Sunday, December 17, 2023

උමංදාවේ දින සටහන් -1

Source : telegraph.co.uk


2023 සැප්තැම්බර් 20

අද අපේ  කණ්ඩායමේ හිටි ජපන් ජාතික උපදේශකවරයා කිහිපවිටක්ම 'ටුනලින්ජයි'   කියන වචනය පාවිච්චි කළා . ටුනලින්ජයි  මෙහෙම කිව්වා . ටුනලින්ජයි හදපු රිපෝර්ට් එක" වගේ ඒවා කියද්දී මම අපේ ඉංගිරිසි මිතුරාගෙන්  ඒ කියන්නේ කුමක්දැයි  ඇහුවා . 

ඔය කියන්නේ ටනලින් ගයි  කියන එක අපිත් එක්ක සිටි උමං ඉංජිනේරුවා හැඳින්වීමට එහෙම කියන බව මට වැටහුනා. බොහෝ ආසියාතුක උච්චරානවලදී  ටනල් යන්න ටුනල් ලෙසත්, බල්ගේරියා යන්න බුල්ගේරියා ලෙසතු , ටර්කි යන්න තුර්කි ලෙසත් යොදනවා. අපිත් බොහෝවිට එහෙමයි.  තුර්කි බසෙත් එහෙමයි . ටුනල් කියන්නේ උමගට. මේ වචන උඡ්ච්චාරන විදිහ නිසා ඉංග්‍රීසි බසෙන් කතාකරන කෙනෙක්ගේ වචනවලට වඩා ජපන් ජාතිකයන්  සමග කරන කතා බහ තුර්කි ජාතිකයන්ට තෙර්නවා. ජපන්  ඉංග්‍රීසි උච්චාරණය මට  නොතේරුනාට තුර්කි ජාතිකයන්ට තේරෙනවා . මේ ප්‍රොජෙක්ට් එකේ කිලෝමීටර් බර ගානක් දුම්රිය උමං හදන්න තියෙන නිසා අපේ ටුනලින්ජයි වටිනා චරිතයක් . ලෝ පුරා උමං  හැදීමේ තාක්ෂනය පුදුමාකාර විදිහට වැඩි දියුණුවෙලා තියෙනවා අද වෙනකොට.

2023 ඔක්තෝබර් 02

ලෝකේ ඕනිම වෙලාවක මිනිස්සු මිලියනයක් වගේ අහසේ ඉන්නවා කියල ගුවන් ගමන් ගැන උනන්දු මිනිස්සු කියනවා. අහසේ ඉන්න ගානට අඩු වුනත් තව ලක්ෂ ගානක් ඕනිම වෙලාවක පොළව  අභ්‍යන්තරයේ ඉන්නවා. ඒ භූගත රේල්ලු , බස්, වෙනත් වාහන , පතල්  ආදියේ විතරක් නෙවෙයි භූගත නිවාසවලත් මිනිස්සු ජිවත් වෙනවා . නැතිනම් ගමන් කරමින් හෝ තාවකාලික මෙහෙයුම්වල සිටිනවා .  ඒත්  අනාගතේ ඔය ප්‍රවනතාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ගමනාගමනය බොහෝ දුරට පොළව  යටින් දිවෙන උමං  මාර්ගවල  වැඩිපුර සිද්ද වෙන්න ඉඩ තියෙනවා.  ඇලන් ඔය කතා  කිව්වේ අපි හදන අන්තර් මහද්වීපික දුම්රිය පාරේ යෝජිත උමං කොටසක් ගැන රැස්වීමකට ගිහින් එන ගමං .ඇමෙරිකාවත් යුරෝපයත් යා කරමින් මුහුදු යටින් ඉදි කරන්නට සංකල්පයක් වශයෙන් යෝජනා වී තිබෙන  අන්තර්  අත්ලන්තික උමග ගැනත්  කතා වුනා. මේක ඩොලර් ට්‍රිලියනයකටත් වඩා වියදම් වෙයි කියල හිතන  වරින් වර කතා වෙන මාතෘකාවක් . කිසිම රජයක් හෝ සංවිධානයක් නිල වශයෙන් එහෙම යෝජනා කළාදැයි දන ගන්නට නෑ . හැබැයි ඉතින් එහෙම දේවල් වෙන්න බැරි කමකුත් නෑ 

2023 ඔක්තෝබර් 20 

තුර්කිය හා ඉස්තාන්බුල් නගරය උමං  මාර්ග ගැන ප්‍රසිද්දයි. ලෝකයේ දෙවැනි සබ්වේ එක හෙවත් භූගත දුම්රිය මාර්ගය හදල තියෙන්නේ තුර්කියේ .

බොස්පරස් සමුද්‍ර ඇළ මාර්ගය  හරහා මුහුද ඇතුලෙන් යන උමං  මාර්ග දෙකක් තියෙනවා. යුරේසියානු උමග හා මාර්මරේයි  උමග තමයි ඒවා.  ලක්නාවේ කොච්චිවල්ට නම්දානවා වගේ තුර්කියෙත්  කෝච්චි පාරකට නමක් දල තියෙනවා. ඒ තමයි මාමරේයි . ඒ කියන්නේ මාමරේ මුහුද මැදින් යන කිරණය කියන එක . 

කොහොම හරි අපටත් ඉදිරි  අවුරුදුවල උමං හාරන්න  තියෙනවා. කිලෝමීටර් පහක් විතර දිග දුම්රිය ලයින් දෙකක් යන්නට පුළුවන් මේ උමගක් හැදීමේ ක්‍රමවේදය හා  ආරක්ෂක උපක්‍රම අවුරදු ගණක ඉඳන් සැලසුම් කරනවා. අර කිව්ව අන්තර මහද්වීපික උමං  නෙවෙයි ගොඩ බිම ඉදිකරන කෙටි දුර උමං  හැදීමේ ක්‍රම කීපයක්  තියෙනවා. උපකරණ හා කුඩා පිපිරීම් යොදාගෙන කරන පරණ පන්නයේ උමන් හෑරීමේ  ක්‍රමය දැන් පාවිච්චි වෙන්නේ නැති තරම්. 

2023 නොවැම්බර් 

ටනල් හාරන්න පාවිච්චි කරන TBM හෙවත් ටනල් බෝරින්  මැෂින් ගැන කතා කරද්දී මට හොඳට හුරුපුරුදු ටනල් බෝරින් මැෂින් ගැන කිව්වා. 

මම කටාර්වලදී කිලෝමීටර් නමයක් දිග මයික්‍රෝ උමගක් හදන කටයුත්තකට සම්බන්ධ වුනා. මේ කුඩා උමගේ විෂ්කම්භය  මීටර් 2 .4 යි ඒක යන්නේ පොලොව මට්ටමේ ඉඳන් මීටර් තිහක් පහලින්. අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විතරක් වහින කටාරයේ වැහි වතුර බැස යාමේ ස්වභාවික මාර්ග නෑ . මේ වැස්ස කියන්නේ සුළු ගංවතුර තත්වයක් . ඒ රටේ ගංගා නැති වුනත් ගංවතුර කියල තමයි කියන්න වෙන්නේ. 

මේ වැහිවතුර එකතු කරන්න  තමයි පොළව  යටින් යන අර උමග හැදුවේ.  වැහි වතුර සේරම මාර්ග කීපයකින් එකතු කරලා තරමක් පහළ  මට්ටමක තිබ්බ ජලාශයක  පුරවනවා. මේ පිරෙව්වට වතුර මුහුදට ගලාගෙන යන්නේ නෑ . වියලිච්ච ගංගා මාර්ග හෝ නිම්න නැති නිසා. ඉතින් සැලසුම  වුනේ  ගංවතුර ඒ ජලාශේ ඉඳන් මුහුදට පොම්ප කරන්න. මේ ක්‍රමය අදටත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. 

2023 නොවැම්බර් 25

මම කලින් වතාවකුත් මතක් කරපු  ලෝකේ දිගම උමගක් තමයි  ඉංග්‍රීසි ඕඩය  හරහා යන චැනල් ටනල් එක. ඒක  කිලෝමීටර් පනහක් දුරයි .  ප්‍රංශය පැත්තෙන් එක කණ්ඩායමක් හා එංගලන්තය  පැත්තෙන් තවත් පිරිසක් හැරගෙන ආපු උමග මහා මුහුදු  පතුලටත් යට තැනකදී හම්බවෙච්ච දවසේ විස්තර  දන්නා යාලුවෙක් මට ඉන්නවා. ඒ නිසා ඒ කතාව වෙනම සවිස්තරව ලියන්නම්.  2015 අවුරුදේ අපි ලන්ඩන් නුවර ඉඳන් ඔය ටනලය දිගේ පැරිසියට ආව. ඒ ගමන ගියේ අර කටාර්වල  උමං හදන සමාගමේ  මගෙත් එක්ක වැඩ කරපු මේදිස් එක්ක . අපි ලන්ඩන්වල සතියක් විතර සිරි නරඹලා  ඔය ටනල් එක හරහා පැරිසියට එනගමනට  සූදානම් වුනා . අපි ගත්ත  සැර  හා සැහැල්ලු බීම කොට කිහිපයක්  ඉතිරි වෙලා තියෙනවා  දැක්කේ ගමන පිටත් වෙන්න ලක ලැහැස්ති  වෙන දවසේ උදේ  .ඉතින් යාළුවගේ යෝජනාව උනේ උදේම මේවයින්  සප්පායම් වෙලා යමු කියන එක .  ගමන ගැන එක්සයිට් වෙලා හිටි  මම කිව්වේ  එහෙම කරන්න බෑ මේ උදේම. අනික මේ වැදගත්  ගමනක් යන්න හදන්නේ චැනල් ටනල් එක දිගේ මුහුද යටින් යන්නේ. මේක කලාතුරකින් යන ගමනක්. අපේ ජීවිතේටම ආයේ යන්න ලැබෙයිද  දන්නේ නෑ කියල . මොනව කිව්වත් මේදිස් ඇහුවේ නෑ.   හොඳ අඩි  දෙක තුනක්  ළඟ නැමුවා උදෙන්ම. මම තරහෙන් පුපුරා පුපුරා මිනිහවත් ඇදගෙන සෙන්ට් පැන්ක්‍රස්  දුම්රියපළට ටැක්සියෙන් ගිගින් පැරිස් යන කෝච්චියට නැග්ගා . 

මේදිස් මුළු ගමනම  නිදාගෙන ආවා . මානව සංහතියේ සුවිශේෂ නිර්මාණයක්  වන චැනල් ටනල් එක හරහා  කිලෝමීටර් පණහේ  දුර බීමතින් බුදියාගෙන ආ ඔහුට  මගේ නොරිස්සුම පෙන්වන්න මම ඔහු සමග වැඩි කතා බහක්ට ගියේ නෑ . පැරිස් ඉබිස් හෝටලේ ආලින්දයේ සිටියදී අසල පුටුවක හරි බරි  ගැහිලා ඉඳ ගත්ත මේදිස් මෙහෙම ඇහුව  .

'දැන් ඔහේ මගෙත් එක්ක නොරොක් වෙලා ඉන්නේ අර කෝ ච්චි ගමනේදී බුදියගෙන හිටපු එකටද? ඔය ටනල් එක යටින් එනකොට මොනවද දැක්කේ ?

 මොකුත් නෑ . ඒත් පොළව  ඇතුලට බහිද්දී ආපහු මතු වෙද්දී දැනිච්ච හැඟීම වචනවලින් කියන්න බෑ '

මම එහෙම කිව්වේ මේදිස්ට ඉරිසියා හිතෙන්නත් එක්ක .

බක බක ගාලා හිනා වෙච්ච මේදිස් කිව්වා ' ඔහේ පොලව යතින් යන ෆීලින්  එක ගනිද්දී මම අහසේ පාවී පාවී නිදාගෙන ආවා . ඔච්චරයි වෙනස '

එහෙම කියපු මේදිස් පැය  භාගෙක විතර දේශනාවක් දුන්න චැනල් ටනල් එක ගැන ඒකෙ ඉතිහාසෙයි, තාක්ෂනෙයි, වියදමයි ,දේශපාලනෙයි ගැන .

මේ යකා මේවා කොහෙන් හොයා ගත්තද කියල මට හිතා ගන්න බැරි වුනා .

ලබන සතියේ : මිනිස්සු දහස් ගණනක්  වසර දහස් ගණනක්  තිස්සේ ජිවත් වූ තුර්කියේ පොළව  යට නගර ගැන මේදිස්ගේ ක්‍රමයට විස්තරයක් බලාපොරෝත්තු  වන්න 


Sunday, December 10, 2023

බිරියානි අකරතැබ්බය




පින්තුරවල  තිබෙන්නේ මට රටවල් කිහිපයකින් ලැබූ  තෑගිය .  ජපන් මිතුරා ගෙනා ජපන් රසකැවිලි  පාර්සලයද , එංගලන්ත ජාතික ඇලන් සිය බිරිඳගේ රටවන  තායිවානයෙන් ගෙනා තේකොල පර්සලයද , මගේ මේ නිවස පිරිසිදු කරන්නට කන්තෝරුවෙන් එවූ සේවකයන් මට තෑගි ලෙස ගෙනා තුර්කි තේ පෙට්ටියද වේ. ඊට අමතරව ඔවුන්ට තෑගී දෙන්නට මම ගෙනා ලංකාවේ තේ පැකට් එකක්ද මෙහි තිබේ. 

ඇලන්ගේ තේ පාර්සලය තෑගි දී ටික දවසක් වන අතර අද උදේ ඔහු කෝල් එකක් දී මට කිව්වේ අනේ තිලක් සමාවන්න අර තේ කොළ පාර්සලේ  මම  දීලා තියෙන්නේ . ඔයා ඇරලා බැලුවද?

මම ඇත්තටම එය ඊයේ විවෘත කර බලන්නට සිතුනත් මොකක්දෝ නිසා එය බැරි විය. ' තාමත් බැරි වුනා ඇලන් " මම වරදකාරී ලෙස කිව්වෙමි.

' එහෙනම් හොඳයි . එහෙනම් හොඳයි. අනේ තිලක් මෙහෙමනේ වෙලා තියෙන්නේ ඔය මම වැරදිලා ඔයාට දීලා තියෙන්නේ හාල් පැකට් එකක්. ඒක  විශේෂ පුංචි හාල් පැකට් එකක් .  තරහ නැතිව හෙට ගේන්න . අපි මාරු කර ගනිමු'

"ඇත්ත නේන්නම් මම ඔයාගේ තේ පාර්සලේ හිඩැසකින් හාල් වගේ දැක්ක . අතටත් එහෙම දැනුණා . ඒත්  මම හිතුවේ ඒ අමුතු පැකේජ් එකක් කියල ".

මම ඔහුගේ හිත හැදෙන්නට පසුගිය මාසයේ මට සිදුවූ බිරියානි අකරතැබ්බය  ගැන කිව්වෙමි . 

කටාර්වලදී  මගෙත් එක්ක ප්‍රොජෙක්ට් එකේ  හොඳම යාලුවා වහිඩ් . දැන් එහෙන් ඇවිල්ල අවුරුදු හතක්  වෙනවා . ඒත්  මාසෙකට වතාවක් වත් වහිඩ් මට කතා කරනවා. ඔහුගේ දුවගෙයි පුතාගෙයි මගුල් ගෙවල් දෙකටම අපේ මුළු පවුලටම ආරාධනා කරා. අපිට නවතින්න හයිද්‍රාබාද් වල හෝටලුත් බුක් කරා . ඒ දෙකටම  යන්න බැරි වුනා . ඒත්  වහීඩ්  තරහ වුන් නෑ. මගුල් ගෙදර ඉවර වෙච්ච හැටියේම ෆොටෝ වීඩියෝ මට එව්වා  . යන යන තැන මා ගැන  හෙව්වා බැලුව . මම ඉස්තාන්බුල් වලට අවිල්ල් ඉන්නවා කියල දැනගත්ත ගමන්ම මට කිව්වා මිනිහගේ බැචෙක්  මෙහෙ ඉන්නවා කියල . ඉතින් දවසක් දෙකක් ගියේ නෑ ඒ යාලුවා මට  කතා කළා . මම ඒ වෙලාවේ හොඳටම අසනීප වෙලා හිටියේ.ආපු   හෝටල් කාමරේ හිරවෙලා යාලුවෙක් නෑදෑයෙක් නැති අලුත් රටේ  ඉද්දි මේ වහීඩ්ගේ යාලුවා ගැන දන ගැනීම මට මාර සතුටක්  වුනා. මගේ අසනීපය ගැන අහපු ඔහු පුතාල තුන්දෙනත් එක්ක වාහනේ නැගලා පැය  දෙකක් මග ගෙවල  මම බලන්න ආවා. බෙහෙත් අඩුම කුඩුම සේරම අරං . පැය  දෙකක් විතර මට උපදෙස් දුන්න. උස මහත් වෙච්ච පිරිමි දරුවෝ තුන් දෙනත් මාර කොලිටි , සමාජශිලියි , මිත්රශිලියි . ඔවුන් එදා පිටත් වුනේ ඊළඟ ඉරිදා මට රාත්‍රී කෑමත් අරන් එන බව පොරොන්දු වෙලා .  

ඉරිදා හවස මට අලුත් මිත්‍රයා කතා කළා . "තිලක් කලින් කන්න එපා. අපි කෑම  ගේනවා . අපේ නෝනා අද හවස ඉඳන් ඔයාට රස බිරියානි  එකක් හදනවා. රටේ තියෙන සේරම දාලා ". 

ඉතින් හවස හතට එනවා කියපු මිනිස්සු අටටත් නෑ . නවයට්ත් නෑ . මට හොඳටම බඩගිනියි. ඔන්න නවය හමාරට විතර කෝල් එකක් ආවා 

' තිලක් සමාවෙන්න අපි පොඩි පුතා කැම්පස් හොස්ටල් එකෙන් බස්සගෙන එන්නේ. මිනිහගේ නිවාඩු ඉවරයි හෙට කැම්පස් පටන් ගන්නවා  . පොඩ්ඩක් පරක්කු වෙනවා'

තව විනාඩි දහයකින් විතර ආයේ කෝල් එකක් ආව. 

' තිලක් දැන් අපි ඔයාලගේ බිල්ඩිම   කිට්ටුව ඉන්නේ . තව විනාඩි පහකින් ඔතැන ' 

මම ඉක්මනින් පහලට ගියා ඔවුන් පිළිගන්න. බඩගිනිත්   එක්ක 

කිව්වා වගේම වාහනේ ආවා . ඉඩ තියෙන තැනකින් පාක් කරා. මමත් එතනට ගියා . පුතාල දෙන්න ඇවිල්ල ඩිකිය ඇරිය . එහෙන් මෙහෙන් ඇවිස්සුව. ආයේ වාහනේ ඇතුලේ බැලුව. මුණු මුණු ගෑවා . ලොකු පුතා ටිකක් ඈතට ගිහින් කාටද කෝල් කරා. මහා හයියෙන් බැන්නා .

ආපහු යාලුවා හා පුතාල දෙන්න එකතු වෙලා කුටුකුටු ගානවා මට නොතේරෙන විදිහට . 

මම කිව්වා ඉක්මනින් ඇතුලට යමු . ගිහින් කතා කරමු කියල .

ඔවුන් තව ටිකක් මූණු මුණු ගගා ඉඳල මෙහෙම කිව්වා .

' තිලක් යමු අපිත් එක්ක කොහෙට හරි ගිහින් කෑම  ටිකක් කාලා  එමු'

' මේ වෙලාවට කන්න දුර යන්න එපැයි . යමු ගෙදර අපි මොනා හරි හදාගෙන කමු" මම කිව්වේ බිරියානිවලට මොකද වුනේ කියන කුතුහලය හිතේ සඟවාගෙන .

ඔලු බිමට නවාගෙන මට බොහොම කීකරුව මගේ පස්සෙන් ආව තාත්තයි පුතාල දෙන්නයි ගෙදර සැටියේ  වාඩි වුනා. මුහුණු හොඳටම මැළවිලා .

තරුණයන්ගේ තාත්තා කතාව පටන් ගත්තා .

' තිලක් අපිට සමා වෙන්න . ඔයාට දවස් දෙකතුනකට සැහෙන්න බුරියානි පර්සලයක් අරන් අපි ආවේ. අපේ පොඩිපුතා බෑග් තුන හතරක්  අරගෙන නිදිමතේ කැම්පස් එක ලඟින් බහිනකොට ඔයාගේ බුරියානි එකත් අරං බැහැලා . අපි එයාටත් වෙනම කැම හදල දුන්න  " 

ඔහුගේ දෑසින් කඳුළු පනින්නට ආසන්නය. මගේත් හිත හෝස්  ගා ඇවිළී  ගියත් ඒ වගක් නොපෙන්විමි . ෆ්‍රිජ් එක අර ඉතිරි කෑම  හා ඉක්මනින් හදාගත හැකි කෑම  වර්ග කිහිපය පෙන්වුනෙමි. කුල්  තේ කෑන්  කිහිපයක් සමග බිස්කට් පිළිගැන්වුවෙමි .

ඉන්පසු ඔවුන්ගේ හිත හැදෙන්නට මෙසේ කිව්වෙමි .  මා කිව්වේ අවංකව මට හිතුන දේය.

" කෑම  කියන්නේ බඩ විතරක් පිරෙන දෙයක් නෙවෙයි. හිතත් පිරෙන දෙයක්. ඔච්චර මහන්සිවෙලා අර තරම් දුර ගෙවාගෙන මට කෑම  එකක් දෙන්න ඔයාල ආව නිසා මගේ හිත පිරිලා . ඒ නිසා දුක් වෙන්න එපා. මොනවා හරි දේකින් බඩ  පුරවගන්න පුළුවන්. ඒත්  අර හැඟීම තමයි වටින්නේ "

මේ සියල්ල බලා අසා  සිටි වහිඩ්ගේ මිතුරා මෙසේ කිව්වෙමි .

'ඔයානම් අපට සමාව  දේවි . ඒත් මේ කෑම  හදන්න හවස් වරුවම මහන්සි වෙච්ච අපේ නෝනනම් අපට සමාව දෙන එකක්  නෑ"



Saturday, December 2, 2023

නස්රුදීන් හා අපේ අන්දරේ

Source Wikipedia

න්තර්ජාලයෙන් සොයාගත් ඉහත පින්තුරය තිබෙන්නේ තුර්කියේ ඉස්තාම්බුල් නුවර ටාප්කාපි  පැලස්  කෞතුකාගාරයේය . සුල්තාන්මෙහ්මට් දනව්වට ආසන්නව පැරණි ඔටෝමාන් අධිරාජ්‍යයේ  අගනුවර  පිහිටි මේ  කෞතුකාගාරය තිබෙන උද්‍යානය අසලට ගියා වුනත්  තාමත් මට එම කෞතුකාගාරය  කල්වේලා අරගෙන නරඹන්නට ලැබුනේ නැත. පින්තුරයේ  සිටින්නේ අප කවුරුත් දන්නා නස්රුද්දීන්ය. ඔහුගේ නම කිහිප ආකාරයකින් උච්චාරණය කරන අතර තුර්කි ජාතිකයන ඔහු අමතන්නේ  නස්රිද්දීන් හෝජා  කියාය. අපට සුපුරුදු නස්රුද්දීන් කියන නමට මම වඩා කැමතිය. 

 එක්දාස් නවසිය අසු ගණන්වල මුල නවයුගය පත්තරෙත් ඊට ටික කලකට පසු මනහර ඇතුළු ඩයිජස්ට් වර්ගයේ සඟරාවලත් නොවරදවාම පෙනී  හිටි චරිතයකි නස්රුද්දීන්. පත්තර සඟරාවල හිස්තැන් පුරවන්නටත් පත්තරයේ ජනප්‍රියතාව වැඩිකර ගැනීමටත් නස්රුද්ද්දින් සම්බන්ධ කරගත් අතර අපේ පාසැල් වියේ  අල්ලාප සල්ලාප කතාවල අන්දරේ, මහදැනමුත්තා හා නස්රුද්දීන්ද සිටියේය .  තුර්කිය හා බල්ගේරියාවේ බෝල්කන් කලාපයේ සිට චීනය දක්වා  සැම රටකම පාහේ උපහාස, අපහාස හා උපදේශ කතාවලට උපත දුන් නස්රුද්දීන් උපන් රට හැටියට වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ තුර්කියයි. ඒ කතාව නිවැරදීනම් මා පැමිණ  සිටින්නේ  නස්රුදීන්ගේ රටටය.  නස්රුද්දීන්ගේ  උපන් ගම හැටියට විශ්වාස කරන අක්ෂයිර් පෙදෙස ඇත්තේ ඉස්තාන්බුල් සිට කිලෝමීටර් 500ක් පමණ දුරකින්  තුර්කියේ දකුණු පැත්තට වෙන්නටය . නස්රුදීන්ගේ ප්‍රතිමාවක් එහි තිබේ.  සෑම ජුලි මසකම  වාර්ෂික නස්රුද්දින් අනුස්මරණ උත්සවයක්ද පැවැත්වෙන මේ නියම්ගමේ නස්රුදින් ජිවත් වුනායැයි   සටහන්වෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1208 හා 1285 අතර කාලයේය. තවත් මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක්ම නස්රුදීන්  හිටියේ තමන්ගේ රටේයැයි  අයිතිවාසිකම් පාති . ඒ අතර අසර්බයිජානයද තජිකිස්තානයද වෙයි . 

නස්රුදින් කොහේ හිටියත් මොකද , ඔහු ඉතිරි කර ගිය උපහාස හා අපහාස කතා  ලෝකයේ ඕනිම තැනක තව කල්ප කලන්තාරයක් පවතිනු ඇත . සේද මාවත දිගේ රටවල් ගණනක උපහාස කතාන්දර නස්රුදීන්ගේ නමට සින්න වී ඇත . 

ඒ අපේ අන්දරේට  වගේමය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපදුනා යයි කියන අන්දරේද , නස්රුදින් මෙන්ම දේශපාලන හා ආගමික සංස්ථාවද උපහාසයට ලක්කොට ඇත. මේ ලඟදි දවසක ලංකාවේ ප්‍රකට කලාකරුවෙක්  සමග  අන්දරේ හා නස්රුද්දීන් ගැන කතා කරමින් සිටිද්දී අපි දෙන්නම අන්තිමට එකඟ වුනේ නස්රුද්දීන් යනු අපේ අන්දරේට වඩා සිරා පොරක් බවය. 

ඒ අපේ කම පහත්  කොට සලකන්නට කී  දෙයක් නොව නස්රුද්දීන්ගේ කතා වැඩි රටවල් ගණනාවකදී ඔපමට්ටම් වී සාරවත් වී තිබෙන නිසාය. අනෙක් අතින් අපේ අන්දරේගේ කතාද සුළුවෙන් සලකන්නට බැරි තරම් අපූරුය .

නස්රුද්දීන්ගේ කතාවල බොහෝ විට බූරුවෝ සිටි අතර  හඳ  ගැන බොහෝ කතා  තිබුනේය. ගපුර් ගුල්යාම්ගේ මගේ හපන්කම පොතේ තිබෙන්නක් මෙන් මසුරු වෙළෙන්දන්, පූජකයන් , සොර සැමියන් හා මෝඩ ගැමියන් ගැන තිබුනේය. 

මේ කතා කියවන විට නස්රුද්දීන් යනු එක පුද්ගලයෙක් නොව විශාල ප්‍රජාවක් අතරේ මතුවන හාස්‍ය රස කතා ගිණුමට බැර කිරීමට තෝරාගත්  පුද්ගලයෙක්දැයි  මට සිතේ .

මම නස්රුදින් ගැන තුර්කි ජාතික මිතුරන් කිහිප දෙනෙක්ගෙන් විස්තර ඇසුවෙමි. ඒ නම කියපු හැටියේම ඔවුන් සියලු දෙනාගේ මුවේ මදහසක් මතුවුන අතර  නස්රුද්දීන් කියන්නේ අපේ කෙනෙක් බව  ආඩම්බරයෙන් කිව්වෝය.  

අපි එකළ  කියවූ අදටත් කියවන පත්තරවල  වෙනත්  විහිලු කතා බහුතරයක් නස්රුද්ද්දින් සම්බන්ධ කතා බව මම දැනගත්තේ ඔහු ගැන වැඩිදුරටත් හොයාබලන විටය . 

එක්තරා උපවාස කාලයක උපවාසය අවසන් කිරීමේ භෝජන සංග්‍රහය සුදානම කර තිබුණේ  ගම්මුලාදෑනියාගේ ගෙදරය. මේ භෝජන  සංග්‍රහයට නස්රුද්දීන්ටද ආරාධනා කර තිබුනේය.

සිය ගොවිපළේ වෙහෙසෙමින් එළුවන් බලාකියා ගනිමින් උපවාසයට පේ වෙමින් සිටි නස්රුද්දීන්ට එදා හවස් වෙනතුරු වැඩ රාජකාරි තිබුනේය. ඔහුට භෝජන සංග්‍රහය මතක් වුනේ හොඳටම බඩගිනි වූ විටය . ඒ වනවිට ඔහුගේ පරණ හම්පඩ කබාය මඩ  තැවරී දාඩියෙන් පෙඟී ගොස් තිබු අතර උත්සවයට යනවිට හොඳින් හැඳ පැළඳ ගෙන එන්නැයි කල් ඇතිව දන්වා තිබූ  බව ඔහු දන සිටියේය. ඒත්  දැන් හොඳටම ප්‍රමාදය. ගෙදර ගොස් අලුත් ඇඳුමක් ඇඳගෙන එන්ට වෙලාවක් නැත. අනික යකෙක් කන්නට බඩගිනිය . ඕනි එක්ක වෙච්චාවේ  කියා නස්රුද්දීන් භෝජන සංග්‍රහයට ගියේය. එහෙත් ඔහුගේ මඩ  තැවරී, දුගඳ හමන පරණ කබාය නිසා ඔහුට කිසිම පිලිගැනීමක්  හෝ කෑම  මේසයක ඉඩක් ලැබුනේ නැත. හිත රිදුනූ  නස්රුද්දීන් බඩගින්නෙම  ගෙදර ගොස් ගෙයි තිබු අලුත්ම කබායක් ඇඳගෙන හනික ආවේය . මෙවර ඔහුට ඉතා හොඳින් සංග්‍රහ කෙරුණු අතර අනිත් ප්‍රභූන් පිරිසක් මැද  අසුන්ද  ලැබුනේය. තමන්ට ලැබුණු රස මසවුළු අතර තිබූ  බක්ලාවා  හා මිදිගෙඩි කොත  සාක්කුවල පුරවමින් හමූස්‌  කෝට්  එකේ තවරමින්  ඔහු විනෝද වුවා මිස කිසිම දෙයක් කෑවේ  නැත . ඔහු කෝට්  එකට නිතර මෙසේ කිව්වේය.

"උඹ කාපන් කෝට්  එක. මේ පංකාදු ෆෙලාෆිල් උඹ හොඳට කාපන් කෝට්  එක "'

'නස්රුද්දීන් ඔය මොන විකාරාක්ද කරන්නේ ?'. බලා  ඉන්නට බැරි තැන ප්‍රභුවරයෙක් ඇසුවෙය.

' මේකනේ ඉස්සෙල්ල මම පරණ කෝට්  එකක් ඇඳගෙන ආවා. කිසි කෙනෙක් මට කෑම  දුන්නේ නෑ . දැන් මේ අලුත් කෝට්  එක ඇඳගෙන අවම සියලු සංග්‍රහ ලැබුනා. ඉතින් මම තේරුම් ගත්තා මට නෙවෙයි කෑමට  ආරාධනා කරලා තියෙන්නේ කෝට්  එකට කියල" කියනා ගමන් අන්දරේ  තව ඔලිව් ගෙඩි කිහිපයක් කෝට්  සාක්කුවේ එබුවේය.

මට හිතෙන්නේ මෙය ප්‍රභල දේශපාලන උපහාසයක් බවය .

කලකට පෙර ලංකාවේ පළවූ   දීපන මාසික සඟරාවක මා කියවූ තව නස්රුද්දීන්ගේ කතාවක් මට මතකය. 

' නස්රුද්දීන් දවසක් හඳපානේ ඇවිදිමින් සිටියදී  අසල වත්තක  වතුර ලිඳක් දැක මුහුණ කට සෝදා  ගන්නට සිතුවේය. ඔහු පනිට්ටුව ලිඳට දමා ළිං  පතුල බලද්දී දුටු දෙයින් මහත්සේ කම්පා වුනේය '

' හත්දෙයියනේ හඳ ලිඳට වැටිලා " ඔහු වහා කඹය හා පනිට්ටුව එකෙල  මෙකෙල කරමින් හඳ පනිට්ටුවට දමා  ගැනීමට වෙහෙසුනේය. කොච්චර උත්සහ කලත් පනිට්ටුව තරමක් ඉහළට  උස්සද්දී හඳ  ළිං පතුලේම තිබෙනවා දැක දුක්  වුනේය. ආයෙත් පරෙස්සමට හඳ පනිට්ටුවට දමා ගන්නට උත්සහ කරද්දී ළිං  පතුලේ තිබු මුලක පනිට්ටුව පටලැවුණේය . 'දැන්නම් හඳ අල්ලා ගත්තා යැයි සතුටට  පත් නස්රුද්දීන් ශරීරයේ මුළු වැර  යොදා කඹය ඇද්දේය . "ජරාස්" හඬින් කැඩි ගිය කඹයේ  කොටසක් අතේ තිබියදී නස්ර්ද්දීන් විසිවිගොස්  උඩබැලිව  ඇද වැටුනේය . 

අසිහියෙන් මෙන් දෑස් විවර කරද්දී ඉහළ  ආකාශයේ දිලිසෙමින් තිබූ  පුන් සඳ දැක ප්‍රීතියෙන් පිනා ගියේය,

' අන්තිමේ කොහොමහරි මම හඳ  බේරා ගත්තා ' කියා සතුටින් මුමුනමින් උඩුබැල්ලෙන්ම  වැතිර සිටියේ මහත් වූ සන්තෝෂයෙනි.

මේ මම ඉතා මෑතකදී තුර්කියේ සිටියදී කියවූ නස්රුද්දීන්ගේ කතාවකි. 

දවසක් ගඩාගෙඩි ගෝනියක් බෙදාගන්නට බැරිව දබර කර ගනිමින් සිටි ළමයින් පිරිසක්  අසළින්  නස්රුද්දීන්  ඇවිදගෙන ගියේය.  නස්රුද්දීන් දුටු තරමක තේරුම් බේරුම් ඇති ළමයෙක් ' අනේ අන්කල් අපිට මේ ගෙඩි ටික බෙදා ගන්න උදව් කරන්න' යයි කිව්වේය.

කරුණු විමසා බැලු  නස්රුද්දීන් හරි මම බෙදල දෙන්නම් . නුඹලා කැමති මේවා දෙවියන්ගේ ක්‍රමයට බෙදා ගන්නද නැත්නම් සාතන්ගේ ක්‍රමේට බෙදා ගන්නද ?  කියා ඇසුවේය.

"ආයේ මොනා අහන්නද දෙවියන්ගේ විදිහට" ළමෝ එක හඬින්  කීහ .

නස්රුද්දීන් එතන සිටි ලොකුම ළමයාට ගෙඩි ගොඩෙන් බාගයක් දුන්නේය . තව ළමයෙකුට පහක්ද, තව කෙනෙකුට හතරක්ද ලෙස බෙදාගෙන ගිය අතර අන්තිමේ ළමුන් කිහිප දෙනෙක්ට කිසිවක්ම ලැබුනේ නැත .

' මේ මොන බෙදිල්ලක්ද ? " අසාධාරණයට ලක්වූ ළමෝ ගේම ඉල්ලුවෝය .

ඉණට  අත්දෙක තියාගත් නස්රුද්දීන් මෙසේ කීවේය .

" උඹලගෙන් මං  ඇහුවනේ කවුරු බෙදන විදිහටද ඕනි කියල . දැන් උඹල මහා එකාලට ඉඩකඩම් වස්තුව එහෙම බෙදල දීලා තියෙන්නෙත් ඔය ක්‍රමේට නෙවෙයිද?"  


Saturday, November 25, 2023

ඔක්ස්ෆර්ඩ්, බොස්පෝරස් හා කුමාර් ආනන්දන්

 

2023 නොඅම්බර් 19 ඉරිදා 

 උදෑසන මම අවදි වුනේ ලංකාවෙන්  ආ කෝල් එකකින්. මහා පාන්දර අයියා කතා කරනවා . 

' මුකුත් කරදරයක් නෑ  නේද ?" 

"කරදරයක් නෑ . ටිකක් නින්ද ගියා. ඇයි ? "

'නෑ  මම නිකන් ගත්තේ' කිවා  ෆෝන් එක තිබ්බා . මනුස්සයා නිකම් කතා කරන්නේ  නෑ . මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නෑ .ඒත්  එයයි මමයි අතර තියෙන්නේ ටෙලිග්‍රෑම් පණිවිඩ. හරිම කෙටියි . වචනෙකට  ගානක් කැපෙනවා වගේ තමයි අපි කතා කරන්නේ .

ඉස්සර කොළඹ කොහේ හරි බෝම්බයක් පිපිරුවම මට ටක් ගාල කෝල් එකක් එනවා අයියගෙන් .

' කොහොමද . කොහෙද ඉන්නේ . නෑ  මම නිකන් කතා කරා' එච්චරයි. මම දන්නවා කොහේ හරි මොකක් හරි උනාම මම හොඳින් ඉන්නවද බලන්න තමයි ඒ කෝල් එක එන්නේ කියල  .  කිලෝමිටර් හයදහස් තුන්සියක් දුරින් හිටියත් මෙහෙම කෝල් එකක් දෙන්නනම් මොකක් හරි හේතුවක් තියෙන්න  එපැ යි. ඒ අතරේ සිකුරාදා අපේ  රියදුරු නසාර් කියපු කතාව මට මතක් වෙනවා. 

' හෙටයි අනිද්දයි කිසිම දේකට එලියට යන්න එපා . මොනා හරි ගෙන්නගන්න තියේනම් දැන් මම ගෙනල්ල දෙන්නම් " 

මේ ගැන කල්පනා කරමින් නිදා ගත්තා. ගෙදරින් කතා කරා. ආයේ නිදා ගත්තා .

පොඩ්ඩකින් ආරච්චිකන්දේ සුනිල් අයියා කතා කරා 

" මුකුත් කරදරයක් නෑ  නේද " 

" ඇයි  එහෙම අහන්නේ ?" 

" නෑ  මේ ලෝක ප්‍රවෘත්තිවලට කියනවා ඉස්තම්බුල් යටවෙලා නැව්  හිටන් අතුරුදහන් වෙලා කියන්නේ " . 

මම ඉද්ද ගැහුවා වගේ නැගිට්ට . එතකොට උදේ අටට කිට්ටුයි. අවට පිහිටි එකම ගොඩනගිල්ලකවත් ලයිට් එකක් නෑ . හාත්පස  කළුවරයි. වෙදර් රිපෝර්ට් එක බැලුවා . උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවයි .

මම ඇඳ  උඩ  වාඩිවෙලා කල්පනා කරා . අද  හිම වැටෙනවා ඇති  කියා හිතන ගමන්  ජනේල්ලේ පොඩ්ඩක් ඇරියා. එකොලොස්වෙනි තට්ටුව අවට කැරකි කැරකි ශීතලේ ගැහි ගැහි රිංගන්න කවුළුවක් ඇරෙනකන් බලාගෙන හිටි ප්‍රචණ්ඩ මහල්ලෙක් මෙන් සිතල හුළං පදාසයක් ගේ ඇතුලට රිංගුවා. සට සට ගාල අයිස් කැට  සුදු යකඩ අත්වැටේ වැටිලා විසිරිලා යනවා. 

මම කෝල්  එකක් ගත්තා පිලාත්ට . මොකක්ද ? "කුණාටුවක් ඇවිල්ල . සමහර පැතිවල ගංවතුර ඒ කලුමුහුද අවට කලාපේ. බොස්පරස් එකේ නැවක් ගිලිළලු. බොස්පරස් වහල . නැව්  යන්න බෑ ". 

කළු මුහුද අවට තුර්කි කලාපේ මිනිස්සුන්ට තමයි ගොඩක්  කරදර . 

මේ කතා අස්සේ මම ලියන්න හිටි බ්ලොග් පෝස්ට්  එක මතක් වුනා. කළු මුහුද ගැනනේ .මට ඔෆිස් එකේදී හිනත් ගියා කළු  මුහුදට නම වැටිච්ච හැටි අහල 

2023 නොවැම්බර්  20 සඳුදා 

තුර්කිය දකුණට වෙන්න පදිංචි මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා උතුර පැත්ත කළුයි කියල . ඒකයි  ඔය කළු  මුහුදට නම වැටිච්ච කතාව . 

මගේ ආදරණිය කැස්පියන් මුහුදට තරමක් ප්‍රමාණයෙන් සමාන කළුමුහුද වටේට බල්ගේරියාව, රුමේනියාව, මොල්දාවියාව, යුක්රේනය, ජෝර්ජියාව, රුසියාව  හා තුර්කිය කියන රටවල් හතටම මායිම් වෙනවා . යුරෝපය හරහා රටවල් ගානක් මැදින් ගලාගෙන එන ඩෑනියුබ් ගංගාව දිගේ එන නැව් කලුමුහුදට ඇවිල්ල බොස්පරස් හා ඩාඩනල්ස් ඇලවල් හරහා මධ්‍යධරණී මුහුදට වැටෙනවා 

කළු මුහුද ඉවුරේ  පදිංචි තුර්කි ජනයා කතා කරන භාෂාවේ ඇක්සන්ට් එක වෙනස්  වෙන  හැටිත් එක එක පලාත්වල වෙනස් වෙනස් විදිහට වචන  උච්චාරනය කරන හැටිත්  කිය කියා හිනා වෙන තරුණ ගැටයන් හා ගැටිස්සියන්  තමන් දන්නා හැටියට ඒවා මට පරිවර්තනය කරලා දෙන්න මහන්සි වුනා . ඉස්සර අක්බාර් කෑම පැයේදී අම්බලන්ගොඩ උන්ගේ කතාවට බණ්ඩාරවෙල අපි හිනා උන හැටිත් උන් අපේ සමහර වචන අල්ලාගෙන හිනා උන හැටිත් මතක් වුනා 

2023 නොවැම්බර්  21 අඟහරුවාදා  

එකකට  එකක් ගැලපෙන් නැති වචන කිහිපයක මාතෘකාවක් අද පෝස්ට්  එකට ආවේ ඇයි කියා දැන්ම කලබල වෙන්න කාරී නෑ . ඉස්සෙල්ලම කුමාර් ආන්දන්දන්ගෙන් පටන් ගන්නම් , පෝක්  සමුද්‍ර සන්ධිය හරහා එහාටත් මෙහාටත් පිහිනලා , තනි කකුලෙන්  හිටගෙන ඉඳල හා දඟර නැටුම් ආදියෙන් හිනස් වාර්තා කිහිපයක්ම තිබ්බ ශ්‍රී ලාංකිකයෙක් තමයි කුමාර් ආනාන්දන් කියන්නේ . ඔහු අන්තිම ගමන යන්නෙත්  ඉංග්‍රීසි ඕඩය  හරහා පිනමින් ඉන්නකොට දියවැලකට අහුවෙලා කියල වගේ මට මතක . යාපනේදී ඉපදිලා, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උපාධියක් තිබ්බ ,  වෘත්තියෙන් නිතිවෙදියෙක් වෙච්ච ඔහු මිය ගියේ 1984දී . ඔය කාලේ ඉඳන් මට තියෙන ප්‍රශ්නයක්  තමයි මේ පෝක්  සමුද්‍ර සන්ධියට ඒ වගේ නමක් ආවේ කොහොමද කියල .  දහඅටවැනි සියවසේ අග හරියේ මදුරාසියේ හිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබර්ට් පෝක්  නිසා පෝක්  කෑල්ල  ලැබුනත් ඔය සමුද්‍ර සන්ධිය කියන නම මේලෝකේ තේරුමක් තියෙන නමක් නෙවෙයි . ඒක  සමුද්‍ර තීරයක්  බොස්පරස් ස්ට්‍රේට් හෝ ඉන්ග්ලිෂ් චැනල් කියන ඒවා වගේ ඇළ  මාර්ගයක් .

ආයෙම අපේ දෙවන මාතෘකාවට ආවොත් ලෝකේ තියෙන නාවික ගමනාගමනය කළ  හැකි පටුම සමුද්‍ර ඇළ  මාර්ගය තමයි බොස්පරස් කියන්නේ . කලුමුහුද හා මධ්‍යධරණී මුහුද යා කෙරෙන කිලෝමීටර් තිස් එකක බොස්පරස් ඇළ හා ඉවුරු දෑළම මුළුමනින්ම අයිති තුර්කියට . මධ්‍යධරණී මුහුදට වැටෙන්න කලින් මේ වතුර තුර්කි දේශ සීමාව ඇතුලෙම පිහිටි මාමුරා මුහුදට් ගිහින් ටිකක් ඇළවෙලා ඉන්නවා . එතැන  ඉඳන් ආපහු මධ්‍යධරණී මුහුදට යනකම් තියෙන්නේ තුර්කියට අයත් තවත් සමුද්‍ර ඇළ  මාර්ගයක් වන ඩාඩනල්ස් ඇළ . මේ ස්වාභාවික ඇළ  මාර්ග දෙකම තුර්කියට අපමණ ආර්ටික හා දේශපාලන වාසි ගෙන දෙනවා .

බොස්පරස් කියන්නේ ඉතිහාසයක්, කතා මාලාවක් 

Bosporus- Source GBNews

2023  නොවැම්බර් 22 බදාදා 

අපේ කන්තෝරුවේ හිටි ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙන ගත්ත  ඇලන්වත් දැනගෙන හිටියේ නෑ  බොස්පරස් කියන ග්‍රීක වචනේ තේරුමයි ඔක්ස්ෆර්ඩ්  කියන ඉංග්‍රීසි වචනේ තේරුමයි ආසන්න වසයෙන් සමානයි කියල. අපේ අලිමංකඩ වගේ මේ නම ගවමංකඩ කියල සිංහලට හරවා ගන්න පුළුවන්. ඒත් මේ වචනවල තේරුම එතනට අදාළ වෙන විදිහ ගැන වැඩිය හිතන්න හොඳ නෑ . නවීන තුර්කි භාෂාව ග්‍රීක, ප්‍රංශ , අරාබි ඇතුළු භාෂාවල වචන මහා ගොඩක් ටර්කික් සම්භවය  තියෙන වචනවලට  එකතු කරගෙන නවීකරණය කර ගත්ත භාෂාවක් . ස්ථාන නාමනම් බොහොමයක් ග්‍රීක් . බොස්පරසුත් එහෙම එකක් .

වයස හැට පහු කරලා හිටියත් ඇලන්  හරිම ක්රියාශිලියි. අලුත් දෙයක් දැනගන්න පුදුම උනන්දුවයි. ඇත්තම කිව්වොත් ලෝකේ නොයෙක්  නොයෙක් රටවල නම තැබූ ඉදිකිරීම්වල අත්දැකීම් තියෙන කෙනෙක්.  ඒ අතරින් මම ගිය ස්ථාන දෙකක් තමයි ඉංග්‍රීසි ඕඩය  හරහා එංගලන්තේ ඉඳන් ප්‍රංශයට  මුහුද යටින් යන කිලොමිටර් පණහක් දිග උමග . අනික 1999 විවෘත කෙරුණු තට්ටු 88ක් උස මැලේසියාවේ පෙට්‍රොනස් ද්විත්ව කුලුන. ඇලන්ලා චැනල් ටනල් එක විවෘත කරපු අවුරුදේ මම විදුසර පත්තර කන්න්තොරුවේ ඉඳන් ඒ ගැන කියෙව්වා. ඇලන්ලා මැලේසියාවේ පෙට්‍රොනාස්  නිවුන් බිල්ඩිම විවෘත කරන කොට මම කොළඹ  ලෝක වෙළඳ මධ්‍යස්තානේ  තට්ටු තිස් අටේ නිවුන් ගොඩනැගිල්ලේ පිළිසකර වැඩ . මේවගේ පිටුපස්සේ රසවත් කතා ගොඩක් තියෙනවා 

මම අලන්ව පොරොන්දු කර ගත්ත ඔහුගේ ජිවිත  අත්දැකීම් කොහේ හෝ සටහන් කරවගන්න . ඔහු මානව පුස්තකාලයක් . 

මම හිටි ප්‍රොජෙක්ට්වලදී  අඩුම තරමේ කාන්තා හා පිරිමි චරිත දෙකක්වත් ජිවිත කාලෙට හිතවත්ව ඉන්න පවුලේ මිතුරන් බවට පත්වෙනවා .ඒකත්  එක්තරා ලැබීමක් . 

කවදා හරි ලෝකය යා කරන අධිවේගී දුම්රිය මාර්ගයෙන් කොළඹ ඉඳන් නොර්වේ පැත්තට ටිකට්  එකක් අරන් යද්දී මෙන්න මේ පාර තමයි අපි හැදුවේ කියල තුර්කි බල්ගේරියා දේශ සීමාවේදී කියද්දී ඇලන්වත් මතක් කරන්න පුළුවන් වෙයි. 

මේවා තමයි හීන.



Saturday, November 18, 2023

චිත්‍රය පාට කළ ටැක්සි රියැදුරා



කිලෝමීටර් හතරක් පුතෙයා සේ ඇවිද යන්නට සුදානමින් පාරට බට  අයෙක්ට යන්නට තියෙන දුර කිලෝමීටර් හත  දක්වා වැඩි වී ඇති බව දැන  ගන්ට ලැබිම ඉහමොළ රත්වෙන කාරණයකි  . ඉතින් මම  මන්දෝත්සාහී  වීමි  . ඔල්මොරෝන්දම් වීමි  .  නොදන්නා විසල් නුවරක් ගැන හිතේ තිබූ පූර්ව  නිගමන කීපයක් නිසා චකිතයෙන් සිටි මට මෙය අඬන්න හිටි මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය . 

මෙහෙ පවර් සේවින්ග් හෙවත් විදුලිබර අර පරෙස්සම හොඳටම සිදුවේ. ගොඩනැගිලි ආලින්දයක කිසිවෙක් නැති විට ආලෝකයක් නැත. කවුරුන් හෝ ළඟ වන විට ස්වයංක්‍රිය ලෙස  විදුලි බුබුළු දැල්වේ. විථි ලාම්පු පවා දැල්වෙන්නේ අඳුර වැටීම  සමග සමාන්තරවය.   අඩ  අඳුරට වැහි  අඳුර එකතුවී තිබුනත් කඩපෙල  පසුවූ විට හමුවන  වීථි අද්භුතජනක පාලුවකින් පිරි තිබේ . මහාපාරට පස්ස හරවාගෙන ,අහස්කුස සිසරා නැගී මහල් නිවාසවල දොරටු  ඇත්තේ පටුමාවත් වලය. පාරේ බලුබල්ලෙක් නැත .  

හිරිපොද මැද්දෙම පාර අයිනේ තිබු පහන් කණුවක් යටට වී මම යූගෝ ඇප්  එකකින් ටැක්සි  සොයන්නට පටන් ගත්තෙමි .

එනවා යනවා. එකක් හා කියනවා. පොඩ්ඩකින් කැන්සල් වෙනවා. ඔහොම විනාඩි පහළොවක් පමණ උත්සහ කරන විට  මට ටැක්සියක් හමුවුණි.  

එය  විනාඩි දහයක් ඈතය  . දැන් කිලෝමීටර් දෙකකි. දැන්  එකකි . මීටර් පන්සීයයි , දෙසියයි. ආයේ පාරේ ට්‍රැෆික් වැඩිවිය . වැස්සද වැඩිවිය . ඒ අස්සේ කවුදේ කෙනෙක් මගේ පිටුපසින් පැමිණ ඉංග්‍රීසියෙන් මෙහෙම කිව්වේය .

"මිස්ටර් අන්න අතන ටැක්සිය නවත්තලා තියෙන්නේ. මහා  පාරට දාන් න අමාරුයි. අපි ඒ පැත්තෙ අතුරු පාරෙන්ම  යමු." 

මට හිතන්නට වෙලාවක් තිබුනෙම නැත . ඔහු පසුපසින් කීකරුව ඇදී ගොස් ටක්සියට ගොඩ වුනෙමි. 

"කොහෙද මේ ගියේ කළුවරේ ? "

"මම සුල්තන්මෙහ්මට් ගියා" .

"අය්යෝ ඒ අපේ ගමනේ. ඇත්තම කියනවනම් ඒ තමයි ඉස්තාම්බුල්" 

"ඒ කිව්වේ ?"

ප්‍රශ්නය අසන අතරේම මේ පුද්ගලයා මෙතරම් හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියා මට කුහුලක් ඇති විය 

එය දැන ගත්තාක් මෙන් ඔහු කතා කළේය 

"ඉස්තාන්බුල් පරණ අගනුවර ඔය සුල්තන්මෙහ්මට් කලාපේ තියෙන්නේ . අර හොර්න් ඇලටයි  බොස්පරස් ඇලටයි  කොන් වෙච්ච කොටස. මේක තමයි ඉස්තාන්බුල් . ටුවරිස්ට් හොටෙල් වැඩිපුරම තියෙන්නේ ඔය හරියේ. ඉතින් මගේ  ටැක්සිවල වැඩිපුරම යන්නේ ඔහෙලා වගේ ටුවරිස්ට්ලා.  අනික මම ඉස්සර මම චිත්‍ර ඇඳලා  ටුවරිස්ට්ලට විකිණුවා . ඒ බිස්නස් එක පාඩුයි . පස්සේ මේ රස්ස්වට බැස්සා ."

" ඔහේ දැන් ඉස්තාම්බුල්වලට ඇවිල්ල කොච්චර කල් වෙනවද? හොඳට අවිද්දද ? දැන් මෙහෙ ගැන දන්නවද " 

ඔහු ප්‍රශ්න වැලක් ඇසුවේය .

"මම ඇවිල්ල මාසයක් විතර ඉන්නවා . සති අන්තේ සෑහෙන ඇවිද්ද . නගරේ ගැන තරමක් තේරුම් ගත්තා"

ඔහු හඬ නගා  සිනාසුනේය . "කොහේ කොහෙද ඇවිද්දේ ?"

මම ඇවිද්ද සීමිත කලාප ටිකේ නම් ඔහුට කිව්වෙමි. 

ඔහු තවත් හයියෙන් සිනාසුනේය . 

"එහෙම තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි මේ . ඔය ඇවිදලා තියෙන ටිකේ මිනිස්සු ගුලි වෙලා ඉන්න කලාපයක් විතරයි. නගරෙන් එලියට යන්න ඕනි මිනිස්සු  ඇවිල්ල එකතැන පොදි ගැහුනට ඕනි තරම් නිස්කලංක පැති  තියෙනවා. නගරෙන් ගොඩක් ඈතට යන්න ඕනි " 

"ඔහේ හිතන්නේ ඉස්සර ඉස්තාන්බුල් මහා විශාල නගරයක් කියලද ?" ඔහු ප්‍රශ්නයක් ඇසුවේය. ඔහුම උත්තර දුන්නේය.

"නෑ . අසු ගණන් වෙනකමුත් එච්චර ලොකු නෑ . මෑත අවුරුදුවල තමයි මේක විශාල වෙන්න  පටන් ගත්තේ අලුත් බිල්ඩින් හැදී හැදී අලුත් ඉඩම් නගරෙට එකතු වුනේ  . මිනිස්සු දස දහස් ගානින් අවිල්ල ජනගහනේ  දෙගුණ වුනා. ගොඩක් මිස්සු ආවේ නැගෙනහිර පලාතෙන් .  ඔහෙට කියන්න සිවාස් පළාතේ දැන් ඉන්න මුළු ජනගහනේ වගේ පිරිසක් එහෙන් මෙහෙට්ට ඇවිල්ල ඉන්නවා ". 

ඔහු මා දෙස හැරී  බලා හඬ  හිනැහුනේය .

ඉන්පසු දිගටම කතා කළේය .

මේ සෙනග වැඩි දවසේ ඔහෙට ගෙදරින් එළියට  බහින් නැතිව ඉන්නයි තිබ්බේ" 

මම කිසිත් නොකීවෙමි 

 "මිස්ටර් කොහෙද රට ?"

"ශ්‍රී ලංකා "

"ශිරි ලංකා .. ශිරි ලංකා.  . ඔහු  ප්‍රතිරාවය කළේය" 

" මම හිතුවා . මම හිතුව" . තනියම මිමිණුවේය 

ඒ  අතරේ  මෙහෙ ආවාට පසු හමු වී  කතා කරන්නට සිදු වූ මිනිසුන් අතරින් මගේ රට කුමක්දැයි ඇසූ සියලු දෙනාගේ මුහුණේ  මැවුණු සුහදශීලි සිනාව මොහුගේ මුහුණෙත් දිගටම ඇඳී  තියෙනවා දුටුවෙමි. 

මේ රටේ හැමෝම වගේ ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටි අතර කතාබහ කළ හැමෝම වගේ අපේ රට ගැන තිබුනේ ප්‍රසාදයකි.  මේ තත්ත්වය මා ගිය කිසිම රටකදී තිබුනාට වඩා යහපත් වුවකි . මේ ප්‍රසාදය මෑත  කාලින මතක නිසා නොව දුරාතිතයේ සිට තියෙන හිතවත්කමක් කියා හිතුනේය. සමහරවිට සේද මාවත ඔස්සේ ආ කුළුබඩු නිසාද නැතිනම් සිලෝන් ටි නිසා වෙන්නට බැරි නැත . කෙසේ වෙතත් යුරෝපයට ගෑවී ගෑවී අල්ලාගෙන හිටියත්මේ රටේ   වැඩිහරිය තියෙන්නේ ආසියාවේය. ආසියාවේ  හිතවත් රටක් ලෙස ඔව්න් අපේ රට සලකයි.

ඔහු මට මෙහෙම කතාවක් කිව්වේය .

"ඉස්තම්බුල් රටේ පාරවල් ටිකක ඇවිදලා , මිනිස්සු දෙන්නෙක් තුන්දෙන්  එක්ක කතාබහ කරලා විතරක් මේ නගරය ගැනවත් මිනිස්සු ගැනවත් චිත්‍රයක් අඳින්න යන්න එපා "

ඒ කිව්වේ මේක හරි වෙනස් . 

චිත්තරේ ටික ටික පාට කරන්න 

ඔහු  චිත්තරේ ගැන කි කතාව මට අල්ලලා ගියේය.  මම ඔහුට අලියා හා අන්ධයා ගැන අපේ ජනවහරේ තියෙන කතාව කිව්වෙමි. 

"ඔහේ මෙහෙ ගැන ඉගෙනගන්න ඕනිනම් රට තේරුම් ගන්නනම් ගොඩක් දෙනෙක් එක්ක කතා කරන්න ඕනි. ප්‍රශ්න අහන්න ඕනි" 

ඔහු මට මේ රටේ තිබෙන උපදේශ වාක්‍යයක් කිවේය.

"මොනවත් දන්නේ නැති එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒත්  ඒක  කාගෙන් හරි අහන්න යන්නේ නැති එකනම් ලැජ්ජාවක් "

මේ ආදී රසවත් කතා බහක් කෙරීගෙන යද්දී මට ඉන්නේ කොහේදැයි යන්නේ කොහේදැයි  හොයන්නට අමතක විය. සමහර පටු පාරවල තරමක වාහන තදබදයක් තිබුනේය. තැනින්තැන කලර් ලයිට් ළඟ කාරය  නතර වී තිබුනේය. ඒත්  දැන් අපේ වහනය නතර වී තිබෙන්නේ අපේ නිවහන තිබෙන ගොඩනැගිල්ල අද්දරය.  තවත් විනාඩි දහයක් ඔහුගේ වගතුග අසාසිටි මම රථයෙන් බැස ගියේ ප්‍රබෝධමත් හිතකිනි .

ඉක්මනට ගිහින් චිත්තරේ පාට කරන්න පටං ගන්න ඕනි 

Saturday, November 4, 2023

මෙගා පොලිසියක අතරමං වීම

 


මේ කියන්නට යන්නේ මෙට්‍රොපොලිටන් නගරයක  එහෙමත් නැත්නම් මෙගලොපොලිසීයක අතරමං  වුනාම හිතට එන සිතුවිලි ගැන  . මේ කතාවේ පළමු කොටසේ මම පැහැදිලි කරා මට මහා නගරයක නන්නාදුනන මිනිස්සු හා පටු මංමාවත් දිගේ කිලෝමීටර් අටක් පයින් යන්න කියල ගූගල් මැප්  එකෙන් යෝජනා කරේ ඇයි  කියල . ඒ ගිය ඉරිදා  හවස හතට විතර . මේ දුර ආසන්න වශයෙන්  කොටහේනේ ඉඳන් කැළණි පන්සලට යනවා වගේ නැත්නම් නෙලුම් කුලුණ  ළඟ ඉඳන් තොටළඟට යනවා වගේ දුරක්. බැලූ  බැල්මට ඒහැටි  දුරකුත් නොවෙයි. ඒත්  ඔබ මේ මෙගා නගරයේ ස්ථාන එකක් දෙකක් හැර වෙන කිසිම තැනක් නොදන්නවානම් මේ සිද්දියේ බරපතලකම තේරුම් යාවි . ශාකා ප්‍රශාකා  විහිදී ගිය කුඩා කුඩා මාර්ග දෙපැත්තේ සුවිසල් තට්ටු ගෙවල් හා සල්පිල් සපිරි මංපෙත්  සමහර තැනකදී හිතා ගන්න්න බැරි තරම් පටු වෙනවා . අනික ඉස්තම්බුල් කියන්නේ භූ විෂමතා පිරිච්ච අර්ධ  කඳුකර නගරයක්. සමහර පාරවල නගින්න බැරි තරම් බෑවුම. එත් දෙපැත්තේ තට්ටු නිවාස  පිරිලා.  නගරයේ ඇතැම් කලාප ඉතාම විශාල මාර්ග, උයන්වතු හා ඉඩපහසුකම් තියෙන කන්තෝරු වලින් සමන්විත වෙන අතර ඇතැම් කලාප මිමැසි ජනපද වගේ. 

සරල ගණන් මිමිවලින් කියනවනම්  ඉස්තාන්බුල් කොළඹ නගරය වගේ දෙසිය ගුණයක් විශාලයි. සිංගප්පුරුව වගේ හත් ගුණයක් විශාලයි . ජනගහනය මිලියන පහලවයි. කොළඹ වගේ විසිපස් ගුණයක් . 

ලෝකේ තියෙන මෙට්‍රොපොලිටන් නගර අතරින් සුවිශේෂ එකක් ඉස්තාම්බුල් . මේවගේ නගරවලට මෙගොලෝ පොලිස් කියලත් කියනවා. ඒ ග්‍රීක් භාෂාවේ විශාල නගර කියන තේරුම එන වචනයක්. අපි මෙගාපොලිස් කියල අමාත්‍යංශයක් හදාගෙන හිටියෙනේ . ඒ  හදන්න ගිය මෙගාපොලිස් එකත් කොළඹ නගරයට මිගමුව කළුතර ගම්පහ අවිස්සාවේල්ල යනකම් යා කරගෙන තනි  විශාල නගරයක් හදන්න ගිය සිහිනයක කොටසක් වෙන්න ඇති  . 

ඉස්තාම්බුල් නගරයේ නගරාධිපති කියන්නෙත්  ලොකු  රටක ජනාධිපති කෙනෙක් වගේ. ඒ තරම් නගර පාලනය සංකීර්ණයි. මිලියන පහලවක ජනතාවගේ අපද්‍රව්‍ය බැහැර කරන එකම මොන තරම් භාරදුර කටයුත්තක්ද  ? 

ලෝකයේ ප්‍රධාන නගර කිහිපයක් තියෙනවා අන්තර් මහද්වීපික නගර කියල. ඒ කියන්නේ මහද්වීප දෙකකට අයිති නගර. මම ආසියාවට හා යුරෝපයට අයත් ඒ වගේ නගර  දෙකකට ගිහින් තියෙනවා ඉන් එකක් අතිරෝ , කසකස්තානයේ උතුරු බටහිර කෙළවරේ  තියෙන්නේ. අනික තමයි ඉස්තාම්බුල්. ඉස්තාම්බුල් නගරය දෙකඩ වෙනවා බොස්පරස් කියන සමුද්‍ර ඇළ  මාර්ගයකින්. මේ ස්වභාවික ඇළ මාර්ගය ලෝක දේශපාලනයේත් තුර්කියේ ආර්ථික පැවැත්මෙත් තීරණාත්මක සාධකයක්. බොස්පරස් නොතිබුනානම් කළුමුහුදේ  වතුර මධ්‍යධරණී මුහුද හරහා සම්බධ වෙන්න මාර්ගයක් නෑ . එහෙම වුනානම් කළු මුහුදට කට උත්තර නැතිවෙනවා . කැස්පියන් මුහුදට වගේ  තනිකර ගොඩබිම් වලින් වටවෙලා වාශ්පිකරණයෙන් තමයි තමන්ගේ ජල චක්‍රය සම්පුර්ණ කරගන්න වෙන්නේ . 

බොස්පරස් ගඟෙන් දකුණට වෙන්න තියෙන ආසියානු කොටසේ තමයි මගේ රාජකාරී යාළුවො හැමෝම වගේ ඉන්නේ. මම දන්නා එකදු  ශ්‍රී ලන්කිකයෙක්වත් මේ නගරයේ නැති වුනත් මගේ ඉන්දියානු මිතුරෙක් මේ රටේ පුරවැසි බව ලබාගෙන ඉන්නවා. ඔහු ඉන්නෙත් ආසියානු කොටසේ . මගේ රියදුරා සති අන්ත පවුලේ සවාරියක් ගිහින්. 

අද දවල් හමුවූ මගේ හිතවතුන් ආපහු ලන්ඩන් යන්න එයාර්පෝට් එකට ගිහින්. 

අන්න ඒ නිසා  මේ  බොස්පරස්  නාවික මාර්ගයෙනුත් බල්ගේරියා හා ග්‍රීක දේශසීමාවලින් වට වෙච්ච බිම්කඩක තියෙන ඉස්තාම්බුල් යුරෝපිය කොටසේ මම තනිවෙලා කියා හිතෙන්නේ . ඉංග්‍රීසි භාෂාව කතාකරන්න පුළුවන් කෙනෙක් මේ වගේ අතුරුමර්ගවලදී හොයාගන්න එක හීනයක් විතරයි

එහෙම නගරයක තමයි මම ගොම්මන පහුවෙලා තියෙද්දී පයින් ඇවිදගෙන යන්නේ 

මේ නගරය  මම හිතන්නේ ටිකක් මම වගේ කියල. හැමදේම ටික ටික තියෙනවා. කිසි දෙයක් හොඳටම නෑ . අතීතේ  අත අරින්නෙත් නෑ . බුලට් ට්‍රේන්  යන්න පාරවල් හැදුවට නොස්ටල්ජික් ට්‍රෑම්  කාර් අත ඇරලත් නෑ . නගරයේ ඉපැරණි මාවත් හරිම පටුයි. දෙපැත්තේ තියෙන උස පෞරාණික ගොඩනැගිලි කඩන්න බැරි නිසා පාරවල් වන්වේ කරල තියෙන්නේ. ඒ නිසා බස් යන පාර දිගේ යනවට වඩා ගොඩක් වෙනස් පයින් යන්න මැප්  එකෙන් යෝජනා වෙන පාර .

පයින් යනවනම් පෙන්නන්නේනම කුඩාම කුඩා කෙටි පාරවල් . සමහර පාරවල්වල මම ඇවිදගෙන ගියා පාර එක පාර ඉවරවෙනවා ඉතා පටු මගක පරණ තට්ටු  ගෙවල් පිරිච්ච තැනකින්. පාරවල් වෙනුවට පඩිපෙළවල් නගින්නත් යෝජනා වුනා. සමහර පාරවල් කොච්චර බෑවුමද කියනවනම් දෙපැත්තේ පදික මන්තීරු  වෙනුවට තිබ්බේ ගල්පඩිපෙළ.

මම කබාටස් වලින් පිටත් වෙනකොට ගෙදර යන්න ගතවෙන වෙලාව පැයයි විනාඩි හතලිස් දෙකයි කියල මැප්  එකෙන් කිව්වා. කියාපු මං සලකුණු ඔස්සේ ඇවිදගෙන එද්දී මුලින්ම ලැබුන උපදෙස තමයි අර මම සෙනග වැඩි නිසා යන්න බෑ  කියල  බෑන්ගිරි ගාපු තක්ෂින් චතුරශ්‍රය දිහාට හැරෙන්න කියල . නෑ  මම හැරෙන්නේ නෑ  මැප්  එකට කුද ගහගන්න කියල මට මතක බස්පාර දිගේ ඇවිදගෙන ආවා . එකපාරටම මට ගෙදරට තියෙන දුර වැඩිවෙනවා වෙලාව වැඩි වෙනවා කියල මොබයිල් තිරයේ පෙනෙන්න පටන් ගත්තා . ඒත්  මේ පාර  මට ෂුවර්. යන්තමින් මතකයි  බස් එක ගිහින් හැරෙනවා අපේ පැත්තට යන්න කියල. 

නිදහස් ප්‍රීතියෙන් මිනිස්සු පාර පුරා යනවා. වාහන ගමනාගමනය හෙමින් හෙමින් පටන් ගත්තා . දැන් දකුණට හැරෙන්න ගූගල්  කිවා. අඳුරු පාළු බැවුම් සහිත පාරකට මාව යොමු කළා . ඒ පාරේ ටික දුරක් යනකොට ඔන්න ආපහු දුර අඩු වෙන්න ගත්තා මැප්  එකේ . දැන් ගෙදරට යන දුර පැයයි  විනාඩි තිස් පහ දක්වා අඩු වෙලා. සෙනග අඩුයි.  මට හිතුනා මෙතැනින්  ටැක්සියක් ගන්න පුළුවන් වෙයි කියල . එහෙම නැත්නම් බස් එකක් ගැන හොයන්න පුළුවන් වෙයි කියල . ඒත්  පුංචි හිතුවක්කාර කමක් හිතට ආවා පයින්ම යන්න ඕනි කියල. 

ටික දුරක් යද්දී පඩිපෙලක් නගින්න සිද්ද වුනා. තව කුඩා පාරකට වැටුනා . වමට හැරෙන්න කිව්වා . එතැන  පාර වහල පුංචි සාදයක් . ඒක පුචි ගමක් නැත්නම් වත්තක් . විශේහයෙන් කියන්න ඕනි බොහොම පරණ හා අලුත් තටුටු නිවාස හැර වතු මුඩුක්කු තැන් මෙහෙ නෑ . සෑම  කුඩා අඳුරු පාරක්ම පිරිසිදුයි . මම ආපහු අවා අර පඩිපෙළ  නැග්ගා . ගුගල් කියන පාරේ නෙවෙයි තරමක් ලොකු පාරක් තෝරාගෙන ඉස්සරහට ආවා . දුර වැඩියෙන් පෙන්නලා ආයේ අඩුවෙන්න පටන් ගත්තා .

හිතේ විශ්වාසයෙන් ටික ටික  ඉදිරියට ආවා. යන්න තියෙන දුර කිලෝමීටර් හය දක්වා අඩුවුනාම මම නතරවෙලා ටැක්සියක් බුක් කළා. ඒ පැත්තෙන් කැන්සල් වුනා . විනාඩි දහයක් විතර උත්සහ කළා . වැඩේ හරි නොගිය නැති තැන මම ආයෙමත් ඇවිදගෙන ආවා . මේක තරමක් විශාල ඒත්  තනි පැත්තට වාහන යන පාරක්. තැනින්තැන කෑම  කඩ ඇරලා පාරේ අයිනේ මේසවල වැඩිවෙලා මිනිස්සු තේ බිබී සිගරට් බිබී අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. හරියට සිංගප්පුරුවේ හරි ලන්ඩනයේ සමහර වීථිවල වගේ පාරට විවෘත වෙච්ච අවන්හල්. පාරේ කොටසක් අල්ලාගෙන.  ශවර්මා, ඵලාෆිල් , කෙබාබ් , හමුශ් ඇතුළු කෑම කමින් ටර්කිෂ් තේ හා කෝපි  බොමින් සිටින  ගැහැණු හා පිරිමි අතරේ මම තනියම ඉදිරියට ඇදුනා . 

පාරේ දකින ගොඩක් එළවලු හා පළතුරු කඩ හරිම සරුසාරයි. කඩේ ඉදිරිපස විශාල කොටසක එළවලු පලතුරු බක්කි තියෙනවා. මිනිස්සු එදිනෙදා මිලදී  ගන්න අඩුම කුඩුම අතරේ  විශාල වශයෙන් එළවලු හා පලතුරු තියෙනවා. මේ සියල්ල රට ඇතුලෙම වැවෙන ඒවා ලු  පලතුරු හා එළවලු තියෙන කොටසේ පසුපසට වෙන්න මිනි සුපර්මාකට් එක තියෙනවා. ලංකාවේදී වගේ සුපුරුදු පෙට්ටි කඩ හා ග්‍රොසරි කඩ දැක්කේ නෑ .

මේ නන්  විසිතුරු බලමින් එද්දී හීන්  වැහි පොදයක් ආවා . මේක බයවෙන්න ඕනි කාරණයක්. ඉස්තාම්බුල්  දේශගුණය කියන්නේ සත පහකට විස්වාස කරන්න කරන්න බැරි සංසිද්දියක්.  උදේ පාන්දර  දරන්න අමාරු උණුසුමක් තිබිලා හොඳින් ඉර පායාගෙන එන දවලට ඉන්න බැරිතරම් සිතල  වෙනවා. වැස්සක ලකුණක් නැති වෙලාවට එකපාර ඔලිව් හූරණ ගානට වහිනවා. 

මම නැවත ගුගල් මැප්  එක බැලුවා යන්න තියෙන දුර කිලෝමීටර් හතරකට  ආසන්නයි . අනුමාන ඇවිදීමේ කාලය පැයයි . දැන් ටිකක් හිතේ සැහැල්ලුවෙන්  ඇවිදන් යද්දී  තවත් වැහි  පොදයක් ආවා. මුවාවෙන්න තැනක් නැති තාප්පවලින් වට වෙච්ච, තරමක කළුවර පාලු ප්‍රදේශයකට මම ඇවිත් හිටියා . ටිකක් මහන්සියි. හීනි චකිතයකුත් එනවා . මම නැවත ෆෝන් එක  අරගෙන  ගූගල් මැප්  එක බැලුවා. කලින් මම හිටි සිතියමෙන් අයින්වෙලා. ආයෙත් ඇප්  එකට පිවිසිලා මම නිවැසි ගොඩනැගිල්ලේ ස්ථානය නිවැරදිව ඇතුල් කළා . දැන් තිරයේ දිස් වෙනවා මෙහෙම.

යන්නට තියෙන දුර කිලොමිටර් හතයි දශම දෙකයි. වෙලාව පැයයි විනාඩි හතලිස් අටයි. 

හත්වලාමේ දැන් මං මොකද කරන්නේ ?

( ඉතිරිය පසුව )

බොස්පරස් ගැන තවත්  කතා හා බෙන්හර් චිත්‍රපටයේ කරත්ත රේස් සිද්දියට පසුබිම් වූ භුමිය ගැන විස්තර ඉදිරියට බලාපොරොත්තුවන්න 

Wednesday, November 1, 2023

තක්ෂින් චතුරශ්‍රය හරිම කලබලික්

 

ම  අවුරුදු විස්සක විතර ඉඳල හොයන  රාජ්‍ය නායකයෙක්  තමයි   මුස්තෆා  කෙමාල් අටාටර්ක් . බටහිරයන් අටර්ටර්ක් කියනව. තුර්කි ජනයා අටර්ටුර්ක්  කියනවා.  ඉංග්‍රීසියෙන් තුර්කියට කියන්නේ ටර්කි . තුර්කි බසින් ටුර්කි. මම ගිය  ශනිදා දහයයි දහයේ බ්ලොග් එකමුතුවට පළ  කරන්න  ලියමින් හිටියේ අටාර්ටර්ක් ගැන ලිපියක්. සෙනසුරාදා දවසේ වැඩි හරියක් ගත කරේ ඒ සටහන ලියන්න . ඔහු ගැන කියෙව්වා. සතියම මට හමු වූ මෙරට පිටරට වැසියන්ගෙන්  ඔහු ගැන ඇහුවා . මේ ලිවිල්ල සඳහා මම ඉතාම ආධුනික බව තේරුම් ගත්තම  මම ලියන්න ගත්ත ලිපිය අතරමගදී නැවැත්තුවා .  කොටින්ම කිව්වොත් මට අටාර්ටර්ක් ගැන දැම්ම ලියන්න බෑ . ඒ චරිතේ ඒ තරම් බරපතලයි, ගැඹුරුයි. තව හදාරන්න ඕනි . ඒ නිසා වැඩේ කල්දමා දිනසටහන් ටිකක්ම ලියනවා 

2023 ඔක්තෝබර් 26 

 අපේ කන්තෝරුවේ තුර්කි නිදහස් සටනට අවුරුදු සීයක්  පිරිච්ච නිසා උත්සවයක් තිබ්බ. කන්තෝරුවේ දවස් ගානක ඉඳන් රතුයි සුදුයි බැලුම් එල්ලලා රතු පාට තුර්කි කොඩිය එල්ලලා සරසලා තිබ්බ. ඇත්තටම සියවස් සමරුව තියෙන්නේ 29 ඉරිදා . ඒත්  එදා නිවාඩු දවසක් නිසා කන්තෝරුවේ නිල උත්සවේ කලින් ගත්තා . ඒක  හරිම ගාම්භීරයි . ලස්සනයි. අර නිදහස් සටනේ  ගීතය හරිම ජවසම්පන්නයි. හැම කතාවකම හැම ගීතයකම අටර්ටර්ක්ගේ නම කියවුනා .

ඉතා සරලව කිව්වොත් මුස්තාෆා කෙමාල් අටර්ටර්ක්  නවීන තුර්කියක් බ්නිහිකිරීමේ බර කරට අරගෙන බොහොම සටන්කාමි දුරදර්ශි නායකත්වයක් පෙන්නපු  දුර්ලභ රාජ්‍ය නායකයෙක්. ඔහු සටන් කිරීමට වගේම රාජ්‍ය තාන්ත්‍රික සාමයට,ජනතා නිදහසට , කාන්තා නිදහසට, ආගමික නිදහසට , ළමයින්ගේ අධ්‍යාපනයට, කර්මාන්ත බිහි කිරිමට  ගත්තු පියවර අවුරුදු සියක් ගිහිල්ලත් ශක්තිමත්ව ඉදිරියට යනවා. ඔහු දැම්මේ සාර්ථකම අත්තිවාරමක්  . මේ ගැන අපි වෙනම කතා කරමු.

මම ඔහුට බෙහෙවින්ම කැමති මේ දර්ශනය නිසා  

' රාජ්‍ය පාලනය සම්පුර්නයෙන්ම ආගමෙන් හා අධ්‍යාත්මික කටයුතුවලින් නිදහස්ව පවත්වාගෙන යා යුතුයි"   


ඔක්තෝබර් 27 සිකුරාදා 

අද නගරයේ හැම  ගොඩනැගිල්ලකම රතු පාට  තුර්කි ජාතික ධජය ලෙල දෙනවා. සෑම ලොකු කුඩා ආයතනයක්ම සරසලා . ජාතික කොඩියයි කෙමාල් අටර්ටර්ක් ගේ පින්තූරෙයි . ඒ දෙක විතරමයි. අපේ රටේ මෙහෙම උත්සවවයක් තිබ්බනම්  දැන් ඉන්න නායකයොයි පළාත්සභා  මන්ත්රිලගයි හැමෝගෙම ෆොටෝ දානවනේ. ඒක  මහා පුදුම දෙයක්. රටක හයිලයිට් වෙන එක නායකෙයක් වකම එක නායකයෙක් ඉන්න පුලුවන්ද? අවුරුදු සීයක්  ගිහිල්ලත් එකම තේජස් බල පරාක්‍රමයක් තියෙන. ඒ වගේම මේ නායකයා පිහිටුවපු පෙරළිකාර මානවවාදී සමාජ දේශපාලන ක්‍රමය පුළුවන්තරම් ඒ විදිහටම පවත්වාගෙන යන රටක් .  

දේශ සිමාවල, රටට අයත් ප්‍රදේශවල , දුපත්වල අයිතිය වෙනුවෙන්  රටවල් කීයක් එක්ක සටන කරන්න  සිද්දවුනත් තුර්කි ජනරජය බිහි කරාට පස්සේ ඒ සියලු අසල්වැසි රටවල් සමග ඉතාම සමගි  සම්පන්නව වැඩ කරන්න අටර්ටර්ක් සමත් වෙනවා. තුර්කිය රටවල් අටක් සමග දේශ සීමා බෙදාගනන්ව. ඒ සියලු දේශ සිමා අටර්ටර්ක්ගේ පාලන සමයේදී  තහවුරු කර ගත්ත ඒවා. 

තුර්කියේ කාන්තාවෝ අටර්ටර්ක්ව  සමරන්නේ හරිම ආදරෙන්. මුළු ලෝකෙන්ම කාන්තා නිදහස, ඔවුන්ගේ දේශපාලන  බලය මුලින්ම අර්ථවත් විදිහට දිනාදීපු රටක් තමයි තුර්කිය. ඒ අටර්ටර්ක්ගේ නායකත්වයෙන් .

කිර්ගිස් භාෂාවෙන් අටර් කියන්නේ තාත්තට . අටර්ටර්ක් කියන්නේ තුර්කියේ පියා , මේ කලාපයේ භාෂා විකාශනයේ සමානකම් තියෙනවා . නවීන තුර්කියේ රාජ්‍ය නායකයා හඳුන්වන අටර්ටර්ක් කියන්නේ ඔහුට ප්‍රධානය කරපු නමක් මිස ඔහුගේ මුල්  නම  නෙවෙයි. මුස්තාෆා කෙමාල් තමයි ඒ මුල්නම. පස්සේ අටර්ටර්ක් කියන නමින් තමයි ජාතියම හඳුන්වන්නේ . මොහුගේ නිදහස් මතධාරී ආගමික  බලපෑම්වලින් තොරව රට පාලනය කිරීමේ සේකුලර් සංකල්පයත් ඔහුට ආවේණික  සංවර්ධන හා දේශපාලන ක්‍රමවේදය කෙමලිස්ම් විදිහටත් තව තැනක අටර්ටර්කිස්ම්  ලෙසටත්  හඳුන්වනවා .

ඔක්තෝබර් 29 ඉරිදා   

අද උදේම  මම ගමනක් යන්න පිටත් වුනා . ගමනක් කිව්වට ගමන් දෙකක් . ඉස්සෙල්ලම මම ඉන්න කජිතානේ  නගරයේ ඉඳන් බස්එකක නැගිලා කබාටාස් කියන තොටුපල නගරෙට ගියා. මම කලින් දවසක බොස්පරස් බෝට්ටු සවාරිය යන්න පිටත්වුනේ මේ තොටුපළෙන්. එතන ඉඳන්  ට්‍රෑම් කාර් එකේ යන්න ඕනි සුල්තාන් මෙහ්මට් කියන ගම්මානයට . ඉතිහාස කතා ඇස් පනාපිට මවා පෙන්වන හගියා  සෆායා පල්ලිය හා නිල් පල්ලිය තියෙන්නේ සුල්තාන් මෙහ්මෙට් ට්‍රෑම් ස්ටේෂමට පේනමානේ. ගම්මානේ පුරා තියෙන්නේ කුඩා කුඩා ලස්සන සංචාරක නිවාස , රෙස්ටෝරන්ට් හා සල්පිල් . ලෝක ප්‍රසිද්ධ, ඉපැරණි  ග්‍රෑන්ඩ් බසාර් එක හා ඊජිප්තු බසාර් එක තියෙන්නේ මේ කිට්ටුව. එංගලන්තයේ ඉඳල මේ නගරයේ කෙටි නිවාඩුවකට ඇවිත් සිටි අපේ පවුලේ සමීප මිතුරියක් වන ආශා හා ඇගේ  දියණිය සඳලි මුණගැසී ඔවුන් සමග මේ ඉතිහාසගත ගම්මානය නරඹලා  දවල් ආහාරය ගන්න තමයි සැලසුම . 

 ඒ ගම්මානයේ සවාරිය හා පල්ලි දෙකේ කතාව පසුවට සවිස්තරව ලියන්නම්  .  

සුප්‍රකට නිල් පල්ලිය 

රසබර මිතුරු හමුවකින් පස්සේ  මම කබාටස් බලා එන්න පිටත් වුනා . ට්‍රෑම්කාර්වල කට කපලා සෙනග . ඒත්  කොහොමහරි කබාටාස් තොටුපලට ආවා . මෙතනින් පයින් යන දුරක තියෙනවා අද ජනතාවගෙන් පිරි ඉතිරි යන ඉස්තාම්බුල්  නිදහස් චතුරශ්‍රය  හෙවත් තක්සිම් චතුරශ්‍රය. අද මගේ ගමනේ දෙවන අරමුණ වුනේ සියවස් නිදහස සැමරුම වෙනුවෙන් මේ චතුරශ්‍රයේදී පැවැත්වෙන අති අලංකාර උත්සවය නරඹන එක. හැබැයි ඒක  නිල රජයේ උත්සවයක් නෙවෙයි මිනිස්සුන්ගේ උත්සවයක්.  නිල රාජ්‍ය උත්සවේ තියෙනේ මිට කිලෝමීටර් හාරසිය පනහක් විතර දුර තියෙන අන්කාරා  අගනුවර .

ඒත්  කබාටස්වල  බැස්සම තමයි දැක්කේ අපේ ගෝල්ෆේස් අරගලයේ උච්චතම දිනයෙදී  වගේ සියලු මංමාවත් ඉතිරිලා යන ජන සන්නිපාතය . අතින් ගත් රතු පාට  කොඩි වන වනා ගී කියමින් යන බල තරුණ මහලු ජනතාව.  සමහරුන්  උස ගොඩනැගිලි වල සඳලුතලයට හා ගොඩැලිවලට නැගී දැම්මම ඉඩ අල්ලාගෙන බලා ඉන්නවා  අද රාත්‍රියේ බොස්පරස් මුහුදු තිරයේ  අලංකෘතව පැවැත්වෙන මල්වෙඩි දර්ශන බලන්න. ඒ වෙනකොටත්  පාරේ නතරව ඇති වාහන හා මුහුදේ ඇති නැව්  බෝට්ටු නලා පිඹිමින් ජනතාව සමග එකතු වෙලා. කපුටුකාක් කියල නෙවෙයි වෙනත් හඬකින් ඒ නලා හඬ ඇහුණේ . තවත් සමහරුන්  ගෙදර සුරතලයට හදන බල්ලන්ද කැටුව  ඇවිත් . උන්ට රතු හා සුදු කොඩියේ පාට කමිස අන්දවලා .

'සන්ඩේ   නෝ ගෝ තක්ෂින් සෝ කලබලික් ' .  ඉරිදාට මෙහෙ එන්න එපා කියා අපේ රියදුරා කි කතාව මතක් වුනා. මම හිතුවා එතැන කළබල ඇති වෙනවා කියා ඔහු දන්නා භාෂාවෙන් කීවා කියා. ඒත්  කලබල කියන සිංහල වචනය ඔහු දැන ගත්තේ කොහොමද කියා මා ඇසුවා. බැලින්නම් කලබලික් කියන්නේ තුර්කි භාශාවෙන්  සෙනග එක්රැස් වෙනවට . ඒක කළබලකාරී තත්ත්වයක් තමයි.

මේ මහා සෙනග අතරේ මංමුලා වෙන්න ඉඩ තිබ්බ නිසා තක්සිම් යන වැඩේ අතඇරලා මම ඉක්මණින් ගෙදර යන්න තීරණය කරා. වහනයක් ගන්න පැය එක හමාරක් බලා  හිටිය. වෙනදට ගුගල්  එකේ පෙන්නන හරි විනාඩියට එන බස්. ඔන්ලයින් ඇනවුම් කළ  සැණින් එන ටැක්සි සියල්ල නතරවෙලා . මිනිස්සු  වැල නොකැඩී  තක්සිම් දෙසට යනවා . හැමෝගෙම අතේ රතු පාට කොඩියක් නැත්නම් අටර්ටර්ක්ගේ රුව රැගත් පුවරුවක් , තුර්කි කොඩියේ පැහැය  වන රතු සහ සුදු ඇඳුම් හා හිස්වැසුම් දමාගත් තරුණ තරුණියෝ දහස් ගණනක් . 

මේ සියල්ල මැද්දේ කළුවර වෙමින් ආවා . මට ආපසු එන්නට තිබෙන එකම විකල්පය කිලෝමීටර් අටක් පයින් ඒම හැටියට ගුගල් යෝජනා කරන්නේ.  ඉංග්‍රීසි වචනයක් කතා නොකරන.  නොදන්නා මිනිසුන් සිටින අඳුරු අතුරු මාර්ග මැදින් කළුවරේ කිලෝමීටර් අටක් එන එක අතී භයංකර වැඩක් . 

 තුර්කි නිදහස් සටනේ ජවසම්පන්න ගීතය ගයමින් කොඩි වනමින් තක්සිම් දෙසට එන ජනතාව අතරින් රිංගා යමින් මම ගෙදර බලා එන්නට පිටත් වුනා. 

( ඉතිරි කොටස පසුවට )

ඉදිරි සටහන්වල  මේවත් ලියන්න තියෙනවා .

තුර්කියේ සිටි නස්රුදින් හමුවීම 

බොස්පරස් සමුද්‍ර තිරයේ කතාව 

ලයිලා මජ්නු කතාවේ ටර්කිෂ් වර්ෂන් එක 

ග්‍රෑන්ඩ් බසාර්  අතීත චාරිකාව 

තුර්කියේ පුරවැසිකම ගත් ඉන්දියානු හිතවතා 

බක්ලාවා , ලොකුම් හා සිමිට් රස කෑම  හදන හැටි 

ඉස්තාම්බුල්  නුවරට  නොස්ටැල්ජික්  ට්‍රෑම්රථ අලුතින් හඳුන්වා දුන්  ඉංජිනේරුවා හමුවීම 


ලෝක උරුමයක් වූ  හගියා සෆායා පල්ලිය 

Saturday, October 21, 2023

කොන්ස්තන්තිනෝපල් දිනපොත- තුර්කිෂ් තේ

ලංකාවේ  ගෙදරක වැඩිපුරම පාවිච්චි වෙන වචනය අම්මානම් දෙවැනි වචනය 'තේ' විය හැකිය. තුර්කියේනම් සමහරවිට  එය පළමු වචනයදෝ කියා හිතෙන තරමට මෙරට වැසියන් තේ බිමට ඇබ්බැහි වී තිබේ. ලෝකයේ වැඩිපුරම එක පුද්ගල තේ බීම  ඇත්තේ තුර්කියේ බව මම කියවා ඇත . එය වසරකට තේ කිලෝ තුනහමාරක් විතරය . සාමාන්‍ය පුද්ගලයෙක් තේ කෝප්ප හතරක්වත් බොන බව කියවුණත් මට හමු වූ පුද්ගලයන්නම් දවල් කාලයේ පමණක් තේ විදුරු දහයක්වත් බොති. පැයක  මිටීමක් ඇතුලත තුන්වරක් තේ බෙදාදෙන අතර සීනි ඇටයක්වත් නැති තේ එක ගිජුලෙස රස බලන මගේ සගයන්   දෙස මම පුදුමයෙන් බලා සිටිමි.  මැදපෙරදිගදීනම් සමහරවිට පැය බාගෙන් බාගෙට සිගරට් එකක් බිලා එන විවේකය හැමෝටම ලැබුනද මෙහිදී ඒ පුරුද්ද මම දැක්කේ නැත. ඒත්  සමහරුන් අත  කන්තෝරු කාමරෙන් පිට සිටින විට අනිවාර්යයෙන් දැල්වෙන දුම්වැටියක් තිබෙනු දුටු අතර කන්තෝරුව ඇතුලේ සිටිද්දීනම්  දුම් දමන තේ වීදුරුවක් තිබුනේය .

මේ රටටම ආවේනික තේ බොන විදුරු වර්ගයක්  තිබේ . නගරයේ වීථි  පුරා තැනින් තැන තිබෙන එළිමහන් අවන්හල්වල වාඩිවී මේ විදුරුවලට පුරවාගත් තේ  බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන  තරුණ හා වැඩිහිටි මහලු  ගැහැණුන්  හා  පිරිමින්  ප්‍රියමනාප දසුනකි  . සිනි කැට දැමූ  බඳුනක්ද සීනි  දියකරගැනීමට ලී හැන්දක්ද අහල පහලම තිබුනත්  කිසිවෙක් සීනි  මුසුකරගනන්වා මා දුටුවේ නැත . අපේ කන්තෝරුවෙත් ඉඳහිට හෝ සිනි කැටයක් 'ටකලන්'  සද්දයෙන් වීදුරුවට  දමා ගත්තේ මා පමණකි . එසේ දමා  ගනිද්දීත්  ළඟ සිටින හිතවතෙක් සිටියානම් මෙසේ  කියයි.  "සීනි  කියන්නේ වස". මා දන්නා මෙරට මිනිසුන් සිනි හා ලුණු භාවිතය අවම කරගෙන සිටින  අතර එහෙමට තෙල් කන පුරුද්දක්ද ඔවුන්ට  නැත .

මා කන්තෝරුවට ගිය මුල්ම  දවසේ පැයක්  දෙකක් යද්දී තේ එකක් බොන්නට ආසාවක් ඇතිවුනේ කන්තෝරුවේ බොහෝ මේස මත තේ කෝප්ප දුම් දමමින් තිබුන නිසාය . ඔවුන් වරන්වර අසල කාමරයකට ගොස් වීදුරුව පුරවාගෙන එති. මා සමග මුව පුරා හිනැහුණු  වැඩිහිටි ඉංජිනේරුවෙක් මා කැඳවාගෙන ගොස් තේ තිබෙන තැන පෙන්නුවේය.ඔයාට තේ එකක් ඕනි වුනාම මෙතනින් බොන්න . කොපි බොන්න ඕනි වුනාම පහළ  තට්ටුවේ විවේක කාමරයට යන්න . 

මම ඔහු බලා සිටිද්දීම තේ එකක් වීදුරුවට පුරවා ගත්තෙමි. දුම් දදා උතුරන වතුර භාජනයක් උඩ  කුඩා  තේ පෝච්චියක්  තබා තිබුණේය. තේ පෝච්චියෙන් තේ වීදුරුවට පුරවා ගනිද්දී මගේ සගයා කොක්හඬලා සිනාසෙමින් " ඔහොම නෙවෙයි තුර්කිෂ් සැමෝවාර්  එකෙන්  තේ බොන්නේ . ඔයා ලංකාවේ නිසා තේ බොන විදිහ හොඳට දන්නවා කියල මම හිතුවේ." මම ඔහුගේ උපදෙස් අනුව උතුරන වතුර බඳුනේ උඩ  තිබූ  තේ පොච්චියෙන් ස්වල්පයක් වීදුරුවට දමාගෙන පහලින් වූ උතුරන උණුවතුර බඳුනෙන් වීදුරුවේ ඉතිරිය පුරවා ගත්තෙමි. 

" එතකොට මේ සමෝවාර්  එකක්. අපේ නෝනා කලකට පෙර රුසියාවෙන් ගෙනා එලෙක්ට්‍රික් සැමෝවාර් එකක් අපේ ගෙදර තිබුනද  එය අරුමෝසම් භාණ්ඩ අතර  කැබිනෙට්ටුවක් මත තබා තිබුනේය. කාලයක් කසක්ස්තනෙත් සිටියා කියන්නේ කොහොමද සැමෝවාර් එකකින්  තේ හදාගෙන බිලා නෑ කිව්වම. ඒත්  කසක්ස්තනයේදීත් මැද පෙරදිගදිත් අපට තේ හදාගෙන බොන්නට වුවමනා වුනේ නැත්තේ අපට තේ කොපි මේසය ළඟටම ගෙනත් දෙන කාර්ය මණ්ඩලයක් හිටි  නිසාය . දැන් ලෝකය පුරා මේ පිරිස අඩු කර ඇත. 

කොහොම කොහොම හෝ ඉස්තාන්බුල් තේ සංස්කෘතියට  අනුගත වී මේස මත තිබෙන අඩු කහට වැඩි කහට තේ කෝප්ප වල ව්චිත්‍ර වර්ණ දෙස බලා සිට විනෝදවීම මගේ දිනචරියාවට එකතු වී තිබේ . සමහරුන් බොන්නේ තද කහටය . සමහරුන් බොන්නේ ලාම ලා කහටය. මේ වගේ ලා පාට තේ එකක් හදන පුංචි අම්මාට අපේ ආච්චි ඉස්සර සැර  කරනවා මම අසා ඇත .

" මොනාද බන් එළිජ්ජ වගේ තේ හදන්නේ යහමින් තේකොළ ටික දාහන්කො "

මෙහෙ ප්‍රොජෙක්ට් එකකදී හමුවූ ඉංග්‍රීසිකාර මිතුරෙක් මගේ මේසය ලඟට පැමිණ පොඩි පාර්සලයක් පෙන්නා වරෙන් පොඩ්ඩක් ආලින්දෙට කියා මාවත් ඇදගෙන උණුවතුර කෝප්ප දෙකක් ටීපෝව මත තබා පාර්සලය ලිස්සේය. "මෙන්න උඹලගේ රටේ තේ . මට මෙහෙ පොඩි කඩේක තිබිල හම්බුනා" . මම ඒ ලේබලය දකිද්දීම "මේ ලංකාවේ තේම නොවෙයි ඔය සමාගම ලෝකේ රටවල් ගානක පැතිරිච්ච එකක්. එක එක රටවල  තේ බ්ලෙන්ඩ් කරලා හදන්නේ" කියා කිව්වෙමි . ඊන්පසු අපි ලිප්ටන්ගේ උපන්ගම හා ලංකාගමනය ගැන කතා කළෙමු . මම ඔහුට මෙහෙම කතාවක් කිව්වෙමි.

"වතාවක් මට කසක්ස්තානේදීත් ඔයවගේ සිලෝන් ටී  කියල ලේබලයක්  තියෙන තේ පැකට් වගයක් හම්බුනා . බැලින්නම් ඒවා ඉන්දියාවේ හදල පෙට්ටියේ කවුද ස්ටිකර් එකක් අලවලා සිලෝන් ටී  කියල"

මම ලංකාවෙන් ගෙනා කළුබෝවිටියන තේ පැකට් දෙකෙන්  එකක් ඔහුට දුන්නෙමි . අනෙක මම අපේ රියදුරාට දුන්නෙමි.

රියැදුරා  කිව්වේ "අපේ හාමිනේ තේ තියෙන පලාතක කෙනෙක්. එයා එක එක විදිහේ තේ වලට හරි කැමති. ලංකාවේ තේ පැකට් එක දැක්ක ගමන් හරි සතුටු වෙයි" කියලය . 

එතකොට ඔහේ සිලෝන්ටී  වලට කැමති නැතිද කියා මම ඇසුවිට ඔහු මෙහෙම කිව්වේය . 

" මම මේ තුර්කිෂ්  තේ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේවා ඇර වෙන දෙයක් මට හරියන එකක් නෑ "

හීනි රෙසිනමය රසක්  දිවට දැනෙන ත්ර්කිෂ් තේ ඇබ්බැහි වෙන සුළුය. ඒවා දකිද්දී අර මකුණු රසක් ආ එහෙත් ඇබ්බැහිවෙනසුලු මුල්කාලයේ හැනපියර් බ්‍රැන්ඩි බෝතල් මතක් වෙයි.   කන්තොරුවේදී තේ කෝප්ප දහයක් විතර  බි ගෙදර යන මම කිසිදා මගේ අපාර්ට්මන්ට් එකේදි  තේ එකක් බි නැත. ගෙදර යද්දී අර කන්තෝරු තේ රහ කටේ රැඳී තිබෙන අතර සති අන්තයේ දවස් දෙකෙදිවත් එය මැකී යන්නේ නැත .

මගේ අලුත්  නවාතැන මට ලැබෙන විටදීත් එහි කුස්සියේ මේසය මත අලුත්ම අලුත් ලොකු තේ බෑග් පෙට්ටියක් තිබුනේය. මම එය තාමත් අතින් නෑල්ලුවේ ඒ නිසාය .

සටහන:

පුරාතන  සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් වූ කොන්ස්තන්තිනෝපලයට  චීනයෙන් තේ ලැබෙන්න ඇතැයි සැලකෙන්නේ සියවස් ගණනාවකට පෙර සිටයි. එහෙත් තුර්කියේ තේ වගාවේ හා තේ බිමේ නව ප්‍රවණතාව ඇරඹෙන්නේ විසිවන සියවසේ මුල පටන්ය. මා අන්තර්ජාලයෙන් සොයා බැලූ අන්දමට ලංකාවේ මෙන් හතර ගුණයක්  තුර්කියේ තේ නිපදවෙයි.  මේ ප්‍රමාණය  තුර්කියේ පාරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩියි. එහෙත් ඔවුන් තේ පිටරටින් ගෙන්වයි.  අපනයනයද කරයි . මේ විවෘත ලෝක වෙළඳපලේ හැටිය . එපණක් නොවේ තුර්කිය වැඩියෙන්ම තේ ගෙන්වන්නේ ලංකාවෙන්ය. ශ්‍රී ලංකාව තේ වැඩියෙන්ම යවන රටවල් අතර මුල් කිහිපයේ තුර්කිය  තිබෙයි. 

Saturday, October 14, 2023

කොන්ස්තන්තිනෝපල් සවාරිය

දෙදාස් හත  අවුරුද්දේ  කසකස්ථානයේ රස්සාව කරන කාලේ හමු වූ මිතුරියක් මට කිව්වේ ලංකාව ගැන ඇය ඉස්කෝලෙදි ඉගෙනගෙන තියෙනවා කියලය . මොනාද ඉගෙනගෙන තියෙන්නේ ? මම ඇහුවා . ඇය  අත්දෙක  එකතු කරලා බුද්ධා කිවා. ඊට පස්සේ චෙයි හෙවත් තේ ගැන කිවා . ආයේ මෙහෙම කතාවක් කිවා . 'රටේ දේශ සිමා වෙනස් නොවී එකම රටක් හැටියට වැඩිම කාලයක් තියෙන රට තමයි ශ්‍රී ලකාව කියලත් අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙනවා " ඒක  හෙන අලුත් කතාවක් . කතාව ඇත්ත වුනත් මමනම් ඒ ගැන ඊට කලින් කවදාවත් අහල තිබ්බේ නෑ . මම ඒ වගක් නොදන්වා දන්නවා වගේ හිටියා .

ඒ කසක්ස්තානු  ප්‍රොජෙක්ට් එකේ හිටි කොන්ත්‍රාත් සමාගම තුර්කියට  අයිති එකක්. ඒ නිසා තුර්කි භාෂාව මගේ කණට  හුරුපුරුදුයි.  අත්‍යවශ්‍යම දේවල් සන්නිවේදනය කරගන්න ඕනි වචන ටික මම දැනගෙන හිටියා .

ඒත්  අවුරුදු පහළවක්  විතර පාවිච්චි නොකරපු ඒ වචන දුසිම් දෙකතුන මට මුළුමනින්ම අමතක වෙලා කියලයි මට හිතුනේ . ඒත් මේ පාර ඉස්තාන්බුල් නුවරට ගොඩ බැහැපු ඇසිල්ලේ අර වචන කනට ඇහෙද්දීම ඒවගේ තේරුමත් එක්ක මට ඒ සියල්ල වගේ මතක් වුනා . මිනිස් මොලයේ සමහර මයික්‍රෝ චිප්  සිසිර කාරක නින්දට ගියත් යලි සුපුරුදු පරිසරය ආපුවහම ඒවා පණ ගහල එනවා. 

තුර්කි භාෂාව ගැන වෙනම ලියන්න ඕනි. ලෝකේ මොන රටේද  ජාතියක් එකතු වෙලා  ජාතික භාෂාව අවුරුදු දෙක තුනක් ඇතුලත මුළුමනින්ම වගේ වෙනස් කරගෙන තියෙන්නේ. රටපුරා  තිබ්බ සියලුම දැන්වීම් පුවරු වල අකුරු  වර්ගය වෙනස් කිරීම, රාජකාරි ලියකිවිලි, ඉස්කෝලේ පොත පත , පාඩම් සියල්ල සමග මේක කොහොමද කරේ කියල මට හිතා ගන්නත් බෑ . ඒක  මේ ලෝකේ වෙච්ච සාර්ථකම චේන්ජ් මැනේජ්මන්ට්  එක වෙන්න ඕනි.

කසාක්ස්තාන් මිතුරිය කී  දේශ සිමා වෙනස් වීම් ගැන මට ආයෙත් හිතන්න උනේ තුර්කියට ගොඩ බැස්සට පස්සේ . මේක ම පුදුම රටක් අවුරුදු දෙදහස් පන්සියකට වඩා ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසේ කවදාවත් නටබුන් වෙලා අවුරුදු සිය ගණන්  අත ඇරිලා තිබ්බේ නෑ . වරින් වර දේශ සිමා වෙනස් වෙමින් , රටේ නම වෙනස් වෙමින් එක එක අධිරාජ්‍යයන් යටතේ ඒත්  බටහිර කිසිදු රටක කොලනියක් නොවී තිබෙන පුදුම රටක්. මේ රට අන්තර් මහද්වීපික රටක් . භූගෝලීය වශයෙන් යුරෝපයේ දේශසීමාව වැටෙන්නේ රටේ ප්‍රධාන නගරය වන ඉස්තාන්බුල් දෙකඩ කරමින්. 

මේ තරම් සුපතල ඉස්තම්බුල් නගරය ඉතිහාසය පුරා වෙනස් වෙනස් නම් වලින් හැඳින්වුනා . ඉන් ප්‍රසිද්දම නම තමයි කොන්ස්තන්තිනෝපල්   කියන නම .  ඉතිහාසය පුරා ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් . ක්‍රි ව 330 වනතුරු රෝම අධිරාජ්‍යයේ අගනුවර වුනේ මේ නගරයට ඒ නම ලැබුනේ මහා කොන්ස්ටන්ටයින් අධිරජ්‍යයා නිසා. 

හතරවන සියවසේදී  බටහිර රෝම අධිරාජ්‍යය බිඳවැටිලා ගොඩනැගෙන්නේ පෙරදිග රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටයින් අධිරාජ්‍යය . එහි අගනුවර වන්නේත් කොන්ස්තන්තිනෝපල් . නගරය තුල තිබු කොටසක්  නව රෝමය කියලත් හඳුන්වනවා. ක්‍රිව 330 ඉඳන් 1204 වෙනතුරුත් ආයෙමත් 1261 සිට 1453 වනතුරුත් මේ අධිරාජ්‍ය පැවතුනා. 1204 සිට 1261 දක්වා වූ අවුරුදු පනස් හතක මේ කලාපයේ බලය නතුකරගෙන හිටියේ ලතින් අධිරාජ්‍යය . 1453 ඉඳන් 1922 වෙනතුරු සියවස් කීපයක්ම කොන්ස්තන්තිනෝපල්  නගරය  කේන්ද්‍ර කරගත්තු කලාපය පාලනය කලේ ඔටෝමාන් අධිරාජ්‍යය. 1922 ඔටෝමාන් අධිරාජ්‍යය බෙලහීන නාමික තත්වයට වැටි තිබුන කියල මට හිතෙන්නේ. ඉන්පස්සේ තුර්කිය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්නවා. රටේ අගනුවර රට මැද පිහිටි අන්කාරා  නගරය කරා ගෙන යනවා.  කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් කියල නම වෙනස් කරගන්නවා.

ආයේ කියන්න දෙයක් තියෙනවා කසකස්ථානයත් තමන්ගේ අගනුවර මුහුදුබඩ නගරයක් වන අල්මති සිට රට මැද  පහිටි අස්තානාවලට ගෙනාවා  දශක කීපයකට කලින්.  මේ රටවල් දෙක හා ඒවායේ මිනිස්සු අතර අමුතු බැඳීමක් තියෙනවා . ඒ ගැන වෙනම ලියන්න වෙනවා.

තුර්කිය, ඉස්තාන්බුල් නගරය හා අවට කලාපය ආර්ථික, සංස්කෘතික හා අයිතිහාසික වටිනාකම අතින් මිල කළ  නොහැකි විචිත්‍ර සංකීර්ණ බවක් උසුලනවා. මේක තේරුම් ගන්න හරි අමාරුයි. ගුප්තයි. ආකර්ශනීයයි . මේ නගරයේ ජිවත් වන කාලය ඇතුලත සහ පසුව ලියා පල කරන්න හිතාගෙන ඉන්න දින සටහන් ටික තමයි කොන්ස්තන්තිනෝපල්  දිනපොත .

මේ ඒ ලියවුනු සටහන් අතරින් කීපයක් .

සැපතැම්බර්  16

ඉස්තාන්බුල් ගුවන්තොටුපලෙන් ගොඩ බැහැලා හිතේ සංකාවක් තිබ්බ . මම ප්‍රොජෙක්ට් වලට  ගිය රටවල් කීපයකදීම මාව ගන්න ගුවන්තොටුපලට ආ නිලධාරියා හෝ රියදුරා මගේ නම තියෙන බෝඩ්  එකක් අල්ලාගෙන බලා හිටියා . මේ සියලුම ප්‍රොජෙක්ට්වලදී වගේ මගේ සමීප හිතවතෙක් වුනේ ඒ ආපු පුද්ගලයා . ඒත්  ඉස්තාන්බුල් නුවරදී මම එලියට එනකොට කිසි කෙනෙක් හිටියේ නෑ . ඒ වෙනකොට තාක්ෂනය දියුණුයි අපි වට්ස්ඇප්  වලින් නොම්මර හුවමාරු කරගෙන ෆොටෝ හුවමාරු කරගෙන හිටියේ.  මම එලියට ඇවිත් මට දීලා තිබ්බ නොම්මරයට කතා කළා . මොහොතකින් මට පණිවිඩයක් ආවා . මම අටවෙනි දොරටුව ගාව ඉන්නවා එතනට එන්න .  මම හිටියේ 13 වන ගේට්ටුවේ  එතනට යනගමන් මම කල්පනා කරා . ' මේ මනුස්සයට ඉංග්‍රීසි පුළුවන් . ඒක  හොඳයි"    මම අටවෙනි ගේට්ටුව ගාවට යද්දී මගේ නම තියෙන බෝඩ් එකක් උස්සගෙන අර මනුස්සය ඉන්නවා . මම කතා කරාට එයාට භාෂාව බෑ . එහෙනම් කොහොමද මැසේජ් එව්වේ? මේ සියලු දෙනා කිසි කිසි ගලා ට්‍රාන්ස්ලේට් ඇප් පාවිච්චි කරනවා. මේ ඇප්  එක හරහා හොටෙල් එකට එනතුරු අපි දෙන්නා කතා කර කර ආවා .

සැප්තැම්බර් 17

අද උදේම ටීවී එකේ චැනල් ටික කරකවා කරකවා බැලුව ඉංග්‍රීසි හෝ දන්නා භාෂාවක එකක් තියෙනවද කියල . චැනල් එක්දහස් ගණනක් පිරුවා. ඉතාම අඩුයි . ඒ අතරේ සුපුරුදු මුහුණක් දැක්කා . කවුද කියල බලනකොට මේ කදර්නේ . අර අපේ රටේ නාලිකාවක ගිය තුර්කි මාලා  නාටකය මුතු අහුරේ හිටි ගැහැණු ළමයෙක් . පස්සේ හොයල බලනකොට සොන්ගුල් හා ඇගේ යහළු යෙහෙළියෝ  ඉන්නේ මේ අවට තමයි.  Orphan Flowers  කියන්නේ මෙහෙත් ජනප්‍රිය නාට්‍යයක්ලු ඒ කාලේ .

සැප්තැම්බර් 17 හවස 

ඉස්තාම්බුල් වල ලියවුණු  ඉංග්‍රීසි පොත් හොයනකොට ඔර්හාන් පමුක් හම්බවුනා . 2006 අවුරුද්දේ සාහිත්‍යය ට නොබෙල් තෑග්ග හම්බ වෙච්ච ඔහුගේ පොත් දෙකක්  අපේ නිලුක කදුරුගමුව පරිවර්තනය කරලා තිබ්බ. නිලුකගේ රාජ්‍ය සම්මාන ලබපු නිල්වරලැති ලිය මම ගත්තත් කියවන්න බැරි වුනා . තව ටිකක් බලාගන ගියාම තුර්කියේ ලියවෙච්ච හොඳම පොත් මොනවද කියල ඉලියඩ් හා ඔඩිසිත් තියෙනවා. අර ට්‍රෝජන් ආශ්වයා ආව කියන ට්‍රෝයි  නගරය තියෙන්නේ මම ඉන්න තැන ඉඳල වැඩි ඈතක නෙවෙයි .

බලාගෙන ගියාම මේක මාර ගමනක් . වැඩ කෝටියක් තියෙයි මට .

( විශේෂ ස්තුතිය : 'ශනිදා  දහයයි දහයට' කියා මොකක්දෝ සම්‍යක්ප්රෝයෝගයක් දාගෙන පැන්ෂන් ගිය බ්ලොග්කාර්යන් හා කාරියන් ලවා බැරිමරගාතේ  මොනා හරි ලියවන්න වෙහෙසෙන තට්ටයාගේ බ්ලොග් කොළම  , ඩ්රැකී  ඇතුළු මිතුරු නඩයට )


Sunday, August 6, 2023

අඩියක් ගහද්දී අඩියක් ගැසීම

 

මේ සිද්දිය වුනේ දැන් අවුරුදු කීපයකට කලින් . කොළඹ ලොකු කන්තෝරුවක   තිබ්බ රැස්වීමකට යන්න තිබ්බ . මම ටැක්සියක් කතා කරගෙන මේ කියන ආයතනයට යමින් ඉද්දි   හැමදාම  වෙනව වගේ  කලිසමේ පහළ  වාටිය  මේස් එක අස්සට රින්ගලාද බලන්න කකුල චුට්ටක් උස්සලා බැලුව. හත් දෙය්යනේ වාටිය යහතින් තියෙනවා  . ඒත්  සපත්තුවේ  අඩිය ගැලවිලා . මම අර ශාලාවේ ලොබිය හරහා යනකොට හිටපු සංස්කෘතික ඇමතිතුමාට වගේ අකරතැබ්බයක් වුනොත් එහෙම. මම වහාම රථය ආපහු හරවන්න කිව්වා . කොල්ලුපිටිය හන්දියට ගියා . කැබ්කාරයා වෙන හයර් එකක් තියෙනවා කියා නහයෙන්  අඬපු නිසා මම බැස්ස.  මම ෆයිල් කවරෙයි ලැප්ටොප් එකයි කිහිල්ලේ ගහගෙන අඩිය අද්ද අද්දා පදික වේදිකාව දිගේ ඇවිදිනවා. මේ හරියේ සපත්තු හදන තැනක් නැද්ද ? වැඩි දෙනෙක් දන්නේ නෑ . එක ත්‍රීවිල්  මල්ලි කෙනෙක් කිව්වා අන්න අර බැංකුව ඉස්සරහ පාරෙන් අනෙක්  පැත්තේ කොට්ටම්බා ගහ යට සපතේරුවා  ඉන්නවා කියල . මම ගාට ගාට පාර මාරු වෙලා කියපු තැනට ගියා. කැඩුණු සපත්තු ටිකක් තියෙනවා. සිමෙන්ති පඩිය  උඩ  ඔය  හිනා වී ගෙන ඉන්නේ මනුස්සයා . වෙලාවේ හැටියට මිනිහෙක් නෙවෙයි දෙයියෙක්. . මම ඔහු  ගාවට ගියේම සපත්තුව ගලවාගෙන අනෙක් කකුලෙන් පැන පැන . 

'මම සපත්තු හදන්නේ නෑ .මම ස්වීප්  විකුණනවා ' 

'එතකොට සපත්තු හදන්නේ කවුද ?'

'එයා එන්න තව පැය බාගයක් විතර යයි' 

මොනවා  කරන්නද ඉන්න වෙනවා. 

මම දැක්ක ටිකක් පහලින් තියෙන තේ කඩයක්. කන්තෝරු මහත්තුරු ඔසේට ඇවිල්ල ප්ලේන්ටියක් බිලා සියේට් එකක් උගුරට දෙකට ඇදල  දැඩි බිඩියේ මාරු වෙන තැනක්. 

මමත්   සපත්තුව ආපහු දාගෙන  අද්දමින් පඩි දෙකතුනක් බැහැලා ප්ලේන්ටියක් බිව්වා. ආපහු සපත්තු හදන තැන දිහා බලද්දී මෙන්න මේ පාරනම් මෑන්  ඇවිල්ල. 

සපත්තු හදන තැන ගෝණි  ගොඩේ වාඩී  වෙලා ෆිල්ටරේ නැති සිගරට් එකක් බොනවා . පෙර පරිදිමයි. මම සපත්තුව ගලවනකොටම මෑන්  කියාපි මම සපත්තු හදන්  නෑ . මාත් ඉන්නේ එයැයි  එනකම් කියල . ඒ අතරතුර මම සපත්තුව ගැලවෙච්ච පැත්ත උස්සන්නේ නැතිව අනිත් පැත්තින්  පොඩ්ඩක් ඉස්සිලා එහාට මෙහාට යන විදිහ ප්‍රැක්ටිස් කරා.  ඒ ගමන්ම කෝල් එකක්. 

' ඒයි මිටිමට එන්නේ නැද්ද ? මමනම් මේ යන ගමන් "

' මමත් මේ යනගමන් .ඉන්නේ අහවල් බැංකුව ඉස්සරහ ටැක්සියක් ගන්න ඉන්නවා  "

" ටැක්සියක් ගන්න එපා . මම විනාඩි දෙකෙන් ඔතෙන්ට එනවා "

කිව්වා වගේම විනාඩි දෙකෙන් යාලුවා ආවා. එනකොටම මිටීම බරපතලම අර්බුදේ අහුරු පිටින් බදාගෙන මටත් දුන්න. සපත්තුව නවෙයි කකුලත් අමතක වුනා . මම මිටිමටත් ගියා ආපහු ආවා යාලුවාගේම වාහනෙන්. එතකොට සපත්තුව මතක් වුනා . කකුල උස්සලා බැලුවා . බාගෙට ගැලවෙච්ච සපත්තු අඩිය කට පුරා හිනා වෙනවා . ඒ කියන්නේ තාම  අඩිය තියෙනවා . 

යාළුවාට සපත්තුව ගැන කියන්  නැතිව මම යන ගමන් නාරාහේන්පිටදී පොඩි වැඩක් තියෙනවා" කියල බැස්ස . බෝගහ යට කැරකුනා. ඉස්සර හිටි සපත්තු මහන්නෝ  කවුරුත් නෑ . සපත්තු දෙකක් ගන්න කඩයකුත් පේන්නේ  නෑ .ඒත් අලුත් සපත්තු දෙකක් ගන්න  මම උනන්දු වුනේ නෑ . එක්තරා හේතුවක් නිසා . 

මම පොඩ්ඩක් ඇල්විටිගල පාරේ ඇවිදගෙන ගිහින් ටයර්  හදන තැනකින් ඇහුව මේ හරියේ සපත්තු හදන තැනක් තියෙනවද කියල ,ටයර් කඩේ  විඩාබර මුහුණක් මට හිනාවක් දාලම  'අනේ  දන්නේ නෑ" කිව්වා.  ටයර් හදන වැඩෙයි සපත්තු හදන වැඩෙයි පොදු සමාන කමක් තියෙනවා . දෙකම ගෙවෙන්නේ පාරටනේ. මෙහෙම හිතද්දී අපේ කතාව අහගෙන හිටි ට්‍රැෆික් රාලහාමි කෙනෙක් මට මෙහෙම කිව්වා .

' අන්න අර කලර් ලයිට් එක ගාවින් පාර පනින්න . අනෙක් පැත්තේ ට්‍රැෆික් ලයිට් එක ගාවම වගේ සපත්තු හදන තැනක් තියෙනවා' රාලහාමිට ස්තුති කරන ගමන් මම කල්පනා කලේ එයාගේ සියලු මග පෙන්වීම්  ට්‍රැෆික් ලයිට් හා කහ ඉරි එක්ක සම්බන්ද වෙන හැටි .

මම ජයග්‍රාහී  ලෙස සපත්තු හදන කඩේ ඉස්සරහ හිටගෙන ආබාධිත සපත්තුව ගලවලා කවුන්ටරේ උඩ  තිබ්බ' 

මුහුණේ හිනා කඳුලක් නැති සපතේරුවා ඇවිත් බරාස් ගාල අඩියේ ඇලවිලා තිබ්බ ඉතිරි ටිකත් ගලවා ගත්ත . "අලවන්ඩ  පුළුවන් රුපියල් පන්සීයයි. '

' යකාගේ ගණන් තමයි. "හරි කමක් නෑ  හදන්ඩ" . එහෙම කියද්දී මට නිකන් හිතුන අනෙක් සපත්තුවත් ගලවලා බලන්න . මම ඒක අතට අරන් බලද්දී අර මෑන්  ඒක  මගේ අතින් බලෙන්ම වගේ අරන් බරාස්  අඩිය ගලවා ගත්ත . 

'දෙකම අලවල දෙන්න නමසියයි. පැය  බාගයක් ඉන්න වෙනවා' 

මේ අවු කාෂ්ටකේ පාර අයිනේ හිටගෙන පැය බාගයක් ඉන්නේ කොහොමද ? මේස්  දෙක විතරක් කකුලේ දාගෙන පාරේ ඇවිදින්නත් බෑ . මම හිතුව ටැක්සියක් ගන්නවා යනවා සපත්තු කඩේකට. නෑ  ඕනි  නෑ . හෙමින් කුල්  බිමක් බිබී කඩේක වාඩි  වෙලා ඉන්නව කියල හිතාගෙන වම පැත්තට චුට්ටක් ඇවිද්ද මේස්  සහිත කකුල්වලින්. මෙන්න සිසිල් බීම කඩයක් . ඇතුලට ගියා.  පල්ලමක් . ගුහාවක් වගේ. ඒ ගුගාවෙන් එහා සියලුසරින් පිරි බාර් එකක් . පැය  බාගයක් ඉන්න තියෙනවා මෙතන හොඳයි. මම ගිහින් පාලු මේසෙක වාඩි  වුනා . 

වේටර් ආවා . "මහත්තය මොනාද ගේන්නේ?" . 

' ඔව් මොනා හරි ගෙන්න එපයි .එහෙනම් ලාගර් බියර් එකක් ගෙන්න" .

"ලාගර් මේ වෙලාවට වැඩක් නෑ . වදින්  නෑ  මහත්තයා" . 

" මට පොඩ්ඩක් ඉන්නයි ඕනි අතන එහා පැත්තේ මගේ සපත්තුවට අඩියක්  ගහනවා . එතකන් බොන්න බියර් එකක් ගෙන්න "

'මේ මහත්තය අඩියක් ගහනකම් අඩියක් ගහන්න අවිල්ල්ල"  හයියෙන් කියාගෙන ගිහින් බිර බෝතලෙකුයි පුංචි  කජු  පැකට් එකකුයි අරන් ආවා. 

' හෙමින් බොන්න . එතන වැඩේට වෙලා යනවා. නැත්නම් මහත්තයාට ඒ අඩියත්  නෑ  මේ අඩියත්  නෑ" කියාගෙන ආපහුගියා. 

මම සපත්තුව හදාගෙන ඔෆිස් එකට යන්තම් ඔලුව දාගෙන  ගෙදර  ගියාට පස්සේ හාමිනේට කිව්වා  වෙච්ච අකරතැබ්බේ . 

' ඉතින් කඩේකට ගිහින් සපත්තු දෙකක් ගන්න තිබ්බනේ; 

' ඒ වුනාට මම මේ සපත්තු දෙකට කැමතියි. තාම අලුත් . ඒක විසි කරලා එන්නේ කොහොමද ? මට තිබ්බ ප්‍රශ්නේ මම කිව්වා .

අයියෝ අලුත් සපත්තු දෙක කකුලේ දාගෙන පරණ සපත්තු  දෙක පෙට්ටියක දාගෙන එන්න තිබ්බනේ, නැත්නම් සපත්තුව ගන්න කලින්ම කඩේ මනුස් සය කැමති කරවගන්න තිබ පරණ සපත්තු දෙක අරන් තියන්න . පස්සේ වාහනෙන් ගිය වෙලාවක අරන් එනවා කියල "

ඔන්න ඔය වගේ  ප්‍රශ්නවලදී අපේ නෝනාගේ මොලේට එන තාක්ෂණ  හා පී ආර් සොලුෂන් මට එන්නේ නැති වුනාට ඒවා ගැන උපදෙස් දෙන එක තමයි ඒ  දවස්වල මගේ රස්සාව. අර රැස්වීමත් ඒ වගේ වැඩකට ගිය එකක්. 


Image Source : Istock 

Sunday, May 21, 2023

නැත ලොවේ අන් රසඳුනා බ්ලොග් ලොවේ මෙන් සුව දෙනා

දැනට යලට මහට ඔහේ  අප්ඩේට් වන මගේ බ්ලොග් අඩවිය ආරම්බ කර අදට හරියටම අවුරුදු දහයකි . මුහුණුපොතේ වරින්වර ලියා තිබු සටහන් කිහිපයක්  එකම දවසේ පබ්ලිෂ් කර මම තිලකසිතට මුල්ම ජිවන හුස්ම පිම්බේ 2013 මැයි  මාසේ විසිඑක්‌ වැනිදාය . ඉන්පසු දෙමසයක් පමණ යනතුරු සතියකට එක ගානේ සමහර විට  දෙක ගානේත් බ්ලොග් පෝස්ට් ලියමින්  බ්ලොගය පවත්වාගෙන ගියත් බ්ලොග් රෝල් ගැන , අනෙකුත් බ්ලොග් අඩවි ගැන මගේ දැනුම ඉතා සීමාසහිත එකක් විය.  

2013 අවුරුද්දේ මාස හතකට කතන්දර තිස් හතරක් ලියු මම 2014 අවුරුද්දේ කතා තිහක් ලිව්වෙමි. කතා මුළු එකතුව පණහක්  වෙද්දීම බ්ලොග් කතා එකතුව පොතක් ලෙස පළකරන්නට මට මහා උනන්දුවක් ඇතිවුනෙන් තෝරාගත්  කතා හතළිහක් ඇතුලත් කොට තිලකසිත පළමු පොත නිකුත් වුනේ 2014 අවුරුද්දේ අගෝස්තු අට වැනිදාය. මේ බ්ලොග් අඩවිය  හා පොත නිසා මට සුන්දර මිනිසුන් රාශියක් දන හඳුනා ගන්නට ලැබුනේය. ඔවුන්ගේ සහාය ලියන කියන වැඩවලට පුදුමාකාර ලෙස ලැබුණු අතර. සමහර මිත්‍ර සම්බන්ධකම් ඉතා දැඩි බැඳීම් බවට ස්ථාවර විය. 

බ්ලොග් කතා එකතුවක් පලකරාට පසු ලිවීමේ වෙගය තරමක් අඩුවුනත් 2018 අවුරුද්ද දක්වා මම දිගටම බ්ලොග් පොස්ට් ලිව්වෙමි. ඒ අනුව දෙවැනි  කතා එකතුවත් 2019 අවුරුද්දේ පෙබරවාරු 15 වැනිදා පළ  වුනේය. ඉන්පසු ලිවීමේ වේගය සිඝ්‍රයෙන් පල්ලම් බැස  ගියත් ජිවිතයේ ආශ්වාදයෙන්ම මතක් කරන්නේ මම අතදිගහැර බ්ලොග් ලියු කාලයයි .  මේ කාලය මගේ  ආර්ථික තත්ත්වයේත්, වෘත්තීය  හා සමාජීය වැඩවලත්  ඉතා සතුටුදායක තත්ත්වයක් තිබුනේය .

මුල්ම දවසේ බ්ලොග් අඩවියේ පළවුන කතා තුන මේවාය :

යවුලගහ 

හෝඩියේ පන්තියේ ටීචර් 

කිතුල් හකුරු 

මිට  සති දෙකකට පමණ පෙර මම තාත්තා සමග මගේ මුල්ම බ්ලොග් කතාන්දරයේ සඳහන් යවුල  ගහ අසලින් ගමන් කළෙමි . යවුලගහ  කතාවේදී  මහා රෑ   යෝධයෙකු සේ මගේ ආරක්ෂාවට හොරෙන්ම පස්සෙන් ආ තාත්තා මෙවර  මා සමග වාහානයෙන් ගියේ හොඳටම ඔත්පළ මිනිසෙකු ලෙසය.  ඒ  අභිරහස්  යවුලගහ දැන් නැති බව එදා අපට පසක් විය.  ඒත්  එදා කුඩය වැටුණු තැන මෙතන යැයි  කියන්නට අපේ තාත්තාට  කල්පනාව තිබුනේය.  පසුපසු අසුනේ ගිලන්ව සිටි තාතාව වාරුකරගෙන සිටියේ හෝඩියේ පන්තියේ ටිචර්ය.යවලගහ තිබුණු තැන මදක් නතරවූ රිය තුල සිට අපි තිදෙනාම සොම්නස් සහගත අතීතාවර්ජනයක යෙදුනෙමු.

පසුගිය  අවුරුදු නිවාඩුව මා ගතකලේ කිතුල්හකුරු කතාවේ කියවෙන පස්සර මියනකඳුර ග්රාමයේය. එහිදී මට හමුවූ පරණ යාලු මිත්‍රයන් හා වැඩිහිටියන් සමහර දෙනෙක් මා ලියු දේවල් කියවා තිබුනේය . මට අලුතින් ලියන්නට කතන්දර වරුසාවක් තෑගී ලැබුණේය.

මෙකී  හේතු කාරණා නිසා මා ලියු ජිවන කතාන්දරවලින් මට ගැලවෙන්නට බැරිය. . ඒ නිසා මම මේ බ්ලොග්  අවකාශය අතහැර යන්නේ නැත. 

කවුරු මොනවා කිව්වත් මට හමුවූ සුන්දරම සයිබර් අවකාශය බ්ලොග් අවකාශයයි. .වඩාත්ම වටිනා  කරුණනම් ඒ නිසා මගේ මිත්‍ර සම්පත සීග්‍රයෙන් වර්ධනය වීමය.

ඒ නිසා තිලකසිත සමග බැඳීසිටිනා  සුන්දර මානව මානවිකාවනි, දස වසරක් පුරා තිලකසිත වෙත පෑ . ඒ ආදරයට ස්තුතියි .

සමහර කාලවල ලියන දේවල් අඩුවෙන්නට පුළුවන. ඒත්  අපෙ යාලු ෆිට් එක වෙනස් නොවෙන ගානට සවිමත් වී තිබේ. 

 

Saturday, May 6, 2023

බළහරුව බස් එක

 


ළහරුව තියෙන්නේ වැල්ලවාය තණමල්විල පාරේ, කුඩාඔය නගරයෙන් හැරිලා දකුණු පැත්තට කිලෝමීටර් දාහතරක් විතර ගියාම. තණමල්විල ඉඳන් හම්බෙගමුව හරහා කපුගල බලන්ගොඩ පැත්තට එන පාරේ ආවත් බළහරුවට එන්න පුළුවන්. දැන්නම් ඇතිලිවැව  ඉඳන් ඊටත් කෙටි පාරක් තියෙනවලු. බළහැරුව කියල නම හැදිච්ච හැටි හොයල බැලුව . වැඩිදෙනෙක් විශ්වාස කරන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ  බළ සේනාවන් පුහුණු කරපු තැනක් නිසා ඒ නම වැටුන කියල . බළ+හුරුව බළහැරුව වුනාලු. 

බළහරුව කියන්නේ ඩී ඇස් සේනානායක උන්නැහැ  අගමැති වුනාම් ඉස්සෙල්ලම වැව්අමුණු පිළිසකර කරලා ගොවිජනපද හදපු හඳපානාගල, වෙහෙරයාය, ඇතිලිවැව වගේ ගම්මානයක් . 

බළහරුව කියන නම මතකේ හිටින්න පුද්ගලනාම තුනක් බලපෑවා . පළවැන්නා අපේ බැචා සුසිල්. ඔහුගෙ ගම බළහරුව කියල දැනගත්ත සීනියර් උත්තමයෝ අනිවාර්යයෙන්ම අහපු ප්‍රශ්නයක් තිබ්බ. 

'ඒයි උඹ බළහරුවේ සෝම අඳුනනවද ?'

බළහරුවේ සෝම කියන්නේ 1987-89 කාලේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයේ   කැඳවුම්කරු. 1987 පිටකොටුවේ උද්ඝෝෂණය ගැන විස්තර හොයද්දීත් මුලින්ම හමුවෙන චරිතයක්. භීෂණ කාලෙන් පස්සේ බළහරුවේ සෝම කියන නම කොහෙවත් ඇහුනේ නෑ . ඉන්න තැනක් හොයා ගන්නත් නෑ . තුන්වෙනි නම තමයි බළහරුවේ සිරිසුමන. තනියම ඉංග්‍රීසි ඉගෙනගෙන පිරිවෙන්වල ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සේවය කරපු බළහරුවේ සිරිසුමන හාමුදුරුවෝ මැදිවියට එළඹෙද්දී පේරාදෙණියේ ඉංග්‍රීසි ගුරු විද්‍යාලයට ඇතුල්වුණා. ඒ කාලේ  අපි පේරාදෙණි සරසවියේ ඉගෙනගත්තා .

ආපහු ගමට ගිය සිරිසුමන හාමුදුරුවෝ පරිසරවෙදියෙක් විදිහටත් නිදහස් මතධාරියෙක් විදිහටත් කටයුතු කළා . පසුගිය අප්‍රේල් මාසේ අපවත් වෙනකොට බළහරුවේ රජමහ විහාරයේ අධිපති.

මේ කතන්දර සියල්ල කිව්වේ බළහරුවේ බස්එක ගැන  පරණ කතාවක් කියන්න ඕනි නිසා, මේකට පසු කතාවකුත් තියෙනවා .

*********

ඒ 1989 අවුරුද්දේ දවසක් . බළහරුවට තියෙන අන්තිම  බස් එක වැල්ලවායෙන් පිටත් වෙන්නේ හවස හයට . පස්සර  ඉඳන් බළහරුවේ සුසිල්ලා ගෙදර යාමට පැමිණි ගැමුණු බළහැරුවේ බස් එක එනකම් බස්ටෑන්ඩ් එකේ හිටියා .සෑහෙන වෙලාවක් බලා  හිටියා .  එහෙමෙහේ  ඇවිදින්න හොඳ කාලයක් නෙවෙයි. බස් එක නැති නිසා කිහිප දෙනෙක් එක්ක ඇවිදගෙන  ගියා ඩිපෝව පැත්තට. මොකද බස් එක එන්නේ ඩිපෝවේ ඉඳන් . ගේට්ටුව ළඟ බලා  හිටියා  බස් එක ඩිපෝව ඇතුලේ තියෙන වග ආරංචි වුනා . දැන් එයි දැන් එයි කියල බල බලා හිටියා . හතර වටින්  අඳුරු වුනා . බස් එකේ යන්න හිටි ටික දෙනාත් කොහෙට කොහෙට හරි යන්න බලාගෙන හෙමි හෙමින් එතනින් සීරුමාරු වුනා . ගැමුණු විතරයි  ගේට්ටුව ලඟ ඉතිරි වුනේ . 

ඔන්න එතකොට බස් එකේ ඩ්‍රයිවරයි  කොන්දොස්තරයි  පයින් ඇවිදගෙන එනවා. මේ බස් එකේ වතාවක් දෙකක් ගිහින් තියෙන නිසා දෙන්නගේ මූණූ  මතකයි. රියදුරා මද හිනාවක් දැම්මා .

' බළහරුවේ බස් එක නැද්ද?"

' නෑ  මහත්තයෝ   ඒක කැඩිලා . අපි මෙච්චරක්වෙලා හදාගෙන එන්න .තමයි මහන්සි වුනේ . බැරි වුනා. හෙට තමයි ඉතිං 'කියාගෙන දෙන්න පයින්ම ඇවිදගෙන ගියා . ගැමුණුගේ කකුල් දෙක වෙවුලුවා. හිත  ගිණියම් වුනා. දැන් ඉතින් කොහේ කියල යන්නද  ? 

මද දුරක් ඇවිදගෙන ගිය  බස් රියදුරා ආපහු හැරිලා ඇහුවා. 

' මහත්තයා කොහේ ඉඳලද ?"

 බස් කොන්දොස්තර නොනැවතී ඉස්සරහට ගියා. ගැමුණු රියදුරා සිටි දෙසට ගාට ගාටා  යන ගමන් මෙහෙම කිව්වා.

" මම පස්සර ඉඳන් ආවේ. මේ වෙලාවේ ඒ පැත්තට යන  බස් එකක් තියෙයිද?"

" මේ දවස්වල කළුවර වැටුනම බස් එනවා අඩුයි. තණමල්විල පැත්තටනම් බස් එකක් එනවා දැන් "

ගැමුණු විපිලිසරව බලා හිටියා . ' ඒ  පැත්තට හිහින් කොහේ කියල යන්නද ? " කෙඳිරිලි හඬින් කියවුනා .

ඒක  බස් රියදුරාට ඇහුණා . ටිකක්  කල්පනා කළා .

" මහත්තයා අතරමං කරලා මෙහෙම යන්නත් බෑ . ඒත්  අපේ ගෙවල්වල  එහෙම අමුත්තෙකුට ඉන්න පහසුකමකුත් නෑ . අනික් අතට  මේ අවදානමේ මග  ඉන්න හොඳ කාලයක් නෙවෙයි. යමු මහත්තයා අපේ ගෙදර . පුළුවන් හැටියකට ඉමු"

ගැමුණු මුවින් නොබැනම ඔහුගේ පස්සෙන් වැටුනා. දෙන්නත්තෙක්ක පාර අයිනට ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් තණමල්විල හරහා කතරගම අන්තිම බස් එක ආවා. නැග්ගා. ටිකට් ගත්තද මතක නෑ . අතිලිවැව හන්දියෙන් බැස්සා .

එතනින් දකුණට හැරිලා කුඩා ගුරු පාරකින් හැරී හැරී කිලෝමීටර් දෙකක් විතර ගියාම කුඩා ගම්මානෙකට  සේන්දු වුනා .  දෙන්නගෙම  ඉහින් කණින්  දාඩිය දාලා.

රියදුරා නතරවෙලා හති ඇරියා. "දැන් බයවෙන්න දෙයක් නෑ. මමත් පොඩ්ඩක් හෝදිසියෙන් හිටියේ අලි ඉන්නවනේ . මේ දවස්වල නම් අලි නෙවෙයි වෙන වෙන සත්තුත් ඉන්නවා "  කියල හාහ් හාහ් ගාල් හිනා වුනා .

ගමට ඇතුල් වෙච්ච හැටියේම වගේ තිබ්බ  රියදුරු වාසභවනේ ඉස්සරහ කාමරේ ලැහැස්ති වුනා.   පුංචි පවුලක්. පුංචි ගෙදරක්  . දඩිබිඩියේ හදපු කීලන් කරවල හොද්දයි, කවුපි දළු මැල්ලුමයි එක්ක රෝස කැකුළු බත් එකක් බෙදාගෙන කෑවා . ආයේ කියන්න දෙයක් නෑ. ඒක අතිරහ කෑම එකක් .

පහුවදා  ආපහු ඇතිලිවැවට ගිහින් එතනින් වැල්ලවායට බස් එක අරගත්තා දෙන්නත්තෙක්කම. දහය එකොළහ වෙනකොට බස් එකත්  හදාගෙන කුඩාඔය හරහා බළහරුවට ගියා . 


*** 

මේ කතාව මගේ මිත්‍රයා විසින් මතක් කරන්ට යෙදුනේ පසුගිය සතියක අපි  කොළඹ ඉඳන්  මත්තල දක්වා හයිවේ එකේ ගොස් වැල්ලවාය පැත්තට යන අතරේ තණමල්විලට ඉස්සරින් හම්බවෙච්චා  කඩේකින් රෑට කෑම ගනිමින් ඉන්න වෙලාවේ . එතකොට රෑ දහය හමාරයි. කඩේ බුෆේ එකක් . බත් මාළු පිණි ගොඩක් තිබ්බා . පානුත් තිබ්බ. .  කපල නෑ . "මුදලාලි මේ පාන් කන්නේ කොහොමද කපල නෑ" . අපි සද්දෙන් කිව්වා.

තරුණ මුදලාලි දුවගෙන ඇවිත්  බොහොම ගරුසරු  ඇතිව පාන්පෙති  කපල ලොකු තැටියකට දල කිවා මේ පරිප්පුයි මිරිස් මාලුයි හොඳයි කන්න. තුඹ කරවිල හොද්දනම් ටිකක් දවාලෙන් හැදුවේ ඇඹුල් වෙලා ඇති .

 අපි ඉතිං හොඳට කෑවා . 

බිල ගෙවන්න  කවුන්ටරේට ගියා. එතැන  කවුරුත් නෑ . මුදලාලි ගෝලයෙක් එක්ක   හෝටලේ සුද්ද පවිත්‍ර කරනවා. 

'මුදලාලි අපේ ගාන කීයද  ?"  මුදලාලි හිනාවුනා 

'මහත්තයෝ මේ කඩේ දහයට වහනවා. කෑම ඉතිරිවුණ නිසා තමයි ඇරලා තිබ්බේ . දහෙයෙන්  පස්සේ අපි කෑමවලට සල්ලි ගන්නේ නෑ"

මුදලාලි ගැන කතාකරමින් වැල්ලවාය පැත්තට එනකොට කුඩාඔය කඩමන්ඩියේ  රථය මොහොතකට නතර වුනා."ඔය වම්පත්තේ පාරේ තමයි බළහරුවට යන්නේ". එතැන් සිට ගමන කෙළවර වෙනකම් රස මැව්වේ බළහරු කතා . 

ඔන්න ඔහොමයි අපිට  අවුරුදු නිවාඩුව උදා වුනේ.


Photo : handapanagala Tank, Source : Sunday Observer

Wednesday, May 3, 2023

පේරාදෙණියෙන් කල්පිටියට


මේ  මගේ ට්විස්ටින්ග් දිනපොතේ දින සටහන්. දිනය පටලවා නොගෙන ප්‍රවේශමින් කියවන්න 

1993 අප්‍රේල් 30

අද අපට අවසාන අවුරුද්දේ අන්තිම විභාගේ .අන්තිමට තිබ්බ සබ්ජෙක්ට් එක කාර්මික ඉංජිනේරු විද්‍යාව . අතිරේක විෂයක් . තෝරා ගන්න තිබ්බ සබ්ජෙක්ට් එකක්.  

අවුරුදු හතර වෙනුවට හතක්  වින්ද දුක අහවරයි.හවසට ඊරියගම පැත්තේ ඇවිදලා කිතුල් රා ටිකක් හරි හොයා ගන්න ඕනි .  ඒ මදිවට  හෙට කැම්පස් ග්‍රවුන්ඩ්  එකේ දැවැන්ත සාදයක් ගැන කසුකුසු ඇහෙනවා. ඒත්  කා ගාවවත් සල්ලි නෑ . එන සති අන්තය හොස්ටල් එකේම  ඉන්නවා. ඔහොම හිත හිතා  අපි අක්බාර් පාලම පහු කර‍ගෙන ලයිබ්රිය පැත්තෙන් වීරසුරිය ස්මාරකෙත් පහුකරලා, වී සී හවුස් එක ඉදිරිපිට පාරේ  අඳුරු සොඳුරු ගස් අතරින් ඇවිත් කිස් බෙන්ඩ් එකත්  පහු කරා. ලස්සනට හදාපු ෂර්ලි  ද අල්විස්ගේ  නිර්මාණශීලි  මන්දිර හා භුමි සැකැස්ම මැදින්  ජේමිස් පිරිස් ශාලාවට පිවිසෙන  අඟර  දඟර  පඩිපෙළ නැග්ගා . සතර දිබ්බාගෙන් ඇවිත් අවුරුදු හතක් වාත වේවි වැඩේ  හමාර කළ අපි තව දවසකින් දෙකකින් විසිරිලා යනවා . කරන්නේ මොකක්ද  කියල නිශ්චිත නෑ .ගොඩක් දෙනෙක්ගේ අතේ පිච්චිය නෑ . ලබන අවුරුදේ අපි මොනවා කරයිද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ  තව අවුරුදු දෙකකින් අපි මොන වගේ මිනිස්සු වෙයිද ?  අවුරුදු තිහකින්? අනේ හිතා  ගන්නවත් බෑ . සිරා පොරවල් වෙයි. සමහරවිට ලොන්ත නාකියෝ වෙලා ඉඳියි .

කොහොමත් අපි සියලු අනාගත බලාපොරොත්තු අමතක කරලා අද රාත්‍රියේ හා හෙට පැවැත්වෙන සාද ගැන කතා කරමින් හා හිතමින් තමයි හොස්ටල් එකට ගියේ. 

2023 අප්‍රේල්  30

අද අපි හැට  දෙනෙක් කොළඹින් එක බස් එකකත්  කුරුණෑගලින් තව බස් එකකුත් අරන් පිටත් වුනේ අපේ සරසවි දිවියේ අවසන් දිනය සිහිපත් කරන්න . හරියටම කිවොත් තිස්වන සංවත්සරය. අපි යමින් හිටියේ පුත්තලමින් වම්  පැත්තේ මුහුදට දික්වෙලා තියෙන ලංකාවේ සුලැඟිල්ල  කෙළවරට . කල්පිටියට.  

අර අක්බාර් පාලමින් විභාගේ ඉවරකරලා ගාටපු  කොල්ලේ කෙල්ලෝ දැන් තනිකර තලත්තෑනි වෙලා . ඒත්  සියලුම ජානමය ගති ලක්ෂණ එක බිඳුවකින් වෙනස්වෙලා නෑ . හවස පාටියයි හෙට පාටියයි ගැන  කතා කරා. මඩ  අවලාද . තිස් හතලිස් පාර ඇහුනු එකම විහිලුව ආයේ ඇහුනා . ඒත්  ඇස්වලින් කඳුළු පනිනකම් හිනා වුනා . සමහර පොඩි විහිලු කෑලිවලට බෝම්බ පුපුරන සද්දෙන් හිනා පුපුරා ගියා . අතරින් පතර දේශපාලනේ ගැන කතා කළා. බයියෝ, ටෝයියෝ ටෝබයියෝ ඔක්කොම ඉන්නවා. 

අපි අන්තිම දවසේ කරපු විභාගේ මතක්වුනා.  ඒ කාර්මික ඉංජිනේරු විද්‍යාව. පාලවියෙන් පොඩ්ඩක් හැරිලා පුත්තලම්  සිමෙන්ති ෆැක්ටරිය ටිකක් බලාගෙන ගියේ ඒ  හින්ද . 1993 වෙනකොට ලංකාවේ සිමෙන්ති ෆැක්ටරි  දෙකක් තිබ්බ  . දෙකම ආණ්ඩුවේ. පුත්තලමේ හා කන්කාන්තුරේ. 1996 ඉඳන් කන්කසන්තුරේ ෆැක්ටරිය දිරාපත් වෙමින් අතහැරලා දාලා තියෙනවා  . පුත්තලම පුද්ගලික සමාගමකට දීලා  කරගෙන යනවා. මෙතැන  තමයි ලංකාවේ වැඩියෙන්ම විදුලි බලය පාවිච්චි කරන  තැන . ලංකාවේ උණුසුම්ම  තැන . දවසකට ගල් අඟුරු ටොන් සිය ගණනක් ගිලින උඳුන සෙන්ටිග්‍රේඩ් අංශක දෙදහකට විතර රත් වෙනවා .

 හවස තිබ්බ කෙටි උත්සවේ වෙලාවේ මට අපේ අතීතය මතක් කරලා දෙන්න තිබ්බ. 1971 කැරැල්ල වෙනකොට බහ තෝරපු, හැත්තෑ  පහේ අවුරුද්දේ පාන් පෝලිමේ  ඉඳපු , හැතතෑ  හතේ ධර්මිෂ්ට පාදඩකරණය  බලන් හිටපු. 83 , 89 90 පහුකරලා දසක දෙක තුනක් කට්ට කාපු අපේ පරම්පරාවට විශේෂයෙන් පිට රටකට නොයා මෙහෙම ඉන්න තීරණය කරපු උන්ට  ඉන්පස්සේවත්  සැනසිල්ලේ තැන්පත් වෙන්න බැරි වුනා.  අසාර්ථක ජරාජීර්ණ පාලන කාල යලි යලිත් ආවා.  කොවිඩ් ආවා , පැට්‍රල් පෝලිම් ආවා , අරගලේ ආවා . දැන් 93දී අතේ සතේ නැතිව හිටි අපිට ඒ හා තරමක් සමාන  කාලයක් ආයෙමත්  ඇවිත් .මහලොකු මැද  පන්තියේ හිටියට ගොඩක් දෙනෙක්ගේ ආදායම වියදමට වඩා අඩු වෙලා. මාස අටකින් පඩි හම්බවෙච්ච නැති ඉංජිනේරු ලොක්කොත් අපිත් එක්ක හිටියා. ලබන අවුරුදේ අපි මොනවා කරයිද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ.

1993 මැයි 01

අද නැගිට්ටේ පරක්කු වෙලා ඒත් රට වෙලාගත්තා නොසන්සුන්කම කෘර පාලනයක ලක්ෂණ එක්ක දේශපාලනේ මඩ  ගොහොරුවක් වෙලා  . කිසිම විදිහක  සාධාරණ මතයකට ඉඩ  දෙන්නැති උද්දච්ච පාලකයෙක් ඉන්න රටක සමාජෙට බහින්න අපි තරමක් බයෙන් ඉන්නේ. ඒවා අමතක කරලා නුවර ගියා උදෙන්ම. අපි ආපහු එනකොට  පාර දෙපැත්තේ සෙනග පිරිලා  . මිනිස්සු ජයකෙහෙලි නංවනවා. චීන පටස් පුපුරනවා. 

'ලොක්ක මැරිලා . ආමර් වීදියේදී බෝම්බ ගහල .  එතැනමයි ' . දකින දකින  මුහුණුවල තිබ්බේ සතුටක් සැහැල්ලුවක්, උත්සවශ්‍රියක් . 

මම ගලහ බස් එකේ හිටගෙන හිටියා . මම  හිටි තැනට කිට්ටු අසුනේ කුඩා දරුවන් දෙන්නෙක් සහ මවක් හිටියා. පොඩි දුව අවුරුදු හතක විතර ඇති. ඇය  මෙහෙම කිව්වා 

' අපි අදනම් පාටියක් දාන්නම ඕනි අම්මේ  '

මල්ලි මෙහෙම කිව්වා ' තාත්ති මට අයිස්ක්‍රීම් අරන් දෙන්න ඕනි "

මේ කතාව දුරදිග යන්න කලින් හිටගෙන හිටි තාත්තා සිය පැටවූ  දෙන්නගේ මුවපොඩි  දෙක අතින්  වසා ගත්තා . ඒ වෙනකොටත් භීෂණයේ භීතිය යන්තමින්  තිබ්බා. මිනිහෙක් මළාම  සතුටු වීම අශෝබන වුනත් රටේ තිබ්බ පීඩනය හා ජන මනස්වල තිබිච්ච  අසහනය පිටවුනේ එහෙම තමයි. 

2023 මැයි  01

අද නැගිට්ටේ පරක්කු වෙලා . ඊයෙ  සාදයේ සැර  වැඩිකමට නින්ද  ගියා  . කල්පිටි වෙරළේ ඇවිද්දා. ඊයේ  හවස ගිය ධීවරයෝ එහෙන් මෙහෙන් එනවා . එච්චර සරු අස්වැන්නක් නෑ . ධීවරයෝ මුහුදු ගියාට අදත්   කොළඹ මැයි රැලි. අවිනිශ්චිතතාවය , ආර්ථිකයේ අනාරක්ෂිත බව අවුරුදු තිහකට කලින් වගේම තමයි. 

එනගමන් නොරෝච්චෝලේ පැත්තටත් ඔලුව දාලා ආවා. මෙගාවොට් තුන්සියේ විදුලි ජනක තුනකින් දවසකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් දවමින්  රටට බලශක්තිය  දෙන රටේ ලොකුම බලාගාරය. 1993 වෙනකොටත්  රටේ බලශක්ති සැපයුම පිලිබඳ මහා සැලසුම් තිබුනා. ජයිකා ආධාරවලින් හදන්න තිබ්බ ගල් අඟුරු බලාගාරේ මාවැල්ලෙන් , සාම්ම්පුර්වලට, සාම්පුර්වලින් නොරෝච්චෝලේට වගේ තල්ලු වෙමින්  ගිහින් අන්තිමේ හෙන ගානක් වියදම් කරලා චීන ණයකින් හදා ගන්න තැනට රට පත් කළේ කවුද? මේ සියලු දේ ගැන ඉදිරි සටහනකින් සවිස්තරව කතා කරමු .

 මොනා උනත් දැන්නම් නොරොච්චෝලේ බලාගරේ පුළුවන් උපරිමෙන් රටට විදුලිය සපයනවා. ඒත් කෝකටත් තයිලය වගේ තියෙන්නේ මේක විතරක් වුනාම මොනා හරි වෙලා නොරොච්චෝලේ කැඩුනොත් රටටම විදුලිය  කපන්න වෙනවා. වෙන රටවල ඒ  වගේ වෙලාවට බල ගන්වන බැකප් බලාගාර  තියෙනවා.අපට නැහැ.  ළඟ කාලේක  ඉදි කිරීමක් පේන්නත් නෑ . බලශක්ති අර්බුදේ වගේම අනෙක් අර්බුද ගැනත් විසඳුමක්  පෙන්න නෑ 

අවුරුදු තිහකට කලින් තිබ්බ සැලසුම් විරහිත, සුන්දර රටේ සිදුවෙමින් ඇති එකම වෙනස අපි වයසට යාම විතරයි.   

මේ අවුරුදු  තිහෙන් විසිතුනක් සැලසුම් ඉංජිනේරුවෙක් වෙලා හිටි  මගේ රස්සාව ගැන තව දුරටත් පම්පෝරි ගහන්න බෑ  . ඒත් මේ අවුරුදු තිහම දේශපාලනේ හිටි කිසිම කෙනෙකුට මේ ගැන කම්පාවක් ඇති වගකුත් පෙන්න නෑ