පසුගිය ලිපියෙන් මා කතා කළ " සන්නිවේදන කරළිය එක දෙක කරන අතුරු ජාලය' යන හෙඩිමෙන් යුත් සතියේ විශේෂාංගය මවිසින් විදුසරට ලියන ලද්දේ 1994 අගෝස්තු මාසයේය .
සිංහලෙන් ලියන ඉන්ටනෙට් පිලිබඳ ලිපියක් හෝ කිහිපයක් අභියෝගයට ලක් කළ ' හිම කන ඔටුවෝ' නිර්නාමික ලිපිය පළ වුයේ ඊට පෙරද පසුද කියා සොයා ගන්නට විදිහක් නැති නිසා එය මගේ ලිපියම ඉලක්ක කරගෙන එල්ල කළ විවෙචනයක්යැයි හරියටම කියන්නට බැරි වුනත් , මමද තොප්පිය දා ගන්නට කැමැත්තෙමි.
ඇත්තෙන්ම 1994 මැදක් වන විටත් ඉන්ටනෙට් යන්නට හරි හමන් සිංහල නමක් තිබුනේ නැත . ඒ වන විට සමහරුන් ' අන්තර් ජාලය' යන වචනය භාවිතා කරමින් තිබුනත් එය පිළිගත් බවක් පෙන්නේන්ට තිබුනේ නැත . සමහරුන් ඊට කීවේ "අන්තර් ජංජාලය" කියලාය .
එසේ හෙයින් විශේෂාංගය ලිවීම සඳහා ඉන්ටනෙට් යන්නට අලුත් සිංහල වචනයක් සෙවීමට තීරණය කළෙමි. මේ සඳහා මා උපදෙස් ගත්තේ වරලත් ඉංජිනේරු ඊලියන්ද සිල්වාගෙනි. ඉංජිනේරුවා වෙනුවට මැවිසුරා කියනවාට කැමති වූ ඊලියන්ද සිල්වා කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ හෙළ හවුලේ නයුවෙකි . තවත් වැදගත් කරුණක් වන්නේ ඔහු ප්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ වැඩිමහල් සහෝදරයා වීමයි .
ඉන්ටනෙට් එකට සිංහල නමක් ලෙස ඔහු යෝජනා කලේ ' අතුරු දැලටිය" යන්නයි.
"අන්තර් මැතිවරණෙට අතුරු මැතිවරණය කියනවා . අන්තර් කියන වචනෙට පිරිසිදු සිංහල වචනය තමයි අතුරු. අනික අතු ඉති ඇති ජාලයක් හඳුනවා දෙන්න හොඳම විදිහ 'දැලටිය' . ඔහු කීවේය.
අතුරු දැලටිය- අන්තර් ජාලය . වචන දෙක දෙපැත්තට කිරා බලමින් සිටි මම ලිපිය සකසා දීමට පොරොන්දු වූ දවසේ උදේද කල්පනා කරමින් සිටියේ internet යන්නට හොඳම සිංහල වචනය කුමක්ද කියලාය . ඕනි එකක් වෙන්නට කියා මම කලින් තිබ්බ නමෙන් කොටසක් හා ඊලියන්ද සිල්වා දුන් නමෙන් කොටසක්ද ගෙන ' අතුරු ජාලය ' ගැන ලිපිය සැකසීමි .
ලිපිය පළ වී දවසකින් විතර පසු මම මැවිසුරු ඊලියන්ද සිල්වා ඇමතුවේ ස්තූතියක් කිරීම සුදුසු යැයි හිතුනු නිසාය .
මොකක්ද ඉන්ටනෙට් එකට දාපු නම ? ඔහු ඇසුවේය
"අතුරු ජාලය" මම කීවෙමි
ඔහු ඊට තදින් කිපුනේය.
" මොකක්ද ඒ ?. කිසිම ගැලපීමක් නැති පදයක්නේ ළමයො. අර කලින් තිබ්බ වචනේ ' අන්තර් ජාලය' තව හොඳයි. මේක අතුරු ජාලය නෙවෙයි. අතුරු දැලටිය , දලටිය දැලටිය.. . ඔහු දිගටම කියෙව්වේය.
දැන් බලන්න computer එකට සිංහලෙන් දාගෙන තියෙන නම ' පරිගණකය ' ඒ වචනේ යොදා ගන්න පුලුවන්ද ඕනි ඕනි විදිහට . පරිගණක ගත කිරීම පරිගනකීකරණය බලන්න මොනතරම් අවලස්සන වචනද ? ඉන්ටනෙට් එකට හරි යන්නේ ' අතුරු දැලටිය තමයි ' කියා ඔහු දුරකථනය විසන්දි කළේය .
කොහොමින් කොහොමින් හෝ ' අතුරු දැලටිය' වෙනුවට ' අන්තර්ජාලය' ස්ථාපිත වූ අතර එහෙටත් නැති මෙහෙටත් නැති මගේ වචනය ' අතුරු ජාලය" යන්න යොදා ගත්තේ මා ලියු පළමු ලිපියේ විතරය. ඉන් පසු මේ රටේ කවුරුවත් ඒ වචනය යොදා ගත්තේ නැත ,
ඒ වුනාට ඊලියන්ද සිල්වා නිර්මාණය කළ තාක්ෂණ වචන රාශියක් අප නිතිපතා භාවිතා කරමින් සිටිමු.
තෙකලා ව්දුලිය , පිරිපහදුව , රැහැන වැනි වදන් දහස් ගණනක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ අතර තොටවත්තගේ ඊලියන්ද සිල්වා හා ටයිටස් තොටවත්ත යන දෙසොහොයුරන් සිංහල භාෂාවට හා සාහිත්‍යයට කරන ලද සේවය හරි හැටි ඇගයීමකට ලක් වී නැත , මේ ගැන කරුණු සොයා බලා ලියන්නට සිතා සිටිමි.
මේ අතරේ මට පරණ කතාවක් මතක් වුනේය .
මහේන්ද්‍ර ප්‍රසාද් යනු එකල විදුසරට ලියු පේරාදෙණිය කෘෂි ව්ද්‍යා පීඨයේ සිසුවෙකි. මගේ හිත මිත්‍රයෙකි. ඔහු දිනක් ඊලියන්ද සිල්වා හමු වන්නට ගියේ යම් විෂයයක් ගැන සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නටය.
මහේන්ද්‍ර කියන පරිදි කතාබහ අවසානයේ ඊලියන්ද සිල්වා මෙසේ ඇසුවේය.
මොකක්ද ඔය ළමයාගේ නම
'මහේන්ද්‍ර ප්‍රසාද් '
' අයියෝ තනිකර අසිංහල නමක්නේ "
එවිට මහේන්ද්‍ර කිසිවක් නොකියාම ඊලියන්ද සිල්වා දෙස මද සිනහවකින් යුක්තව බලා සිට ඇත .
මේ මද සිනහවේ පණිවිඩය තේරුම් ගත ඊලියන් ද සිල්වා මෙසේ කීවේය .
' ඇත්ත නේන්නම් මගේ නම ඊලියන්ද සිල්වා . ඒකත් අසිංහල නමක් වෙලා තියෙද්දී අනුන්ගේ නම් ගැන මම කතා කරන්නේ කොහොමද."
ඉන්පසු ඔහු සුසුමක් හෙලා ' මට ඒ නම දෙමාපියන්ගෙන් ලැබුණු නිසා වෙනස් කරන්න බැරි වුනා "
සිංහල තාක්ෂණ වදන් දහස් ගණනක් හඳුන්වා දුන් ඊලියන්ද සිල්වාට ඔහුගේම නම වෙනස් කරගන්නට බැරි වුනා වගේම 'අන්තර්ජාලය' වෙනුවට ඔහු හඳුන්වා දුන් හුරුබුහුටි වචනය වන ' 'අතුරු දැලටිය' ට සාධාරණයක් කරන්නට අපටද බැරි විය.
මේ ඔහු පිළිබද සිතුම් කොදෙව්වේ ලියවුනු බ්ලොග් සටහනකි ඉහත සේයාරුව ලබා ගත්තේද එම බ්ලොග් අඩවියෙනි.
පසු සටහන :
මගේ දෙවන පොත වන "තිලකසිත දෙක" මේ සිකුරාදා(පෙබරවාරි 15) එලි දකින අතර පොතත් මමත් දෙදෙනාම කොළඹ මහජන පුස්තකාලයේ 15-16 දෙදනා පුරාම ඔබ හමු වීමට බලා ඉන්න බවත් දන්වන්නේ සතුටිනි. 16 සෙනසුරාදා හවස මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී බ්ලොග් හා තීරු ලිපි ගැන රසික කතා බහක්ද පැවැත්වේ, වැඩි විස්තර හෙට .