උදෑසන මම අවදි වුනේ ලංකාවෙන් ආ කෝල් එකකින්. මහා පාන්දර අයියා කතා කරනවා .
' මුකුත් කරදරයක් නෑ නේද ?"
"කරදරයක් නෑ . ටිකක් නින්ද ගියා. ඇයි ? "
'නෑ මම නිකන් ගත්තේ' කිවා ෆෝන් එක තිබ්බා . මනුස්සයා නිකම් කතා කරන්නේ නෑ . මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නෑ .ඒත් එයයි මමයි අතර තියෙන්නේ ටෙලිග්‍රෑම් පණිවිඩ. හරිම කෙටියි . වචනෙකට ගානක් කැපෙනවා වගේ තමයි අපි කතා කරන්නේ .
ඉස්සර කොළඹ කොහේ හරි බෝම්බයක් පිපිරුවම මට ටක් ගාල කෝල් එකක් එනවා අයියගෙන් .
' කොහොමද . කොහෙද ඉන්නේ . නෑ මම නිකන් කතා කරා' එච්චරයි. මම දන්නවා කොහේ හරි මොකක් හරි උනාම මම හොඳින් ඉන්නවද බලන්න තමයි ඒ කෝල් එක එන්නේ කියල . කිලෝමිටර් හයදහස් තුන්සියක් දුරින් හිටියත් මෙහෙම කෝල් එකක් දෙන්නනම් මොකක් හරි හේතුවක් තියෙන්න එපැ යි. ඒ අතරේ සිකුරාදා අපේ රියදුරු නසාර් කියපු කතාව මට මතක් වෙනවා.
' හෙටයි අනිද්දයි කිසිම දේකට එලියට යන්න එපා . මොනා හරි ගෙන්නගන්න තියේනම් දැන් මම ගෙනල්ල දෙන්නම් "
මේ ගැන කල්පනා කරමින් නිදා ගත්තා. ගෙදරින් කතා කරා. ආයේ නිදා ගත්තා .
පොඩ්ඩකින් ආරච්චිකන්දේ සුනිල් අයියා කතා කරා
" මුකුත් කරදරයක් නෑ නේද "
" ඇයි එහෙම අහන්නේ ?"
" නෑ මේ ලෝක ප්‍රවෘත්තිවලට කියනවා ඉස්තම්බුල් යටවෙලා නැව් හිටන් අතුරුදහන් වෙලා කියන්නේ " .
මම ඉද්ද ගැහුවා වගේ නැගිට්ට . එතකොට උදේ අටට කිට්ටුයි. අවට පිහිටි එකම ගොඩනගිල්ලකවත් ලයිට් එකක් නෑ . හාත්පස කළුවරයි. වෙදර් රිපෝර්ට් එක බැලුවා . උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවයි .
මම කෝල් එකක් ගත්තා පිලාත්ට . මොකක්ද ? "කුණාටුවක් ඇවිල්ල . සමහර පැතිවල ගංවතුර ඒ කලුමුහුද අවට කලාපේ. බොස්පරස් එකේ නැවක් ගිලිළලු. බොස්පරස් වහල . නැව් යන්න බෑ ".
කළු මුහුද අවට තුර්කි කලාපේ මිනිස්සුන්ට තමයි ගොඩක් කරදර .
මේ කතා අස්සේ මම ලියන්න හිටි බ්ලොග් පෝස්ට් එක මතක් වුනා. කළු මුහුද ගැනනේ .මට ඔෆිස් එකේදී හිනත් ගියා කළු මුහුදට නම වැටිච්ච හැටි අහල
2023 නොවැම්බර් 20 සඳුදා
තුර්කිය දකුණට වෙන්න පදිංචි මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා උතුර පැත්ත කළුයි කියල . ඒකයි ඔය කළු මුහුදට නම වැටිච්ච කතාව .
මගේ ආදරණිය කැස්පියන් මුහුදට තරමක් ප්‍රමාණයෙන් සමාන කළුමුහුද වටේට බල්ගේරියාව, රුමේනියාව, මොල්දාවියාව, යුක්රේනය, ජෝර්ජියාව, රුසියාව හා තුර්කිය කියන රටවල් හතටම මායිම් වෙනවා . යුරෝපය හරහා රටවල් ගානක් මැදින් ගලාගෙන එන ඩෑනියුබ් ගංගාව දිගේ එන නැව් කලුමුහුදට ඇවිල්ල බොස්පරස් හා ඩාඩනල්ස් ඇලවල් හරහා මධ්‍යධරණී මුහුදට වැටෙනවා
කළු මුහුද ඉවුරේ පදිංචි තුර්කි ජනයා කතා කරන භාෂාවේ ඇක්සන්ට් එක වෙනස් වෙන හැටිත් එක එක පලාත්වල වෙනස් වෙනස් විදිහට වචන උච්චාරනය කරන හැටිත් කිය කියා හිනා වෙන තරුණ ගැටයන් හා ගැටිස්සියන් තමන් දන්නා හැටියට ඒවා මට පරිවර්තනය කරලා දෙන්න මහන්සි වුනා . ඉස්සර අක්බාර් කෑම පැයේදී අම්බලන්ගොඩ උන්ගේ කතාවට බණ්ඩාරවෙල අපි හිනා උන හැටිත් උන් අපේ සමහර වචන අල්ලාගෙන හිනා උන හැටිත් මතක් වුනා
එකකට එකක් ගැලපෙන් නැති වචන කිහිපයක මාතෘකාවක් අද පෝස්ට් එකට ආවේ ඇයි කියා දැන්ම කලබල වෙන්න කාරී නෑ . ඉස්සෙල්ලම කුමාර් ආන්දන්දන්ගෙන් පටන් ගන්නම් , පෝක් සමුද්‍ර සන්ධිය හරහා එහාටත් මෙහාටත් පිහිනලා , තනි කකුලෙන් හිටගෙන ඉඳල හා දඟර නැටුම් ආදියෙන් හිනස් වාර්තා කිහිපයක්ම තිබ්බ ශ්‍රී ලාංකිකයෙක් තමයි කුමාර් ආනාන්දන් කියන්නේ . ඔහු අන්තිම ගමන යන්නෙත් ඉංග්‍රීසි ඕඩය හරහා පිනමින් ඉන්නකොට දියවැලකට අහුවෙලා කියල වගේ මට මතක . යාපනේදී ඉපදිලා, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උපාධියක් තිබ්බ , වෘත්තියෙන් නිතිවෙදියෙක් වෙච්ච ඔහු මිය ගියේ 1984දී . ඔය කාලේ ඉඳන් මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පෝක් සමුද්‍ර සන්ධියට ඒ වගේ නමක් ආවේ කොහොමද කියල . දහඅටවැනි සියවසේ අග හරියේ මදුරාසියේ හිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබර්ට් පෝක් නිසා පෝක් කෑල්ල ලැබුනත් ඔය සමුද්‍ර සන්ධිය කියන නම මේලෝකේ තේරුමක් තියෙන නමක් නෙවෙයි . ඒක සමුද්‍ර තීරයක් බොස්පරස් ස්ට්‍රේට් හෝ ඉන්ග්ලිෂ් චැනල් කියන ඒවා වගේ ඇළ මාර්ගයක් .
ආයෙම අපේ දෙවන මාතෘකාවට ආවොත් ලෝකේ තියෙන නාවික ගමනාගමනය කළ හැකි පටුම සමුද්‍ර ඇළ මාර්ගය තමයි බොස්පරස් කියන්නේ . කලුමුහුද හා මධ්‍යධරණී මුහුද යා කෙරෙන කිලෝමීටර් තිස් එකක බොස්පරස් ඇළ හා ඉවුරු දෑළම මුළුමනින්ම අයිති තුර්කියට . මධ්‍යධරණී මුහුදට වැටෙන්න කලින් මේ වතුර තුර්කි දේශ සීමාව ඇතුලෙම පිහිටි මාමුරා මුහුදට් ගිහින් ටිකක් ඇළවෙලා ඉන්නවා . එතැන ඉඳන් ආපහු මධ්‍යධරණී මුහුදට යනකම් තියෙන්නේ තුර්කියට අයත් තවත් සමුද්‍ර ඇළ මාර්ගයක් වන ඩාඩනල්ස් ඇළ . මේ ස්වාභාවික ඇළ මාර්ග දෙකම තුර්කියට අපමණ ආර්ටික හා දේශපාලන වාසි ගෙන දෙනවා .
බොස්පරස් කියන්නේ ඉතිහාසයක්, කතා මාලාවක්
Bosporus- Source GBNews |
2023 නොවැම්බර් 22 බදාදා
අපේ කන්තෝරුවේ හිටි ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙන ගත්ත ඇලන්වත් දැනගෙන හිටියේ නෑ බොස්පරස් කියන ග්‍රීක වචනේ තේරුමයි ඔක්ස්ෆර්ඩ් කියන ඉංග්‍රීසි වචනේ තේරුමයි ආසන්න වසයෙන් සමානයි කියල. අපේ අලිමංකඩ වගේ මේ නම ගවමංකඩ කියල සිංහලට හරවා ගන්න පුළුවන්. ඒත් මේ වචනවල තේරුම එතනට අදාළ වෙන විදිහ ගැන වැඩිය හිතන්න හොඳ නෑ . නවීන තුර්කි භාෂාව ග්‍රීක, ප්‍රංශ , අරාබි ඇතුළු භාෂාවල වචන මහා ගොඩක් ටර්කික් සම්භවය තියෙන වචනවලට එකතු කරගෙන නවීකරණය කර ගත්ත භාෂාවක් . ස්ථාන නාමනම් බොහොමයක් ග්‍රීක් . බොස්පරසුත් එහෙම එකක් .
වයස හැට පහු කරලා හිටියත් ඇලන් හරිම ක්රියාශිලියි. අලුත් දෙයක් දැනගන්න පුදුම උනන්දුවයි. ඇත්තම කිව්වොත් ලෝකේ නොයෙක් නොයෙක් රටවල නම තැබූ ඉදිකිරීම්වල අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ අතරින් මම ගිය ස්ථාන දෙකක් තමයි ඉංග්‍රීසි ඕඩය හරහා එංගලන්තේ ඉඳන් ප්‍රංශයට මුහුද යටින් යන කිලොමිටර් පණහක් දිග උමග . අනික 1999 විවෘත කෙරුණු තට්ටු 88ක් උස මැලේසියාවේ පෙට්‍රොනස් ද්විත්ව කුලුන. ඇලන්ලා චැනල් ටනල් එක විවෘත කරපු අවුරුදේ මම විදුසර පත්තර කන්න්තොරුවේ ඉඳන් ඒ ගැන කියෙව්වා. ඇලන්ලා මැලේසියාවේ පෙට්‍රොනාස් නිවුන් බිල්ඩිම විවෘත කරන කොට මම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්තානේ තට්ටු තිස් අටේ නිවුන් ගොඩනැගිල්ලේ පිළිසකර වැඩ . මේවගේ පිටුපස්සේ රසවත් කතා ගොඩක් තියෙනවා
මම අලන්ව පොරොන්දු කර ගත්ත ඔහුගේ ජිවිත අත්දැකීම් කොහේ හෝ සටහන් කරවගන්න . ඔහු මානව පුස්තකාලයක් .
මම හිටි ප්‍රොජෙක්ට්වලදී අඩුම තරමේ කාන්තා හා පිරිමි චරිත දෙකක්වත් ජිවිත කාලෙට හිතවත්ව ඉන්න පවුලේ මිතුරන් බවට පත්වෙනවා .ඒකත් එක්තරා ලැබීමක් .
කවදා හරි ලෝකය යා කරන අධිවේගී දුම්රිය මාර්ගයෙන් කොළඹ ඉඳන් නොර්වේ පැත්තට ටිකට් එකක් අරන් යද්දී මෙන්න මේ පාර තමයි අපි හැදුවේ කියල තුර්කි බල්ගේරියා දේශ සීමාවේදී කියද්දී ඇලන්වත් මතක් කරන්න පුළුවන් වෙයි.
මේවා තමයි හීන.