පොඩි මාමා නැගෙනහිර ලංකාවේ අති දුෂ්කර ගමෙක කුඩා ඉස්කෝලෙක උගන්න
උගන්නා හිටියේ හිරිමල් ගැටයෙකු සන්දියේය. ඇසුවේ දශකය අග හරියේදී යුද බිය හා ඉඩෝරයෙන්
හෙම්බත් පරිසරයක දී සාගින්දරෙන් පෙළුණු පැටවුන් දවසකට හත් අට දෙනා ගානේ ඉස්කෝලේ ඇතුලේ කලන්තය දදා ඇද
වැටෙන සමයක ඔහු සෞඛයය හා සමාජ අධ්‍යයනය උගන්වමින් සිටියේය, පෝෂණය හා සහජීවනය ගැන පවා කියා දෙමින් සිටියේය.
ඉස්කෝලේ පැටවුන්ගේ කුසේ ගින්දරත් දුප්පත් කමත් ගැන අකම්පාලව
සිටි පොඩි මාමාගේ පඩියෙන් බාගයක්ම ඉස්කෝලේ ළඟ පෙට්ටි කඩෙන් පොඩි උන්ට ඕනෑ පොත් පත්
හා කිඹුලා බනිස් ගෙන්නා දෙන්නට වියදම් වුනේය.
පොඩි මාමා ගුරු රස්සාව අවසන් කරන්නට හේතු බූත වූ දවසේ පන්තියකින්
පන්තියකට මාරු වෙන්නට අඩි එහා මෙහා කරද්දී
අලුතින් ආ භූගෝල විද්‍යා ගුරුවරයා විසින්
ඉත්තෑ කුරු මෙන් කොණ්ඩය පුම්බා ගත් කනාටු කොලු
ගැටයෙකුට පහර දෙමින් සිටිනු දුටුවේය.
ගුරුතුමා කෝපයෙන් වියරු වැටී තමාව පාලනය කර ගන්නට බැරි තරම් රළු පරළු ලෙස අවුල්
වී සිටියේය. ඊට හපන් ගෝලයා. ගහන්ට ගහන්ට පුප්පමින් පහර දෙන්නා කුපිත කරවන ඇස් ගෙඩි දෙකින් කේන්තිය පිට කරමින් කරබාගෙනම ගුටි කමින්
සිටියේය.
අතේ තිබු කරදාසි මිටිය විසිකළ පොඩි මාමා සැනෙන් භූගෝල සර්ගේ
කමිසයෙන් අල්ලා ඉවතට ඇද 'ඇයි මහත්තයෝ කොල්ලාට ගහන්නේ. ඌ මොකක්ද කරපු වැරැද්ද ?'
උරුක් කරගත් අත්ල පොඩි මාමා දෙසට හැරවූ භූගෝල සර් කිව්වේ
'මු පොර කුකුලා වාගේ තිස්සෙම අනිත් උන් එක්ක රණ්ඩු කරනවා.
මේ දැන් එකෙකුට කියනවා මම අහගෙන ' කැවුතු කනවා' කියලා. එහෙම කුණු හරුප කියන්න ඉඩ දුන්නොත් මුන් අපිටත් ගහලා පන්නයි මෙහෙන්'. කියමින් ආයෙමත් පොඩි මාමා පෙරළාගෙන
ගොස් නොසන්ඩාල කොලුවා වෙත කඩා පැන්නේය .
දෙවන වරටත් භූගෝල විද්‍යා සර් පැත්තකට තල්ලු කර දැමු පොඩි
මාමා පොඩි එකාගෙන් මෙසේ ඇසුවේය. ඒයි උඹ දන්නවාද කැවුතු කනවා කියන එකේ තේරුම? පොඩි එකා නෑ යැයි කීවේ කිසි ගරු සරුවක්
නැතිවය. ඊළඟට මාමා පොඩි එකාගෙන් ඇහුවේ ඌ උදේට
කාලද කියලාය. පොඩි එකා හිස දෙපැත්තට වනමින් ' කැවුතු කනවා'
කියන ස්වරයෙන්ම මෙසේ කිව්වේය.
' දවස් තුනකින් බත් ඇටයක් දැක්කේ නෑ '
මෙවර යක්ෂාවේශයෙන් ආපසු හැරුණු පොඩි මාමා භූගෝල විද්‍යා ගුරුවරයාට පහර දෙන්නට
පටන් ගත්තේය.
ඒ අතරේම මෙසේද ගිගිරුවේය.
; දැන ගනින් කැවුතු කනවා කියන්නේ කුනුහරුපයක් නෙවෙයි දවස් තුනක් හරියට
කාපු නැති පොඩි එකෙක් කේන්තියට කියපු දෙයක් මිසක්ක. ඕනි එකෙකුට ගහන්න කලින් බලපන් ඌ බඩගින්නේ ඉන්න එකෙක්ද කියලා.
මේ ගාලගෝට්ටිය ගැන ඇවිස්සුණු ඉස්කෝලේ ලොකු පන්තිවල කොල්ලන් පිරිසක්ද සටන් බිමට
පැමිණි නිසා වහා සන්සුන් වූ පොඩි මාමා
ඔවුන්ද වලක්වා විදුහල්පති කාමරයට ගියේ රස්සාවෙන් ඉල්ලා අස්වෙන ලියුම ලියන්නටය.
පහුවදා ඔහු අම්පාරෙන් කොළඹට එද්දී අතේ තිබුනේ රුපියල් දෙසීයකි. ගුරු රස්සාවට යන්නට කලින් ඔහු ගෙදරින් පැන
ගොස් ටික කලක් රස්සාවක් කර තිබුණි. කොළඹ පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පටන්ගන්නා
කාලයේ වඩුවෙකුගේ අත් උදවු කාරයෙකු වූ ඔහු එතැනින්
අයින් වුනේ හොඳ වඩුවෙකු විදිහටය.
ඔහුගේ දෙවන ආගමනයෙන් පසු කොළඹ රටේදී ජීවිකාව වුයේද මේ වඩු රස්සාවමය. ගුරු රස්සාවෙන් වඩු රස්සාවට යලි ප්‍රවේශ
වූ පොඩි මාමා ඔහු දන්නා හඳුනන කීප දෙනෙක් සමග
එක්කාසු වී පැන්ට්රි කබඩ් හදන්නට පටන් ගත්තේය. කුඩාවට පටන් ගත් ව්‍යාපාරය
දවසට දෙකට දියුණු වෙන්න්නට පටන් ගත්තේ පොඩි මාමාද ගෝලයින් සමග හරි හරියට වැඩ කළ නිසාය. උදේ අටේ සිට රැ දොළහ වෙනතුරු වැඩ කළ නිසා
සල්ලිය භාගය යහමින් ගැවසෙන වියාපාරිකයෙක් වන්නට ඔහුට ගතවුයේ අවුරුද්දක් දෙකක් පමණි.
කරුණු කාරණා එසේ වුවත් ඔහු ඉගැන්වූ ඉස්කෝල අමතක නොකළේය. ඔහුගේ සිත් ගත් සිසුවියක්
සමග ඇයි හොඳයි කම් දිගටම තිබු නිසා කලකට පසුව ඇයව කරකාර බැඳ ගත්තේය. හොඳ දස්ස කොල්ලන් දෙන්නෙකුට දිගින් දිගටම ඉගෙන ගන්නට
මුදල් යැවූවේය . ගුරු හරු කම් ලියා යැවූවේය. වාසනාවකට උන් දෙන්නම පේරාදෙණි ගියෝය. දෙන්නාම නතර වී සිටියේ හන්තාන පාරේ මාර්ස්
හෝල් එකේ ය.
උන් දෙන්නාගේ සියලු විය හියදම් පොඩි මාමා විසින් දැරුවා පමණක් නොව මාසෙකට දෙතුන්
පාරක් හාල් කිලෝ දහයක බතක් හා මාළු පිනි උයාගෙන පිය බිරිය හා සිඟිති පුතුන් සමග කොල්ලන් බලන්නට පේරාදෙණි ගියේය.
මේ ගමන් නිසා මාමාගේ අනුග්‍රහය ලද දොස්තර පුතුන් දෙදෙනාගේ
බැචාලා විස්සක් තිහක් පමණ ඔහු එනතුරු මග බලා සිටියෝය. ඔවුන් සියලු දෙනා පොඩි මාමාට
මහත් සේ ආදරය කලේ ඔහු ඔවුන් හැමටම නිතිපතා ගෙනෙන රස මසුවුලු තෑගි බෝග නිසාම නොව ඔහුගේ
ලෙන්ගතු මනුස්සකමත් සිය මිතුරන් දෙදෙනා වෙනුවෙන් කරනු ලබන අනුපමේය උදවු උපකාර හා ආදර
කරුණාව හින්දාය
සරසවි නේවාසිකාගාරයකට ලොකු බත් මුලක් ලැබුණු විට මේසයක දිග
හැර ගෙන එකෙක් ' කාක් කාක්' කියමින් කෑ ගසයි. එවිට අහුමුලුවල සිටින
බඩගිනි කොල්ලෝ දුවගෙන ඇවිත් බත් මුල වටා රොක්
වෙති. මේ ප්‍රියජනක කපුටු හඬ පොඩි මාමාගේ
පුතුන්ද අනුකරණය කලෝය. මාර්ස් හෝල් එකේ රථය නවත්වා පොඩි උන් එලියට පැන 'කාක් කාක්' කියා කෑ ගසද්දී පොඩි මාමාගේ කැම්පස් පුතුන් පිරිස ඔවුන් කරා
දිව ආවේ සිය දෙමවුපියන් ආවාක් මෙන් සන්තෝෂයෙනි.
දැන් මේ සිසුන් රටේ නමගිය දොස්තර මහත්තුරුය. නුවර පාරේ යද්දී
නිකමට ගොඩ වී යනවා නොව ඔවුන් තකහනියක්ම පොඩි මාමා
බැලීමට මාසයකට දෙකකට සැරයක් පැමිණෙති. අලුත් කාර් එකක් ගත්තත් එය ඉස්සෙල්ලම
පෙන්වන්නට එන්නේ පොඩි මාමාටය. උසස්වීමක් ලැබුනත් සිස්සත්තයක් ලැබුනත් වෙනත් දුකක් කරදරයක්
උදා වුනත් පොඩි මාමා බැහැ දැක හැගීම් බෙදා හදා ගන්නට දරුමල්ලන් සමග එති. ඒ අතරේම පොඩි මාමාට අවශ්‍ය බෙහෙත් හේත් ප්‍රතිකාර
ගැනද ඔවුහු සැලකිලිමත් වෙති.
පොඩි මාමා මුණ ගැසී ඩින්ගිත්තක් කතා කර යන්නට ඉඳ හිට පැමිණෙන තවත් පුද්ගලයෙක්ද සිටියි. ඒ පොඩි මාමාගෙන්
එදා ගුටි කෑ භූගෝල සර්ය. ඔහුද ගුරු රස්සාවට ආයුබෝවන් කියා කොළඹ ඇවිත් වෙනත් වෘත්තියකින්
ඉහලටම ගොසින් සිටියත් ඔහු කියන්නේ තම ජීවිතය
වෙනස් කලේ පොඩි මාමාගෙන් එල්ලවූ පහරවල් කීපය බවය.
පොඩි මාමාගෙන් උදවු ලැබූ සිසුන්
දෙදෙනා සේම ඔහුගේ බත් මුල්වල
රස දන්නා දොස්තර මහත්තුරු සේම මේ ලියන
මාද පොඩි මාමා හඳුනා ගත්තේ අහම්බෙනි.
ඒ අපේ ගෙදර පැන්ට්‍රි කබඩ් එකක් හදවා ගන්නට වතාවක් ඔහු හමුවන්නට
ගිය ගමනකදීය. එදා සිට ඔහු තුල මා දුටු අපුර්වත්වය ගැන ඉව අල්ලමින් සිටි නිසා ඔහු වටා
තිබෙන මේ අපුරු වෘතාන්තය හෙමින් සැරේ එලියට
ගන්නට පුළුවන් වීම ගැන මම ආඩම්බර වෙමි..
කොහේ හෝ දුර ගමනක් ගොස් ගෙදරට ගොඩ වන මා දරුමල්ලන්ගේ මුහුණු
දැක ගත්තාට පසු ඉක්මනින්ම යන්නේ අපේ කුස්සියේ රාක්ක පේලිය බලන්නටය.
එහි වීදුරු පියන් තුලින් පොඩි මාමාගේ දහිරියවන්ත, සෙනෙහෙබර
මුහුණේත් 'කැවුත්ත කනවා' යැයි කැ ගැසූ මුරණ්ඩු
කොලුවාගේ ඉත්තෑ කුරු කෙස් වැටියේත් පිලිබිඹු
පෙනෙන්ට පටන් ගනී.
( සටහන ; මේ කතාන්තරය මා ඇසු අතීතාවර්ජනයක් ඇසුරෙන් ප්‍රතිනිර්මාණය වුවක් නිසා නම් ගම් හා සමහර සිද්දි වෙනස් කර ලියා ඇත)
(සේයාරුව දෙව්නිගෙන්)