නොබෝදා දිවියෙන් සමුගත් ඉංජිනේරු ගැමුණු සිල්වා දියුණු මිනිසෙකු ලෙස මා දකින්නේ ඒ නිසා පමණක් නොවේ . ඇත්ත වශයෙන්ම ගැමුණු සිල්වානම් ශුර ඉන්ජිනේරුවාගේ හැබෑ චරිතය ආචාර්ය කුලසිංහගේ දැවැන්ත ප්‍රතිරූපය නිසාත් ගැමුණු සිල්වාට කරන්නට පැවරුණු රජයේ රාජකාරි වන මාලිගාවිල පිළිමය කෙලින් සිටුවීම, දළදා මාලිගාවේ රන් පියස්ස්ස ඉදි කිරීම , මිරිසවැටිය දාගැබ පිළිසකර කිරීම වැනි කටයුතු කීපයක් ඉස්මතු වීම නිසාත් යටපත් වී ගොස් ඇති බව මට සිතේ .
ඒ කාලයේ පරිගණක සාක්ෂරතාව සහිත අවුරුදු පනස් ගණන් වයසේ ඉන්ජින්නේරුවන් සිටියේ අතලොස්සකි. එහෙත් ඔහුට හොඳින් පරිගණක හැසිරවිය හැකි වූ අතර , මිරිසවැටි දාගැබ, ගල් විහාරයේ යකඩ පියස්ස ආදියේ ත්‍රිමාණ සැලසුම් ඔහු අන්දවාගෙන සිය පරිඝනක තිරයෙන් බල බලා යම් යම් වෙනස්කම් කරන හැටි මා දැක තිබේ .
1995 වුරුද්දේ දිනෙක ඔහු පළමුවරට මට මුහුණට මුහුණ හමු විය . ඒ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අලුත් ඉංජිනේරුවන් බඳවා ගන්නා ඉන්ටවිව් එකකදීය .හරියටම කියනවානම් දෙවැනි ඉන්ටවිව් එකේදීය . මුල් ඉන්ටවිව් එකට අයදුම් කරුවන් සියයක් පමන සිටි අතර ඉන්ටවිව් බෝඩ් එකෙත් සෑහෙන දෙනෙක් සිටියත් ඉන් කිසිවෙක් ගැන මා දැන සිටියේ නැත . ඒත් දෙවන ඉන්ටවිව් එකට තේරුණු අපි දහ පහළොස් දෙනා ඉන්ටවිව් කරන්නට සංස්ථා ජෙනේරල් මැනේජර් ගැමුණු සිල්වා සිටියේය. විෂය දැනුමට අමතරව විෂය භාහිර කුසලතා ගැනද ඔහු විමසුවේය. මා විද්‍යා පත්තරේකට ලියන බව දැනගත් ඔහු දිගින් දිගටම ඒ ගැන හාරා අවිස්සුවේය. කැළණි පාලමේ අලුත්වැඩියාව , දහයියාවලින් ගඩොල් හැදීම, බයිසිකලේ ජනප්‍රිය කිරීම ආදී එක එක මාතෘකා ගැන උනන්දුවෙන් කතා කළ ඔහු කිව්වේ ඊළඟ සතියේ දිනෙක පැමිණ ඔහුව හමුවන ලෙසය .
ඊට සතියකට පසු මම ඔහු හමු වුනෙමි . ඔහු මට තම කන්තෝරු කාමරයට යාබද කොටසේ තිබු පරිගණකයක් පෙන්නුවේය. "මේ තියෙන්නේ පෙන්ටියම් අලුත් කොම්පියුටරයක් , ඔටෝකැඩ් අලුත්ම වර්ෂන් එක දාලා තියෙන්නේ පොඩ්ඩක් බලාපන්". ඒ කාලේ අලුත්ම අලුත් තාක්ෂනයන් වූ මේ කොම්පියුටරය හා ඉංජිනේරු සැලසුම් ඇඳීමේ මෘදුකාංගයට ආධුනිකයෙක් වූ මම විෂ්මපත්ව කීබෝඩය අතපත ගාමින් සිටිද්දී ගැමුණු බොස් කොහේදෝ සිට යලි කඩා පාත් වුයේ ' Mastering AutoCAD 12' නම් පිටු බරගානක පොතක්ද රැගෙනය .
"හරි ඔතන තමයි උඹේ රස්සාව . ඔය පොත කියවපන් . ඔය සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගනින්" .
එතැන් සිට සතියක් පමණ නොදන්නා මෘදුකාංගයක් එකෙළ මෙකෙල කරමින් පොත පෙරලමින් ඉගෙන ගන්නට උත්සහ කලෙමි. මට ලැබී ඇත්තේ රස්සාවක්ද පුහුණුවක්ද නොදත්තෙමි . යකඩ අට්ටාල, ටැංකි , දාගැබ් පිළිසකර කිරීම් ආදී වැඩ රාශියක සැලසුම් පරිගණකයේ තිබිණි . ගැමුණු බොස් වරින් වර පැමිණ කුමක් හෝ කියා දෙයි. ඔහු කිව්වේ ඒ වනවිට ලංකාවේ ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින් සීමිත පිරිසක් පාවිච්චි කරන මේ ශිල්පය පෑලියගොඩ වැඩබිමට හඳුන්වාදිය යුතු බවයි . ඊට අවස්තාව එළඹෙනතුරු මා කොළඹ හුණුපිටිය පාරේ සංස්ථා ප්‍රධාන කාර්යාලයට වී ඉගෙන ගත යුතු බවය .
ඔහොම දින කීපයක් යද්දී මට මට ලංකාවේ සුපතල ඉදිකිර්ම් සමාගමක ලොක්කෙක්ගෙන් ඇමතුමක් ලැබිණි .
"ඔයා ජි එම් ගාව ඉන්න අලුත් ඉන්ජිනියර් නේද?. අපිට ජී එම් මහත්තයා කිව්වා ඔයා ගැන . ඔයාට කියල අපේ ටෙක්නිකල් ස්ටාෆ් එකට පොඩි ට්‍රේනින් එකක් කර ගන්න ඕනි ඔටෝකැඩ් ගැන " .
' අනේ මම තාම මේ පුරුදු වෙනවා විතරයි. උගන්නන තරම් දැනුමක් නෑ '
" එහෙම කියන්න එපා ගැමුණු මහත්තයා කිව්වා ඔයාට මේ වැඩේ පුළුවන් කියල. ඔන්න නොවරද්දා ලබන සෙනසුරාදා ඉඳන් දිගටම එන්න . අපි හොඳට ගෙවනවා ' කි ඔහු දුරකථනය තැබුවේය .
එදා හවස්වරුවේ ගැමුණු බොස් කන්තෝරුවට ආ විට මම මේ අකරතැබ්බය ගැන කිව්වෙමි .
' බොස් මම උගන්නන්නේ කොහොමද මට තාම මේකෙන් මොකුත් වැඩක් කරගන්න බෑනේ? '
' මේකයි බං . උඹට තාම හරියට පඩියකුත් හම්බ වෙන්නේ නෑ . ඉතින් සති අන්තේ ටියුෂන් එකක් කරලා ගානක් හොයා ගත්තට කමක් නෑ . උඹ සතිය පුරා ඔය පොත බල බලා ඔටෝකැඩ් ඉගෙන ගනින් . සති අන්තේ පැය දෙකක් උගන්නපන් . ඕක කරන්න පුලවන්. "
ඒ වචන ටිකෙන් දිරිමත් වූ මා එතැන් සිට ඔටෝකැඩ් නම් පරිගණක මෘදුකාංගය ඉගෙන ගනිමින් උගන්වන්නට පටන් ගත්තෙමි. මේ නිසා මගේ ජීවිතය වෙනස්ම මගකට හැරුණි.
ඉන්පසු මගේ ජිවිතයේ මග පෙන්වන්නෙකු වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා පිලිබඳ මතක සටහන් රාශියක් තිබේ . ඒවා කෙටි සටහන් ලෙස මෙසේ ලියමි
සංවිධානයක් කියන්නේ ජීවියෙක්
පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා මධ්‍යම වැඩබිමේ කළමනාකරුව සිටි ජයසිංහ මහතා විශ්‍රාම ගන්නා දින විද්‍යාජෝති ගැමුණු සිල්වා අපුරු කතාවක් කිවේය
"ඉංජිනේරු සංස්ථාව කියන්නේ පණ තියෙන ජීවියෙක්. ජයසිංහ මතතයාලා මේකේ ලේ නහර, අඬුපඬු විහිදිච්ච තැන ගැන දැනගෙන හිටියා . ඉතින් මේ ජීවියාගේ වෙනස්කම් කරන්නනම් ඒ ගැන හොඳින් තේරුම්ගෙන ඉන්න ඕනි . මේක හොඳ කණ්ඩායමක් එකතු වෙලා මහන්සියෙන් හදා ගත්ත ජිවත් වෙන සංවිධානයක්. මේකේ අඩුපාඩු දුර්වලකම් ඕනි තරම් තියෙනවා .අලුතින් එන කෙනෙකුට මේක උඩුයටිකුරු කරලා හදන්න ඕනි කියල හිතෙයි. ඒත් ජිවත්වන අඬු දඬු මහත් වෙච්ච, විහිදිච්ච ජීවියෙක් එක රැයින් පෙරළි කරලා හදන්නබෑ ."
හැමදේම ඉක්මණින් කඩාබිඳ අලුතින්ම නිර්මාණය කිරීමේ වුවමනාවකින් සිටි අලුතින් පත් වී ආ කළමනාකාරවරයාද, ඒ ආකාරයේම හදිස්සියක් තිබු මාද මේ කතාව සාවධානව අසා පිරිස අතර විය.
මහා බැංකුවේ බැරියර් ගේට්ටුව
අනූව දශකයේ මැද මහබැංකුවට එල්ල වූ එල් ටී ටී ඊ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බොහෝ රජයේ ආයතනවල ආරක්ෂාව තර කෙරිණි . ඒවා ඉදිරිපිට බැරියර් ගේට්ටු සවි කරන්නට පැවරුනේ ඉංජිනේරු සංස්ථාවටය. රාජගිරියේ මහබැංකු පුහුණු ආයතනෙය් බැරියර් ගේට්ටුව සවි කරන්නන්ට මට පැවරිණි . ගේට්ටුව බැලන්ස් කිරිල්ලක් හෝ එසවූ ගේට්ටුව යලි පහත කරන්නේ කෙසේද යන්න ගැන නොසිතා සංස්ථාවේ තිබු ශක්තිමත්ම යකඩ බට හා රේල් පිලි පාස්සා තනා තිබු මේ ගේට්ටුව සවි කරාට පසු ආපසු පාත් වුනේ නැත . අපි හින් දාඩිය දාගෙන මේ බටය පාත් කරන්න දඟලමින් තැක් ගැහි ගැහි සිටිද්දී පාර අයිනේ නවතා තිබු කාරයකට හේත්තු වී වී අප දෙස බලා සිටින උසැති පුද්ගලයා පාරේ ලයිට් එළියෙන් මම හඳුනා ගතිමි . ඒ සංස්ථා සාමාන්‍යාධිකාරි ගැමුණු සිල්වාය . මම ඔහු සිටි තැනට ගියෙමි. මා ආ වගක් ගණන් නොගෙනම ඈත සේවක පිරිස ගේට්ටුව සමග ඔට්ටු වෙන සැටි බලා සිටියේය . ඉන් පසු හඬ අවදි කළේය.
" මෙහෙම වැඩක් වෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ . මෙතනින් යනකොට සංස්ථාවේ ක්රේන් එක තියෙනවා දැක්කා . ඒකයි නතර කළේ . මම බලා හිටියා උඹලගේ වැඩේ. ඕක හරි යන්නේ නෑ . දැන් සද්ද නොකර ඔය බැරියර් එක ගලවලා ගෙනාපු ලොරියේම පෑලියගොඩට පටවාගෙන පලයන්. නැත්නම් වස ලැජ්ජාවයි වෙන්නේ. ඊට පස්සේ දවස් කීපයක් අරගෙන, ගණන් හදල , බර අඩු කරලා , කණු දෙකක රඳවලා ට්‍රයල් කරලා බලපල්ලා . ඊට පස්සේ ගෙනල්ල හයි කරපල්ලා"' කි ඔහු වහා පිටත් වී ගියේය .
( Photo : SEC Facebook)
- ඉතිරි කොටස -