බස් එක එන්නට විනාඩි හතළිහක් තියෙනවා. සාක්කුවේ තිබු නෙල්ලි ගෙඩි ටික ඉවර වෙලා. නෙල කඩල ගොට්ටක් ගන්න සල්ලි මදි. අලුත් සරුවත් කාරයෙක් ඇවිල්ලා . ලබන සතියේ සල්ලි ඉතිරි කරගෙන එකක් ගන්ඩ ඕනි . නෙල්ලි කෑවාට පස්සේ තොලකට සුදු වෙලා කට හිරිවැටිලා. මේ වෙලාවට ඇල්වතුර ටිකක් බිව්වම පුදුම ප්‍රනීත රහක් දැනෙනවා. කිරිහලට පිටිපස්සේ ලොකු වතුර ටැංකියට හයි කරලා තිබ්බ ටැප් එකෙන් වතුර ටිකක් බිව්වේ ඒක මතක් වෙලා .කිව්වත් වගේ තියෙන රහ. මරේ මාරු. වතුර කරාමය ගාව එළවලු කෑලි කුණු වෙමින් තිබුනා. වැඩිපුරම ගඳ එන්නේ ගෝවා කොළවලිනුයි කුණු රාබු වලිනුයි. ඒත් අර ලංකාවේ උසම කරපන්ටයින් ගස් ටිකත් ඇඹරෙන තරමට එන විසේකාර හුළඟට මොන ගඳක් වත් ඉතිරිවෙලා තියෙන් නෑ. ඈතින් ඈතට ඇදගෙන ගිහිල්ලා කන්දෙන් පල්ලහට ඌසික්ක කරනවා. ඉඳා තියා ගනිල්ලා හූඌ හූඌ කියල සද්දෙකුත් එක්කම.
සරුවත් කාරයා ගෝනියක දාපු ලී කුඩු අස්සේ තිබිලා අයිස් කුට්ටිය එලියට අරගෙන මන්න පිහියෙන් අයිනට පහරක් දුන්න. වෙන්වූ අයිස් පළුව අතින් ලිස්සා බිමට වැටෙන්නට නොදී වැර වෑයමෙන් අල්ලා ගන්නවා . මේ අල්ල පනල්ලේ පුංචි පුංචි අයිස් කැලි විසි වෙලා තාර පාරට වැටෙනවා. ඒවා දිය වෙනකන් බලා ඉන්න එකත් හරි අපුරු වැඩක්. කවුරුවත් දැක්කේ නැත්නම් සුටුස් ගල අරන් පුංචි අයිස් කැටයක් කටේ දා ගන්න උනත් තිබ්බා. සමහර වැස්ස දවස් වල ලොකු අයිස් කැට වැටෙනවා.
අතේ තියාගෙනම පිහියෙන් කුඩු කර ගත්ත අපිරිසිදු අයිස් කැට ටික සලං බලං ගාල තුන්කාලේ වීදුරුවලට හරි සද්දෙන් අත හරිනවා. ඒක තමයි ඇඩ් එක. ඇඩ් එක වගේ නෙවෙයි වීදුරුවක් එහෙම බිඳිලා පලච්චිනම්.
දැන් වෙලාව දෙක හමාරයි ඉස්කොලේ ඇරිලා පැයයි . ගමට යන බස් එක එන්න තවත් පැය බාගයක් තියෙනවා. එතකං එක තැන ඉන්න බැරි එකනේ වැඩේ. සමහර කොල්ලෝ නම් රංචු ගැහිලා බස්ස්ටෑන්ඩ් එකේ ලොකු කයිවාරු. මේ සමාගමෙන් හීන් සැරේ මග ඇරලා හුදෙකලාවේ ඇවිදින්න කැමති කෙනෙකුට කොච්චරනම් බලන්න දේවල් තියෙනවද. පොළ පාර දිගේ ටිකක් ඇවිදලා අලුතින් දාපු පුස්තකාලේ බලල එනවද. නැත්නම් පාර දිගේ උඩට ගිහිලා රීගල් එකේ එන්න තියෙන චිත්‍රපටිවල කමින් කෑලි පින්තුර ටික බලල එනවද. ඒත් එක දවසක් එතෙන්ට යන්න ගිහින් දොඩම්වත්තේ චුට එලවගත්ත හැටි මතකයි. මල්ලිලා මේ පින්තුර බලන්නවත් එන්න එපා මේක ඇඩම්ස් ඔල්ලි ෂෝ එකක්.
ඔහොම හිත හිතා ඉන්නකොට පී ඩබ්ලිව් ඩී එක ගාව මහා සෙනගක් වට වෙලා මොකක්දෝ බලනවා. විදුලි වේගෙන් එතෙන්ට ගියාමනේ දැක්කේ . මෙන්න බොලේ දේශකයෙක් . කොන්ඩේ පිට මැද්දට කඩා වැටිලා. පිටි පස්සට පීරලා තෙල් ගාලා. හරියට අර කවියක හිටිය ලෙව්කේ මැතිදු වගේ. ලොකු හම් බෑග් දෙකක් ට්‍රන්ක පෙට්ටියක් බිම තියලා අමුතු අමුතු ගැජමැටික් එක එක එළියට ගන්නවා. වෙනිවැල් වගේ වැල් ජාති , වේලාපු මුල් කෑලි. දේව රුපයක් සුදු රෙද්දක් උඩ තියලා තිබ්බා. ඒකට ඔන්න මල් මාලේකුත් දැම්මා. වටේම චුටි චුටි වේවැල් පෙට්ටි වල නොයෙක් බෙහෙත් ජාති. කහපාට රතු පාට කුප්පි. කොළ කුඩු කරලා පුංචි පොලිතීන් පැකට් වල දාලා. එක පෙට්ටියක තිබ්බා ලස්සන බෝල බෝල ගල්. ගඟකින් අහුලා ගත්තා වගේ, පුස්කොල පොතකුත් තිබ්බා.තව කුරුළු බිත්තර වගේ මොනවදොත් තිබ්බා. මේවා පිළිවෙලකට කාටත් පේන්න තැන තැන තියෙන අතරෙත් කොණ්ඩකාරයා කට තියාගෙන ඉන්නේ නෑ. සෙනග ගෙන්නා ගන්න කතා කරනවා . වැඩිහිටි ප්‍රශ්නවලට විසඳුම් දෙනවලු ලඟට එන්නලු. ඔන්න හිටපු ගමන් ගාථා කියනවා. හඬ හරි තීව්රයි. යාර දෙතුන්සීයක් ඈතට ඇහෙනවා. මුකරි කයිවාරු කාරයෙක්.
ඔන්න දේව රූපෙට එහෙම වැඳලා කියලා කාරිය ඇඳගෙන හිටි බාල පොප්ලින් වලට වඩිපුර නිල් දාලා හෝදපු, මැදපු නැති නැෂනල් සුට් එකත් හරිගස්ස ගස්සා පිරිස දිහා බැලුවා හරි ආඩම්බරෙන්.
පී ඩබ් ඩී එකේ වැඩ කරන ගෑණු පිරිමි, ඩෙලිකා වැන් රියදුරෝ ලොතරැයි කුඩුවේ මනුස්සයා. තව මහා ගොඩක් ගෑණු පිරිමි කොල්ලෝ කුරුට්ටෝ. ඉස්සරහින්ම මේ සිද්දිය ඉස්පිල්ලක් ඇළපිල්ලක් නැතිව හිතේ රැකෝඩ් කරමින් හිටි කොලුගැටයා .
කොන්ඩකාරයා රල් බුරුල් එහෙම ඇරලා බොහොම කරුණාවෙන් මෙහෙම කිව්වා.
මේ මම කියන කතා උස මහත් වෙචච උදවියට තමයි අදාළ වෙන්නේ. මම බෙහෙත් විකුනනවා සාස්තරත් කියනවා.
ඉසේ ඉඳන් කකුලේ සුලැඟිල්ලට එනකන් හැමදේම ගැන කතා කරන්න වෙනවා.
කරුණා කරලා ඔය පොඩි ළමයි මෙතනින් යන්න. එහෙම කියනකොටම පොඩි එකාට තේරුණා මේකත් ඇඩම්ස් ඔන්ලි මොකක් හරි වෙන්නැති කියලා. ලොකුහිටියො ටික එතන හිටිය පොඩිහිටියන්ට එතනින් ඈතට යන්න ඉඩ හදලා දුන්නා. අතින් පයින් ඇස්වලින් හැමෝම කිව්වේ පොඩි එවුන් මෙතෙන්ට ඕනි නෑ කියලා.
ඔන්න එතනින් මග ඇරිලා පාර දිගේ ටිකක් උඩහට ගියාට ආයිමත් කොණ්ඩයාගේ දේශනාව අහන්නමයි පොඩි එකාට හිත. අර බිත්තර වගේ ගල් වලින් මොන බෙහෙත්ද හදන්නේ. මේ යකා ගාව තියෙන මුල් ගොඩ.
කල්පනා කර කර කල්පනා කර කර දන්නෙම නැතිව පොඩි තැන ආයිමත් තෙල් බෙහෙත් සස්තරකාර කොණ්ඩයා ළඟ. ලොකුහිටියන්ගේ කකුල් අස්සෙන් රිංගල රවුමේ ඇතුළටත් ගිහිල්ල අහගෙන ඉන්නවා මෙලෝ සිහියක් නැතිව.
කොණ්ඩයා ඒ වෙනකොට කුප්පියක් අතේ තියාගෙන දත් කැක්කුමට දාන බින්දු දෙකේ බෙහෙතක් ගැන කියවනවා. ගෙදර ගිහිල්ල තමන්ගේ නෝනා හරි මහත්තයා ලඟට මුණ ලං කොරන්න පුළුවන් හොඳ හුස්මක් අරගන්න ඕනිනම් මේකෙන් බින්දුවක් වතුරට දාල දියකරලා ගල් ගල් ගල් කියල කට හෝදලා දාලා .. . කියනකොටම වට වෙලා හිටිය මිනිස් පොදියේ ඉස්සරහින්ම හිටි උද්යෝගිමත් ශ්‍රාවකයා වන පොඩි එකා කොණ්ඩයාගේ ඇස්වලට මාට්ටු උනා .
කොණ්ඩයාට නහුතෙට කේන්ති ගියා. මෙතන ඉන්න වැඩිහිටි තමුන්නැහෙලටවත් තේරෙන් නැද්ද මේ පොඩි උන් මෙතෙන්ට ගෙන් නැතිව ඉන්න ඕනි කියලා?. ඔය ළමයට මම කියන එක තේරෙන් නැද්ද.? යනවද යන්න මෙතනින් මට පවු නොදී. මම නරක වචන පාවිච්චි කරන්න කැමති නෑ .
මේ කතාව ඉවර උනාම පොඩි එකා ස්වෙච්චාවෙන්ම් එතනින් පිටමන් වෙලා ඈතට ගියා.
පාරෙන් අනිත් පැත්තේ පත්තර කඩේ වවුල් කොකුවලින් එල්ලාලා තියෙන පත්තර ඉස්සි ඉස්සි කියවන්න හදනවා. දවස. වනිතා විත්ති . දිනමිණ. නවයුගය.
ඒ එක්කම අනිත් පැත්තේ කොණ්ඩයා වටකරගෙන ඉන්න මිනිස් පොදිය දිහා ඉරිසියාවෙන් බලනවා. හරියට පැණි වරකාවක් තනියම කන කොලු රැලක් දිහා බලන්නා වගේ.
ඔන්න එක පාරටම සෙනග ගොඩෙන් මහා හිනා හඬක් මතු වුනා. කොණ්ඩයා ඉල ඇදෙන කතාවක් කියල වගෙයි. හිනා හඬ මිනිස්සුන්ගේ ඔලු උඩින්, වාහාන උඩින් ඇවිත් ගොස නගනවා.
මොන තරම් තහංචි පනවලා තිබ්බත් සබාව මේ තරම් රසවත් වෙන වෙලාවේ තමන් එතන සිටිය යුතුමයි කියා තරයේ සිතා ගත් පොඩි එකා කල්පනාවකින් තොරවම ගිහිල්ලා අර සබාවේ මිනිස් පොදිය අතරට රිංගනවා. ඒත් කොණ්ඩයාගෙන් මුවාවෙලා ඉන්නට පරිස්සම් වෙනවා. උස මහත මිනිස් කකුල් අතරේ නිල්පාට කොට කලිසමක් ඇඳගෙන හිටිය පොඩි එකාගේ කකුල් දෙක කොණ්ඩයාගේ ඇස ගැහෙන්නේ ඔහු පිරිස හිනා ගස්වමින් වටයක් ඇවිදිද්දී.
එක්ෂණයකින් කතාව නවත්තපු කොණ්ඩයා පොඩි එකාට ඉස්සරහින් හිටිය වැඩිහිටියා අහකට තල්ලු කරලා පොඩි එකාගේ අතින් අල්ල ගන්නවා.
පොඩි එකා දුවන්න හදනවා.
‘බයවෙන්න එපා ළමය එන්න. මෙතනින් හිටගන්න’.
දැන් ඔන්න සාස්තරකාර තෙල් බෙහෙත් වෙළෙන්දාගේ වේදිකාවේ කුප්පි බෙහෙත් මලු දේව රුප මදිවාට දැන් ඉස්කෝලේ කොල්ලෙකුත් ඉන්නවා.
පුතා දැන් දෙපාරක් මම එලවලාත් ආයෙම ආවනේ. කමක් නෑ. මම වැඩිහිටියන්ට බෙහෙත් දෙනවා විතරක් නෙවෙයි මට සාස්තර කියන්නත් පුළුවන්. ඔහු කරුණාවන්ත හඬක් මවාගෙන කියවයි.
මම මේ ලඟදි බදුල්ලේ උසාවියේ නඩුවකට ගියා මගේ නෙවෙයි නඩුව තිබ්බේ නෑදෑයෙකුගේ . මම නිකන් බලන්න ගියා. ඔන්න නඩු කාරයා විඩෙන් විදේ මගේ දිහා බලනවා. පස්සේ නඩුව ඉවර උනාම රාලහාමි කෙනෙක් මට ඇවිත් කියනවා නඩුකාර උන්නාසේ මාව හම්බ වෙන්න කැමැත්තෙන් ඉන්නවලු. දෙයි හාමුදුරුවනේ මගේ කකුල් දෙක වෙව්ලනවා. පොලිස් ජීප් එකේම නැගලා ගියා නඩුකාර බංගලාවට . මම එනකන් උන්නැහේ ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා . මම බයෙන් බයෙන් වාහනෙන් බහිනකොටම . ‘බය වෙන්න එපා මම අවුරුදු ගානක් ඔබතුමාව හෙව්වා’ කියාපි.
එතකොටම මට එක පාරටම ඒ මුණ මතක් වුනා.
ඊට අවුරුදු තිහකට විතර ඉස්සර නඩුකාර උන්නාන්සේ චුටිකාලේ මෙන්න මේ ළමය විතර කාලේ උන්නැහේගේ අම්මත් එක්ක පාරේ යනවා දැකල මම පොඩ්ඩක් කතා කරා . ඇස්වහක් කටවහක් නෑ මම මේ ළමය ගැන පොඩි අනාවැකියක් කියන්නද?
අනේ ඒ ආඩම්බරයක් උද්දච්චකමක් නැති අම්මයි ළමයයි මගේ ගාවට ආවම මම කිව්වේ මොකක්ද දන්නවද?
මේ ළමය පින්වන්තයි. ලොකුම උගතෙක් වෙනවා . කවදාහරි දවසක නඩුකාර උන්නාන්සේ කෙනෙක් වෙනවා වෙනවාමයි.
ඉතින් ඒ ළමය තමයි අර නඩුකාර බංගලාවට මාව කැඳවලා තෑගී බෝග දීල සත්කාර කරේ.
දැන් මේ ළමයටත් මම කියන්නද නොවරදින අනාවැකියක්.
හැමෝගෙම ඇස් පොඩි එකා දිහාට දික් උනා. පොඩි එකාටත් ආඩම්බර හිතුනා.
'මේ ළමය නොම්මර එකේ කපටියෙක් . පොත් කාරයෙක් . කවදාහරි ලෝක රස්තියාදුකාරයෙක් වෙනවා. වෙනවාමයි.
මේ උසුළු විසුළු කිරීමක්ද සහතිකෙන්ම කියූ දෙයක්දැයි විපිළිසර වෙලා හිටපු ජනතාව ඉන් පස්සේ බුලත් කසට පිරිච්ච දත්, බෝල්ලෑ දත්, දත් හැලුණු හිල් ඔලින් යුක්ත වූ කටවල්වලින් හැක හැක ගගා හිනා වෙන්න පටන් ගත්තා
පොඩි එකා එදා ඉඳන් හිතා ගත්තේ තෙල් බෙහෙත්කාර සාස්තරකාරයාටයි එදා හිනාවෙච්චි කාට කාටත් පාඩමක් උගන්වන්නත් එක්ක අර අනාවැකිය බොරු කරනවා කියලා.
ඒත් දැන් පොඩි එකා නෙවෙයි,තලත්තෑනියෙක් වෙලා ඉන්න මේ මනුස්සයා ලෝක කපටියෙක් කියල කවුරුත් දන්නවා. තව මේ අවුරුද්දේ පොතක් ලියලා පොත් කාරයෙක් වෙන්ටත් ඒ මදිවාට ලබන අවුරුද්දේ ලෝක රස්තියාදුවක් පටන් ගන්නත් හිතාන ඉන්නවා.
කවද්ද අප්පේ සාස්තර කාරයෝ කියපුවා බොරු උනේ ?
(චිත්‍රය ඇන්දේ ඔවිනි )