Sunday, December 15, 2013

මට ගඟක් තිබුනා


මට ඔයක් තිබුනා
ඉස්කෝලේ ඇරිලා
ආපු හැටියේම
බත් ටික එහෙ මෙහෙන් අතගා
රැලේ උන්  එක්ක දුවගොස්
දියබුන් ගගහ පීනපු

රෙදි සෝදන ලියෝ
කිචි බිචිය අතරෙම
කාගේ දරුවත් එකයි
මෙහෙ වරෙන් කියලා
ඇඟ පුරා සබන් ගා
නාවලා පිහිදාපු

වේලෙන්න වෙලා නැති
කලිසම තෙතයි තාමත්
ඉලාස්ටික් පටිය ඇද
ඔලුවේ දමාගෙන
අඩක් හෙලිකොට්ටෙන්
හු තිය තියා නියර පිට
වැටි වැටී ගෙදර එනකොට
ආයෙමත් මඩකරි

හෝදලා ගෙට අරං
හීල්බත් කවලා
ලාම්පු පත්තු කෙරුවාම
වෑල්ව් රේඩියෝවෙන්
'ලන්දේසි දුපත'
අක්කාට තුරුළුවී
අසා ගත් කයි කතන්දර

හීනෙන් ආයිමත් ගඟබඩ
සිරීපාදේ යන
කහපාට සමනල්ලු
දේදුනු පියාපත්
සලන බත්කුරු පෙළ
හීන් බෝවිටියා ගහ
උඩ හිටපු කුරුල්ලා

පාන්දර හුළං එන්නට
ජනේලය ඇරියාම
අරපේන  ඉදල්ගස්හින්න
හරි පුදුම ඉස්ටේෂම
වහලේ ඒ පැත්තේ වතුර
වලවේ ගඟට එක්වෙන
මේ පැත්තේ වතුර සේරම
එක්වේවි මගේ  ගඟට
තිරිකුනාමලේ ගොස්
මුහුදු යන්නට හිතං

වයස විස්සක් වෙද්දී
මට  ආයේ හම්බුනා
මගෙ ඔයම ගඟක්වී.
දැන් ලොකුයි හරි  හැඩයි
දෑල උණපඳුරු ටික
නැමී නැමී හාදු දෙයි

හංගගෙන අපෙ රහස
අක්බාර් පාලමින් එගොඩට
පියමනින වෙලාවක
බැචෙක් ඇහුවා මගෙන්
මොනොවා තිබිලාද බොට
ඔය තරම් ආඩම්බර ?

ඇඳුම් පිළිවෙලක් නෑ
කෙල්ලෝ ඒ හැටි බලන් නෑ
පස්ට් ක්ලාස් මුකුත් නෑ
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති උඹ
ඇයි ඔය තරම් ගෙම්බර?

මම ඉතින් හිනැහුනා
බල බලා ගඟ දිහා
හවස ගැටඹේදී හමුවෙලා
ටිකක් වටපිට ඇවිදලා
කතා කර කර ඉමුද කියලා
ඇහුවා මගෙ ගඟ කොඳුරලා


(සටහන: මතක කතන්දරයක් ලියන්න ගත්තාම මට හිතුනා මේ විදිහට ලියන්න ඕනි කියලා. එත් මේක කිසම පිලිවෙළකට , විරිතකට ලියන්න මම දන්නේ නෑ. )

චිත්‍රය ඇන්දේ  ඔවිනි 

37 comments:

  1. මටත් තාලයක් නම් හොයා ගන්න බැරිවුනා මචං ඒත් අමුතු ගතියක් නම් දැණුනා. කියන්ඩ ඕන පනිවුඩය නම් තේරැනා. මෙහෙම ලියන කලාවටත් නමක් ඇති. චිත්‍රයත් මරැ මචං! උඹට ජය!!!

    ReplyDelete
    Replies
    1. බලමු මචන් අපි මොකක් හරි තාලයක් හොයා ගන්න ආයේ මේ වගේ ලියනකොට . ස්තුතියි උඹට .

      Delete
  2. මේ ලියලා තියෙන විදිය ලස්සණයි. කියන්ට ඕනි හැමදෙයක්ම කියවිලා තියෙනවා රූප රාමු මැවී යන විදියටම. :)

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි පොඩ්ඩි මේ පැත්තේ ආවාට රස විඳ අගය කෙරුවාට

      Delete
  3. ඔහේගෙම නොවන ඔහේගෙම එකක් නේද?

    ReplyDelete
    Replies
    1. කාලයක් මගේම කියලා හිතා හිටි මගේ නොවන දෙයක්

      Delete
  4. ////රෙදි සෝදන ලියෝ
    කිචි බිචිය අතරෙම
    කාගේ දරුවත් එකයි
    මෙහෙ වරෙන් කියලා
    ඇඟ පුරා සබන් ගා
    නාවලා පිහිදාපු//////

    ඒවා මෙහෙම තමයි...තාමත් මතකයි....චිත්‍රය ඇන්දේ දුවෙක්ද? ලස්සනයි කිව්වා කියපන්.

    ReplyDelete
    Replies
    1. චිත්‍රය ඇන්දේ අපේ පොඩි දෝණි . ස්තුතියි අරු

      Delete
  5. මෙන්න නියම කවිය ... මමත් කවි ලියන්නේ මේ විදියටමයි මොන යකෙක්ටවත් බෑ මෙකි තාලය හොයා ගන්න කොටින්ම මටත් බෑ ......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වෙලාවක එන්නම් ඔයාගේ කවි බලන්නත්

      Delete
  6. අර ඉදල්ගස් හින්න ඉස්ටේසමේ කතාව මම හිතන්නේ තේරුණා.. ඒත් පොඩ්ඩක් පැහැදිලි කරනව නම් හොඳයි? ඒ කියන්නේ එතන පිහිටීම අනුව වහලේ දෙපැත්තට වැටෙන වතුර වලවේ ගඟටයි, මහවැලි ගඟටයි ද එකතු වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔවු තිසර ඉදල්ගස්සින්නේ ඉස්ටෙශමේ පිහිටීම අනුව ඒ කේ වහලට වැටෙන වතුර ගංගා දෙකකට යනවා. එකක්නම් මහවැලි ගඟ . අනික වලවේ ගඟ කියලයි අහලා තිබ්බේ . එත් මට සැකයි කිරිඳි ඔයද කියලා

      Delete
  7. තාලේ එපා.. තේරුම ඇති..
    ගොඩක් විශිෂ්ටයි. විශ්වාස කරනවද මගේ ඇස් දෙකේ මැවුනා ඉදිරියේ..
    කඳුළු දිලිහෙනව මටම පෙනුනා..
    නියමයි අනර්ඝයි .

    ඇඳුම් පිළිවෙලක් නෑ
    කෙල්ලෝ ඒ හැටි බලන් නෑ
    පස්ට් ක්ලාස් මුකුත් නෑ
    තේ වතු වාහන මන්දිර
    ෆැක්ටරි මුකුත් නැති උඹ
    ඇයි ඔය තරම් ගෙම්බර?

    මම ඉතින් හිනැහුනා
    බල බලා ගඟ දිහා
    හවස ගැටඹේදී හමුවෙලා
    ටිකක් වටපිට ඇවිදලා
    කතා කර කර ඉමුද කියලා
    ඇහුවා මගෙ ගඟ කොඳුරලා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි මේ අගය කිරිල්ලට. ඔබේ රස වින්දනය ගැන ඉතා සතුටුයි

      Delete
  8. කවුද අනේ සිත්තරේ ඇන්ද ඔවිනි

    ReplyDelete
    Replies
    1. ඔවිනි අපේ පොඩි දෝණි . මගේ රසිකාවියක්. ඒ වගේම කියවලා හැමදාම හොඳ විචාරයකුත් දෙනවා

      Delete
  9. ලස්සනයි.

    "මම ඉතින් හිනැහුනා
    බල බලා ගඟ දිහා
    හවස ගැටඹේදී හමුවෙලා
    ටිකක් වටපිට ඇවිදලා
    කතා කර කර ඉමුද කියලා
    ඇහුවා මගෙ ගඟ කොඳුරලා"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කඳු
      ඇත්තටම ගැටඹේ හරියේදී මහවැලි ගඟ වටයක් ඇවිදිනවා . ඒකයි මට 'ටිකක් වටපිට ඇවිදලා ' කියල ලියන්න හිතුනේ.

      Delete
    2. මට හිතුණේ ගඟ ඔබේ පෙම්වතිය කියලා :)

      Delete
  10. ලස්සන සිතුවිල්ලක් තිලකේ,ඔහොම ලියාගන්න පුළුවන් එකත් හරි වටිනවා චිත්‍රය ලස්සනයි කිව්වා කියපං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්. චිත්‍රය ගැන දුවට කිව්වා.

      Delete
  11. නියම ගැමි වදන් ටිකක් අෆ්ෆා..පට්ටයි

    ReplyDelete
  12. අම්මප සෑර්, මම හිතාන හිටියෙ මැත කරපු සෑර්ලට සාහිත්‍ය අරහං කියල නෙව.

    ReplyDelete
    Replies
    1. මැතකාරයෝ ගාවත් එක එක විදිහේ සාහිත්‍යය තියෙනවා ගුනේ.

      Delete
  13. පට්ටයි ඈ, නිදහසේ එන සිතුවිලි නේ. ඉතිං වදින්නේ පපුවටමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොඳුරු යක්ෂයා D

      Delete
  14. විරිත් නැති වුණාට සිතුවිල්ල අපූරු යි, සොඳුරු යි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි. ඔබේ කවි මා කියවනවා

      Delete
  15. මටත් මගේ නොවන මගේම මෙහෙම ටිකකුත් තිබුනා. (ඔක්කෝම නෙමෙයි) හැබැයි මේ වගේ කවි තමා ගති. එක් එක කුල වලට නොබෙද ඉන්න පුළුවන්නිසා හොදයි.. නැද්ද මං අහන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹේ නොවන උඹේම මෙව්වා එකේ කතාවත් ලියපන් ළඟදීම. තාලයක් නැති එකත් තාලයක් උනා එහෙනම් . ස්තුතියි උඹට

      Delete
  16. මේ තිලකයියේ කෝ අපේ කොමෙන්ට්ස්,

    ReplyDelete
    Replies
    1. ???ඔන්න ඔච්චරයි මලයො තිබ්බෙ

      Delete
  17. මෙම කවිය ඉතා උසස් නිර්මාණයකි.

    ReplyDelete
  18. /වයස විස්සක් වෙද්දී -මට ආයේ හම්බුනා, මගෙ ඔයම ගඟක්වී- දැන් ලොකුයි හරි හැඩයි
    දෑල උණපඳුරු ටික - නැමී නැමී හාදු දෙයි /
    මෙම පැදියෙන් ඉතාමත් ගැඹුරු අදහසක් ගම්‍ය වන බව තේරුම් ගත හැකියි. ජීවිතයත් ඒ වගේමයි. එදා ඔයේ පැන නා යලිත් මඩ ගා ගන්නා කොලුවා වසර විස්සකට පසු අක්බාර් ශාලාව අබියස මහා ගංගාව අසල සිටින්නේ ජීවිතයේ සන්ධිස්ථානයකට පැමිණිලා.

    ReplyDelete