කවදාවත් බණ්ඩාරවෙල පැත්තට කෝච්චියේ ගිහිල්ලා නැති මිතුරු මිතුරියන් රැළක් සමග රාත්‍රී තැපැල් දුම්රියේ අපි වරක් ට්‍රිප් එකක් ගියා. ගියා නෙවෙයි අපේ ගම්පලාතටම ආවා .මටනම් ඒක ට්‍රිප් එකක් නෙවෙයි. මාසෙකට වතාවක් පේරාදෙණියෙන් නැගලා රෑ කෝච්චියේ පත්තරයක් එලාගෙන ගෙදර එන එක සුපුරුදු ගමනක් වෙලා තිබ්බේ ඒ කාලේ .
ඔහිය පහු කරලා ඉදල්ගස්හින්න පැත්තට එනකොට පාන්දර වෙලා . දියතලාව බොරලන්ද සානුව කඳු වළල්ලෙන් වටවෙලා ඒ මදිවාට තනි සුදු පාට මීදුමෙන් වැහිලා. හරියට රෙදි බේසමක හෝදන්න දාපු සුදු රෙදි ගොඩක් වගේ පෙනුනේ. අඩ නින්දේ බාගෙට ඇස් ඇරගෙන ආපු අපේ මිතුරියක් මේ දර්ශනේ දැක්ක ගමන් එක පාර මගෙන් අහපි මොකක්ද අර වැව කියලා .
' ඇයි අනේ ඒ අපේ සීයලා හදපු වැවනේ. අහවල් සමුද්‍රය කියන්නේ ඕකටනේ'. මම කිව්වා. මේ කොලොප්පම තේරිච්ච එව්වෝ හිනාව තද කරගෙන හිටියට මේකේ අගක් මුලක් නොතෙරිච්ච යහළු යෙහෙළියෝ ඇස්වල කබ කඩ කඩා සීතල දුම්රිය කවුළු ගාවට රොක් වෙලා බලා ඉන්න පටන් ගත්තා. තව ඩින්ගිත්තකින් මීදුම් සළු ටික ලිහී ලිහී දියතලාව අවට කඳු නිරුවත් වෙන්ට පටන් ගද්දි ඒ පැත්තට ළපටි ඉර එලිය වැටිලා අයස්කාන්ත දර්ශනයක් මැවෙන්ට පටන් ගත්තත් අපේ උන්ගෙන් මිතුරු ගුටි පුජාවකුත් මට හම්බුනා අතේ පැලවෙන බොරු කිව්වාට.
එහෙම නිරුවත් වෙච්ච කඳු අතර මට නමින් කියන්න පුළුවන් කඳු තුනක් තිබ්බ. එකක් නරියා කන්ද. අන්නාසි කන්ද හා ගොනා කන්ද අනිත් දෙක . අන්නාසි කන්ද පැත්ත පලාතකවත් අන්නාසි පඳුරක් නෑ . නරියා කන්දයි ගෝනා කන්දයි දෙකට ඒ නම් ලැබිලා තියෙන්නේ වන සත්තු හින්දා නෙවෙයි.
අපි ඉස්කෝලේ පුංචි පන්ති වල ඉන්නකොට ගොඩක් ඈතට පයින් ඇවිදින්න තහනම් උනත් ගෙවල් කිට්ටුවම තිබ්බ කොඩි කන්දටත් අන්නාසි කන්දටත් යාළුවො එක්ක ඇවිදින්න අවසර තිබ්බා.
මේ කොඩි කන්ද මුදුනේ සිමෙන්ති පාදමක ගැල්වනයිස් බටයක් හිටවලා තිබ්බා. හරියට කොඩි කණුවක් වගෙයි. මේ කන්දෙන් ඈත කඳුවලට සුද්දන්ගේ කාලේ පණිවිඩ ඇරිය කියලා ගමේ ජනප්‍රවාද තිබ්බා. පස්සේ කාලෙ දන ගත්තේ මේක මිනින්දෝරුවන් පිහිටවපු ත්‍රිකෝණමිතික ස්ථානයක් කියලා .
මේ කොඩි කන්දට අල්ලාපු කඳු ගැටයේ විශාල පදාසයක තැන තැන තිරුවානා ගල් විසිරිලා තිබ්බා. අපි කිව්වේ කිරවනා ගල් කියලා . ඒ කන්දේ නමත් කිරවනා ගල්පිස්ස. මේ ගල් උඩින් පැන පැන කොච්චර ඇවිද්දා උනත් සෑහෙන කාලෙකට පස්සේ තමයි දන ගත්තේ මේ කන්දේ තියෙන කිරවනාගල් ඉතා මහන්සියෙන් රටාවකට හදලා තියෙන චිත්‍රයක් කියලා. අක්කර ගානක් විශාල අන්නාසි ගෙඩියක් ඒ. මම අහලා තියෙන විදිහට යුද හමුදා සේනාංකයක ලාංචනයක් තමයි ඒ නිර්මාණය කරලා තිබ්බේ .ඒ දවස්වල දියතලාව බණ්ඩාරවෙල කෝච්චි පාරට මේ අන්නාසි ගෙඩිය හොඳින් පෙනුනත් අද වෙනකොට මේ කන්ද පයිනස් වගාවෙන් වැහිලා තියෙන්නේ.
ඉතින් තවත් ටිකක් ලොකු මහත් වුනාම තමයි මට අන්නාසි කන්දෙන් ඔබ්බට ගිහිල්ලා නරියා කන්ද හා ගෝනා කන්දට යන්න පුළුවන් වුනේ. ඒකත් මී හරක් කතාවක් හින්දා.
අපේ කුඹුරු යාය හාන්නේ කතා කර ගත්තු එකම දවස් කීපයක. මී හරක් අයිති කාරයා මුතු බණ්ඩා . එයාගේ මල්ලි පොඩි අප්පු තමයි මී හරක් පට්ටියේ කළමනාකරු. අපි කිව්වේ මී ගොන් මුත්තා කියලා. මුතු බණ්ඩාගේ පුතා ටිකිර අපෙ වයස්වලම තමයි හිටියේ. කුඹුරු වැඩ නැති කාලෙට මී හරක් සේරම නරියා කන්ද පැත්තට ගිහින් දානවා. කුඹුරු හී වාරය හරි මඩුවම් වාරය හරි පටන් ගත්තම පොඩි අප්පුයි ටිකිරයි ගිහින් මී හරක් විස්සක් තිහක් දක්කාගෙන ගමට ගේනවා. මේ දෙන්නත් එක්ක තව කොලු කුරුට්ටෝ ටිකකුත් යනවා. මේ මී හරක් ගෙන්න නරියා කන්දේ යන ගමනකට මට සහබාගී වෙන්න වාසනාව ලැබුනා එක දවසක් අහම්බෙන් වගේ. මේ ගමනට අපේ මාමගේ පුතත් ගිය නිසා මට ගෙදරින් අවසර ලැබුනා.
ඉසේල්ලාම කොඩි කන්ද මැදින් අන්නාසි කන්දේ තිරුවානා ගල් මැද්දෙන් අපි ඇවිදගෙන ඇවිදගෙන හැතැප්ම දෙක තුනක් ගියා. අපි පැයක් විතර යනකොට විශාල නිස්කලංක කඳු මන්ඩියකට සේන්දු උනා. ඒ දවස් වල නරියා කන්ද අවට කලාපය තනිකර ජන ශුන්‍යයි. තාමත් ගොඩක් දුරට ඒ වගේ. තැන තැන පුංචි දිය පාරවල්, වතුර වලවල් තිබ්බ. මීවන පඳුරු , හීන් බෝවිටියා ගාලවල් විතරක් නෙවෙයි ඕකිඩ් මල් පවා පුංචි දිය සීරා ළඟ පිපිලා තිබ්බා. තැන තැන මී හරක් නිදැල්ලේ වමාරා කකා හිටියා . උන්ට තිබ්බේ පුදුම නිදහසක් .
මේ ගමනේදී තමයි මම අර ගෝන කන්ද වගේම කිරවනා ගල් වලින් හදපු විශාල නරියෙක් ඉන්න නරියා කන්ද දැක්කේ. එකේ යටින් තියෙන HMS Fox 1913 කියන අකුරු තුන මොකක්ද කියන්නේ?
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයිති වෙලා තිබ්බ HMS Fox කියන යූද නැව 1913 කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. මේ නැව දියඹට දාලා තියෙන්නේ 1893 දී . 1914 පටන් ගත්ත පලවෙනි ලෝක යුද්දෙදිත් හටන් වලට සහබාගී වෙච්ච මේ නැව 1920දී පරණ යකඩ වලට වීකිණුවා ලු.
නැව කොළඹ වරායේ නැංගුරම් දාලා තිබ්බ 1913 අවුරුද්දේ නැවේ කැප්ටන් සහ අනිත් පිරිස නිවාඩුවකට දියතලාවේ ආපු ගමන් තමයි ඔය පින්තුරේ තියෙන නරියා කිරවනා ගලෙන් පාලු කඳු ගැටයක නිර්මාණය කරලා ගිහින් තියෙන්නේ.
ඊට නුදුරින් තියෙන තවත් කන්දක කිරවනාගල් අතුරා ඇඳලා තියෙනවා ගෝන හිසක් . ඒ ශ්‍රී ලංකා ශිෂ්‍ය බට බලකායේ ලාංචනය .
නරියා කන්ද හතර දිබාගයේ හැම අස්සක් මුල්ලක් නෑර දැනගෙන හිටි අපේ ගමේ පොඩි අප්පු මුත්තා සේම එක වතාවක් විතරක් මේ පැත්ත පළාතේ ආපු HMS Fox නැවේ කැප්ටනුත් හරි පුදුම මිනිස්සු දෙන්නෙක් කියලා මට හිතෙනවා.
තමන්ගේ මී හරක් ටික මාස හය හතක් අතුරු ආන්තරාවක් නැතිව නිදැල්ලේ පරිස්සම් කරන්න හොඳම තැන හැටියට පොඩි අප්පු මුත්තා දැක්කේ නරියා කන්දයි.
අනිත් අතට තමන්ගේ නැවේ සංකේතය අවුරුදු සීයක් යනකන් නොවෙනස්ව තියෙන්න ඇඳලා එන්න පුලවන් තැන හැටියට Fox නැවේ කැප්ටන් තෝරා ගත්තෙත් ඒ කන්දමයි. ඒ දැනට අවුරුදු එකසිය එකකට කලින් .
(Photo SLMA)