Sunday, March 22, 2015

දියසේනගේ දිනපොත


                                               (Photo-internationalrivers.org)
1982 ජනවාරි 5

කුඹුරට ගිගින් එද්දී ඩිංගිරි මාමා හම්බුනා . 'ඩිංගිරි මාමා දැන් අර ඔයේ  වතුර මට්ටම මනින් නැද්ද? අර  හිටවලා තිබ්බ කෝදුව ලඟට යන්න බෑ බුටෑව වැවිලා' .

මම එහෙම ඇහුවේ ඩිංගිරි මාමා රස්සාව හැටියට කරේ අපේ පුංචි ඔය ඉවුරේ හිටවාපු ලී  කෝදුවේ  වතුර මට්ටම දවස ගානේ ලියාගෙන ගිහින් මිනින්දෝරු කන්තෝරුවට  වාර්තා කරපු එක නිසා.

' අනේ පුතේ අවුරුදු දෙකක් තිස්සේ මම දුන්නු උස මට්ටම් ටික බලල ඒ ගොල්ලෝ මෙතන ඇනිකට් එක හදන් නැතිව ඉන්න තීරණය කළා . මේ ඔයේ වතුර මට්ටම එන්න එන්න අඩුවෙනවලු. මේකෙන් බණ්ඩාරවෙලට  වතුර දෙන්න බෑ කියන්නේ'.

1989 ජුනි 7

ගමෙන් කොහාටවත් යන්න විදිහක් නෑ ගේ ඇතුලෙම ඉඳලා එපා වෙලා. ඒ වෙනකොට ලෝකේ මම ආසම කරන තැන තිබ්බේ අපේ පුංචි ඉස්කෝලෙට වම්පැත්තට වෙන්න තිබ්බ කඳු ගැටේ කෙළවරක.  කන්දේ තැන තැන මානා පඳුරු අතරේ ලොකු කළුගල් වැටි තිබ්බා . ඉන් එකක වාඩි  වෙලා ඈත ගලාගෙන යන මාතැටිල්ල  ඔය දිහා දවසක් වුනත් බලා ඉන්න පුළුවන්. දෙපැත්තෙන් උසට උසට විහිදුණු  නිල්  පාට කඳු වැටි දෙක මැද්දෙන් හිත නිවාගෙන නිසංසලේ ගලන ඔය වැලිමඩ ඔයට එක්කාසු වුනාම උමා ඔය හැදෙනවා .හාත්පස පාලුයි. ජන ශුන්‍යයි. ඒත් සොබාදහම කතාකරනවා. ගං දිය ඔය දෑල එක්ක කරන කසුකුසුව  කන්ද නැගගෙන ඇවිත් ළඟ ළඟම දැවටෙනවා.

1995 ජනවාරි 

අද මම ලියපු 'ජල සම්පත ' කියන පිටු අටක ටැබ්ලොයිඩ් අතිරේකය පත්තරේ එක්ක අමුණලා තියෙනවා. පෙඳ පාසි පොරවාගෙන වලාකුළුවලින්  වතුර උරාබොන  මේඝ වනාන්තර ගැනත්, මධ්‍ය  කඳුකරයේ කුඩා සානු , ගල්වැටි අසබඩ ස්පොන්ජිමය පස්  තට්ටු හා ඊට උඩින් වැවෙන  විසිරි තණ පඳුරු සුසංයෝගයෙන් පරිස්සමට පෙරා හංගා ගන්නා වැහි වතුර වලින් හීන් සීරුවේ ටික ටික දිය උල්පත් මවන හැටි ලිව්වා.

2001දෙසැම්බර්  20

අද අපි  පොඩි  නිවාඩුවකට  ගමේ  ගෙදර ගියා.  ඉස්සර අපේ ගම මැදින් ගලන දිය කඳුරු කීපයක් තිබ්බා. මේවගෙන් පැන  පැන ලිස්සලා වැටෙන්නේ නැතිව  එළවලු ගෝනි කරේ තියාගෙන මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි ගියේ  . අපේ පන්තියේ හිටි ධනේලගේ අම්මා මේ දිය කඳුරකින් ලිස්සලා වැටිලා උකුල් ඇඅටේ බිඳිණා. ඈ ඉතිරි ජීවිත කාලෙම එක්තැන්වෙලයි  හිටියේ.

තව ගම මැද්දට වෙන්න තිබ්බ පොදු  නාන පීල්ලේ දෙපැත්තේ ලොකු පීලී දෙකක් තිබ්බා. අත්  ගොබයකටත් වැඩි වතුර කන්දක් එක පීල්ලකින් ආවා. මේ පීලි  දෙක මැදින්  ගල් බැම්මකින් වෙන් කර තිබ්බා . වම්පැත්තට ඊතලයක් -පිරිමි. දකුණු පැත්තට ඊතලයක් - ගැහැණු
මේ වතුර පාර ඔලුව ඇල්ලුවාම  තත්පරයකට වතුර කලයක් විතර බරට සීතලට වැටුණා . ඒත් අද යනකොට මේ හැමදේම ගැන ලොකු දුකක් හිතුනේ . දැන් ගෑණු  පිරිමි දෙපැත්තම එකතු කරලා චුටි වතුර පාරක් විතරක් එනවා. විනාඩි  ගානක් අල්ලං හිටියම වතුර බාල්දියක් පුරවා ගත්තැකි.

2007 මැයි 12

අපි කැස්පියන් මුහුද පේන  නොපෙනෙන දුර අපේ නේවාසිකාගාර මිදුලට වෙලා ඈත  දියඹට වැටුන වෙසක් හඳ  එළිය  දිහා බලාගෙන හිටියා , ඌරල් හා වොල්ගා ගංගා වලට වැඩිපුරම වතුර ලැබෙන්නේ ඈත රුසියානු කලාපයේ කඳුවටිවලින් දියවී එන ග්ලැසියර් වලින් . මේ ගංගා දෙකකින් නිතිපතා වතුර ගෙනත් පිරෙව්වට ගොඩබිමින් වට වෙච්ච කැස්පියන් මුහුද සමතුලිතතාවය තියා ගන්නේ වාස්පීකරණය මගින්. අපේ කතා බහ ටිකකින් මාතැටිල්ල ඔයට හැරුණා .

'මට ආසයි මාතැටිල්ල ඔය අයිනෙන් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න . වයසට ගියාම වාඩි  වෙලා ගඟ දිහා බලා ඉන්න' . සමන් කිව්වා. ඉඩමක් ගන්න ඕනියැ ? අපේ ඉස්කෝලේ කන්දට ගියාම පේන  තෙක් මානෙක තියෙන්නේ හිස් ඉඩම් ඕනි තැනක වාඩි  වෙලා බලා ඉන්න පුළුවන්නේ . මම කිව්වා.

ඒවා හිස් ඉඩම් විදිහට හැමදාම තියෙන එකක් නෑ සමන් කිව්වා
ඒවා එලි කරලා ඉඳුල් කරාම ගඟ  තියෙන එකකුත් නෑ . උඹේ ඉඩමේ වාඩි  වෙලා උඩ  බලාගෙන ඉන්න තමයි වෙන්නේ' . මම කිව්වා. ඒ විහිලුවට අපි දෙන්නගෙන් කවුරුවත් හිනා වුන් නෑ .

2010 අගෝස්තු  3

අද රමණීගේ පාටිය. උප්පාරු පාලම හදන  තැන ගං  ඉවුරේ පැදුරු එලාගෙන අපේ මුතූර් ඔෆීස් එකේ හැමෝම සෙට් වෙලා. රමණී කිව්වේ සැලසුම් ශිල්පියෙක් මුළු නම රමණිදරන් . මිනිහ ගිය සතියේ කසාද බැන්දා. ඉතින් ඔෆිස් එකේ කට්ටියටම ආරාධනා කරන්න ගෙදර ඉඩ තිබ්බේ නැති හින්ද මෙතැන පාටිය ගත්තා.
'මේ ගඟ පටන් ගන්නේ අපේ ගෙවල් ගාවින්' මම පුරසාරමක් දෙඩුවා. ඒකට රමණී විතරක් නෙවෙයි ප්‍රභාකරන් මැරිච්ච දවසේ කන්තෝරු මේසෙට ඔලුව ගහගෙන අඬපු ගුණසීලනුත් හිනා වුනා.
ගඟක වතුර මොන තරම් සිහිල්ද කියල හිතුනා .

2015 මාර්තු 20


( Sundarban- wikipedia)
සුන්දරී කෙටි කතාව සඳ වියමනේ තියෙනවා දැකල කියෙව්වා. එහි අපූරු මනස්කාන්ත පරිසරයක් ගැන සිහිපත්කොට තිබුනා. ඒ සුන්දර්  බාන් .ගංගා නදිය මුහුදට වැටෙන ඩෙල්ටාව බංග්ලාදේශයේ හා ඉන්දියාවේ බෙංගාලයේ විශාල භුමි ප්‍රදේශයක පැතිරිලා තියෙනව මේ කලාපය තමයි සුන්දර බාන්. මේ රටවල් මොන තරම් දුගී දුප්පත් උනත් පුදුමාකාර කැපවීමකින් සුරක්ෂිත කර තිබෙන කඩොලාන පිරි සොඳුරු සොබාවික පරිසරය . කවදාහරි දවසක ගිහින් බලන්න හිතා ගත්තා,

ඒත් එක්කම හිත හිරි වට්ටන වේදනාවක් දැනුනා , මුතුර් මතක් වුනා. වෙරුගල්, උප්පාරු, රාල්කුලී, ගංගෙයි වගේ අතු ගංගාවලින් පිරුණු මහවැලියේ ඩෙල්ටාව 'සුන්දර බාන් ' එකක් නොවුනේ ඇයිදැයි හිතුනා.

2015 මාර්තු 22

අද උදේ කන්තෝරු යන්න පිටත් වෙනකොට මහා වැස්සක් වැටුනා . කාන්තාරෙට වහිනවා .

මේ වාලුකාවේදී  හීනෙන්  දැකපු වැස්සක් ගැන ටික කාලෙකට කලින් මම  ලිව්ව කවියක් අපේ බ්ලොග් එකේම වැඩිය ඇහැ  ගැහෙන් නැති කෙළවරක තිබ්බා .

පියැසි කවුළුවෙන් බේරී ගෙට එන
කලා පිරූ වටකුරු රෑ සඳ
වැලි කතරින් මා ඔසවා ඉහළට
නිදි කරවයි  මගෙ සා පැටවුන් ළඟ

දූලි වළා  මායා සළු හැඳගෙන
කිනිගම මීදුම මැව්වා මගේ නෙත
සිහින මං  පෙතේ තව දුර ගිය සඳ
සොඳුරු මතක වැටුනා වැහි බිඳු ලෙස

සිත් ගත් සිත් රූ ගැවසුණු පන්තිය
දේවදාර පත් ඇතිරූ මං  පෙත
උණු තේ සුවන්දින් නැහැවුණු කඩ පෙළ
බොඳ වී පෙනුනා වැසි දිය අතරින

මේ කවියේ කිනිගම කියන්නේ අපේ ඉස්කෝලේ තිබ්බ පුංචි ගම්මානේ. වඩා සිහිල් දිය උල්පත්, ඇල්දිය පිරුණු ලිං හැම ගේ දොරකඩකම තිබ්බ බණ්ඩාරවෙල කලාපය මේ වෙනකොට වේලිලා ගිහිල්ලා. උමා ඔය උමග බාගෙට හාරාගෙන ගියේ ඔන්න ඔය පැත්තෙන් තමයි.

අපේ ගමේ ඩිංගිරි මාමා ලව්වා කර ගත්ත ශක්‍යතා අධ්‍යයනෙකින් පස්සේ  පුංචි ඇනිකට් එකක් හදන එක නවත්ත ගන්න පුළුවන් වුනත්  මේ මහා විනම්බෑසිය නවත්තන්න දියසේනටවත්  බැරි වුනේ ඇයි? . නැත්නම් ඒක වුනේ මට ඔය වාර්තා වැඩක් නෑ මට හිතුන දේ කරනවා කියපු දියසේන කෙනෙක් නිසාද?

.....
මම ලියනා දින පොතක් නෑ . අද මහා වැස්සේ කන්තෝරු යන ගමන් වාහන තදබදයට ඉවසා වදාරමින් පැයක් තිස්සේ කල්පනා කරපු දේවල් තමයි ඔය.
අද මම වෙනදාටත් වඩා කලින් යන්න පිටත් වුනේ ' මාර්තු 22 ට යෙදෙන 'ලෝක ජල දිනය' වෙනුවෙන් කෙටි දේශනයක් කරන්න. ඒත්  කලාතුරකින් ආපු මුරුගසන් වැස්ස නිසා ඒ වැඩේ අවලංගු වුනා.

Monday, March 2, 2015

සෙනෙහෙබර කේන්දරය


හරියටම හේතුවක් කියන්නට බැරි වුනත් දැන් අපිට හරියට වැඩය . විවේක සුවයෙන් රසවත්ව ලියන්නට මට බැරිය. ඔවිනිටත් පන්තියේ වැඩ වැඩි නිසා චිත්‍ර අඳින්නේ හදිස්සියටය . දෙව්නිගේ කැමරාව අල්මාරියේ පුස් බැඳෙමින් තිබේ.

ඉස්සරනම්  මට  ළමයින්ට කතන්දර කියන්නට  පවා වෙලාව තිබිණි. මම ඒ කාලේ වැඩිම වාරයක් කියා දුන් ළමා කතාන්දරය යෝධයාගේ මල් උයන  විය හැක. මිතුරු මිතුරියන් අතරේ සිටිද්දී පවා කතන්දර කියන්නැයි ඒ කාලේ නම් ඉල්ලීම් ලැබිණි. මම කිහිප විටක් කියා ඇති කතාන්දරයකි කහපාට ආදරය ලෙස නැවත බ්ලොග් පොස්ට් ව්කක් වුයේ.

මේ කහපාට ආදරයේ කතාව ඇසු මගේ යෙහෙලියන් තිදෙනෙකුගේ ප්‍රතිචාර මට මතකය,  අවසානයේ  කහපාට රිබන් පටි මහා ගොඩක්  ඕක් ගසේ බැඳ තිබුනා කියා  කියන විටම එක් යෙහෙලියක් පපුව අල්ලාගෙන සැනසුම් සුසුම් හෙළුවාය. ඉන් පසු අසල සිටි තව කාගේදෝ ඇඟට වාරු වී දෑස   පියා ගත්තාය.

දෙවැන්නී කතාව ඉවර වෙන්නටත් කලින් මගේ අතින් අල්ලා ගත්තාය . ඇය සීතල අයිස්  කුට්ටියක් සේ ලිස්සා ගොස් මේස දාරයේ වාඩි  වුවාය.

තෙවැන්නිය සිරකරුවා හා කෝප ගත්තාය.'ඔච්චර බලන්න එද්දිත් ගණන් උස්සන මිනිහෙක් මත්තේ නැහෙන්න ඒ කෙල්ලට පිස්සුද? කියා ඇසුවාය . ඒත් කතාව අවසන අයගේ බොරු තරහ මුනේ හීනි ඇස්  අග කඳුළු බින්දුවක් තිබුනා මතකය .
පළමු හා දෙවැනි මිතුරියන් දෙදෙනා බොහෝ කාලෙකින් මට හමු වී නැත. එතකොට තුන්වන යෙහෙළිය?

අර ඉන්නේ අපේ ගෙදර!

ඇය ඒ හැටි   ලඳ බොළඳ  නොවී ජීවිතේට ප්‍රායෝගිකව මුහුණ දෙන්නට මට උදව් වෙන්නීය.

අපේ කසාදයට කලින් පොරොන්දම් බලමුද කියා අම්මා ඇසූ බව ඇය කිව්වාය.
අනේ මොන විකාරද මගේ කේන්දරෙත් නෑ . මම ඒක අම්මගේ ලාච්චුවෙන් අරං විසිකරලා දැම්ම පොඩි කාලෙම.

ඊට පස්සේ අම්මා ඉල්ලා තිබ්බේ අඩු ගානේ උපන් වෙලාව අහලා කියන්නට කියලාය. මම අපේ අම්මාගෙන් උපන් වෙලාව අහන්නට ගියේ නැත . මට හිතුණු  වෙලාවක් කිව්වෙමි. එය සැබෑ වේලාවෙන් පැය හය හමාරක් වෙනස් බව පසුව දන ගන්නට ලැබිණි.

මේ වැරදි වෙලාවට අලුත් කේන්දරයක් මා වෙනුවෙන් හදා තිබ්බේ අහිංසක නැන්දම්මා විසිනි. පොරොන්දම් බැලු දවසේ ඒ ගෙදර මගුල් සිරියක් ගත්තේය.

කේන්දරේ බලපු හාමුදුරුවෝ කිව්වා සීයට සීයක් ගැලපෙනවා කියල. මේ දෙන්නා ගිය ආත්මෙත් කසාද බැඳලා ඉන්නවා කියල.
මාර ගැලපීමක්ය.

වඩදිය බාදිය සම සිතින් උසුලාගෙන  අපේ ජීවිත යාත්‍රාව පැදගෙන යන්නට හැකි වී ඇත්තේ මේ බොරු කේන්දරයේ ගැලපුමෙන්  හා ඇගේ සෙනෙහෙබර කැපවීම නිසාය.

මොනතරම් වැඩ තිබ්බත් ඇය තවත් අවුරුද්දකින් තරුණ වෙන මේ දවසේ මොකුත් නොලියා ඉන්නට මට බැරිය.
 2013දී ලියූ මේ කතාවත් 2014දී ලීයූ මේ කතාවත් ඇයට මා දුන් උපන් දින තෑගිය

2015 මාර්තු 03
චිත්‍රය ඇන්දේ ඔවිනි