Wednesday, September 28, 2016

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

හුරුපුරුදු ගම්පලාතේ මිනිහෙක් දුර ඈත නුපුරුදු ගෙන්දගම් පොළවට පය ගහපු අලුතම හම්බුනාම කාට වුනත් සතුටක් දැනෙන්නේය.
කොළඹට නුදුරු කුඩා නගරයකදී මට හමු වූ අපේ ගම් පලාතේ කරණවෑමියා නිසා මටද එවැනි හැඟීමක් දැනුණි .
ඒ මදිවාට මා ආසා කළ එළවලු වගාව, බෝංචි කෝටු කැපීම, තක්කාලි පෙට්ටි උස්සා ගෙන යෑම ආදිය ගම ගැන කියද්දී  ඔහු නිරතුරු මතක් කළ නිසා මම ඔහුගේ සැලුනයට යන්නට එන්නට  පටන් ගත්තේ මීට අවුරුදු පහළවකට පමණ පෙරය.

එම කඩ මණ්ඩියේ තිබූ බාබර් සාප්පු තුන අතරින් සෙනග අඩුවෙන්ම ගැවසුනේ ඔහුගේ සාප්පුවේය. වාහනය නවත්තන්න එතන ඉඩක්ද තිබුනෙන් පෝලිමේ ඉන්නත් ඕනෑ නැති නිසා මම කෙළින්ම ගියේ ඔහු ළඟටය. සති තුන හතරකට වරක් කොණ්ඩය වැවී තිබ්බත් නැතත් ඒ සැලුනයට ගොස් කොණ්ඩය හෝ රැවුල තරමක් ට්‍රිම් කරවාගෙන ගම රට තොරතුරු කතා කර එන්නට මම කැමැත්තෙන් සිටියෙමි. ඒ ගමේ කමටය.

ඒත් මේ මනුස්සයා මෙලෝ රහක් නැති කරණවෑමියෙක් බව මම හොඳින්ම දැනගෙන සිටියෙමි. ඔහුගේ උපකරණ නිසි පිළිවෙලට නඩත්තු කරන්නේ  නැත. කරට දමන සාලුව බොහෝවිට අපිරිසිදුය. මට වුවමනා ගානට කොණ්ඩය කප්පවා ගන්නට සැමවිටම ඔහුට කියලා දෙන්නට ඕනෑය. ඇතැම් විට ඔහු වෙත යෑම මට නොරිසි වුනත් මට තිබුණු කාල වේලා අර්බුදයත්  නිසා එතැනින්ම කොණ්ඩය  කපා ගැනිම පහසු විය.

ඔහු පත්තර කිහිපයක් මිලදි ගත්තේය. රටේ දේශපාලනය ගැන ටක්කෙටම දැනගෙන සිටියේය. රට හදන හැටි ගැන කීවේය. ගම්දොර, රටතොට සිදුවන අපරාධ, මිනීමැරුම්, සොර මැරකම් මෙන්ම දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා ගැන ආවේගයෙන් කථා කළේය.
මෙවන් අවස්ථාවල මට මතක් වුනේ 1988 විතර නුවරදී මට හමු වූ බාබර් උන්නැහේය. කැම්පස් එකේ ස්ට්‍රයික් හා රට තොට විස්තර දැන සිටි ඒ බාබර් තරම් මේ බාබර් සන්සුන් මනසක් ඇත්තෙක් නොවීය.

මේ අතර අපේ කරණවෑමි තැන නිතරම ආර්ථික අපහසුකම් ගැන ආඩපාලි කීවේය. දවසක් හැන්දෑ වෙලාවක කොණ්ඩය කපද්දී බ්‍රවුන්පේපර් කවරයක්  දැමූ එක්සයිස් පොතක් අතින් ගත් අයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටියේය. කරණවෑමි තැන වහාම කොණ්ඩය කැපිල්ල නවතා ලාච්චුව ඇද රුපියල් දෙසියක් ඔහුට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන පිට වී ගියේය.

මගේ කුහුල තේරුම් ගත් කරණවෑමි තැන මට ඒ සිද්ධිය පැහැදිලි කර දුන්නේය.

“මේකනෙ මහත්තයෝ මේ රටේ අපි වගේ පොඩි රස්සාවක් කරන කෙනෙකුට ඔලුව උස්සන්න බෑ. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්ණ. ඔය එන්නේ පොලීකාරයා. දවස්පතා පොලිය ගෙවන පොරොන්දුවට මම සල්ලි අරන් තියෙනවා. ගිනි පොලී. මේ ටවුමෙ මං වගේ බර ගානක් ඉන්නවා දවස් පොලී ගෙවන.”

කෙසේ වතුදු කල් යාමේදී මගේ දුරබැහැර හා රටින් පිට රස්සා කිරීම නිසා ඔහු හමු වීම අඩු වී ගිය ද නිවාඩුවට ආ විටත් මම ඔහු දැක බලා එන්නට ගියෙමි.
එවන් එක්තරා දිනෙක මාගේ කොණ්ඩය කපමින්  සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට  උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි.

මේ සිද්ධියෙන් පසු මට එතැනට යන්නට පිරියක් නොවීය.

ඊළඟ වතාවේ මම කොණ්ඩය කපන්නට තෝරා ගත්තේ තරමක් ඈතින් පිහිටි හුරුබුහුටි කුඩා සැලුනයකි. එහි සිටියේද එකම එක කරණවෑමියෙකි. මා යද්දීත් වෙන කිසිවෙක් කොණ්ඩය කැපීමට සිටියේ නැති නිසා අසුන පිස දැමීමෙන් පසු මට වාඩිවෙන්නැයි ඇරයුම් කළ ඔහු වචනයක් දෙකක් මට කතා කළේය. කොණ්ඩය කපන්නට කැමති විදිහ විචාලේය. කතුර අල්ලන විලාසයෙන්ම ඔහුගේ කාරියට  හුරුබුහුටි කමක්  ඇතිවග මට තේරිණි.  කොණ්ඩය කලබලයකින් තොරව හීන් සැරේ කපද්දී මේ ප්‍රියමනාප මිනිසා කතා කරන්නට පටං ගත්තේ ඒ වනවිට  නගරයෙන් ඇසෙමින් තිබු  ලවුඩ්ස්පීකර් නිවේදනයක් අරබයාය. ඒ මහා සංගීත සංදර්ශනයක් ගැනය.

“මේ මොන සංගීතද මහත්තයෝ අපේ පලාතෙනෙ ඉස්සර සංගීත සංදර්ශන තිබ්බෙ. මැණික් කාරයෝ ගෙන්වන්නේ හොඳම ගායකයෝ. ජෝතිපාල, එඩ්වර්ඩ්, ටී. ඇම් වගේ අය. ආයෙ නෑ ඒ කාලෙ අපි බයිසිකල් පැදගෙන කිලෝමීටර් පණහ හැට යනව සංගිත සංදර්ශන හොයාගෙන.”

“එතකොට ඔහේගෙත් ගම් පලාත මෙහෙ නෙවෙයිනෙ. මෙහෙට ආවෙ කොහොමද?”

මගේ ප්‍රශ්ණයට ඔහු සවිස්තර පිළිතුරක් ලබා දුන්නේය.

“මම සබරගමු පලාතේ. මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට  ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා පැල්මඩුල්ලේ. ඉතිං වැඩේ හොඳට ගියා.”

“ඉතිං?”

“පස්සේ මම කොළඹ ආ වෙලාවක අපේ නෝනා හම්බුනානේ. එයාගේ ගෙවල් මේ ළඟපාත. කාලයක් ආශ්‍රය කරලා පෙම් හබ විසඳිලා අපි කසාද බැන්දනෙ. මයෙ ගාව තිබ්බ සල්ලිවලින්  පොඩි තැනක් කුලියට අරං සැලුන් එකක් දැම්මා.”

“ඉතිං මේකෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද?”

“අපෝ පුළුවන් මහත්තයෝ මම දවසකට තුන් හාරදහක් හම්බ කරනවා. හොඳට කාල බීල ඉන්නවා.”

මම ඔහුගේ සැලුනය හාත්පස බැලීමි. සරල පිරිසිදු තැනක් වූ එහි අමුත්තකට තිබුනේ පත්තර කිසිවක් නැතිවීමයි.
“මේ සැලුන් එකට පත්තර ගේන්නැද්ද?” මම ඇසුවෙමි.

“නෑ මහත්තයෝ”

එවිට මා දුටුවේ පොතක් අතින් ගත් පුද්ගලයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටින අයුරුය.
අපේ අලුත් කරණයවෑමියාද ලාච්චුව ඇර රුපියල් දාහේ කොලයක් රැගෙන ගොස් අමුත්තාට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන තව කුවිතාන්සියක්ද නිකුත් කලේය. ඔය කිව්වාට මේ බාබරුත් පොලියට සල්ලි ඇරන් රන් එක දෙන කෙනෙක් කියා මම සිතුවෙමි.
කුහුල නිසාම මම ඔහුගෙන් ඒ කවුදැයි ඇසුවෙමි. ඒ අතරේ ඔහු ගෙනා රිසිට්පත මා ඉදිරියේ වූ ලාච්චුවට රුවද්දී එය ප්‍රසිද්ද  පුද්ගලික බැංකුවක  මුදල් තැන්පතු කොළයක් බව මට පැහැදිලිවම පෙණිනි.

“මේකනේ මහත්තයෝ මම දවසක් බැංකුවට ගිහින් කතා කරා මට දවස්පතා හම්බවෙන ගානින් කීයක් හරි ඉතිරි කරන්න පුළුවන් කියලා. ඉතිං එතකොට තමයි දැනගත්තේ බැංකුවෙන් කෙනෙක්  කඩවලට ඇවිල්ලම ඒ වගේ තැන්පතු එකතු කරගෙන යන පිළිවෙලක් තියෙනවා කියලා. ඔය ඒ මහත්තයා. මම විතරක් නෙමෙයි මේ පේලියේ තව කීප දෙනෙක්ම දවස්පතා සල්ලි ඉතිරි කරනවා ඔය විදිහට.”

ඔහු කීවේ තෘප්තිමත් සිනහවක් වත දවටාගෙනය.

මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන්  වෙනස් වුයේ කෙසේදැයි හොයන්නට මම මේ දවස්වල ටියුෂන් යමින් සිටිමි.

inage: galarity.com

Wednesday, September 14, 2016

'ඔබ ගැඹුරු නින්දක' සිටියද හැර යා නොහැකි 'ඉතා කෙටි කලබල සිහින' සහ 'තරු ඇස් රහස්' - බ්ලොග් පොත් දහයක්


 බ්ලොග් අවකාශයේ නිර්මාණ ඉදිරිපත්  කරන සෑහෙන  දෙනෙකුගේ පොත් ලබන සතියේදී  කොළඹ පොත් ප්‍රදර්ශනයට එක්කාසු වෙන බව සතුටින් දන්වමි .  කොළඹ පොත් ප්‍රදර්ශනයේ K 308 දරන 'සම' පොත් කුටියෙන්  මින් බොහොමයක් ගන්නට පුළුවන් වන අතර එම කුටිය  බ්ලොග් ලියන්නන් හමු වී කතාබහ කළ හැකි තැනක්ද වනු ඇත.ඊට අමතරව ගොඩගේ ඇතුළු  තවත් ප්‍රකාශන කුටිවලින්ද මේවා ගන්නට හැකි වේවි. මේ සටහන ඒවා අතරින් පොත් කීපයක් ගැනය ( පළවූ දින වකවානු අනුව ආපස්සට ලැයිස්තුගත කර ඇත)

1. ඔබ ගැඹුරු නින්දක - කල්පනා මාලතී ඇම්බ්‍රෝස් 
සැප්තැම්බර් 10 දොරට වැඩි අපේ වසීලිස්සාගේ බ්ලොගය මෙන්න 


කල්පනාගේ කවි පොත ගැන සයිබර් අවකාශයේ සිංහලෙන් ලියන්න කැමති සොඳුරු නිර්මාණකරුවෙක් වන රන්සිරිමල් ප්‍රනාන්දු හෙවත් ලොකු , ඔහුගේ බ්ලොගයේ ලියන්නේ මෙහෙමයි .

2. ඉතා කෙටි කලබල හීන -යශෝදා සම්මානී 

බස්සී නොහොත් යශෝදා සම්මානී බ්ලොග් ලියන අප කාටත් ආඩම්බර විය හැකි සුරු විරුකම් ඇති ලියන්නියක්. ගිය අවුරුද්දේ හොඳම  සිංහල බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත් සම්මානී සිය කුළුඳුල් කෘතිය සඳහා ගොඩගේ සාහිත්‍ය උළෙලේ කුසලතා පුර්ණ කවි පොතට සම්මානය දිනාගත්තේ ඊයේ පෙරේදාය .
මේ පොතේ පළවන්නේ බස්සිගේ නවාතැනහා කවි ලොසින්ජර බ්ලොග්වලට ඈ වරින්වර ලියු පද්‍ය  රචනායි 




3. පොල් කට්ටෙන් එපිටට - කොළඹ ගමයා හෙවත් අජිත් ධර්ම 

 චූලානන්ද සමරනාකයකයන් පොල් කට්ටා ගැන ලියූ සටහනක් :

කොළඹ ගමයා යනු ලන්ඩනයේ වෙසෙන, ලෝකයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව ඉතා සවිඥාණක ව්‍යවහාරකයෙකි.  ඔහු විසින් කරනු ලබන රචනාවන් ලංකාවේ බොහෝ ලියන-ගමයන් විලිවද්දන තරම් හරවත්ය. ඔහුගේ ලේඛන ශෛලිය සරලය. පහසුවෙන් අවබෝධවන සුළුය. අවැසි තැන උපහාසයෙන්ද පොහොසත්ය. ඔහු ලන්ඩනයේ සිට, පැවති සෝවියට් දේශය, නව යුරෝපය, ධනවාදය, සමාජවාදය , ලිබරල්වාදය , මාක්ස්වාදය ආදී විවිධ ක්ෂේත්‍ර හරහා ලංකාවද පාදක කර ගනිමින් සිය ලිපි රචනා කරයි. ඔහු මතු කරන කරුණු විවාදාපන්න බවට සක නැත. එහෙත් වඩා වැදගත් වන්නේ ඔහු සිය අදහස් හරහා විවෘත කරනා සංවාදයයි. 




4. සමනලයා මියැද්දෙන් -දිනේෂ් උමගිලියගේ බ්ලොග් කතා එකතුව  
සයිබර් අවකාශයේ ලියන දක්ෂ කෙටි කතා කරුවෙක් වන දිනේෂ් උමගිලිය සිය කුළුඳුල් බ්ලොග් ලිපි එකතුව පසුගිය අප්‍රේල් මාසයේදී පළ කළේය. මෙවර ප්‍රදර්ශනයේදී මිලදී ගත හැකි ඔහුගේ කෙටිකතා  මුලින් ලියවුනේ මේ බ්ලොග් අඩවියෙයි.




5- ග්‍රීෂ්මර්තුවේ සුළඟ - සශිකා අමාලි මුණසිංහ 

මා  ඉතාමත් ආසාවෙන් කියවූ 'කඳු' ගේ බ්ලොග් අඩවියේ වැඩිපුරම ලියවුනේ සුන්දර පදවැල්ය . දැනට එම බ්ලොග් අඩවියේ පිවිසීම සීමා කර ඇතත් අගේ කවි පොතකට එකතු වී තිබීම සතුටට කරුණකි  . මෙය ගොඩගේ ප්‍රකාශනයකි 




6- තරු ඇස් රහස්- තරුරසී ප්‍රනාන්දු 

තමන්ට ඇති අපූරු නිර්මාණශීලී හැකියාව ගැන නොතකමින්  සිය හිතවතුන්ගේ නිර්මාණකාරියන්ට, පොත් එලි දැක්වීම්වලට , ඒවා හඳුන්වා දීමට නොමසුරුව කාලය  යොදන දයාබර සොයුරියකි තරුරසී .  මානව දයාවත් , නිර්මානශීලී රසයත් නොඅඩුව මුමුණන 'තරු ඇස්  රහස්' සම ප්‍රකාශනයකි .


7.8- අනිත් කොන හා මනුපුර සක්මන - බෝධිනී සමරතුංග 
අනිත් කොනේ ජීවිතය සංවේදී සටහන් ඔස්සේ රටටම කියාපාන දයාබර දොස්තර නෝනා  ' බෝධිනී සමරතුංග ' 2014 වසරේදී අනිත් කොන නමින් වූ බ්ලොග් ලිපි එකතුවත් මනුපුර සක්මන කවි පොතත් නිකුත් කළාය .





9- සොඳුරු බාලේ ගෙවුණු තාලේ - රන්දිකා රණවීර 

ඇලෙක්සැන්ඩර් රාස්කින්ගේ ජනප්‍රිය ළමා කතා පොතක  රසවත් අනුවර්තනයක් වන මේ කතා  මුලින්ම පළවුයේ නිදහස් සිතුවිලි  වෙබ් අඩවියේය. 2014 වසරේදී පළවූ රන්දිකාගේ 'සොඳුරු බාලේ ගෙවුණු තාලේ' ලොකු කුඩා කාටත් රස විඳිය හැකි පොතකි.




10 - තිලකසිත 



තිලකසිත බ්ලොග් අඩවියේ 2013 හා 2014 වසරවල පළවූ ජීවන කතන්දර හා කෙටි කතා හතලිහක එකතුවක් මෙහි අඩංගුය







Saturday, September 3, 2016

බොම්බායි බෝඩිම 2- විසි වසක් සුරැකි මුතුහර

පළමු කොටස මෙතැනින්  
කිෂෝර් දෙස මද වෙලාවක්  බලාසිටි මම ආපසු හැරුනේ ඔහුගේ බිරිඳ  දිව ගොස් කිෂෝර්ව  කුද්දන්නට උත්සහ කරද්දීය

'පොඩ්ඩක් ඉන්න මෙයා දැන් නැගිටියි'
ඇය ඔහු ලඟට ගොස් උරහිසින් සොලවා අර 'ස්ටුල්' සිද්දියෙන් පසුව හිටියාක් මෙන් ආදරෙන් කිෂෝර්ට  කතා කළාය  .

'නෑ මම එයාර්පෝර්ට් යන ගමන් .මම පසේ වෙලාවක එන්නම් . කිෂෝර්ට කියන්න මම ඇවිත් ගියා කියල' .

මා එසේ කියද්දී  ඇතුල් කාමරයක සිටි කිෂෝර්ගේ පුතණුවන්ද එලියට ආවේය. මා මෙහි බෝඩිම්කරුවකුව සිටි කාලයේ මා සමග ඉතා හිතවත්ව සිටි  ඔහුටත් ,මම ආචාර කොට  පස්සේ එන්නම් කියා ආවාටත්  වඩා වැඩි වේගයෙන්ම පඩිපෙළ බැස වාහානයට ගොඩ උනෙමි .

මගේ මුණේ වූ කනස්සලු ස්වාබාවයෙන්ම සිදු වූ දේ තේරුම් ගත්  සගයන් ගමනේ විස්තර හාරා  අවුස්සන්නට  නොආවෝය .
වහානය ගුටන්තොටුපල දෙසට ඇදෙමින් තිබියදී මට දුරකතන ඇමතුමකි.

'හොඳටම නෝක්කාඩු ස්වරයකින් කිෂෝර් මා අමතයි.

' ඇයි  එක විනාඩියක්  මම නැගිටිනකම්  හිටියේ නැත්තේ? අපේ  පුතත් පුදුම වෙලා වචනයක් කතා කරන්න තිබ්බනම් හරිනේ. මොකද ඔය හැටි හදිස්සිය  ?'

'නෑ කිෂෝර් මම  මේ  අපේ නෝනයි ළමයි දෙන්නයි ගන්න එයාර්පෝර්ට් යන ගමන් ආවේ . පොඩි වැඩකටත් එක්ක'

'එහෙනම් ආපහු එනගමන් එන්න මෙහෙන් කට්ටියටම කෑම හදලා තියන්නම් '

කිෂෝර් වෙරිමතින් උනත් තරමක පියවි සිහියෙන්  සිටින බව තේරුම් ගත් මම ඔහුට මගේ අලකලංචිය කෙටියෙන් පැහැදිලි කලෙමි . සියල්ල තේරුම් ගත්තේ නැති උනත් ඔහුට යම් කොටසක් වැටහුණු බව තේරුම් ගතිමි .

'මට විනාඩි පහක් දෙන්න '

ඔහුගේ දුරකථනය විසන්ධි විය

මම ඉන්පසු කීප වරක් ඔහුට කතා කරන්නට උත්සහ ගත්තද පලක් වුයේ නැත .

බ්‍රහස්පතින්දා හවස නගරය අවුල් ජාලාවක් කරන ට්‍රැෆික් ගංවතුර මැද්දෙන් එහෙන් මෙහෙන් පීනා අපි ගුවන් තොටුපලට   ලඟා වීමු.

දැන්නම් මගේ ජීවිතයෙන් පංගුවක් රැගත් ගුවන් යානය ළඟාවීමට වෙලාව හරියාගෙන එයි . එය යන්තම් විනාඩි දහයක්  ප්‍රමාද වී පැමිණෙන බව ඉලෙක්ට්‍රොනික තිරයේ  දැක්විණි.

මේ අකරතැබ්බය නොවිණිනම්  තව පැයක් හමාරක් යනකොට ඔවුන් මා තුරුලේය.

ඒ අතරේ  මගේ  ප්‍රශ්නය ආරංචි වූ අනෙක් මිතුරන්ගෙන්ද දිගින් දිගට ඇමතුම් ලැබුනේය.  ඉන් එක්  අයෙක්  උපදෙස් දුන්නේ වැඩේ අයහපත් වී  පවුලේ උදවිය ගුවන්තොටුපලේ රඳවා ගතහොත්  ඊළඟට කරන්නට ඕනෑ දේවල් පිලිබඳවය.

'මම දැනටම තීරණය  කරලා තියෙන්නේ එහෙම උනොත් මමත්  හෙටම ටිකට් එකක් අරන් ලංකාවට යනවා .
එයාර්පෝර්ට් එකේදී මේ ගොල්ලන්ව හම්බ වෙනවා. අපි එකට ආපහු යනවා. ආයේ මේ රටේ පස් පාගන්නේවත් නෑ .

මගේ තවත් මිතුරකු  විසින්  ගුවන් සමාගමේ නිලධාරියෙක් සම්බන්ධ කරගෙන අපේ  පවුලේ උදවිය හමු වී  පණිවිඩයක් දෙන්නට පුළුවන් මගක් සෙව්වේය.

' ඒ ගොල්ලෝ ගාව IDD ෆෝන් එකක් තියෙනවද?
'නෑනේ;

මම සැනෙකින් ලංකාවේ  සිටින මගේ අතිජාත මිතුරෙක් ඇමතීමි.

මම ඔහුට කෙටියෙන් විස්තරය කියා දී දැන් මගේ බිරිඳගේ ජංගම දුරකථනයට IDD පහසුව  ඔනෑ වී තිබෙන බව කීවෙමි.
පෝරම් පුරවා තැන්පත් මුදලක් තබා කර ගත යුතු වූ සේවාව ඔහු පැය බාගයක් ඇතුලත කර දුන්නේය.

කිෂෝර්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ මේ අතරය . ඔහු කතා කලේ හති අරිමිනි

' මේ දැන් මම අපේ ලොකු මහත්තයෙක් ගාවට ඇවිත් ඉන්නේ . ඉන්න මම එයාට දෙන්නම්'

ඊළඟට එහා කෙලවරින් ඉතා මෘදු පැසුණු හඬක් ඇති මිනිසෙක් සරල ඉංග්‍රීසියෙන් කතා කළේය '

'මට කිෂෝර කිව්වා ඔයාට කරදරයක් කියල '

'ඔව්'
 මම ඔහුට පුලුවාන් තරම් කෙටියෙන් පැහැදිලිව මගේ අවුලේ සුල මුල කීවෙමි . ඊළඟට  වීසා අංකය දෙන්නදැයි ඇසීමි.

'නෑ මට ඒ තරම් දුරට මැදිහත් වෙන්න බෑ නමුත් මට පුළුවන් මේ වගේ සිද්දියක් වුනොත් කරන්න පුළුවන් මොකක්ද කියල හොඳින් විස්තර ඇතිව අහගන්න. ඉන්න මං  අපහු ගන්නම්'

අතිශයින් නොසන්සුන්ව ගෙවුණු විනාඩි කිහිපයකට පසු  ඔහු නැවත මා ඇමතීය .

' මේකයි මහත්තයා ඔයාට බය වෙන්න දෙයක් නෑ . මට කරන්න පුළුවන් පැහැදිලි කර ගැනීම කරගත්තා. ඒගොල්ලෝ එන්නේ ඔයාගේ අනුග්‍රාහකත්වයෙන්. ඔයා ඉන්නේ මේ රටේ . ළමයි දෙන්නෙකුත් එක්ක පවුලේ අය ආපසු යවන්න තරම් ලොකු වැරද්දක් වෙලා නෑ . පුංචි අඩුපාඩුවක්නේ . බය වෙන්න එපා. ඒ ගොල්ලෝ එයි.'

මගේ  සිහ ගත දෙකම ගිනියම් වී  තිබූ  මොහොතේ  ඔහුගේ වචන සිහිල් මද පවනක්ම විය .

'මේ කතා විශ්වාස කරන්න එපා' කී මගේ මිතුරා මා අසලින් නික්ම ගියේ අපේ සමාගමේ උදව්ව මට ලබා දෙන්නට උත්සහ කිරීම සඳහාය.

සුවිසල් බිත්ති ඔරලෝසුවත් , ඉලෙක්ට්‍රොනික  තොරතුරු තීරයත් හා ඈත දරුපවුල් සමග එන ගුවන් මගීන් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් මම නොඉවසිලිමත්ව  ඔබමොබ සක්මන් කළෙමි.

රියදුරු හිතවතාද මගේ වේදනාව දැනී මා මෙන්ම අසහනයට පත් වී  සිටියේය .

'මේ අතර මම බිරිඳගේ දුරකතනයට නොකඩවා ඇමතුම් දුනිමි. එම ජංගමය මේ රටෙත් වැඩ කරන බව ඇය දන්නේ නැත. එනිසා, සමහර විට  එය නිවා දමා හෑන්ඩ් බෑගයේ දමාගෙන ඇති.

මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට  විතර පසු මගේ නෙතු බොඳ කරමින් ඈත මගීන් අතරේ ඒ ආදරණීය රූ චායා තුන  මා වෙත ඇදෙනවා දුටිමි.

කට්ටිය එනවා කියාගෙන මා  අපේ රියදුරා වැළඳ ගතිමි. ඔහුගේ දෑස්වලද  සතුටු කඳුළු පිරෙනවා මම දුටුවෙමි.

වීදුරු  දොරෙන් මෙපිට සිටි මා වෙත දරුවන් දෙදෙනා දිව එද්දී  මගේ චින්ත සන්තානයේ විදුලි එලි සිය දහසක් දැල්වෙමින් චමත්කාරජනක ප්‍රමෝදයක් මැවිණි .

එදා රාත්‍රියේ අපි ආගිය තොරතුරු කතාකරමින් සිටිද්දී මම බිරිඳගෙන් ඇසුවේ වැරදිලාවත් පාස්පෝර්ට්  කවුන්ටරෙන් ඔයාට එන්න දුන්නේ නැත්නම් මොකද කරන්නේ කියලය  .

' එහෙම මොනා හරි උනොත්  පොඩි දෙන්නා තනියම හරි එවන්නයි මම හැදුවේ . මොකද ඔයා එළියේ කොච්චර ආසාවෙන්  බලාගෙන ඉන්නවාද කියල  මම දන්නවනේ . අඩු ගානේ දුලා  හරි දැක්කොත් ඔයාට සැනසීමක් තියෙයි කියල මම හිතුවා '

( අදින්  හරියටම අවුරුදු  විස්සකට පෙර සිදුවූ  එක්තරා මගුල් ගෙදරක් සමරනු වස් මම මේ පෝස්ටුව ලිව්වෙමි )
චිත්‍රය ඇන්දේ ඔවිනි