Friday, July 26, 2019

ලාල්ගේ මතක පොත - කළු ජුලිය

තේ ගෙන යා හැකි දුරකථන තිබුනෙම  නැති ලෑන්ඩ් ෆෝන් පවා ඉතාමත් සීමිත වූ කාලයක ඉදිකිරීම්    සංස්ථා ප්‍රධාන කාර්යාලය හා වැඩබිම් අතර බොහොමයක් දේ සන්නිවේදනය කෙරුනේ රේඩියෝ සෙට් වලිනි .

ඒ 1983 ජුලි 24 වැනිදා හවස් ජාමයයි .
Head Office calling . head office calling .. ඕවර්.
 මාලිගාවත්ත පයිලින් වැඩබිම බාරව සිටි තරුණ ඉංජිනේරු ලාල් වහා රේඩියෝ සන්නිවේදන උපකරණය අසලට ආවේය .
."අද ඇඳිරි නීතිය පනවලා. වහාම වැඩබිම වසා සේවකයන් පිටත් කරන්න ඕවර්...'
"පණිවිඩය පැහැදිලිද ඕවර් "

"මාලිගාවත්ත කෝලින් පණිවිඩය පැහැදිලියි ඕවර් '

 ලාල් සිය කන්තෝරුවේ නිලධාරීන් කැඳවා වහාම තත්ත්වය  දැනුම් දුන්නේය . ඒ වනවිටත් කටකතා හා වෙනත් ආරංචි මාර්ග වලින් ඔවුහු වෙන්න යන දේ දැනගෙන සිටියෝය  . හැමෝම යුහුසුළු වෙමින් තම තමන්ගේ අත් බෑග, කන්තෝරු පයිල් බෑග, ඉටි කොලේ එතූ කෑම පෙට්ටි හෝ  හිස් අත් සමහ  මගට බටහ.  අනෙක් සියලු දෙනා කෝච්චියේ හෝ බස් එකේ හෝ පයින්ම ගෙදර යා  යුතු නිසා ඔවුන් කලින් පිටත් කර හැරී ලාල්  සිය නිල වහනය වන වෙස්පා ස්කුටරය දෙස දයාබර බැල්මක් හෙළුවේය.

වෙනකක් තබා කන්තොරුවේම නිදා ගන්න කෝකියා ජෙමිසුත් සෙකියුරිටි නිමලසේනත් වැඩබිම හැර දමා අකමැත්තෙන් වාගේ පිටත්  වී ගිය පසු ලාල් පමණක් ඉතිරි වී සිටියේය. කන්තොරුව් පෙටි කෑෂ් පෙට්ටිය. බිල්පත් හා වවුචර් පොත් යන සියල්ල එහෙ මෙහෙ විසුරුවා තිබුණෙන් ඔහු ඒවා පිළිවෙලක් කොට හැම දොරක්ම ලඟට ගොස් දෙවරක් චෙක් කළේය. කන්තෝරු කාමර දෙක. කෑම කාමරය, සේවක විවේකාගාරය. රේඩියෝ ඔපරෙටෝර් කුටිය. ඉස්ටෝරුව හා මුර කුටිය පවා හොඳින් අවුරා යන්නට ඔහු තීරණය කොට ගත් සෙයකි.

මේ සියල්ල අවසන් වෙද්දී වටින් ගොඩින් කළුවර වීම වේගවත් වුනේ   මරදාන, දෙමටගොඩ හා කොටුව දෙසින් අහසට නැගුනු අමුතු විදිහේ දුම් වලාකුළු නිසාය .

දැන් ඉතින් පිටත්ව යා යුතුය . ලාල්ට බලන්න බැරි වූ එකම තැන . දොරේ "බැරිම තැන" කියා ලියා තිබු වැසිකිලි කුටිය වෙත ඔහු ලං වුයේ පිටත්ව යන්නට පෙර මුත්‍රාශය සැහැල්ලු කර ගන්නත් එක්කමය . රට අඹ ලෑලි දොරේ එළියෙන් ගැට ගසා තිබු තංගුස් නුල ඔහු ඇද්දේය . යලි යලිත් ඇද්දේය.
ම්හු..  දොර ඇරෙන පාටක් නැත . කවුරුන් හෝ ඇතුලෙන් ලොක් කරලාද ?  එහෙම වෙන්නත් බැරිය. තමා හැර වෙන බලු කුරුට්ටේක්වත් අහල මායිමක නැති බව ලාල් සක්සුදක් සේ දනී.

තමන්ගේ අතින්  දවසට තුන් හතර වතාවක් ඉතාම සුව පහසුවට ඇරෙන මේ දොර ගැන වෙනදා නැති  අමුත්තක් ලාල්ට දැනුණු නිසා ඔහු පසෙක තුබූ බැරල් බාගයක් දොර අසලට තල්ලු කර ගෙන ආවේය. ඒ මත නැගී එසවී උළුවස්සත් වහලත් අතර තිබු හිඩැසින් ඇතුලට දෑස් රින්ගේව්වේය.

ඊළඟට දුටු දසුනින්  ඔහුගේ උගුර කට වියලී ගියේය. ප්‍රේමණීය බඩේ ගින්දරකින් ලාල්ගේ සියොළඟ දැවෙන්නට  පටන් ගත්තේය .

( ඉතිරි ටික හෙට උදේ   මෙතැනම)

***************  දවසක් ප්‍රමාදව ඉතිරි ටික ලියමි *****

වැසිකිලි දොර ඇතුලතින්  වසාගෙන දොරට වාරු  වී ඉකි බිඳින රුව කලයාරසීගේ බව පැහැදිලි වෙත්ම ලාල්ගේ මනස ව්‍යාකුල වී ගියේය.

කන්තෝරුවේ පිය දසුන ටයිප් රයිටරය ළඟ මදක් නැවී වට පිට නොබලා සිය කාරිය කරගෙන ගිය ඇය තමයි ඒ .  මන බඳින තලෙළු මුහුණක්  හා පිරිණු ඇඟ පසඟක්  හිමි  යුවතිය දුටු කෙනෙක් වීනම් තව වරක් හැරී බලනවාමය. 

ලාල්  වහා දොර ලඟට ගොස් ඊට තඩි බාන්නට විය .
‘ කලයරසී දොර අරිනවා . නැත්නම් මට මේක පයින් ගහලා කඩන්නයි වෙන්නේ එහෙම උනොත් ඔහේට තුවාල වෙයි ‘

ඇතුලෙන් අසුනේ ඉකිබිඳින හඬ පමණි .

කෑ ගහලා වැඩක් නෑ කියා ලාල්ට හිතුනේ ඒ ඉකි බිඳුමේ හා හීල්ලුමේ පණිවිඩය  නිසාය .
ඔහු යාප්පුවෙන් කරුණු පහදන්නනට තීරණය  කළේය
“රසී එලියට එන්න ඔයා කරදරයක් නැතිව ගෙදරට ඇරලවන්නම් “
එසේ කීවා උනත් තමන්ගේ  හඬේ විශ්වාසනීයත්වයක් නැති බව ලාල්ට වැටහුනේය .

‘ මහත්තයා බේරිලා යන්න . පාර කලබලයි කියල මම දන්නවා . මට වත්තලට යනකන් යන්න බෑ .මම මේකෙම ඉඳල මැරෙන්නම් ’
‘ පිස්සු නැතිව එනවා රසී. වෙන දෙයක් වෙච්චාවේ. දවස් කීයක් ඇඳිරි නීතිය තියෙයිද දන්නේ නෑ”
ඇතුලෙන් සද්දයක් නැති තැන ලාල් ඉදිරියට පැමිණ දොරට තඩි බාන්ට වුනේය. ඒත් දොර ඇරුනේ නැති තැන ලාල් කෑ ගැසුවේය.

‘ මම මෙතැන මැරුණත් ඔහේ ඔය කූඩුවේ දාලා යන්නේ නෑ . එක්කෝ මෙතැන මැරෙමු. නැත්නම් බේරිලා යන්න උත්සහ කරලා මැරෙමු. මොකක්ද හොඳ  කියල තීරණය කරන්න"

ලාල් අසල තිබු සූරිය ගහට  හේත්තු වුනේය .

ඔහු අවට ලෝකයේ වෙන සියලු සිදුවීම් අමතක කර සිතුවිලි හිස් කර ගැනීමට උත්සහ කළේය. දෑස් අඩවන් කරගන කල්පනා කළේය .ටික වෙලාවකින් ඔහුගේ දෑස් අබියස පච්ච වර්ණ දිග ගවුමක  රත්රන් පාට මල් වැල මෝදු වෙමින් පිපුණේය. ඒ වර්ණ පිරුණු කාන්චුකය යට සිටියේ බියෙන් සලිතවී  සිටි සාවියකි.

ලාල් කිසිත් නොකියා කන්තෝරු කාමරය දෙසට ඇවිදගෙන ගියේය.  මියුලැසිය ඔහු පසුපසින් ගෑටුවාය. 
  මිනිස් පුළුටක් නැති කන්තෝරු කාමරය යතුරු දමා ලොක් කර ඇත . රසීගේ ලාච්චුව ඇර ඇගේ අඩුම කුඩුම ගැනීමට එය විවුර්ත කළ යුතුය . ඒත් මේ වෙලාවේ මේ යුවතියත් සමග කන්තෝරු කාමරය  තුලට පිවිසීම නුසුදුසු යැයි සිතූ ලාල් සිය ස්කුටරය පුටුපස අසුනට තබා ගැට ගසා තිබු කලුපාට ජැකට්ටුව දිග හැරියේය .

‘ මේක අඳින්න ‘

 කලයාරශීගේ වර්ණවත්  මෝස්‌තර ගවුමේ උඩ කොටස කලුපාට ජැකට්ටුවට වැසී යද්දී ලාල් ස්කුටරය ස්ටාර්ට් කළේය.

‘ඔහු කලයාරසී දෙස තිර ලෙස බැලුවේය. ඈ ඔහු පසුපසින් වාඩි වුනාය.   

‘ ඈ උණුසුම්ය . වෙවුලමින් සිටී . බියපත් බව  නිසා ඔහුගේ සිරුරට වාරු වී සිටියාය.
‘ ඔලුව පාත් කරගෙන මගේ ඇඟට හේත්තු වෙන්න ‘
ලාල් මුවින් නොකීව්වා උනත් ඔහුගේ සිතැඟි වටහාගෙන ඈ එසේ කටයුතු කළාය.

ස්කුටරය ගිනි ගන්නා  නගරය  මැදින් ඉදිරියට ඇදෙයි  .
පළමූ නැවතුම ඔරුගොඩවත්තේදීය ‘
තරුණයෝ පිරිසක් ඉදිරියට පැමිණ ස්කුටරය නැවැත්වූහ .
“අය්යා නම මොකක්ද . ඔයා සිංහලද “ ලාල් ඔව් කියන්නට හිස වැනුවේය.
‘ අපිට මේකේ ටැංකියෙන් පෙට්‍රල් ටිකක් ගන්න වෙනවා ‘
‘ පිස්සුද මල්ලි මේ අපේ නංගීට හොඳටම අමාරු වෙලා බේත් අරන් යන ගමන්. අපි මිනුවන්ගොඩට යන්න ඕනි”

හිතුවාට  වඩා පහසුවෙන් ඔවුන්ගෙන් බේරී යනට පුළුවන් වුනත් පැලියගොඩදී ඔහුගේ ස්කුටරය නතර කෙරුණේය .
පොලු මුගුරු ගත් කොල්ලන් රංචුවක් ඔවුන්  නවතා වට කර ගත්හ.

‘ නවත්තනවා. නවත්තනවා .ඔය දෙන්නගේ නම් මොනවද?. නංගී මුණ උස්සලා මෙහේ  බලන්න’
ලාල්ගේ සිරුර  වඩාත් වැරෙන් බදා ගත් කලයාරසී සට සට ගා ගැහෙන්නට වුවාය “
ලාල්ගේ කටහඬත් ගොත ගැසෙයි.
:මම ලාල් . නංගීට  අසනීපයි හොඳටම උණ . බෙහෙත් අරං යන ගමන්.’
පිරිස දමනය වුනේ නැත .
‘ කෝ ගත්ත බේත් . කෝ බලන්න නංගීගේ මුණ පොඩ්ඩක් “
කලයාරසීටත් වඩා ලාල් වෙවුලන්නට පටන් ගත්තේ ඇගේ මුහුණේ වූ තිලකය මතක් වීමෙනි .

පිරිස අතරේ සිටි තරමක් තලතුනා පුද්ගලයෙක් දැක ඔහු වෙතට සිය රාජකාරී හැඳුනුම්පත දික් කරන්නට තරම් සිහියක් ලාල්ට ලැබුණේය.

හැඳුනුම්පත අතට ගෙන බලා ඔහු ‘ මේ මහත්තයාට යන්න දීපල්ලා’ කියද්දීත් අනිත් පිරිස ඊට අවනත බවක් නොපෙන්වූහ. එහෙත් ඒ සමග වෙනත් යමක් දෙසට පිරිසගේ  අවධානය යොමු වීමේ වාසනාව නිසා ලාල් රූන් ගා මැර පිරිස අතරින් රිංගා  ඉදිරියට ගියෙය්.

ඔලියමුල්ල පසුකර ගිය ස්කුටරය වත්තලින් හැරී හුණුපිටිය පාරේත් මද දුරක් යනතුරු දෙදෙනාටම පියවි  සිහියක් නොතිබුනේය.

කලයාරසී  කලබලකාරී ලෙස ස්කුටරය නවත්වන්නැයි කීවේ අතුරු පාරක් අද්දරය.

ඇය පැලියගොඩදී  කලහකාරීන් දුටු අවස්ථාවේ කලාක් මෙන් ඉතා වැරෙන් ලාල්ගේ දෙවුර බදා ගත්තාය. එය සමුගැනීමේ උණුසුම් වැළඳ ගැනීමක්ම බව ලාල් තේරුම් ගත්තේය  .


ඉන්පසු  කඩුමුඩියේ  බිමට පැනගත් ඇය අතුරු පාර දිගේ පසුපස නොබලා දිව්වාය . 

පසු සටහන :
මේ කතාවේ ප්‍රධාන චරිතය  මට හමු වුනේ 1998 දීය. ඔහු අවුරුදු පහළවක් පරණ  මතක සැමරුමක් අප ඉදිරියේ දිග හැර අවුරුදු 21කට  පසු මම එය ලියා තබන්නේ කතා සාරය වෙනස් නොකොටගෙනය. මේ කතාවේ අවසානයක් නැත . එය අවුරුදු තිස් හයක විඳීමක් පමණි

Image : amazon.in