Photo-Sunday Times
පේරාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි. බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ 'කාඩ්' එකක් වදිනමුත් සරසවි නෙවාසිකාගාරවල නාමයන් චිරාත්කාලයක් නොවෙනස්ව පවතී. රාමනාදන් ශාලාව නාදන් එක ලෙසත් අරුණාචලම් ශාලාව අරූ එක ලෙසත් සංඝමිත්තා ශාලාව මිත්තා එක ලෙසත් ඇතැම් විට කෙටිකර ගත්තත් අනික් සෑම විටම ඒවායේ මුල් නමින්ම හැඳින්වේ. මේවා නිල වශයෙන්ම නම්කොට ඇත්තේ සුවිශේෂ පුද්ගල නාම වලිනි . මෙකී පුද්ගලයන්ගේ චරිත කතාත් අපේ රටේ පළමු ස්වාධීන සරසවිය ඉදි කර ගැනීම සඳහා ඔවුන් කළ අරගලයත් ගැන පසුගිය සතියේ තොරතුරු හොයන්නට උත්සහ කලෙමි . එසේ සොයා බලද්දී මා ඉදිරියේ චිත්‍රණය වුනේ ඒ යුගයේ උත්සහවන්ත උගතුන් අතර තුබූ ජාතික සමගියේ කතාවයි. ඔවූන්ගේ කතාව 19 වන සියවසේ ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ කතාවයි. විචාර බුද්ධියෙන් යුතු දේශීය උගතුන් බිහි වීමේ කතාවයි. සමහරුන්ට පෙනුනේ ඔවුන් හුදෙක් රදල කළු සුද්දන්, නිර්ධන පන්තියට එරෙහි වූ ධනපතියන්, නැතිනම් බටහිර ගැති ව්‍යාජ උගතුන් ලෙසිනි . ඒ නිසාමදෝ මොවුන්ගෙන් අපට ලැබුණු වටිනාකම් ගැන සරසවි ජීවිත කාලය පුරාමත් ඉන් පිට වුවාට පසුවත් කිසිවෙක් කතා නොකළහ . මේ අපට පෙරාදෙණියේදීත් ඉන් පිටතදීත් සිදු වූ ලොකු වැරැද්දක් කියා සිතමි.
මුස්ලිම් ජාතික නීති විශාරදයෙක් වූ විනිසුරු එම් ටී අක්බාර්, බර්ගර් ජාතිකයෙක් වූ දොස්තර අන්ද්රියාස් නෙල් , සිංහල දානපතිනියක් වූ හිල්ඩා ඔබේසේකර , සිංහල ජන නායකයන් හා උගතුන් වූ ඩී.ආර්. විජේවර්ධන හා සර් ඩී බී ජයතිලක , පළමු ශ්‍රී ලාංකික වැඩබලන ආණ්ඩුකාරයා වූ සර් ජේමිස් පීරිස් , වයිද්යවරයෙක් වූ සර් මාර්කස් පර්නාන්දු , බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් මාස් , දෙමල ජාතික නායකයන් හා උගතුන් වූ රාමනාදන් හා අරුනාචලම් දෙසොහොයුරන් මේ පිරිසයි. මේ සියලු දෙනාම පාහේ ලංකාවෙන් එපිට ලෝකය ගැන අත්දැකීම් ලබා තිබුණහ. ඉගෙනීමේ අති දස්කම් පෑහ. මේ රටේ ස්වාධීන සරසවියක් බිහි කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළහ.
ආර්ථික ශක්තියෙන්, උගත් කමෙන් හා දේශපාලන බලයෙන් ඉදිරියෙන් සිටි මේ ප්‍රභූ පිරිස නිදහස ලැබෙන්නට පෙර සුදු ජාතික පාලකයින්ට සෑහෙන දුරට බලපෑමක් කරන්නට සමත් පිරිසක් වුහ. ඔවුන්ට වන්දනාමාන කරන්න ඕනෑ නැතිමුත් ඒ චරිත කතාවලින් උගත යුතු බොහෝ ධනාත්මක දේ තිබේ . මේ ඔවුන් ගැන කෙටි සටහනක්. දීර්ඝ තොරතුරු එකතු කරමින් සිටිමි.
විනිසුරු එම් ටී අක්බාර්
පේරාදෙනි ඉංජිනේරු පීඨයට යාබදව පිහිටා ඇති අක්බාර් ශාලාවේ ජීවත් වූ බොහෝ සිසුන් නොදන්නා පුද්ගලයක් ගැනයි මේ කියන්නේ. ඔහු නමින් විනිසුරු එම් ටී අක්බාර්ය .
ඉංජිනේරුවෙකු වන්නට කේම්බ්‍රිජ් සරසවියට ගිය ඔහු අන්තිමේ ඉන් පිටවුනේ නීතිවේදියෙකු ලෙසිනි. 1880 ඉපිද 1944දී මිය ගිය ඔහු අපේ රටෙන් බිහි වූ කීර්තිමත්ම නීතිවේදියෙකි. මෙරට සොලිස්ටර් ජෙනරාල්වරයා වශයෙන්ද ව්‍යවස්ථාදායක සභාවේ සාමජිකයෙකු වශයෙන්ද කටයුතු කළ ඔහු 1928දී දුම්බර මිටියාවතේ ස්වාධීන විශ්ව විද්‍යාලයක් පිහිටවිය යුතු බවට නිර්දේශ කළ විශ්වවිද්‍යාල කමිටුවේ සබාපතිවරයාය.
දොස්තර අන්ද්රියාස් නෙල්
සිංහල හා දෙමල භාෂාවලින් අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ වරම් හිමි විය යුතු බවටත් අපේම විශ්ව විද්‍යාලයක් ලබා දිය යුතු බවටත් ඉංග්‍රීසි ආණ්ඩුවට බලපෑම් කළ බර්ගර් ජාතික විද්වතෙකු වූ ඔහු නමින් වූ නේවාසිකාගාරය පිහිටා ඇත්තේ අක්බාර් ශාලාවට යාබදවය.
1937 දී ලකා රාජ්‍ය සභාව වෙත ජෝජ් ඊ ද සිල්වා විසින් මරට විශ්ව විද්‍යාලය අරුප්පොල ප්‍රදේශයේ පිහිටුවිය යුතු බවට ඉදිරපත් වූ යජනාවට විරුද්ධ වු දොස්තර අන්ද්රියාස් නෙල් ඇතුළු පිරිස පැවසුවේ එය පේරාදෙණියේ පිහිටවිය යුතු බවය.
හිල්ඩා ඔබේසේකර
Phot-pdn.ac.lk
ඇය නමින් වූ සුවිසල් නේවාසිකාගාරය පේරාදෙණි සරසවි බිමේ මහවැලි ගඟට යාවූ මනරම් තැනිතලා භූමියක ඉදි වී ඇත. සුප්‍රකට සරත්චන්ද්‍ර එළිමහන් රඟහල පසුකලක ඉදිවුණු එම නේවාසිකාගාර මායිමේය.
අරුණාචලම් හා රාමනාදන් සොහොයුරෝ
pdn.ac.lk
මෙරට සමාජයට සුවිශාල මෙහෙවරක් කළ දෙමල ජාතිකයෝ තිදෙනෙක් වෙති. ඒ පොන්නම්බලම් අරුණාචලම් ,පොන්නම්බලම් රාමනාදන් හා ආනන්ද කුමාරස්වාමි යන තිදෙනාය .1814 දී යාපනේ මනිපායිහිදී උපන් ඒ. පොන්නම්බලම්ගේ පුතනුවන් දෙදෙනා අරුනාචලම් හා රාමනාදන්ය . ඔහුගේ ඤාති පුත්‍රයා ආනන්ද කුමාරස්වාමිය. 'මධ්‍ය කාලීන සිංහල කලා' නමින් සිංහලට නැගුණු ඔහු ලියු පොත සමස්ත දේශයම ලද අමිල තිළිණයකි .
අරුණාචලම් හා රාමනාදන් දෙසොහොයුරන් නමින් පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර දෙකක් තිබෙන අතර ඒවායේ වසර ගණනක් ජීවත් වූ දහස් ගණනක් සරසවි සිසුහු මේ දෙදෙනා ගැන වැඩි යමක් නොදනිති .
අරුනාචලම් (1853-1924) මෙරට බිහි වූ කීර්තිමත් උගතෙකි . 1875දී සිවිල් සේවයට එක් වූ මුල්ම ලාංකිකයන් පිරිසට ඔහුද ඇතුළත් වීය . විධායක සබාවේ හා ව්‍යවස්ථාදායක සබාව යන දෙකේම සාමාජිකයකු වූ ඔහු අපේම විශ්ව විද්‍යාලයක් බිහි කර ගැනීම සඳහා මහගු සේවයක් කළේය. ඔහුගේ සොයුරු පොන්නම්බලම් රාමනාදන් 1879දී ව්‍යවස්ථාදායක සබාවට නිල නොලත් නියෝජිතයෙකු ලෙස පත් වන්නේ දෙමල ජනතාව නියෝජනය .කිරීමටයි. එහෙත් එතැන් සිට ඔහු ක්‍රියාකළේ සියලු ජාතීන්ගේ නියෝජිතයක් මිස තනිකර දෙමල ජනතාව සඳහා පමණක් නොවන බව ඒ කාලයේ දේශපාලන ඉතිහාසය හාරා අවුස්සන ඕනෑම කෙනෙකුට තේරුම් යනු ඇත .
කොළඹ විශ්ව විද්‍යාල කොලිජියේ පළමු විදුහල්පති රොබර්ට් මාස්
pdn.ac.lk
පේරාදෙනි සරසවියේ හන්තාන පාමුල කඳු ගැටයක ඉදි වුණු මාස් ශාලාව එනම් ලැබුවේ කෙසේදැයි බොහෝ දෙනෙක් නොදනිති. 1921 වසරේදී කොළඹ පිහිටුවූ විශ්ව විද්‍යාල කොලීජියේ පළමු විදුහල්පති ලෙස පත් වී ආවේ මහාචාර්ය රොබර්ට් මාස්ය. මේ කොලීජියෙන් උපාධි ලබා දුන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නමිනි. මේ රටේම විශ්ව විද්‍යාලයක් බිහි කර ගැනීමට අපේ නායකයන් කළ අරගලයට මාස්ගේ සහයද ලැබුණු නිසා ඔහු වෙනුවෙන් සරසවි නේවාසිකාගාරයක් නම් වී ඇත .ජේමිස් පීරිස් , මාකස් ප්‍රනාන්දු , ඩී බී ජයතිලක හා ඩී ආර් විජේවර්ධන යන නිදහස් සටනේ නායකයන් මෙන්ම අපේම සරසවියක් බිහි කර ගැනීම උදෙසා සටන් කළ පුද්ගලයන් වෙනුවෙන්ද පේරාදෙනි සරසවියේ නේවාසිකාගාර නම් කර තිබෙනවා. ඔවුන් පිලිබඳ තොරතුරු ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.