරමින්  තිබුනත් එය පිළිගත් බවක් පෙන්නේන්ට තිබුනේ නැත . සමහරුන් ඊට කීවේ  "අන්තර් ජංජාලය" කියලාය .

එසේ හෙයින් විශේෂාංගය ලිවීම සඳහා ඉන්ටනෙට් යන්නට  අලුත් සිංහල වචනයක්  සෙවීමට තීරණය කළෙමි.  මේ සඳහා මා උපදෙස් ගත්තේ වරලත් ඉංජිනේරු ඊලියන්ද සිල්වාගෙනි. ඉංජිනේරුවා වෙනුවට මැවිසුරා කියනවාට කැමති වූ ඊලියන්ද සිල්වා කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ හෙළ හවුලේ නයුවෙකි . තවත් වැදගත්  කරුණක්  වන්නේ ඔහු ප්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ  වැඩිමහල් සහෝදරයා වීමයි .

ඉන්ටනෙට් එකට සිංහල නමක් ලෙස ඔහු යෝජනා කලේ ' අතුරු දැලටිය" යන්නයි.

 "අන්තර් මැතිවරණෙට අතුරු මැතිවරණය කියනවා . අන්තර් කියන වචනෙට පිරිසිදු සිංහල වචනය තමයි අතුරු. අනික අතු ඉති ඇති ජාලයක් හඳුනවා දෙන්න  හොඳම විදිහ 'දැලටිය' .  ඔහු කීවේය.

අතුරු දැලටිය- අන්තර් ජාලය . වචන දෙක දෙපැත්තට කිරා බලමින් සිටි  මම ලිපිය සකසා දීමට පොරොන්දු වූ දවසේ උදේද කල්පනා කරමින් සිටියේ  internet යන්නට හොඳම සිංහල වචනය කුමක්ද  කියලාය . ඕනි එකක් වෙන්නට කියා මම කලින් තිබ්බ නමෙන් කොටසක් හා ඊලියන්ද සිල්වා දුන් නමෙන් කොටසක්ද ගෙන  ' අතුරු ජාලය ' ගැන  ලිපිය සැකසීමි .

ලිපිය පළ වී දවසකින් විතර පසු මම මැවිසුරු  ඊලියන්ද සිල්වා ඇමතුවේ ස්තූතියක් කිරීම සුදුසු  යැයි හිතුනු නිසාය .
මොකක්ද ඉන්ටනෙට්  එකට දාපු  නම ? ඔහු ඇසුවේය
"අතුරු ජාලය"  මම කීවෙමි

ඔහු ඊට තදින් කිපුනේය.
" මොකක්ද ඒ ?. කිසිම ගැලපීමක් නැති පදයක්නේ ළමයො. අර කලින් තිබ්බ වචනේ ' අන්තර් ජාලය' තව හොඳයි. මේක අතුරු ජාලය නෙවෙයි. අතුරු දැලටිය , දලටිය දැලටිය.. . ඔහු දිගටම කියෙව්වේය.

දැන් බලන්න computer එකට සිංහලෙන් දාගෙන තියෙන නම ' පරිගණකය '  ඒ වචනේ යොදා ගන්න පුලුවන්ද ඕනි ඕනි විදිහට . පරිගණක ගත කිරීම පරිගනකීකරණය බලන්න මොනතරම්  අවලස්සන වචනද ?  ඉන්ටනෙට් එකට හරි යන්නේ ' අතුරු දැලටිය තමයි ' කියා ඔහු දුරකථනය විසන්දි කළේය .

කොහොමින් කොහොමින් හෝ  ' අතුරු දැලටිය' වෙනුවට ' අන්තර්ජාලය' ස්ථාපිත වූ අතර  එහෙටත් නැති මෙහෙටත් නැති මගේ වචනය ' අතුරු ජාලය" යන්න යොදා ගත්තේ මා ලියු පළමු ලිපියේ විතරය. ඉන් පසු මේ රටේ කවුරුවත් ඒ වචනය යොදා ගත්තේ නැත ,

ඒ වුනාට ඊලියන්ද සිල්වා නිර්මාණය කළ තාක්ෂණ වචන රාශියක් අප නිතිපතා භාවිතා කරමින් සිටිමු.

තෙකලා ව්දුලිය , පිරිපහදුව , රැහැන වැනි වදන් දහස් ගණනක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ අතර තොටවත්තගේ ඊලියන්ද සිල්වා හා  ටයිටස්  තොටවත්ත  යන දෙසොහොයුරන් සිංහල භාෂාවට හා සාහිත්‍යයට කරන ලද සේවය හරි හැටි ඇගයීමකට ලක් වී නැත , මේ ගැන කරුණු සොයා බලා ලියන්නට සිතා සිටිමි.

මේ අතරේ මට පරණ කතාවක් මතක් වුනේය .
මහේන්ද්‍ර ප්‍රසාද් යනු එකල විදුසරට  ලියු පේරාදෙණිය කෘෂි ව්ද්‍යා පීඨයේ සිසුවෙකි. මගේ හිත මිත්‍රයෙකි. ඔහු දිනක් ඊලියන්ද සිල්වා හමු වන්නට ගියේ  යම් විෂයයක් ගැන සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නටය.

මහේන්ද්‍ර කියන පරිදි කතාබහ අවසානයේ ඊලියන්ද සිල්වා මෙසේ ඇසුවේය.

මොකක්ද ඔය ළමයාගේ නම
'මහේන්ද්‍ර ප්‍රසාද් '

' අයියෝ තනිකර අසිංහල නමක්නේ "

එවිට මහේන්ද්‍ර කිසිවක්  නොකියාම ඊලියන්ද සිල්වා දෙස මද සිනහවකින් යුක්තව බලා සිට ඇත .
මේ මද සිනහවේ පණිවිඩය තේරුම් ගත ඊලියන් ද සිල්වා මෙසේ කීවේය .

' ඇත්ත නේන්නම් මගේ නම ඊලියන්ද සිල්වා . ඒකත් අසිංහල නමක් වෙලා තියෙද්දී අනුන්ගේ නම් ගැන මම කතා කරන්නේ කොහොමද."
ඉන්පසු ඔහු සුසුමක් හෙලා ' මට ඒ නම දෙමාපියන්ගෙන් ලැබුණු නිසා වෙනස් කරන්න බැරි වුනා "

සිංහල තාක්ෂණ වදන් දහස් ගණනක් හඳුන්වා දුන් ඊලියන්ද  සිල්වාට ඔහුගේම නම  වෙනස් කරගන්නට බැරි වුනා වගේම 'අන්තර්ජාලය' වෙනුවට  ඔහු හඳුන්වා දුන්   හුරුබුහුටි  වචනය වන   ' 'අතුරු දැලටිය'   ට සාධාරණයක් කරන්නට අපටද බැරි විය.


මේ ඔහු පිළිබද සිතුම් කොදෙව්වේ ලියවුනු  බ්ලොග්  සටහනකි  ඉහත සේයාරුව ලබා ගත්තේද එම බ්ලොග් අඩවියෙනි.

පසු සටහන :




මගේ දෙවන පොත වන "තිලකසිත දෙක"  මේ සිකුරාදා(පෙබරවාරි 15) එලි දකින අතර පොතත් මමත් දෙදෙනාම කොළඹ මහජන පුස්තකාලයේ 15-16 දෙදනා පුරාම ඔබ හමු වීමට බලා ඉන්න  බවත් දන්වන්නේ සතුටිනි. 16 සෙනසුරාදා හවස මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී බ්ලොග් හා තීරු ලිපි ගැන රසික කතා බහක්ද පැවැත්වේ, වැඩි විස්තර  හෙට .







Posted by තිලකසිත at 4:49 PM 34 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, February 2, 2019

දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය


දුම්මැස්ස photo source ; roar/srilankafor91days
පසුගිය දවසක මා බලන්නට පැමිණි පරණ පත්‍ර මිත්‍රයන් දෙතුන් දෙනෙක්  සමග සුන්දර සැන්දෑවක් ගත වුනා .  එතෙන්දි  අන්තර්ජාලය ලංකාවට  එන්න කලින් අපේ ජීවිතේ ගෙවුණු හැටි ගැන කතා වුනා .

"දන්නවද මචන් 94 අවුරුද්දේ මැද අපේ පත්තරේ කවරයේ කතාවක් ගියා අන්තර්ජාලය ගැන. ඊට පස්සේ සතියේ වෙන පත්තරේක අර ලිපියට මඩක් ගහලා තිබ්බා . ප්‍රතිමල්ලව ලිපියේ මාතෘකාව මෙහෙම එකක්.
 "' හිම කන ඔටුවෝ "
ඉන්ටනෙට් එක ජීවිතේට අත්දැකලා නැති කෙනෙක් ලියපු මුල් ලිපිය නොසෑහෙන  ලෙස විවේචනය කරල තිබ්බ. රුවන් කියපු  විදිහට දෙවැනි ලිපිය මඩක්ම නෙවෙයි සාධාරණ විවේචනයක්.  මොකද ඒ වෙනකොට ලංකාවේ විශ්ව විද්‍යාල අතර සන්නිවේදන ජාලයක් තිබ්බා වුනත් අපි වගේ මිනිස්සුන්ට ඉන්ටනෙට් එකක් ගැන මෙලෝ අත්දැකීමක් තිබ්බේ නෑනේ .

අවුරුදු විසිපහකට වඩා පැරණි මේ වගේ සිද්දි දින වකවානු හා මාතෘකා එක්කම රුවන් ගමගේට මතක තිබ්බේ කොහොමද කියල මම පුදුම වුනා .

මේ කතා බහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට වැදී පරණ පත්තර ගොන්නක් ඇවිස්සුවා . එහි තිබු එක්තරා පත්තර පිටුවක්  දුටු මගේ ඇඟ හීතල වෙලා ගියා .

මම සද්ද නැතිව ඇවිත් ආපහු මිතුරු සමාගමට එකතු වුනා .

ඒ වනවිටත්  රස කරමින්  තිබ්බේ පරණ මතක සැමරුම් වුනත් අනෙක් අතීතාවර්ජනවලට  වඩා තරමක් වෙනස් වුනේ මේවා විද්‍යාවට සම්බන්ධ වූ නිසා. එතැන සිටි  බොහෝ දෙනෙක් විද්‍යා සන්නිවේදනයෙන්  සිය ලේඛන කලාව පටන් ගත්තු වුන් .

පළවෙනිවරට පරිගණකයක් දුටු දවස වගේම පළවෙනි වරට ඊමේලයක් යැවූ දවස බොහෝ දෙනෙකුට  මතක තිබ්බා ,

එදා හැන්දෑවේ මම මතක මං පෙතේ ඇවිදමින් සිටිද්දී  ජීවිතේ පළමුවරට සිදු වුවා යැයි මතකයේ රැඳුණු  දේවල් කීපයක් සිහිපත් වුනා . මේ ඒ අතරින්   කීපයක්  :

ඉස්සෙල්ලාම මැෂින් තුවක්කුවක් දැක්ක දවස 

යන්තම්  අවුරුදු හතරක් විතර වෙද්දී මට මැෂින් තුවක්කුවක් දැකීමේ  (අ)වාසනාව ලැබුනා. දවසක්  අපේ ගමේ පාර කෙලවර වෙන තැන ආමි එකෙන් මුර දාලා තිබ්බා . අක්කලා  කිව්වේ චේගුවේරා කාරයෝ අල්ලන්න ඇවිත් කියලා. ඒත් ඒ හමුදා භටයන් ළඟ  තිබුණූ කළු පාට ආයුධය මට මාර සංවේදනයක්ගෙ ගෙනාවා. මේකෙන් මිනිස්සු මරනවා කියලා කිසිම විදිහකින් හිතුනේ නෑ. තරමක් ලොකු වෙනකම් මම ඇඳපු හැම චිත්‍රයකම වගේ තුවක්කුවක් ගත්තු හමුදා බටයෙක් හිටියා.  1971 ට පස්සේ  83 ඉඳන් 2009 වෙනකම් තුවක්කු  දැක්කා වුනාට අපේ පරම්පරාව හරියාකාරව පරිණත වුනේ නැති බවයි මටනම් තේරෙන්නේ.

පළමු වරට කේක් කෑම

ළදරු වයසේදී කේක් කෑවද කියල මට මතක නෑ. මට මතක පළමු කේක් රස වින්දේ  ආච්චිලා ගෙදරදී. "කොළඹ මාමා  ඇවිත්"
අපේ ගෙදර  ඇවිස්සෙන සිද්දියක් තමයි මාමා ගමේ ඒම. ඒ ඔහු ගෙනෙන වයිවාරන රසකැවිලි නිසා .  මේ කියන දවසේ අයියාත් අක්කලාත් කලින්ම ආච්චිලා ගෙදර  ගිහින් .
 "අන්න චුටික්කුන්ට  මාමා කේක් ගෙනල්ලා  බලා ඉන්නවා "
 කවුදෝ මාව වඩාගෙන ආච්චිලා ගෙදර ගියා . මාමා පෙන්න හිටයද මතක නෑ. ආච්චී කුස්සියේ දුම්මැස්ස යට හාල් සෝදමින්  සිටියා. කොරහයි නෑඹීලියයි ඇගේ දෑතේ නැළවෙනවා . අපි දුටු ගමන් ඈ "පොඩි එකාගේ කේක් කෑල්ල" කියමින් නැගී හිටියා . ආච්චී  ලිපට උඩින් තිබු දුම්මැස්සේ උණ්ඩි කොට තිබුණු සව් කරදාසියක් දිග ඇරියා . එසේ දිග අරිද්දී ...
අහෝ ඛේදයකි .!  අර කේක් කෑල්ල සව් කරදසියෙන් හා ආච්චිගේ දෝතින් ලිස්සා විත් ජබෝග් ගාලා කොරහට වැටුණා.

ඒත් මම එතරම් අවාසනාවන්ත වුනේ නෑ . ආච්චී හාල් හේදු වතුරෙන් මෙලෙක් වූ කේක් කෑල්ල දෙපැත්තට ගසා දමා ආපහු මගේ  සිඟිති මුවට රින්ගේව්වා .
ඒ තමයි මා රසවිඳි මුල්ම කේක් කැබැල්ල . හාල් සේදු වතුරෙන් පොඟවා ගත් බටර් කේක් තමයි මේ ලෝකේ රසම කෑම. අත්දුටුවයි සත්තයි.

ඉස්සෙල්ලාම කුකුල් මස් ගැන කතා වුනු දවස 

ඉස්සර කඩවල බ්‍රොයිලර් චිකන් තිබ්බේ නෑ. සීතකරන තිබ්බ කඩ ගැන අහලා තිබ්බේ නෑ. කරවල, සැමන් ඇරුනහම ඉඳහිට හරක් මස් ගෙදරට ගෙනාවා.  ඒත් කුකුල් මස් කාලා තිබ්බද කියල මතකයක් නෑ මේ සිද්දිය වෙනකම්. දවසක් අර කියන කොළඹ  මාමා සිය පවුලත් සමග දියතලාවේ එද්දී කෝච්චියේදී ඉරාක ජාතික පවුලක් හමු වෙලා. ලංකාවේ සංචාරයකට ආපු මේ පවුල අපේ ගමේ ගෙදර ඇඩ්රස් එක හොයාගෙන ආවේ ඊට පස්සේ. අබ්බාස් කියල හුරු බුහුටි දඟකාර ළමයෙක් හිටියා මේ පවුලේ. මට ඔහුගේ හැම හැසිරීමක්ම මතකයි. මේ පවුලට ආගන්තුක සත්කාර කරන්න ඕනි වුනා. ඔවුන්ට  කුකුල් මස් හා කහ  බතකින් සංග්‍රහ කරන්න ඕනි කියලා මාමා කී නිසා කවුරුන් හෝ එහා ගමට ගිහින් කුකුල් මස් ගෙනාවා මතකයි. මේ තමයි කුකුල් මස් සම්බන්ධ මතකයක් තියෙන පළමුවෙනි දවස .

කුකුල් මස් නැති , කේක් නැති ලෝකෙක ජීවත් වූ අපි පරිගණක හෝ අන්තර්ජාලය නැති යුගයකත් ජීවත් වුනා .

ඉස්සෙල්ලාම අතුරු ජාලය ගැන ලියු ලිපිය 


මේ  තියෙන්නේ 1994 ලංකාවේ ජනප්‍රිය විද්‍යා පත්තරේක කවරය. එදා සතියේ විශේෂාංගය නම් කරලා තිබුනේ ' සන්නිවේදන කරලිය එක දෙක කරන අතුරු ජාලය " කියලයි .


කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
ඒ ගැන පස්සේ ලියන්නම්


Posted by තිලකසිත at 8:54 AM 26 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Saturday, January 12, 2019

ඝරේ බයිරේ හෙවත් ගෙදර සහ ලෝකය



රවින්ද්‍රනාත් තාගෝර්ගේ ඝරේ බයිරේ  නම් නවකතාව ඇසුරෙන් සත්යජිත් රායි  එනමින්ම යුත් චිත්‍රපටියක් නිර්මාණය කලේ 1984 දීය . ඝරේ බයිරේ යන බෙන්ගාලි යෙදුමේ තේරුම  'නිවාස හා ලෝකය' වගේ එකක්ලු.

ඔහුගේ කතාවේ තේමාව  එහි නම තරම් සරල එකක් නොවුවත් මම කියන්නට යන ගෙදර හා ලෝකය ගැන කතාව අමුතුම එකකි .

මධ්‍යම අධිවේගය පාරේ මිනුම් වැඩ වගේකට  යද්දී එක්තරා ගම්මානයකදී මා දුටුවේ පාලු වී ගිය සුවිසල් නිවහන්ය . විශාල  උයන් වතු මද හැදු  මේ නවීන පන්නයේ ගෙවල් බොහෝ ඒවා හිස්ව පැවතීම මට මහත් ගැටළුවක් විය. මගේ කුතුහලය නිවා ගැනීමට ගම්වැසියෙක් උදව් වුනේය.

' ඔය ගෙයක් දොරක්  දුක් මහන්සියෙන් ලස්සනට හදන මිනිස්සු ඔක්කොම වගේ ළමයින්ටත්  හොඳට උගන්වනවා. අනේ අර ඉගෙන ගත්තු ළමයි ගමේ තියා රටේවත් ඉන්නේ නෑ . හදාපු ගේ තනියම ඉන්නේ මහළු ජෝඩුව  විතරයි.  නැත්නම් ඒ දෙන්නත් කවුරුහරි ගාවට  වෙලා ඉන්නවා. ගොඩක් ගෙවල් වගලා".

මේ කතාවත් සමග මට මතක් වුනේ ගෙයක් හදන්නට අවුරුදු තිහක් උත්සහ කළ මගේ වැඩිමහල් මිත්‍රයෙක් ගැනය. ඔහු දක්ෂ ඉංජිනේරුවෙකි. අවුරුදු තිහක්ම රස්සාව කළේ පිටරටය. සල්ලි හොය හොයා ලංකාවට එව්වේය. ළමයින්ට උගන්වා රට යැව්වේය .

ඔහුගේ එකම සිහිනය උනේ කවදාහරි ලංකාවට ඇවිත් ලස්සන ගෙයක් හදාගෙන නිදහසේ විශ්‍රාම දිවියක් ගෙවීමය .

මැද  පෙරදිග රටකදී වරක්  ඔහු කී කතාවක් මට තාමත් මතකය .

"තිලක මම පුංචි කාලේ සිද්දියක් කියන්නම්.  අපේ තාත්තා රජයේ නිලදාරියෙක් . නොයෙක් මිනිස්සු ඔහුගෙන් රාජකාරී වැඩ කරවාගන ගෙදරට එනවා . එහෙම ආපු කෙනෙක්  දවසක් ලස්සන ලොකු චොකලට් පෙට්ටියක් ගෙනාවා . මම දොරට මුවා වෙලා බලා හිටියා ඒ මනුස්සයා පිටත් වෙලා යනකම්. ටී පෝව උඩ තිබ්බ චොකලට් පෙට්ටිය දිහා ඇසිපිය දල්වාගෙන.  ඒ තරම් විශාල ලස්සන කවරෙක දාපු චොකලට් පෙට්ටියක් මීට කලින් මට ලැබිලා තිබ්බේ එකම වතාවක් විතරයි "

ඔන්න දැන් මනුස්සයාගේ වැඩේ ඉවරයි . තාත්තට  අත් දෙක එක්කහු කරලා ආයුබෝවන් කියල යන්න දොරට බැස්සා. මම සාලේ ටීපෝව දිහාට අඩියක් තියන්න හදනකටම අපේ තාත්තා  අර පිටත් වෙලා යන අමුත්තාට  කතා කළා.
"පොඩ්ඩක් ඉන්න මේ ඔයා ගෙනාව පාර්සලෙත් අරන් යන්න. මම තෑගී ගන්නේ නෑ '

' අනේ මහත්තයෝ මගේ සන්තෝසෙට බොහොම පුංචි තෑග්ගක් ගෙනාවේ. පොඩි  දරුවෙකුත් ඉන්න  නිසා '

' නෑ ඒක මගේ ප්‍රතිපත්තියක්. රාජකාරී  වැඩක් කර ගන්න  ආව කාගෙන්වත් තෑගී ගන්නේ නෑ . ඔහේ මාව හිතවත් කමට බලල යන්න ආපු කෙනක්නම් මට මේක ගන්න තිබ්බ. කරුණා කරලා අරන් යන්න '

තාත්තා ආපසු හරවන්න බැරි දැඩි ස්වරුපයෙන් කියපු නිසා අමුත්තා ඔළුව කහ කහ චොකලට් පෙට්ටියත් අරන් ගියේ වරදකාරී ලෙස පස්ස හැරී හැරී බලමින්

චොකලට් පෙට්ටිය ගැන ආසාවෙන් හිටපු මගේ හිතේ ඇවිලුණු ගින්න මහා ඉකියකින් පිට වුනා
අමුත්තා ගිය හැටියේම මම තාත්තගේ අතේ එල්ලුනා. ' ඇයි තාත්තේ එහෙම කලේ. එයා තෑග්ගක්නේ  ගෙනාවේ . ඒ මටනේ?   '

ඒගමන තාත්තා  මටත් සැර  වුනා . "අපිට අයිති  තෑගී, අයිති නැති තෑගී කියලා දෙවර්ගයක් තියෙනවා පුතා. ඒක හොඳට මතක තියා ගන්න" .

ඔයා දන්නවද එදා මගේ ජීවිතේ මාර විදිහට වෙනස් වෙච්ච දවසක්.
මම පේරාදෙණියෙන් අවුට් වෙලා වැඩ කරන්න හම්බ වෙච්ච ප්‍රොජෙක්ට්  වල ධන ඉල්ලම් තිබ්බ . තෑගී බෝග වැහි වහලා. අවුරුද්දට දෙපාරක් විතර හම්බෙන හැම්පර් එක  ඉස්තරම් . ඒත් මේ එකකටවත් මට ආසා හිතුනේ  නෑ. මගේම සල්ලිවලින්  රට රටවල ඇවිදින එක හොඳ ගෙයක් හදන සිහිනය විතරක් තිබ්බා" .

මම කවදාවත් රට දාල කැනඩාවට ඔස්ට්‍රේලියාවට යන්න හිතුවේ  නැතත් මැද පෙරදිග රස්සාවක්  කරනවා කියල හිතාගෙන පිටත් වුනා . ඒ මීට අවුරුදු 30කට  කලින්. හොඳ ලස්සනට ගෙයක් හදන හීනේ මගේ ළඟ හැම තිස්සෙම තිබ්බා  "

මුලින්ම ඩුබායි හි රස්සාවක්  කළ මා මිතුරා ගෙයක් හදන්නට අවැසි සියලු දේ වරින් වර මිලට ගත්තා. බිම්  ගඩොල්. නාන කාමර කට්ටල, දොර ලොක්, සරනේරු, පැන්ට්‍රි බඩු ඒ අතර වුනා . අවුරුදු කීපයක් රස්සාව කරලා මිත්‍රයා ලංකාවට ආවේ ගෙයක් හදන්න බලාගෙන . එත් ලංකාවට ආ හැටියේම ආපහු හොඳ තනතුරක් එක්ක රස්සාවක් ලැබුනා ඩුබායි වලම. ගෙනාපු බඩු සේරම යාලු මිත්‍රයන්ට බෙදා හදා  දීලා ආපහු රට ගියා . ඔන්න දැන් වැඩට ගිහින් ඇවිල්ලා හවස් වරුවල, සති අන්ත නිවාඩු දවස්වල කඩ ගානේ ඇවිදිනවා . ගෙදර හදන්න හොඳම බඩු  ගන්නවා. ගේ වෙනම කාමරයක් පුරවන්න තරම් දොර ජනෙල් සරනේරු  විදුලි පංකා , කාපට් ආදිය.

ඒත් ටික දවසකින් ඩුබායි සිට කටාර්වලට ස්ථාන මාරුවක් ලැබෙනවා. අර ගේ හදන්න ගත්තු බඩු භාණ්ඩ සියල්ල කන්ටේනරයක පටවාගෙන කටාර් එනවා. මිත්‍රයා මට හමු වනේ ඒ කාලේදී  . මගේ කටාර් ජීවිතය රසවත් කල අපූරු මිත්‍රයෙක් . පවුලේ සියලු දෙනා මිත්‍රශීලීයි. කලාකාමීයෝ .

 ඔහුගේ කැමතිම මාතෘකා වුනේ සංගීතය, ක්‍රිකට්, ෆොටෝග්‍රපි හා ගෙවල් හදන එක .

අනාගත ගෙදරට ඕනෑ ප්රෙසර් පොම්ප,ජල කරාම, විදුලි ස්විච වරින් වර මිලට  ගන්නා ඔහු ඒවා වෙනම කාමරයක අහුරනවා. මේ එක භාණ්ඩයක ගන්න සමහර විට  දවස් ගානක් කැටලොග් බලනවා. ඉන්ටනෙට් පීරනවා, තුන් හතර දෙනෙක් එක්ක කතා කරනවා, කඩ දහයක පහළොවක ඇවිදිනවා.

ලංකාවට එන්න අවුරුද්දකට කලින් හැමදේම සැලසුම් කළා . ආකිටෙක්ට් කෙනෙක් තෝරා ගත්තා , සැලසුම් අන්දා , වෙනස් කරා.  නැවත නැවත  වෙනස් කරා . අන්තිමේ  ආකිටෙක්වත් වෙනස් කරා .
ගිය අවුරුද්දේ ඇඳලා නිමා  කරපු  ලස්සන නිවාස සැලසුමකුත්  අරන් අලුත්  ගෙදර හදන්න  ඕන හාඩ් වෙයාර් අයිටම් මහා ගොඩක් නැවේ දාගෙන ලංකාවට ආවා .

ගේ හදන්න තෝරා ගත්තු ඉඩම කිට්ටුව ගෙයක් කුලියට අරං පදිංචි උනා . දැන් ගේ හදන්න අනුමැතිය ගන්න , කොන්ත්‍රාත් කරුවන්  හොයන්න ඇවිදිනවා. මටත් කතා කරනවා. ඔහොම කාලයක් ගියා . ගේ හදන පාටක් නැ.

අනිතීමේ ඔහු මෙහෙම කතාවක් කිව්වා . "මේක පුදුම රස්තියාදුවක්. මම ගේ හදන එක ඇත ඇරියා . ආකිටෙක්ලත්, ඉන්ජිනේරුවොත්, බාස්ලත්, නගර ස්බාවත් මේ හැමෝම මට ගේ හදන  එක එපා කළා".

ඉතින් දැන් ගෙයක් සල්ලිවලට  ගන්නවද ? මම ඇහුවා .

"නෑ අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට  යනවා. දුවලත් එක්ක එකට ඉන්න පුළුවන් එතකොට  මම පහුගිය ටිකේ ආසාවෙන් හිටියේ අලුත් ගේ හදලා යාලුවොත් එක්ක සංගීත සාජ්ජ දාන්න. මට ඒක මිස් වෙනවා.  ඒත් අරෙහෙ ගිහින් මම ගෙයක් ගන්නවා".

මට බොහෝ වැඩිමහලු මුත් තරුණයෙකුටත් වඩා ජීවිතය දෙස බලාපොරූත්තු තබාගෙන සතුටින් සිටි මගේ මිත්‍රයා අන්තිමේ රට හැර ගියේ ඔහොමය .

එත් ඔහු කවදා හෝ ලංකාවේ ගෙයක් හදන්වාමයි කියන සිහිනයද යම්තාක් දුරකට සාක්සාත්   කර ගත්තේය .
ඒ මීට වසර 30කට පෙර තම කන්තෝරුවේ සේවය කළ පියන්වරයා තාමත් ගෙයක් හදාගෙන නැති බව ආරංචි වී ඔහු සොයාගෙන ගොස් ලස්සන පොඩි ගෙයක් හදා දීමෙනි .

ගෙදර හා ලෝකය සම්බන්ද වී ජීවිතය ගලාගෙන යන්නේ ඔහොමය. ඒ අතරේ යළි යළිත් ප්‍රත්‍යක්ෂ වෙනවා  අපට අයිති තෑගී හා අයිති නැති තෑගී කියල වර්ග දෙකක් තියෙන වග.


Photo Source :  releasesoon.com




Posted by තිලකසිත at 3:07 PM 16 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

My Blog List

  • ඉකොනොමැට්ටාගේ බොජුන්හල
    දකුණට කැරකෙන්න අමාරු ඇයි?
  • Hot Chocolate Days
    වැහි ලිලී මල්
  • Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
    මඟුල් වදේ - තෙවෙනි කොටස
  • අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya
    මහින්දාගමනය......
  • Chandima Gomes
    මේ KDU MC එක ගැන නොවේ
  • THATTAYAGE KOLAMA . . . . . . . . . . . . . තට්ටයාගේ කොලම - Thattaya's Column
    289. බලු නොවටින බලු කථාවක්!
  • ලියනගේ අමරකීර්ති (Liyanage Amarakeerthi)
    ප්‍රබුද්ධ ජීවිතයක් වෙනුවෙන් චිත්තරූප සංචිතය ගොඩනැගීම හෙවත් සෞන්දර්ය අධ්‍යාපනය- ලියනගේ අමරකීර්ති
  • කාර් පිස්සුව
    ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි)
  • දේශකයා
    සරත් විමලසූරිය කොයි වගේද??
  • යාං හෑල්ල
    නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං
  • ඉවාන් පවුලූශා
  • අනිත් කොන - a doctor's heart sutra
  • 18 සන්නිය | 18 Sanniya
  • අටම්පහුර atampahura
  • කොළඹ ගමයා
  • විසිරි සිහින
  • මාතලන් | Maathalan
  • රසිකොලොජි - Rasikology
  • නිදහස් සිතුවිලි
  • පරිවර්තන....Parivarthana
  • හැලපයා helapaya
  • තරුරසී
  • කල්‍යාණ මිත්‍ර
  • අධ්‍යාපන රසකතා
  • අනිත් කොන - a doctor's heart sutra
  • බිත්තිය
Show 3 Show All

Blog Archive

  • ►  2024 (15)
    • ►  December (5)
    • ►  November (4)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (1)
    • ►  January (2)
  • ►  2023 (13)
    • ►  December (3)
    • ►  November (4)
    • ►  October (2)
    • ►  August (1)
    • ►  May (3)
  • ►  2022 (4)
    • ►  December (3)
    • ►  October (1)
  • ►  2021 (4)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  June (1)
  • ►  2020 (34)
    • ►  September (2)
    • ►  August (4)
    • ►  July (4)
    • ►  June (4)
    • ►  May (5)
    • ►  April (8)
    • ►  March (3)
    • ►  February (2)
    • ►  January (2)
  • ▼  2019 (7)
    • ▼  December (1)
      • දොළොස් මහෙන් උපන් බබා
    • ►  October (1)
      • බිබිලේ වැස්ස 2 හෙවත් බයියන්ට නම ලැබුණු හැටි
    • ►  September (1)
      • බිබිලට වහිනවද ?
    • ►  July (1)
      • ලාල්ගේ මතක පොත - කළු ජුලිය
    • ►  February (2)
      • ඊලියන්ද සිල්වා හෙවත් ටයිටස් තොටවත්තගේ ලොකු අයියා
      • දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය
    • ►  January (1)
      • ඝරේ බයිරේ හෙවත් ගෙදර සහ ලෝකය
  • ►  2018 (10)
    • ►  December (2)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (3)
  • ►  2017 (10)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  June (1)
    • ►  May (1)
    • ►  April (3)
    • ►  February (2)
  • ►  2016 (24)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (4)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  April (2)
    • ►  March (1)
    • ►  February (1)
    • ►  January (3)
  • ►  2015 (22)
    • ►  December (1)
    • ►  November (1)
    • ►  October (3)
    • ►  September (1)
    • ►  August (3)
    • ►  July (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (2)
    • ►  March (2)
    • ►  February (2)
    • ►  January (2)
  • ►  2014 (30)
    • ►  November (2)
    • ►  October (3)
    • ►  September (3)
    • ►  August (3)
    • ►  July (2)
    • ►  June (3)
    • ►  May (2)
    • ►  April (3)
    • ►  March (3)
    • ►  February (3)
    • ►  January (3)
  • ►  2013 (34)
    • ►  December (4)
    • ►  November (3)
    • ►  October (3)
    • ►  September (4)
    • ►  August (4)
    • ►  July (5)
    • ►  June (4)
    • ►  May (7)

Istanbul Diary

  • Istanbul Diary (6)
  • නව කතාව (28)

Followers

Popular Posts

  • පේරාදෙණියේ මැදුරු කුළුණුවල සැඟවුණු චරිත කතා - හිල්ඩා ඔබේසේකර, රාමනාදන්, අක්බාර් ඇතුළු පිරිස -1
    Photo-Sunday Times පේ රාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි.  බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ 'කාඩ්' එකක...
  • සර් කියලා කියාපන්
    මී ට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිව...
  • වේවැල් කසාය හා සඳුදා අක්කා
    උ ගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම හුරු වී  සිටි හොඳ පුරුදු දෙකකි . මේ අතුරු කතාව ඊට සාක්කි කියනු ඇත. ***** දඬු...
  • කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ
    පා සැල් , සරසවි හා ගුරු විදුහල් කලා පුවරුවලින් ලියන්ට පටන් ගත්ත රචකයෝ රචිකාවෝ එමටයි. මේ වෙන වෙනම ගුරුකුල හදා ගන්ට හදනවා  නෙවෙයි. ඒත් මට ප...
  • අක්බාර් කැන්ටිම සිර අඩස්සියක් වූ දවස
    Akbar Hall- from AllTravels මා කලකට පෙර කියවූ එක්තරා විදෙස් කෙටි කතාවක සාරය මට මතක හැටියට මේ විදිහය . රටවල් දෙකක් අතර කලක් තිස්සේ පැ...
  • විසි අට වෙනි කොටස A - අටවිසි මහල පොත නිකුත් වෙයි
      (මේ පලවන්නේ අටවිසි මහල නවකතාවේ විසි අට Aවෙනි කොටසයි. මින් පෙර කොටස් සියල්ල මෙතනින්  .  මේ  කොටස කියවීමට පෙර කල් වේලා අරගෙන මුල් කොටස් ටික...
  • මගුල් ගෙදර
    ම ට බොහොම වැදගත් වූ මගුල් ගෙවල් දෙකක් තිබුණි. එකක් අපේ අයියාගේ මගුල් ගෙදරය. අප්‍රේල් මාසයක එකොලොස් වැනිදා අයියා මගුල් ගෙදර ගන්නා  බව මට ක...
  • අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස
    ඔ බට  ලෝකය වටා හතරපාරක් ගිහින් එන්නට කියා කවුරුහරි කීවොත් අනේ අම්මේ කොච්චර දුරක්ද කියා හිතේවි. ඒත් දන්නවද වැඩක් ? අපේ මොලයේ ඇති සියුම් ස...
  • තුම්මංහන්දියේ ලොකුමාමා හෙවත් අපේ සමන් රන්ජිත්
    කා රයේ පිටුපස අසුනේ හරස් අතට මම නිදාගෙන ආවා .වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි . බණ්ඩාරවෙල හපුතලේ පසුකරමින් රිය බෙරගල පල්ලම බසිමින් සිටියා ....
  • පේරාදෙණියේ ෆිල්ම් සොක-1
      Peradeniya University Arts Theater ( www.pdn.ac.lk) ව ල , සොක හා ගැට්ට කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . ...

Labels

  • Istanbul Diary
  • නව කතාව

දින පොත

  • Home
  • Diary

Labels

  • Istanbul Diary
  • නව කතාව

ජීවන කතන්දර

  • Istanbul Diary
  • නව කතාව

චරිත කතා

  • Istanbul Diary
  • නව කතාව

කෙටි කතා

  • Istanbul Diary
  • නව කතාව

දින සටහන්

  • Istanbul Diary
  • නව කතාව
Picture Window theme. Powered by Blogger.