Saturday, January 25, 2020

ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්

තනපුර බණ්ඩාරවෙල පාර පුනරුත්තාපනය කරන කාලේ මම හිටියේ කියන්නෑම් සමාගමේ සැලසුම් අංශේ.  මාසෙකට දවසක් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමත් හරිම උද්කවේගරයි, භයානකයි.  ඒත් අවසන් කොටස රසවත් .  මේ වගේ රැස්වීම් තිහකට විතර මම ඉන්න ඇති . අපි සේරම රැස්වීම ඉවර වූ හැටියේ දවල් කෑමට ගියේ බෙලිහුල්ඔය රෙස්ට් හවුසියට. මම පළමු වතාවේ හනිමුන් ගියෙත් ඔතෙන්ට තමයි.   ඒ නිසා බෙලිහුල්ඔය  කියන්නේ මට සෙන්ටිමෙන්ටල් ස්ථානයක්.

දවසක් කොළඹ ඉඳන් මහා පාන්දර ඇවිත් කලින්දා නින්දකුත් නැති නිසා නිදි කිර කිරා රැස්වීමටත් ඉඳලා රැස්වීමේ රසවත් කොටස ගෙවා දමන්න බෙලිහුල්ඔය යන ගමන් අපේ රතු පාට කැබ් එක එලවාපු රියදුරු කරුණාතිලක මෙහෙම කිව්වා . "ඉක්මන් කරලා යන්න ඕනි අද දවල් කෑම ලැස්ති කරලා තියෙන්නේ බෙලිහුල්ඔය නෙවෙයි කොස්ලන්දේ  රෙස්ට් හවුස් එකේ ".

දුර වැඩි නිසා ගමන ටිකක් ප්‍රමාද වුනත් කොස්ලන්ද  රෙස්ට් හවුස් එකත් හරිම රමණීය පෞරාණික තැනක් නිසා එහි රථගාලේ නවත්වාපු කැබ් රියෙන් මම බැස්සේ ප්‍රබෝධමත් සිතින්. මම යනවිට රැස්වීමට දෙදෙනෙක් ඇවිත් හිටියා . දෙදෙනාම සුදු ජාතිකයන්.  එහි සිටි  කුඩා වියපත් සුදු ජාතිකයා තමන්ව හඳුන්වා දුන්නා . ' මම 1911 මෙහෙන් ගියාට පස්සේ තමයි මේ පාර ලංකාවට ආවේ"
.
මම දනිපනි  ගාලා කැලැන්ඩරේ දිහා බැලුවා. 1960 මාර්තු 25.   කුඩා සුදු ජාතිකයා දිගටම කතා කළා .
' මම ලංකාවේ වැඩ කලේ අවුරුදු තුන හතරයි .  හම්බන්තොට ඉඳන් හපුතලේ යද්දී ඒ  කාලේ අනිවාර්යයෙන්ම කොස්ලන්දේ තානායමේ රැයක් ඉඳලා  තමයි ගියේ.
මම තාමත් අන්දුන්  කුන්දුන්ව සිටනා බවක් පෙන්වූ නිසා ඔහු මෙහෙම කිව්වා .
' මම තමයි ලෙනාඩ් වුල්ෆ් '
"නෑ.. හෑ..." කියාගෙන විවර කරගත්  මුවින්ම මම අනිත් සුදු ජාතිකයා දෙසට හැරුනා .
මේසයේ පසෙකින් තුබූ සුදු ටොප් හැට් තොප්පිය හිසේ රුවා ගත් ඔහු "මම තෝමස් ලිප්ටන්" යැයි කියද්දී මම නැවතත් පුදුමයෙන් කැලැන්ඩරය දෙස බැලුවා . එවිට එහි තුබුන ලී පුවරුවක අතින් ලියන ලද දින සටහනක් අනුව අද දවස 1894 මැයි හත් වැනිදා කියා මම දැන ගත්තා .

ඔහේ අර්තාපල් ගැන ලියනවා නේද? ඒත් අර්තාපල් වසංගතය නිසා අපේ අම්මයි තාත්තයි දහදුක් විඳලා තියෙනවා. ඒ ගොල්ලෝ අයර්ලන්තෙන් පලා ගියෙත් ඒ හින්දා . රටේ ප්‍රධාන ආහාරේ වෙච්ච අර්තාපල් වලට හැදිච්ච රෝගේ හින්දා ලක්ෂ ගානක් කන්න නැතිව මැරුණා . ඒ කරදර මැද උපන්න මම ලෝකේ හැම තැනම කරක් ගහල උඹලගේ රටේ වතු වවන්නත් ආවා  . අපේ වතු වැවිලි  කාරයෝ නිතර මේ තානායමට එකතු වෙනවා. කොළඹ යන්න ඕනි උනාම මෙහෙදී  එකතු වෙලා අශ්ව කෝච්චියෙන් යනවා හපුතලේ ඉස්ටටේෂමට   . ආ දැන් හපුතලේට දුම්  කෝච්චිය එනවනේ"

කතාව ඇදී  ඇදී යනවා මිස රැස්වීම පටන්ගන්නා සෙයක් පෙනෙන්නේ නෑ . ලිප්ටන් හා වුල්ෆ් දෙදෙනා වරින් වර ඉදිරි පාර දෙස බලනවා දුටු මම 'වෙන කවුද එන්න ඉන්නේ?" කියා ඇසුවා.

ඇයි ලියෝ ප්‍රනාන්දු මේ පාරේ ඉස්සෙල්ලම බස් දාපු හාදයා. කොස්ලන්ද තානායම ගැන ලියනවානම් ලියෝ  ප්‍රනාන්දුගේ බස් ගැනත් ලියන්න ඕනි. 1940  ගණන් වල පැට්‍රල් ලොරි බස්වලට හරවලා ගාල්ලේ  ඉඳන් වැල්ලවාය හරහා බදුල්ලට  බස් දැම්මේ නැත්නම් .. ඔවුන්  මා දෙස බලා සරදම් සිනාවක් පාමින් දිගටම  කතා කරා.

' මේ පාර දිගේ තමයි දකුණේ ව්‍යාපාරිකයෝ කන්ද උඩ රටට ආවේ .  ඔහේ දන්නවද මේ වෙනකොට ලියෝ ප්‍රනාන්දුට  බස් 350යි ලොරි 200යි  තියෙනවා කියල . තව තේ අක්කර දහදාහක් විතර.  බුත්තල මන්ත්‍රී වෙලා හිටි කාලේ එයා  නිතර මෙහෙ අවා ගියා"

ලස්සනම වැඩේ කියන්නේ ඉංග්‍රීසි රජ පවුලට  අයිති  වෙලා තිබ්බ ගීකියන කන්දේ  ඉඩම  ආපහු ගත්ත හැටි . ඔප්පුව ලියා ගන්න මිනිහා බකින්හැම් මාලිගාවටම ගියානේ ".

මම ආයෙමත් කැලැන්ඩරය දිහා බැලුවා. 1953 දෙසැම්බර් 15 .

මීටීම මදක් ප්‍රමාද  වන බව පෙනුණා . අමුත්තන්   දෙදෙනා පරණ කතා බහක. මට අදාළ පාටක් පෙනුනේ නෑ. මම   බීර වීදුරුවක් තොල ගාමින්  බැදපු මාලු පෙත්තක් හප හපා මකුළු දැල් බැඳීච්ච   මගේ බ්ලොග්  එකට සටහනක්  ලියන්න තීරනය කළා. මේ වගේ මීටිමක් මැද අහම්බෙන් වෙලාවක්  හම්බුනොත් තමයි.

මම ලැප්ටොප් එක දිග හැර කල්පනා කරා . හොට්ස්පොට් දා ගත්තා . ඒ අතරේ  මෑතකදී මිතුරෙක් කී දෙයක් මතක් වුනා. ' උඹ රස්සාව  කරද්දී ලියන්නේ කියන්නේ  ස්මාර්ට්  ප්‍රවාහන විදි ගැන , වරාය නගරය ගැන , අහස උඩින් යන කෝච්චි ගැන , තොරතුරු තාක්ෂණ  පද්ධති  ගැන, මොබයිල් ඇප්‍ ගැන  . ඒත් බ්ලොග් එකේ ලියන්නේ දුම්මැස්ස ගැන නැත්නම් ආදී කාලේ වංගෙඩි ගැන. ඒක හරි කුහක කමක් බාන්..  "  මේ කතාවත් හිතේ තියාගෙන මම ලියපු බ්ලොග් කතන්දරේ තමයි මේ .

******************

වැලිමඩ පැත්තේ  සිටි මගේ ආදරණීයම  මිතුරෙක් ඔහුගේ ආච්චිගේ ආච්චි ගැන මා සමග කතා කළේ පිට රටක රස්සාව කරද්දීය. ඔහු කිව්වේ පරම්පරා හයක අතීතය දැන ගන්න ඕනිනම්  ළමයෙකුට තියෙන ස්වර්ණමය අවස්ථාව වන්නේ තමන්ගේ  ආච්චීගෙන්, ආච්චිගේ ආච්චි කී කතන්දර හා ගම රට විස්තර පුළුවාන් තරමක් අසා දැන ගන්නා එකය .
ඔහු කිව්ව කතාවේ සාරය වෙනස් නොකර මම කතාව තරමක් සංස්කරණය කළා .

මේ කියන කාලේ ආච්චිගේ ආච්චි වැන්දඹුවක්. දරුවන් මල්ලන් ළඟක හිටියේ නෑ. ගේ කෑල්ලට අමතරව ආච්චිට තිබ්බා අක්කරේක විතර ගොඩ ඉඩමක් . පුවක්  ගස්, කොස් ගස්, සපු ගස් කීපයක්, තව කොපි ගස් කීපයක් තිබ්බ මේ ඉඩමෙන්  ඒ හැටි ආදායමක් නොලැබුනත්  ආච්චිගේ ආච්චිට තිබ්බ මහාර්ඝ වස්තුව, එයාගේ ජීවිතේ වගේ වෙච්ච මේ ඉඩමම තමයි . මේ 1930 දශකයේ කතාවක්. ඉඩමට අවුරුදු පතා අයබදු හැටියට පුංචි මුදලක් ගෙවන්න ඕනි. ආච්චිගේ ආච්චිට එක්තරා අමාරු කාලෙක මේ සල්ලි ගෙවා ගන්න බැරි වෙලා. ප්‍රමාද වුනාම දඩේකුත් ගහනවා. ආරච්චිගෙන්  බුරුලක් නෑ. විඩෙන් විඩේ ඇවිත් මතක් කරනවා. කොහොමින් කොහොම හරි ආච්චිගේ ආච්චිට බදු ඇරියස් හා දඩ මුදල් කියාපු දිනේට ගෙවා ගන්න බැරි වුනා .  ආරච්චි ගෝලයොත් එක්ක ආවා ඉඩම වටේ තිබ්බ මහා ගස්වල දැන්වීම් කීපයක් ඇලෙව්වා.

මහා රාජෝත්තමයාගේ ආණ්ඩුවට පවරා ගන්නා ලද ඉඩමකි . අනවසරයෙන් ඇතුළුවීම තහනම් .
අණ පරිදි . ආරච්චිල,  අහවල් වසම

ආච්චි දහ අතේ කල්පනා කළා එහෙට දිව්වා මෙහෙට දිව්වා. ගෙයි  තිබ්බ කොස් ඇට, පරණ කෝපි , තඹ සෙම්බු, පිටලෑලි විතරක් නෙවෙයි පිඟන් කෝප්ප හිටන්  විකුණලා දැම්ම .  කවදාවත් කාටවත් ඇත නොපා ජීවත් වෙච්ච ආච්චිගේ ආච්චි විශ්වාසවන්ත කීප දෙනෙක්ගෙන් අතමාරු හිටන් කර ගත්තා. අන්තිමේදී  බදු සල්ලියි, දඩෙයි දෙකටම හරි යන්න සල්ලි හොයාගෙන ආරච්චිගේ ගෙදරට ගියා.

' ම්හු උක්කු මැණිකා' . දැන් ඉඩම පවරාගෙන ඉවරයි. දැන් ඔප්පුව ආණ්ඩුවට අයිති වෙලා. උඹ ගනන්වානම් මුළු ඉඩමේම වටිනාකම ගෙවල ආණ්ඩුවෙන් සල්ලි දීල ගන්න ඕනි '.
ආරච්චිගෙන් බුරුලක් නොලබිච්ච තැන ආච්චිගේ ආචිචි බොහොමත්ම කනස්සල්ලෙන් ගෙදර ඇවිත් කන්නේ බොන්නේ නැතිව දවසක් තිස්සේම  කල්පනා කරා.

ඊට පස්සේ මේ වගේ අමාරු අවස්තාවක් උපදෙසක් ගන්න ඉන්න හොඳම කෙනා වෙච්ච වේද මහත්තයා මුණ ගැහුණා.  බලාපොරොත්තු දල්වන සුළු උපදෙසක් ලැබුනා. ඒත් ලබන මාසේ පළවෙනි බදාදා වෙනතුරු ඉවසන්නත් ඕනි .

මේ කියන බදාදා දවස එනකං ඇඟිළි ගැන ගැන හිටි ආච්චිගේ ආච්චි එදා උදේ පාන්දරම ගෙදර තිබ්බ ඉඩම සම්බන්ධ හැම ලියකියවිල්ලක්ම පන් මල්ලකට දාගෙන සිල් ගන්න අඳින ඇඳුමත් ඇඳගෙන ඔලුව වැහෙන්න තව සුදු සාලුවකුත් දාගත්තා . පාන්දර හතර වෙද්දී උන්දෑ පාරේ. ලැසි ගමනින් පයින්ම  වැලිමඩ, පාළුගම, බොරලන්ද , වල්ගහවෙල හරහා හැතැම්ම ගානක්   මග ගෙවාගෙන මද්දහන ගෙවෙන්න ඉස්සෙල්ල හපුතලේට ආවා.

ඒ වෙනකොට හපුතලේ තාවකාලික කුඩාරමක පවත්වාගෙන ගිය ජංගම කච්චේරියේ වැඩ ඉවර වෙන්නත් ලඟයි. ඒජන්ත උන්නැහේ  කොස්ලන්ද තානායමට යන්න ලැස්ති වෙනවා. ඒරොප්පෙන් ආපු අමුත්තෝ වගයක් පිළිගන්න . එතැන හිටි මුලෑදෑණින්ගෙන් ආච්චිට දැන ගැන ලැබුනේ එහෙම . ආච්චිගේ ආච්චිට  මෙච්චර දුර ගෙවාගෙන ආපු දුක් කන්දරාවේ ආවේගය, කෙටි ඒ වුනත් බලසම්පන්න හෑල්ලක්   හැටියට කියා ගන්න  පුළුවන් වුනා .

අනේ වාසනාවන් , දවසේ අවසාන රාජකාරිය හැටියට මේ පලහිලව්වට ඇහුම් කන් දෙන්න ඒජන්ත උන්නාන්සේ කැමති උනා . තෝල්කයෙක් මාර්ගෙන්  හදිස්සියට හදිස්සියට කැරුණු පැහැදිළි කරගත් ඒජන්ත කටු පෑනෙන් සටහනක් දුන්නා . එතැන හිටි ලිපිකරුවෙක් තව මොනවද රාජකාරි පෝරම වගයක් පිරෙව්වා. ආච්චි ගෙනා හිඟ බදු , දඩ මුදල් සේරම අරන් කුවිතාන්සියකුත් දුන්නා .

' මේක අරන් පළයන් අම්මේ . දැන් ඉඩම ආයෙමත් උඹේ!"  කියල ආරච්චිට දෙන්න ලියමනකුත් දුන්නා .

ආච්චිගේ ආච්චිට වෙහෙස, බඩගින්න , කකුලේ අමාරු කිසි දෙයක් මතක නෑ. සන්තොශේ ඉහවහ ගිහින් ආපහු එනපාරේ දැක්ක මනුස්සයෝ, බල්ලෝ බළල්ලු, දිගේලි කරපු හරක් මේ සේරටම ' ඉඩම ආපහු හම්බ වෙච්ච සන්තොශේ' පෙන්න පෙන්නා  කට්ට කළුවරේ ගෙදරට ආවා.

පහුවදා නැගිටපු ආච්චිගේ ආච්චි අත් උදව්වට කොලු ගැටයෙකුත් එක්කගෙන ගිහින් අර ඉඩමේ අලවලා  තිබ්බ ආරච්චිගේ තහනම් නියෝග දැන්වීම් ගලවලා ඉරල දැම්ම . ඉඩම් මායිමේ වල් බුටැව යන්තමින්  සුද්ද කරලා , පොලොස් ගැට දෙකකුත් කඩාගෙන ගෙදර ආවා.

දවල් කෑම කාලා ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන අහල පහළ හිතවත්තු කීප දෙනෙක් එක්ක ආච්චිගේ ආච්චි ඉඩම බේරා  ගත්තු එකේ පුරාජෙරුවයි , ඒජන්ත උන්නාසේගෙයි මුලාදෑනින්ගේයි වරුණාවයි  කියව කියවා කැකිරි පල පලා ඉන්දැද්දී පොලව දෙදරවාගෙන කේන්තියෙන් පුපුරමින් එතනට කඩාපාත් උනේ  ආරච්චිල .

' උක්කු මැණිකා මම උඹව පොලිසියට බාර දෙනවා. තහනම්  දැන්වීම් කොලේ ගලවලා ඉඩමට ඇතුළු උනාලු නේද. උඹයි අප්පු කොලුවයි දෙන්නටම අච්චු කරනවා. උඹලා හිරේ දානවා".  කියපු ආරච්චිල තමන් එක්ක ආපු ගෝලයෙකුට අලුත් කොළයක් දුන්නා   "මෙන්න මේ දැන්වීම් කොලේ  අලවාපිය  මුන්දෑගේ   ඉඩමේ උස ගහක" .

ආච්චිගේ ආච්චි හිනා මුණින්ම නැගිට්ටා.

"කොලුවෝ ඔහොම හිටින්. ඔය දැන්වීම් කොලේ අලවන්න හොඳ තැනක් මං කියන්නම්" කියල නැමිලා පිටුපස්සට හැරිලා මෙන්න මගේ මේ පැත්තේ අලවාපිය කියල තමන්ගේ ප්‍රශ්චාත් භාගය පෙන්වද්දී  ආරච්චිල විතරක් නෙවෙයි එතන හිටි හැමෝම තුෂ්නිම්භූත වෙලා ගියා , ඒ අල්ලපනල්ලේ ආච්චි ගෙට දුවල ට්‍රන්ක පෙට්ටියේ පතුලේ තිබ්බ ලියමනක්  ගෙනල්ල ආරච්චි දිහාට විසික් කරා.

ආරච්චි ඒක කියවලා. ඒතැන තිබ්බ රතු පස්  ගොඩල්ලෙන් දුවිලි විසි වෙන්න පයින් පාරක් ගහලා යන්න  ගියා.

ආච්චිගේ ආච්චිගේ ගෙදරින් අහිච්ච කැකිරි පාලන හිනා හඬ එදා රෑ මැදියම වෙනකම් නතර වුනේ නෑ.

** *
අන්න ලියෝ ප්‍රනාන්දු මහත්තයා එනවා කී තානායම් පාලකගේ හඬ නිසා මම  නින්දෙන් ඇහැරුණා. අපේ රැස්වීමේ කතාව ඊළඟ කොටසින් ලියන්නම්








Saturday, January 11, 2020

අර්තාපල් මුත්තාපල් හා ආචාර්ය යෝගරත්නම්


ර්තාපල් කියන්නේ ලන්දේසි නමක් . ලංකාවට තාමත් වැඩිපුර බීජ අල ගේන්නේ ලන්දේසීන්ගේ රට වන නෙදර්ලන්තෙන් නැත්නම් ඕලන්දෙන් .  තාමත් අපේ යාලුවෝ කීප දෙනෙක්ගේ ජීවිත ඉතිරි වෙලා තියෙන්නේ අර්තාපල් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නෑ.  ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අර්තාපල් හෙවත් අල අපේ ජීවිතවලට සම්බන්ධ වුනු හැටි මට ආපහු චිත්ත  රූප එක්කම මතක්   වුනේ පහුගිය සතියේ කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණායතය අයිනෙන් වැටිලා තියෙන පාරේ දියතලාව, බණ්ඩාරවෙල හා  වැලිමඩ හරහා, සීතා එලියටත් එතැනින් නුවර එලියටත්  ගිය ගමන නිසා . 

අඟල්, අඩි, රාත්තල්, හොන්ඩර යුගයේ ඉඳන් අපි මෙට්‍රික් යුගයට පිවිසුනේ 1980දි විතර. එත් තාම අල ගොවීන් අතර අර්තාපල් ගැන කිරුම් මිනුම් සිද්ද වෙන්නේ  හොන්ඩර වලින් . අල හොන්ඩර කීයක් හැදුවද? බිජ අල හොන්ඩරයක් ගත්තාද , අල හොන්රඩයක් හදලා දහයක් ගන්න පුළුවන්. එකට දහයයි" ආදී වශයෙනි  .ඒ කාලේ  අල ප්‍රවාහණය කලේ ලී පෙට්ටි වල . අල හොන්ඩරයක් හෙවත් කිලෝ පණහක් දාන්න  පුළුවන් පෙට්ටිවල තමයි රට ඉඳන් බීජ අල ආවේ. 
කාඩිනල්, ඩිසයිරී, ගිනිකේ,  ආකා , බාරකා  කියන්නේ අල භාෂාවේ වචන . ඇන්ට්‍රකොල්, රෙඩොමිල් , ටමොරෝන් කියන්නේ තවත් වචන පේලියක් . මේ මොනවද ?  මුලින් කිව්වේ ඉස්සර 1990ට කලින් අපි වගා කරපු අර්තාපල් වර්ග කීපයක්. කාඩිනල් හා ගිනිකේ කිව්වේ මුල් කාලේ වවපු  පොත්ත රතු අල වර්ග දෙකක් . ඒත් පස්සේ ඩිසයිරී රතු අල වර්ගේ තමයි ජනප්‍රියම වුනේ . ආකා හා බරාකා නමින් තිබ්බ පොත්ත සුදු අල වර්ග දෙක පහු පහු වෙනකොට කවුරුත් වවන එක අත ඇරියා. ඒවාට ලෙඩ වැඩියි .

එතකොට ඇන්ට්‍රකෝල් , රෙදොමිල් යනාදිය අර්තාපල් වගාවට ඉහින දිලීර නාශක දෙකක් . ටමරෝන් කොළ පණුවෝ කනවට එකතු කරපු සැර වැඩි කෘමිනාශකයක් . මේ මොන ජාති තිබ්බත් අල ගස් හිටු මැරෙන එක හෙවත් අංගමාර රෝගේටනම් බෙහෙත් තිබ්බේ නෑ.  කරන්නේ හිටු මැරිච්ච අල ගස්  ගලවලා වගා බිමෙන්  ඈතට වීසි කරන එක .  දවස්පතා මේ වගේ ගස් දහයක් පහළවක් ගලවලා විසි කරනවා . ඒ වුනත් මේ නොමේරු අර්තාපල් ගස්වල මුලින් මතුවෙලා ආපු ටීක් බෝල  වගේ අල ගෙඩි පොකුර වෙනම එකතු කර ගන්නවා . දැන් සුපිරි කඩවල තියෙන බේබි පොටෙටෝම තමයි ඒ.  අම්මා මේවා ගෙඩිය පිටින්  තම්බනවා. පොත්ත අයින් කරලා බදිනවා. නැත්නම් හොදි හදනවා  . ඒත් මේ විදිහට ගලවන හිටු මැරුණු අල කොට්ට උර බාගයක් විතර සතියකට ඉතිරි වෙනවා.  වට්ටක්කා වෙළඳාම නිසා හොඳ අත්දැකීම් තිබ්බ මම මේ අල ටික උරේකට දාගෙන දියතලාවේ දිසානායක  කඩේට ගෙනියනවා.  ආපහු එනකොට  අනිවාර්යයෙන්ම  ගන්න දෙයක් තමයි සතොසෙන් පැතලි මාළු ටින් එකයි, පෙරේරාගේ කඩෙන්  පත්තරයයි .

අපි බඩු ගත්තු සතොස  ගැන ආයෙමත් කතාවක් කියන්න තියෙනවා.  දියතලාවේ තිබ්බ සනානි මන්දිරය  තෙමහල් ගොඩනැගිල්ලක්.  පාර මට්ටමෙන් පහළ තිබ්බ තට්ටුවේ තමයි සතොස තිබ්බේ . පළමු මහල සෙත්සිරිය, සමුපකාරය හා සනානි පොත් හල තිබ්බා . දෙවැනි මහලේ බැංකුවක් හා තව කාර්යාල කීපයක් තිබ්බා . මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලලගේ පවුලට මේ මන්දිරය අයත්ව තිබූ බව අහල තියෙනවා.

අල වගාවේ එදා ඉඳන් අද වෙනකම් තිබ්බ ප්‍රශ්නයක් තමයි බීජ අල නැති කම. මේ පාර  අල වවන්නේ නැද්ද කියල අහපුවාම අපේ මස්සිනා කිව්වේ දැන් අල හොන්ඩරයක් හදන්න රුපියල් පනස්දාහක් විතර යනවා කියල. රටින් ගේන බීජ අල හොන්රඩයක් රුපියල් දාහත්දහයිලු. මේ රටේම සීතා එලිය ගොවිපොළේ හදන අල හොන්රඩයක් රුපියල් එකොලොස් දහයි . ඒ වුනත් අපේ බීජ අලවලින් පලදාවක් නෑ ලෙඩ වැඩියි කියලයි මට අහන්න ලැබුනේ.  බිජ අල කර්මාන්තෙ එක්තරා මාපියාවක් කියල සමහරු කියන්නේ . ඊළඟ  ප්‍රශ්නේ තමයි මේ වෙනකොට අල වගා කරන්න කම්කරුවෝ නෑ. ඉස්සර වගේ පවුලේ සමජිකයෝ  කුඹුරට බහින්නේ නෑ. 

අර්තාපල් වගාව කියන්නේ හරියට ක්‍රමවත්ව කරනවානම් ලංකාවේ ගොවි ආර්ථිකය විතරක් නෙවෙයි රටේ ආර්ථිකයත් උස්සන්න පුළුවන් වගාවක්.  ආචාර්ය යෝගරත්නම්ලා වගේ මිනිස්සු ඒ කාලේ වෙහෙසුනේ අපේ රටේම  බීජ අල හදල  අල හොන්ඩරයක් වවන්න යන වියදම අඩු කරවන්න . තාමත් වැඩේ කෙරිලා  නෑ. වෙන රටවලනම් කෘෂිකර්ම අමාත්‍යාංශයක් එහෙම තියෙනවා . 

  අපි අල වගා කරේ 1980 දශකයේ . සතොසෙන් හරි සමුපකාරෙන් හරි තමයි බීජ අල ගත්තේ. තාත්තගේ ප්‍රියතම වර්ගය ඕලන්දෙන්  ගේන ඩිසයිරී කියන රතු අල වර්ගය . ඒකෙන්  පෙට්ටි දෙකක් ගන්න  තාත්තා ගෙදර වත්තේ ඉස්සෙල්ලලම ඒ ටික  වවනවා . පලදාව ලෙස එතරම් විශාලෙට නොවැඩුණු අල ගෙඩි හොන්ඩර හත අටක් ලැබෙනවා මාස දෙක හමාරකින්. මේ මාස දෙක හමාර ඉවර වෙනකම් පුදුම දුකක් විඳින්න ඕනි . ඌරන්ගෙන් හා හොරුන්ගෙන් අල ටික බේරා ගන්න. නිතිපතා පොහොර  වතුර දාන්න . ගෙදර වත්තෙන්  නෙලා ගත් අස්වැන්න තමයි බීජ අල . මේ අල පෙට්ටි හත අට මාස හයක් විතර ගියාම ඊළඟ කන්නේ කුඹුරේ  හදනවා. පස්සේ කාලෙක බීජ අල ලොකු ගෙඩි දෙකට කපලා , කැපුම වැහෙන්න දිලීර නාශකයක් ගාන්න උපදෙස් ලැබුනා . මේ විදිහට වැඩි ඉඩ ප්‍රමානෙක වවන්න අල ලැබුණා. හැබැයි කුඹුරෙන් ගත්ත අල කවදාවත් බීජ අල විදිහට තියන්න බෑ. ඒවා මාසයක් දෙකක් තිබ්බම නරක්  වෙනවා. බීජ අල වවන චක්‍රය එතැනින් නවතිනවා. ආයිමත් රට බීජ තමයි.

කුඹුරේ අල හදන්න , වතුර දාන්න, බෙහෙත් ගහන්න හා පැල් රකින්න අපේ නව යව්වන කාලයෙන් සෑහෙන වැයවුනා. කුඹුරේ පැලේ ඉන්න ආශා හිතෙන තව සිද්දියක් තමයි තිස්සෙම ලිපේ අල තැම්බෙන මුට්ටියක් තිබීම. සමහර දවසට අල්ලපු  කුඹුරේ ලියදි අයින දිගේ හිටවලා තිබ්බ ඉරිඟු කරලුත් මේ මුට්ටියේ තැම්බුනා. වැඩිපුරම පැල් රැක්කේ අයියයි අයියගේ යාළුවොයි.  දවසක් අල රකින්න රෑ පැලට ගියේ අයියයි මායි. රෑ මැදියමේ කුඹුරේ පහළ මායිමෙන් කාගේදෝ බර අඩි සද්දයක් ඇහිලා මම අයියව ඇහැරෙව්වා . "අන්න සද්දයක් ඇහෙනවා" මම කීවා . 
"අර ටෝච් එක අරන් පොඩ්ඩක්  බලන්න" . කියපු අයියා  අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා . මරු පොර අල රකින්න.  ඒ දවස්වල අයියා උසස් පෙලට පාඩම් කරනවා. 

තව වතාවක් අපේ අල රකින්න ආවේ  සෙනෙවි. එතකොට අයියා කැම්පස් ගිහින් .  සෙනෙවියි මායි මාස දෙකක්  පැල් රැක්කා. අන්තිමට අල ගලවලා විකුණන්න හිතන් හිටි දවසට කලින්දා අපි පැලට ගියේ රාත්‍රී නවයට විතර. ඒ යද්දී  අපිට අල ගස් පෙරලලා තියෙන වග පෙනුනා . තව ටිකක්‌ විපරම් කරද්දී අල වගාවේ හොඳම හරියට  හොරු වැඩේ දීලා. ඒ විදිහට අපේ ගේ ළඟ වත්තෙයි  කුඹුරෙයි හදාපු අල තුන් පාරක් හොරු ගැලෙව්වා. තුන් හතර පාරක්ම ඌරෝ විනාශ කළා. අපි සැලුනේ නෑ. එක වතාවක් අපි ගමෙන්ම වැඩිපුර අල වවපු පවුල වුනා . අල හොන්ඩර දහයක් හිටෙව්වා . එකට දහයක් වෙච්ච අස්වැන්නක්  ඒ කියන්නේ හොන්ඩර සීයකට  වැඩිය ගැලෙව්වා. බණ්ඩාරවෙල හිටි පුංචිරාළ  මුදලාලි  ලොරි දෙකක් අරගෙන අපේ ගමට ඇවිත් අල පටවාගෙන ගියා. ඒ සැරේ සල්ලිවලින් අපි ගමට හැතැප්ම තුන හතරක් ඈත ලස්සන සානුවක තිබ්බ කන්දේ ආරාව කියන කුඹුර සල්ලිවලට ගත්තා . ඒ කුඹුරට යන්න ඕනි හිඹුටු , පේර හා කටුවැල් පිරිච්ච ලන්ක්දක් මැදින්. අපි කන්න දෙකක් විතර ඒ කුඹුර වගා කරලා ආපහු මුල් අයිතිකාරයාටම දීලා දැම්මා. 

ඉතින් අපි අල වවන කාලේ දියතලාව , බණ්ඩාරවෙල , වැලිමඩ, නුවර එලිය වගේ පැති අල ආර්ථිකයෙන් සශ්‍රික වෙලා තිබ්බේ .  ඒ කාලෙත්  බීජ අල සම්බන්ධ ප්‍රශ්නෙත්  තිබ්බ . පොහොර ප්‍රශ්නේ තිබ්බා . ඒ වෙනකොටත් කහගොල්ලේ හා සීතාඑලියේ පර්යේෂකයෝ ලංකාවේම බීජ අල වවන හැටි හොයමින් හිටියා . මේ අතර ප්‍රමුඛයා ආචාර්ය වී යෝගරතන්ම. ඔහු තමයි ඉන්දියානු අල  ප්‍රබේධ  මුහු කරලා ශීතා හා කෘෂි කියන අපේම අල වර්ග දෙක හොයා ගත්තේ . 1989 වෙද්දී ඔහු හිටියේ බණ්ඩාරවෙල , කහගොල්ල සහකාර කෘෂි අධ්‍යක්ෂකවරයා වෙලා. ඒ වෙනකොට අපි යන එනමන් නැතිව අනාත වෙලා . කැම්පස් වහලා . ආචාර්ය යෝගරත්නම් අපි හැමෝටම කෘෂි පර්යේෂනායතනේ සුළු සුළු රස්සා දුන්නා. බීජ ගනින්න, පැකට් කරන්න. දත්ත වගු  ගත කරන්න වගේ ඒවා  . මේ රස්සා දීම නිසා කීප දෙනෙක්ගේ ජීවිතත් බේරුනා . ගෙවල්වල හිටියානම් වෙන කොහේ හරි ගියානම් පොලිසියෙන් උස්සන කාලයක් ඒක. මමයි තිස්සය් ආචාර්ය යෝගරතම් ගැනත් ඔහුගේ පර්යේෂණ ගැනත් ලිපි කීපයක්ම ලිව්වා. දැන් ඒ පත්තර හොයා ගන්න නෑ

මම මේ ළඟදී අන්තර්ජාලය පීරා පීරා හෙව්වා ආචාර්ය වී යෝගරත්නම් ගැන තොරතුරු ටිකක් හොයා ගන්න . ඒත් හම්බුන් නෑ. ඒ වෙනුවට මෙන්න මේ ලිපිය හම්බුනා

Photo : The Grower