උන් තැනම ඇන තියාගෙන වට පිට අත ගාද්දී හමු වූ පුංචි ගල් කැටයක් අතින් ගත් පිටස්තරයා නැගී සිටියේය. ගල් කැටය ඈත දියඹට විසි කළේය.
සැන්දෑ කළුවර නිසා එය කොයි අත ගියාදැයි පෙනුනේ නැත. මුහුදේ ඝෝෂාව නිසා කැටය දිය තලය මත ගැටෙන හඬ ඇසුනේද නැත. එහෙත් ඇස්දෙක පියාගෙන වුව ගල් කැටයේ ගමන හා ඉරණම ගැන චිත්තරුප මවා ගන්නනට පුළුවන් විය.
පහුගිය අවුරුදු විසි දෙකක් තිස්සේ උඹ ගැනත් මම ඔහොමයි හිතුවේ. පිටස්තරයා කිව්වේ.
ඒ කිව්වේ ?
හම්බුන් නෑ දැක්කේ නෑ . ඒත් මෙහෙම තැන්වල ඇති මෙහෙම ඉන්නවා ඇති කියල දැනුණා
උඹට මතකද දවසක් සිගරට් තුනක් අතේ තියාගෙන අපි මේ වැල්ලේම එහෙ මෙහෙ ගියා ගින්දර ටිකක් හොයා ගන්න බැරිව. ටුටුත් අපිත් එක්ක හිටිය . පස්සේ මුරට හිටි පොලිස් කාරයෙක් අපිව චෙක් කරා.
පාරේ රස්තියාදු වෙන්න එපා කියල අපිට දෝස් මුරෙත් දැම්මා .
ඊට පස්සේ යන්නම් කියල අපි යන ගමන් නිකමට වගේ මිනිහගෙන් ඇහුව ගින්දර තියෙනවද කියල .
ඒ භීෂණ කාලේ ඉවර වෙලා අවුරුදු කීපයකට පස්සේ.. කොළඹ කොටි ගහන කාලේ . කොළඹත් කෝච්චි පාරේ තැන තැන මුර. අපි වැඩ කලේ මුහුද අයිනේ සයිට් එකක
මල්ලි මමත් මේ සිගරට් එකක් බොන්න විදිහක් නැතිව හිටියේ . සිගරට් තියෙනවා. ගිනිපෙට්ටියකුත් තියෙනවා . හැබැයි එකම එක ගිණි කුරයි තියෙන්නේ. ඒක ගහන්න බයයි මේ අලුගුත්තේරු මුහුදු හුලඟටයි පින්නටයි ඒක නිවිලා යාවි. එලි වෙනකන් හීතලේ ඉන්න වෙනවා එහෙම වුනොත්.
ටුටූ හිනාවෙලා ගිණිකුර ඉල්ලාගත්තා
මුහුදු හුළං අතින් මුවා කරගෙන ඒක නිවෙන්න කලින් සිගරට් හතරක් පත්තු කරා.
ඇයි අපි අර මුරපොලේ හේත්තුව දාගෙන ඊට පස්සේ පැය දෙකක් විතර කතා කරපු එව්වා.
ඌ හොඳ එකා බන්.
උඹේ බ්ලොග් එක මම බලනවා . මම තාමත් කැමති උඹේ පළවෙනි පොස්ට් එක යවුල ගහට. අදට හරියටම අවුරුදු දෙකකට කලින් ලියපු එක. .
ඊළඟට භීෂණයේ මල් පෝච්චි . ඒත් උහුලා ගන්න අමාරු ඒවා ලියනවට වඩා මං කැමතියි චුටි උක්කුන් අයියා, 23 ශ්‍රී පාන් භාගේ වගේ මුණු ජොලි මූඩ් කරවන එව්වා වැඩිපුර ලිව්වනම්.
උඹ ඉස්සර කලාකවයට අපි කවි ලියල දෙනකොට බනිනවා නේද ගණිකාවන්ගේ දුකයි, පාන් කෑල්ලක් නැති වුන් ගැනයි විතරක්ම ලියන්න එපා එම්පයර් ස්ටේට් බිල්ඩිම හදපුවා එහෙමත් ලියපන් කියල. ගේ ඉස්සරහ නිකන් වැවෙන ගස් ලබු ගහක් හදා ගන්න බැරි දුප්පතුන්ට උඹ බැන්නා .
උඹයි උඹ ලියන ඒවගේ ඉන්න එකයි දෙන්නෙක්.
ඔව් බන් . මම ගිය සතියේ ලෝකේ උසම බිල්ඩිම බලන්න ගියා . ඉතින් කාටවත් කියන්න එපා මට හිතුනා අපි කරලා තියෙන්නේ මොනාද කියල. සාහිත්‍යය ලෝකෙත් එහෙම්මම තමයි.
ෂ් ෂ් පිටස්තරයා මාව නැවැත්තුවා.
යකෝ උඹ දන් නෑ සංස්කෘතියක් බිහි වෙන්නේ කොහොමද කියල. ඒවා රටකින් රටකට වෙනස්. බොහොම සියුම් කලා නිර්මාණ ගැන ඔහොම රළු විදිහට කතා කරන්න එපා .
උඹ ඉසිස්සෙලම රස්සාවට ගිහිල්ලා අදට අවුරුදු විසි දෙකක් වෙනවා.
ඔව් මට මතකයි .
උඹට ඒක විතරක් මතකයි.
ඒත් උඹට මුල අමතකයි .
ඇයි උඹ එහෙම කිව්වේ? .
උඹට මතකද උඹ ඉස්සෙලාම රස්සාවට යන්න කලින් ප්‍රොසෙසින් ලැබ් එක ළඟ දැවටී දැවටී හිටි හැටි. අර ඉන්ස්ට්‍රක්ටර් වේකන්සිය උඹේ කියල හිතාගෙන. එතකොට අනුරාධපුරේ රස්සාවට යන්න ලැබිච්ච ලියුමත් උඹේ අතේ.
ඔව් බන් ඒ මම කැම්පස් එකේම රැඳිලා ඉන්න කැමැත්තෙන් හිටි නිසානේ.
අර ලයිබ්‍රරියේ තිබ්බ පොත් කන්දරාව. තව පොත් ලියන්න නාට්‍යය කරන්න උඹට තිබ්බ ආශාව. තව තව ඒවා.
ඒත් ශාන්තිනී නෝනා මොකද කිව්වේ. මේ පැත්ත පළාතේ එන්න එපා. එලියට ගිහිල්ලා ලෝකේ බලල වරෙන් . තව අවුරුදු පහලවක් විතර ගියාම උඹට ආයෙත් මෙහේ එන්න පුළුවන් . මේකේ ඇතුලේ හිටියොත් උඹ කොටු වෙනවා කිව්වා මතකද.
දැන් මොකද උඹට ඒ ගැන හිතෙන්නේ, එදා ගත්ත තීරණේ ගැන.
ඔව් බන් ඊට පස්සේ කොච්චරක් නම් දේ වුනාද? මොනා වුනත් ගත වෙච්ච කාලේ ගැන සතුටුයි.
මම ප්‍රොෆ් ශාන්තිනී ගැන කවදාවත් ලියල නෑ. ඒක කොච්චර් සුන්දර කාලයක්ද. ලේක්චර්ස් වැඩ ඉවර වෙලා අංශ ප්‍රධානියෙක් තමන්ගේ ගෝලයෙකුට තේ එකක් හදල දීල පැය ගණනක් නාට්‍ය ගැන, සංගීතය ගැන කතා කර කර හිටපු කාලයක්. මහා යන්ත්‍ර සුත්‍ර , බීකර බියුරෙට්ටු දෙපැත්තේ තියාගෙන. බිත්තියේ එල්ලාපු න්‍යෂ්ටික බලාගාරේක පින්තුර දිහා බලාගෙන .
ඉතින්
ඉතින් තමයි දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ?.
ලියනවා
අර කිව්ව නවකතාවද
ඔව්
හාහ් හාහ් හා . පිටස්තරයා මහා හයියෙන් හිනා වුනා .
ඇයි උඹ හිනා වෙන්නේ ?
ඒකට උත්තර දෙන්න පිටස්තරයා හිටියේ නැත . වෙරළත් නැත.. මුහුදු හුළඟත් නැත .
මේ මගේ 75 වැනි පොස්ටුවයි. පෝස්ට් කර නිදා ගන්නට ඕනෑය .
Phopto: absolutebility.com