Monday, August 29, 2016

බොම්බායි බෝඩිම -1

බොම්බායි බෝඩිම කිව්වේ කිෂෝර්ගේ ගෙදරටය. එය පිහිටියේ බොම්බායේ නොවේ මැද පෙරදිග රටකය. මේ බෝඩිමේ ලෑන්ඩ් ලෝඩ් ඉන්දියාවේ බොම්බයි නුවර උපන් කිෂෝර් නම් හින්දු භක්තිකයෙකි. තරමක් විශාල පරණ පන්නයේ මහල් නිවසක් නවීකරණය කර ඔහුගේ බෝඩිමට හා පවුලේ උදවිය ජීවත්වන කුඩා නිවාස ඒකකයට ඉඩ හදාගෙන  තිබිණි.

කුස්සිය හා විශාල විසිත්ත කාමරය ගෙදර මැද  කොටසේ  පිහිටියේය. ගෙට ඇතුල්වන තැනට වම්පස පැත්තෙ කාමර තුනක් පිටස්තරයින්ට  කුලියට දී  තිබිණි.
දකුණු පැත්තේ නැවතත් ඇතුළත සාලයක් , කාමර දෙකක්  හා කුඩා පැන්ට්‍රියක්  තිබුණි.  ඒ කිෂෝර්   සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ ජීවත්වන කලාපයයි.

එය ඇත්ත වශයෙන්ම ප්‍රියමනාප නවාතැනකි.   මා කුලියට ගත් කාමරය ඉඩපහසු  ඇති ළඟදී තීන්ත ගා කාපට් එළා තිබූ එකකි .

කිෂෝර් යනු උදේට ගෙදර අණසක පතුරුවන තේජවන්ත ගෘහ මුලිකයා ය.ඔහුගේ  කුඩා දරුවන් දෙදෙනා   හා  බිරිඳ මේ පෙරයමදී  ඔහුට මහත් භක්තියක්  හා බියක් දැක්වුහ.  ඔහු ළමයින්ට අවවාද  අනුශාසනා  දුන්නේය. බෝඩිම්කාරයන් සමඟ කතාබහ කළේ ය. කෑම සකස් කරන්නට බිරිඳට උදව් කළේ ය.  රස්සාවටද ගොස් කල් ඇතිව ගෙදර ආවේය. හැබැයි කළුවර වැටෙද්දී ඔහුගේ සිංහ ලීලාව සේදී  බියගුළු හා පැටියෙක් බවට පත් වන්නේ උගුරෙන් පල්ලට  බහින මධුවිත වඩි දෙක තුනකින් පසුවය .

එසේ  කිශෝර්ගේ දයිනික රූපාන්තරණය සිද්ද වෙද්දී කිශෝර්ගේ  බිරිය  නිවසේ  බලතල  අතට  ගන්නීය. මහ හඬින් සිය සුවච කීකරු සැමියාට  අණ දෙන්නට  පටන් ගන්නා අතර   ඔහු වෙරි මතින් ඇඳට වැටෙන්නට පෙර  දෙන්නට පුළුවන් හැම වදයක්ම දෙන්නීය .

ඔහුට එක තැනක වාඩි වි ඉන්නට ඉඩක් නැත. ඔහු කන්නට ඕනෑ ඇය කියන වෙලාවටය. බලන්නට ඕනෑ ඇය කියන ටී වී චැනලයය. ගෙදරට එන්නට ඕනෑ ඇය කැමති  අමුත්තන්ය.

දිනක් මා මහා රාත්‍රියේ  දුරකථන කාඩ් එකක් මිලදී ගන්නට ගෙදරින් එළියට යන්නට සුදානම් වුනෙමි. මා යා යුත්තේ පොදු විසිත්ත කාමරය හරහාය . සාලයට  ගොඩවුණා පමණි මා දුටුවේ  කිෂෝර්ගේ බිරිඳ කුඩා ස්ටුලයක් ඔසවාගෙන කිෂෝර්ට පහර දෙන්නට  සැරසෙන අන්දමයි.  මා දුටු සැනින් කලබල වු  දෙදෙනාම වහා සන්සුන් වුහ.ලැජ්ජාවට පත් වුහ. මට  ආපසු හැරී යන්නත් බැරිය. මම දොර ඇරගෙන ඒ සිද්දිය නොදැක්කා සේ පිට වි ගොස් ටෙලිපෝන් කාඩය රැගෙන ගෙදරට  ආවෙමි. මා එන විට  සාලයේ උස පුටු දෙකක වාඩි වී කිෂෝර් හා බිරිඳ  අත්පටලවාගෙන   කතා කරමින්  සිටියහ. මම මද සිනහවකින් ඔවුන්ට හිතවත්කම පෙන්නා සාලය පසුකර  බෝඩිමේ කාමරය වෙත ඇදුනෙමි.

කිෂෝර් බොහෝ විට මා සමඟ පවසන දෙයක්නම් ඔහු මේ රටේ පදිංචි බලගතු ස්වදේශිකයන්  සෑහෙන ගණනක්  අඳුනන බවත්  කොයි වෙලේ  හෝ  ඔවුන්ගෙන් උදව්වක් වුවමනා වුවහොත් කර දෙන්නට  පුළුවන්   බවය.
කිෂෝර් බීලා දොඩවන  කිසි දෙයක් වැඩි ගැම්මකට  නොගත් මම තුන්මසක් ඇවෑමෙන්   වෙනත් නිවසක් කුලියට ගෙන නගරයේ කෙළවරක පදිංචියට ගියෙමි.

ඊළඟට එළඹුණේ පාසල් නිවාඩු මාසයේ මා සමග ගත කරන්නට   බිරිඳ හා දරු දෙදෙනා  මේ රටට  ගෙන්වා ගැනිමේ අවස්ථාවයි. ඊට  අවශ්‍ය වීසා පිළයෙල කරගත් මම ගුවන් ටිකට්පත්  සමඟ  සියළු විස්තර   ලියා යැව්වෙමි.  සුන්දර නිවාඩුවක් ගෙවන්නට සිහින දකිමින්  බිරිඳත් දරු දෙදෙනාත්  සුමාන ගානක් තිස්සේ කෑම බීම, ඇඳුම්  පැළඳුම් සුදානම්  කරද්දි මම ඔවුන්ට මාසයක් නැවතී සිටිමට  සුදුසු ප්‍රියමනාප කැදැල්ලක්  බවට  කෑලි දෙකේ  කුලි නිවස පත්කර ගැනිමට වෙහෙසෙමින් සිටියෙමි.

ළමයින් කන්නට ආසා කැම, යන්නට ආසා  කරන තැන්වල  විස්තර, බලන්නට ආසා කරන වීඩියෝ එකතු කරමින් සිටි මම ඔවුන් මේ බිමට ළඟා වන දිනය තෙක් ඇඟිලි ගනිමින්  බලා  සිටියෙමි. අන්තිමේදී එදා දවස උදා උනේය .

එදා බ්‍රහස්පතින්දා දවසකි. දරු පවුල  කටුනායක ගුවන් තොටුපල කරා පැමිණ සිටිති . පසුවදා සිකුරාදා මේ කලාපයේ නිවාඩු දවසයි.
හෙට දරුමල්ලන් තුරුළු කරගෙන නිවසේ ගතකරන සොඳුරු දවස  ගැන සිතමින් මම කන්තෝරුව ඇරෙන  තෙක් ඔරලෝසුව දෙස නිමේෂයෙන් නිමේෂය බල බලා සිටියෙමි. එක් වරම මට ලංකාවෙන් දුරකථන ඇමතුමක් බිරිඳගේ ජංගම දුරකථනයෙන්.

“ හරි  වැඩේනේ ටිකට් කවුන්ටරෙන් බලනකොට මාත් දැක්කේ ,වීසා එකේ මගේ නමේ  අකුරක් වැරදිලා“
දුරකථනය විසන්ධි විය.
මට දෙලෝ රත් වුයේ එවිටය.   මම කල්පනා කරමි. වීසා ගනිද්දීත්   ගුවන් ටිකට්පත් ගනිද්දීත් මට  අවවාද ලැබුනේ   වීසාවල නම හොඳින් පරීක්ෂා කර බලන ලෙසයි. යම් හෙයකින් එක අකුරක් හො වෙනසක් තිබේ නම් රටට ඇතුල් වෙනවා බොරු බව කීප දෙනෙක් කියා තිබිණි  .

මේ බය නිසාම  පිරික්සා බැලු නමුත් මේ අඩුපාඩුව හසු නොවුයේ ඇයි?
මගේ පැනික් සිතිවිලි ලෝකයට බාධා කරමින් බි රිඳගෙන්  නැවත  ඇමතුමකි.

“ හරි ටිකට් කවුන්ටරෙන් කිව්වා සුළු අඩුපාඩුවක් හින්දා කමක් නෑ යන්න කියලා. ලොකු වෙනසක්නම්  යන්න දෙන්නෙත්  නෑල්ලු ,ආපහු   එවන්න වුනොත්  ගුවන් සමාගමට දඩයකුත්  ගහනවලු. කොහොම වුනත්  එයාර් ලයින්  එකෙන්  කිව්වෙ ඔය රටේ  ඉමිග්‍රේෂන් එකට    මේක   දන්වලා   අකුරේ  අඩුපාඩුව  හදන්න කියලා. ඔයා ඒ නිසා  දැම්ම ගිහිල්ලා  ඒක හදා ගන්න. අපි චෙකින් වෙනවා.“

“හරි මම දැන්ම ගිහින්  හදන්නම්“

සැනසුම් සුසුමක් හෙළුෑ මම සැනෙකින් ඉගිලුනේ  ළඟම පිහිටි ආගමන විගමන කාර්යාලයටයි. ඉලෙක්ට්‍රොනික නොම්මරයක් ඇරගෙන පෝලිමේ  සිටි මම නිලධාරියෙක් හමු වී සිදු වී ඇති දෙය  පැහැදිලි කලෙමි.

“ අයියෝ ඕක සුළු  දෙයක්නෙ  මෙන්න මේ ෆෝම් එක පුරවලා දෙන්න මම හදන්න දාන්නම් “.
මම එයද නිමවා නැවත කන්තෝරුවට ආවෙමි. මට වීසා එකේ අඩුපාඩුව හදා ඇද්දැයි ඔන්ලයින් බලන්නට පුළුවන. අදාළ වෙබ් අඩවියට පිවිස මම වීසා  අංකය  ටයිප් කර  වීසා එකේ  තත්ත්වය සොයා බැලුවෙමි.  තිරයේ දුටු දෙයින් මගේ ඉස්මොළ රත් වී  ගියේය .
“ Under processing“

හත්දෙවලාමේ!   ඉස්සසෙල්ලා ‘අනුමතයි‘ කියලා තිබ්බ වීසා ස්ටේටස් එක දැන් මෙහෙම තියෙනවා. එතකොට එයාට ගුවන් තොටුපලෙන් මෙහාට එන්න දෙයිද , වීසා එක අසම්පුර්ණ නිසා?.  මගේ කලබලය දැක මා වටා එකතු වු මිතුරන්ගෙන් ලද  උපදෙස් අනුව  මම යළිත් වරක් ඉමිග්‍රේෂන් කන්තෝරුවට  දිව ගියෙමි. මගේ තනියට  මිතුරෙක්ද   ආවේය.

 අපි අඬා  දොඬා එතන සිටි  ඉහළ නිලධාරියෙක් හමු වුනෙමු.

“මේක  ඉතින් දැන්ම හැදෙන්නෙ නෑ වීසා එක හදන්න දාලා තියෙන්නේ . වෙබ් එකේ ස්ටේටස් එක  නිවැරදි වෙන්නෙ ඉරිදා “

“ මොනවා අපේ ගෙදර අය දැන් ප්ලේන් එකේ නැඟලා. දැන් අහසේ.   තව ටිකකින් එයාර්පෝට්  එකට එනවා. අනේ එතකොට ඇතුලට එන්න බැරි වෙයිද“?
ඔහු අත්දෙක දෙපසට විහිදුවා  කරන්නට දෙයක් නැතැයි කීවේය. තව කීප දෙනෙක් හමු වන්නට උත්සහ කළත් භාෂාවේ අවුලත් මා හිටි අවුල් මානසික තත්වයත් නිසා වැඩේ සාර්ථක වුනේ නැත.

දැන් මා අසරණ අනාතයෙකි .

ඊලඟට  අප  කඩිමුඩියේ  ගියේ ගුවන් සමාගම් කාර්යාලයටය. ඔවුන්ද කීවේ වීසා එක තාම ප්‍රොසෙස් වෙනවානම් ගුවන්තොටුපොලෙන්   ඇතුලට ඒමට  නොලැබෙන බවයි.

“එතකොට මොකද වෙන්නෙ“?

“හෙටයි අනිද්දයි නිවාඩු . වීසා හැදෙන්නේ ඉරිදනේ . සමහර විට එතකන් ඉන්න දෙන එකක් නෑ එයාර්පෝට් එකේ . එහෙම උනොත් හෙට රෑ  ප්ලේන් එකක   ආපහු  ලංකාවට යවනවා“.

 “එච්චර වෙලාවක් මේගොල්ලෝ ඉන්නෙ කොහෙද“?      

“ ඇතුලෙ වාඩිවෙලා ඉන්න පුළුවන් නිදා ගන්න ඇඳුම් මාරු කරගන්න  නම් තැනක් නෑ“.

මහත්  දොම්නසකි . මා දකින්නට  මාස ගණනකට  පසු එන අහිංසකයන්  අනේ  අසරණව  ගුවන්තොටුපළ  කාමරයක රැඳී බලාපොරොත්තු  සුන්ව ආපසු  යන හැටි දරා ගන්නේ කොහොමද? ඔවුන්  මුණගැසී මොහොතකට සිප වැළඳගෙන  එන්නටවත් ඇතුලට යන්න පුළුවන් කමක් නැත.

මම රියදුරා හා මිතුරා සමඟ රථයට ගොඩවුණෙමි. ඒ ගුවන් යානය ගොඩබසින්නට ඇත්තෙ තවත් පැයක් පමණි. බලාපොරොත්තු මුළුමනින්ම සුන්වු සිතින් සිටි මාවත්  දරාගත්  රිය නගරය මැදින් ඔහේ ඇදෙද්දී  මට එක්වරම කිෂෝර් සිහිපත්  විය. බලගතු දේශීය ජාතිකයන්  අඳුනන වග  බීමතින් ඔහු කී හැටි මට මතක් වුයේ මා සිතේ විදිලි කොටමින් තිබූ මොහොතකය.

“ හරවන්න මේ පාරට“

මම රියදුරුට  මඟ පෙන්වීමි.  කිෂෝර්ලා සිටි තට්ටු නිවාසය ළඟ  කැබ්රිය  නතර කරවූ මම විදුලි සෝපානය එනතෙක්  බලන්නෙත් නැතිව  වේගයෙන් පඩිපෙළ දිගේ  දිවගොස්   සිව්වන මහලේ පිහිටි කිෂෝර්ගේ ගෙදර  දොරට තට්ටු කළෙමි.
අකමැත්තෙන්  මෙන් ඇරුන දොරින්  කිෂෝර්ගේ බිරිඳ  හිස එලියට දැම්මාය.

මා හඳුනාගත් ඇය  තැතිගැන්මක් සඟවාගත් සිනහවකින් මට  දොර  ඇර දුන්නාය.
ඊලඟට දුටු දසුනින් මගේ  අවසාන බලාපොරොත්තුවද සිඳී ගියේය.
පෙරලුණු  පුටුවකට හේත්තු වී බීමතින්  නිදන කිෂෝර්ගේ ශරීර කූඩුව සාලයේ කෙළවරක දිස්විය.

මේ ගෑණි කිෂෝර්ට පුටුවෙන් ගැහුවාවත්දැයි  සිතී  මම ඔහුගේ  බිරිඳ දෙස  රුදු බැල්මක් හෙලීමි. ඇය අසරණ  අහිංසක  ලෙස මා  දෙස බැලුවාය.

මතු  සම්බන්ධයි
***********

04 Sept 2016
මීළඟ කොටස මෙතැනින් කියවන්න  



Photo : foodviva.com

Wednesday, August 17, 2016

සඳ මිදුලට එනවා!.....ආ ළඟක ඉඳලද ?

පේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන්  මේ දවස්වල  රැල්ලකට අසු වෙලා.  ඉයන් විසින් ඇති කරපු මේ සොඳුරු  රැල්ල තමයි තමන් කැමති සින්දු දාසයක් නම් කරන එක . මම ලියලා නැති ජාතියේ පෝස්ටුවක් වුනත් මම ඒ සමාගමට එකතු වුනේ කැමැත්තෙන්ම. සින්දු ටික ලැයිස්තු ගත කරේ ඊයේ උදේ . මට එය ඉතාම පහසු වුනේ  මම කැමතිම සින්දු තෝරන්න ගියේ නැති නිසා.  මතක මංපෙතේ ඇවිදගෙන අතීතෙට යනකොට එක එක අවස්ථාවල පුංචි පුංචි කතා සිදුවීම් එක්ක සින්දු ගොඩක් තැවරිලා තිබ්බ . ඒවා අතරින් පළවෙනි වරට අතට අහු වෙච්ච දහය තමයි මේ.

මගේ ළමා කාලේ වැඩිපුරම ගෙවුනේ ගෙදර ඔය හා කුඹුර කියන තැන්වල . අපේ හෙල්මලු කුඹුර පටන් ගන්නේ පුංචි ගඟුලක්  නැත්නම් ඔයක් අයිනෙන්. ඔය ඉවුරේ උණ  පඳුරු, හීන් බෝවිටියා පඳුරු පිරිලා  උදේට නැවුම්ම නැවුම් හිරු රැස්  කැරළි වැටිලා  කිරි සිනා උතුරුවන  හාත්පස පරිසරය ගොම්මන් වෙද්දී ශෝකී පාළුවකින් මුණ බර කර ගන්නවා . ඒ වගේ හැන්දෑවක අපේ වෙල් යායේදී  වික්ටර්ගේ තොටුපළ අයිනේ  සින්දුව  කවුදෝ ලස්සනට කියනවා ඇහිලා මගේ හිතේ තදින්ම තවරුනා

මේ සින්දුව  කොතැනකදී ඇහුනත් අපේ ඔය ඉවුරේ ගොම්මන් පාළුව හා ගුප්ත චමත්කාරය මට දැනෙනව.



යව්වන  කාලයේ තනියම  මම සින්දු කිව්වා මිදුලට වෙලා. ආයේ  කාගේ තහනමක්ද?
දවසක් සින්දුවක්  පටන් ගත්තා විතරයි මෙහෙම
සඳ මිදුලට එනවා.....
වත්තේ මොකක්දෝ කර කර හිටි තාත්තා මගෙන් අහනවා
ආ ළඟක ඉඳලද ?
ඉතින් තේරුණා වැඩේ මාට්ටුයි කියල .මගේ හිතේ තිබ්බ දේවල් තාත්තට අහුවුනේ  කොහොමද කියල මම ඒ දවස්වල කල්පනා කරා. පස්සේ තාත්තා කෙනෙක් උනාම ඒක මට තේරුනා

 ඒ කාලේ මම කැමති තව සින්දුවක් තමයි  සුනිල් එදිරිසිංහගේ අවපස අහසට.  කලා නිර්මාණෙකින් මිනිසුන්ට ජීවත් වීමේ ආසාව වැඩි  කරවන්න ඕනි කියල තමයි මාත් කියන්නේ  .


නුවර වැව්  ඉවුරේදී සබෑවක් වෙලා  වැවු ඉවුරේම බොඳ වෙලා ගිය පුංචි ප්‍රේම කතාවක් නිසාම නෙවෙයි මේ සින්දුව ඇත්තටම ලස්සනයි . ලුෂන් බුලත්සිංහල ලියපු, රෝහණ වීරසිංහ සංගීතවත් කොට ගයන මුතු කුඩ  ඉහළන මල් වරුසාවේ .


ඔය ඔක්කොම  අමතක කරලා හොඳ සරසවි ශිෂ්‍යයෙක් වෙලා  ඉද්දි මම එක්තරා උත්සවයක නිවේදකයා වෙද්දී සින්දුවක් කියන්න ආපු ගෑනු දරුවා කිව්වේ නන්දා මාලිනීගේ පීදෙන ගොයමේ .ඒ සින්දුවටත් ගෑනු දරුවාටත් ආශක්ත වෙච්ච මට ...නෑ මොකුත් උන් නෑ .

අපේ බිරින්දෑ සාරි වලට වගේම කුඩ වලටත් ආසයි . මේ සින්දුවෙන් කියන්නේ මම ඔයා ගැන හිතන විදිහ කිව්වම ඈට හරි සතුටු යි. ඇත්තටම මේ සින්දුව ඈ ලඟින් වාඩි  වෙලා හොරෙන් ඒ මුණ දිහා බල බලා අහන් ඉන්න කැමතියි
එඩ්වර්ඩ් ජයකොඩිගේ ; ඔබ තෙමෙයි කියා බයයි '

අපේ පැංචියෝ දෙන්නම අත දරුවෝ කාලේ ඉඳන් මේ සින්දුවට ආසයි. සින්දුවේ කතන්දරේකුත්  තියෙනවනේ. ප්‍රේමකීර්ති මොන තරම්  දයාබර පියෙක්ද කියල මට හිතා ගන්නත් බෑ . නන්දා මාලනී ගයන සුරංගීට දුක හිතුනා .


අපි ගෙදර සියලු දෙනාම කැමති සින්දුවක් තමයි  සුනිල් එදිරි සිංහගේ ' මේ තරම් සියුමැලිද කළුගල් '

අපේ  අම්මාත් අපේ බිරින්ත්දෑත්  බොහොම සහයෝගයෙන් සතුටින් කරපු දෙයක් තමයි හිමිදිරි පාන්දර නැගිටලා උයන එක . ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩින්නේ ඒ නිසයි .

මගේ  මතක සැමරුම් වලට හේතු නොවුනත් මම කැමතිම සින්දුවක් තමයි ඉන්ද්‍රානී බෝගොඩ ගයන 'විදුලිය එලිය'

ප.ලි.

ඉයන් ඉල්ලලා  තියෙන්නේ ගීත දාසයක්  නිසා මේ  ලිස්ට් එක සම්පුර්ණ කරන්න තව  සින්දු හයක් නම් කරනවා .

11. වී පැදුරෙන් ඉගිලී යන  - ක්‍රිශාන්ත එරන්දක
12. සැන්දෑ කළුවර ගලා හැලෙන විට -  සනත් නන්දසිරි
13. පායා ඇයි හිනැහෙන්නේ - එච් ආර් ජෝතිපාල
14. ගුමු ගුමුව ගඟුලේ - සමිතා එරන්දතී
15. ආශාවේ මල් වැටෙන් එබී - බණ්ඩාර අතාවුද
16.  මිහිකත නලවාලා - සුනිල්  ශාන්ත


Saturday, August 13, 2016

ලෝකල් ඩෙනිස් ලිලී

ම ආශ්වාදයෙන්ම මතක් කරන කාලයක් තමයි කොටුවේ පිට්ටු බම්බු තුනේ වැඩ කරපු අවුරුදු දෙක.  තට්ටු තිස් දෙකක් උස ලංකා බැංකු ගොඩනැගිල්ල හදල තියෙන්නේ රුපියලේ කාසි ගොඩක් එක උඩ  එක තිබ්බම එන හැඩේට . ඒත් ඒකට  හැමෝම කිව්වේ කොටුවේ පිට්ටු බම්බුව කියලා. 1996 විතර වෙනකං ඒක තමයි ලංකාවේ තිබ්බ උසම ගොඩනැගිල්ල . කොටුවේ  ලෝක වෙළඳ මධ්‍යස්තාන නිවුන් ගොඩනැගිල්ලට තමයි ඉන් පස්සේ ඒ තැන අයිති උනේ තවත් අවුරුදු කීපයක් යනකං. ඒ ගොඩනැගිලි දෙකට තට්ටු තිස් අට ගානේ තිබුනා .

කවුරුත් විශ්වාස කරාවිද මන්දා  මම ඔය තට්ටු තිස් දේකේ හා තිස් අටේ බිල්ඩින්  තුනේම පිටත බිත්ති  පුරාම ඇවිදලා  තියෙනවා . ඇවිදිනවා කිව්වට් එහෙම හරස් අතට ඇවිදින්න බෑනේ  මකුළුවෙක් වගේ . ඒ ඇවිදිල්ල කෙරුනේ වහල මුදුනින්  කේබල්  වලින් එල්ලාපු කුඩුවක  නැගගෙන. සිංහලෙන් කිව්වේ ගොන්ඩෝලා එක . මේවයේ ගිහින් තමයි පිටත බිත්තියේ ජනෙල් වීදුරු  නැත්නම් ඇලුමිනියම් තහඩු සවි කරන්නේ , සීල්  කරන්නේ, පරීක්ෂා කරන්නේ

තට්ටු තිස් අටේ ගොඩනැගිලි දෙකේ වැඩ තමයි ඉස්සෙල්ලේම කරන්න  පටන් ගත්තේ . ඒ  වෙනකොට ගොඩනැගිල්ලේ සැහෙන තට්ටු ගානක් දෙස් විදෙස් සංවිධාන හා  සමාගම් විසින් කුලියට අරන් තිබ්බා.  කොටි බෝම්බ වලින්  ගොඩනැගිල්ලේ පිටත  ඇතුලත  හානි වෙලා තිබ්බත්, සමහර තට්ටු වල කන්තෝරු පවත්වාගෙන ගියා.

මේ පැත්තම අධි ආරක්ෂක  කලාපයක් වෙලා තිබ්බේ. විශේෂ හැඳුනුම්පතක් තිබ්බ උදවියට  විතරයි ඇතුළු වෙන්න පුළුවන් වුනේ.  සිංගප්පුරු සමාගමකට අයිති  බිල්ඩිමේ දේශීය හා ජාත්‍යන්තර ආයතන ගණනක කාර්යාල   තිබුන නිසා අලුත්යාවැඩියාවටත් ඒ වගේම විශේෂත්වයක් දීලා තිබ්බා.වැඩ කොන්ත්‍රාත්  දීලා තිබ්බේ විදේශ සමාගම්වලට . කම්කරුවෝ හැටියට ගත්තේ පුහුණු කාර්මිකයෝ. ඉංජිනේරුවෝ, කලමනාකාරයෝ සයිට් එකට බැහැලාම වැඩ  කළා .

ඩෙනිස් ඕස්ට්‍රේලියන් ජාතික ඉංජිනේරුවෙක්. හරිම සුන්දර  මිනිහෙක්. ඒ කාලේ ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හිටිය ඩෙනිස් ලිලී කියල . ඊට සමාන හැඩරුවක් තිබ්බ නිසා අපේ යාළුවාත් ඒ නමින් ඇමතුවට  ඔහුගේ මුල් නම වෙන  එකක් .  ඩෙනිස්ට කවදාවත් වටේ පිටේ ඉන්න අනිත් අය කාල නැත්නම් තනියම කන්න බෑ . ඔය ගොල්ලෝ   කාලද ? නැත්නම් එන්න කෑම කන්න'  ඒ වගේම ආචාරශීලීයි.

ඩෙනිස් හා හා පුරා කියල වැඩබිමට ආපු දවසෙම ආගන්තුක සත්කාරයක් හැටියට  කඩේකින් සීතල බීම බෝතලයක් ගෙන්නලා දුන්නා අපේ ගෝලයෙක් වෙච්ච ගුණසිංහට කියල .   අපේ සයිට් ඔෆිසියේ බෝතල් අරින අඬු  එහෙම තිබ්බේ නැති නිසා කඩෙන්ම  බෝතල් මුඩිය ඇරලා ආපහු යන්තම් වහගෙන තමයි ගේන්නේ.

බීම බෝතලේ  ගුණසිංහගේ  දෝතින්ම දුන්න ගමන් ඩෙනිස් ස්තුති පුර්වකව අතට ගත්තා. අලුත් දේශගුණයේ දාඩිය බේරෙමින් සිටි ඔහු පිපාසෙන් පෙළෙන  බව පෙනුනා  .

ඔහු වට පිට බලල  මේක අරින්නේ කොහොමද කියන ප්‍රශ්නය ඉඟියෙන්  ප්‍රකාශ කළා

වහා ඉදිරිපත් වෙච්ච ගුණසිංහ ' ගිව් සර්. ගිව් සර් කියල  බෝතලේ අතට අරන් මුඩියේ යටි පැත්තට මාපටැඟිල්ලේ නියපොත්තෙන්  උඩුකුරු තට්ටුවක් දැම්මා . බීම බෝතල් මුඩිය  උඩින් විසි වෙලා ගිහින් බිමට වැටෙද්දී ඩෙනිස්ක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා ගුණසිංහගේ දෙපතුලේ ඉඳන් ඔලුවට එනකන් සම්පුර්ණ ස්කෑන් බැල්මක් දැම්මා.

මිනිහට හිතෙන්න ඇති ලංකාවේ ඉන්නේ මාරම වැඩකරුවෝ කියල .
මම ඉතින් කියන්න ගියේ නෑ මේ බෝතලේ  කඩේදී ඇරලා අතින් තද කරලා ගෙනාපු එකක් කියල .

මේ වැඩෙන් පස්සේ  ඩෙනිස්ට   හිතට අල්ලලාම  ගිය ගෝලයෙක් වුනා  ගුණසිංහ .

ඒත් ඩෙනිස් එක්ක ගුණසිංහ තදින්ම අමනාප වූ දවසක් තිබුනා  .
එකට හේතු වුනේ ඩෙනිස් තව කෙනෙකුට  ' ලෝකල් වර්කර්ස්' කියමින් ගුණසිංහලා පෙන්වා මොකක්දෝ කියා තිබීමය.

ගුණසිංහ පැමිණිල්ල ඉදිරිපත් කරේ මට.

'මහත්තය බලන්න ඩෙනිස්  මහත්තය අපිට ලෝකල් මිනිස්සු කිව්වා . අපි මේ  මහන්සි වෙලා වැඩ කරාට නම්බුකාර මිනිස්සු.  එයාට කියන්න අපි ලෝකල් මිනිස්සු නෙවෙයි කිය'ල .

'ලෝකල් කියන්නේ මේ  රටේම  කියන එකනේ ගුණසිංහ'  කියා කොච්චරක්වත් කිව්වට ඔහු පිළි  ගත්තේම  නෑ '

තව දවසක් ඕස්ට්‍රේලියාවෙන් ගෙනා  කොන්ක්‍රීට් විදින  කටුවක් අරගෙන ගුණසිංහ  මා ලඟට ආවා.
සර් මේ කට්ට ' ලෝකල් ' එකක් නිකම්ම කැඩෙනවා. මේ සැරේ ගෙනල්ලා තියෙන්නේ ලෝකල් බඩු .

'නෑ නෑ  ඔය ඕස්ට්‍රේලියන් කන්ටේනරේක අනිත් බඩුත් එක්ක  ආපු  ඒවා'. අපේ ඉස්ටෝ කීපර් කිව්වා.
' එහෙනම් ඒවා ඕස්ට්‍රේලියාවේ ලෝකල්' බඩු වෙන්න ඇති'  කියාගෙන ගුණසිංහ එතනින් ඉවත්ව ගියේ හිතේ සතුටකින් නොවෙයි.

මේ  සිද්දී දෙක නිසා ගුණසිංහ ' ලෝකල්' නමින් ගරු නාමයක් ලැබුවා.

මේ ලෝකල්ට අමතරව ඩෙනිස් විසින් හදිසි වැඩ වලට හවුල් කර ගත්ත අනෙක් උදව්කරු උනේ ඔම්ලට්

ඔම්ලට්ට ඒ නම දීලා තියෙන්න  කම්කරු පිරිසමයි .

ඒ කතාව ගුණසිංග දවසක් මට මෙහෙම කිව්වා

මහත්තයා දවසක් අපි  රෑ වැඩකරපු දවසක අට දෙනෙක් කෑමට හිටිය . කෑම  නමයක්ම එවලා තිබ්බා .  මහන්සියේ වැනි වැනී හිටිය මහත දෙහෙත ලාල් ගිහිල්ල අන්න අර බැම්ම  උඩ වාඩිවෙලා කෑම එක දිග ඇරගෙන තනියම කැවා .පස්සේ  ලාල් අහනවා 'මොනාද බං අර   රොටී වගේ ජාතිය . මරු රහයිනේ'  කියල.
 අපි ඇහුවා  මොන රොටිද නිකම්ම නිකම් එළවලු බත් නේ තිබ්බේ .
පස්සෙයි වැඩේ ආරංචි උනේ කඩෙන්  එවලා තියෙන්නේ ඔම්ලට් කෑම අටක්. ඔම්ලට් අට වෙනම පාර්සලෙක ගෙනල්ලා.

දෙයියෝ සාලේ ඔම්ලට් අටක් කාලා මරු රොටී පාර තමයි කියපු හාදයාට එදා ඉඳන් ඔම්ලට් කියන එක අහන්නත් දෙයක්ද .

ඔය ඩෙනිස්  ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට  ඇවිල්ල තියෙන්නේ පිලිපීනය හරහා. එහෙ සති දෙක තුනක් කැරකිලා හොයාගෙන තියෙනවා අපුරු බිරිඳක් .

මේ  අලුත් යුවල  ලකාවට ඇවිත් පුංචි තට්ටු නිවාසෙකින් ගෙයක් කුලියට අරන් සන්තෝසෙන් හිටියා.

ඩෙනිස් දවසක් හැන්දෑ වෙද්දී  නොසන්සුන් වෙලා . අපි කොහොමත් සමහර දවස්වල රෑ  එකොළහ  විතර වෙනකම් වැඩ කරනවා  ඉලක්ක කරපු වැඩ ඉවර කර ගන්න.

ඩෙනිස් මට පින්සෙන්ඩු උනා  .  'මේ වැඩ ටික ඔයාට තනියම බලා ගන්න පුලුවන්ද ? මම  අද කලින් යන්ටෝනි . අපේ වයිෆ්ගේ උපන් දිනේ . එයා බලා ඉන්නවා  මාත් එක්ක  ක්ලබ් යන්න' .
'ඉතින් යන්න '. මම කිව්වා .

ඒත් ඩෙනිස් ගියේ  නෑ . දිගට හරහට කෝල්  එනවා  ගෙදර උන්දැගෙන් .
'මම මේ ටික බලා ගන්නම් ඩෙනිස් යන්න '. මම දිගටම කිව්වා
එත් වැඩක් පටන් ගත්තම ඩෙනිස්  ඒක  දාලා යන්නේ නෑ ඉවර වෙනකම් .

කොහොම කොහොම හරි රෑ නවයත් පහු වෙද්දී ඩෙනිස්  පිටත් උනා . මම ගිහින් එන්නම් කියල .

මෙන්න පැයක් ගියේ නෑ ඩෙනිස්  ආපහු ආවා මූණ රතු කරගෙන .
'මොකද මේ.  බර්ත් ඩේ පාටිය කල් දැම්මද?  මම ඇහුවා .

ඩෙනිස් මාව සයිට්  ඔෆිස් එකට  ඇදගෙන ගියා .
බෑග් එකෙන්  ගත්තා ප්ලාස්ටික් කෝප්ප  දෙකකුයි  විස්කි බෝතලෙකුයි.

බොමු !

'ඩෙනිස් මෙතැන  සයිට් එකේ බොන්න තහනම්. අනික මමත් තනියම වාහනේ එලවාගෙන ගෙදර යන්නත්  ඕනි තව  ටිකකින්'

ඒක නෙවෙයි මොකද ගිය පයින්ම ආවේ ?

'වැඩක් නෑ' .
ඩෙනිස් විස්කි අඩියක් පුරවලා උගුරට හලා ගත්තා

"ඒකී බලන් ඉඳල බැරි තැන ලියුමක් ලියල තියල ගිහින්"

ඉතින් හෙව්වේ .නැද්ද ?
'ඔය කොහේ හරි ගිහිං  එන් නැතැයි'.  ඩෙනිස් දිගටම බිව්වා.

දවසක් විසි අට වෙනි තට්ටුවේ තියෙන වැඩකට හදිස්සියේ යන්න වෙලා.  බිල්ඩිමේ සමහර කන්තෝරු  කාමරවල සීමිත  වෙලාවයි වැඩ කරන්න අවසර ලැබුනේ,  අපිම සවි කරපු දොරක ජනේලෙක අඩු පාඩුවක් හදන්න ලොක්  එකක් මාරු කරන්න  වගේ හදිසි වැඩවලට ඩෙනිස්  අරන් යන  ගෝලයෝ දෙන්න තමයි ඔම්ලට් හා ලෝකල්.

මේ ගොඩනැගිල්ල දෙපාරක් ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුණ දීලා තිබ්බ නිසා ආරක්ෂක අංශයට ලොකු බලයක් තිබ්බා. උඩට යන ලිෆ්ට් වලින් විදේශිකයන් හා නිලධාරීන්ට යන්න ලිෆ්ට් හතරක් තිබ්බ. සේවකයන්ට යන්න හා  බඩු ගෙනියන්න වෙනම සේවා ලිෆ්ට් දෙකක් තිබ්බා.

ගෝලයෝ දෙන්නා  සේවා ලිෆ්ට් එකේ යන්න හැදුවත් ඩෙනිස්  වැඩේ හදිසිය නිසා නිලධාරී ලිෆ්ට් එකේම යමු ඔන්නොහෙ  කියලා දෙන්නත් එක්ක එතැන පෝලිමට ගියා. ඉහළ පහළ යන  සෙනගේ හැටියට විදුලි සෝපාන තිබ්බේ අඩුවෙන්. කීපයක්ම හානි වෙලා.

ඕවරෝල් ඇඳ ගත්ත, දුවිලි හා දාඩිය ගඳ  කාර්මිකයන් දෙන්නා තමන් සමග ලිෆ්ට් එකේ යනවට  මගීන් කිසිවෙක් කැමති පාටක් පෙන්නුවේ නෑ.  නගින්න බලාගෙන ඉන්න පිරිස  මේ දෙන්නගේ ඇඟේ නොගෑ වී ඉන්න මහන්සි ගත්තා.
ඔවුන්ටත් වඩා ඒ වැඩේට  විරුද්ධ උනේ එතැන හිටි ආරක්ෂක නිලධාරියා.
 
'ඔය දෙන්නා සර්විස් ලිෆ්ට් එකේ යන්න' .ඔහු සැර  වුනා.

අපේ ගෝලයෝ දෙන්නා අනිත් පැත්තට යන්න හැදුවා .
ඩෙනිස්  ඔවුන්ට යන්ට නොදී නවත්තා  ගත්තා.

ලිෆ්ට් එක ආවා. දොර අරුනා. සයිට් ඉංජිනේරුවා උනත් හොඳින් හැඳ පැළඳගෙන සිටි ඩෙනිස්  පැනපු ගමන් ලෝකල් හා ඔම්ලට්  දෙන්නගේම කරවල්ටවලට අත් දෙක දා ගත්තා.
ඔහු ඒ දෙන්නාත් ඇදගෙනම ලිෆ්ට් එකට ගොඩ උනේ වැදගත් පහේ මගීන් පිරිස අතරින් ඉඩක් හදාගෙන .

 ලිෆ්ට් එකේ දොර වැහුනා .


(මේ තමයි  මගේ සියවැනි පෝස්ට් එක)

Photo: alchetron.com/

Friday, August 5, 2016

තුන්රෝද කතාවක්

කෙටි නිවාඩුවලට ලංකාවට ආ විට මම  ත්‍රී වීල් වලින් එහා මෙහා ගියා සෑහෙන වාර ගණනක් .  ඒ ගමන්වලදී හමු වූ රියදුරන් වැඩි දෙනෙක්  මා සමග ගනුදෙනු කරේ සුහදව . විනීතව .

ඒත් මේ අත්දැකීම සුන්දර නොවුණු අවස්ථාත් නොතිබුනා නොවෙයි. මේ ඒ වගේ එකක් :

ගිය අවුරුද්දේ දවසක මම  ත්‍රී වීලරයක් අල්ල  ගත්තේ බොරැල්ල ඇල්විටිගල පාරට යන්න . මීටර් ටැක්සි කියලා ඉසරහින් ගහල තිබ්බට නැගල පොඩ්ඩක් දුර යද්දී මෙන්න රියදුරා කියනවා ''  මහත්තයා මීටරේට නෙවෙයි ගන්නේ එතෙන්ට රුපියල් දෙසීයක් ඕනි' කියල .
ඇයි එහෙම කියන්නේ එතෙන්ට මීටර් ටැක්සියේ රුපියල් සීයක් විතරනේ යන්නේ ?
බෑ  බෑ කනත්ත හන්දියේ මාර ට්‍රැෆික්.  රියැදුරා කතා කලේ හැසිරුනේ  කිසිම සුහද බවකින් තොරව.

රුපියල් සීයක් කියන්නේ නොසලකා අරින්න ඕනි මුදලක් උනත් මේ අසාධාරණ වැඩේ නිසා මට වාහනෙන් බහින්නම හිතුනා. ඒත් පරක්කු වෙනවා. බැහැල වෙන එකකට යන්න කම්මැලියි .
'නෑ  මම දෙන්නේ මීටරේට විතරයි'  ඇයි මේ රටේ නීතියක් නැද්ද ? අනික නවත්තලා තියෙන වෙලාවටත් චාර්ජ් වෙනවනේ. තෙසක් රියදුරා නුරුස්නා විලාසෙන් මීටරේ ස්විචය එබුවා.

මම හිතුවා බැහැලා දෙසීයක්ම දෙනවා, ඒත් බහින තැනට යනකම්  බුරුලක් පෙන්නන් නෑ කියල . මාසෙකින් දෙකකින් ලංකාවට ආවම මට ඕනි වුනේ හම්බවෙන හැම කෙනා එක්කම සුහදව ගණුදෙනු  කරන්න.

 මට මතක් වුනා සුන්දර ට්‍රැෆික් ජැම් එකක් ගැන මම ලියපු  කතාවේ හිටි ත්‍රී වීල් මල්ලි.
අප්‍රියේහි සම්ප්‍රයෝගෝ දුක්ඛෝ  මුඩ් එකෙන් ඉන්න මාවත් පටවාගෙන ත්‍රී වීලරය ඉදිරියට ඇදෙනවා. මරුමුස් රියදුරා හම්බවෙන හැම වහනේටම වෙට්ටු දමමින් රවමින් ඔරවමින් දොස් පවරමින් තමයි රිය පදවන්නේ.

ඔහොම ටිකක් යනකොට කනත්ත හන්දියට කලින් හම්බවෙනවා  වාහන ප්‍රදර්ශනාගාරයක්. මේ ගොඩනැගිල්ල ඉදිරිපස අලංකාර කරන්න හදපු කුඩා දිය පොකුණක් තියෙනවා. . මේ වෙලාවේ සසර දුක මතක්වෙන දසුනක් දැක්කා. උමතු ගැහැනියක් අඩ නිරුවතින් මේ පොකුණෙන් දිය නානවා.. ප්ලාස්ටික් කෝප්පෙකින් ඇඟ පුරා  වතුර වක්කරගනිමින් සතුටින් ඉල්පෙමින් වටපිට බලමින් ඇය නාන්නේ හරියට ස්විමින් ෆුල් එකකට දැමු කුඩා දරුවෙක් වගේ.

මෙච්චර වෙලා බුම්මගෙන හිටි ත්‍රී වීල්  රියදුරාගේ හොස්සට සිනහවක් නැගුනා. වාහන ට්‍රැෆික් එකේ රිය ඇදෙන්නේ මන්දගාමීව  .
'මහත්තයා මහත්තයා ෆෝන් එක තියෙනවා නේද ?
ඔව් තියෙනවා . ඇයි?මම ඇහුවේ හිතවත් කමකින් නොවෙයි
ඔහු මා දිහාවට හැරී සතුටු හිනාවක් දැම්මා. මේ මනුස්සයාගේ මූණේ  හිනා පොදක් දැක්කේ දැන් තමයි.

'මහත්තයා ගන්න ගන්න ෆොටෝ දෙක තුනක් ගන්න . අර අර ගැනි නානවා . මරු සීන් එක. අරන් ෆේස් බුක් එකට දාන්න නියමයි  අප්පා . පුදුම ත්‍රිල් එකකින් මුසපත්ව මේ හාදයා කෑගගනවා .

කාලයක්  තිස්සෙම දැඩි විදිහට  පාලනය කරගෙන හිටි මා තුල සිටි යක්ෂයා අවදි වෙමින් සිටියා .
' ඔහේට අම්මා කෙනෙක් ඉන්නවද ?
මගේ හඬේ  අසාමාන්‍ය  වේගවත් බව හා ඒ ප්‍රශ්නයේ තිබු අමුත්ත  නිසා ඔහු අංශක එකසිය අසුවකින් ඔලුවත් කඳත් පිටුපස්සට හරවලා මගේ දිහා බැලුවා.
ඔහු කට අරින්නට කලින් මම පෙරටත් වඩා හඬින් මෙහෙම  ඇහුවා .
ඔහෙට ගෑනියක් , සහෝදරියක් දුවෙක් නැද්ද ?
මැදි වියේත්  අගිස්සේ හිටියත් චණ්ඩි  පහේ ගැටයෙක් වගේ හැසිරෙමින් සිටි තෙසක් රියැදුරා වික්ෂිප්ත වෙලා .
ඒත් තරමක් විනීත වෙලා .
ඇයි මහත්තයා එහෙම අහන්නේ ?.

දැන් බලනවා අර ගැණු කෙනා කාගේ හරි අම්මෙක්ගේ දරුවෙක් වෙන්න ඇති. නැත්නම් කගේ හරි අම්මෙක් වෙන්න ඇති. මොන කරුමෙකට හරි ඔහොම ඉබාගාතේ ගියාට ඔලුව විකාර වුනාට සමහර විට මේ මනුස්සය ගැන පවුලේ අය හූල්ලනවා ඇති. එහෙව් එකේ තව ෆොටෝ ගහල ෆේස් බුක් දදා  ජොලි කරනන හිතන එකත්  මොන නරුම කමක්ද ?
ඔහේ කැමතිද ඔහේගේ පවුලේ කෙනෙකුට එහෙම වෙනවට?'

ඉලක්කයටම වැදුණු මගේ සුළු අවි ප්‍රහාරයෙන් තෙසක් රියදුරා සසල වුන බව මට තේරුණා.

දැන්  ට්‍රැෆික් ජෑම් එක අඩු වෙලා රිය පෙළ ඉදිරියට ඇදෙද්දීම  අහිංසක පූස් පැටවෙක් වගේ කීකරු වෙච්ච ඔහු ආයෙමත් සැරයක් අංශක එකසිය අසුවක් හැරිලා මා දිහා බැලුවා.

ඒ බැල්මේ තිබ්බේ තනිකරම පරාජිත බවක් . බින්දුවටම වැටිලා
ඒ අතෙර් මෙහෙම කිව්වා

' පව් නේද මහත්තයා ඒ ගෑනු මනුස්සයා '

මම නිස්සද්දව  හිටිය  .