Thursday, June 21, 2018

පේරාදෙණියේ ෆිල්ම් සොක -2



රක් අපට  Escape to Victory නම් ප්‍රබුද්ධ ඇමෙරිකානු චිත්‍රපටය ලැබුනේ වෙනත් රටක තානාපති කාර්යාලයකින් නම මාරු වූ  චිත්‍රපට  ලේබලයකිනි. එසේ  වෙන්නට ඇත්තේ අප වැනිම සංගමයකට ණයට දී ආපසු ලබා ගැනීමේදී චිත්‍රපට පෙට්ටිය මාරු වීම නිසාය. ච්ත්‍රපටවල රීල් මාරු වෙන බව  අසා තිබුනත් චිත්‍රපටිය එහැම පිටින්ම මාරුවුණු අවස්තාවක් දැක්කාමය. ඒත් පේරාදෙණියට ගෙනවිත් විවෘත කර බැලීමේදී එතුළ ඇත්තේ  Escape to Victory බව පසක් විය .

හිට්ලර්ගේ නාසි සිර කඳවුරකින් පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් ගැලවී පලා යන අන්දම  දැක්වෙන මේ විශිෂ්ට චිත්‍රපටය පෙන්නන්න  කලින් විශේෂයක් කරමු”  යැයියෝජනා විණි. ඒ  අනුව මාරි සවරිමුත්තු  ආචාර්යවරිය විසින් කරන ලද හැඳින්වීමේ දේශනයකින් පසු චිත්‍රපටය පේරාදෙනි කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරිණි. 



සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතයක් රඟපෑ මේ චිත්‍රපටයේ 2018 ලෝක පාපන්දු තරඟාවලියේ සුවිශේෂ අමුත්තෙකු ලෙස  රුසියාවට පැමිණ සිටින ලෝක පුජිත පාපන්දු ක්‍රීඩක පේලේද රඟ පෑවේය.. පේලේගේ බයිසිකල් පහර හෙවත් උඩුකුරු පාපන්දු ෂොට් එක අප බොහෝ දෙනෙක් මුල්වරට දුටුවේ 1981 දී නිපදවුණු 1991 දී  අපට නරඹන්නට ලැබුණු මේ  චිත්‍රපටයෙනි .

බඹරු ඇවිත් හා ධර්මසේන පතිරාජ
ශ්‍රී ලංකාවේ බිහි වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරින් මා වඩාත් කැමති, වඩාත් ගරු කරන තැනැත්තා ධර්මසේන පතිරාජය. ඒ ඔහු පේරාදෙනි සරසවියේ ආදී ශිෂයෙකු නිසාවත් කලක් පේරාදෙනි චිත්‍රපට සංගමයේ ක්‍රියාකාරික යෙකුව සිටි බවා අසා තිබුණ  නිසාවත් නොවේය.  මා ඔහුගේ නිර්මාණවලට කැමති නිසාය.

 1991 අවුරුද්දේ ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙළේ ප්‍රධාන දෙසුමට ඇරයුම් ලැබුයේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය .ඒ වනවිට සරසවි ආච්ර්යවරුන් කිහිපදෙනෙකු සමග මතවාදී   ගැටුමක යෙදී  සිටි මහාචාර්ය  ගම්ලත් ගෙන්වීමට ගත් තීරණය සමහරුන්ගේ  දෝෂ දර්ශනයට ලක් වුවත්  ඔහු එදා සාරගර්භ දේශනයක් කරමින්  කාගේත් හිත පහදවන සුළු ආකාරයෙන් සිය අදහස් ඉදිරිපත් කළේය. ඔහුට විචාරය කරන්නට ඇරයුම් කර තිබුනේ බඹරු ඇවිත් චිත්‍රපටයයි.  

සුපුරුදු මාක්ස්වාදී විචාර කලාවෙන්චිත්‍රපටය විවරණය කළ ඔහුගේ මුළු කතාව හරියට මතක නැතිමුත්  මීට වඩා හොඳ, සුපුෂ්පිත දේශයක්, සෞබාග්‍යමත් රටක් දිනා ගත  යුතු බවත් ඒ අරගලයට  පතිරාජගේ චිත්‍රපට යම් තල්ලුවක් දෙන  බවත් ඔහු කීවා වගේ  මතකය.

අපට කලින් වතාවේ චිත්‍රපට සංගමයේ  සබාපති සමග  කළ කෙටි කතා බහකදී ඔහු මට සිහිපත්  කලේ දැඩි භීෂණ කාලයක පවා ඔවුන් චිත්‍රපට උළෙලවල් කීපයක්ම සංවිධානය කළ බවය. ඒ අතරින් ජපන් චිත්‍රපට උඑලෙලක් සංවිධානය කරන්නට ඔවුන්ට හැකි වී ඇත්තේ ජපන් තානාපති  කාර්යාලයට ගොස් පින්සෙන්ඩු වීමෙන් පසුය.

91 අවුරුද්දෙත් ජපන් චිත්‍රපට උළෙලක් ලෑස්ති කිරීමට අපට පුළුවන් උනේ ඒ විදිහටම ජපන් තානාපති කාරුයාලයට ගොස් පින්සෙන්ඩු  වීම නිසාය. ඒ දිනවල ජපන් තානාපති කාර්යාලයෙන් සුවිශ්ෂ ප්‍රචාරයක් ලබා දී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට උළෙල  අපටද ලබා දෙන මෙන් අපි ඉල්ලුවෙමු. සම්බන්ධීකරණ  නිලධාරියා හරහා අපට දන්වනු ලැබුවේ මෙය බොහොම වැදගත්  රාජ්‍ය ආයතනවලට  පමණක් ලබා දෙන අවස්තාවක්  බවත් එය එක එක සංගම්වලට කොහෙත්ම දෙන්නේ නැති බවත්ය.

කෙසේ වුවත් පේරාදෙනි සරසවියේ චිත්‍රපටි සංගමය මේ රටේ තියෙන වැදගත්ම පහේ  සංගමයක් බවත් එය රටේ විශාලම හා පැරණිතම  සරසවිය විසින් ප්‍රමුඛත්වය දෙන වැදගත් සංගමයක් බවත් තානාපති නිලධාරීන්ට දන්වා සිටින්නට  පුළුවන් විය.මේ අදහස් ජපන් තානාපති කාර්යාලයේ සම්බන්ධීකාරකයා හරහා තානාපතිවරයාට දැන්වුවද පෙරළා ලැබුනේ නෙගටිව් උත්තරයක් පමණකි.

පරාජිත මනසින් අපට ආපසු පේරාදෙණි එන්නට වුනේ හිස් අතින්මය. ඒත් දවස් කීපයක් ඒ ලියුම ලැබුනේය.
ඔබගේ ඉල්ලේම පරිදි ජපන් චිත්‍රපට උළෙල පේරාදෙණි සරසවි ච්ත්‍රපට සංගමයට ලබා දෙන්නට එකඟයි
ඉහේ මලක් පිපුනාක් මෙන් දැනුණි. පෙන්නු චිත්‍රපට  අතර හචිකෝ තිබුනා මතකය.

චිත්‍රපට උළෙලේ සමාරම්බක උළෙලට ජපන් තානාපතිවරයාද ආවේය. ඔහු කැඩිච්ච  ඉංග්‍රීසියෙන්  කළ කතාව එකේල්ලේ තේරුම් නොගියත් ඔහු කියා  තිබුනේ මෙහෙන් ගිය ළමයි දෙන්නෙක් චිත්‍රපටි ඉල්ලා හඬා  වැටුණු නිසා කාටවත් නොකරන උදව්වක් හැටියට උළෙල පේරාදෙණියට  ලබා දෙන්නට කැමති වූ බවයි .

කලාගාරයේ පෙන්වන චිත්‍රපට බලන්නට නිතර එන චිත්‍රපටය ගැන කලින් අසා දැනුවත් වෙන බැලුවාට පසු ඒ ගැන කතා බහ කරන ගුරුතුමියක් සිටියාය. ඇය  රසායන  ඉංජිනේරු අංශයේ මහාචාර්ය ශාන්තිනීය  . ඒත් හචිකෝ චිත්‍රපටය ගැන සිනොප්සිසය  ඈ සමග විස්තර කරද්දී ඇය දෙනෙතේ කඳුළු පුරවා ගත්තාය.

“මහාචාර්යවරයෙකුට හුරතල් බැල්ලක්  ඉන්නවා. ඒ තමයි හචිකෝ. ඉතින් හචිකෝ හැමදාම මහාචාර්යතුමත් එක්ක දුම්රිය පලට එනකම් එනවා .   සිය හාම්පුතා දුම්රියට නැගලා සරසවියට යනකම් බලා ඉන්න හචිකෝ ආපසු ගෙදර එනවා. සරසවියේ උගන්නන රස්සාව කරලා මහදුරුතුමා හවස ගෙදර එන කෝච්චියේ  වෙලාව හචිකෝ දනනවා. කෝච්චිය ආවම ස්ටේෂමට යන හචිකෝ සිය හාම්පුතත්  එක්ක දැවටී දැවටී ආදරෙන් ගෙදර එනවා. දවසක් මහාචාර්ය තුමා උගන්න උගන්න ඉද්දි හර්දයාබාධයක් හැදිලා මිය යනවා. හචිකොට යම් ඉවක් දැනුනත් හවසත් සුපුරුදු පරිදි මහාචාර්යවරයා ගන්න දුම්රියපළට යනවා. පහුවදා උදෙත් යනවා. හචිකෝ ජීවත් වෙලා ඉන්නකම්ම ඒක කරනවා. මේ සිද්දිය නිරෙක්ෂණය කළ දුම්රිය මගීන් හචිකොට මහා ඉහලින් ගව්රව කරනවා. දුම්රියපොළ අද්දර හචිකෝගේ සිහිවටනයකුත්  හදනවා.”
ඔන්න ඕකයි කතාව

මේ විස්තරය ඇසීමෙන් පසු ඇය චිත්‍රපටය බැලීමට උනන්දු වෙනවා වෙනුවට අපෝ හචිකෝනම්  කීයටවත් බලන්නට බෑ යැයි කීවාය .



චිත්‍රපට සංගමයට සරසවියෙන්ද විශේෂ සැලකිල්ලක් ලැබුණු අතර සංගමයේ සබාපතිවරයාට කලාගාරයට නුදුරේ පිහිටි  ජයතිලක හෝ අරුනාචලම් ශාලා දෙකින් එකක කාමරයක් ලබා ගැනීමට අවසර තිබිණි. ඒ චිත්‍රපටි පෙට්ටි ගෙනවිත් තබා ගැනීමට හා සංගමයේ අනිකුත් වැඩවලට පහසුවක් වනු සඳහාය .
අපට පෙර වසරවල  නුවර පිහිටි ලා  ප්‍රන්ශේ ආයනයේ සේවය කළ ප්‍රශ ජාතිකයෙක් චිත්‍රපට සංගමයට බෙහෙවින් උදව් උපකාර කළ බව අසා තිබේ. ඔහු අරුනාචලම් ශාලාවටම උසස් ගනයේ ප්‍රංශ  චිත්‍රපට ගෙනවිත් දී  පසුව ඔහුම පැමිණ ඒවා රැගෙන යන්නට  තරම් කාරුණික වී තිබේ.

හචිකෝ ගැන , පේලේ ගැන පරණ කතා ඔහොමය. සොඳුරුය . 

(අවුරුදු 27ක් පරණ සිද්දි ලිවීමේදී මගේ මතකයේ බොහෝ අඩු ලුහුඬුකම් තිබිය හැකි බව  සියලු  සමකාලීනයෝ පිළිගනිත්වා !  විශේෂ ස්තුතිය ච්ත්‍රපට  සංගමයේ ඉටපු ස්සභාපතිවරුන් වන ධම්මික නිස්සංකට  හා මැතිව් පීර්ස්ට )