Sunday, November 14, 2021

මළ ඉලව් ලිෆ්ට් එක



ස්සර ලංකාවේ ඉක්මනින්ම ඉහළට යන්න  පුළුවන් ජොබ් එකක් තිබ්බා. ඒ තමයි විදුලි සෝපාන ක්‍රියාකරු. මුල් කාලේ තිබ්බ හැම ලිෆ්ට් එකකම වාගේ ක්‍රියා කරවන්නෙක් හිටියා. පහු පහු වෙනකොට මේක තනියම කරගෙන යන්න පුළුවන් විදිහට හුදී ජනයා හුරු පුරුදු උනාම ලිෆ්ට් ක්‍රියාකරුගේ රස්සාව ඕනෑ  නැති උනා.  කොච්ච්ර දියුණු ආරක්සක ක්‍රම තිබ්බත් මට නම් ලිෆ්ට් වල යන්න පොඩි චකිතයක් තියෙනවා තාමත් . 

ඒකට හේතුව තමයි බම්බලපිටියේ පිහිටි තට්ටු ගොඩනැගීල්ලකදී මා  ඉහළ  යමින් හිටි ලිෆ්ට් එකක හිර වීම. එය තට්ටු හතේ  ගොඩනැගිල්ලක්. බිම් මහලින් තුන්වන තට්ටුවට යාමට පිවිසුණු මාව තුන්වෙනි මහලේ නවත්වා ගන්නේ නැතිව  විදුලි සෝපානය අකීකරු ලෙස  පහළට  ගියා  . යලි උඩට ගියා  . ඉන්පසු කිසිම වග විබාගයක්  පෙන්නුම් නොකර විදුලි පුවරු  ඔක්කොම නිවී ගියා. මම කලබල වුනු පාර සීනුව ඔබාගෙනම සිටියා.

විනාඩියෙන් විනාඩිය චකිතය තීව්‍ර  වූ අතර අවසානයේ මම බය වෙන්නට පටන් ගන්නවාත් සමගම මට හඬක් ඇහුනා. 

"කවුද ඇතුලේ ඉන්නේ? කලබල වෙන්න එපා. අපි ඉක්මණින්  ඔයාව එළියට  ගන්නවා   " . මම ලහි ලහියේ උත්තර දුන්නේ මගත් අස්වැසිල්ලකින් . මොහොතකින් මගේ කටහඬ හඳුනා ගත් ගොඩනැගිල්ලේ නඩත්තු කාර්මිකයෙකු . "මහත්තයා විනාඩි දෙක තුනක් ඉවසලා ඉන්න. බය වෙන්න එපා. අපි ඉක්මනට ලිෆ්ට් එක පහලට අරන් දොර අරිනවා ' කියා කි නිසා  මගේ බය තරමක් තුනී වෙලා ගියා වුනත්, සෝපානයේ සරල ක්‍රියාකාරිත්වය ගැන කියවා තිබ්බත් මේකෙන් මාව එලියට ගන්න බැරි වේදෝයි කියන බයකුත්  නොතිබුනා නොවෙයි . තවත්  විනාඩි හතරකින් විතර සෝපාන  දොර අරුණා . මම එලියට ආවේ  බිම් මහලෙන්. සෝපාන දොරේ යතුරක් හා අඬුබඩු  සෙට්  එකක් අතැතිව සිටි අපේ නඩත්තු ශිල්පියෙක් පෙරටු කොටගත්  අපේ මුළු කාර්යාලයේ සියලුම දෙනා එළියේ හිටියා .

මේ සිද්දියෙන් පසු මම හැකි සෑම  විටම විදුලි සෝපාන මග හැරියා . තට්ටු තුන හතර තරප්පු දීගේ බඩගෑවා . ලිෆ්ට් එකට ගොඩ වුනේ කවුරුවත් හිටියොත් පමණයි . විදෙස් රටක හෝටලයක් හෝ නවාතැනක් සොයාගැනීමේදී මම පළමු හෝ දෙවැනි තට්ටුවලට ප්‍රමුඛතාව දුන්නා .

ඔය සිද්දිය වී ටික කලක් ගියාට පස්සේ මම ඉන්දියාවේ දිල්ලි නුවරට ගිහින් හිටියේ වෙනත් රටක්  බලා  පිටත් වීමට. ඒ රටේ   තානාපති කාර්යාලයක් ලංකාවේ   නොතිබුන නිසා නවදිල්ලි නුවර අදාල  තානාපති කාර්යාලයට යන්නට සිදු වුනා . නවාතැන  දිල්ලියේ අජන්තා හෝටලේ.  ගුවන්යානයේදී හමු වූ මගේ පරණ සරසවි මිතුරෙක්ද මා බලන්නට හවස හෝටලේට ආවා .  ඔහු මිතුරු වෙට් දොස්තර  විජිත . අර අලි ගැන අලි පොතක් ලියපු අලි දොස්තර තමයි ඒ.  ඔහු පහුවදා කාශ්මීරයේ  සමුළුවකට යන්න වෙනත් හෝටලයක නතර වී සිටියා .  හැන්දෑවේ මා නතර වී හිටි හෝටල් කාමරයට පැමිණි ඔහු සමග රූෆ්ටොප් එකේ තිබුණු අවන්හලේ වාඩි  වී බීර වීදුරුවක් තොල ගෑවා. වැඩිය ලිෆ්ට් පාවිච්චියට අකමැති මම මගේ මිතුරා ලොබියේදී පිළිගෙන මගේ කාමරයට කැටුව  ගියේ තරප්පු පෙළ දිගේ. එතැන් සිට බිර බොන්නට රුෆ් ටොප් එකට ගියෙත් තරප්පුව නගිමින්. ඒත් අපි සාදය අවසානයේ  පහලට යන්නට ගොඩ වුනේ ලිෆ්ට් එකට .

මගේ කාමරය තිබුන  තුන්වැනි තට්ටුවෙන් බැසීමට සෝපාන බොත්තම එබුවාම විදුලි සොපානය හරියටම  තුන්වන තට්ටුවට ගොස්  නතර වුනා . එත් ලිෆ්ට් එකේ දොර ඇරෙන්  නෑ . අපි මොකද කරන්නේ? ආයේ බොත්තම එබුවා බිම් මහලට යන්න .බිම් මහලට  ගිහින් නතර වුනා. දොර ඇරෙන්  නෑ .පුංචි වීදුරු කවුළුවක් සෝපාන දොරේ තියෙනවා . ඈත කවුන්ටරය පෙනෙනවා. අපි දොරට තට්ටු  කළා . කාටවත් ඇහෙන්නේ නෑ . අත  වැනුවා. ඒ පුංචි කවුළුව දිහාට කාගේවත් අවදානය යොමු වුනේ නෑ . ආයෙම උඩම තට්ටුවට ගියා.  තුන්වැනි තට්ටුවට ගියා. කව්රුහරි එළියෙන් ඇවිත් හරි දොර ඇරියොත් හොඳයි කියලා නොසොල්මනේ හිටියා. මා මිත්‍ර අලි දොස්තරගේ  මුණත්  බෙරි   වෙලා. අලියට පෑගිච්ච ලන්තෑරුමක්  වගේ. මගේ මුණ තිබ්බ හැටි විජිතගෙන්මයි   අහ ගන්න වෙන්නේ. 

පස්සේ ආයෙම බිම් මහලට ගියා. සෙනග අඩු හෝටලේ කව්රුත් විදුලි සෝපානය ලඟට එන්නේ නෑ . හදිසි  සීනුව ගැහුවා ගැහුවා. හඬක් නෑ . ප්‍රතිචාරයක් නෑ .  පලවෙනි පාර ලිෆ්ට්එහෙක  හිරවුණු සිද්දිය මතක් වුනා .මේ පාරනම් තනියම නෙවෙයි  තව එකෙක් ඉන්නවනේ කියලා හිතුනා. "උඹ ආවේ නැත්තනම් මට මෙහෙම එකක් වෙන්නේ නෑනේ" මම  මිත්‍රයාට විහිලු කළා. දෙන්නම වියරුවෙන් වගේ හිනා වුනා.   එත් මේක ලේසි කෙලියක් නෙවෙයි . මේ යක්කු එකෙක්වත් ලඟට එන්නේ නෑනේ  කියලා මම පයින් පාරක් දුන්නා සෝපාන දොරට . මෙන්න බොලේ දොර අරුනා. පස්සේ බැලින්නම් ඒ දොර ස්වයන්ක්‍රීයව ඇරෙන එකක් නෙවෙයි . අතින් තල්ලු කරලා අරින්න ඕනි පරණම පන්නයේ එකක්. දවල් හෝටලයට මුලින්ම එද්දී සේවකයෙක් මා සමග බෑගය රැගෙන  ආ නිසා ලිෆ්ට් එකේ  දොර ඇරෙන විදිහ මට නෝටිස් වෙලා තිබ්බේ නෑ.

 ඔය සිද්දි දෙකටම කලින්   අපි  කොළඹ කොටුවේ තිබ්බ රජයේ  මණ්ඩලේක  ප්‍රධාන කාර්යාලෙට ගියේ ටෙන්ඩරයක් බාර දෙන්න. ටෙන්ඩර් ලියකියවිලි  එක්ක  අඩි පහක් හයක්   උස යකඩ බ්‍රැකට් එකක් දෙන්න ඕනි සාම්පලයක් හැටියට . දැන් ටෙන්ඩර් මිටියයි යකඩ සාම්පලෙයි  දාගෙන ගොඩනැගිල්ලට  ගියාම මෙහෙම උපදෙසක් දුන්නා .

" හත්වැනි තට්ටුව ඒ කියන්නේ උඩම තට්ටුවේ තමයි ටෙන්ඩර් බාර ගන්න කන්තෝරුව තියෙන්නේ. සාම්පලෙයි ලියකියවිලියි එතෙන්ට දෙන්න" .

ඒ ගොඩනැගිල්ලේ ඒ කාලේ තිබ්බේ අරුම පුදුම විදුලි සෝපානයක්. තාමත් තියෙනවද මන්ද?  . නතරවීමක් නැති , දොරක් නැති තිස්සෙම එක පැත්තකින් හෙමින් ඉහලට යන තවත් පැත්තකින් පහලට එන සංසාර චක්කරේ වගේ ලිෆ්ට් එකක් .   ඉතිං  මේ නතර නොවී ගමනේ යන ලිෆ්ට් එකට  සීරුවෙන් නගින්ට ඕනි. තව සෙනග රොත්තක් ඉන්නවා පොර කකා. ඔක්කොටම හපන් අපේ යකඩ සාම්පලේ. අමාරුවෙන් ඇළ  කරලා, බැනුම් අහලා  පටවා ගත්තා. .හරියට  බස් එකේ ෆුට් බෝට්  එකට ට්‍රන්ක පෙට්ටියක් අරං නගින්නැහෙ  අපිත් එල්ලුනා දුවන ලිෆ්ට් එකට. අවාසනාවන්ත සිද්දිය වුනේ  අන්තිම තට්ටුවේ බහින්න යනකොට. සදාචල ලිෆ්ටුවෙන් ජනීජනයා කඩිමුඩියේ බැහැගත්තත් අපට මේ යකඩ සාම්පලෙත් එක්ක හරි ජංජාලයක් වුනා.  ලියකියවිලි මිටිය අරන්  අපි දෙන්නෙක් බැහැ  ගත්තා වුනත් යකඩ සාම්පලේ සමග ඔට්ටු වෙමින් සිටි තෝමස්ට බහින්න බැරි වුනා. අනේ ඔහු අර අඳුරු කුටීරය තුලට ඇදී ගියේ අපි බලා ඉද්දීමයි.

ටෙන්ඩරේ දෙන වෙලාව සම්පුර්ණ වෙන්න ඔන්න මෙන්න  කියල අපට නිච්චියක් තිබ්බේ නෑ . තෝමස්ට මක් වෙයිද කියල විපිළිසර වෙමින් සිටි අප ලඟට ආ ආරක්ෂක නිලධාරියා කිව්වේ. ' එයා අර පැත්තේ පහලට එන  ලිෆ්ට් එකෙන් දැන් එයි එහෙන් ගන්න' කියල. 

විනාඩියකට විතර පස්සේ දොර  නැති ලිෆ්ට් එක අනිත් පැත්තෙන් පල්ලම් බහිනවා. යකඩ සාම්පලේ අපට  පේනවා. එත් තෝමස් නෑ . අපිට හීන් දාඩිය දැම්ම. පස්සේ ලිෆ්ට් එක තට්ටුවටම පාත් උනාම තමයි දැක්කේ තෝමස් බිම දණගහගෙන මුණ වහගෙන අඬනවා  . අපි  මිනිහවයි යකඩෙයි  එලියට ඇදලා ගත්තා. දියෙන් ගොඩට ගත්තු මාලුවෙක් වගේ තෝමස් ගැහෙනවා.

භාරදීමට නියමිත වෙලාවට වඩා විනාඩි තුනක ප්‍රමාදයක් නිසා අපේ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුනා . 

මේ වෙච්ච අලකලංචිය අපේ ලොක්කාට කියන්නේ කොහොමද කියා හිතමින් ඒ ගැන කතාකරමින්  ආපසු එන ගමන් තෝමස්ගේ  කන්කෙන්දිරිය ඇහුණා .  

' මහත්තයා එක අතකට වාසනාවට  තමයි ඔය ටෙන්ඩරේ අපට හම්බුන් නැත්තේ . නැත්නම් අර මළ ඉලවු ලිෆ්ට් එකේ තව කි පාරක් නගින්න වෙනවද අපිට  " 

Image Source: Toonpool

Tuesday, October 19, 2021

මැවිසුරු ගැමුණු සිල්වා සමග පොහොර හැදූ හැටි



මිට තෙමසකට පෙර වරලත් ඉංජිනේරු ගැමුණු සිලවාගේ වියෝවෙන් පසු ඔහු ගැන මා ලියු සටහන සමකාලින බොහෝ හිත මිතුරන් කියවා තිබුණු අතර ඒ කාලේ ඔහු සමග එක්ව රාජකාරි කළ  කිහිප  දෙනෙක් අදහස්  තිබුණි . මම ඔහු යටතේ රාජකාරිය  කලේ 1995 වසරේ මැද   සිට 1997 අවුරුද්දේ අග භාගය දක්වා වුවද ඉන් දිගු කලක් යනතුරු හරියටම කියානවානම් 2020 අවුරුද්දේ අග භාගය දක්වා ඔහු ගැන සෙවිල්ලෙන් හිටියෙමි. මගේ ලෝකයේ රෝල් මොඩල් එකක් වූ ඔහු හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ජීවිතය ගැන මට කියන්නට බොහෝ දේවල් තිබේ. 

කලකට පෙර මා ලියු අඹ විජේලාගේ කතාවද සර් කියලා කියාපන් කතාවේ සමහර කොටස්ද එහිදී ලද අත්දැකීමකි .මේ තවත් එවන් මතක සටහන් කිහිපයකි 

වරක් ලහි ලහියේ පැලියගොඩ මධ්‍යම වැඩපලට පැමිණි ගැමුණු සිල්වා එහි සිටි ලාබාලම ඉංජිනේරුවන් දෙදෙනා වූ පාලිතත් මාත් වාහනයේ  පටවාගෙන ; "යමල්ල මරු වැඩක් තියෙනවා බලන්න:" කියා කිව්වෙ. 

පරණ යකඩ ඉස්ටෝරු, කර්මාන්ත ශාලා හා කන්ටේනර් පර්යන්ත  අතරින් ඇදී  ගිය වහනය සුවිසල් ගබඩා සංකීර්ණයකට ඇතුළු විය. පැරණි බළකොටුවක තිබුණු පන්නයේ මහා විශාල යකඩ දොරටුවක් මදක් ඇර  තිබු නිසා ඒ  විශාල තහඩු ගොඩනැගිල්ලකට ඇතුළු වීමට අපට හැකි විය. 

එය  රසායන පොහොර මිශ්‍රණ කර්මාන්ත ශාලාවකි . යන්ත්‍ර සුත්‍ර තිබ්බේ දැවැන්ත ශාලාවේ  පසුපස අර්ධයට වෙන්නටය.  ඉදිරිපස තැන තැන  පොහොර ගොඩ ගසා තිබුණි. ඒ අතර යුහුසුළු  සේවකයන් දහ පහළොස් දෙනෙක් පොහොර ගොඩවල් දෙකෙන් වෙන වෙනම ගෙනා පොහොර සවල්වලින් එකතු  කරමින් මිශ්‍ර කරමින් සිටිති . සුදුකැට , රතුකැට , කළුකැට 

එසේ මිශ්‍ර කරනා පොහොර තවත් කිහිප  දෙනෙක් බෑග් වලට පුරවා ළඟ තිබ්බ තරාදියෙන්  කිරති . ඒ දවස්වල ප්‍රචාරය වූ වෙළඳ දැන්වීමක රට  පොහොර ගැන ප්‍රචාරය වුනේ මෙසේය '

"නවීන පරිඝණක  තාක්ෂණයෙන්, ස්වයංක්‍රීය  යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කර ඔබ වෙත එන අහවල් පොහොර" . 

පාලිතත්  මමත් නවීන පොහොර කවලම් කරන ස්වයංක්‍රිය මිනිස් යන්ත්‍ර දෙස  උපහාසාත්මකව බල බලා සිටියේ තරමක් ඈතට වෙලාය. ඒ අපේ අලුත්  ඇඳුම් සුට්වල දුවිලි තවරෙන්නට ඉඩ තිබුණු බැවිනි . 

මොහොතකින් අපට අප  කැටුව ආ මහා හුරා හෙවත්  ගැමුණු බොස්ට  වුනේ මොකක්දැයි හිතා ගන්නට බැරි විය. මේ දැන් මෙතන සිටි ඔහු ආගිය අතක් නැත . අවසානයේ අපට ඔහු දැකගත හැකි වුනේ පොහොර යන්ත්‍රාගායේ උඩටම නැග සිය සටහන් පොතේ මොනවාදෝ කඩිමුඩියේ ලියමින් සිටියදිය . අපට වඩා අවුරුදු විසිපහකටත් වඩා වයසැති මේ පැසුණු ඉංජිනේරුවා  අට්ටාල හා , දිග බෙල්ට් අතරින් රිංගා  යද්දී බලා සිටින්නට ලැජ්ජා  සිතුනු අපි දෙදෙනාද සර්කස්කාරයන් මෙන් යකඩ ඉනිමං  වල එල්ලී එල්ලී ගොස්  මුළු කර්මාන්තශාලාවම  දැක බලා ගත්තෙමු 

සටහන් පොත කිහිල්ලේ  ගසාගෙන දෑතින් දෑත  පිස දමමින් අප වෙත ආ ගැමුණු බොස්   කිව්වේය. 

' දැන් මේකයි අපි කරන්න ඕනි. මේ යන්ත්‍ර සුත්‍ර ඔක්කොම එහෙන්  මෙහෙන් කැඩිලා පරණ වෙලා වැඩ කරන්නේ නෑ . ඒ අස්සේ මේකේ අයිතිකාරයන්ට ඕනි ෆැක්ටරියම  ඔටෝමේට් කරන්න . දැන් මේ හදන්නේ ඒ ගැන වාර්තාවක් හදන්න"

ඒ වැඩේ ඉන් එහාට ගියාදැයි මම හරියටම දන්නේ නැතත් . ගැමුණු සිල්වා යනු ඉතා ප්‍රයෝගික ක්‍රියාශීලි  ඉංජිනේරුවෙක් බව පසක් වුයේ ඔහු අර යන්ත්‍ර සුත්‍ර නිරීක්ෂණය කල යුහුසුළු විලාශයෙනි . 

ඉංජිනේරු සංස්ථා සේවයෙන් ඉවත් වුවාට පසු මට ඔහු හමු වී ඇත්තේ දෙතුන්වරකි .

පළමු වරට මම ඔහුට දුරකතනයෙන් කරන ලද ඇරයුමක් පිළිගනිමින් අපේ සමාගමේ හඳුනවා දීමේ උත්සවයට ආවේය.එදා ඔහු කතා කලේ තාක්ෂණ, පර්යේෂණ සැලසුම් හැදීම හා ක්‍රියාත්මක කිරීම ගැනය . රාජ්‍ය  අංශයෙන් පිටත සිටින පුද්ගලයන්ට පර්යේෂණ හා නවෝත්පාදන කිරීමට සුදුසු මධ්‍යස්ථානයක් බිහි කිරීමේ උත්සාහය අගය කළ  ඔහු එහෙත් මේ වැඩේ හරි බිස්නස් මොඩල් එක එහෙම  නැත්නම් මුදල් උපයමින් පවත්වාගෙන යෑමේ  ක්‍රමෝපාය අපැහැදිලි බවද කිව්වේය. 

තවත් වාසර කීපයකට පසු මට අපේ බැචෙකු වූ බන්ධුල කරුනාරත්නත් සමග තවත් අලුත් වැඩක් පටන් ගන්නට සිතුණි  . වැඩේ මෙහෙමය. ලෙඩවලට බෙහෙත් ගන්නට චැනල් සෙන්ටර් තිබෙන්නාක් මෙන් ඉදිකිරීම් අංශයේ සියලු උපදෙස් හා සේවා ලබා දීමට චැනල් සෙන්ටර් එකක් දැමීමය. අපේ සිහිනයේ හැටියට මේ ආයතනයේ කාමර දහයක් පහළොවක් තියේ . එකක ගොඩනැගිලි  සැලසුම් ඉංජිනේරුවෙක් සිටි, අනෙකේ වරලත් විදුලි ඉංජිනේරුවෙක් සිටි තවෙකක සැලසුම් ශිල්පින්ය, තව එකක ඇස්තමේන්තු හදන්නෙකි, ඉඩම් සැලසුම් හා නඩු ගැන උපදෙස් දෙන තවත් තැනෙකි. මේ ආදී සකලවිධ ඉදිකිරීම් උපදෙස් සේවා සියල්ල ලබාගෙන පිටව යන කෙනෙකුට අන්තිමේදී හාඩ්වෙයාර් එකක්ද තිබේ . ඇත්තෙන්ම අපි එවැන්නක් පටන්ගත්තෙමු . බර වියදම් දැරුවේ බන්ධුලය .එහි නිල ආරම්භක උත්සවයට එන්නැයි ඇරයුම් කරන්නට  එවකට නාගරික සංවර්ධන  අධිකාරියේ සබාපතිවරයා වූ විද්‍යාජෝති ගැමුණු  සිල්වා හමු වීමි  . මහේශාක්‍ය කාමරයක විශාල මේසයක කෙළවර  සුපුරුදු සිනහව දාගෙන සිටි ඔහු මා සතුටින් පිළිගත්තේය .

' ඉතින් ඉතින් කොහොමද උඹලගේ වැඩේ ? ඔහු ඇසුවේය "

" ඒක  හෙමින් කරගෙන යනවා බොස් . මම ජොබ් එකකුත් කරනවා . තව අපේ පොඩි වැඩක් තියෙනවා බොස් ලබන සෙනසුරුදා උදේ දහයට . පොඩ්ඩක් ඇවිල්ලා යන්න පුලුවන්ද?

' මම ලබන සෙනසුරාද කොළඹ නෑනේ  බං . ඉතින් මේ ගමන උඹල මොකක්ද කරන්න යන්නේ ?"

 මම අපේ කතාව කිව්වෙමි ඉදිකිරීම් චැනලින් සෙන්ටර් එක . ඔහු මදක් කල්පනාකාරී විය. මුහුණේ ප්‍රසන්න පෙනුමක් මතු විය. 

' මේක හොඳ අදහසක්. ඒත්  අදහසක් හොඳ වෙච්ච පලියට සාර්ථක වෙන්නේ නෑ . ඉස්සෙල්ලම හොයල බලපන් ඔය වගේ දෙයක් කරන්න උත්සහ කරපු වෙන කවුරු හරි ඉන්නවද කියල. නැතිනම්  බලපන් කවුරුවත් ඔහොම දෙයක් නොකළේ ඇයි කියල. ඔහොම කලින්  අත්දැකීම් නැති දෙයක් කරන්න ඕනි ටික ටික පරිස්සමින් . මමනම් කියන්නේ ඉස්සෙල්ලා අදායම ලැබෙන පාඩු වෙන් නැති ඔය හාඩ්වෙයාර් කෑල්ල වගේ එක දාලා ටික ටික අනිත් වැඩ පටන් ගනිල්ලා '

ඔහුගේ දැනමුතුකම්  ඉතා ප්‍රායෝගික ඒවා බව අපට පසක් වුයේ තරමක් පහු වෙලාය. 2001දී පටන්ගත්    තාක්ෂණ පර්යේෂණ හබ්  එක හරි හමන් බිස්නස් මොඩලයක් නොතිබියෙන් 2003 දී , බිස්නස් අරමුණක් තිබෙන මෘදුකාංග හා වෙබ් සැලසුම් සමාගමක් ලෙස හරවා පවත්වාගෙන යන්නට හැකි  විය . එය දැන් දහඅට හැවිරිදි   තරුණ සමාගමකි. 

මගේ යාලුවා ඉදිකිරීම් සේවා චැනලින් සෙන්ටර් එක හාඩ්වෙයාර් එකක් බවට මුලින් හරවා ණයතුරුස්  ගෙවා දැම්මේය . ඔහු අද සාර්ථක ගොඩනැගිලි සේවා ඉංජිනේරු සේවා සමාගමක් පවත්වාගෙන යයි .

ඉංජිනේරු ගැමුණු සිල්වා යනු  විශේෂයෙන්  හැදෑරිය යුතු  වටිනා චරිතයකි .  මේ ඔහුගේ ජිවිතයේ කුඩා පැතිකඩක් මගේ නිරීක්ෂණයට අසු වූ ආකාරයයි  .ඔහුගේ පරිණත  අත්දැකීම්වලින් ,  සමහර උපදෙස්වලින්   ඉංජිනේරු විද්‍යාවට, ව්‍යාපාර කළමනාකරණයට පමණක් නොව රාජ්‍ය පාලනයට පවා ගත හැකි පාඩම් ඇතැයි මට  සිතේ 

Photo Source: ugaoo.com

Monday, July 5, 2021

ගැමුණු සිල්වාට නම කියා කතා කළ නවක ඉංජිනේරුවා


මිට අවුරුදු විසි පහකට පෙර  මා රස්සාව කළේ ඉංජිනේරු සංස්ථා සමාන්‍යධිකාරි විද්‍යාජෝති ගැමුණු සිල්වාගේ කාර්යාලයට යාබදව පිහිටි ඔහුගේ  සහයක බලකා කොටසේය. තේජාන්විත තනතුරක් හෙබවූ මුළු රටේම සුපතල වරලත් ඉංජිනේරු ගැමුණු සිල්වාට බාල මහලු සියලුදෙනා  ඇමතුවේ ' සර්; කියා හෝ ගැමුණු බොස් කියලාය. ඔය කාලයේම පිට රට විශ්ව විද්‍යාලයක ඉගෙනගත්   නවක  ඉංජිනේරුවෙක් අප සිටි කාමරයේ වාඩි  කෙරෙව්වේ ගැමුණු බොස් විසින්මය . ඒත් මේ නවක ඉංජිනේරුවා ගැමුණු බොස්ට   'ගැමුණු' කියා ඇමතුවේය .  කාර්යාලයේ සෙසු සියලු  දෙනා මේ කොලුවා කරන මේ "බරපතල වැරැද්ද" ගැන කෝප ගත්හ . ඔහු නිවැරදි මගට ගන්නට උත්සහ ගත්හ . ඒත්  ගැමුණු බොස් ඒ වගක් සත පහකට ගණන් ගත්තේ නැත . තමන්ට නම කියා කතා කරන මේ අලුත් ඉංජිනේරු කොල්ලා සමග කොම්පියුටර් ප්‍රෝග්‍රෑම්  ගැන කතා කළේය .ඩිජිටල් කැමරා ගැන කතා කළේය .

නොබෝදා දිවියෙන් සමුගත් ඉංජිනේරු ගැමුණු සිල්වා දියුණු මිනිසෙකු ලෙස මා දකින්නේ ඒ නිසා පමණක් නොවේ . ඇත්ත වශයෙන්ම ගැමුණු සිල්වානම්  ශුර ඉන්ජිනේරුවාගේ හැබෑ චරිතය  ආචාර්ය කුලසිංහගේ දැවැන්ත ප්‍රතිරූපය නිසාත් ගැමුණු සිල්වාට කරන්නට පැවරුණු රජයේ රාජකාරි වන මාලිගාවිල පිළිමය කෙලින් සිටුවීම, දළදා මාලිගාවේ රන් පියස්ස්ස ඉදි කිරීම , මිරිසවැටිය දාගැබ පිළිසකර කිරීම වැනි  කටයුතු කීපයක් ඉස්මතු වීම නිසාත් යටපත් වී ගොස් ඇති බව මට සිතේ . 

ඒ කාලයේ  පරිගණක  සාක්ෂරතාව සහිත අවුරුදු පනස් ගණන් වයසේ  ඉන්ජින්නේරුවන් සිටියේ අතලොස්සකි. එහෙත් ඔහුට හොඳින් පරිගණක හැසිරවිය හැකි වූ අතර , මිරිසවැටි දාගැබ, ගල් විහාරයේ යකඩ පියස්ස ආදියේ ත්‍රිමාණ සැලසුම් ඔහු අන්දවාගෙන සිය පරිඝනක තිරයෙන් බල බලා යම් යම් වෙනස්කම්  කරන හැටි මා දැක තිබේ . 

1995 වුරුද්දේ   දිනෙක ඔහු පළමුවරට මට මුහුණට මුහුණ හමු විය . ඒ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අලුත් ඉංජිනේරුවන් බඳවා  ගන්නා ඉන්ටවිව් එකකදීය .හරියටම කියනවානම්  දෙවැනි ඉන්ටවිව් එකේදීය . මුල් ඉන්ටවිව් එකට අයදුම් කරුවන් සියයක් පමන සිටි අතර ඉන්ටවිව් බෝඩ් එකෙත් සෑහෙන දෙනෙක් සිටියත් ඉන් කිසිවෙක් ගැන මා දැන  සිටියේ නැත . ඒත්  දෙවන ඉන්ටවිව් එකට තේරුණු අපි දහ  පහළොස් දෙනා ඉන්ටවිව් කරන්නට සංස්ථා ජෙනේරල් මැනේජර් ගැමුණු සිල්වා සිටියේය. විෂය දැනුමට අමතරව විෂය  භාහිර කුසලතා ගැනද ඔහු විමසුවේය.  මා විද්‍යා පත්තරේකට ලියන බව දැනගත් ඔහු දිගින් දිගටම ඒ ගැන හාරා  අවිස්සුවේය. කැළණි පාලමේ අලුත්වැඩියාව , දහයියාවලින් ගඩොල් හැදීම, බයිසිකලේ ජනප්‍රිය කිරීම ආදී එක එක මාතෘකා ගැන උනන්දුවෙන් කතා කළ  ඔහු කිව්වේ ඊළඟ  සතියේ දිනෙක පැමිණ ඔහුව හමුවන ලෙසය .

ඊට සතියකට පසු  මම ඔහු හමු වුනෙමි . ඔහු මට තම කන්තෝරු කාමරයට  යාබද කොටසේ තිබු පරිගණකයක් පෙන්නුවේය. "මේ තියෙන්නේ පෙන්ටියම්  අලුත් කොම්පියුටරයක් , ඔටෝකැඩ්  අලුත්ම වර්ෂන් එක දාලා තියෙන්නේ පොඩ්ඩක් බලාපන්". ඒ කාලේ අලුත්ම අලුත් තාක්ෂනයන් වූ මේ කොම්පියුටරය හා ඉංජිනේරු සැලසුම්  ඇඳීමේ මෘදුකාංගයට ආධුනිකයෙක් වූ මම විෂ්මපත්ව කීබෝඩය අතපත ගාමින් සිටිද්දී ගැමුණු බොස් කොහේදෝ සිට  යලි කඩා පාත් වුයේ ' Mastering  AutoCAD 12' නම් පිටු බරගානක  පොතක්ද රැගෙනය . 

"හරි ඔතන තමයි උඹේ රස්සාව . ඔය පොත කියවපන් . ඔය සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගනින්" . 

එතැන් සිට සතියක් පමණ නොදන්නා මෘදුකාංගයක් එකෙළ  මෙකෙල කරමින් පොත පෙරලමින් ඉගෙන ගන්නට උත්සහ කලෙමි.  මට ලැබී ඇත්තේ රස්සාවක්ද පුහුණුවක්ද නොදත්තෙමි . යකඩ අට්ටාල, ටැංකි , දාගැබ් පිළිසකර කිරීම් ආදී වැඩ රාශියක සැලසුම් පරිගණකයේ  තිබිණි . ගැමුණු බොස් වරින් වර පැමිණ කුමක් හෝ කියා දෙයි. ඔහු කිව්වේ  ඒ වනවිට ලංකාවේ ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින් සීමිත පිරිසක් පාවිච්චි කරන මේ ශිල්පය පෑලියගොඩ වැඩබිමට හඳුන්වාදිය යුතු බවයි .  ඊට අවස්තාව එළඹෙනතුරු මා කොළඹ හුණුපිටිය පාරේ සංස්ථා ප්‍රධාන කාර්යාලයට වී ඉගෙන ගත යුතු බවය .

ඔහොම දින කීපයක් යද්දී මට මට ලංකාවේ සුපතල ඉදිකිර්ම් සමාගමක ලොක්කෙක්ගෙන් ඇමතුමක් ලැබිණි . 

"ඔයා ජි එම්  ගාව ඉන්න අලුත් ඉන්ජිනියර්  නේද?. අපිට ජී එම්  මහත්තයා කිව්වා  ඔයා ගැන . ඔයාට කියල අපේ ටෙක්නිකල් ස්ටාෆ් එකට  පොඩි ට්‍රේනින් එකක් කර ගන්න ඕනි  ඔටෝකැඩ්  ගැන  " . 

' අනේ මම තාම මේ පුරුදු වෙනවා විතරයි. උගන්නන තරම් දැනුමක් නෑ '

" එහෙම කියන්න එපා ගැමුණු මහත්තයා  කිව්වා ඔයාට මේ වැඩේ පුළුවන් කියල. ඔන්න නොවරද්දා ලබන සෙනසුරාදා ඉඳන් දිගටම එන්න . අපි හොඳට ගෙවනවා ' කි ඔහු දුරකථනය තැබුවේය .

එදා හවස්වරුවේ ගැමුණු බොස් කන්තෝරුවට ආ විට මම මේ අකරතැබ්බය ගැන කිව්වෙමි . 

' බොස් මම උගන්නන්නේ කොහොමද මට  තාම මේකෙන් මොකුත් වැඩක් කරගන්න බෑනේ? '

' මේකයි බං . උඹට තාම හරියට පඩියකුත් හම්බ වෙන්නේ නෑ . ඉතින් සති අන්තේ ටියුෂන් එකක් කරලා ගානක් හොයා ගත්තට කමක් නෑ . උඹ සතිය පුරා ඔය පොත බල බලා ඔටෝකැඩ්  ඉගෙන ගනින් . සති අන්තේ පැය දෙකක් උගන්නපන් . ඕක කරන්න පුලවන්. "

ඒ වචන ටිකෙන් දිරිමත් වූ මා එතැන් සිට ඔටෝකැඩ්  නම් පරිගණක මෘදුකාංගය ඉගෙන ගනිමින් උගන්වන්නට පටන් ගත්තෙමි. මේ නිසා මගේ ජීවිතය වෙනස්ම මගකට හැරුණි. 

ඉන්පසු මගේ ජිවිතයේ මග පෙන්වන්නෙකු වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා පිලිබඳ මතක සටහන් රාශියක් තිබේ . ඒවා කෙටි සටහන් ලෙස මෙසේ  ලියමි  

සංවිධානයක් කියන්නේ ජීවියෙක් 

පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා මධ්‍යම වැඩබිමේ කළමනාකරුව සිටි ජයසිංහ මහතා විශ්‍රාම ගන්නා දින විද්‍යාජෝති ගැමුණු සිල්වා අපුරු  කතාවක් කිවේය 

"ඉංජිනේරු සංස්ථාව කියන්නේ පණ  තියෙන ජීවියෙක්. ජයසිංහ මතතයාලා මේකේ ලේ නහර, අඬුපඬු  විහිදිච්ච තැන ගැන දැනගෙන හිටියා . ඉතින් මේ ජීවියාගේ වෙනස්කම් කරන්නනම් ඒ ගැන හොඳින් තේරුම්ගෙන ඉන්න ඕනි . මේක හොඳ කණ්ඩායමක් එකතු වෙලා මහන්සියෙන් හදා ගත්ත ජිවත් වෙන සංවිධානයක්. මේකේ අඩුපාඩු දුර්වලකම් ඕනි තරම් තියෙනවා .අලුතින් එන කෙනෙකුට මේක උඩුයටිකුරු කරලා හදන්න ඕනි කියල හිතෙයි. ඒත්  ජිවත්වන අඬු දඬු මහත් වෙච්ච, විහිදිච්ච ජීවියෙක්  එක රැයින්  පෙරළි  කරලා  හදන්නබෑ ."

හැමදේම  ඉක්මණින් කඩාබිඳ අලුතින්ම නිර්මාණය කිරීමේ වුවමනාවකින්  සිටි අලුතින් පත් වී ආ කළමනාකාරවරයාද, ඒ ආකාරයේම හදිස්සියක් තිබු මාද   මේ කතාව සාවධානව අසා පිරිස අතර විය. 

මහා  බැංකුවේ බැරියර් ගේට්ටුව 

අනූව  දශකයේ මැද මහබැංකුවට එල්ල වූ  එල් ටී  ටී  ඊ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බොහෝ රජයේ ආයතනවල ආරක්ෂාව තර කෙරිණි . ඒවා ඉදිරිපිට බැරියර් ගේට්ටු සවි කරන්නට පැවරුනේ ඉංජිනේරු සංස්ථාවටය. රාජගිරියේ මහබැංකු පුහුණු ආයතනෙය් බැරියර්  ගේට්ටුව සවි කරන්නන්ට මට පැවරිණි . ගේට්ටුව බැලන්ස් කිරිල්ලක් හෝ එසවූ ගේට්ටුව යලි පහත  කරන්නේ කෙසේද යන්න ගැන නොසිතා සංස්ථාවේ තිබු ශක්තිමත්ම යකඩ බට හා රේල් පිලි පාස්සා තනා තිබු මේ ගේට්ටුව සවි කරාට පසු ආපසු පාත් වුනේ නැත . අපි හින් දාඩිය දාගෙන මේ බටය පාත් කරන්න දඟලමින් තැක්  ගැහි ගැහි සිටිද්දී පාර අයිනේ නවතා තිබු කාරයකට හේත්තු වී  වී අප දෙස බලා සිටින උසැති පුද්ගලයා පාරේ ලයිට් එළියෙන්  මම හඳුනා ගතිමි . ඒ  සංස්ථා සාමාන්‍යාධිකාරි ගැමුණු සිල්වාය .  මම ඔහු සිටි තැනට ගියෙමි. මා ආ වගක් ගණන් නොගෙනම ඈත සේවක පිරිස ගේට්ටුව සමග ඔට්ටු වෙන සැටි බලා සිටියේය . ඉන් පසු හඬ අවදි කළේය. 

" මෙහෙම වැඩක් වෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ .  මෙතනින් යනකොට සංස්ථාවේ ක්රේන්  එක තියෙනවා දැක්කා . ඒකයි  නතර කළේ . මම බලා හිටියා  උඹලගේ වැඩේ. ඕක හරි යන්නේ නෑ . දැන් සද්ද නොකර ඔය බැරියර් එක ගලවලා ගෙනාපු ලොරියේම පෑලියගොඩට  පටවාගෙන පලයන්. නැත්නම් වස ලැජ්ජාවයි වෙන්නේ. ඊට පස්සේ දවස් කීපයක් අරගෙන, ගණන් හදල , බර අඩු කරලා , කණු දෙකක රඳවලා ට්‍රයල් කරලා බලපල්ලා . ඊට පස්සේ  ගෙනල්ල හයි කරපල්ලා"' කි ඔහු වහා  පිටත් වී ගියේය . 

( Photo : SEC Facebook)

- ඉතිරි කොටස  -

Saturday, June 12, 2021

වසංගත මැද්දෙන් දෝතට ආ මැහුම්කාරිය

 

මන් ලියපු පොතක් ගැන කතා කරමින් සිටි මගේ මිතුරියක් ඊයේ මෙසේ කිව්වාය. " අලුතින් ලියපු පොත ගැන පබ්ලිසිටියක් දෙන්නවත් හිතෙන්නේ නෑ  මොකද මිනිස්සුන්ට මේ දවස්වල තියෙන ප්‍රශ්න කන්දරාව ගැන හිතෙනකොට . මිනිස්සු ලෙඩරෝග එක්ක , ආර්ථික ප්‍රශ්න එක්ක අරගල කරද්දී අපි පොත් ගහල විකුණන්න  යන එක වැරදියි වගේ මට හිතෙනවා "  මම ඈට  දුන් කෙටි පිළිතුර තව ටිකක් දිග හැර  මෙසේ ලියමි . 

මේ දවස්වල  අලුතින් නිර්මාණයක්  කරන එක මොන තරම් අමාරු වුනත් එහෙම දෙයක් කරන එක  ජිවිතයක් බේරා ගන්නවා තරම්ම වටිනවා. මිනිස්සු මානසික ආතතියෙන් පෙළෙනවා. අපේක්ෂා භංගත්වයෙන් පෙළෙනවා . මිනිසුන්ට ජිවත් වීමේ අපේක්ෂා ආයෙත් දල්වන්න පුළුවන් වෙන්නේ කලාවටයි . ඉතින් අලුත් පොත් බිහි වෙන එක මොන තරම් හොඳද ? අලුත් සින්දුවක්, අලුත් කෙටි කතාවක් , අලුත් නාට්‍යයක්  ලියන්න ඕනි තරම් වස්තු බිජ මේ අමුතු පරිසරයේ දළුලනවා . 

මනුස්සකම ගැන , බෙදා හදා ගැනීම ගැන , මිනිස් ගතිගුණවල ඇති අපුර්වත්වය ගැන වගේම කෘර කම ගැන ලියන්න අත්දැකීම් වැඩියෙන් ලැබෙන කාලයක් මේක. පොත් විකිණීම ඉතාමත්ම අඩු වුනත්  තත්ත්වය තරමක් හෝ සාමාන්‍ය වුන ගමන් මිනිස්සු පොත් ගනීවි කියල මම හිතනවා . එහෙම නැත්නම් සයිබර් අවකාශයේ මාද්යවලින් කියවාවි. එක පැත්තකින් දේශපාලනය ගැන , සමාජ අසාධාරනකම් ගැන, වසංගතයෙන් බේරෙන එක ගැන වගේම ආර්ථිකය  පවත්වා ගැනීම ගැන කරදර වෙන ගමන්ම මානව සමාජයේ මෘදු අවශ්‍යතා සපුරන්න වෙනවා . සාහිත්‍ය කලාව තියෙන තැනෙන් ඉහළට  අරන් යන උත්සාහය අත  අරින්න බැරි ඒ නිසයි.

පසුගිය මාස පහලවක් තිස්සේ  මගේ ජිවිතේ දුෂ්කරම හා අභියෝගාත්මක  කාලය.  මටත් මගේ ව්‍යාපාර සගයා මහින්දටත්  තිබ්බ ගැටලුව අපට ජිවත් වෙන එක නෙවෙයි. අපේ කුඩා  සමාගම් දෙකක ස්වක පිරිසගේ රස්සා රැක  ගන්න එක . රෑ  මැදියම් වෙනකම්  වැඩ කරලා අපි ඒ දේ කළා . අපිට මහා ශක්තියක් වෙච්ච අපේ කාර්ය මණ්ඩලය මේ සියල්ල තේරුම් ගනිමින්     පඩි ප්‍රමාද වීම් දරා ගනිමින් අනගි සහයක් ලබා දුන්නා .  අපි අලුත් ව්‍යාපාර ඉසව් හොයන්න වරු ගණන් කතා කරා. සමහර ඒවා සාර්ථක වුනා .

ඉතින්   මේ සියලල  අතරේ මම  පරිවර්තන කටයුත්තකුත් හමාර  කළා .මම දන්නවා ඉස්සරහ එන මාස කීපය කලින්ටත් වඩා අභියෝගාත්මකයි. දුෂ්කරයි . ඒත්  ඒ සියල්ලට මුණ දෙන ගමන් තව පොතකුත් ලියන්න හිතා  ගත්තා .  ඒ  ගැන පස්සේ කියන්නම්. 


මේ තියෙන්නේ මගේ පළමු පරිවර්තන කෘතිය ගැන කෙටි හැඳින්වීමක් :

රොසලි හැම්  විසින් ලියා මීට විසි වසරකට පෙර පළ  කරන ලද Dressmaker නවකතාවේ පළමු සිංහල පරිවර්තනය මෙයයි . ඇගේ  කතාවට පාදක වන්නේ ඉනුත් වසර පණහකට  එපිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටියායැයි ඇයම සිතින් මවා ගත් නගරයක ජන ජීවිතයයි. මේ කතාව  එක අතකින් හාස්‍යජනක  පළිගැනීමේ මෙහෙයුමක් පළිබඳ   වන අතර අනෙක් අතින් අතිශය සියුම් මනෝභාවයන් ගැන කතා කරන, ගරා වැටෙන පැරණි නිවෙසක හුදෙකලාව දුක් විඳින පවුලක  ශෝකාන්ත ගහන කතාන්තරයකි. 

 මේ පොත අලෙවි වාර්තා තැබුවක් වුවද එය ලේඛිකාවගේ පළමු නවකතාවයි. අනෙක් අතට මේ පොත අනුසාරයෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයේ ප්‍රධාන  භුමිකාවට පණ  පෙව්වේ  ලෝ පතල සුරූපී නිලි කේට්  වින්ස්ලට් ය. බොක්ස්  ඔෆීස්  වාර්තා තබමින් තිරගත වූ  චිත්‍රපටය ජගත් සම්මානයට පාත්‍ර විය . එය එසේ වන්නට හේතු විය හැක්කේ  පොත ලියා ඇත්තේ සිනමාපටයකට මනාව ගැලපෙන පසුතල පිලිබඳ චිත්ත රූප මවමින්  හා  තිර රචනා   විලාශයකින් වීමයි 

ලේඛිකාවගේ ආධුනික, නිදහස් හා හිතුවක්කාර නිර්මාණ  විලාශය පොතට අමුතු වටිනාකමක් එකතු කර තිබේ . එහෙන් මෙහෙන් පටලවමින් විටෙක නාටකීය ස්වරුපයෙන් ඉදිරිපත් කෙරෙන කතාවට  සමාජ විද්‍යාත්මක, වෘත්තීය හා මනෝ විද්‍යාත්මක කරුණුද  ඈ පරිණත ලෙස අමුණා ඇත.   ප්‍රේමය හා  පුද්ගල බැඳීම් රසවත්ව ලියන ගමන්ම ඈ  සිය රටේ ගතානුගතික සමාජයේ ඕලාරික පසුගාමිත්වයට හා අසත්පුරුෂ බාවයට  අභියෝග කරයි. 

********

තව සති කීපයකින් හැමදේම මිට වඩා තරමක් හෝ යහපත් වනු ඇතැයි  සිතන අතර ඒ හා සමගම අලුත් පොතද ඔබ අතට පත් කරන්නට බලා සිටිමු