Tuesday, May 28, 2013

අමුත්තා

අපි සරසවියෙන් පිටවෙලා ඉස්ඉස්සෙල්ලම රස්සාවට ගියේ අනුරාධපුරේ .ලබන පළමුවනිදට හරියටම අවුරුදු විස්සය් . මේ අවුරුදු විස්සේ රසකතා හා නීරස කතා බොහොමයි.
මේ ලියන්න යන්නේ අනුරාධපුර ජීවිතේ පොඩි සිදුවීමක් ගැන.මොන දුෂ්කරතා මුදල් හදල්  මදි පාඩුකම් තිබුනත් එහෙදි සුන්දර චරිත රැසක්ම හම්බ උනා . 

 වන්නි හා ලක්ෂ්මන් එහෙ පදිංචි වෙලා හිටි සරසවි මිතුරන්. ඔවුන්ට අමතරව අපිට වඩාත් සමීප වුන අනෙත් මිත්‍රයා  තමයි  රන්ජිත්. අපට වඩා  අවුරුදු තුන හතරකට  කලින් රස්සාවට ආපු ඔහුගේ ගම මඩාටුගම.
ඒ පළාතට දුර බැහැරින් ඇවිත් හිටියේ ශාන්තය් මමය්.

මාසයක් විතර බෝඩිමක හිටපු අපට අලුතින් පිළිසකර කරපු නිල නිවාසයක් ලැබුනා. ලොකු කාමර තුනක්, ශාලයක් හා කුස්සියක් ඇතුළු ඕනෑ තරම්  ඉඩ කඩ  එහි තබුනත් ගෙදර බඩු මුට්ටු මොකුත්ම තිබ්බේ නෑ .
සල්ලි තියෙන හැටියට  පුටුවක්, මෙට්ටයක් හා වළන් මුට්ටි  ටිකක් කඩෙන් අරගෙන අපි ජීවිතේ පටන් ගත්ත. ඔහොම ඉද්දි දවසක් රන්ජි අපේ ගෙදර ආව. අපි ඉන්න හැටි දැකල රන්ජි බොහොම දුක් වුනා.‘මචන් මේ දවස් වල අපේ ගෙදර ඉන්නේ මම විතරය්. මමත් සතියකට දෙතුන් පාරක් නෝනලා ගෙදර යනවා . උඹලට ඇඳක් පුටුවක් නැතුව ඔහොම ඉන්න අමාරුනේ, වරෙල්ල අපේ ගෙදර. ගිහින් තියෙන දෙයක් බෙදාගෙන එහෙ ඉමු'. කියල ඒ වෙලාවේම අපිව ඇදගෙන ගියා. ඒ වෙනකොට රංජිත්ගේ නෝනා කුළුඳුල් දරු උපතට සුදානමින් සිටි නිසා කල් ඇතිව මහගෙදරට ඇරලවා තිබුනා

අපි හිටපු ගෙදර හැටියට ඒ ගෙදර සුර පුරයක්. ටී වී එක, ප්‍රිජ් එක, ගෑස් ලිප්, පුටු සැටි අල්මාරි ඔක්කොම තිබුනා . මීට අමතරව තව මාසයකින් දෙකකින් ගෙදරට එන සිඟිති අමුත්තා පිලි ගැනීමට මෙන් ලස්සන ජනෙල් රෙදි, බුමුතුරුණු හා මල් පෝච්චි වලින් ඒ ගෙදර හැඩ  වැඩ වී තිබුනා.
අපි තුන් දෙනා පළ වෙනි දවසේ ඉඳන්ම උයන්න පටන් ගත්ත. රන්ජි මාසේකෙට විතර උයන පිහන දේ ගෙනත් දාල .

රන්ජි හවසට වෙනත් ආයතනයක උගන්වනවා.  වැඩ ඇරිලා ගියාම් ආයේ එන්නේ හත අට වෙලා අපි ගිය දෙවැනි දවසේ රන්ජි හම්බ වෙන්න අමුත්තෙක් ආව.හවස හය හමාරට විතර . 
ඉස්සර රන්ජි ළඟ වැඩ කරපු කෙනෙක්ලු .මොකක්දෝ ලියමනක් ගන්න ආව කිව්වා. රන්ජි ගෙදර නෑ  කියල දැන ගත්තම මනුස්සය හැරිලා ගියා හෙට එන්නම් කියල.

 පහුවදත් ඒ වෙලාවටම රන්ජි හම්බ වෙන්න අමුත්තෙක් ආව.  ගෙදර දොරට තට්ටු කළ  අමුත්තා දොර ඇරපු අපව දැකල පුදුමෙන් වගේ බැලුව.හැබැයි  කලින් දවසේ ආපු කෙනා නෙවෙයි.ඔහු අහිංසක ප්‍රියමනාප පුද්ගලයෙක්. ලජ්ජාශීලියි. 

' රන්ජිත් මහත්තය ගෙදර නැද්ද ?'  ඔහු කනට ඇහෙන නැසෙන ගානට ඇහුව .
'නෑ  ගමනක් ගිහිල්ල එන්ඩ රෑ වෙයි ' 
අපි කිව්වේ කලින් දවසේ මනුස්සය වගේම මෙයත්  ආපහු හැරිලා යයි  කියල හිතල. 
'කමක් නෑ මම එනකන් මෙහෙන් ඉන්නම්' කියල ගෙට ඇතුල්වෙන තැනම පොඩි පුටුවේ වාඩි  වුනා.  
තවත් පැය බාගයක් විතර ගියා. රන්ජි තාම නෑ.
'ගෙවල් එහෙම කොහෙද ඈතද ?මම අමුත්තාගෙන් ඇහුවා
'මඩාටුගම'
ඒ කියන්නේ රංජිත්ගේ ගමේ . දැන් රන්ජිත් හම්බුනත් ආපහු යන්න බස් නැති වෙයිනේ.?අපි ඇහුවා.
'එහෙම උනොත් අද ඉඳල හෙට යනවා' අමුත්තා ඇඟට පතට නොදැනී කිව්වා 

දැන් රෑට උයන වෙලාව .අමුත්තාට ඉන්න ඇරලා අපි දෙන්න උයන්න පටන් ගත්තා.
උඩට ඇඳන් හිටපු කොටු කමිසය ගලවපු අමුත්තා බැනියම පිටින් කුස්සියට ආව. මමත් උදව් වෙන්නද?
අපි හා කිව්වම අමුත්ත මගෙන් පිහිය ඉල්ලගෙන  අල ගෙඩි වල  පොතු රහින්න පටන් ගත්තා. මෙච්චර වෙලා මගේ අතට අකීකරු වෙලා අල ගෙඩිය බාගෙට කොනහ කොනහ හිටි පිහි පොඩ්ඩ  මෙන්න අමුත්තා ළඟ හීලැ වෙලා.අලගෙඩිවල පොතු රැහෙන ලස්සන.දැන් අල ගෙඩි  එක සමාන හතරැස් කොටු කෑලි  වලට කැපෙනවා.හරියට පැකට් කරන්න හදන රස කැවිල්ලක් වගේ. ශාන්තයි  මමයි වැඩ නවත්තල අමුත්තාගේ හුරුබුහුටි එළවළු කැපිල්ල දිහා බලාගෙන ඉන්නවා .ඒ අතර ලුණු, අමුමිරිස්,කරපිංචා ආදිය ඔහු ලඟට කිට්ටු කරනවා . සියල්ල භාජනයකට පිළිවෙලකට දාන ගමන් අමුත්තා කියනවා 'මහත්තයෝ ඔය උඩ  රාක්කේ දකුණු කෙළවරේ තියෙනවා උළුහාල් බෝතලේ ඒක ගන්නකො කියල'

අපි දැන් හොල්මන් වෙලා. මෙහෙ මීට කලින් ඇවිල්ල තියෙනවද ? ශාන්ත අමුත්තාගෙන්  අහනවා 
අමුත්තා හිනාවෙලා කියනවා 'ඔවු මම සතියකට දවසක් දෙකක් එනවා'

ඊළඟ  ප්‍රශ්නේ මගෙන්.

එතකොට ඔයා  රන්ජිත් මහත්තයාගේ කව්ද ? 

ඔහු  දුන්න උත්තරෙන් පස්සේ මෙතැන ඉන්න හැබැම අමුත්තෝ දෙන්න ශාන්තය් මමයි නේද කියල තේරුණා 

 'කොහේද  ඉතින් මහත්තයල කව්ද කින්ද මන්ද දන් නැති හින්ද මමත් කියන්න ගියේ  නෑ.
මම රංජිත්ගේ තාත්ත !' 



Sunday, May 26, 2013

සොඳුරු සිතැත්තියගේ උපන් දිනය

      
ඩක් ලද විටෙක යාළුවන්ට  සුබ උපන් දිනයක් පැතීම මගේ පුරුද්දකි. එමෙන්ම මටද බොහෝ උපන් දින සුබ පැතුම් ලැබේ. ඒත් මීට දාහතර වසරකට පෙර අපේ ලොකු දුවගේ උප්පැන්න සහතිකය ගන්නට ගිය මට හරි අකරතැබ්බයක් සිදු විය. ඒ ළමයාගේ අම්මාගේ උපන් දිනය අමතක වීම නිසාය. එය මාර්තු  තුන දෝ නැත්නම් දහතුන දෝය් මට පැටලිණි.  උප්පැන්න රේජිස්ට්‍රර් වරයා ඉදිරියේ සවුත්තු වීමට මැලි වූ මම මාර්තු  දහතුන යැයි කිව්වෙමි. එත් මට වැරදුණු  බව තේරුනේ ගෙදර ආවාට පසුවය. එය මාර්තු  දහතුන නොව තුන්වැනිදාය .
මේ සිද්දිය නිසා මට දෝස්මුරයක් අසන්නට සිදු වෙතැය් සිතුවත් ඇයට නම් එය රස කර කර සිනා වීමට කාරණාවක් පමණක්ම විය.
පෙම්වතුන් සමයේ දිනක් ඇගේ උපන් දිනය මතක් වී මම පුංචි රෙදි කඩයකින් ඇයට ගවුමක් මිල දී ගෙන ගොස් දුන්නෙමි. එහෙත් එය ප්‍රමාණයෙන් සහ හැඩයෙන් ඇයට කොහෙත්ම ගැලපුනේ නැත. ඇය එයටද මුහුණ රතු වන තුරු සිනා සුනාය. ඉන් පසු මාවත් ඇදගෙන ඒ කඩයටම ගියේ ඇඳුම මාරු කර ගෙන එන්නටය. කඩය පීරා බැලුවද ගැලපෙන ගවුමක් හමු වුනේම නැත. ඒ නිසා අපිට ගන්නට වුයේ මගේ ප්‍රමාණයේ කමිසයකි. සය්වර් කඩයෙන් උපන්දින තොසේ කන ගමනුත් නැවත බස් එකට ඇරලන තුරුත් ඇයට ලැබුණු  තෑග්ග ආශාවෙන් තුරුළු කර ගෙන සිටියේ අවසානයේ මටම පිරිනමන බලපොරෝතුවෙනි. එදා සිට මාස කීපයක්ම ඇයට ලැබුණු උපන් දින තෑග්ග මා ඇඳ සිටිනු බල බලා  ඇය මහත් සතුටක් ලැබුවාය.
අදද අයගේ උපන් දිනය බව මට අමතක වුවද ඇය අමනාප නොවන බව මම දනිමි.
ඒ ඇය ඇත්තෙන්ම සොඳුරු සිතැත්තියක් නිසාය .
 2013 මාර්තු  03
චිත්‍රය ඇන්දේ  ඔවිනි 

Saturday, May 25, 2013

ලොකු අක්කා

ලොකු අක්කාට අලුත් අවුරුද්දට කතා කළා. පවුලේ වැඩිමලා  නිසා  ඉස් ඉස්සෙල්ලාම නිල වශයෙන් කතා කරා මිස මම එතරම්ම හැඟීමකින්  කතා කරේ නෑ මයේ හිතේ. 'මම මේ අවුරුද්දේ පැන්ෂන්  යන්න ඉන්නේ මල්ලි' . ලොකු අක්ක එහෙම කියනකොට මගේ හිතේ කටුවක් ඇනුණා  වගේ දැනෙන්න පටන් ගත්ත. මගේ ළඟ දවටගෙන තිබු තාන්න  මාන්න, මෑත ඉතිහාසයේ ඉදිකරගත් ජීවන මන්දිර, සිරි සොබා අත ඇරපු මගේ හිත අවුරුදු තිස් පහක අතීතයට ඉගිල්ලුනේ හිස් අතින්.ලොකු අක්ක ඉස්සෙල්ලම රස්සාවට යනකොට මම පහේ පන්තියේ. ලොකු අක්කගේ පඩි දවස මගෙත් පඩි දවස.මම ඉස්කෝලේ ඇරලා  බස් ස්ටෑන්ඩ් එකේ හේත්තු වෙලා ඉන්නකොට ලොකු අක්ක ඇවිත් මගේ අතින් අල්ල ගන්නව. ඊට පස්සේ ලෑලි හෝටලෙන් එළවලු  රොටි කනවා. කිරිහලෙන් අය්ස්ක්‍රීම්. රාජු සැලුන් එකෙන් මගේ කොණ්ඩය කප්පන්නේ ඊගාවට.සෙත්සිරියෙන් මට ටී ෂර්ට්  එකක්, සයිබුගෙ කඩෙන් ගෙදරට මාළු, පළතුරු ගන්නේ බැග් මළු වල ඉඩ තියෙන තියන තැන් වල ලොකු අක්කගේ විහිලු කතා හිනා පොකුරු වලිනුත් පුරවන ගමන්. ටව්මේ ඉඳන් ගෙදර යනකන් ලොකු අක්ක ඉස්කෝලේ විස්තර මගෙත් එක්ක කියවනවා. ලොකු අක්ක මුල් කාලේ වැඩ  කරපු හැම ඉස්කොලේකටම මාව එක්කරගෙන ගිහින් තියෙනවා.අවුරුදු කීපයක්ම ඔහොම  සිද්ද  වුණා .එත් කාලයක් එක්ක අපි ඈත් වුණා . සමහර අවුරුදු වල ලොකු අක්ක මම දැක්කේ අවුරුද්දටම  වතාවක් දෙකක්. කතා කරේ මාසෙකට දෙකකට සැරයක්.  එත් දැන්නම් ලොකු අක්කගේ අතේ එල්ලිලා ඉන්න ඕනිකම තදින්ම දැනෙනවා.ගුරුවරියකට පැන්ෂන් යන එක හිතන තරම් ලේසි වැඩක් නොවන බව මට ඒ අතරේම මතක් වුණා . අපේ අම්මා  පැන්ෂන් ගිහින් අවුරුදු ගානක්  යනකම්ම උදේටත්  හවසටත්  වැට ගාවට වෙලා බලා  හිටියේ පොඩි උන් ඉස්කෝලේ යන එන හැටි බලන්න. ඉස්කෝලේ තේ ගෙනිච්ච ලොකු උණු වතුර බෝතලේට දා ගෙන තමයි  කාලයක් යනකම්ම තේ බිව්වේ.මා සුමිතුරු සුදත්ගේ  අම්මා  පැන්ෂන් ගත්ත හැටි මීටත් වඩා සන්වෙදියි. ඉස්කෝලේ ලොකු උත්සවයක් තියල විශ්‍රාම යවපු ගුරුතුමී මෙන්න සාරියකුත් පටලවාගෙන පහුවදා ආයෙමත්  ඉස්කෝලේ එනවා. ඒ පන්තියේ පොඩි උන් රණ්ඩු  කර ගනියි   කියල හිතුණු  නිසාලු.මෙන්න මේ නිසා ලොකු අක්ක  පැන්ෂන් යන දවසේ ගිහින් ලඟින් ඉන්න තිබුනානම් කියල මට හිතෙනවා. 
සේයාරුව -දෙව්නි

Thursday, May 23, 2013

බාබර් උන්නැහේ කෙනෙක්


1987 අවුරුද්දේ අග හෝ 88 අවුරුද්දේ මුල දවසක  සුපුරුදු පරිදි සරසවිය හිටි හැටියේම වසා දැමිණි රැ කෝච්චියෙන් ගෙදර යන්නට තීරණය කළ මම  කල් වේලා තිබු බැවින් නුවර පැත්තේ ගියෙමි. මුලින්ම  කුඩා සැලුනයකට  ගොඩ වුනෙමි .එහි සිටියේ එකම එක කරණවෑමියෙකි .ඔහු මැදි විය ඉක්මවමින් සිටි නූස්‌  පුද්ගලයෙක් විය.
ඔහුට දේශපාලන දැනුමක් තිබෙන්නට නුපුළුවන. අපගේ කතා බහ හෝ බරපතල විහිලු තහළු ඔහුට නොතෙරෙනු ඇතමේ ආදී මගේ පූර්ව නිගමන වලට අනුව ඔහුගේ කිසියම්ම විශේෂත්වයක් මට නොපෙනිණි.  
මම කොණ්ඩය කපන්නට වාඩි වූ විට රැවුලදැය් කොණ්ඩයදැයි ඔහු  අසුවේය .එවිට මම 'කොණ්ඩේ විතරයි ' කියා උස් හඬින්  කිව්වේ මගේ රැවුල කපන්නට ඔහු සිතු එකත් වැරදි බව අඟවන්නටද එක්කය.මා කී දෙයට හිස සලා එකඟ වුනත් ඔහු පනාවත් කතුරත් අතට ගත්තේ එතරම් මනාපයකින් නොවේ . 
විනාඩියක් යන්නටත් මත්තෙන් ඔහු නැවතත් මාව කේන්ති ගැස්සුවේ මෙසේ කියමිනි '  වුනත් මහත්තයෝ රැවුලත් කපා ගත්තොත් හොඳය් නේද ? .
 මම එකඟ නොවුනා මෙන්ම මා ඉදිරියේ කන්නාඩියෙන් පෙනෙන ඔහුගේ මුහුණ දෙස රළු බැල්මක්ද හෙළුවෙමි . එවිටම බිත්තියේ එල්ලා තිබු දුර්වර්ණ  දැන්වීමක් මගේ නෙත ගැටිණි  
මහතුන්ගේ කොණ්ඩය  කැපීමට රුපියල් දහයයි
                            රැවුල බෑමට රුපියල්  පහයි 
මොහු මේ සැරසෙන්නේ කලාතුරකින්  එකාගෙන් උපරිම ගානක් කපාගන්නටයමම අහු වෙයි  ඕවට!'
මගේ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් ඔහු මෙසේ කිව්වේය . ; 'මම කිව්වේ මහත්තයෝ දැන් රටේ තොටේ වෙන දේවල් දැකලඉස්සරහට රටේ කරදර තව තව වැඩි වෙයි කියල මගේ හිත කියනවා.  දැන් බලන්න අදත් ගලහ හන්දියේ කඳුළු ගෑස් ගහලා .කැම්පස් වහල නේද?'
 මේ යකා  එකත් දැනගෙන ! මම හිතුවෙමි.
කෙස්  ගසින් ගස පරිස්සමට කපද්දී , අපේ පරපුරේ  පොදු දුර්වලතාවයක් ලෙස ඔහු දුටු අධි  තක්සේරුවටත්අනුන්ගේ මතයක් ගරු නොකරන හිතුවක්කාර කමටත්  සියුම් ලෙස දෙහි කැපුවේය.
මුලින් මහත්තයා වූ  ඔහුගේ ඇමතුම මල්ලී , පුතා  ලෙස වරින් වර වෙනස් විය
'පුතා මම ගැන වරදවා හිතන්න එපා මටත් ලොකු මහත් වෙච්ච දරුවෝ ඉන්න  නිසා කියන්නේ
මේ වගේ කාලෙක රැවුල වවන එක වුනත් අවදානම්'.
ඔහුගේ වදයෙන් බේරීමට බැරි  වූ තැන, මාස කීපයකට පෙර රැග් සීසන් එක ඉවර වූ දා සිටම  පරිස්සමින් වැවු මගේ එළු රැවුල කපා දමන තෙක් ඉවසා සිටියෙමි.

අවසානයේ ඔහුගේ ගාස්තුව වන රුපියල් පහළොව  දෙන්නට සුදානම් වෙන විට රැවුල අහිමි වීම පිලිබඳ දුකක් තිබුනද ඔහු පිලිබඳ එතරම් කහටක් මගේ හිතේ නොතිබිණි. මට සල්ලි දෙන්නට ඉඩ නොතබාම ඔහු ඉතා දැඩි ලෙස මෙසේ කීවේ ඔහු ඉදිරියේ මා කුරුමිට්ටේකු බවට පත්කරමිනි.
සල්ලි එපා !!
 ඔහු එයට මෙවැන්නක්ද එක්  කළේය   
'මහත්තය පරිස්සමින් ගෙදර යන්න අම්මලා බලාගෙන ඇති '

(චිත්‍රය-අන්තර්ජාලය ඇසුරිනි )

Tuesday, May 21, 2013

හෝඩියේ පන්තියේ ටීචර්

හෝඩි පන්තියේ අවුරුදු තුනක් සිටි මම හෝඩියේ සිටි  තුන් වැනි අවුරුද්දේදී  පාසැල් ගමන නතර කර දැමුවෙමි. මගේ බලාපොරොත්තුව උනේ හීන් බණ්ඩා මෙන් හරක් රංචුවක් බලා කියා ගෙන වෙල්  දෙනි වල ඇවිදිමින් නිවී සැනසිල්ලේ සිටීමටය. එහෙමත් නැත්තම් දාස මෙන් ගොල්ෆ් පිට්ටනියේ බෝල ඇහිඳින අත්  උදව් කාරයෙකු වන්නටය. එත් මගේ අනාගත සිහින බිඳ වැටුනේ අපේ අම්මා නිසාය. අනෙක් අතට මට හෝඩියේ පන්තියේම අවුරුදු තුනක් ඉන්නට වුනෙත් අපේ අම්මා නිසාය.

මම ඉස්සෙල්ලම හෝඩියට ගියේ අවුරුදු හතරෙනි . හෝඩි පන්ති බාර ගුරුතුමිය අපේ අම්මාය. නම් ලැය්ස්තුව කතා කරන විට අම්මා මගේ නමද කියවය්. මම ආඩම්බරෙන් 'ඉන්නවා' යැය කියමි. අනෙක් සියලු දෙනාම තමන්ගේ නම කතා කරන  විට 'ඉන්නවා'  කිව්වේ ලජ්ජාවෙන් ඇඹරෙමින් මුත් දැඩි සන්තොශයකිනි. මම අනුකරණය කරමින් අපේ පන්තියේ ළමයින් සියලු දෙනාම අපේ අමමාට 'අම්මා' යැය්  කීවෝය. එත් මගේ පළවෙනි බලාපොරොත්තුව කඩ වුනේ අනිත් සියලුම ළමයන් දෙකේ පන්තියට පාස් වෙද්දී මට හෝඩියේම  ඉන්නැය් අම්මා ඉල්ලු දවසේදීය. අම්මාත් හෝඩියේම සිටින නිසාත් දෙකේ පන්තියට නියමිත පොත්ද මට ලැබුණු නිසාත් මම ඒ යෝජනාවට ටිකින් ටික අනුමැතිය දුන්නේම්.
තවත්  අවසනාවන්ත දවසක්  උදා  වුනේ මම හෝඩියේ සිටි දෙවැනි අවුරුද්දෙදීය. අම්මා  අසනීප වූ දවසක මට  තනියම ඉස්කෝලේ යන්නට සිදු විය. එදා පන්තියේ නම් ලැය්ස්තුව ලකුණු කලේ වෙනත් ගුරුවරියකි. ඇය ලැය්ස්තුව කියවා  හමාර කළද මගේ නම කියවුනේ නැත. මම මහා හඬින් හැ ඩු වෙමි. තැති ගත් ගුරු තුමිය නැවත ලය්ස්තුව පීරා බැලුවාය. ' ඔයාගේ නම මේකේ නෑනේ' . මගේ පපුව හෝස් ගා පත්තු විය. මගේ බෙරිහන් දීම නතර කිරීමට බැරි වූ නිසා ලොකු පන්තියක ළමයන් දෙදෙනෙක් සමග මාව  ගෙදර අරලන්නට සිදුවිය.

පසුව මා දැනගත් පරිදි ඉස්කෝලේ බාර දෙන වයසට කලින් අම්මා සමග මා පාසල් ගොස් තිබු අතර ඊළඟ අවුරුද්දේදී ළමුන් පාසල් භාර දෙන වයසද අවුරුදු පහ නොව හය ලෙස වෙනස් වී තිබිණි. ඒ නිසා අම්මාට අවුරුදු දෙකක් මාව නිකන් පාසැලට එක්කරගෙන එන්නට සිදු විය.  අපේ අම්මා  මගේ නම කියවා  කර තිබුනේ අහිංසක බොරුවකි.ඊ ලඟ අවුරුද්දේ අම්මා  මාව ඇත්තටම  ඉස්කෝලයට භාර දුන්නාය. ඒ මගේ හෝඩියේ පන්තියේ සිටින තුන් වෙනි අවුරුද්දය්. අවුරුදු ගානක්ම පාසැල්  ඇවිත් සිටි නිසා මම පුංචි 'පොරක්' වී සිටියෙමි.
ඒ  පාසැල පටන් ගත ජනවාරි මාසයේ මුල් සතියය්.

අපේ පාසැල ඉදිරිපස පාර තද බැවුම් සහිත පටු එකක් විය. පාරේ ඉබි ගමනින්  කන්ද නගින පරණ හමුදා බසයක් මගේ නෙත ගැටුනේ උදේ විවෙකයේදීය. තවත් තක්කඩි පැන්චන් පිරිසකට කතා කර ගත්  මම බස් එක පස්සේ දිව්වෙමි. ටිකදුරක් එහි පිටිපස ඉනිමග දිගේ එල්ලී යන්නටද  අපට පුළුවන් විය. වහා  බස් එක නතර කළ හමුදා බටයන් අපිට සැහෙන තරවටු කර, අපව  පාසලට ගෙන  ගොස් බාර දුන්හ.එය ඉතා බර පතල වරදක් විය. අම්මා  නඩුව ඇසුවාය ඉස්කෝලේ මිදුලේ පේලියට දන ගසා ගෙන සිටියා  මදිවාටවේවැල් පහරවල් කීපයක් කන්නටද මට සිදු විය. මේ සිද්දිය මා කෙතරම්  කම්පනයට පත් කළාද යත් ඒ මොහොතේම ගෙදර දුවගෙන ආවේ නැවත කිසි දාක පාසල් නොයන දැඩි තීරණයකිනි.

එදා සිට දවස් ගණනාවක්ම මාව සෝදා  කවා අන්දවාගෙන පාසැල් හැරලන අම්මාගේ අත ලිහිල් වූ සැනින් මම ගෙදර දුවගෙන ආවෙමි. ආච්චිලගේ ගෙවල්  පැත්තේ රවුමක් ගියෙමි. බත්කූරන් පස්සේ  ගියෙමි. කොට්ටෝරුවන් හා ඇති කුකුලන්ගේ හඬ අනුකරණය කරමින් ඇවිද්දෙමි. ගඩා ගෙඩි කමින් මහා අනාර්ග කාලයක් ගෙව්වෙමි. මාසයක් ගත විය දෙකක් ගතවිය. පාසැල් ගමන ඇත හැර තිබූ දාසත් හීන් බණ්ඩාත් මා  සමග මිතුරු වුයේ මේ කාලයේදීය.

දැන් අවුරුදු නිවාඩුවට කලින් සතියය්. අම්මා  මට පෙනෙන්නට මහා උත්සවයකට සරසේන්නීය.ඒ වාර අවසාන විබාගයේ තෑගි බෙදා දීමේ උත්සවයටය්. තාත්තා සමග මට ඇහෙන්නට ඒ ගැන නිතර කියවය්. පන්තියේ පළ වැනියා වන්නට සිටින සුනිල්ගේ දස්කම් ගැනත් ඊට නොදෙවෙනි හපනෙකු වන ගාමිණී ගැනත් කියය් . බ්‍රිස්ටල් බෝඩ් ලස්සනට කපා  පාට පැනින් සරසා සහතික පත්ද සාදා අවසානය. ඒවා මට පෙනෙන්න්නට මේසය මත තබා තිබේ. සහතික පත් වල නම් ලියන්නට ඉඩ ඉතිරි කරලාය .

හෝඩියේ වාර විබාගය දවසේ අම්මා ඉස්කෝලේ යන්නට සුදානම් වී බලන විට මමද හැඳ  ගෙනය. මොකුත් නොකියාම තනියෙන් සිනාසෙමින් මාවත් අතින් අල්ලාගෙන අම්මා  පාසැල්  ගියාය.විබාගයට ආ චිත්‍රය පාට කිරීමටත්, අකුරු බලාගෙන ලිවීමටත් මට වැඩියෙන්ම ලකුණු තිබුණු අතර පැමිණීමට ලකුණු අඩු වූ නිසා පන්තියේ පළවැනියා  වන්නට බැරි විය. එත් එදාය්න් පසු මට පැමිණීමටද පළවෙනි තැන ලැබුණි .

 ලොකු කන්තෝරුවල රැස්වීම් මැද ඒකාකාරී දවස් ගෙවෙද්දී  දාස හා හීන් බණ්ඩාගේ ලෝකයේම ඉන්නට තිබුනානම් හොඳ  යය්  මට හිතෙන වෙලාවල්ද තිබේ. එත් හෝඩියේ පන්තියේ ගුරුතුමියගේ ආදරබර සම්යක්ප්‍රයෝග මතක් වෙද්දී පළවෙනියාම  නොවී පලා යන්නට මගේ සිත ඉඩ නොදේ .

(චිත්‍රය ඇන්දේ  ඔවිනි )

කිතුල් හකුරු


සිකුරාදා නිවාඩු දවසේ මා බලන්නට ආ  මිතුරාට කිරි කහට සමග ගෙදරින් ඒවා තිබු කිතුල් හකුරු කැබැල්ලක් දුනිමිනිතරම රටඉඳි කමින් තුර්කි  කෝපි බොන ඔහු ජීවිතයේ  මුල් වරට කෑ කිතුල් හකුරු කැබැල්ලේ රසයෙන් පිනා  ගියේය.
මගේ ප්‍රියතම ගස කිතුල් ගස බවත් ප්‍රියතම මල කිතුල් මල බවත් ඔහුට කියන්නට ඕනෑ  වුනත් සංස්කෘතියක කොටසක්  වෙනත් භාෂාවකට පෙරළන්නට මා නොදත් නිසා කර බා ගතිමි. . ඒ වෙනුවට මම කළේ ඔහු නික්ම ගිය පසු සුපුරුදු පරිදි  නොස්ටැල්ජික් චාරිකාවේ යෙදීමය්.
 කිතුල් යන වචනය පවා  මට මෙතරම් ආශ්වාදනීය එකක් වන්නේ අනුවේ අවුරුද්දේ මා විදුසරට ලියු 'කිතුල් ගැනම වූ පිටු දෙක තුනක  සතියේ විශේෂාංගය නිසාම නොවේ.කිතුල් ගැන කතා කරමින් මහැදුරු නිමල් ගුණතිලකයන් හා ගැමුණුලා  අප්පච්චී සමග ගෙවූ රස බර සැන්දෑවන් කිහිපය නිසාමද නොවේ 
ඇත්තෙන්ම ඒ පසු පසින් තිබෙන බලගතුම හේතුව නම්  නමුනුකුල කඳු පාමුල පිහිටි  සුන්දර  ගම්මාන පිලිබඳ මතකයය්.මගේ ප්‍රාණ සම මිතුරා  වූ ගැමුණුවාගේ ගම හමු වන්නේ නමුනණුකුල කඩ මන්ඩියේ සිට එක සීරුවට හැතැප්ම කිහිපයක් පල්ලම බැස්සාට පසුවය එම ගම්මානය  පුරා නැවුම්  කිතුල් පැණි සුවඳක්  නිරන්තරයෙන්ම පැතිරෙමින් තිබිණිමනස්කාන්ත භූමි දර්ශණ  නිසාත් ගම මැදින් ගලා ගිය සොඳුරු ගඟුලැල්ලේ පහස නිසාත්ඔය සියල්ලටම වඩා එහිදී  නිතර දැනුණූ  මිහිරි කිතුල් පැණි රසය නිසාත් කාන්දම් බලයකින් මෙන් මියනකඳුර ගමට අපව  ඇඳ  බැඳ තබා ගෙන තිබිණි .
එහි ගත කළ  දිනවලදී  උදේට ලොකු එලකිරි වීදුරුවක් සමග අග්ගලාවක තරම් හකුරු ගුලියක් ලැබුණු අතර  හවස තේ වෙලාවට පීරිසියකට දැමු කිතුල් පැණි සමග තවරා කන්නට පොල් රොටී හෝ කුරක්කන් රොටී පළු දෙකක්  ලැබුණී. පැසුණු කිතුල් රා ගැන මම මෙහි කිසිත් නොලියමි. 
 එහෙත් කිතුල් රා යන වචනය සමග මට සිහියට නැගෙන ලොක්කම්මාගේ කතාව නම් නොලියා  සිටීමට  අපහසුය.
 ලොක්කම්මාගේ සරු ගෙවත්තේ තිබු  කිතුල් ගස් හතඅටෙන් අඩුම තරමේ දෙක තුනක් වත් ගැබ්බර නොවී තිබු දවසක් කාටවත් මතක තිබුනේ නැත. කවුරුන් හෝ ලවා අලුතින් පීදුණු කිතුල් මලක් බෙහෙත් තබා ගත්  පසු මාස ගණනාවක් ඉන්  නොකඩවා වෑස්සෙන ප්ලෝයම සාරයඋණු කර කිතුල් හකුරු හා පැණි  සාදා  ගැනීම වෙනම කුස්සියක් තිබිණි. ඒ පැණි කුස්සියය්. ඊට මදක් ඔබ්බෙන්  තිබු දර මඩුවේ  තම සැමියා විසින් හොර රහසේ  පැසෙන්නට තබන  තෙලිජ්ජ මුට්ටිය ගැන ලොක්කම්මා දැනුවත්ව සිටියාය.  කොහොමටත් අනලස් ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ලොක්කප්පා හැන්දෑ වෙද්දී වඩාත් විනෝදබර මිනිසෙකු බවට පත්වීමේ රහස ඇත්තේ මේ මුට්ටියේ බවත් දැන සිටි නමුදු රහමෙර පානය පිලිබඳ දොසක් මිස අනුබලයක් නම් ඇයගෙන් ඔහුට නොලැබිණි.
මේ නය්න් සරුසාර  වූ ලොක්කම්මලාගේ සරල ලෝකය ඉතා අවිහින්සකද විය.
ඒත් ලොක්ක්කම්මලා  ගෙදරටද  පොලිසියෙන් ආවෝය. එදා ගෙදර සිටියේ චුටා විතරමය .
කෝ ළමයෝ මේ ගෙදර මහා මිනිස්සු?' 
 'අප්පච්චි ගමනක්  ගියා අම්ම කුඹුරේ'  .චුටා තැති ගත් ස්වරයෙන් බයාදු ලෙස කිව්වේය. 
ඉන්පසු ගේ වටේ වටයක් කැරකුණු පොලිස් රාළහාම්ලා දෙන්නා කෙලින්ම ගියේ දර මඩුවටය්. දර මඩුවේ අඟලක් නෑර අවුස්සා බලු ඔවුන් චුටාගෙන් පාර අසා  ගෙන පිටත් වුනේ ලොක්කම්මා  මුණ ගැසීමටය . ගෙට පිටුපසින් හරිත වර්ණ පඩි පෙළක් මෙන් ඉහළට ඇදුනු හෙල්මළු ලියදි නගිමින් ලොක්කම්මා එළවලු පැලවලට සාත්තු කරමින් සිටි ලියද්ද්ටම ගොඩවූ ලොකු රාලහාමි මෙසේ කීවේය.
අම්මේ උඹලා ගෙදර රා පෙරනවා කියල ආරංචියය් . මනුස්සය ආවම පොලිසියට එන්න කියපන්. 
එඩිතර ගැහැනියක වූ ලොක්කමමා  මේ කතාවට  දැක්වුයේ  රලහාමිලා කිසි සෙත් බලපොරෝත්හු නොවූ ප්‍රතිචාරයකි 
‘”රාලහාමි ඕක අනිවාර්තයෙන්ම කවුරු හරි ඉරිසියා කාරයෙක්ගේ  කේලමක්.
අපි ගොවිතැනක් බතක් කරගෙන කාටවත් අත නොපා අපේ පාඩුවේ ඉන්න මිනිස්සු. මගේ මිනිහනම් කීයටවත් පොලිසි ගානේ එවන්නේ නෑ .රාලහාමිලා  රාජකාරියක් බලාගෙන යන්න
 මේ ගරු සරුවකින් තොර කතාවෙන් කිපී පසු බා ගියත් ලැබුණු ඔත්තුව එහෙමට වරදින්නට පුළුවන් එකක්   නොවූ නිසා ඔවුන් දෙවන වතාවටත් ගොස් නතර වුනේ දර මඩුව ළඟය.
ඔබ මොබ ඇස්  කරකවමින් සිටියදී මඩුව පිළිකන්නේ හණ පතුරු මිටියක්  අස්සේ හංගා තිබු  මුට්ටි පොඩිය එකෙකුගේ උකුසු ඇසට අසු විය.   
පැසී උතුරන තෙලිජ්ජ මුට්ටිය මෙන් සතුටින් උතුරා යන මුහුණින් යුතුව  නැවතත්  හෙල්මළු ලියදි නගිමින් ඔවුන් ලොක්කම්මා ලඟට ගියේ කට සැර අම්මණ්ඩියට පාඩමක් උගන්වන්නටය .
අම්මේ  උඹ දැන් මොකක්ද කියන්නේ?' අසමින් ලොක්කම්මාගේ දෙපාමුල නඩු භාණ්ඩය  තැබූ ලොකු රාළහාමි ඉණට අත්  දෙක තබා ගෙන බලා  හිටියේ මේ ගැහැණිය දැන් දැන් තමන් ඉදිරියේ පින්සෙන්ඩු වෙන හැටි බලන්නටය.
ඒත් එවැන්නක් සිදු නොවිණි . මේ දෙස බය බිරාන්තව බලා සිටි චුටා පසු කලක කිව්වේ එය එදා මෙදා තුර තමා දුටු  රසවත්ම ජවනිකාව බවය්. 
 ‘රටේ මංකොල්ල කාරයෝ මිනී මරුවෝ නැතුවටද රාලහාමි කොහෙන්දෝ හුලිජ්ජ මුට්ටියක් උස්සගෙන ආයෙත් පාරක් ආවේ ? කියා බෙරිහන් දෙමින් ඉදිරියට අඩියක් තැබූ  ලොක්කම්මා  මුට්ටියට වැරෙන් පා පහරක් දුන්නාය.
මේ අනපෙකිෂිත පහරින් පසු  මුට්ටිය හෙල්මළු ලියදි දිගේ පෙරලි පෙරලී ගොස් නියරි ගැටිත්තක වැදී කැබලි වී ගියේය.
මුට්ටිය පල්ලමට පෙරලී යන වේගයෙන්ම රාළහාමිලාගේ රාජකාරී තේජසද පල්ලම් බැස්සේය. පෙරළුණු  මුට්ටියෙන් ලියැදි පුරා තෙලිජ්ජ හැලී ගියා සේම , භයානක අපරාදයක බලගතු සාක්කිය  සොයාගැනීමේ ප්‍රීතියද රාළහාමිලා වෙතින් හැලී ඉවතට ගලා ගියේය. අන්තිමේදී බිඳුණු මුට්ටියේ පිළිබිඹුව සහිත මුහුණින් ආපසු හැරී යද්දී එකෙක් අනිකාට කිව්වේ මේ ගෑනි තමය් දවසකටවත්  ගෑනි කියලාය.