ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේද මේ දිනවල කෘත්‍රිම බුද්ධිය හෙවත් AI ගැන කිසියම් ප්‍රබෝධයක් ඇති වෙමින් තිබේ. සම්මන්ත්‍රණ කෙරෙයි. දේශන පැවැත්වෙයි. පාඨමාලා හැදෙයි. AI නිසා රැකියා නැති වේද, අලුත් රැකියා හැදේද, ළමයින් ඉගෙන ගන්නා හැටි වෙනස් වේද ආදි කතාද ඒ අතර ඇසෙයි.
පසුගිය දිනෙක මේ ප්‍රවණතාව ගැන වෘත්තීය මිතුරන් පිරිසක් අතරේ කතාබහක් ඇති වූ අවස්ථාවක මමද එයට එක් වීමි. කතාව ටිකෙන් ටික AIවලින්, ලෝක බලතුලනය පැත්තට ගියේය.
මීට කලකට පෙර GPS තාක්ෂණය ලෝ පුරා පැතිරෙන විටද මෙවැනි කතා තිබුණි. GPS අමෙරිකාව සතු පද්ධතියකි. අප යන පාර සොයාගන්නට, ගුවන්යානා හා නැව් ගමන් කරන්නට පමණක් නොව, සන්නිවේදනයේ සිට බැංකු පද්ධති දක්වා බොහෝ කටයුතුවලට චන්ද්‍රිකා මඟින් ලැබෙන ස්ථාන හා කාල තොරතුරු අද වැදගත්ය.
එවිට මතු වූ ප්‍රශ්නයක් වූයේ මෙතරම් වැදගත් තාක්ෂණයක් සඳහා වෙනත් රටක් මත රඳා සිටීම කොතරම් සුදුසුද යන්නයි. රුසියාවට GLONASS තිබේ. යුරෝපය Galileo ගොඩනැඟුවේය. චීනය BeiDou ද, ඉන්දියාව NavIC ද ගොඩනඟා ගත්තේය. ඒවා ගොඩනැඟීමට හේතු එකක් පමණක් නොවුණත්, තාක්ෂණික හා උපායමාර්ගික ස්වාධීනත්වය එහි වැදගත් සාධකයකි.
දැන් AI සමඟ ඒ කතාබහ තවත් විශාල වී ඇත. අනාගතයේ AI තාක්ෂණය, පරිගණක බලය, දත්ත හා මුදල් වැඩියෙන් ඇති රටවල් සහ සමාගම් කිහිපයක් ලෝකය කෙරෙහි අසමාන බලයක් අත් කරගනීවිද? AI සම්බන්ධ නව ආකාරයක තාක්ෂණික යටත්විජිතවාදයක් ගැනද අදහස් මතු වෙමින් තිබේ.
ඒ කතාව අතරේ කෙනෙක් අපූරු දෙයක් මතක් කළේය: ‘බටහිරින් අපට AI එන්න කලින්, පෙරදිගින් බටහිරට බින්දුව ගියා.’
ඒ වාක්‍යය මගේ හිතේ නතර විය. බින්දුවක් නැති ලෝකයක්?
තව ටිකක් කල්පනා කරද්දී අපේ ජීවිතයේ හැම තැනම බින්දුව තිබෙන බව මට පෙනිණි. බැංකු ගිණුමේ බින්දු වැඩි වන විට අපි සතුටු වෙමු. විභාගයකට බින්දුවක් ලැබුණොත් ඒ සතුට නැත. උෂ්ණත්වය බින්දුවට බැස්සායි කී විට සීතල ගැන සිතමු.
එහෙත් බින්දුව නැති ලෝකයක් ගැන අප සිතන්නේ කලාතුරකිනි. බින්දුව නොතිබුණා නම් ගණිතය බිහි නොවී තිබේවිද? එය එසේ නොවේ.
බින්දුව අද අප දන්නා ආකාරයෙන් භාවිතයට එන්න පෙරද ග්‍රීකයන් විශිෂ්ට ගණිතයක් ගොඩනඟා තිබිණි. යුක්ලීඩ් ජ්‍යාමිතිය ක්‍රමවත් කළේය. ආකිමිඩීස් වර්ගඵල, පරිමාව හා වෘත්ත ගැන පුදුමාකාර ගණනය කිරීම් කළේය. ඔවුන්ගේ ගණිතයේ විශාල ශක්තියක් තිබුණේ ජ්‍යාමිතිය හා අනුපාත පිළිබඳ චින්තනය තුළය.
රෝමවරුන්ටද අද අප භාවිත කරන ආකාරයේ බින්දුවක් තිබුණේ නැත. අප 205 කියා ලියන සංඛ්‍යාව ඔවුහු CCV ලෙස ලියූහ. රෝම ඉලක්කම්වලින් 2,375 X 428 ගුණ කරන්නට ගියොත් අපේ සංඛ්‍යා ක්‍රමය කොතරම් වටින්නේදැයි ඉක්මනින් තේරෙනු ඇත.
5, 50, 500, 5000.
ඉලක්කම එකමය. එහි වටිනාකම තීරණය කරන්නේ එය සිටින ස්ථානයයි. හිස් ස්ථානයට අර්ථයක් දෙන්නේ බින්දුවයි. ඒ නිසා බින්දුව නිකම්ම වටකුරු රූපයක් නොවේ. ‘කිසිවක් නැති බව’ ගණිතයට ඇතුළත් කර, එය සංඛ්‍යා පද්ධතියක ක්‍රියාකාරි කොටසක් බවට පත් කිරීම මිනිස් චින්තනයේ විශාල පිම්මකි.
එසේනම් බින්දුව සොයාගත්තේ කවුද?
මෙහිදී කුතූහලය දනවන ප්‍රශ්නයක් තිබේ. ‘ඉන්දියාව බින්දුව සොයාගත්තා’ කියා සරලව කීවොත් මේ දිගු ඉතිහාසයට යම් අසාධාරණයක් වෙයි. පැරණි බැබිලෝනියානුවෝ සංඛ්‍යාවක හිස් ස්ථානයක් දැක්වීමට සලකුණු භාවිත කළහ. මායා ශිෂ්ටාචාරයද බින්දුවට අදාළ සංකේතයක් නිර්මාණය කළ බවත්, ග්‍රීක තාරකා විද්‍යා ගණනයන් තුළත් හිස් ස්ථානයක් දැක්වීමට සංකේත භාවිත කළ බවත් සඳහන් වේ.
එහෙත් ඉන්දියාවේ සිදු වූ දෙය ගණිතයේ පැහැදිලි ඉදිරි පියවරක් විය. ඉන්දීය ගණිත සම්ප්‍රදාය තුළ බින්දුව ස්ථානීය දශම සංඛ්‍යා ක්‍රමයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් වූ අතර, ක්‍රමයෙන් එය ස්වාධීන සංඛ්‍යාවක් ලෙසද ගණිතයට ඇතුළත් විය.
මේ කතාවේ වැදගත්ම පුද්ගලයා බ්‍රහ්මගුප්තය. ක්‍රිස්තු වර්ෂ 628 දී ඔහු සිය ‘බ්‍රහ්මගුප්ත සිද්ධාන්ත’ කෘතියෙන් බින්දුව සමඟ ගණිත ක්‍රියා කිරීමට නීති ඉදිරිපත් කළේය. ඔහුගේ සියලු නීති අද ගණිතයට අනුව නිවැරදි නොවුණත්, බින්දුව ස්වාධීන ගණිතමය සංකල්පයක් ලෙස සැලකීමේදී එය විශාල ඉදිරි පියවරකි.
සංස්කෘත භාෂාවේ ඒ සංකල්පය ‘ශූන්‍ය’ ය; හිස් බවය; කිසිවක් නැති බවය. ඒ ‘කිසිවක් නැති දෙය’ පසුව ලෝකය වෙනස් කළේය.
ඉන්දියාවේ මේ ගණිත දැනුම මුලින්ම ඉස්ලාමීය ලෝකයට ගියේය. නවවැනි සියවස වන විට බැග්ඩෑඩය විශාල දැනුම් මධ්‍යස්ථානයක් වී තිබිණි. අල්-ක්වාරිස්මි වැනි ගණිතඥයෝ ඉන්දීය සංඛ්‍යා ක්‍රමය ගැන ලියූහ. පසුව ඒ දැනුම උතුරු අප්‍රිකාව, ඉස්ලාමීය ස්පාඤ්ඤය හා මධ්‍යධරණී ලෝකය ඔස්සේ යුරෝපයට ගියේය. 1202 දී ෆිබොනාචි සිය ‘Liber Abaci’ කෘතියෙන් හින්දු-අරාබි සංඛ්‍යා ක්‍රමය යුරෝපයේ ප්‍රචලිත කිරීමට විශාල දායකත්වයක් දුන්නේය.
බින්දුවේ ගමන කෙටියෙන් කිව හොත්: එය ඉන්දියාවෙන් ඉස්ලාමීය ලෝකයටත්, එතැනින් මධ්‍යධරණී ලෝකය හරහා යුරෝපයටත් ගමන් කළේය.
එහෙත් එය එක රැයකින් සිදු වූ විප්ලවයක් නොවේ. ෆිබොනාචිගෙන් පසුවත් යුරෝපයේ රෝම ඉලක්කම් දිගටම භාවිත විය. හින්දු-අරාබි සංඛ්‍යා පද්ධතිය පුළුල්ව පැතිරීමට තවත් සියවස් ගණනක් ගියේය.
අද මා ජීවත් වන ඉස්තාන්බුල් නගරය දෙස බලන විට, බින්දුවේ යුරෝපාගමනයට මේ නගරය කෙසේ දායක වන්නට ඇද්දැයි මම සොයා බැලුවෙමි. එය ආසියාවත්, යුරෝපයත් එකිනෙක හමු වන කේන්ද්‍රීය නගරයක් වීම ඊට හේතුවයි. එහෙත්, සොයා බලන විට ප්‍රධාන මාර්ගය ඉස්තාන්බුල් පමණක් නොවන බව පෙනෙයි. උතුරු අප්‍රිකාව, ඉස්ලාමීය ස්පාඤ්ඤය, සිසිලිය සහ මධ්‍යධරණී දැනුම් හුවමාරුව ඒ කතාවේ වඩා පැහැදිලි මාර්ගයකි.
නූතන ඩිජිටල් පරිගණක ලෝකයේ අපට නැවතත් බින්දුව හමු වෙයි. පරිගණකයේ ද්විමය හෙවත් ‘binary’ නිරූපණය අප සාමාන්‍යයෙන් 0 සහ 1 ලෙස ලියමු. ඒ දෙකේ දිගු රටා තුළින් සංඛ්‍යා, අකුරු, පින්තූර, හඬ සහ පරිගණක උපදෙස් නිරූපණය කළ හැකිය.
“ඉන්දියාව බින්දුව සොයා නොගත්තා නම් පරිගණකය හෝ AI කිසිදා බිහි නොවනු ඇත” යැයි කියන්නට මම ඉක්මන් නොවෙමි. ද්විමය චින්තනයේ ඉතිහාසයට ලයිබ්නිට්ස්, බූල්, ෂැනන් වැනි අයද දායක වූහ. 0 සහ 1 වෙනුවට A සහ B යෙදුවත් එහි තර්කය ක්‍රියා කරනු ඇත. එහෙත් බින්දුව හා ස්ථානීය සංඛ්‍යා ක්‍රමය මිනිස් ගණිත චින්තනයේ කළ විප්ලවය නොතිබුණා නම් නූතන ගණිතය, විද්‍යාව හා තාක්ෂණය අද අප දන්නා ආකාරයටම වර්ධනය වේ යැයි සිතීමත් අසීරුය.
එවිට මට නැවතත් ලිපියේ පිවිසුම් වාක්‍යය මතක් වෙයි. ‘එදා බින්දුව පෙරදිගින් බටහිරට ගියේය; අද AI බටහිරින් පෙරදිගට එන්නේය’ යන්නයි.
එයත් එක්තරා ආකාරයක අතිශයෝක්තියකි. AI බටහිර ලෝකයේ තනි නිර්මාණයක් නොවේ. ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු ආසියානු රටවල විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් එහි වර්ධනයට විශාල දායකත්වයක් සපයා තිබේ.
ඇත්තටම දැනුමට පෙරදිගක්වත්, බටහිරක්වත් නැත.
එක් ශිෂ්ටාචාරයක උපන් අදහසක් තවත් ශිෂ්ටාචාරයකට යයි. එතැනදී එය වෙනස් වෙයි; වැඩිදියුණු වෙයි; තවත් දැනුම සමඟ මිශ්‍ර වෙයි; සියවස් කිහිපයකට පසු වෙනත් හැඩයකින් ආපසු එයි.
( Silumina Thilakasitha 04 Oct 25)
රටවල් අතර සැබෑ වෙනස ඇති වන්නේ ‘දැනුම උපන්නේ කොහේද?’ යන්නෙන් නොවේ. ඒ ‘දැනුම තම රටේ ආර්ථික වර්ධනයටත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් යොදාගන්නේ කෙසේද?’ යන්නෙනි. AI ගැන කියන්න ඇත්තේද එයමය.







