මීට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත් අර්ධ රාජ්‍ය ආයතනයක සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ තරුණ ඇමතිවරයෙක් අපේ වැඩබිම බලන්නට ආවේය.
ඇමති ආ දවසේ ඔහු සමග තව විස්සක් පමණ පිරිසක් ආවෝය. අපේ ලොක්කාගේ අණ පරිදි ඔහුත් මමත් පාලිතත් ඇමති හා පරිවාර පිරිසට වැඩහල් හා පෙරනිමි නිෂ්පාදන පෙන්නන්නට ගියෙමු.ඇමතිවරයාගේ හා පිරිසගේ උනන්දුව තිබුනේ තිබෙන දෙයක් උස්සාගෙන ගොස් තමන්ගේ ආසනේ කොතන හෝ සවි කර ගැනීමය. පසෙක පෙරලී තිබු නාම පුවරුවක් දුටු ඔහු කිව්වේ මේක අලුත්වැඩියා කොට අලුතින් පේන්ට් කරවා තම ගමේ නාම පුවරුවක් සඳහා ලෑස්ති කර දෙන ලෙසය.
ඊට අමතරව සිය ආසනයේ ඇති ක්‍රීඩා පිටියකට තමන්ගේ නම යෙදු විශාල නාම පුවරුවක් හදා ගැනීමටද ඕනෑ බව කිව්වේය .මේ ගැන යන වියහියදම් කොච්චර කල් වැඩේට යයිද ආදිය ගැන ඇසු ඔහුට නවක අපි උත්තර දෙද්දී සමානයෙකුට මෙන් කතා කළෙමු ඇරත් මේ මනුස්සයාත් තරුණ වයසේ සිටි නිසා සිය ගෝලයන් තරම්ම රැස්පොට් එකක් ඔලුවට ගෙන නොතිබිණි.
මේ අස්සේ අපේ ප්‍රධාන ඉංජිනේරුවා පැත්තකට කතා කොට අපට කිව්වේ අර ඇමති තුමාට කතා කරනකොට ඔයා මෙයා කියල කියන්න එපා සර් කියලා කතා කරන්න කියලාය.
ඒත් තරුණ හිතුවක්කරයන් වූ අප දෙදෙනාටම මේ ඇමැතිවරයාට සර් කියන්නට හිත නෑමුනේම නැත.
තරමක් ලොකු යකඩ කඳන් ගොඩක් තිබු තැනක ඇමති හා පිරිස නැවතී කුටු කුටු ගාන්නට වුනේ මේක උස්සාගෙන යන්නට වටිනා බව පෙනුණු නිසාය. අපි පසෙකට වී බලා සිටියෙමු .
ප්‍රධාන ඉංජිනේරු තැන අපව එතැනින් ඔබ්බට කැඳවාගෙන ගොස් මෙසේ කිව්වේය .
.මේ උඹල දෙන්නට මං කියන්නේ අපි කාගේත් හොඳට. ඇමති කෙනෙකුට සර් කියන්න උඹල ටිකක් අදිමදි කරනවා තමයි. ඒත් අපි ආණ්ඩුවේ සේවකයෝනේ. ආයතන ස්ට්‍රක්චර් එකේ උඩින්ම ඉන්න අපේ සබාපතිත් මේ මිනිස්සුන්ට සර් කියනවානම් උඹලට ඇයි කියන්න බැරි ?
ඒ වන විට ඇමතිවරයා හා පිරිස අප සිටි දෙසට එන්නට පිටත් වී තිබුනේය.'අන්න අර යකා මේ පැත්තට එනවා සර් කියල කතා කරපල්ල හොඳද'.
මේ කතාව මට මතක් වුනේ මේ දවස්වල මුහුණු පොතේ සංසරණය වන පොඩි සටහනක් නිසාය
ඉන් කියවී තිබුනේ දේශපාලකයන්ටවත් ඔවුන්ගේ ලේකම්ලාටවත් සර් කියන්නට යන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ඉන්නා හැටියටය,
ඒත් මේ සර් කියන්නා හා සර් කියා අසා ගන්නා තුල ඇතිවන මානසිකත්වය ආසියානු සමාජයේ ප්‍රධාන මායාවක් හෝ සමාජ ප්‍රගමනයට උදැල්ලක් වී ඇති බව බොහෝ වාරයක් නිරීක්ෂණය කර ඇත . මේ කතාවට මූට්ටු කරගත හැකි අත්දැකීම් කීපයකි.
සරසවි සිසුවකුව සිටියදී එක්තරා සම්මන්ත්‍රණයකට ආ දේශකයෙකු හා සෑහෙන වෙලාවක් සුහදව කතා බහ කරන්නට ඉඩක් ලැබිණි . මම ඔහු ඇමතුවේ සර් කියලාය. කොළඹ ආවොත් අපේ ආයතනයටත් එන්න. එවක ඔහු පුද්ගලික ආයතනයක ප්‍රධානියෙක් විය.
මේ හිතවත්කම එසේ තිබියදී මට ඔහු යටතේ ටික කලක් රස්සාව කරන්නටත් සිදු විය. ඒ රස්සාවේ මුල් දවසේ මම ඔහු ඇමතුවේ මිස්ටර් අහවලා කියලාය
ඔහු මට හීන් සැරේ මේ වගේ කතාවක් කිව්වේය
'මම කැමති නෑ කාලෙන් කාලෙට වෙනස් වෙන මුල අමතක කරන මිනිස්සුන්ට. දැන් බලන්න ඉස්සර මට ඔයා කතා කලේ සර් කියලා දැන් දැන් මිස්ටර් කියනවා. මට කමක් නෑ කොහොම කතා කරත් . සමහර විට ඔයා පස්සේ නිකම්ම නම කියලත් මට කතා කරන්න ඉඩ තියෙනවා . ඔහොම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි'.
ආයතන ව්‍යුහයේ තමාට පහලින් සිටින සියලු දෙනාම තමන්ට අනිවාර්යයෙන්ම සර් කිව යුතුයැයි සිතන බොහෝ දෙනෙක් ඉහළ නිලධාරීන් හා දේශපාලකයන් අබියස ඉතාම නිවට ලෙස හැසිරෙනු මා දැක ඇත.
අපේ මැද පෙරදිග වැඩ බිමට පැමණි තෝමස් නම් සුදු නිලධාරියා 'සර්' කියා තමන් ඇමතු ඉන්දීය ජාතිකයෙකුට බැන වැදුනේය. සර් කියන්නේ තමන්ගේ කඩේට ආපු කස්ටම්ර්ලට එහෙම නැත්නම් නයිට්වරුන්ට . මට නම කියාපන්.
මේ අතර ආසියාතික කළමනාකරුවෙක් උසස් වීමක් ලද අලුත කලින් ඔහු හා සම මට්ටමේ සිටි වෙනත් නිලධාරියෙකු ඔහුට නම කියා අමතනවා ඇසී බොහෝ සෙයින් උරණ වූ කතාවක්ද මා අසා ඇත
ඔහු කියා ඇත්තේ 'ඉස්සර ඒවා තියා ගන්න එපා දැන් මට සර් කියලා කතා කරපන්' කියලාය .
මේ සර් කියන්නා තුල ඇතිවන දීන මානසිකත්වත් එය අසා ගර්වය ලබා ගන්නා තැනැත්තා තුල ඇතිවන පුහු මානසිකත්වයත් මා වැඩිපුරම දැක ඇත්තේ ඉන්දියානු හා ශ්‍රී ලාකිකයන් අතරය .
අනිත් බොහෝ රටවලදී සර් යන්න වෙළඳ හා සේවා සන්නිවේදනවලදී යෙදෙන ඇමතුමක් පමණි . සර් කියා ලිව්වා හෝ කිව්වා කියා ඉන් එහාට අරන් යන මාන්නයක් හෝ නිවටකමක් නොපවතී .
මට හිතෙන්නේ මේ විෂය ගැන හොඳ මට්ටමේ සමාජ විද්‍යා පර්යේෂණයක් තාම සිදු වී නැති බවය .
මා මුල්වරට රට රස්සාවකට යන්නට කලින් ලංකාවේදී කාලයක් තිස්සෙම වැඩ කල එක්තරා සමාගමක තරමක ලොකු තනතුරක් පැටවී තිබිණි . පුළුවන් තරමට සිම්පල් මිනිසෙකු වෙන්නට උත්සහ දැරුවද වටාපිටාව විසින් කාන්දු කරන තනතුරු ආඩම්බරයක්ද හිතේ නොතිබුනා නොවේ. මේ කන්තෝරුවේ සගයන් ලොකු කුඩා කා අතරත් සර් කියා අමතන පුරුද්ද තිබුනේ ඉතා අඩුවෙනි .
ඒත් සුළු සේවකයන්, රියදුරන් හා පියන්වරුන්ගේ වාග්මාලාවෙන් සර් යන්න ඉවත් කරවන්නට කවුරුත් උත්සහ නොකළහ.
'සර් තේ එකක් ගේන්නද?. සර් ලියුම් ටික ගෙනිහින් දුන්න. සර් වාහනේ ටයර් පන්ච් එකක් තියෙනවා හදාගෙන එන්නම්'.
මේ ආදී දවසකට සර් කියා ඇමතුම් සිය ගානක් ලැබෙන පරිසරයක සිටිද්දී හදිසියේ මම රස්සාව අතහැර විදේශ ගත වුනෙමි
මට යන්න ලැබුනේ රුසියානු කලාපයේ පිහිටි කසකස්තානයටයි බටහිර කසකස්තානයේ තෙල් කැනීම් ආශ්‍රිත වැඩ බිමක රස්සාවට ගිය දවසේ ඉතා උණුසුම්ව හැමෝටම මාව හනුන්වාදීමට අපේ කළමනාකරුවා පියවර ගත්තේය.
අන්තිමේදී සුපුරුදු පරිදි කුස්සියේ තේ හදන කාන්තාව අමතා 'ලිගායා මේ ඇවිත් ඉන්නේ අපේ අලුත් මහත්තයා තිලක . තේ එකක් එහෙම හදලා දෙන්න' .
මා අලුත් කන්තෝරු කාමරයේ බොහොම සතුටින් වාඩි වී මේ නැවුම් පිළිගැනීම් හා අල්ලාප සල්ලාප නිසා තුටු පහටුව සිටිද්දී ලිගායා ආවාය.
'තිලක තේ එකක් හරි කොපි එකක් හරි බොන්නට කැමතිද' ?එය මොන තරම් යහපත් යෝජනවාක් වුවත් කන්තෝරුවේ තේ හදන කාන්තාවද නිකම්ම නම කියා මා අමතද්දී හීනි නෝක්කාඩුවක් හිතට කාන්දු විය .
තේ එකක් බොන්නට වුවමනාව තිබියදීත් මම මොකුත් එපා කීමි. ඇයට ස්තුති සිනාවක් පාන්නට පවා අමතක වුනේය. ඒ මා විදේශ රටක රස්සාවකට ආ පළමු දවසය.
ඉන් ටික වෙලාවකට පසු මා සිටි කාමරයට අපේ ප්‍රධානියා සමග ඇතුළු වුයේ ප්‍රියමනාප උසැති සුදු ජාතිකයෙකි. අපේ ලොක්කා මට අමුත්තා හඳුන්වා දුන්නේය . 'මේ ඉන්නේ ටොම් .මේ තෙල් සමාගමේ නේවාසික අධ්‍යක්ෂ , කොටින්ම අපි සේවා සපයන සමාගමේ ලොක්කා'.
මම හුනස්නෙන් නැගිට ඔහුට ආචාර කලෙමි. ඔහු ඉතා සුහදව ටික වෙලාවක් මා සමග ආගිය තොරතුරු කතා කළේය.
'මම දවසක උඹලගේ ලස්සන රටට නිවාඩුවක් යන්න හිතාගෙන ඉන්නේ'
මේ අස්සේ ලිගායා එතැනට කඩා පාත් වුනාය . මගෙන් ඇසු ආකාරයටම තෙල් සමාගමේ ප්‍රධානියාටත් කිසි ගරු සරුවක් නැතිව නිකම්ම නම කියා 'ටොම් තේ එකක් බොමුදැයි' ඇසුවාය
ටොම්ට කෙසේ වෙතත් මටනම් ආයෙමත් අමනාප සිතක් පහළ විය
ඒ වුනත් ටොම්නම් ඇයගේ උරහිසට අතක්ද තිබ්බේය . 'නුඹ හරිම කරුණාවන්ත තරුණියක් . මට හොඳ තේ එකක් ගේන්නකෝ එහෙනම්'.
අයියෝ මම ඒක්ෂණයකින් දියවී සල්ලම් වී ගියෙමි
දැන්නම් අපේ සමාගමේ ලොක්කාට නම කියා කතා කරන්න අවශ්‍ය දිරියත් කාර්යාල පිරිසිදු කරන්නා මගේ නම කියා සුබ උදෑසනක් පතද්දී සුහදව ප්‍රතිචාර දක්වන්නට පුළුවන් පිරියත් මා ළඟ තිබේ .
Image: featurefics.com