Monday, August 31, 2026

ඇන්ටාක්ටිකාවේ සවාරියක් ගිය මිතුරා



මේ දිනවල මා සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි නගර ආශ්‍රිතව පෞද්ගලික ගමන් බිමන් කිහිපයක නිරත වෙමිනි. මා සමඟ සිටින හිතමිතුරන් තස්මේනියාවට යන සංචාරයක් ගැන කතා කරමින් සිටි එක් අවස්ථාවක මගේ සිතට හදිසියේම වෙනත් ප්‍රශ්නයක් ආවේය.

ලෝක සිතියමේ ඕස්ට්‍රේලියාවට දකුණින් තිබෙන ඇන්ටාක්ටිකාව බලන්න අපට යන්න බැරිද?

සිතියම දිගහැර බැලූ විට මුලින්ම මා පුදුමයට පත් කළේ දුර ප්‍රමාණයයි. මෙල්බර්න් සිට බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය දක්වා ගුවන් දුර කිලෝමීටර් 2,700ක් පමණය. මෙල්බර්න් සිට ඇන්ටාක්ටිකාවේ ඕස්ට්‍රේලියාවට ආසන්න වෙරළ කලාප දක්වා ඇති දුරද කිලෝමීටර් 3,000කට ආසන්නය.

එනම් මෙල්බර්න් සිට පර්ත් බලා බටහිරට යන දුරට ආසන්න දුරක් දකුණට ගියහොත් අපට හමුවන්නේ තවත් ඕස්ට්‍රේලියානු නගරයක් නොව, මා ලෝකයේ විස්මිතම භූමි ප්‍රදේශයක් ලෙස දකින ඇන්ටාක්ටිකාවයි.

සිතියම දෙස තවදුරටත් බලන විට මේ ගමනේ මැද තවත් හුරුපුරුදු නමක් හමුවෙයි. ඒ තස්මේනියාවයි. මෙල්බර්න් නුවරින් දකුණට ගිය විට ඔස්ට්‍රේලියාවට අයත් තස්මේනියා දූපතත්, එතැනින් තවත් දකුණට ගිය විට මහා දකුණු සාගරයත්, ඒ සාගරයෙන් එහා ඇන්ටාක්ටිකාවේ සුදු පැහැති භූමියත් හමුවෙයි.

ඒ නිසා තස්මේනියාව මට පෙනෙන්නේ ඕස්ට්‍රේලියාවත් ඇන්ටාක්ටිකාවත් අතර ඇති අවසාන විශාල ගොඩබිම් නැවතුමක් මෙනි.

ඕස්ට්‍රේලියාවේ සිට ඇන්ටාක්ටිකාව ගුවනින් නරඹා නැවත පැමිණෙන විශේෂ සංචාර පවා ඇති බව සොයා බැලීමේදී මට දැනගන්නට ලැබිණි. ගොඩබැසීමකින් තොරව පැය ගණනක් අයිස් කඳු, ග්ලැසියර සහ සුදෝසුදු මහද්වීපයේ විශාලත්වය අහසේ සිට නරඹා නැවත ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

මේ අතර ගිය සතියේදීම කළ   වෙනත් කතාබහකදී ඉතාලියේ සිටින අපේ හිතවතියක් උතුරු ධ්‍රැවය ආශ්‍රිත සංචාරයකට යන බව කී විට ධ්‍රැව ප්‍රදේශ පිළිබඳ මගේ කුතුහලය තවත් වැඩි විය.

“ආපහු ආවම විස්තර ටික ලියා එවන්න,” මම ඇයට කීවෙමි.

අප සාමාන්‍යයෙන් උතුරු හා දකුණු ධ්‍රැව දෙකම එකම ආකාරයේ හිම ලෝක දෙකක් ලෙස සිතුවත් ඒ දෙක අතර අපූරු වෙනසක් තිබේ. උතුරු ධ්‍රැවය පිහිටි ආක්ටික් කලාපයේ පාදම , ගොඩබිමක් නොව අයිස් තට්ටුවකින් වැසුණු සාගරයකි. ඇන්ටාක්ටිකාව එසේ නොවේ. එය දැවැන්ත ගොඩබිමක් මත ඝන අයිස් තට්ටුවකින් වැසුණු සැබෑ මහද්වීපයකි.

එහෙත් ඇන්ටාක්ටිකාව රටක් නොවේ.

එයට ජනාධිපතිවරයෙක් නැත. පාර්ලිමේන්තුවක් නැත. ස්ථිර පුරවැසියෝද නැත. රටවල් කිහිපයක් එහි භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් හිමිකම් ප්‍රකාශ කර තිබුණද, ඇන්ටාක්ටික් ගිවිසුම් පද්ධතිය යටතේ මහද්වීපය සාමකාමී භාවිතය සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සුවිශේෂී ලෙස ආරක්ෂා කර තිබේ.

ඒ නිසාම මට එය පෙනෙන්නේ  කාටවත් සින්නක්කර  අයිති නැති නිසාම මුළු මනුෂ්‍ය වර්ගයාටම  අයත් වටිනා ස්වභාවික පර්යේෂණාගාරයක්ලෙ සය.

ඇන්ටාක්ටිකාව පිළිබඳ මේ කුතුහලය අවුළුවන්නට පිදුරු මිටක්  එක් කළේ අප සමඟ සේවය කරන ඉංජිනේරු මිතුරෙකු වූ ආචාර්ය මාරියස් අන්කලොස්ය.

විවිධ රටවල ඉංජිනේරු ව්‍යාපෘති, අප ගිය රටවල් සහ සංචාරක අත්දැකීම් ගැන අපි  අතර නිතර කතාබහ කරමු . එවැනි දිනක ඔහු ඇඟට පතට නොදැනීම  මෙන් මෙසේ කීවේය.

“මම මගේ බිරිඳ එක්ක ඇන්ටාක්ටිකාවටත් ගිහින් තියෙනවා.”

මගේ ඇස්  විස්මයෙන් උඩ ගියේය , මම ඔහු දෙස බැලුවෙමි.

ඇන්ටාක්ටිකාවට?

එය නැවත අසා තහවුරු කර ගැනීමට මට සිතුණේ අප සාමාන්‍ය නිවාඩුවකට ගුවන් ටිකට්පතක් ගෙන යන ගමනාන්තයක් ලෙස ඇන්ටාක්ටිකාව ගැන කිසිදා සිතා නොතිබුණු නිසාය.

ඔවුන්ගේ ගමන ආරම්භ වී තිබුණේ ආර්ජන්ටිනාවේ දකුණු අන්තයේ උෂුවායියා නගරයෙනි.

ලෝක සිතියමක දකුණු ඇමෙරිකාවේ පහළ කෙළවරත් ඇන්ටාක්ටිකාවත් එකවර බැලූ විට අපූරු භූගෝලීය චිත්‍රයක් පෙනෙයි. දකුණු ඇමෙරිකානු මහද්වීපය දකුණට යත්ම ක්‍රමයෙන් පටු වී ඇන්ටාක්ටිකාව දෙසට දිගුවෙයි. අනෙක් පැත්තෙන් ඇන්ටාක්ටික් අර්ධද්වීපය උතුරට දිගුවී දකුණු ඇමෙරිකාව දෙසට පැමිණෙයි.

සිතියමේ ඒ දෙක පෙනෙන්නේ එකිනෙකා වෙත දිගු කළ ඇඟිලි දෙකක් මෙනි.

එසේත් නැත්නම්, පෘථිවියේ ඉතා ඈත අතීතයක එකට බැඳී සිට පසුව වෙන්වී ගිය භූමි දෙකක් අදත් වියෝ දුකින් මත්ව එකිනෙකා දෙසට දෑත්  දිගු කරගෙන සිටිනවාක් මෙනි.

ඒ අත් දෙක අතර ඇත්තේ කිලෝමීටර් දහසකට ආසන්න ඩ්‍රේක් සමුද්‍ර සන්ධියයි.

ඒ නිසාම ආර්ජන්ටිනාවේ “ලෝකාන්තය” ලෙස හැඳින්වෙන උෂුවායියා, ඇන්ටාක්ටික් අර්ධද්වීපයට යන සංචාරක හා ගවේෂණ නෞකාවල ප්‍රධාන දොරටුවක් වී තිබේ.

ආචාර්ය මාරියස් සහ ඔහුගේ බිරිඳද එතැනින් ගවේෂණාත්මක සංචාරක කණ්ඩායමක් සමඟ විශේෂ  කුඩා නැවකට නැඟුණහ.

උෂුවායියා පසු වූ විට අපට හුරුපුරුදු ලෝකය ක්‍රමයෙන් අතුරුදහන් වෙයි.

ඉදිරියේ ඇත්තේ අනන්ත සාගරය පමණි.

එයත් සාමාන්‍ය මුහුදක් නොවේ. ඩ්‍රේක් සමුද්‍ර සන්ධිය ලෝකයේ රළුම මුහුදු කලාප අතරින් එකකි. දරුණු සුළං හා විශාල රළ අතරින් එය තරණය කිරීමම ඇන්ටාක්ටික් ගමනේ පළමු අභියෝගයයි .

එහෙත් ඒ දුෂ්කර ගමන අවසානයේ මතුවන්නේ වෙනත්ම ලෝකයකි.

නිල් පැහැයට හැරුණු දැවැන්ත අයිස් කඳු මුහුදේ පාවෙයි. ඈතින් හිමෙන් වැසුණු කඳු පෙළ දිස්වෙයි. පෙන්ගුවින් කණ්ඩායම් තමන්ගේ ලෝකයේ නිදහසේ සැරිසරති. සීල් සතුන් අයිස් මත නිදා සිටිති. ඉඳහිට තල්මසෙක් සාගරයෙන් මතුවී නැවත එහිම අතුරුදහන් වෙයි.

මාරියස් කී පරිදි ඔවුන් ගිය කුඩා  නෞකාවෙන් සෘජුවම ඇන්ටාක්ටික් වෙරළට ළඟා විය නොහැකි අවස්ථාවල, කුඩා යාත්‍රාවලට මාරුවී වෙරළ ආසන්නයට සහ අවසර ලැබුණු දප්‍රදේශවලට ගොස් ඒ සුදු ලෝකය ඉතා සමීපයෙන් දැකගැනීමට ඔවුන්ට හැකිවී තිබුණි. ගොඩ බැසීමට ඉඩ ලැබී ඇත්තේ පර්යේෂණ හා විශේෂ අවසරලත් සංචාරක  කණ්ඩායමේ පිරිසට පමණි. එයද දහසකුත් එකක් කොන්දෙසිවලය යටත්වය .
ඉංජිනේරුවන් ලෙස අපට පැවරී ඇත්තේ ලෝකය බලවත් කිරීමට තව තවත් ඉදිකිරීම් කිරීමටය . නමුත් ඇන්ටාක්ටිකාව අපට පෙන්වන්නේ මිනිසා කිසිවක් ඉදිකර නොතිබුණත් පෘථිවියේ යම් යම් කලාප  කොතරම් විශාල, අලංකාර හා බලවත් විය හැකිද යන්නය.

එහි විද්‍යාඥයෝ අයිස්, සාගර, වායුගෝලය සහ ජීව පද්ධති අධ්‍යයනය කරති. ඇන්ටාක්ටිකාවේ අයිස් තුළ පෘථිවියේ වසර දහස් ගණනක දේශගුණික ඉතිහාසය සඟවා තිබේ. එහි සිදුවන වෙනස්කම් දකුණු ධ්‍රැවයේ පමණක් ඉතිරි වන්නේද නැත. මුහුදු මට්ටමේ වෙනස්කම් හරහා කොළඹ, ගාල්ල හෝ මඩකලපුවේ සිටින අපටත් ඒ කතාව දිනෙක දැනෙන්නට පුළුවන.

අප බොහෝවිට සංචාරය කරන්නේ මිනිසා තැනූ අරුමපුදුම දේ බලන්නටය. පැරීසියේ අයිෆල් කුලුන, රෝමයේ කොලෝසියම, ඉස්තාන්බුල්හි බොස්ෆරස් පාලම් අපව ආකර්ෂණය කරයි.

එහෙත් ඇන්ටාක්ටිකාවට යන මිනිසා යන්නේ මිනිසා තවමත් සම්පූර්ණයෙන් අත්පත් කර නොගත් ලෝකයක් බලන්නටය.

එය කිසිදා මිනිසා විසින් අත්පත් කරගත යුතු ලෝකයක්ද නොවේ. එය මානව සංහතියටම අයත් ආරක්ෂා  කළ යුතු ලෝකයකි. මා දන්නා තරමින්බලගතු  භූ දේශපාලන හිතුවක්කාරයන්  පවා මේ මිල කළ  නොහැකි භුමිය  අත්පත් කරන්නට ඉව අල්ලන්නේ නැත .


මේ කලපනාවන් මද යලිත් වරක් මෙල්බර්න් සිට සිතියම දෙස බලන විට මගේ  කුතුහලයට චමත්කාරයක් එක්  වී තිබේ .

බටහිරට ගියොත් පර්ත්ය.

දකුණට ගියොත් තස්මේනියාවය.

තස්මේනියාවෙන් එහා අනන්ත දකුණු සාගරයයි.

ඒ සාගරයෙන් එහා මගේ සංචාරක සිතියමේ තවමත් නොපිරුණු විශාල සුදු පැහැති තැනක් තිබේ.

ඇන්ටාක්ටිකාව.

කවදා හෝ දිනක ආර්ජන්ටිනාවේ “ලෝකාන්තයෙන්” නැවකට නැඟී, දකුණු ඇමෙරිකාව විසින්  දිගු කළ අත සහ ඇන්ටාක්ටිකාව දිගු කළ අත අතර ඇති ඩ්‍රේක් සමුද්‍ර සන්ධිය පසුකර, ඒ සුදු මහද්වීපයට ලඟා වී එහි ගොඩ නොබැසම චමත්කාරය විඳිනවාද නොඑසේනම් මෙල්බර්න් නගරයෙන් විශේෂ සංචාරක ගුවන් යානයක නැගී  ඇන්ටාක්ටිකාව අහසේ සිට නරඹා ආපසු  එනවාද කියා මට තෝරා ගැනීමට සිදුව තිබේ.

Wednesday, August 19, 2026

බ්‍රෝහි­යර් හා දිය­ත­ලාවේ මිනි­න්දෝරු කෞතු­කා­ගා­රය

 



දිය­ත­ලාව නග­රා­ස­න්නයේ පිහිටි අපේ ගම්මා­නයේ පසු­ගිය වසර සිය­යක පමණ කාලය තුළ සැල­කිය යුතු පිරි­සක් රජයේ රැකි­යා­වල නිරත වූහ. ඒ අතු­රින් වැඩි පිරි­සක් කළ රජයේ රස්සාව වූයේ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ අත්උ­ද­වු­ක­රු­වන් ලෙස සේවය කිරී­මයි. අපේ ගම්තු­ලානේ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව හැඳි­න්වූයේ ‘සරු­වර් එක’ යනු­වෙනි. එහි රැකි­යාව කළ අය ගැන කීවේ ‘සරු­වර් එකේ වැඩ කර­නවා’ කියාය.


දිය­ත­ලාවේ සරු­වර් එකත්, ඒ අවට පිහිටි හමුදා කඳ­වු­රුත් නිසා ගමේ සාක්ෂ­ර­තාව සහ ලෝක දැනුම ඇති මිනි­සුන් බහුල වීමට සැල­කිය යුතු බල­පෑ­මක් ඇති විය. සරු­වර් එකේ සේවය කළ බොහෝ දෙනා රට පුරා ඈත දනව්, නිය­ම්ගම්, කඳු­කර සහ වන ලැහැබ් මැනී­මට ගියහ. මාස ගණ­නක් නිවෙ­සින් බැහැ­රව සිට නැවත ගමට පැමිණි ඔවුන් අතු­රින් ඇතැ­මෙක් තමන් ගිය ඈත ගම­කින් ප්‍රිය­ම­නාප යුව­ති­ය­කද කැඳ­වා­ගෙන ආවෝය. එසේ අපේ ගමේ පවු­ල්ව­ලට රටේ විවිධ පළා­ත්වල සිරිත් විරිත්, භාෂා ව්‍යව­හාර සහ ලේ උරු­ම­යද එක් විය.

එකල සරු­වර් එකේ පියා­ගෙන් පුතාට රැකි­යාව ලැබෙන ආකා­රයේ වැඩ­පි­ළි­වෙ­ළක්ද තිබූ බව ගමේ පැරැ­ණියෝ කියති. ඒ නිසා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව යනු අපේ ගමේ පවුල් ගණ­නා­වක ජීවිත පර­ම්පරා කිහි­ප­යක් පුරා බැඳී තිබුණු ආය­ත­න­යක් විය. එහි රැකි­යාව වැටු­පක් ලැබෙන සේව­යක් පම­ණක් නොව, ගම්මා­නය හා රටේ සෙසු ප්‍රදේශ අතර දැනුම, අත්දැ­කීම් හා මිනිස් සබ­ඳතා හුව­මාරු කළ පාල­මක්ද වූයේය.

එහෙත් දිය­ත­ලාවේ මිනි­න්දෝරු කඳ­වුරේ සේවය කළ අයගේ දරු­මු­නු­පු­ර­න්ගෙන් බොහෝ දෙනා­වත්, දිය­ත­ලාව අවට වාසය කරන ජන­තා­ව­වත්, දිය­ත­ලාව සහ බණ්ඩා­ර­වෙල සංචා­රය කර ඇති ලක්ෂ සංඛ්‍යාත පිරි­ස­වත් නොදන්නා අපූරු දෙයක් තිබේ.

ඒ, දිය­ත­ලාවේ මිනි­න්දෝරු කෞතු­කා­ගා­ර­යක් තිබෙන බවය. අද එය ‘ආචාර්ය ආර්.එල්. බ්‍රෝහි­යර් කෞතු­කා­ගා­රය’ (Dr. R. L. Brohier Museum) ලෙස හඳු­න්වනු ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­නයේ සාමා­ජික සාමා­ජි­කා­වන් දහස් ගණ­නක් අතර පවා එත­රම් ප්‍රකට නොවූ තවත් අපූරු කරු­ණක් තිබේ. ඉංජි­නේරු උපා­ධි­යක් නොතිබූ මිනි­න්දෝ­රු­වකු 1956 වසරේ එම ආය­ත­නයේ පූර්ව­ගාමි ඉංජි­නේරු සංග­මයේ සභා­ප­ති­ව­රයා වී තිබී­මයි. ඒ මිනිසා රිචඩ් ලෙස්ලි බ්‍රෝහි­යර් හෙවත් ආර්.එල්. බ්‍රෝහි­යර්ය.

1892 ඔක්තෝ­බර් 5 වැනිදා උපත ලැබූ බ්‍රෝහි­යර් 1910දී මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­වට එක් විය. ඔහු එහි පළමු ලාංකික මිනි­න්දෝ­රුවා ලෙසද සඳ­හන් වේ. ඔහුගේ පවුල් මූල­යන් යුරෝ­පීය සම්භ­ව­යන් දක්වා දිව ගියද, ඔහුගේ ජීවිත කතාව කිය­වන විට පෙනෙන්නේ ඔහුගේ සැබෑ අන­න්‍ය­තාව ශ්‍රී ලංකාව සමඟ ඇති කර­ගත් අසී­මිත බැඳීම බවයි.

යම් දිනෙක ශ්‍රී ලංකා­වට වැඩිම සේව­යක් කළ මිනි­න්දෝ­රුවා කවු­දැයි යමෙකු මගෙන් ඇසු­ව­හොත්, මගේ පිළි­තුර දෙව­රක් නොසි­තාම “ආර්.එල්. බ්‍රෝහි­යර්” යන්නයි.

එහෙත් ඔහු “මිනි­න්දෝ­රු­වෙක්” යන එක් වච­න­ය­කින් හඳුන්වා අව­සන් කළ නොහැකි අයෙකි. ඔහු ඉති­හා­සය සොයා ගිය පර්යේ­ෂ­ක­යෙකි; පුරා­වි­ද්‍යා­වට හා මානව ජීවි­ත­යට ඇලුම් කළ නිරී­ක්ෂ­ක­යෙකි‍; සංචා­රක ලේඛ­ක­යෙකි; ස්වභා­ව­ධ­ර්ම­යට ආද­රය කළ සංවේදි මිනි­සෙකි; ඒ සිය­ල්ල­ටත් වඩා, ශ්‍රී ලංකාව නම් දිව­යිනේ ආත්මය කියවා ලෝක­යට හඳුන්වා දුන් මහා ලේඛ­ක­යෙකි.

අද අප GPS, ඩ්‍රෝන යානා හා චන්ද්‍රිකා තාක්ෂ­ණ­යෙන් මිනිත්තු කිහි­ප­ය­කදී භූමිය මනිමු. එහෙත් මීට සිය­ව­ස­කට පෙර රට මිනූ මිනි­සුන්ට තිබුණේ තියෝ­ඩ­ල­යි­ට­යක්, මිනුම් දාම­යක්, සට­හන් පොතක් සහ අප්‍ර­මාණ ධෛර්ය­යකි.

ශ්‍රී ලංකා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව අදින් වසර දෙසි­ය­ය­ක­ටත් පෙර ආරම්භ වූ මෙරට පැර­ණි­තම රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වකි. රටේ ඉඩම් හා මායිම් මැනීමේ සිට මාර්ග, දුම්රිය, වාරි­මාර්ග හා නගර සංව­ර්ධ­නය දක්වා රට ගොඩ­නැ­ඟීමේ හැම අදි­ය­ර­ක­ටම මේ මිනුම් පද­නම විය. මාර්ග­යක් තැනී­මට පෙර, ජලා­ශ­යක් ඉදි කිරී­මට පෙර හෝ දුම්රිය මාර්ග­යක් සැල­සුම් කිරී­මට පෙර භූමිය කිය­ව­න්නට සිදු විය. ඒ අර්ථ­යෙන් මිනි­න්දෝ­රුවා යනු ඉංජි­නේ­රු­වාට කලින් භූමිය කියවා දෙන විද්‍යා­ඥ­යාය.

දිය­ත­ලාවේ මිනි­න්දෝරු කෞතු­කා­ගා­රයේ පැරණි තියෝ­ඩ­ල­යිට්, ප්ලේන් ටේබල්, මිනුම් දාම, සිති­යම්, ඡායා­රූප සහ වෙනත් උප­ක­රණ අත­රින් ඇවිද යන විට මේ දිගු ඉති­හා­ස­යෙන් බිඳක් හෝ තේරුම් ගත හැකිය. ඒවා හුදෙක් පැරණි උප­ක­රණ නොව, රටක භූමිය අඟ­ලෙන් අඟල මැන සිති­ය­ම්ගත කළ පර­ම්ප­රා­වක නිහඬ සාක්ෂිය.

සාමාන්‍ය මිනි­න්දෝ­රුවා භූමියේ දිග-පළල මැන, එය ද්විමාන සිති­ය­ම­කට ගෙන ආවේය. බ්‍රෝහි­යර් එතැ­නින් නතර වූයේ නැත. ඔහු ඒ භූමියේ ජීවත් වූ මිනි­සුන්, ඔවුන්ගේ ජන­ප්‍ර­වාද, ජීවන රටා, වාරි සංස්කෘ­තිය සහ ඉති­හා­ස­යද ඒ මිනු­මට එක් කළේය. එසේ බැලූ විට ඔහු කළේ රටේ භූමිය මැනීම පම­ණක් නොව, එයට මිනිස් ජීවි­තය එක්කොට ත්‍රිමාණ කිය­වී­මක යෙදී­මකි. එප­ම­ණක් නොව, ඔහු ඒ දුටු දේ අනර්ඝ ලෙස ලියා තැබු­වේය.

ඒ නිරී­ක්ෂණ පසුව Seeing Ceylon, Discovering Ceylon, Ancient Irrigation Works in Ceylon, Changing Face of Colombo ආදි කෘති ඔස්සේ නැවත අප වෙත පැමි­ණි­යේය. පැරණි වැවක් පිළි­බඳ ලියන විට බ්‍රෝහි­යර් එහි ජන­ප්‍ර­වා­දය පම­ණක් නොලි­යයි. වැව් බැම්මේ පිහි­ටීම, ජලය ගලා යන ආකා­රය, ඇළ මාර්ග සහ භූමිය අතර ඇති ඉංජි­නේරු සම්බ­න්ධ­තා­වද මිනි­න්දෝ­රු­ව­කුගේ ඇසින් කිය­වයි. එබැ­වින් ඔහුගේ පොත් සංචා­රක සට­හන් පම­ණක් නොව, රටේ භූමිය හා මිනිසා එක­වර කිය­වන ලේඛන බවට පත් වේ.

බ්‍රෝහි­යර් පිළි­බඳ එතෙක් මා නොදැන සිටි අපූරු කරු­ණක් දැන­ගත්තේ ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­න­යට ගිය මුල්ම දින­ය­ක­දීය. එදා මෙදා­තුර එහි සභා­ප­ති­ව­රුන්ගේ සේයා රූ පෙළ අතර බ්‍රෝහි­යර්ගේ තේජ­වන්ත රුව දුටු මම මොහො­ත­කට පුදු­ම­යට පත් වීමි.

“බ්‍රෝහි­යර් ඉංජි­නේ­රු­වෙක්ද?”

ඒ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ එවි­ටය. ඉංජි­නේරු උපා­ධි­යක් නොතිබූ මේ මිනි­න්දෝ­රුවා එම ඉංජි­නේරු ආය­ත­නයේ පූර්ව­ගාමි සංග­මයේ සභා­පති පුටුව දක්වා පැමිණ තිබීම, ඔහුගේ විද්ව­ත්භා­ව­යට හා වෘත්තීය පිළි­ගැ­නී­මට ලැබුණු සුවි­ශේෂ ගෞර­ව­යක් ලෙස මට පෙනේ.

මාර්ටින් වික්‍ර­ම­සිංහ අපේ ගම හා එහි මිනිසා සිංහ­ලෙන් අම­ර­ණීය කළේ නම්, බ්‍රෝහි­යර් ශ්‍රී ලංකාවේ ගැමි ජීවි­තය, භූමිය හා උරු­මය ඉංග්‍රීසි බසින් ලෝක­යට ගෙන ගියේය.

දිය­ත­ලාවේ ඇති මේ කෞතු­කා­ගා­රය සාමාන්‍ය ජන­තා­වට හා සංචා­ර­ක­යන්ට පහ­සු­වෙන් ළඟා විය හැකි ආකා­ර­යට තව­දු­ර­ටත් සංව­ර්ධ­නය කර ප්‍රව­ර්ධ­නය කළ හැකි නම්, එය දිය­ත­ලා­වට සුවි­ශේෂ සංචා­රක හා අධ්‍යා­ප­නික වටි­නා­ක­මක් එක් කරනු ඇත. බ්‍රෝහි­යර්ගේ යුරෝ­පීය පවුල් මූල­යන්, මිනි­න්දෝරු ජීවි­තය, ශ්‍රී ලංකාවේ වාරි ඉති­හා­සය සහ ඔහුගේ ලේඛන එක් කතා­වක් ලෙස එහි ඉදි­රි­පත් කළ හැකිය.

එවිට එය පැරණි මිනුම් උප­ක­රණ තැන්පත් කර ඇති කෞතු­කා­ගා­ර­යක් පම­ණක් නොව, ශ්‍රී ලංකාව මැන­ගත් මිනි­සුන්ගේ කතාව කියන, දෙස් විදෙස් සංචා­ර­ක­යන් ඇද­ගන්නා ජීව­මාන මධ්‍ය­ස්ථා­න­යක් බවට පත් වනු ඇත.

බ්‍රෝහි­යර් ගැන කිය­න්නට තවත් බොහෝ දේ තිබේ. මිනි­න්දෝ­රු­වකු ලෙස ඔහු රටේ භූමිය මැන්නේය; ලේඛ­ක­යකු ලෙස ඒ භූමි­යට මිනි­සාත්, ඉති­හා­ස­යත්, මත­ක­යත් එක් කළේය.

ශ්‍රී ලාංකි­ක­යන් වඩාත්ම ණය­ගැති මිනි­න්දෝ­රුවා ආර්.එල්. බ්‍රෝහි­යර් යැයි මා නැව­තත් කියන්නේ ඒ නිසාය. ඔහු ගැන තවත් දව­සක නැවත ලිය­න්නට සිතා සිටිමි.

( Silumina Thilakasitha 16 Aug 2026)

Thursday, August 6, 2026

තිරය මත එක් ඔඩි­සි­යක් පිටු­පස තවත් ඔඩි­සි­යක්

 මා කුඩා කාලයේ පවුලේ අය සමඟ ඉතා කලා­තු­ර­කින් චිත්‍ර­ප­ට­යක් නැර­ඹී­මට ගියේ දිය­ත­ලාව රීගල් සිනමා ශාලා­ව­ටය. ඒ කාලයේ සිටම මගේ සිතේ වූ කුතූ­හ­ල­යක් වූයේ චිත්‍ර­පට ප්‍රක්ෂේ­පණ යන්ත්‍රය සහ තිරය එක්ව අප ඉදි­රියේ මේ චලන රූප මවා පෙන්වන්නේ කෙසේද යන්නයි.

චිත්‍ර­ප­ටය නර­ඹන අත­ර­තුර සිනමා ශාලාවේ පිටු­ප­සින් නිකුත් වන ආලෝක කද­ම්බය දෙස හැරී බැලීම කුඩා කල මගේ පුරු­ද්දක් විය. එහෙත් සිනමා ශාලා­වක පිටු­පස හැරී බැලීම නුසු­දුසු බවත්, එය අනෙ­කුත් ප්‍රේක්ෂ­ක­යන්ට හිරි­හැ­ර­යක් විය හැකි බවත් අම්මා මට කීවාය.

චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය පිටු­පස ඇති තාක්ෂ­ණය සොයා යෑමේ මේ කුහුල නිසාම, ඉඩක් ලැබුණු සැම අව­ස්ථා­ව­කම ඒ ගැන සොයා බැලී­මට මම පුරුදු වුණෙමි. සිංග­ප්පූ­රුවේ විද්‍යා මධ්‍ය­ස්ථා­නයේ අඟ­හරු ගවේ­ෂ­ණය පිළි­බඳ ගෝලීය තිර­ය­කින් දැවැන්ත දෘශ්‍ය අත්දැ­කී­මක් නර­ඹද්දී පවා මගේ සිත ගියේ තිරයේ පෙනෙන දර්ශ­න­ව­ලට පම­ණක් නොව, ඒවා නිර්මා­ණය කළ තාක්ෂ­ණය දෙස­ටය. චිත්‍ර­ප­ට­යක කලාව රස­වි­ඳින අත­රම, ඒ කලාව පිටු­පස සැඟවී ඇති විද්‍යාව හා තාක්ෂ­ණය හැකි පම­ණින් හාරා අවුස්සා බැලීම මගේ පුරු­ද්දක් විය.

පසු­ගිය සතියේ මා කතා කළේ ඉස්තා­න්බුල්හි ට්‍රම්ප් ටවර්ස් සංකී­ර්ණයේ සිනමා ශාලා­ව­කින් ක්‍රිස්ටෝ­පර් නෝලන්ගේ ‘දි ඔඩිසි’ චිත්‍ර­ප­ටය නැරඹූ අත්දැ­කීම ගැනය. එය මෑත කාලයේ රූප හා ශබ්ද තාක්ෂ­ණය අතින් විශිෂ්ට මට්ට­ම­කින් නිර්මා­ණය වූ, ප්‍රබල පසු­බිම් කතා­වක්ද සහිත සල­රු­වකි.

ඒ ලිපියේ අව­සා­නයේ මා සිහි­පත් කළේ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ අපේ සිනමා සංග­මය වෙනු­වෙන් කොළඹ තානා­පති කාර්යා­ල­ව­ලින් බරැති ෆිල්ම් රීල් පෙට්ටි රැගෙන ගිය දින පිළි­බ­ඳ­වය.

එදා චිත්‍ර­ප­ට­යක් ප්‍රද­ර්ශ­නය කිරීම යනු ෆිල්ම් රීල්, ප්‍රක්ෂේ­පණ යන්ත්‍ර, මිනිස් ශ්‍රමය සහ හොඳ සම්බ­න්ධී­ක­ර­ණ­යක් මත රඳා පැවති කාර්ය­යකි. අද ෆිල්ම් රීල් භාවි­තය බොහෝ දුරට අව­සන් වී ඇත. ඒ වෙනු­වට බිහි වී ඇත්තේ පැරණි ක්‍රම­ය­ටත් වඩා සංකීර්ණ වූ ඩිජි­ටල් ලෝක­යකි.

අද හොලි­වුඩ් චිත්‍ර­ප­ට­යක් ලොව පුරා රට­වල් සිය­ය­කට වැඩි සංඛ්‍යා­වක, සිනමා ශාලා දස­ද­හස් ගණ­නක, එකම දවසේ ප්‍රද­ර්ශ­නය වෙයි. ප්‍රේක්ෂ­ක­යාට එය සාමාන්‍ය දෙයක් සේ පෙනු­ණද, ඒ පිටු­පස ක්‍රියා­ත්මක වන්නේ අති­වි­ශාල අන්ත­ර්ජා­තික ව්‍යාපෘ­ති­යකි. ඇත්තෙන්ම මේ මෙහෙ­යුම සාර්ථක වන්නේ එය තනි ව්‍යාපෘ­ති­යක් ලෙස නොව, හොඳින් සැල­සුම් කළ ගෝලීය වැඩ­ස­ට­හ­නක් ලෙස ක්‍රියා­ත්මක වන නිසාය.

‘දි ඔඩිසි’ කතාවේ ඔඩි­සි­යස්, ට්‍රෝයි සිට සිය ඉතාකා රාජ­ධා­නි­යට පැමි­ණී­මට වසර දහ­යක් ගත කළේය. එහෙත් නෝලන්ගේ ‘දි ඔඩිසි’ ලොව පුරා සිනමා ශාලා දහස් ගණ­න­කට ළඟා වන්නේ පැය කිහි­ප­යක් ඇතු­ළ­තය. එයද තවත් ‘ඔඩි­සි­යකි’. වෙනස වන්නේ එහි නැව් සහ සුළං වෙනු­වට මෙහි දත්ත, ෆයි­බර් ජාල, චන්ද්‍රිකා, සේවා­දා­ය­ක­යන් සහ ගුප්ත කේතන තාක්ෂ­ණය භාවිත වීමය.

නවීන සිනමා ශාලා­ව­කට ලැබෙන්නේ සාමාන්‍ය වීඩියෝ ගොනු­වක් නොවේ. එය ‘ඩිජි­ටල් සිනමා පැකේජ්’ හෙවත් ‘ඩීසීපී’ නමින් හැඳි­න්වෙන විශේෂ ගොනු­වකි. චිත්‍ර­ප­ටයේ රූ, නද, උප­සි­රැසි සහ සෙසු සියලු දත්ත ඉතා උසස් තත්ත්ව­යෙන් එහි අන්ත­ර්ගත වේ. මේ දත්ත ප්‍රමා­ණය ගිගා­බ­යිට් සිය ගණ­නක් විය හැකිය.

මෙම ‘ඩීසීපී’ ගොනුව ඇතැම් විට විශේෂ දෘඪ තැටි­ය­කින් සිනමා ශාලා­වට එවයි. තවත් අව­ස්ථා­වල අධි­වේගි ජාල ඔස්සේ ඍජු­වම සිනමා සංකී­ර්ණයේ සේවා­දා­ය­ක­යට යවයි. එහෙත් ගොනුව ලැබුණු පම­ණින් චිත්‍ර­ප­ටය ප්‍රද­ර්ශ­නය කළ නොහැ­කිය. ඒ, එය දැඩි ලෙස ආර­ක්‍ෂිත කේත සමඟ සම්බන්ධ කර ඇති බැවිනි.

එය විවෘත කළ හැක්කේ ‘කී ඩිලි­වරි මැසේජ්’ හෙවත් ‘කේඩී­එම්’ නම් ඩිජි­ටල් මුර යතුර මඟිනි. මේ ‘යතුර’ නිකුත් කරනු ලබන්නේ නිශ්චිත සිනමා ශාලා­වක, නිශ්චිත සේවා­දා­ය­ක­යක සහ නිශ්චිත කාල සීමා­ව­කට පමණි. ඉස්තා­න්බුල්හි සිනමා ශාලා­ව­කට නිකුත් කළ ‘කේඩී­එම්’ යතු­රක් කොළඹ හෝ ලංඩ­නයේ යන්ත්‍ර­යක ක්‍රියා නොක­රයි. එමෙන්ම නිය­මිත ප්‍රද­ර්ශන කාල­යට පෙර හෝ පසුද එය විවෘත කළ නොහැ­කිය.

මේ ක්‍රමය මඟින් ලෝක මංගල දර්ශ­න­යට පෙර චිත්‍ර­ප­ටය අන­ව­ස­ර­යෙන් ප්‍රද­ර්ශ­නය කිරීමේ හෝ පිට­පත් කිරීමේ ඉඩ අවම වෙයි.

මම ඉස්තා­න්බුල් නුවර සින­මා­හ­ල්ව­ලදී තවත් අපූරු දෙයක් දුටු­වෙමි. එකම චිත්‍ර­ප­ටය ඉංග්‍රීසි හඬ සමඟ තුර්කි උප­සි­රැසි ඇති දර්ශන වාර­ව­ලින් මෙන්ම, සම්පූ­ර්ණ­යෙන්ම තුර්කි භාෂා­වට හඬ කවාද ප්‍රද­ර්ශ­නය විය.

මෙය සිදු වන්නේ චිත්‍ර­ප­ටය නිකුත් වූ පසු නොවේ. මාස කිහි­ප­ය­කට පෙර සිටම පරි­ව­ර්ත­ක­යන්, හඬ­කැ­වීම් අධ්‍ය­ක්ෂ­ව­රුන් සහ හඬ නළු­වන් සැල­සු­ම්ගත ගිවි­සුම් යටතේ කට­යුතු ආරම්භ කරන නිසාය. මුල් තිර­පි­ට­පත පරි­ව­ර්ත­නය කිරී­මෙන් පසු, දෙබස්, නළු­වන්ගේ තොල් චල­න­යට ගැළ­පෙන පරිදි නැවත සංස්ක­ර­ණය කරනු ලැබේ. පසුව හඬ පටි­ගත කර, මුල් සංගී­තය හා ශබ්ද ප්‍රයෝග සමඟ නැවත මිශ්‍ර කර, අදාළ භාෂාවේ ‘ඩීසීපී’ පැකේ­ජ­යට එක් කරනු ලබයි.

සම­හර රට­වල ප්‍රේක්ෂ­ක­යන් උප­සි­රැසි සහිත මුල් හඬට රිසි වන අතර, තවත් රට­වල හඬ­කවා ඉදි­රි­පත් කරන චිත්‍ර­පට වඩාත් ප්‍රච­ලි­තය. ඒ අනුව, චිත්‍ර­ප­ටයේ බෙදා­හැ­රීමේ හා ප්‍රද­ර්ශන සැලැ­ස්මද රටින් රට වෙනස් වේ.

එබැ­වින් ගෝලී­යව නිකුත් වන දින­යේ­දීම තුර්කියේ ප්‍රේක්ෂ­ක­ය­කුට තුර්කි බසින්ද, ප්‍රංසයේ ප්‍රේක්ෂ­ක­ය­කුට ප්‍රංස බසින්ද, ජපා­නයේ ප්‍රේක්ෂ­ක­ය­කුට ජපන් බසින්ද එකම චිත්‍ර­ප­ටය නැර­ඹිය හැකිය.

බහු-තිර සිනමා සංකී­ර්ණ­ය­කට තවත් අභි­යෝ­ග­යක් තිබේ. සැම දර්ශන වාර­ය­ක­ටම එකම ප්‍රේක්ෂක සංඛ්‍යා­වක් නොලැබේ. සතියේ මැද දහ­වල් දර්ශ­න­ය­කට ප්‍රවේශ පත්‍ර කිහි­ප­යක් පම­ණක් විකි­ණිය හැකි අතර, සති අන්තයේ සවස දර්ශ­න­යක් සම්පූ­ර්ණ­යෙන්ම පිරී යා හැකිය. එබැ­වින්, සිනමා සංකීර්ණ දින­පතා ප්‍රවේශ පත්‍ර අලෙ­විය, අසුන් පිරීමේ ප්‍රති­ශ­තය සහ දර්ශන වාර­වල ඉල්ලුම විශ්ලේ­ෂ­ණය කරයි. අද එම කාර්ය­යට දත්ත විශ්ලේ­ෂණ පද්ධති සහ කෘත්‍රිම බුද්ධි­යද යොදා ගැනේ.

ඉල්ලුම අඩු නම් චිත්‍ර­ප­ටය කුඩා ශාලා­ව­කට මාරු කෙරේ. තවත් අව­ස්ථා­වල දර්ශන වාර සංඛ්‍යාව අඩු කර, වැඩි ඉල්ලු­මක් ඇති චිත්‍ර­ප­ට­ය­කට විශාල ශාලා­වක් ලබා දෙයි. බහු-තිර සිනමා සංකීර්ණ බිහි වීමෙන් මෙවැනි කළ­ම­නා­ක­ර­ණ­යක් වඩාත් පහසු වී තිබේ.

මේ ක්ෂේත්‍රයේ කළ­ම­නා­ක­ර­ණ­යට දැන් වෘත්තීය ස්වභා­ව­යක් ලැබී ඇත. සින­මාව හා තාක්ෂ­ණය විෂ­ය­යක් ලෙස ඉදි­රි­යට යමින් පව­තින අතර, චිත්‍ර­පට නිෂ්පා­ද­නය, බෙදා­හැ­රීම, දත්ත කළ­ම­නා­ක­ර­ණය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය තාක්ෂ­ණය වැනි අංශ­වල නව විශේ­ෂ­ඥයෝ හා වෘත්ති­කයෝ බිහි වෙමින් සිටිති.

චිත්‍ර­ප­ට­යක් ලොව පුරා එක්වර නිකුත් කිරීම යනු සැබ­වින්ම තනි ව්‍යාපෘ­ති­යක් නොව ගෝලීය වැඩ­ස­ට­හ­නකි. එය නිෂ්පා­ද­කයා, බෙදා­හ­රින්නා, සිනමා සංකීර්ණ, තාක්ෂණ සමා­ගම්, පරි­ව­ර්ත­ක­යන්, හඬ­කැ­වීම් ශිල්පීන්, සන්නි­වේ­දන සේවා සප­ය­න්නන් සහ තොර­තුරු ආර­ක්ෂක විශේ­ෂ­ඥ­යන් ඇතුළු සංවි­ධාන රැසක ඒකා­බද්ධ මෙහෙ­යු­මකි.

නවීන සිනමා ව්‍යාපා­රික ගිවි­සුම් අනුව, ප්‍රේක්ෂ­කයා මිල දී ගන්නා ප්‍රවේශ පත්‍රයේ මුදල ඍජු­වම නිෂ්පා­ද­කයා අතට නොයයි. ඒ ආදා­ය­මෙන් කොට­සක් සිනමා සංකී­ර්ණ­ය­ටද, තවත් කොට­සක් බෙදා­හ­රි­න්නා­ටද හිමි වන අතර, ගිවි­සුම් හා විය­දම් අනුව ඉතිරි ආදා­යම නිෂ්පා­ද­කයා වෙත ගලා යයි.

එයට අම­ත­රව රූප­වා­හිනී විකාශ අයි­තිය, ප්‍රවා­හන සේවා, ගුවන් සේවා, විවිධ රට­වල ප්‍රද­ර්ශන අයි­ති­වා­සි­කම් සහ වෙනත් බල­පත්‍ර මඟින්ද නිෂ්පා­ද­කයා වසර ගණ­නා­වක් පුරා ආදා­යම් උප­යා­ගනී. එබැ­වින් චිත්‍ර­ප­ට­යක් යනු පැය තුනක විනෝ­දා­ස්වා­ද­යක් පම­ණක් නොව, දිගු­කා­ලීන ප්‍රති­ලාභ උප­ද­වන බුද්ධි­මය දේපළ වත්ක­මකි. ව්‍යාපෘති කළ­ම­නා­ක­ර­ණයේ භාෂා­වෙන් කියන්නේ නම්, චිත්‍ර­ප­ටය නිම කිරී­මෙන් නිෂ්පා­දන ව්‍යාපෘ­තිය අව­සන් වුවද, එහි ප්‍රති­ලාභ ආරම්භ වන්නේ ඉන් පසු­වය.

මේ සියල්ල ගැන සිතන විට මට නැව­තත් මතක් වන්නේ පේරා­දෙ­ණියේ එකල සිටි ප්‍රොජෙ­ක්ටර් ක්‍රියා­කරු ‘මෙන්ඩිස් අයියා’ ය. එදා ඔහු නිය­මිත වේලා­වට ෆිල්ම් රීලය මාරු කළේය. අද ඒ කාර්යය ඉටු කරනු ලබන්නේ ලොව පුරා විසිරී සිටින නොපෙ­නෙන තාක්ෂ­ණ­වේ­දීන්, සේවා­දා­ය­ක­යන් සහ ඩිජි­ටල් පද්ධති සමූ­හ­යක් විසිනි. තාක්ෂ­ණය වෙනස් වී ඇත. එහෙත් තිරය පිටු­පස නොපෙ­නෙන වීරයෝ පිරි­සක් තව­මත් සිටිති.

අප තිරය මත දකින්නේ ඔඩි­සි­යස්ගේ වීර චාරි­කා­වයි. එහෙත් සිනමා තිරය මත චිත්‍ර­ප­ටය දර්ශ­නය වීමට පෙර, ලොව පුරා දහස් ගණ­නක් මිනි­සුන්, සමා­ගම් සහ තාක්ෂණ පද්ධති එක්ව නිර්මා­ණය කරන තවත් ‘ඔඩි­සි­යක්’ නිහ­ඬව ක්‍රියා­ත්මක වී තිබේ. සම­හර විට චිත්‍ර­ප­ටයේ මේ නොපෙ­නෙන ගමන, තිරය මත දිස් වන ගම­නට නොදෙ­වැනි, විස්මිත චාරි­කා­වක් විය හැකිය.


( Silumina 02 Aug 2026)

Wednesday, July 29, 2026

ට්‍රම්ප් ටවර්ස්හි සිනමා ශාලාවකින් ‘The Odyssey’ නැරඹුවෙමි

 

ස්තාන්බුල් නගරයේ සිශ්ලි හෙවත් මෙජිදියෙකොයි උප නගරය මගේ වත්මන් නවාතැනට ඉතා ආසන්නය. මා නවාතැන් ගෙන සිටින නිවෙසේ පෙරදිග ජනේලයෙන් බැලූ විට

 තරමක් උස් බිමක සිශ්ලි නගරයේ රූස්ස ගොඩනැඟිලි පෙළ දර්ශනය වේ. ඒවා අතුරින් එක් ගොඩනැඟිල්ලක විශාල අකුරින් ‘ට්‍රම්ප් ටවර්ස්’ නම් නාම පුවරුවක් සවි කර ඇත. එය මුල් වරට දුටු දිනයේ මම මිතුරකුගෙන් විහිළුවට මෙන් මෙසේ ඇසුවෙමි:

“මේක අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයිති ගොඩනැඟිල්ලක්ද?”

ඔහු සිනා සෙමින් පිළිතුරු දුන්නේ, “ඔව්. තනි අයිතිය ඔහුගේ නොවුණත්, ‘ට්‍රම්ප්’ සන්නාමය යටතේ ඉදි කළ, ‘ට්‍රම්ප් ටවර්ස්’ ගොඩනැඟිලි දෙකක් මෙතන තියෙනවා,” කියාය.

අමෙරිකානු දේශපාලනයේ වැඩියෙන්ම කතාබහට ලක් වන නාමයක් ඉස්තාන්බුල් නගරයේ ව්‍යාපාරික සංකීර්ණයක් මත දිස් වීම මා තුළ අපූරු කුතූහලයක් ජනිත කළේය. ඒ කුතූහලය තවත් වැඩි වූයේ පසුගිය සතියේය.

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය ‘The Odyssey’ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹූ පළමු දිනයේම එය නැරඹීමට මම තීරණය කළෙමි. ඒ සඳහා ගියේද ‘ට්‍රම්ප් ටවර්ස්’ සංකීර්ණයේ පිහිටි ‘පරිබු’ සිනමා සංකීර්ණයටය.

එය අප එකල දැන සිටි ආකාරයේ තනි සිනමා ශාලාවක් නොවේ; එකම වහලක් යට පිහිටි කුඩා බහු-තිර සිනමා සංකීර්ණයකි. ‘ට්‍රම්ප් ටවර්ස්’ සංකීර්ණයේම තිර හයක් ඇති අතර, එයට නුදුරින් පිහිටි ජෙවහිර් සාප්පු සංකීර්ණයේ තවත් තිර එකොළහකින් සමන්විත විශාල සිනමා සංකීර්ණයක්ද තිබේ. ශ්‍රී ලංකාවේ අප දැන සිටි ‘රිට්ස්’, ‘අසෝකා’, ‘රොක්සි’ හෝ ‘ගාමිණී’ වැනි සමහර තනි තිර සිනමා ශාලා ක්‍රමයෙන් අතුරුදන් වෙද්දී, ඒ වෙනුවට නවීන තාක්ෂණය, විවිධ ප්‍රදර්ශන ශාලා සහ වෙනස් ව්‍යාපාරික ආකෘතියක් සහිත බහු-තිර සිනමා සංකීර්ණ ලොව පුරා සිනමා කර්මාන්තයේ නව සම්මතය බවට පත්ව තිබේ. මෙවැනි නවීන සිනමා ශාලා සංකීර්ණ ශ්‍රී ලංකාවේ අපටද අලුත් දෙයක් නොවේ. මේ යටිතල පහසුකම්වල දියුණුව වක්‍රාකාරයෙන් සිනමාවේ අනාගතය සුරක්ෂිත කරන අතර, සමහර කලා මාධ්‍ය මොන අන්දමින්වත් යටපත් නොවී නව තාක්ෂණයත් සමග නැඟී සිටියි.

කුඩා පනිට්ටුවක් තරමේ කඩදාසි පොප්කෝන් බඳුනත් අතේ තබාගෙන සිනමා ශාලාව තුළට ඇවිද යද්දී මගේ සිතට අපූරු සිතිවිල්ලක් නැඟිණි. නිව්යෝර්ක්හි උපන් ව්‍යාපාරික සන්නාමයක් යටතේ ඇති ගොඩනැඟිල්ලක සිට, මීට වසර තුන්දහසකට පමණ පෙර සිදුවීමක් පාදක කරගෙන ග්‍රීක කවියකු ලියූ වීර කාව්‍යයක්, අමෙරිකානු අධ්‍යක්ෂවරයකුගේ දෘෂ්ටියෙන් නැරඹීමට මම සූදානම් වෙමින් සිටියෙමි. ඒ පිළිබඳ ලිපියක් දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන් වෙනුවෙන් ලියන්නට ඕනෑයැයි මට සිතිණි. සැබැවින්ම මෙය අමුතුම ආකාරයේ ගෝලීයකරණයකි.

‘The Odyssey’ යනු හුදෙක් තවත් හොලිවුඩ් චිත්‍රපටයක් නොවේ. එය බටහිර සාහිත්‍යයේ මුල්ගල් අතරින් එකක් වන හෝමර්ගේ ‘Odyssey’ වීර කාව්‍යයට නව සිනමා ජීවයක් දෙන නිර්මාණයකි. බොහෝ දෙනා ‘ඉලියඩ්’ සහ ‘ඔඩිසි’ එකම කතාවක් ලෙස සලකන නමුත්, ඒවා එකිනෙකට අනුපූරක කෘති දෙකකි. ‘ඉලියඩ්’ ට්‍රෝයි යුද්ධයේ අවසාන දින කිහිපය විස්තර කරන අතර, ‘ඔඩිසි’ යනු යුද්ධයෙන් පසු ඔඩිසියස් සිය රාජධානිය වූ ඉතාකා වෙත නැවත පැමිණීම සඳහා වසර දහයක් පුරා කළ දුෂ්කර හා වික්‍රමාන්විත ගමන පිළිබඳ වීර කාව්‍යයයි.

ට්‍රෝයි ගැන කියැවෙන සැම අවස්ථාවකම මගේ මතකය නිතැතින්ම ගමන් කරන්නේ තුර්කියේ චනක්කලේ පළාතේ පිහිටි ට්‍රෝයි පුරාවිද්‍යා භූමිය වෙතය. පසුගිය අවුරුද්දේ චනක්කලේ හා ට්‍රෝයි කෞතුකාගාරය නරඹන්නට ගිය ගමනේදී 2004දී ‘ට්‍රෝයි’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ ට්‍රෝජන් අශ්වයාගේ අනුරුව මෙන්ම ට්‍රෝයි කෞතුකාගාරයේදී දුටු ට්‍රෝජන් අශ්වයා පිළබඳ වීඩියෝ ප්‍රතිනිර්මාණයක්ද දුටුවෙමි. ඒ නිසාම ‘The Odyssey’ නැරඹීම මට හුදෙක් චිත්‍රපටයක් නැරඹීමක් පමණක් නොවීය. එය මීට පෙර ඇවිද ගිය බිමක්, කියවා ඇති කාව්‍යයක් සහ ඉතිහාසය ලෙස හඳුන්වන මිනිස් මතකයේ දිගු ගමනක් නැවත වරක් සිනමා තිරය මත හමු වීමක් විය.

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ සිනමා භාෂාව යනු විද්‍යාව සහ මානව මනස එකිනෙකට සම්බන්ධ කරමින්, දැවැන්ත දෘශ්‍ය අත්දැකීම් නිර්මාණය කිරීම බව ප්‍රකටය . ‘The Odyssey’ තුළද මා දුටුවේ එකී ලක්ෂණයමය. චිත්‍රපටය අවසන් වන විට මා වැඩිපුරම කල්පනා කළේ කතාව ගැන නොව, එය ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත ගෙන යන දැවැන්ත තාක්ෂණික හා සංවිධානාත්මක යන්ත්‍රණය ගැනය.

විශාල IMAX තිර, අතිශය පැහැදිලි දෘශ්‍ය තාක්ෂණය සහ Dolby ශබ්ද පද්ධති නිසා අද ප්‍රේක්ෂකයා චිත්‍රපටය නරඹන්නකු නොව, එහි සිදුවීම් අතර ජීවත් වන අයකු බවට පත් වෙමින් තිබේ. නව තාක්ෂණය විසින් චිත්‍රපට නරඹන ආකාරය පමණක් නොව, එය අත්විඳින ආකාරයද සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ. ඒ නිසාම පැය තුනකට ආසන්න කාලයක් ගත වූ බව පවා නොදැනීම චිත්‍රපටය සමඟම මම ජීවත් වුණෙමි. මේ චිත්‍රපටය නිකුත් වන්නටත් මාස ගණනාවකට පෙර සිට, ඒ පිළිබඳ ලොව පුරා කතා වීමට පටන් ගෙන ඇති බැවිනුත්, එහි කතා තේමාව ගැන බොහෝ දෙනකු ලියා ඇති බැවිනුත් ඒ ගැන වැඩි යමක් නොලියමි.

එදා ආපසු ගෙදර එන අතරතුර මගේ සිත දශක කිහිපයක් අතීතයට ගියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ අපේ සිනමා සංගමයට විවිධ රටවල තානාපති කාර්යාලවලින් චිත්‍රපට ලැබුණේ ලෝහ පෙට්ටිවල අසුරා තිබූ ෆිල්ම් රීල් හැටියටය. සමහර දිනවල ඒවා භාර ගැනීමට අපි කොළඹට ගොස්, නැවත බස් රථයෙන් පේරාදෙණියට රැගෙන ආවෙමු. ඇතැම් අවස්ථාවල ඒ බරැති පෙට්ටි ඔසවාගෙන හෝ කර තබාගෙන කලාගාරය දක්වා ගෙන යෑමද අපේම වගකීම විය. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ සහයක කාර්යයද අපටම පැවරී තිබිණි. එකම ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් නියමිත වේලාවට රීල් මාරු කරමින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබන අතර, සරසවි සිසු සිසුවියෝ ඉවසීමෙන් බලා සිටියහ.

එවකට කලාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු වූ මෙන්ඩිස් අයියා අපට කාර්මික ශිල්පියෙක් පමණක් නොවීය. තිරය පිටුපස සිට සේවාව සපයන ඔහු, සිනමාවේ නොපෙනෙන වීරයකු ලෙස අපි දුටුවෙමු. ඔහු විශ්‍රාම ගිය දිනයේ ඔහු වෙනුවෙන් උපහාර චිත්‍රපට උලෙළක් පවා සංවිධානය කෙරුණේ ඒ නිසාය.

එදා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම යනු කැප වීම, විනය සහ ඉවසීම අවශ්‍ය වූ කාර්යයකි. රීල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයට සවි කිරීම, නිසි වේලාවට රීල් මාරු කිරීම සහ අවසානයේ නැවත අසුරා යැවීම මේ සියල්ල සිනමා අත්දැකීමේ කොටසක් විය. අද ඒ සියල්ල සිදු වන්නේ පරිගණක සේවාදායකයන්, ෆයිබර් ජාල සහ චන්ද්‍රිකා සන්නිවේදනය ඔස්සේය. ප්‍රේක්ෂකයාට නොපෙනුණද, නවීන චිත්‍රපටයක් ලොව පුරා තිර දස දහස් ගණනකට එකම දිනයේ ළඟා කිරීම සඳහා අතිවිශාල තාක්ෂණික සහ සැපයුම් දාම මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

එබැවින් ‘The Odyssey’ නැරඹීමෙන් පසු මට ලියන්නට සිතුණේ හෝමර්ගේ වීර කාව්‍යය හෝ නෝලන්ගේ කැමරා භාෂාව ගැන පමණක් නොවේ. මීට වසර තිහකට පෙර බස් රථයකින් රැගෙන ගිය ෆිල්ම් රීල්වල සිට අද ලොව පුරා තිර දස දහස් ගණනකට එක්වර ළඟා වන ඩිජිටල් සිනමා ලෝකය දක්වා සිනමා කර්මාන්තය පැමිණ ඇති අපූරු ගමන ගැනය. ඒ විස්මිත ගමනේ තිරය පිටුපස කතාව ගැන ලබන සතියේ කතා කරමු,

(Silumina - 26 July 26)

Sunday, July 19, 2026

රවී වීරසිංහ නම් පඳුරු තලන්නා හා සිංහල බ්ලොග් ලෝකය

 


ක්බාර් පාලමෙන් ඉංජිනේරු පීඨය දෙසට ඇවිද විත්, පේරාදෙණිය – ගම්පොළ අලුත් පාර පැන ඉදිරියට යන්නට ඇති කුඩා පටු මාවතේ වම්පසින් හමුවන්නේ අක්බාර්, ඇන්ඩ්රියාස් නෙල් සිසු නේවාසිකාගාර පෙළයි. දකුණු පස ඇති ගොඩනැඟිලි සමූහයේ ඉතා දිගු කොරිදෝරය කෙළවර, ආපණශාලා දොරටුව අසල විශාල පුවරුවක් තිබුණි. එය අපේ “කලා කවය” හෙවත් බිත්ති පුවත්පතයි. කලකට පෙර ඔය කලා පුවරුවේ අතින් කවි, කතන්දර ලියූ කිහිපදෙනෙක්ම පසුකාලීනව සයිබර් අවකාශයේ ජනප්රිය බ්ලොග්කරුවන් බවට පත් වූහ.

එම පටු මාවතේ හැරෙන්නේ නැතුව කෙළින්ම ගියහොත් කොච්චි පාරට පහළින් ඇති පැණිදෙණිය කඩමණ්ඩිය හමුවෙයි. හන්දියෙන් ගෙලිඔය පැත්තට මඳක් ඇවිද ගොස් අතුරු මාවතකට හැරුණු විට, මගේ හිතාදර මහාචාර්ය දෙපළක් වූ කීර්ති වල්ගම සහ ආර්. ශාන්තිනි යුවළ මිලට ගත් තුරු වදුලින් පිරි නිස්කලංක නිවහන හමුවේ. සොඳුරු බ්ලොග් රචකයකු වූ රවී වීරසිංහ ජීවත් වූයේ ද ඒ කිට්ටුවම බව මා දැනගත්තේ පසු කලෙක දෝහා නගරයේදී ඔහුව මුහුණට මුහුණ හමු වූ දිනකය.
“අර ශාන්තිනි නෝනලාගේ වත්තේ තිබුණු උණ පඳුරකින් අපි වෙසක් සැරසිලිවලට උණ ගස් වගයක් කපාගත්තා. හරිම හිත හොඳ මිනිස්සු…”
ඔහු එදා මන්දස්මිතයකින් යුතුව ඒ අතීතය ආවර්ජනය කළේය.
මෙම උණ පඳුරු කතාව කියද්දී මට මතක් වූයේ, රවී ඒ වන විටත් සිංහල බ්ලොග් අවකාශය තුළ අතිශය ජනප්රිය “පඳුරු තළන්නකු” වී සිටි වගයි!
අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරගන්නා ඉතිහාසය දෙස හැරී බැලීමේදී, බ්ලොග්කරණය යනු ලෝක සන්නිවේදන රටාව උඩුයටිකුරු කළ සුවිශේෂී සන්ධිස්ථානයකි. අද වන විට කෙටි සමාජ මාධ්ය සටහන් සහ ක්ෂණික වීඩියෝ දර්ශන ඉදිරියට පැමිණ තිබුණද, ගැඹුරු සංවාදයන් සහ නිර්මාණශීලී සාහිත්යයක් සයිබර් අවකාශය තුළ බිහිවීමට පදනම වැටුණේ බ්ලොග් අඩවි හරහාය.
වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සාමාන්ය පරිශීලකයකුට සංකීර්ණ තාක්ෂණික කාර්යයක්ව පැවති යුගයක, එම බාධකය බිඳ හෙළමින් 1997 දෙසැම්බර් මාසයේදී ජෝර්න් බාර්ගර් විසින් අන්තර්ජාලය තුළ තමන් කැමැති සබැඳි හා සටහන්, සටහන් කර තැබීමේ ක්රියාවලිය හැඳින්වීමට ‘Weblog’ යන වචනය භාවිතයට ගෙන ආවේය. පසුව 1999දී පීටර් මෙරහෝල්ස් එය ‘we blog’ ලෙස වෙන් කර දැක්වීමෙන් ‘Blog’ යන කෙටි නාමය ලොව පුරා ජනප්රිය විය.
බ්ලොග් කලාව තාක්ෂණික ප්රවීණයන්ගෙන් මිදී සාමාන්ය ජනතාව අතට පත් වීමට ප්රධානතම හේතුව වූයේ 1999 අගෝස්තු මාසයේදී ඉවන් විලියම්ස් සහ මෙග් හවුරිහන් විසින් Pyra Labs සමාගම හරහා Blogger.com වේදිකාව හඳුන්වා දීමයි. පරිශීලකයාට කිසිදු කේතකරණ දැනුමකින් තොරව, වෙබ් පෝරමයක් පිරවීමෙන් පමණක් සිය අදහස් ක්ෂණිකව අන්තර්ජාලයට මුදාහැරීමේ පහසුකම ලැබුණු අතර, 2003 වසරේදී Google සමාගම විසින් Blogger සේවාව මිලදී ගැනීමෙන් පසු එහි බොහෝ සේවාවන් නොමිලේ ලබාදෙමින් බ්ලොග්කරණය ලොව පුරා සාමාන්ය ජනතාව අතර තවත් ජනප්රිය කළේය.
මෙම තාක්ෂණික විප්ලවය ලංකාවට පැමිණ සිංහල යුනිකෝඩ් තාක්ෂණය සමඟ මුසු වීමත් සමඟ, මාගේ නිරීක්ෂණයට අනුව 2010 පමණ සිට 2018 දක්වා කාලය ලාංකේය බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකිය.
ඉන් වසර ගණනාවකටම පෙර සිට ශ්රී ලාංකික බ්ලොග්කරුවෝ විවිධ තාක්ෂණ ඔස්සේ ලියමින් එකමුතු වෙමින් සිටියහ. එදා රචකයන් බ්ලොග් දර්ශක හෙවත් සින්ඩිකේටර් හරහා එකිනෙකාගේ ලිපි කියවමින් ඉතාම සජීවී සහෝදරත්වයකින් යුත් ප්රජාවක් ගොඩනඟා ගත් අතර, සංස්කෘතික අමාත්යාංශය පවා දැනුවත් විය යුතු සුවිශේෂී සාහිත්ය හා ප්රකාශන මාධ්යයක් ලෙස සිංහල බ්ලොග්කරණය එළිදුටුවේය. සංස්කෘතික සීමා හා උස්මිටිකම් නොතැකූ බ්ලොග් ලේඛන අතරින් පෙරාගත හැකි මිණිකැට එමටය.
Blogger හා WordPress ඇතුළු බ්ලොග් වේදිකා ඔස්සේ ලියන ලක්ෂ සංඛ්යාත ජාත්යන්තර බ්ලොග් රචකයන් අතරට සිංහලෙන් ලියන බ්ලොග්කරුවෝ ද විශාල පිරිසක් එක්වූහ. ලෝකය තනි යායක් කළ, උස්පහත් භේද නැති මේ අවකාශයේ සරසවි ආචාර්යවරුන්, දේශපාලනඥයන්, විවිධ වෘත්තිකයන්, ව්යාපාරිකයන් මෙන්ම, කාර්මිකයන්, ගොවියන්, සිල්ලර වෙළෙන්දන් සහ සරසවි සිසුන් ආදි සියලු තරාතිරම්වල ලිවීමට හා කියවීමට ලැදි එකමුතු ජන සමාජයක් බිහි විය. ඉන් සමහර දෙනෙක් පසුකාලීනව දිගටම ලේඛන කලාවේ රැඳෙමින් ප්රසිද්ධ කතුවරුන් බවට පත් වූහ. අනෙක් අය නොයෙක් විෂය ක්ෂේත්රවල ඉදිරියට යමින් තම තමන්ගේ දැනුම සහ අත්දැකීම් තවදුරටත් බෙදා හදා ගනිමින් සිටිති.
සිය නිර්මාණවලින් දැනුම, සාහිත්යය, ප්රහසනය, දේශපාලනය සහ අතීත සිදුවීම් ආදී මේ සියල්ල රසවත්ව පාඨකයා හමුවේ තැබිය හැකි සිංහල බ්ලොග් රචකයන් අතරින් ප්රමුඛයකු වූයේ, පසුගියදා හදිසියේම අපෙන් සමුගත් ප්රවීණ බ්ලොග් ලේඛක රවී වීරසිංහයන්ය. ඔහු සම-කර්තෘත්වය දැරූ ‘නිදහස් සිතුවිලි’ අඩවිය ද ලාංකේය පාඨක හදවත් පිනවූ තෝතැන්නක් වූ අතර, ඔහුගේ ලේඛන ශෛලියෙහි වූ සුවිශේෂීම ලක්ෂණය වූයේ “Beat around the bush” යන ඉංග්රීසි ව්යවහාරයට සමීප වූ, පඳුරට තළමින් වටවංගු ගසමින් කතාව ඉදිරිපත් කිරීමේ අපූර්ව කලාවයි.
එකම ලිපියක් තුළින් විවිධ මාතෘකා එකට මුසු කිරීමට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවකි. ඔහු කතාව කෙළින්ම නොකියා වටවංගු ගසමින් ඇදගෙන යන විට පාඨකයාට කිසිදු කම්මැළිකමක් දැනුණේ නැත. ඒ වෙනුවට දැනුණේ තව තවත් කියවීමේ කුතුහලයකි. වසරක් තුළ මේ සියලු අංගවලින් පොහොසත් අපූර්ව නිර්මාණ 90ක් බ්ලොග් අවකාශයට දායාද කරමින් කළ අනුපමේය මෙහෙවර උදෙසා, 2016 නෙළුම්යාය බ්ලොග් සම්මාන උලෙළේදී “වසරේ බ්ලොග්කරු” ලෙස සම්මානයට පාත්ර වූයේ ද ඔහුගේ මෙම සුවිශේෂී කුසලතාව නිසාමය.
වැලිකන්ද මහවැලි ව්යාපාරයේ තාක්ෂණ නිලධාරියකු ලෙස ලැබූ අත්දැකීම් ද, අනුරාධපුරයේ පුරාවිද්යා වැඩබිම්වල මතකයන් ද, මළගෙදරකදී හමු වූ සිත්ගත් තරුණියකගේ රූපය ද, කටාර් රාජ්යයේ ප්රමාණ සමීක්ෂකයකු ලෙස දුටු සමහර දේවල් මෙන්ම චේතන් භගත්ගේ නවකතාවක කොටසක් ද එකට අල්ලාගෙන ඔහු ලියූ ලිපි මාලාවන් හා අදහස් දැක්වීම් රසයෙන් අනූන විය.
ඔහුගේ ලිපිවලින් පෙනුණු ඒ මෘදු මොළොක් බව, සුහදශීලී හාස්යය සහ උගත්කම ඔහුගේ සැබෑ ජීවිතයේ ද එලෙසින්ම ගැබ්ව තිබුණි. බ්ලොග් ලෝකයේ නොයෙකුත් මතභේද සහ “බ්ලොග් වලි” ඉඳහිට තිබුණද, රවී පිළිබඳව කිසිවෙකුගේ හෝ සිතක අමනාපයක් තිබුණු බවක් මා කිසිදා අසා නැත. ඔහු සැමවිටම සිය සහෝදර බ්ලොග් රචකයන්ගේ නිර්මාණ අගය කරමින්, උපදෙස් දෙමින් පෙරගමනේ යෙදුණු නිහතමානී මිනිසෙකි.
2014 වසරේදී මා කටාර් රාජ්යයේ සේවය කරන බව අසා, මා හමුවීමට පොත් කිහිපයක් ද රැගෙන ඔහු පැමිණියේය. ඉන්පෙර අප හමුවී තිබුණේ බ්ලොග් අවකාශයේ කෙරෙන සංවාදවලදී පමණකි. එදා ඔහු මා වෙත තිළිණ කළේ නීල් විජේරත්නයන් ලියූ තීරු ලිපි එකතුවක් වූ ‘බෙංගාලි යෙහෙළිය’ පොතයි. මගේ ප්රථම පොත වූ ‘තිලක සිත 1’ බ්ලොග් තීරු ලිපි එකතුව ඔහු ඒ වන විටත් කියවා තිබුණි. ඔහු එදා පැවසුවේ ඒ පොත් දෙකෙන්ම ඔහුට දැනුණේ එකම රසවත් බවක් බවය. ඒ රවී මා දිරිමත් කළ සුන්දර උපක්රමයයි.
අද වන විට තාක්ෂණය තවදුරටත් ඉදිරියට ගොස් ඇත. Blogger.com වැනි වේදිකා පසුකර මිනිසුන් ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් වැනි සමාජ මාධ්ය වෙත යොමුවීමත් සමඟ, එදා තිබූ ඒ සුන්දර සහෝදරත්වයෙන් පිරි බ්ලොග් ප්රජාව අද වන විට විසිරී හුදෙකලා වී ඇත. එහෙත් තවත් සිය ගණනක් නවක ලේඛක ලේඛිකාවෝ බ්ලොග් රචනයට නිතිපතා පිවිසෙති. ඔවුන් අතරින් අනාගත සාහිත්යයේ සහ ලේඛන කලාවේ දැවැන්තයන් බිහිවිය හැකිය. සමහර ප්රවීණ රචකයෝ ද අදටත් නොනැවතී නිර්මාණකරණයේ යෙදෙති.
එනිසා බ්ලොග් රචනය යනු යළි බැබළවිය යුතු, වැඩි අවධානයක් යොමු විය යුතු ලේඛන මාධ්යයකි. සැබැවින්ම රවී වීරසිංහ පඳුරු තළමින් නොකියා කියා ගියේද එයමය.
(Silumina 19 July 2026 Thilakasitha Column)

Tuesday, July 14, 2026

අක්බාර් පාල­මෙන් උප­කු­ල­පති බංග­ලා­වට…

සු­ගිය සතියේ මහ­වැලි නදිය මතින් විහි­දෙන පේරා­දෙ­ණිය සර­සවි බිමේ මන­ස්කාන්ත අක්බාර් මගී පාලම මත අපි මොහො­තක් නැව­තු­ණෙමු. පාල­මක් ගැන ලියන්න පටන් ගත් ඒ ගමන, අව­සා­නයේ ශ්රී ලංකාවේ ඉංජි­නේරු අධ්යා­ප­නයේ පියා ලෙස සැල­කෙන අපූරු මිනි­සකු වෙත මා රැගෙන යනු ඇතැයි එදා මම නොසි­තු­වෙමි.

1960 දශ­කයේ මුල් භාගයේ ඉදි වූ මේ පාලම මහ­වැලි ගඟ මැද එක කණු­ව­ක්වත් නොතබා පෙර­සවි (Pre-stressed Concrete) තාක්ෂ­ණය ඔස්සේ ඉදි කළ ශ්රී ලංකාවේ ඉංජි­නේරු නිර්මාණ කලාවේ අපූරු සන්ධි­ස්ථා­න­යකි. එව­කට ලොව ප්රකට ඉංජි­නේරු උප­දේ­ශක සමා­ග­මක් වූ එංග­ල­න්තයේ Husband & Company විසින් එය සැල­සුම් කරන ලද අතර, ශ්රී ලාංකික ඉදි­කි­රීම් සමා­ග­මක් විසින් එය ඉදි කෙරිණි. මීටර් 160ක් පමණ දිග මේ පාලම මතින් වාහන ධාව­නය නොක­ළත්, ඒ මතින් එහා-මෙහා ගිය දස­ද­හස් ගණ­නක් පේරා­දෙණි සර­සවි සිසු-සිසුවියෝ අද ලොව පුරා විසිරී සිටිති. ඔවු­න්ගෙන් බොහෝ දෙනෙක් වසර ගණ­නා­ව­කට පසු නැවත සර­ස­වි­යට පැමි­ණෙන්නේ නම්, අක්බාර් පාලම මත මොහො­තක් නතර වී ඡායා­රූ­ප­යක් ගැනී­මට අම­තක නොක­රති.
එහෙත් අක්බාර් පාලම ඉදි වූයේ මහ­වැලි ගඟ තර­ණය කිරී­මට පම­ණක් නොවේ. එය පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු පීඨය සඳහා සැල­සුම් කළ සමස්ත ඉංජි­නේරු පරි­ස­රයේ සුවි­ශේෂ අංග­යකි. ඒ නිසාම පාලම ගැන සොය­න්නට ගිය මගේ ගමන අව­සා­නයේ නැව­තුණේ පේරා­දෙණි ඉංජි­නේරු පීඨය හා අක්බර් පාලම ඇතුළු සියල්ල බිහි කර­න්නට නාය­ක­ත්වය දුන් මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා අස­ලය.
මේ ලිපිය සකස් කිරී­මේදී මගේ පේරා­දෙණි ගුරු­තු­මකු මෙන්ම රුහුණ විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු පීඨයේ ප්රථම පීඨා­ධි­ප­ති­ව­රයා වූ ආචාර්ය ජීවා­නන්ද කීර්ති­සේන මහතා සමඟ කළ කතා­බ­හත්, ඔහු විසින් සම්පා­ද­නය කරන ලද ලිපි සට­හන් සහ මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා පිළි­බඳ ලියැ­වුණු විවිධ මූලා­ශ්ර­යන් බෙහෙ­වින් උප­කාරි විය.
1988-89 භීෂණ සම­යෙන් පසු විශ්ව­වි­ද්යාල යළි විවෘත වූ 1990 වසරේ මමත් පේරා­දෙ­ණිය සර­ස­වියේ ශිෂ්ය­යෙක් වීමි. කාල­යක් සියලු සාහිත්ය හා කලා රස අත්හැර දමා තිබූ සමා­ජ­යක් යළි හුස්ම ගන්නට පටන් ගත් ඒ සමයේ සත්ය­ජිත් රායිගේ සිනමා උලෙ­ළක් සංවි­ධා­නය කිරී­මට අපට අව­ස්ථාව ලැබිණි. පතෙර් පංචාලි, අප­රා­ජිතෝ සහ අපූර් සංසාර් ඇතු­ළත් අපූර් ත්රිත්වය මුල්ව­රට මා නැර­ඹුවේ එදාය.
සිනමා දර්ශන අව­සන් වී පිට­තට එන විට අපි කතා කළේ සත්ය­ජිත් රායිගේ කැම­රාව මනු­ෂ්ය­ත්වයේ සියුම් හැඟීම් අල්ලා­ගත් ආකා­රය ගැනය. එහෙත් ඒ රඟ­හලේ දොර­ටුවේ ලියා තිබූ E.O.E. Pereira Auditorium යන නාමය පිටු­පස සිටි මිනිසා කවු­දැයි අප එදා හරි-හැටි දැන සිටියේ නැත.
අද මේ සියල්ල එකට ගළපා බලන විට මට සිතෙන්නේ සත්ය­ජිත් රායි සිය සින­මා­වෙන් මනු­ෂ්ය­ත්වය අම­ර­ණීය කළා සේම, ඒ ශ්රව­ණා­ගා­ර­යට නම උරුම කර දුන් මිනිසා මනු­ෂ්ය­ත්ව­යට මෙන්ම අපේ රටේ මානව සංව­ර්ධ­න­ය­ටද අප­මණ දාය­ක­ත්ව­යක් දී ඇති බවයි.
පේරා­දෙ­ණිය යනු අහ­ම්බෙන් බිහි වූ සර­ස­වි­යක් නොවේ. මහ­වැලි නදිය, හන්තාන කඳු වැටිය, මාර්ග, පාලම්, ගස්වැල් සහ ගොඩ­නැ­ඟිලි එකි­නෙක සමඟ සංවාද කරන ජීව­මාන අධ්යා­පන නග­ර­යකි. නව ලංඩන් නුවර සැල­සුම් කළ සර් පැට්රික් අබ­ර්ක්රෝම්බි ද ඒ සැලැස්ම පසු­බිමේ සිටි­යේය. ඒ අපූරු සංක­ල්පය සමඟ මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේ­රාගේ දැක්ම මනා සේ ගැළ­පුණු නිසා අක්බාර් පාලම, ඉංජි­නේරු පීඨය සහ ඒ අවට නිර්මා­ණය වූ පරි­ස­රය මුල් සැලැස්මේ ස්වාභා­වික දිගු­වක් ලෙස අදත් පෙනේ.
ආචාර්ය ජීවා­නන්ද කීර්ති­සේ­න­යන් පෙන්වා දුන් තවත් වැද­ගත් කරු­ණක් වන්නේ පේරා­දෙ­ණිය ඉංජි­නේරු පීඨය යනු පසුව බිහි වූ මොර­ටුව, රුහුණ සහ යාප­නය විශ්ව­වි­ද්යා­ල­වල ඉංජි­නේරු පීඨ සඳ­හාද ආදර්ශ මූලා­කෘ­ති­යක් වූ බවයි. පේරා­දෙ­ණි­යෙන් ආරම්භ වූ අධ්යා­ප­නික සංක­ල්පය පසුව ශ්රී ලංකාවේ ඉංජි­නේරු අධ්යා­ප­නයේ සම්ප්ර­දාය බවට පත් විය. එප­ම­ණක් නොව, ශ්රී ලංකා විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු උපා­ධි­යට අන්ත­ර්ජා­තික පිළි­ගැ­නී­මක් දීම සඳ­හාද මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා විශාල වෙහෙ­සක් දැරීය. ඒ නිසාම ඔහු ‘ශ්රී ලංකාවේ ඉංජි­නේරු අධ්යා­ප­නයේ පියා’ ලෙස හැඳි­න්වීම සාධා­ර­ණය.
එහෙත් ඔහුගේ ශ්රේෂ්ඨ­ත්වය මැනෙන්නේ ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් පම­ණක් නොවේ. ඔහුගේ චරි­තයේ සැබෑ උස පෙන්වන කතා­වක් අදත් පේරා­දෙ­ණියේ ආදි සිසුන් අතර ජීවත් වෙයි:
මීට වසර හැට­කට පමණ පෙර පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ලයේ සිසු­වි­යන්ගේ නේවා­සි­කා­ගා­ර­යක දෘශ්යා­බා­ධිත සිසු­වි­යක් නේවා­සි­කව සිටි­යාය. ඇය තම දෘශ්යා­බා­ධිත පෙම්වතා නිසා අන­පේ­ක්ෂිත ගැබ් ගැනී­ම­කට මුහුණ දුන්නාය. අව­සන් වසරේ උපාධි විභා­ග­යට තවත් තිබුණේ මාස කිහි­ප­යක් පමණි. සිද්ධිය විශ්ව­වි­ද්යා­ල­යට ආරංචි වූ පසු නේවා­සි­කා­ගා­රයේ විනය නීති ක්රියා­ත්මක විය. ඇය නේවා­සි­කා­ගා­ර­යෙන් ඉවත් කෙරිණි. විනය නීති අනුව එය සාධා­රණ තීර­ණ­යක් විය හැකිය. එහෙත් නීති­යට පිටු­ප­සින් තවත් ජීවි­ත­යක් තිබිණි. දෑස් නොපෙ­නෙන තරු­ණි­යකි. ගැබි­නි­යකි. අව­සන් විභා­ගය අත ළඟය. පෙම්ව­තාද දෘශ්යා­බා­ධි­තය. එවැනි මොහො­තක සිය­දිවි නසා­ගැ­නී­මක් වුවද, උපා­ධිය අත්හැර දැමී­මක් වුවද, දෙදෙනා සද­හ­ටම වෙන්ව යෑමක් වුවද සිදු වන්නට ඉඩ තිබිණි.
එහෙත් ඒ එක­ක්වත් සිදු වූයේ නැත. වැඩි­හිටි යුව­ළක් තම නිවෙසේ දොර විවෘත කළහ. ඔවුහු ඇය තම නිවෙ­සට කැඳ­වා­ගෙන ගොස්, ප්රශ්නය විස­ඳෙන තුරු රැක­ව­රණ දුන්නෝය. එනි­සාම ඇයට විභා­ග­යට පෙනී සිට, උපා­ධිය සම්පූර්ණ කිරී­මට ශක්තිය ලැබිණි. පසුව, ඇයත් ඇයගේ පෙම්ව­තාත් විවාහ වූහ.
එදා ඇයට තාව­කා­ලික රැක­ව­රණ ලැබූ නිවෙස සාමාන්ය නිවෙ­සක් නොවීය. ඒ, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ලයේ උප­කු­ල­පති බංග­ලා­වයි. ඒ දයා­බර වැඩි­හිටි යුවළ අන් කිසි­වකු වත් නොව; එව­කට උප­කු­ල­ප­ති­ව­රයා වූ මහා­චාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා සහ ඔහුගේ බිරි­යයි.
මේ සිදු­වීම ආචාර්ය බ්රැන්ඩන් ගුණ­රත්න විසින් කල­කට පෙර ලියන ලද Scholar and Gentleman ලිපි­යේද සඳ­හන් වේ.
1907 සැප්තැ­ම්බර් 13 වැනිදා උපත ලැබූ ඊ.ඕ.ඊ. පෙරේරා රාජ­කීය විද්යා­ලයේ දීප්ති­මත් ආදි­ශි­ෂ්ය­යෙකි. පළ­මු­වැනි පන්තියේ ගෞරව සාම­ර්ථ්ය­යක් සමඟ ඉංජි­නේරු උපා­ධිය ලබා කේම්බ්රිජ් විශ්ව­වි­ද්යා­ලයේ ඩවුනිං විද්යා­ල­යට පිවිසි ඔහු නැවත මවු­බි­මට පැමිණ සර­සවි ආචාර්ය මණ්ඩ­ල­යට බැඳු­ණේය. ඔහු ලංකා විශ්ව­වි­ද්යා­ලයේ ඉංජි­නේරු පීඨයේ ආර­ම්භක පීඨා­ධි­පති ලෙසත්, පසුව උප­කු­ල­පති ලෙසත් සේවය කර­මින් මෙරට ඉංජි­නේරු අධ්යා­ප­න­යට අත්ති­වා­රම දැමීය.
1988දී ඔහු අභා­ව­ප්රාප්ත වුවද, අක්බාර් පාලම ඔස්සේ අදත් දින­පතා දහස් ගණ­නක් මහ­වැලි නදිය තර­ණය කරති. පේරා­දෙණි සර­ස­විය හන්තාන කඳු පාමුල සජීව චම­ත්කා­ර­යක් හා අභි­මා­න­යක් දර­මින් හුස්ම ගනී. ඊ.ඕ.ඊ. පෙරේරා ශ්රව­ණා­ගා­රය අදත් තරුණ සිසු-සිසු­වි­යන්ගේ කතා­බ­හෙන්, සිනහ­වෙන් සහ සිහි­න­ව­ලින් පිරී පවතී.
එහෙත් මේ සිය­ල්ලට ඉහ­ළින්, කිසිදා දේශ­පා­ලන වර­දාන පසු­පස නොගිය උත්තුංග මිනි­සුන්ගේ සෙව­ණැලි වැටී තිබෙන බව පැහැ­දි­ලිය. අද අප කළ යුත්තේ, මේ උත්තුංග මිනි­සුන් පද­නම දැමූ විසල් දැක්මට ගරු කර­මින්, එය නවීන ලෝක­යට ගැළ­පෙන සේ තව තවත් ඔසවා පුළුල් කිරී­මය.
See less

( Silumina 12-07-26, Image-AI)